රටේ අනාගතය තීරණය කෙරෙන ප්‍රධාන සාධකය වන්නේ අධ්‍යාපනයයි. රටේ පවතින දූෂිත හා අධම දේශපාලන ක්‍රමය අන් හැම අංශයක් කෙරෙහි සේ ම, අධ්‍යාපනය කෙරෙහි ද බලපා ඇත්තේ විනාශකාරී ලෙසය. මෙම දූෂිත දේශපාලන ක්‍රම කරළියට එන්නට පෙර ප්‍රගතිය කරා ඉදිරියට යමින් තිබුණු එක් වැදගත්ම අංශයක් වූයේ අධ්‍යාපනයයි. විධායක ජනාධිපති ක්‍රමය නමැති දේශපාලන ක්රමයේ ග්‍රහණයට හසුවීමෙන් පසු එය වේගයෙන් පරිහානිය කරා යන දේශපාලන ක්රමයේ ගරා හැලීමේ ප්‍රමාණයට සමානුපාතිකව වේගයෙන් ගරා හැලෙන අංශයක් බවට පත්වී තිබේ. ඕනෑම අධ්‍යාපන ක්රමයක දියුණුව හා පරිහානිය කෙරෙහි බලපාන්නේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ය. මෙම දේශපාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන දේශපාලනකරණය අධ්‍යාපනය කෙරෙහි ද විනාශකාරී ලෙස බලපා තිබේ. අධ්‍යාපන පරිපාලනයේ කොඳු නාරටිය සකස් වී ඇත්තේ සුදුස්සන්ගෙන් නොව, දේශපාලන හෙංචයියලාගෙනි. අධ්‍යාපන පරිපාලන සේවයේ 1 වැනි පන්තියේ තනතුරු සංඛ්‍යාව 200 කි. ඉන් 198 ක් ම වැඩ බලන පත්වීම්ය. එම තනතුරු දැරීමට සුදුසුකම් අය සිටියත්, දේශපාලන හා වෙනත් විවිධ හේතු නිසා ඔවුන් එම තනතුරුවලට පත්කෙරෙන්නේ නැත. අධ්‍යාපන පරිපාලනයේ මුදුණතම ඇති තනතුරුවල සිටින්නේ සුදුසුම අය නොවේ නම්, සුදුසුකම් තිබෙන අය සිටියදී ඊට අඩු සුදුසුකම් ඇති අය නම්, එය අධ්‍යාපන පරිපාලනයේ ගුණාත්මක අගය හීන කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය.
මෙම ලක්ෂණය මීට සමාන ආකාරයකින් විදුහල්පතිවරුන් කෙරෙහි ද බලපා තිබේ.
රටේ තිබෙන මුළු පාසල් සංඛ්‍යාව 9727 කි. ඉන් 50% ක්ම වැඩ බලන විදුහල්පතිවරුන්ය.
විදුහල්පති සේවයට අයත් තනතුරුවලට බඳවා ගැනීම සඳහා 1999 දී තරග විභාගයක් පවත්වා ඇතත්, එයින් සමත් වූ වැඩි පිරිසකට අද දක්වා විදුහල්පති තනතුරු ලබාදී නැත. ඉන්පසු 2006 වසරේදී විදුහල්පති සේවයේ 2, »» පන්තියට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පවත්වනු ලැබීය. එම තරග විභාගයට වැඩ බලන විදුහල්පතිවරුන් ද පෙනී සිටි අතර, ඔවුන්ට සේවයේ පළපුරුද්ද වෙනුවෙන් ලකුණු 30 ක් ලබාදී තිබියදීත් එම තරග විභාගයට පෙනී සිටි වැඩ බලන විදුහල්පතිවරුන් 4000 කටත් වැඩි සංඛ්‍යාවක් අතුරින් විභාග සමත් වී ඇත්තේ 370 ක් පමණය.
