අධිකරණය හා විධායකය

October 29, 2026
Publication:
The longest piece in this stretch, and the one to read before the others about the courts. Ivan traces the separation of powers as the 1978 constitution pretends to it, the impeachment of Neville Samarakoon, what judicial independence meant under Parinda Ranasinghe and G.P.S. de Silva, the campaign against the courts, the Sarath N. Silva era and its moral decline, and what the country actually needs from a court.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ පටු දේශපාලන අභිලාසයන් සපුරා ගැනීම සඳහා නිර්මාණය කළ දේශපාලන ක්‍රමය කුණුවී මජර ගලන තත්ත්වයකට පත්ව තිබෙන බව පැහැදිලිය. දේශපාලන පක්ෂ ද ඇතුළු සමාජය ද මෙම ක්‍රමය තුළ තිබුණු නොගැළපීම් ඉවත් කොට ක්‍රමය ක්‍රමවත් කරගැනීමේ උත්සාහයක නොයෙදී ක්‍රමය කුණුවෙන්නට ඉඩ හැරීම නිසා දැන් ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට කුණුවූ තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. අධිකරණය හා විධායකය අතර මතුවී තිබෙන ගැටුම දේශපාලන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදයේම තවත් ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකිය.

ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කළ දේශපාලන ක්‍රමය තුළ ද ඇමරිකානු දේශපාලන ක්‍රමය තුළ දක්නට ලැබෙන බල බෙදීමක් බාහිර වශයෙන් පෙනෙන්නට ඇතත්, එම බල බෙදීම සිදුකර ඇත්තේ ඇමරිකාවේ මෙන් ප්‍රධාන අංශ තුනම (ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය) එකිනෙකට යටත් නොවී ස්වාධීනව ක්‍රියා කළ හැකි ආකාරයට නොව, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විධායකයට යටත් තත්ත්වයකින් ක්‍රියාකළ යුතු ආකාරයටය.

බල බෙදීම

ඇමරිකන් ජනාධිපතිවරයාගේ නිල කාලය නිශ්චිත වන අතර, ඔහු කොංග්‍රස් සභාවට වගකිවයුතු නැත. ඇමරිකන් ජනාධිපතිට කොංග්‍රස් සැසිවාරයක් අවසන් කිරීමට හෝ කොංග්‍රසය විසුරුවා හැරීමට නොහැකි බැවින් කොංග්‍රසය ද ජනාධිපතිගේ බලපෑමෙන් තොරය. ඇමරිකන් සන්ධීය අධිකරණය ද විධායකයේ මෙන්ම ව්‍යවස්ථාදයකයෙන් ස්වාධීනය. ඉතාමත් දුෂ්කර දෝෂාභියෝග ක්‍රියාවලියක් විනා ශ්‍රේෂ්ඨාධිකරණයේ කිසිදු විනිසුරුවරයෙකු තනතුරෙන් පහකිරීමේ බලය විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට නැත. කොංග්‍රසය සම්මත කරගන්නා නීති හෝ ජනාධිපතිගේ නියෝග ව්‍යවස්ථාවට පටහැනි වන අවස්ථාවලදී එම නීති, නියෝග හෝ ක්‍රියාකාරකම් බලරහිත කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.

එහෙත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිට පාර්ලිමේන්තු සැසි වාරයක් අවසන් කිරීමේ බලය හා පාර්ලිමේන්තුවක නිල කාලයෙන් වසරක් සම්පූර්ණවීමෙන් පසු එය විසුරුවා හැරීමේ බලය ද සතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කරන්නේ ජනාධිපතිවරයාය. අගවිනිසුරුවරයා පත් කරන්නේ ද ජනාධිපතිවරයාය. ජනාධිපති නීතියට ඉහළින් සිටින නිසා ජනාධිපති කෙරෙහි වන පාලන බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේම නැති තරම්ය. බල පිරමීඩය තුළ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා ඉහළින් සිටින තත්ත්වයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ක්‍රියාකරන්නට සිදුවී තිබෙන්නේ ජනාධිපති කෙරෙහි ඇති කරගන්නා යටහත් පහත් ආකල්පයකින් යුතුවය. තමන් නොකැමති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දෝෂාභියෝගයක් මගින් පහකිරීමේ බලය ජනාධිපති සතුය. දෝෂාභියෝග විධි විධාන සකස් කර ඇත්තේ ද සියලුදෙනා සඳහා බලපාන එක ආකාරයකට නොව දෙයාකාරයකටය.

දෝෂාභියෝගය

ජනාධිපතිවරයෙකු දෝෂාභියෝගයකින් පහකිරීමට පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක අනුමැතියකට අතිරේකව ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ද ලැබිය යුතුය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු පහකිරීමට අවශ්‍යවන්නේ පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියක් පමණය. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වනවාට අතිරේකව බොහෝවිට ආණ්ඩු පක්ෂ නායකයා ද වන නිසා තමන් අකැමති විනිසුරුවරයෙකු දෝෂාභියෝගයක් මගින් පහකිරීම දුෂ්කර කරුණක් වන්නේ නැත. අනෙක් අතට පාර්ලිමේන්තු සැසිවාර අවසන් කිරීමේ බලය හා අවුරුද්දක් සම්පූර්ණ වූ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමේ බලය ජනාධිපති සතු වන නිසා තමන් කැමති විනිසුරුවරයෙකු දෝෂාභියෝගයකදී වුවත් ආරක්ෂා කරගැනීමේ බලය ද ජනාධිපති සතුය.

