පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයක් මැතිවරණයකදි පමණක් නොව, මැතිවරණයකට පෙර විශ්වාසභංග යෝජනාවකින් ද පරාජය කළ හැකිය. පිළිගත් පාර්ලිමේන්තු සම්ප්රදායයන් අනුව ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වූ අවස්ථාවකදි ආණ්ඩුව ඉල්ලා අස්වී බහුතර බලයක් ඇති විරුද්ධ පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලබාදිය යුතුය. ආණ්ඩු පක්ෂයට බහුතර බලය අහිමි වී, එහෙත් විරුද්ධ පක්ෂයට ද ආණ්ඩුවක් පිහිටුවා ගත නොහැකි අවස්ථා ද තිබිය හැකිය. එවැනි අවස්ථාවලදි මැතිවරණයකට යාම තිබෙන පිළිගත් පාර්ලිමේන්තු සම්ප්රදායයි.
එහෙත් ශ්රී ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්රමය තුළ පාර්ලිමේන්තුවේ කාලය වසරක් සම්පූර්ණවීමෙන් පසුව ජනාධිපතිනියට අවශ්ය අවස්ථාවකදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය පවතී. එය විධායක ජනාධිපති ක්රමය පවත්නා වෙනත් කිසිම රටක නොපවත්නා පාර්ලිමේන්තු බලය අනවශ්ය ලෙස බාල්දු කිරීමට හේතුවී තිබෙන ප්රතිපාදනයක් ලෙස සැලකේ. පාර්ලිමේන්තුවට වසරක් සම්පූර්ණවීමෙන් පසුව සාධාරණ හේතු නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට ලබාදි තිබෙන බලය අහෝසි කළ යුතුයි කියන ඉල්ලීමක් විධායක ජනාධිපති ක්රමය ප්රතිසංස්කරණය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් අතරට එකතු වී තිබෙන්නේ ඒ නිසාය. හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තුවේ වාරය අවසන් කිරීමට ජනාධිපතිට ලැබී තිබෙන බලය ද අවශ්ය අවස්ථාවකදි පාර්ලිමේන්තුව මට්ටු කිරීමට ජනාධිපතිට ලැබී තිබෙන තවත් හිතුවක්කාරි බලයකි. ජනාධිපති ප්රේමදාස මහතා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදි ද සිය හිතුවක්කාර බලය ප්රයෝජනයට ගත්තේය.
වර්තමාන පාර්ලිමේන්තුවට වසරක් සම්පූර්ණ වීමට තවත් ඇත්තේ මාස හතරක කාලයක් පමණය. ඒ අතර තුර පාර්ලිමේන්තුවේ වාරය අවසන් කොට එම කාලයෙන් ද තවත් මාස දෙකක කාලයක් එහෙ මෙහෙ කරගැනීමේ හැකියාවක් ද ජනාධිපතිනියට ඇත්තේය. ජනාධිපතිනියගේ අපේක්ෂාව වනු ඇත්තේ තමන්ගේ පාලනයට යටත් නැති ආණ්ඩුවක් ඇතිවීමට ඉඩ නොතබා යළි මැතිවරණයකට යාමය. ඒ සඳහා අවශ්ය කරන කාලය ලබාගැනීමට කළ හැකි හැම දෙයක්මත් කිරීමය.
විශ්වාසභංගයට පෙර හදිසි නීතිය පරාජය කිරීම මගින් ආණ්ඩුවට බහුතර බලයක් නැති බව ඔප්පු කර පෙන්වීමට විරුද්ධ පක්ෂයට වුවමනා වී තිබුණේය. ආණ්ඩුව එහි ඇති අවදානම තේරුම් ගෙන දැන් හදිසි නීතිය සම්මත කරගන්නවා වෙනුවට තිබෙන වෙනත් නීති මගින් අවශ්ය ආවරණය ලබාගැනීමට යොමුවෙමින් සිටී.
