පාර්ලිමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන ව්යවස්ථා සභාවක් ඇති කොට සියලු ප්රධාන හා ප්රමුඛ තනතුරුවලට පුද්ගලයින් නිර්දේශ කිරිමේ බලය හා අලුතෙන් ඇති කරන්නට යන කොමිෂන් සභා 05 හා රටේ ක්රියාත්මක වන අනෙකුත් ප්රධාන කොමිෂන් සභාවල ක්රියාකාරිත්වය එම ව්යවස්ථා සභාවේ පාලනය යටතට ගෙන ඒම නිර්දේශපාලනකරණය සඳහා තැබෙන ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. ඊට අතිරේකව ඉතාමත් හොඳින් කරුණු සොයා බලා කෙරෙන පත්කිරිම්වලදි පවා ප්රමුඛ තනතුරුවලට පත්වන අය වැරදි කරන්නේද, තමන් වෙත පවරා දෙන වගකීම් නිසියාකාරව ඉටුකරන්නේද යන්න නිරන්තරයෙන්ම සොයා බලන ක්රමයක් ද ඇති කරන්නට යන එම ක්රමයට ඇතුළත් කළ යුතුය. යෝජිත ව්යවස්ථා සභා ක්රමය තුළ දක්නට ලැබෙන ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැක්කේ ද එවැනි ක්රමයක් ඊට ඇතුළත්ව නොතිබීමය.
අභියාචනාධිකරණ හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහා ක්රියාත්මක වන විනය පාලන ක්රමයක් නොපවතී. විෂමාචාර චෝදනා ඇති අවස්ථාවක කළ හැකි එකම දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවක් මගින් චෝදනාලාභී විනිසුරුවරයා තනතුරෙන් ඉවත් කිරීම පමණය. එහෙත් විනිසුරුවරයෙකු අතින් පුද්ගලයෙකුට සිදුවන බරපතල වරදකදි එම පුද්ගලයාට දෝෂාභියෝග යෝජනාවන් සඳහා මන්ත්රීවරුන් තුනෙන් එකක් කැමති කරවා ගැනීමේ හැකියාවක් ඇතැයි සිතිය නොහැකිය.
සරත් එන්. සිල්වා මහතා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකුව සිටියදි, සිය විවාහක බිරීඳ සමග අනාචාර ජීවිතයක් ගත කරන බව රසායන ඉංජිනේරු ජයසේකර මහතා එවකට අභියාචනාධිකරණයේ සභාපතිව සිටි පාලකිඩ්නර් මහතාට ලිඛිතව පැමිණිලි කළේය. පාලකිඩ්නර් මහතාට කළ හැකිව තිබුණේ ජයසේකර මහතා වෙත සිය කණගාටුව ප්රකාශ කරමින් තමන්ට ඒ ගැන කළහැකි දෙයක් නැති බව ලිඛිතව දැනුම්දිම පමණය.
ශ්රේෂ්ඨාධිකරණයේ ඇතිවූ සිද්ධියක් පිළිබඳව විශ්වාසදායක මාර්ගයකින් මට අසන්නට ලැබුණු කථා පුවතක් මෙසේය. ශ්රේෂ්ඨාධිකරණය පිරිසිදු කිරිමේ කටයුතුවල යෙදෙන සේවිකාවක් වේගයෙන් දුවයමින් සිටියදි, ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ඇගේ හැපී තිබේ. ඒ ගැන සේවිකාවගෙන් ප්රශ්න කිරිමේදි දැනගන්නට ලැබී ඇත්තේ එම සේවිකාව කිසියම් විනිසුරුවරයකුගේ කාමරය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදි විනිසුරුවරයා ඇයට අතවරයක් කිරීමට දරන ලද උත්සාහයකින් බේරි පලායමින් සිටින අවස්ථාවක එසේ සිදුවී ඇති බවය.
විනිසුරුවරයාගේ මෙම නොමනා හැසිරිම පිළිබඳ සිද්ධිය කාන්තාව ඇගේ හැපුණු විනිසුරුවරයා විසින් එවකට අගවිනිසුරු ධුරය ඉසිලු ජී.පී.එස්. ද සිල්වා මහතාට පැමිණිලි කර ඇතත්, තනතුරේ ගෞරවයට හේතු නොවන නොමනා හැසිරිමක් පෙන්නුම් කළ එම විනිසුරුවරයාට එරෙහිව අගවිනිසුරුවරයා කිසිම ක්රියාමාර්ගයක් ගෙන නැත.
මේ සිද්ධීන් දෙකේදිම විනිසුරුවරුන්ගේ විනය පාලනය තමන්ට අයත් රාජකාරියක් නොවේ යැයි අභියාචනාධිකරණයේ සභාපතිවරයා සේ ම අගවිනිසුරුවරයා ද සිතුවා විය හැකි ය.