ශ්‍රී ලංකාවේ මෙන් නොව, දෝෂාභියෝග විධිවිධාන සම්බන්ධයෙන් ඇමරිකාවේ ඇත්තේ සියලුදෙනාම සඳහා වන එක පොදු ක්‍රමයකි. ජනාධිපතිවරයාට කියා එක ක්‍රමයකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට කියා තවත් ක්‍රමයකුත් යනාදී වශයෙන් වන ක්‍රම දෙකක් නැත. ජනාධිපතිවරයෙකුට හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයකදී උත්තර මන්ත්‍රී මණ්ඩලය දෝෂාභියෝගය විභාග කරන අධිකරණයක් ලෙස ක්‍රියා කරයි. එම සභාවේ මුලසුන හොබවන්නේ අගවිනිසුරුවරයාය. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් තුනෙන් දෙකක ඡන්දයෙන් දෝෂාභියෝගයක් සම්මත කළ හැකිය.

ඇමරිකානු දේශපාලන ක්‍රමය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යුහගත කර ඇත්තේ ඊට ස්වාධීනව ක්‍රියාකළ හැකි ආකාරයටය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යුහගත කර ඇත්තේ විධායකය මත රඳා පැවතිය යුතු හා ඒ නිසා විධායකයට පක්ෂපාතව ක්‍රියාකළ යුතු ආකාරයටය. මෙම බල ආයතන දෙක ගැටුම් ඇති කරගත් අවස්ථා ඇතත්, ඒ හැම ගැටුමකම විධායකය අවසාන ජයග්‍රාහකයා විය.

ජනාධිපති කොතරම් බලවත් වුවත් ජනාධිපතිට පාර්ලිමේන්තුවේ අනුග්‍රහය නැතිව පැවතිය නොහැකිවා සේ ම අධිකරණයේ අනුමැතිය නැතිව ද පැවතිය නොහැකිය.

ජනාධිපතිවරයෙකුට එරෙහිව එල්ල වන දෝෂාභියෝගයකදී ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන තීරකයා ලෙස ක්‍රියා කරයි. ජනාධිපතිවරයෙකුට එරෙහිව එල්ල වන දෝෂාභියෝගයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලැබෙන අවස්ථාවකදී පවා ඊට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය නොලැබතොත් එම දෝෂාභියෝගය බලරහිත බවට පත්වේ. එසේම තේරී පත්වූ ජනාධිපතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් වන ඡන්ද පෙත්සමක් විභාග කරන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණයයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න සොයා බලා තීරණය කිරීමේ වගකීම සේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ බලය ද ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.

ඒ නිසා ඇතිවිය හැකි කරදර අවම කරගැනීම සඳහා අධිකරණය තමන්ට අවනතව ක්‍රියාකරන තත්ත්වයක තබාගැනීමට මෙම දේශපාලන ක්‍රමය තුළ හැම ජනාධිපතිවරයෙකුම පෙළඹවීම නොවැළැක්විය හැකි තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. මෙම දේශපාලන ක්‍රමය තුළ විධායක ජනාධිපති නීතියට ඉහළින් සිටින නිසාත්, බලයට පත්වන හැම ජනාධිපතිවරයෙක්ම සිරිතක් වශයෙන් නිල කාල දෙකක් බලයේ සිටින නිසාත්, සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විධායකය සමග ගැටුම් ඇතිකර ගැනීමට කැමතිවන්නේ ද නැත.

දැන් මෙම මූලික කාරණා සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් විධායකය සමග ඇති කරගෙන තිබෙන ගැටුම සලකා බැලිය හැකිය.

නෙවිල් සමරකෝන්

ජේ.ආර්. ජයවර්ධන සිය ව්‍යවස්ථාව සකස් කළේ 163 වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ ධුර දරමින් සිටි සියලුම විනිශ්චයකාරවරුන්ගේ ධුර ස්වයංක්‍රීය ලෙස අහෝසි වන ආකාරයටය. ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වන අවස්ථාව වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 19 දෙනෙකුගෙන් ද, මහාධිකරණ විනිසුරුවරුන් 17 දෙනෙකුගෙන් ද සමන්විත විය. නව ව්‍යවස්ථාව මගින් එම සංයුතිය වෙනස් කළේය. නව ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සමන්විත වූයේ අගවිනිසුරුවරයාගෙන්ද ඊට අතිරේක වශයෙන් සයදෙනෙකුට නොඅඩු සහ දසදෙනෙකුට නොවැඩි විනිශ්චයකාරවරුන් සංඛ්‍යාවකිනි. නව ව්‍යවස්ථාවෙන් අභියාචනාධිකරණයක් පිහිටුවන ලද අතර, එය සභාපතිවරයාගෙන් හා වෙනත් විනිශ්චයකාවරුන් 6 දෙනෙකුට නොඅඩු 11 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය. මහාධිකරණයේ සංයුතිය ද 14 දක්වා අඩු කරන ලදි.