විශ්වාසභංගය ජූලි 16, 17, 18 19 යන දිනවල විවාදයට ගැනීමට ඉඩ දෙන බව ආණ්ඩුව ප්රකාශ කර තිබුණත්, එය ද අගෝස්තු මුල තෙක් කල් දමා ගැනීමට ආණ්ඩුවට අවශ්ය වී තිබේ. ආණ්ඩුවේ අරමුණ කාලය ලබාගැනීම බව පැහැදිලිය. තත්ත්වය යහපත් තත්ත්වයකට ගෙන ඒමට නොහැකි වෙතොත්, පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කොට විසුරුවා හැරිමක් සඳහා අවශ්ය කාලය ලබාගැනීම ආණ්ඩුවේ අරමුණ වී තිබෙන බව පෙනේ. ආණ්ඩුව එක් අතකින් විවිධ නියෝජිතයන් මගින් විරුද්ධ පක්ෂය සමග සාකච්ඡා කරයි. ඒ මගින් අපේක්ෂා කරන්නේ ද විරුද්ධ පක්ෂය තුළ බොරු බලාපොරොත්තු ඇති කරමින් කාලය ලබාගැනීමය. ආණ්ඩුව කරමින් තිබෙන මේ සෙල්ලමට අසු නොවී හැකි ඉක්මණන් විශ්වාසභංගය ඉදිරියට ගැනීමට විරුද්ධ පක්ෂය අසමත් වෙතොත්, තාවකාලික වශයෙන් හෝ එහි වාසිය ලැබෙනු ඇත්තේ ආණ්ඩුවටමය.
එහෙත් ඒ සියලු සටකපටකම්වල අවසාන ප්රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණයක් නම්, එවැනි මැතිවරණයක් විරුද්ධ පක්ෂයට මිස ආණ්ඩුවට වාසිදායී විය නොහැකිය.
විශ්වාසභංගයකින් ලබන පරාජයකින් පසුව හෝ විශ්වාසභංගයකින් පරාජය වන බව දැන දැන එවැන්නකට ඉඩ නොදි පවත්වන මැතිවරණයකදි ආණ්ඩුවට මහජනතාව ඉදිරියට යන්නට වන්නේ ජයාග්රාහී බලවේගයක් ලෙස නොව, පරාජිත බලවේගයක් වශයෙනි. එවැනි මැතිවරණයකට ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ ද ශක්තිමත් හා එක්සත් ව්යාපාරයක් ලෙස නොව කැබලි වූ ව්යාපාරයක් ලෙසය. එවැනි මැතිවරණයකදි ජනාධිපතිනියට මේ අර්බුදයේදි තමන්ට එරෙහිව ක්රියා කළ සිය පක්ෂයේ ප්රධාන කිසියම් පිරිසකට හෝ නාමයෝජනා දිමෙන් වැළකී සිටීමට සිදුවනු ඇති අතර, එම තත්ත්වය ද මැතිවරණයකදි ආණ්ඩුවේ තත්ත්වය තව තව දුර්වල කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. රටේ පවතින ආර්ථික අමාරුකම් බලපානු ඇත්තේ ද ආණ්ඩුවේ අවාසියටය. මුස්ලිම් කොංග්රසය වැනි පක්ෂයක සහාය ඇතිව පවා පසුගිය මැතිවරණයෙන් ආණ්ඩුවට ලබාගත හැකිවූයේ ආන්තික ජයග්රහණයක් පමණක් නම්, මුස්ලිම් කොංග්රසය විරුද්ධ පක්ෂයට එකතු වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ පවත්වන මැතිවරණයක් ආණ්ඩුවට කිසිසේත්ම වාසිදායක විය නොහැකිය.
පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යාම ජනාධිපතිනියගේ අභිලාෂය වනු ඇතත්, ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මේ අවස්ථාවේදි මැතිවරණයකට යාමට කැමති නැත. එය මේ අර්බුදය තුළ තිබෙන ප්රධාන පරස්පරයකි. විරුද්ධ පක්ෂයට ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහා වන තාවකාලික සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමේ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ ජනාධිපතිනිය හා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර පවත්නා මෙම පරස්පර වුවමනාව අතර ගැටුම ශක්තිමත් හා සාර්ථක ලෙස යොදාගැනීමට සමත් වේ නම් පමණය.
විශ්වාසභංගය ජයගැනීමට විරුද්ධ පක්ෂය සමත් වී පාර්ලිමේන්තුවේ විශාල බහුතරයකගේ විශ්වාසය දිනාගැනීමට හේතුවන ආකාරයේ ආණ්ඩුවක් ඇතිකර ගැනීමට සමත් වෙතොත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිට ලැබී තිබෙන හිතුවක්කාරි බලය ඇතුළුව විධායක ජනාධිපති ක්රමය සංශෝධනය කිරීම සඳහා වන ව්යවස්ථා සංශෝධනය හදිසි කාරණයක් ලෙස සලකා සම්මත කරගැනීමේ හැකියාව ද ගොඩ නගන ආණ්ඩුවට ලැබෙනු ඇත්තේය. එම දුෂ්කර කඩුල්ල ජයගැනීමට සමත් වෙතොත් ඉන්පසු ජනාධිපතිට පාර්ලිමේන්තුවට අවනත වනවා හැර ඊට එරෙහිව යාමේ කිසිම හැකියාවක් නැත.