මේ ප්රශ්නයේදී දැන් ආණ්ඩුව ඉන්නේ අර්බුදයකය. වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස පත්කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ හිතවතුන්ය. එජාප යුගයේදී වැඩ බලන විදුහල්පතිවරුන් වූයේ එම ආණ්ඩු පක්ෂයේ හිතවතුන්ය. වැඩ බලන විදුහල්පතිවරුන්ට පළපුරුද්ද වෙනුවෙන් ලකුණු 30 ක් ලබාදෙන විභාගයක් පැවැත්වූයේ තමන්ට දේශපාලන වශයෙන් පක්ෂපාතී වැඩබලන විදුහල්පතිවරුන්ගේ තනතුරු ස්ථිර කිරීමට ඒ මගින් හැකිවනු ඇතැ”යි ආණ්ඩුව කල්පනා කළ නිසා විය යුතුය. පළපුරුද්දට ලකුණු 30 ක් එකතු කළ විට වැඩබලන විදුහල්පති තනතුරේ සිටින අතිවිශාල පිරිසක් තරගය පහසුවෙන් ජයගනු ඇතැ”යි ආණ්ඩුව විශ්වාස කළා විය යුතුය.
එහෙත් පුදුමයකට මෙන් එම ලකුණු 30 ක් ඇතිව පවා තරගය ජයගත හැකිවූයේ 4500 කටත් වැඩි සංඛ්‍යාවක් අතුරින් 370 දෙනෙකු පමණය.
ඔවුන් පාක්ෂිකයන් හෝ පක්ෂ ආධාරකරුවන් වන නිසා දැන් නම් අපට කරන්නට දෙයක් නැතැ”යි කියන්නට මෙම දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩුවට හැකියාවක් නැත. ඔවුන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා ඇප කැපවී ක්‍රියා කළ අය වෙති. ඔවුන්ගේ සහාය ආණ්ඩුවට ඉදිරියට ද අවශ්‍යයය. ඒ සහාය ලබාගත හැකිවන්නේ අසමත්වීම නොසලකා ඔවුන් ආරක්ෂා කරන ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීමෙන් පමණය.
ඒ සඳහා කරන්නට ඉතිරි වී තිබෙන එකම දේ ඔවුන්ගේ අසමත්වීම නොසලකා එම විභාගයෙන් සමත්වූවන් ද නොසලකා වැඩ බලන විදුහල්පතිවරුන්ගේ තනතුරු ස්ථිර කරන වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීමෙන් පමණය. අප විභාගයෙන් අසමත් වූ පසුත් ආණ්ඩුව අප රැකගත්තා යන බලවත් හැඟීම ඔවුන් තුළ ඇතිවනු ඇත්තේ එවිටය. පාක්ෂිකයන් උත්තේජනය කරන එවැනි දේවල් මේ දේශපාලන ක්රමයේ පැවැත්මට අත්‍යවශ්‍යය.
විභාගය අසමත්වීම නොසලකා වැඩ බලන විදුහල්පතිවරුන්ගේ තනතුරු ස්ථිර කරන ව්‍යාපාරයක් වෙනුවෙන් මාර්ගස්ථ ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රසිද්ධියේ පෙනී සිටින අතර, වැඩ බලන විදුහල්පතිවරුන්ගේ තනතුරු ස්ථිර කිරීම සඳහා ශ්‍රීලනිප දැඩිව පෙනී සිටින බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. එජාප ආණ්ඩුවක් බලයේ සිටියේ නම් ඔවුන් කියන දෙය ද මෙයම වනු නොවැළැක්විය හැකිය.
මෙම දේශපාලන ක්‍රමය තුළ තරග විභාග පැවැත්වෙන්නේ සුදුසුම පුද්ගලයන්ගෙන් පුරප්පාඩු පිරවීම සඳහා නොව, සාධාරණත්වය ඉටු කරන තරග විභාග ක්‍රමයක් රටේ ඇති බව පෙන්නුම් කිරීම සඳහා පමණය. පුරප්පාඩු පිරවීම සඳහා හැමතැනකම තරග විභාග පැවැත්වේ. තරග විභාග පැවැත්වීම සඳහා විශාල වියදමක් ද වැය කෙරේ. තරග විභාගවලට පෙනී සිටීම සඳහා අපේක්ෂකයන් ද සැලකිය යුතු කාලයක් හා සැලකිය යුතු වියදමක් වැය කරයි. එහෙත් බොහෝ විට තරග විභාගවල ප්‍රතිඵල ප්‍රකාශ නොකරන අතර, පුරප්පාඩුවලට තෝරා ගැනෙන්නේ ද තරග විභාගවලින් සමත්වූවන් නොව, දේශපාලන හෙංචයියන්ය. මෙම දූෂිත ක්‍රමය සුදුසුම පුද්ගලයන්ට පුරප්පාඩුවලට පත්වීමට තිබෙන හැකියාව නැති කරනවා පමණක් නොව, සුදුස්සන් සිටියදී නුසුදුසු පුද්ගලයන්ට වගකීම් ලබාදෙන ක්‍රමයක් තුළ රටේ ආර්ථික ඵලදායීතාව ද හීන කරයි.