සංයුතිය වෙනස් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද පත්කිරීම්වලදී පත් කරන ලද්දේ ව්‍යවස්ථාවේ සඳහන් උපරිම සංඛ්‍යාව නොව, අවම සංඛ්‍යාවය. ඒ මගින් තමන් අකමැති විනිසුරුවරුන් පලවා හැරීමටත්, තමන් කැමති විනිසුරුවරුන් ඉහළ තනතුරුවලට පත්කරවා ගැනීමටත් එය අවස්ථාවක් කර ගත්තේය. අලුතෙන් පත්වීම් ලබා නොදීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පලවා හරින ලද විනිසුරුවරුන් සංඛ්‍යාව 8 කි. තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතරදෙනෙකුගේ ධුර පහත හෙලුවේය. මහාධිකරණ යෙන් ද විනිසුරුවරුන් පස්දෙනෙකු ද ඉවත් කළේය. ඇති කරන ලද නව සංයුතිය හා පැරණි සංයුතිය අතර සංඛ්‍යාත්මක පරතරයක් වී නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට ව්‍යවස්ථාවේ සඳහන් අවම සංඛ්‍යාව වෙනුවට උපරිම සංඛ්‍යාව ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙල අනුව පත් කරන ක්‍රමයක් මගින් ඒ ගැටලුව සරලව විසඳාගත හැකිව තිබුණේය. එහෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය වූයේ එවැන්නක් නොව ඉහළ අධිකරණය මුළුමනින් තමන්ට පක්ෂපාත විශ්වාසවන්ත අයගෙන් පුරවා ගැනීමය. අගවිනිසුරු ධුරයට තෝරා පත් කරගත්තේ ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා නොව කෙදිනකවත් විනිශ්චයකාර පදවියක් නොදරන ලද තමන්ගේ පෞද්ගලික හිතවතකු වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙවිල් සමරකෝන් මහතාය. නෙවිල් සමරකෝන් මහතා එම තනතුරට පත්වීමත් සමග ජනාධිපති සමග තිබුණු පෞද්ගලික මිත්‍රත්වය අමතක කොට තනුරේ හා අධිකරණයේ ගෞරවය පිණිස ක්‍රියා කළේය. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය නව ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාජිකයන් ප්‍රථම වරට රැස්වූ අවස්ථාවේදී ඔහු විසින් කරන ලද කතාවය. පැරණි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවාන්විත භූමිදානයක් හා ශිෂ්ටසම්පන්න අවමංගල්‍ය උත්සවයක් කිරීමක් අපේක්ෂා කළ ද එවැන්නක් සිදුනොවූ බව ප්‍රකාශ කරමින් අනාගතයේ සිදුවිය හැක්කේ කුමක්ද යන්න තමාට කිව නොහැකි බව ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය.

අධිකරණ සංයුතියේ ඇති කර තිබුණු මහා වෙනස්කම් මැද අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරන නිර්භීත පිළිවෙතක් අනුගමනය නොකරන්නට අධිකරණයේ ගෞරවය හා විශ්වාසය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයක් පවා ඇතිවන්නට ඉඩ තිබුණි. නෙවිල් සමරකෝන් මහතාට ගනුදෙනු කරන්නට සිදුවූයේ මෙම දූෂිත දේශපාලන ක්‍රමය නිර්මාණය කළ අතිවිශාල බලයක් සහිත හා ඒ බලය මහත් උද්ධච්චභාවයකින් ප්‍රදර්ශනය කළ ජනාධිපතිවරයෙක් සමගය.

නෙවිල් සමරකෝන් මහතාගේ යුගයේදී නෙවිල් සමරකෝන් මහතා හෝ අධිකරණය විධායකය සමග ගැටුම් ඇති කරගන්නා තත්ත්වයකට ගියේයැ”යි කිව නොහැකිය. ඒ වෙනුවට සිදුවූයේ එහි අනෙක් පැත්තය. එනම් විධායකය නෙවිල් සමරකෝන් මහතා හා අධිකරණය සමග ගැටුම් ඇතිකර ගන්නා තත්ත්වයකට යෑමය.

ඒ යුගයේදී ගොඩනැගී තිබුණු දූෂිත දේශපාලන ක්‍රමය තුළ උපරිම ලෙස තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම ඉටු කරන තත්ත්වයකින් අධිකරණය ක්‍රියාකළේයැ”යි කිව හැකිය.

අධිකරණයේ ස්වාධීනත්වය

සිරිමා බණ්ඩාරනායකගේ හා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ අරමුණින් පිහිටුවා තිබූ විශේෂ ජනාධිපති කොමිසමේ වලංගුභාවය සිරිමා බණ්ඩාරනායක විසින් අභියෝගයට ලක් කළ අවස්ථාවේදී ඇගේ අභියෝගයේ නීත්‍යානුකූලභාවය සඳහා ඇයට පක්ෂපාතව තීන්දුවක් දීමට අභියාචනාධිකරණය මැලි නොවීය. ආණ්ඩුව එම තීන්දුවට ගරු නොකිරීම වෙනම කාරණයකි. ඉන්පසු එම ජනාධිපති කොමිසමේ විනිශ්චයකාරවරුන් (වීරරත්න, ශර්වානන්ද හා අලස්) වලංගුභාවය අභියෝගයට ලක්කරමින් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අවස්ථාවේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට පක්ෂපාතව තීන්දුවක් දීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැලි නොවීය. ෆීලික්ස්ගේ එම පෙත්සම විභාග කළ විනිසුරුවරුන් තිදෙනා අතර අගවිනිසුරුද වූයේය. කලවානෙන් තේරී පත්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගේ අසුන ඡන්ද පෙත්සමකින් අහිමිවීමෙන් පසුත් ඔහු පත් කළ මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් ඇතිව තිබූ අර්බුදයේදී කලවාන ආසනයට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නියෝජනය කිරීමට ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩු පක්ෂය දරන ලද හාස්‍යජනක හා සාහසික උත්සාහයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේය. එම නිර්භීතභාවය ශ්‍රේෂ්ඨාධිකරණයට නොතිබෙන්නට එදා මුළු පාර්ලිමේන්තුවම හාස්‍යජනක විගඩමක් බවට පත්වන්නට ඉඩ තිබුණි. දරමිටිපොළ රතනසාර හිමියන්ගේ හා විවියන් ගුණවර්ධනගේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු නෙවිල් සමරකෝන් අධිකරණ පාලන යුගය තුළ බාධක මැද වුවත්, අධිකරණය සිය ස්වාධීනත්වය පෙන්නුම් කළ වැදගත් අවස්ථා ලෙස සැලකිය හැකිය.