එහෙත් එවැනි තත්ත්වයක් ඉදිරියේ කරන්නට යන ඕනම දෙයක් වැළකීම සඳහා පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කිරිමේ හැකියාවක් ජනාධිපතිනියට ඇත්තේය. එහෙත් එහිදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට සමාන පිරිසක් ප්රතිසංස්කරණ වැඩසටහන සමග සිටී නම්, පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබීමට ජනාධිපති දෙන නියෝගයක් නොසලකා සිය කටයුතු ඉදිරියට ගෙනයාමේ හැකියාවක් ද පාර්ලිමේන්තුවට ඇත්තේය.
දැන් ආණ්ඩු පක්ෂය තුළ තිබෙන බෙදීම් ඉතාමත් තියුණුය. ඇමති මණ්ඩලයේ වැඩි පිරිසක් තමන්ට එරෙහිව විවිධ දේශපාලන කුමන්ත්රණවල යෙදි සිටින්නේය යන්න ජනාධිපතිනියගේ මතය වී තිබේ. මේ බෙදීම් තුළ සිටින කිසියම් පිරිසක් හෝ පලවා හැරිමෙන් තොරව ඇතිවී තිබෙන බෙදීම් සමනය කිරිමේ හැකියාවක් ද නොපවතී. එහෙත් ඒ කිසිවකු හෝ පලවා හැරිමට දරන ඕනෑම වෑයමක් ආණ්ඩුව තව තව බෙලහීන කිරීමට මිස ශක්තිමත් කිරීමට හේතුවන්නේ නැත.
විශ්වාසභංග යෝජනාව ආශ්රයෙන් මතුවී තිබෙන අර්බුදය බලහත්කාරයෙන් හෝ සටකපටකමෙන් ජයගැනීමට ජනාධිපතිනිය සමත් වුවත් ඒ නිසා ඇතිවී තිබෙන අර්බුදය තව තව උග්ර තත්ත්වයකට පත්වනවා මිස සමනය වීමක් සිදුවන්නේ නැත. ඒ සියල්ලෙහි අවසාන ප්රතිඵලය වනු ඇත්තේ නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යාම නම් එහි ප්රතිඵලය වනු ඇත්තේ ද ආණ්ඩුව වඩා විශාල අර්බුදයකට තල්ලු වීමය. ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයකින් පරාජය වුවහොත් ජනාධිපති ක්රමය හා පාර්ලිමේන්තුව අතර වඩා විශාල අරගලයක් මතුවන්නේය. පාර්ලිමේන්තු මැතිවරණයකින් ආණ්ඩුව පරාජය වුවහොත් එය ජනාධිපතිනියට ලැබී තිබෙන ජනවරම කෙරෙහි ද නිශේධනාත්මක ආකාරයකින් බලපායි. අනෙක් අතට මැතිවරණයක් ජනතාව ක්රියාකාරි දේශපාලන කරළියකට ගැනීමක් සිදුවේ. ඒ නිසා මැතිවරණයකින් ජය ලබන පක්ෂයක් ඊළග වටයේදි ජනාධිපති ක්රමයට එරෙහිව නැගී සිටිනු ඇත්තේ ක්රියාකාරි මහජන බලවේගයක් ද පසුබිමේ තබාගෙනය.
මේ අර්බුදය ආණ්ඩුවට පමණක් නොව, විපක්ෂයට ද තීරණාත්මකය. විශේෂයෙන්ම විපක්ෂයේ ප්රධාන පක්ෂය වී සිටින එජාපයට තීරණාත්මකය. සිය පැවැත්ම රැකගැනීමට ආණ්ඩුව සමත් වෙතොත්, ඒ නිසා එජාපය තුළ අතිවිශාල පරාජිත හැගීමක් ඇතිවී එම පක්ෂය වඩා බෙලහීන තත්ත්වයකට පත්වීම ද නොවැළැක්විය හැකිය.