එක් අතකින් සුදුස්සන් සිටියදී වැඩ බලන විදුහල්පතිවරුන්ගේ තනතුරු ස්ථිර කිරීමෙන් ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇතත්, එය පාසලේ අධ්‍යාපනය කෙරෙහි ඇති කරන බලපෑම ඉතාමත් විනාශකාරීය.
පාසල් අධ්‍යාපනයේදී විදුහල්පතිවරුන් ඉතා වැදගත් ප්රමුඛ භූමිකාවක් රඟපායි. ශ්‍රී ලංකාවේ අවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳව පර්යේෂණයක නියැලුණු මහාචාර්ය වික්ටෝරියා ජේ. බේකර්ගේ නිගමනයන්ට අනුව ““පාසලක ඵලදායී ක්‍රියාකාරීත්වය පිළිබඳ තීරණාත්මක හා වැදගත්ම සාධකය විදුහල්පති”” වේ. සුදුසුකම්වලින් යුතු, ප්‍රජාව කෙරෙහි ධනාත්මක ආකල්පවලින් යුතු, ශිෂ්‍යයන්ගේ ප්‍රගතිය පිළිබඳව උනන්දුවක් ඇති, අඩුවෙන් නිවාඩු ගන්නා, අන්‍යයන්ට ආදර්ශවත් වීම වැදගත් කොට සලකන, පාසල දියුණු කරගැනීමට සාමූහික ප්රයත්නයක යෙදෙන්නට උනන්දුවක් ඇති විදුහල්පතිවරයෙකුට අවාසිදායක වටාපිටාවක ඇති නොදියුණු හා අසාර්ථක පාසලක් වුවද දියුණු හා සාර්ථක පාසල් බවට හැරවිය හැකිය.
ජනප්‍රිය පාසල්වල විදුහල්පති තනතුරේ පුරප්පාඩුවක් ඇතිවූ විට එය පිරවීම සඳහා අනුගමනය කෙරෙන ක්රමයේ විකාරරූපී ස්වරූපය වඩා හොඳින් පෙන්නුම් කරන තවත් නිදර්ශනයක් මෙසේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති තනතුරේ ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා ස්වාධීන කමිටුවක් මගින් සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලැබීය. එම පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගත් පුද්ගලයා වූයේ කැලණියේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති නිමල් ජයවීර මහතාය. සම්මුඛ පරීක්ෂණයෙන් පසුව නිමල් ජයවීර මහතා අදාළ තනතුරට පත් කරන ලෙසට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද අධ්‍යාපන අමාත්‍යාංශයට නියම කළේය. තමන්ට ලැබෙන්නට නියමිත විදුහල්පති නාමධාරී විදුහලක විදුහල්පතිවරයෙකු නොවීම නිසාදෝ විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය මෙම පත්කිරීමට එරෙහිව නැගී සිටියේය. පුදුමයකට මෙන් ඔවුන්ගෙන් එල්ල වූ විරෝධය නිසා අධ්‍යාපන අමාත්‍යාංශය ද මෙම පත්වීමට එරෙහිව යමින් නිමල් ජයවීර මහතාගේ පත්වීම අත්හිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය. අවසානයේ කොමිෂන් සභාව ද එම ඉල්ලීමට එකඟ විය. අවසානයේදී සුදුසුම පුද්ගලයා තෝරා ගැනීම සඳහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණය නොවැදගත් දෙයක් බවට පත්විය.
මේ යන ගමනේ කෙළවර කොතැනද?