ඒ යුගයේදී අධිකරණය අතින් රටට සිදුවූ ලොකුම වරද ලෙස සැලකිය හැක්කේ ජනමතවිචාරණයට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවයි. එහෙත් එය ඒකමතික තීරණයක් නොවීය. හතරවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හා විවේකානන්දන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාග වූයේ හත්දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. විනිශ්චයකරුවන් හතරදෙනෙකු සංශෝධනයට පක්ෂපාත වන විට අගවිනිසුරු නෙවිල් සමරකෝන් ඇතුළු විනිශ්චයකරුවන් තිදෙනෙකු එම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කළේය. එම තත්ත්වය වර්තමානයේ අධිකරණයේ පවතින වටාපිටාවට වඩා කොතරම් වෙනස්ද? එදා ව්‍යවස්ථාමය වැදගත්කමක් ඇති නඩු තුන්දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට නොගත්තේය. එවැනි නඩු විභාගයට ගත්තේ ජේ්‍යෂ්ඨත්වයේ අනුපිළිවෙල අනුව පත්කළ පස්දෙනෙකුගේ හෝ හත්දෙනෙකුගේ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය. වර්තමානයේ නම් අගවිනිසුරු ඇතුළත් විනිශ්චය මණ්ඩලවලදී දෙනු ලබන තීන්දු බොහෝ විට ඒකමතික වේ. හතරවැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තීන්දුවේදී අගවිනිසුරුවරයා ඇතුළත් වූයේ සුළුතරයේ තීන්දුවටය. අගවිනිසුරුවරයා සිතන ආකාරයට වෙනස් විධියට සිතීමේ හා ක්‍රියාකිරීමේ නිදහසක් එකල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බුක්ති විඳි බව ඉන් පෙනී යයි.

අධිකරණයට එරෙහිව

අගවිනිසුරු නෙවිල් සමරකෝන් ප්‍රසිද්ධ උත්සවයකදී කරන ලද කතාවක් ඔහුට එරෙහිව දෝෂාභිගෝයක් ඉදිරිපත් කිරීමට තරම් බරපතළ හේතුවක් බවට පත් කරනු ලැබූවත් අද අගවිනිසුරුවරයා ප්‍රසිද්ධ උත්සවවලදී කරන කතා දෙස බලන විට නෙවිල් සමරකෝන් කරන ලද කතාව කුමක්දැ”යි සිතෙන්නේය. අගවිනිසුරු නෙවිල් සමරකෝන් පදවියෙන් පහකිරීම සඳහා ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූයේ එම කතාව නිසා නොව, පසු කලක ශ්‍රේෂ්ඨාධිකරණයේ සී. විග්නේශ්වරන් විනිසුරුවරයා හෙළිදරව් කර තිබෙන ආකාරයට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන්ට වැදගත් වන නඩුවක් සඳහා තමන් කැමති විනිශ්චය මණ්ඩලයක් ලබාදීමට නෙවිල් සමරකෝන් මහතා එකඟ නොවීම නිසාය.

නෙවිල් සමරකෝන් මහතාගේ යුගයේදී අධිකරණයට විධායකය සමග රණ්ඩු කරන තැනකට නොගියේය. එහෙත් අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය පෙන්නුම් කෙරෙන ආකාරයේ භාවිතයක් පවත්වාගෙන ගිය අතර, එම භාවිතය නොරිස්සූ විධායකය අධිකරණය සමග රණ්ඩු කරන තැනකට ගියේය.

පොලිස් අධිකාරි ප්‍රේමදාස උඩුගම්පොළට එරෙහිව දරමිටිපොළ රතනසාර හිමි පවරන ලද නඩුවෙන් ප්‍රේමදාස උඩුගම්පොළ වැරදිකරු කිරීමෙන් පසු එම තීන්දුව ප්‍රකාශයට පත් කළ වහාම ආණ්ඩුව ඔහුට එරෙහිව නියම කර තිබූ දඩ මුදල ආණ්ඩුවේ අරමුදලෙන් ගෙව්වා පමණක් නොව, පොලිස් අධිකාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්වීමක් ද ලබා දුන්නේය. විවියන් ගුණවර්ධන පෙත්සමේදී ද වරදකරු වූ පොලිස් ස්ථානාධිපති ෆෝස්ටර් පෙරේරාට නියම කරන ලද දඩය ආණ්ඩුවේ අරමුදලෙන් ගෙවනවාට අතිරේකව ඔහුට උසස්වීමක් ද ලබාදෙන ලදි.

මෙම නඩු තීන්දු දුන් විනිසුරුවරුන්ට එරෙහිව මැරවරුන් ලවා උද්ඝෝෂණය කරන තත්ත්වයක් ඇති කරන ලද්දේ ඉන්පසුවය.