අධිකරණ සේවා කොමිසම ද ඉන් පරිබාහිර කිසිවකුගේ පාලනයට යටත් නැති බලවත් ආයතනයකි. වරක් ගෘහ සේවයේ යෙදි සිටි කුඩා දැරියක් දූෂණය කිරිමේ චෝදනාවක් මහාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව එල්ල විය. දැරිය පරික්ෂා කළ මහාචාර්ය චන්ද්රසිරි නිරිඇල්ලගේ මතය වී තිබුණේ ඇය දූෂණයට ලක්වී තිබුණු බවය. පොලිසිය මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදි එවකට නීතිපති වශයෙන් ක්රියා කළ සරත් එන්. සිල්වා මහතා මැදිහත්වී විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමෙන් වැළකුවේය. විනිසුරුවරයාට එරෙහිව මහේස්ත්රාත් අධිකරණයේ පැවති මූලික පරික්ෂණයේදි දැරිය වෙනුවෙන් පෙනී සිටියේ ද චූදිත විනිසුරුවරයා වෙනුවෙන් මහත් අනුකම්පාවෙන් ක්රියාකළ නීතිපති දෙපාර්තමේන්තුවය. තාක්ෂණක කරුණක් මත විනිසුරුවරයා චෝදනාවලින් නිදහස් විය. අතෘප්තියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි කල්යානන්ද තිරාණගම මහතා, දෙන ලද නඩු තීන්දුව අසාධාරණ බැවින් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියත් එය ඉටු නොවීය. ඉන්පසු නීතිපති ධුරය දැරූ සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව එම විනිසුරුවරයා නැවත මහාධිකරණයට පත් කළේය. දූෂණ චෝදනාව මුළුමණින් නොසලකා සිටියත්, මහාධිරණ විනිසුරුවරයෙක් කුඩා දැරියක් ගෘහ සේවයේ යොදා ගත්තේ කෙසේද යන ප්රශ්නයවත්, අධිකරණ සේවා කොමිසම සැලකිල්ලට නොගත්තේය. පුදුමයකට මෙන් නැවත මහාධිකරණයට පත්වීම ලැබූ විනිසුරුවරයා වැඩ භාරගැනීමට අධිකරණයට යමින් සිටියදි සිදුවූ බරපතල රිය අනතුරක් නිසා එම විනිසුරුවරයාට මහාධිකරණයේ අසුන් ගැනීමට නොහැකි විය.
දූෂණ චෝදනා එල්ල වූ මහේස්ත්රාත් ලෙනින් රත්නායක සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමෙන් ප්රකාශ වූ ප්රතිපත්තිය ද ඊට සමානය. පළමු ස්ත්රී දූෂණ සිද්ධියේ දි ඊට ගොදුරු වූ කාන්තාව නීතිඥ කල්යානන්ද තිරණාගම මගින් අධිකරණ සේවා කොමිසම වෙත විධිමත් ලෙස පැමිණිලි කොට තිබුණි. පුවත්පතක් එම මහේස්ත්රාත්වරයාට එරෙහිව දිගින් දිගට කෑගසන්නට වූයේ ඊට අතිරේකවය. “බොහෝ කලකට පසුව අධිකරණ සේවා කොමිසම එම මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පරික්ෂණයකට ගියේ ද නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය මහේස්ත්රාත්වරයාට එරෙහිව පරික්ෂණයක අවශ්යතාව අගවිනිසුරුවරයාට අවධාරණය කිරිමේ ප්රතිඵලයක් වශයෙනි. එම පරික්ෂණයෙන් මහේස්ත්රාත්වරයා සියලු චෝදනාවලට වරදකරු කර තිබියදිත්, අද දක්වා ඔහු අධිකරණ සේවයෙන් ඉවත් කොට නැත.
ඒ හැම නිදර්ශනයකින්ම පෙන්නුම් කෙරෙන්නේ ඉහළ අධිකරණයේ විනිසුරුවන් හා අධිකරණ සේවා කොමිසම වැනි ආයතනවල ක්රියාකාරිත්වය පරික්ෂාවට ලක් කරන ආයතන ක්රමයක් ඇතිකර ගැනීමේ අවශ්යතාවයි.
මෙම ධර්මතාව නීතිපති, මැතිවරණ කොමසාරිස් හා විගණකාධිපති වැනි බලවත් තනතුරු දරන්නන්ට ද අදාළය.
