කටුනායක ප්රහාරය, තිබුණු දුර්වල ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් ඇති කිරීමට හේතුවී ඇතත්, එහි ඇති බරපතලකම ගැන බල අරගලය තුළ සිටින දේශපාලන පක්ෂවලටවත් එම අරගලයේ කොටස්කරුවන් ලෙස ක්රියාකරමින් සිටින මහජනතාවටත් හරි අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත. ඒ සියලු දෙනාගේ හැසිරිම ජලය නටන තෙක් දිය හැළියේ නටන කකුළුවාගේ රගපෑමට සමානය. රටේ ආර්ථිකය මුළුමණින් බිඳ වැටෙන තැනකට ගෙන ඒමට තවත් ඒ වර්ගයේ පහරදිම් කිහිපයක් අවශ්යවන්නේ නැත. අවශ්ය වනු ඇත්තේ තවත් එවැනි එක් පහරදිමක් පමණය.
මෙවැනි විශේෂ තත්ත්වයක් ඉදිරියේ අඩපණ වී තිබෙන ආර්ථික යන්ත්රයේ ක්රියාකාරිත්වය නැවත ශක්තිමත් තත්ත්වයකට ගැනීම සඳහා ඒ කෙරෙහි මුළු බර යොදා ක්රියා කිරීම අත්යවශ්ය වුවත් රටේ පවතින දේශපාලන අර්බුදය විසින් රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇති කිරීමට හේතුවී තිබෙන තත්ත්වයක් ඉදිරියේ රජයේ අවධානය ඒ කෙරෙහි යොමු නොවන තත්ත්වයක් පවති. එම තත්ත්වය නැවත රටේ පවත්නා ආර්ථිකය කඩා වැටීම වේගවත් කිරීමට හේතුවී තිබේ.
දැන් ඇතිවී තිබෙන අස්ථාවරභාවයට මූලික හේතුව විරුද්ධ පක්ෂය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොලැබෙන ලෙස ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුවේ සැසි වාරය කල් දැමීමය. එවැනි හිතුවක්කාරි පිළිවෙත් අනුගමනය නොකොට විශ්වාසභංගය විවාදයට ගැනීමට ඉඩ හැරියේ නම් ඉන් ආණ්ඩුව පරාජය වුවත් ප්රතිසංස්කරණ ඉල්ලීම් සපුරා ගැනීමේ සීමිත අරමුණ සඳහා වුවත් තාවකාලික පදනමකින් හෝ නව විකල්ප ආණ්ඩුවක් ඇතිවී රට දේශපාලන වශයෙන් ද, ස්ථාවර තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි. ජනාධිපතිනිය පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තබන ලද සම්ප්රදාය විරෝධී ස්වරූපය සලකා හා රටේ පැවති විශේෂ තත්ත්වය සලකා පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාවක් කථානායකවරයාට තිබුණත්, එහිදී කථානායකවරයා පාර්ලිමේන්තුවේ ගෞරවයට වඩා සිය සොහොයුරියගේ පැවැත්ම වැදගත් කොට සලකන තත්ත්වයක් ඉදිරියේ ඒ යුතුකම ඉටුකිරිමෙන් වැළකී සිටියේය. ඉන්පසු අවශ්ය නම් පාර්ලිමේන්තුවේ බහුතර පිරිසකට පාර්ලිමේන්තුවට ඇතුළු වී නව කථානායකවරයකු තෝරා පත්කර ගනිමින් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාවක් තිබුණත්, ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළ කට්ටිවාදි පිළිවෙත නිසා ඊට තිබුණු හැකියාව ද වැළකුණි.
කල් දමන ලද ජනමත විචාරණය වෙනුවෙන් පමණක් විනාශ කළ මහජන මුදල් ප්රමාණය රුපියල් කෝටි 10කටත් වැඩිය. ජනාධිපතිනිය ජනමත විචාරණය අවලංගු කරනවා වෙනුවට කල් දෑමුවාය. ඒ සමග වහාම ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් ජනාධිපතිනියට තිබුණත් ඇය එය ද ඉටු නොකළාය. ඒ වෙනුවට කියන්නේ සැප්තැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවය. ඉන්පසු ඇය කරන්නට යන්නේ කුමක් ද යන්න ද නොපැහැදිලිය. සමහරවිට නැවත පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දමා පාර්ලිමේන්තුවට අවුරුද්දක් සම්පූර්ණ වීමත් සමග පාර්ලිමේන්තුව විසුරුවා හරින පිළිවෙතකට ඇය යොමුවිය හැකිය. එහි තේරුම වනු ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයකින් ආණ්ඩුවක් තෝරාපත් කරගැනීමේ ක්රියාවලිය අවසන් වන තෙක් පවතින දේශපාලන අස්ථාවරභාවය ද තවදුරටත් පවතිනු ඇති බවය. එවැනි ක්රියාමාර්ගයක් මගින් ආණ්ඩුවක් තෝරාපත් කර ගැනීමට හැකිවනු ඇත්තේ දෙසැම්බර් මැද දි පමණය. මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය ජය ලැබුව හොත් ජනාධිපතිනිය හා පාර්ලිමේන්තුව අතර නැවත ගැටුමක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇති අතර, එම ගැටුම ද අවසන් කොට ස්ථාවර තත්ත්වයක් හිමිකර ගැනීම සඳහා මාස 05ක් තරම් කාලයක් ගතවනු ඇතැයි උපකල්පනය කළ හැකිය. එහි තේරුම වනු ඇත්තේ තවත් මාස 05ක් තරම් කාලයක් නිසි පාලනයකින් තොරව ජීවත්වීමට රටට සිදුවනු ඇති බවය. එම කාලය තුළ ආර්ථිකයේ බිඳ වැටීම දෙගුණ තෙගුණ වීම නොවැළැක්විය හැකිය.