නෙවිල් සමරකෝන් මහතා ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් (රාජා වනසුන්දර) එම පුරප්පාඩුව පිරවූයේ නැත. එය පුරවන ලද්දේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඊට වඩා පහළ තත්ත්වයක සිටි පාරින්ද රණසිංහ මහතාගෙනි. පාරින්ද රණසිංහ මහතාගේ යුගයේදී පහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ විනය කටයුතුවලදී ගුණාත්මක අගය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි පිළිවෙතක් ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබුණි. පාලින්ද රණසිංහ මහතාගෙන් පසු අගවිනිසුරු ධුරයට පත් ජී.පී.එස්. ද සිල්වා මහතාගේ යුගයේදී කැපී පෙනෙන ප්‍රගතියක් සිදු නොවූවත් නෙවිල් සමරකෝන් යුගයේ සිට ක්‍රියාත්මක වූ ස්වාධීනත්වය ආරක්ෂා වූ බව කිව යුතුය.

සරත් නන්ද සිල්වා යුගය

අධිකරණයේ සුපුරුදු ගමන් මග වෙනස් වී අධිකරණයේ අවාසනාවන්තම යුගය එළඹෙන්නේ සරත් නන්ද සිල්වා මහතා අධිකරණ නායකයා බවට පත්වීමත් සමගය. ඒ මහතා අගවිනිසුරු ධුරයට පත් කෙරෙන අවස්ථාව වන විට නීතිපති ධුරයෙහි සිටි ඒ මහතාට එරෙහිව විෂමාචාර චෝදනා මත නීතිඥ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්ව තිබූ පැමිණිලි දෙකක් මත ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මහතාට එරෙහිව පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව පරීක්ෂණ දෙකක් පවත්වාගෙන යන අවසථාවක ඒ මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීම සුදුසු නැති බව ජනාධිපතිනියගේ නීති උපදේශක එච්.එල්. ද සිල්වා මහතාගේ සේ ම රටේ ප්‍රමුඛ නීතිඥයන් ගණනාවකගේ ද මතය වී තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාරකාර පරම් කුමාරස්වාමිගේ මතය වූයේ ද නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැමිණිලි දෙකක් විභාගවෙමින් පවතින තත්ත්වයක් තුළ එම පරීක්ෂණ අවසන් වන තෙක් නීතිපති සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කිරීම පිළිගත් මූලධර්මවලට පටහැනි බවය.

එහෙත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරියේ සරත් නන්ද සිල්වා හැර තෝරා ගැනීමට වෙනත් විකල්පයක් නොතිබුණි. ඒ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය තිබුණේ ඇයට අවශ්‍ය ලෙස නැටවිය හැකි තැනක නොවේ. පළාත් සභා මැතිවරණ හදිසි නීතිය යටතේ කල්තැබීමට ඇය ගෙන තිබූ තීන්දුවකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තින්දුවක් නිසා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඇයට සිදුවී තිබුණි. ඒ අනුව පවත්වන ලද වයඹ පළාත් සභා මැතිවරණය එළිපිට කෙරෙන ප්‍රසිද්ධ ඡන්ද මංකොල්ලයක් බවට පත්වූ අතර, වයඹ පළාත් සභා ඡන්ද පෙත්සමෙන් එම ඡන්ද මංකොල්ලයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වූ සිය ඇමතිවරුන් ගණනාවකගේ ප්‍රජා අයිතිය අහිමි කරනු ඇතැ”යි කියන බියක් ද ජනාධිපතිනිය තුළ තිබුණි. වයඹ ඡන්ද පෙත්සමෙන් පසු ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසා ඊළඟට පැවැත්වෙන පළාත් සභා මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට හා පොලිස්පතිවරයාට ලබාදී තිබූ නියෝග නිසා ඊළඟට පැවැත්වෙන පළාත් සභා මැතිවරණ සඳහා නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීමට සිදුවී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නැඹුරුව ජනාධිපතිනියගේ බලවත් සැකයට හේතුවී තිබුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට අවනතව ක්‍රියාකරන තැනකට ගැනීම සඳහා සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කිරීම අත්‍යවශ්‍යවේයැ”යි ඇය දැඩි ලෙස විශ්වාස කළාය. ඒ නිසා ඇය සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන යමින් තිබූ පරීක්ෂණ දෙක නොසලකා ඔහු පුරප්පාඩු වූ අගවිනිසුරු ධුරයට පත් කළාය.

සරත් නන්ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු ඔහු ඉතාමත් දක්ෂ ලෙස අධිකරණයේ බලය තහවුරු කොට ගත්තේය. තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන ගිය පරීක්ෂණ දෙක භූමිදානය කළේය. තමන්ගේ පත්වීමට එරෙහිව ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ද යටපත් කරමින් අඳුරු යුගයකට මුල පිරුවේය.

ගමන් මග ආපසු හැරවීම

ඒ සමග ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුව කරන ඕනෑම ක්‍රියාවක් එහි හොඳ නරක නොසලකා අනුමත කරන ආයතනයක් බවට පත්විය. ආණ්ඩුවට අදාළ හැම වැදගත් නඩුවක්ම තමා ද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගත්තේය. ව්‍යවස්ථාමය වැදගත්කමක් ඇති නඩු ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙල අනුව පුළුල් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නා සම්ප්‍රදාය අතහැර තමන් ද ඇතුළත් තිදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නා අලුත් සම්ප්‍රදායක් ඇති කොට පවත්වාගෙන ගියේය. මාර්ක් ප්‍රනාන්දු, රංජිත් අමරසිංහ, රංජිත් ධීරරත්න වැනි පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තීන්දු ගැනීමේ ක්‍රියාවලියෙන් පිටමං කළ විනිසුරුවරුන් පිරිසක් බවට පත් කළේය.