පටු අර්ථයෙන් නීතිපති ආණ්ඩුවේ ප්රධාන නීති උපදේශකයා ලෙස සැලකුණත්, පුළුල් අර්ථයෙන් මහජනයාගේ මූලික අයිතිවාසිකම් භාරකාරයා වන්නේ ද නීතිපතිය. කිසියම් ආණ්ඩුවක් මහජන අයිතිවාසිකම් සීමා කිරීමට හෝ පාගා දැමීමට දරන උත්සාහයක් ආශ්රයෙන් මතුවන ගැටුමකදි නීතිපති ගත යුත්තේ ආණ්ඩුවේ පැත්ත නොව, මහජනයාගේ පැත්තය. එහෙත් මැතිවරණ පෙත්සම්වලදි නීතිපතිගේ ක්රියාකාරිත්වයේ සේ ම මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්රියාකාරිත්වයේ ද පරස්පර විරෝධී බවක් පවතී. සිරිතක් වශයෙන් මැතිවරණ පෙත්සමකදි මැතිවරණ කොමසාරිස්වරයා වගඋත්තරකරුවකු කිරීමට සිදුවන අතර, මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නේ නීතිපතිය. මැතිවරණයක් දූෂිත ලෙස ජයගත් පාර්ශ්වයකට එරෙහිව පවරන මැතිවරණ පෙත්සමකදි දූෂිත ලෙස ජයගත් ජයග්රාහකයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට හෝ නීතිපතිට පුළුවන්කමක් තිබිය නොහැකිය. එහෙත් දැන් මැතිවරණ පෙත්සම්වලදි සිරිතක් වශයෙන් සිදුවන්නේ මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිපති සිදුවී ඇති දූෂණ නොසලකා ජයග්රාහකයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කරන පුද්ගලයෙකුට වඩා මැතිවරණයකදි සිදුවූ දුෂණ පිළිබඳ වඩා හොඳින් විස්තර දන්නවා විය හැක්කේ මැතිවරණ කොමසාරිස්වරයාය. එහිදී මැතිවරණ කොමසාරිස්වරයා කළ යුත්තේ දූෂිත ලෙස මැතිවරණයක් ජයග්රහණය කළ ජයග්රාහකයා ආරක්ෂා කිරීම නොව, නිල වශයෙන් තමන්ට තිබෙන කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ඇත්ත තත්ත්වය පිළිබඳව හරි චිත්රයක් ඇතිකර ගැනීමට අධිකරණයට සහාය වීමය.
සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීමට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදි එම නඩුවට පදනම් වූ සියලු කරුණු හොඳින් දැන සිටි පුද්ගලයෙක් වශයෙන් එම නඩුවේදි අගවිනිසුරුවරයා වෙනුවෙන් පෙසී සිටීමේ යුතුකමක් නීතිපතිට නොතිබුණේය. ඔහු එහිදී වඩා වැදගත් කොට සැලකිය යුතුව තිබුණේ අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව නොව අධිකරණයේ ස්වාධිපත්යය හා ගෞරවයයි.
මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ සේ ම දේශපාලන පක්ෂවල නිලධාරි මණ්ඩලවලට අයත් සාමාජිකයන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගත යුතු බලධාරියා වන්නේ මැතිවරණ කොමසාරිස්වරයාය. එහෙත් ඔහු දේශපාලනඥයන් සතුටු කිරීම සඳහා ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීමෙන් වැළකී සිටින ප්රතිපත්තියක් පවත්වාගෙන යයි.
විගණකාධිපතිවරයා ද මේ දේශපාලන ක්රමය තුළ ඉතාමත් වැදගත් හා ප්රමුඛ කාර්ය භාරයක් ඉටුකිරීමට බැඳී සිටින පුද්ගලයෙකි. සියලුම රාජ්ය ආයතනවල කටයුතු විගණනයට ලක්කරමින් ඒවායේ ක්රියාකාරිත්වය ගැන පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට බැඳී සිටින ප්රධාන පුද්ගලයා විගණකාධිපතිය. රජයට අයත් කිසිම අරමුදලක් විගණකාධිපතිගේ පරික්ෂාවෙන් පිටස්තරව තිබිය නොහැකිය. එහෙත් ඔහු ජනාධිපති අරමුදල විගණනය නොකරයි. රජයේ ආයතන පුද්ගලික අංශයට විකිණීමේ ක්රියාවලියේදි ඒවා නීතියට එකගව රජයට පාඩුවක් සිදු නොවන ලෙස සිදු කෙරේ දැයි සොයා බලා යථා තත්ත්වය පාර්ලිමේන්තුවට වාර්තා කිරිමේ වගකීමක් විගණකාධිපතිවරයාට ඇතත්, කිසිදු පුද්ගලිකකරණ ක්රියාවක් පිළිබඳව විගණකාධිපතිවරයා සිය නිරික්ෂණ පාර්ලිමේන්තුවට වාර්තා කර නැත.
මේ හැම නිදර්ශනයකින්ම පෙන්නුම් කෙරෙන්නේ ඉතා වැදගත් හා ප්රමුඛ නිලතල උසුලන අයගේ ක්රියාකාරිත්වය නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කෙරෙන ක්රමයක් ඇතිකර ගැනීම අත්යවශ්ය බවය.
ජනාධිපති, කැබිනට් ඇමතිවරුන්, මන්ත්රීවරුන්, උසස් අධිකරණවල විනිසුරුවරුන් හා ප්රමුඛ තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදි මහජනයාට පැමිණිලි කළ හැකි, එසේ ලැබෙන පැමිණිලි විමර්ශනය කොට පාර්ලිමේන්තුවට වාර්තා කරන ආයතන ක්රමයක් මෙම ව්යවස්ථා සභා ක්රමය යටතේම ඇති කළ හැකි නම්, එවැනි තනතුරු දරන්නන්ට වැරදි කිරීමට තිබෙන ඉඩකඩ ද විශාල ප්රමාණයකට පාලනය කළ හැකිය.