රටට අවශ්ය කරන ප්රතිසංස්කරණ සඳහා මේ අවස්ථාවේදි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර පොදු එකගතාවක් ඇති කරගනිමින් ඒවා නීතිගත කිරීම සඳහා ක්රියා නොකරන්නේ නම්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇතිවන ආණ්ඩුවක් එවැනි ප්රතිසංස්කරණ සඳහා ක්රියා කරනු ඇතැයි සිතිය නොහැකිය. ඒ සඳහා තිබුණු හැකියාව ජනතා විමුක්ති පෙරමුණ අවුල් කළේය. විරුද්ධ පක්ෂය තුළ ඒ සඳහා තිබුණු නැඹුරුව ශක්තිමත් කරමින් ප්රතිසංස්කරණ සඳහා වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙත රට තල්ලු කරනවා වෙනුවට ආණ්ඩු පක්ෂයට සහාය දෙන ක්රියාමාර්ගයක් මගින් ඒ අරමුණ කට්ටිවාදි ආකාරයකින් ඉටුකර ගන්නට ජවි පෙරමුණ දරන ලද උත්සාහය ඒ සඳහා වන සමස්ත වැඩපිළිවෙළම අවුල් කිරීමට හේතුවිය. එහෙත් කවදා හෝ එම ප්රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට නොහැකිවීමේ අවාසිය වැඩියෙන්ම භුක්ති විඳින්නට සිදුවනු ඇත්තේ ද ජනතා විමුක්ති පෙරමුණටමය.
පොදු පෙරමුණ සිහි බුද්ධියක් ඇති ආණ්ඩුවක් වී නම්, තමන්ට හිමි බලය අහිමිවන තත්ත්වයකට තමන් පත්ව සිටින බව තේරුම් ගනිමින් අනුන්ගේ ආරක්ෂාව සඳහා නොව, තමන්ගේ මතු ආරක්ෂාව සඳහා මෙම ප්රතිසංස්කරණ නීතිගත කරවා ගැනීමට ඉඩදෙන ප්රතිපත්තියක් අනුගමනය කළ යුතුව තිබුණි. එවැනි ප්රතිසංස්කරණ රටට අතිරේකව වාසිදායක වනුයේ බලයේ සිටින ආණ්ඩුවලට නොව විපක්ෂවලටය. එජාපය බලයට එන්නේ විධායක ජනාධිපති ක්රමය ප්රතිසංස්කරණය කරමින් හා ඉතා වැදගත් හැම අංශයක් කෙරෙහිම බලපාන ආකාරයට ගොඩ නගනු ලබන ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ඇති කෙරුණු පසුබිමක නම්, එමගින් විවරවන ප්රජාතන්ත්රවාදී ඉඩ ප්රස්ථා වාසිදායක වනු ඇත්තේ ද ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂ ව්යාපාරවලටය.
ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සඳහා මේ මොහොතේ එකගතාවක් ඇති කරගැනීමට ආණ්ඩු පක්ෂය සමත් නොවේ නම්, විරුද්ධ පක්ෂය බලයට පත්වූ පසු පොදු පෙරමුණට ඒ වෙනුවෙන් කර්ළු සලන්නට සිදුවනු නොවැළැක්විය හැකිය.
රටේ ඇතිවෙමින් තිබෙන ආර්ථික කඩා වැටීම ඉදිරියේ ජනාධිපතිනිය වහා පාර්ලිමේන්තුව කැඳවා රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය අහෝසි කිරීමට හේතුවන ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමේ අවස්ථාව පාර්ලිමේන්තුවට ලබාදිය යුතුය. ජනාධිපතිනිය එසේ නොකරන්නේ නම්, ජනාධිපතිනියගේ හිතුවක්කාරි ක්රියාකලාපය පරාජය කරමින් ඒ අරමුණ වෙනුවෙන් ඉදිරියට යෑමේ හැකියාවක් විරුද්ධ පක්ෂ ව්යාපාරවලට තිබිය යුතුය. එහෙත් එසේ සිදු නොවී මේ අර්බුදය විසඳෙන්නට ඉඩ හරින්නට යන්නේ ප්රතිසංස්කරණ ඇති කිරීමකින් තොරව පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයක් මගින් නම් ඒ සඳහා අවශ්ය වන දිර්ඝ කාල පරාසය තුළ කඩා වැටෙමින් තිබෙන ආර්ථිකය කුණු වෙන තත්ත්වයකට ඇද වැටීම නොවැළැක්විය හැකිය. එය ඇති කරන නරක ප්රතිවිපාක සමාජය කෙරෙහි පමණක් නොව, සියලු දේශපාලන පක්ෂ කෙරෙහි ද බලපානු නොවැළැක්විය හැකිය.