විස්තාරණය වෙමින් පැවති මූලික අයිතිවාසිකම් විෂය පථය පටු කළේය. පාලක පක්ෂයට තමන්ට කැමති ලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ හැකි වටාපිටාවක් නිර්මාණය කර දුන්නේය. එතෙක් මැතිවරණ කෙරෙහි අධිකරණය පවත්වාගෙන ගිය සුපරීක්ෂාව ද ඉවත් කළේය. මැතිවරණවලදී රජයේ ජනමාධ්‍යවලට එරෙහිව ඉදිරිපත් වන මූලික අයිතිවාසිකම් පෙත්සම් නොසලකා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ සමග පාලක පක්ෂයට මැතිවරණවලදී තමන් කැමති ආකාරයකට රජයේ ජනමාධ්‍ය හා රජයේ සම්පත් යොදාගත හැකි වටාපිටාවක් ඇති කර දුන්නේය. එළිපිට සිදු කෙරුණු ඡන්ද මංකොල්ලයක් ලෙස සැලකිය හැකි වයඹ ඡන්ද පෙත්සම නිෂ්ප්‍රභා කෙරුණු අතර, 1999 ජනාධිපතිවරණයට එරෙහිව එජාපය ඉදිරිපත් කළ ඡන්ද පෙත්සම ද ඉල්ලා අස්කර ගැනීමට එජාපයට සිදුවිය.

සදාචාරාත්මක පරිහානිය

සරත් නන්ද සිල්වාගේ යුගයට පෙර අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි අනුපිළිවෙල අනුව ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි. මෙම සම්ප්‍රදායෙන් ඉවත් වී තමන් කැමති ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින වෙනත් දෙදෙනෙකු අධිකරණ සේවා කොමිසමට පත් කරගන්නා සම්ප්‍රදායක් ක්‍රියාත්මක විය. තමන්ට අවනත නොවන විනිසුරුවරුන් අධිකරණ සේවයෙන් ඉවත් කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ශිරානි බණ්ඩාරනායක හා ටී.බී. වීරසූරිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා අධිකරණ සේවා කොමිසමෙන් ඉවත් වූයේ තමන්ගේ හිතට එකඟව වැඩ කළ හැකි පරිසරයක් අධිකරණ සේවා කොමිසම තුළ නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි. එහෙත් ඒ ඇයි ද යන ප්‍රශ්නය ගැන කිසිදු සොයා බැලීමක් සිදු නොවීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාව සිටි මාර්ක් ප්‍රනාන්දු විශ්‍රාම ගියේ විශ්‍රාම යන වයස සම්පූර්ණවීමට පෙරාතුවය. විනිසුරු සී. විග්නේශ්වරන් විශ්‍රාම ගියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව කර්කෂක හා සිත් කම්පා කරවන සුළු ප්‍රසිද්ධ විවේචනයක යෙදෙමිනි.

විනිසුරුවරුන්ගේ සදාචාරාත්මක පරිහානියේ වේගවත්ම වර්ධනය දකින්නට ලැබෙන්නේ ද මේ යුගයේදීය. නඩු කටයුතු සඳහා අල්ලස් ගන්නා විනිසුරුවරුන් ගැන දැන් නිතර නිතර අසන්නට ලැබෙන්නේය. අගවිනිසුරුවරයා තරුණ නීතිඥවරියක් සමග එක් රාත්‍රියක දියවන්නාඔය අසල නවතා තිබෙන මෝටර් රථයක සිටියදී පොලිසියේ සෝදිසියට ලක්වීමේ සිද්ධිය පාර්ලිමේන්තුවේ පවා ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් විය. මෙයට දින කිහිපයකට ඉහත දී ගැහැනියක් සමග ලිංගික හැසිරීමක යෙදෙන මහාධිකරණ විනිසුරුවරයෙකු පිළිබඳ වීඩියෝ පටයක පිටපතක් අගවිනිසුරුවරයා වෙත ලැබී අගවිනිසුරුවරයා ඒ ගැන එම මහාධිකරණ විනිසුරුවරයාගෙන් නිදහසට කරුණු විමසා එම විනිසුරුවරයාට සේවයෙන් ඉවත් වන ලෙස ඉල්ලා තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙන පුවත්පතක් වාර්තා කර තිබූ ආකාරයට මහාධිකරණ විනිසුරුවරයා එම ගැහැනිය සමග සිටින පුද්ගලයා තමා බව පිළිගනිමින් පවසා ඇත්තේ එය පෞද්ගලික ක්‍රියාවක් මිස, තමන්ගේ නඩු කටයුතුවලට අදාළ ක්‍රියාවක් නොවන බවය. ඒ නිසා තමන් තනතුරෙන් ඉල්ලා අස්නොවන බවය. මෙම මහාධිකරණ විනිසුරුවරයා අමාරුවේ දැමීමට උනන්දුවක් දක්වන ඔහු ඉදිරියේ ඇසෙන නඩුවකට සම්බන්ධ පුද්ගලයෙකු විනිසුරුවරයා වෙත ගැහැනියක යවා දෙදෙනා අතර වන හැසිරීම සූක්ෂ්ම ලෙස වීඩියෝ ගතකොට එහි පිටපත් අගවිනිසුරුවරයා අතට පත්කර තිබෙන බව පෙනේ. එම සිද්ධියෙන් පවා පෙන්නුම් කෙරෙන්නේ අධිකරණය තුළ ඇතිවී තිබෙන සදාචාරාත්මක පරිහානියේ ප්‍රමාණයයි. මෙම ප්‍රශ්නයේදී චූදිත විනිසුරුවරයා පිළිතුරු දී තිබෙන ආකාරයෙන්ම පෙනීයන්නේ මෙවැනි සදාචාරාත්මක ප්‍රශ්නවලදී ආත්ම විශ්වාසයකින් කටයුතු කිරීමේ ශක්තියක් අධිකරණ නායකයාට ද නැති බවය.

චන්ද්‍රිකා අවලංගු කිරීම

අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ අධිකරණ පාලනයේ මුල් යුගය ඉතාමත් සංක්ෂිප්ත ලෙස අර්ථ දක්වන්නේ නම්, ඔහු පළමු කොට අධිකරණය තමන්ට පක්ෂපාතව ක්‍රියා කරන ආයතනයක් බවට පත්කර ගත්තේය. එය ගිය තරම කොතරම් ද කියන්නේ නම්, අගවිනිසුරුවරයාට එරෙහිව පළමු දෝෂාභියෝගය ඉදිරිපත් වූ අවස්ථාවේදී කතානායකවරයාට එරෙහිව ද වාරණ නියෝගයක් නිකුත් කිරීමට තරම් අන්තවාදී තැනකට අධිකරණය තල්ලු විය. දෙවෙනි කොට ඔහු අධිකරණය චන්ද්‍රිකා කුමාරතුංග පාලනයට පක්ෂපාතව ක්‍රියාකරන ආයතනයක් බවට පත් කළේය. අගවිනිසුරු කොන්දේසි විරහිතව ජනාධිපතිනිය ආරක්ෂා කරන විට ජනාධිපතිනිය ද පෙරළා කොන්දේසි විරහිතව අගවිනිසුරුව ආරක්ෂා කළේය.

එහෙත් මේ දෙදෙනා අතර තිබුණු මෙම සහසම්බන්ධය ශක්තිමත් තත්ත්වයක පැවතියේ ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලයේ පස්වැනි අවුරුද්ද දක්වා පමණය. ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පදනම වශයෙන් යොදාගත යුත්තේ ප්‍රසිද්ධියේ කරන ලද පළමු දිවුරුම් දිනය ද නැතිනම් අප්‍රසිද්ධියේ කළේයැ”යි කියන දෙවැනි දිවුරුම් දිනය ද යන ප්‍රශ්නය විවාදයට හේතුවී තිබෙන අවස්ථාවක තමන් දන්නේ ප්‍රසිද්ධියේ කරන ලද දිවුරුම් දීම පමණක් වන නිසා ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කෙරෙන පදනම වශයෙන් යොදාගන්නේ ඒ දිනය බව මැතිවරණ කොමසාරිස්වරයා ඉඟි කිරීමත් සමග ජනාධිපතිනිය සිය ආරක්ෂාව සඳහා සිය මිතුරු අගවිනිසුරුවරයාගෙන් ඒ ගැන අර්ථකථනයක් ඉල්ලා සිටියාය.

ප්‍රසිද්ධියේ පළමුව කරන ලද දිවුරුම් දීමට අතිරේකව නැවත අප්‍රසිද්ධියේ දිවුරුම්දීමක් කරන ලද බව රටට ප්‍රකාශ කර තිබුණේ අගවිනිසුරුවරයාය. දෙවැනි වර දිවුරුම් දීමක් කරන ලෙස ඇයට උපදෙස් දී තිබුණේ ද අගවිනිසුරුවරයාමය.

එක් අතකින් ජනාධිපතිනිය අගවිනිසුරුගෙන් අර්ථකථනයක් ඉල්ලා සිටින විට ඒ සමග ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය මුල් කොටගෙන අගවිනිසුරුගේ හිතවත් හිමිනමක් වෙතින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් විය. අගවිනිසුරුවරයා අර්ථකථනය දීම හා මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම එකවිට කෙරෙන දෙයක් බවට පත්කර ගත්තේය.

තමාගේ මිත්‍රයා තමාව උගුලකට අසු කරගෙන සිටින බව ජනාධිපතිනියට තේරුම් යන විට විය යුතු සියල්ල ද වේගයෙන් සිදුවිය. එක තීන්දුවකින් ඇය මුළුමනින් අවලංගු දේශපාලන කාසියක් බවට පත්විය.

ජනාධිපතිනියගේ දිවුරුම්දීමේ ප්‍රශ්නයට අගවිනිසුරුවරයා අනවශ්‍ය ලෙස පැටලී සිටි තත්ත්වයක් තුළ ඒ ගැන තීරණයක් දෙන ක්‍රියාවලියෙන් පිටස්තරව සිටීමේ යුතුකමක් හා වගකීමක් අගවිනිසුරුවරයාට තිබුණි. එහෙත් අගවිනිසුරුවරයා එහිදී ඒ යුතුකම හා වගකීම ඉටු නොකළේය.

ඉන්පසු එළඹෙන මහින්ද රාජපක්ෂ පාලන යුගයේ මුල් අවුරුද්ද හෝ අවුරුදු එකහමාර අගවිනිසුරුවරයා මහින්ද රාජපක්ෂ පාලනයට සමීප හා හිතවත් පුද්ගලයෙකු ලෙස ක්‍රියා කළේය. ඉන්පසු දැන් මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කරන ජනප්‍රිය හා මහින්ද රාජපක්ෂ පාලනය හිරිවට්ටන තීන්දු දෙන භූමිකාවක් රඟපාමින් සිටී.

රාජපක්ෂ – පාලනය

මීට පෙර විරුද්ධ පක්ෂයේ වඩාත්ම විරෝධයට හේතුවී සිටි පුද්ගලයා බවට පත්ව සිටියේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාය. එජාප එක් අවස්ථාවකදී ජවිපෙ සමග ඒකාබද්ධව ද තවත් අවස්ථාවකදී තනිව ද අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝග දෙකක් ඉදිරිපත් කළේය. එම දෝෂාභියෝග දෙකෙන් ඉදිරිපත් කරන චෝදනා බරපතළය. එහෙත් පුදුමයකට මෙන් දැන් විරුද්ධ පක්ෂයේ ආශ්වාදජනක චරිතය බවට පත්ව ඇත්තේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාය.

අගවිනිසුරුගේ වර්තමාන භූමිකාව පිළිබඳව දේශපාලන තලයේ විවිධ කතා පවතී. සමහරු කියන්නේ විශ්‍රාම යෑමට ආසන්න තත්ත්වයක සිටින අගවිනිසුරු තමන්ගේ පළුදු වී තිබූ ප්‍රතිරූපය නැවත ගොඩනගා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන බවය. තවත් කතාවක් වනුයේ ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිට එරෙහිව විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වීමේ අරමුණින් ක්‍රියාකරන බවය. එජාපයෙන් හා ජවි පෙරමුණෙන් ආණ්ඩුවට එකතු වී සිටින මන්ත්‍රීවරුන් අවලංගු කරනු ඇතැ”යි කියන බියක් ද ආණ්ඩු පක්ෂය තුළ පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම අරබයා අගවිනිසුරුවරයා කෙරෙන් පළවී තිබෙන උනන්දුව ද ඒ විෂයේදී අතීතයේදී අනුගමනය කළ ප්‍රතිපත්තියට මුළුමනින් පටහැනිය. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විධිවිධාන ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා මීට පෙර අධිකරණය ඉදිරියට ගිය අයට එන්නට සිදුවූයේ අධිකරණයෙන් එල්ල වන දෝෂාරෝපණ මැද හිස් අතිනි. එහෙත් ඇතිවී තිබෙන මහා පරිවර්තනයත් සමග දැන් 17 වැනි සංශෝධනයට ඇතුළත් ප්‍රතිපාදන ක්‍රියාත්මක කරවීම සඳහා අතිවිශාල උනන්දුවකින් ක්‍රියාකරන බවක් පෙනෙන්නට තිබේ.

ඇතිවී තිබෙන මෙම වෙනස කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාද? නීතියේ පාලනයක් තිබීමේ වැදගත්කම අලුතෙන් තේරුම් ගැනීම නිසාද? නැත්නම් කිසියම් සැඟවුණු න්‍යාය පත්‍රයක් ජයගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය වේයැ”යි කල්පනා කරන නිසාද? සමහර මූලික අයිතිවාසිකම් පෙත්සම් ආශ්‍රයෙන් දී තිබෙන තීන්දු ආශ්වාදජනකය. එහෙත් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇත්දැ”යි සොයා බලන තැනකට සීමා නොවී සාධාරණ නඩු විභාගයක් අහිමි කෙරෙන ආකාරයට වඩා සංකීර්ණ ප්‍රශ්න පිළිබඳ ලබාදී තිබෙන තීන්දුවල නීත්‍යානුකූලභාවය අනාගතයේ විවාදයට හේතුවිය හැකිය.

මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවකදී සිදුවනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් රජයේ පරිපාලන වරදකින් කඩවීමක් සිදුවී ඇත්ද නැද්ද යන ප්‍රශ්නය සොයාබැලීම පමණය. වෙනත් වැරදිවලට දඬුවම් කළ යුත්තේ සාධාරණ නඩු විභාගයක් ඔස්සේය. එහිදී වගඋත්තරකරුවන්ට හරස් ප්‍රශ්න ඇසීමේ අයිතිය, සාක්ෂි කැඳවීමේ අයිතිය, සාක්ෂි දීමේ අයිතිය හා තමන්ගේ අවාසියට හේතුවන ලෙස ලැබෙන නඩු තීන්දුවලදී එම තීන්දුවලට එරෙහිව වඩා ඉහළ අධිකරණයන්ට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ලැබිය යුත්තේය. එහෙත් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇත්දැ”යි සොයා බලන තැනින් ඔබ්බට ගොස් වෙනත් වැරදි සොයා බලා දඬුවම් පමුණුවන තැනකට ගියහොත් එසේ දඬුවම් ලබන චූදිතයන්ට සාධාරණ නඩු විභාගයක් ලැබීමේ අයිතිය අහිමි වන්නේය. එවිට මූලික අයිතිවාසිකම් අහිමි කරන්නාගේ භූමිකාව රඟපාන්නා බවට පත්වන්නේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති අධිකරණයයි.

රටට අවශ්‍ය වනුයේ බලයේ සිටින ආණ්ඩුවලට වන්දිභට්ටකම් කරන හෝ බලයේ සිටින ආණ්ඩුවලට කකුල් මාට්ටු දාන අධිකරණයක් නොව බලයට පත්වන ආණ්ඩුවේ අයිතිවාසිකම් ගැන සේ ම මහජන අයිතිවාසිකම් ගැන සංවේදීව ක්‍රියා කරන හා ආණ්ඩුව හා මහජනයා අතර මතුවන අයිතිවාසිකම් පිළිබඳ ආරාවුල්වලදී සාධාරණව යුක්තිය ඉටු කරන අධිකරණයකි. එවැනි අධිකරණයක් මෙවැනි දූෂිත දේශපාලන ක්‍රමයක් තුළ තිබීම දුෂ්කර විය හැකි වුවත්, අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට තිබූ බලවත් හැඟීම වැනි හැඟීමක් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ට තිබේ නම් මෙවැනි දූෂිත දේශපාලන ක්‍රමයක් තුළ පවා එවැනි තැනකට අධිකරණය ගෙන යා හැකිය.