අගවිනිසුරු භූමිකාව

October 29, 2026
Publication:
To anyone following politics Sarath N. Silva is a puzzle, and some believe he means to be the common opposition candidate at the next presidential election. Ivan sets the speculation against the record — the court's long refusal to name a president as respondent, suddenly reversed; a monk arrested over a Supreme Court noise order and released without trial — and asks what explains the change.

දේශපාලන උනන්දුවක් ඇති අයට අගවිනිසුරු සරත් නන්ද සිල්වා පෙනෙන්නේ දේශපාලන ප්‍රහේළිකාවක් ලෙසය. ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීම ඔහුගේ දේශපාලන අභිලාසය වී තිබෙන බව කියන පිරිසක් ද රටේ සිටිති.

සමහරකු තර්ක කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව හොඳ තරගයක් දිය හැකි පුද්ගලයා විශ්‍රාම යෑමට නියමිතව සිටින සරත් නන්ද සිල්වා මහතා බවය. එජාප, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු ආණ්ඩු විරෝධී බලවේගයට අවශ්‍ය වී ඇත්තේ, මහින්ද රාජපක්ෂ පරාජය කිරීම නිසාවෙන් ද, ඒ එකුදු පක්ෂයකටවත් මහින්ද රාජපක්ෂට අභියෝගයක් විය හැකි අපේක්ෂකයකු නැති නිසාවෙන් ද ඒ සියලුදෙනාගේ අනුග්‍රහය ඇතිව පොදු අපේක්ෂකයා වශයෙන් තරග බිමට ඒමට සරත් නන්ද සිල්වා මහතා සමත් වෙතොත්, මුස්ලිම් හා දෙමළ ජනතාවගේ ද සහාය ලබාගනිමින් මහින්ද රාජපක්ෂට එරෙහි හොඳ තරගයක් දීමට ඔහු සමත් වනු ඇති බවට සමහරු විශ්වාස කරති. අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා එවැනි අරමුණක් හිතේ ඇතිව ඊට ගැලපෙන භූමිකාවක් රඟපාමින් සිටින බව කියන අයද සිටිති.

කොහොම නමුත්, අගවිනිසුරුගේ හැසිරීම දැන් වෙනදාට වඩා බොහෝ වෙනස්ය. මහජනයාගේ ප්‍රසාදයට හේතුවන ගැටලු විසඳීමට වැඩි උනන්දුවකින් ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබේ.

ඔහු පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ ප්‍රශ්නය විසඳන ක්‍රමයක් ඇතිකරදීමේ වගකීම සිය කරට ගත්තේය. දෙමළ ජනතාවගේ ගෞරවයට හේතුවන කොළඹ ලොජ්වල ජීවත්වන ජනතාවට බලපාන තීන්දුවක් ලබාදුන්නේය. මාර්ග නීතිවලට අදාළව ද වාහන පාවිච්චි කරන්නන්ගේ සන්තෝෂයට හේතුවන නියෝගයක් ලබා දුන්නේය. ඛනිජ තෙල් සංස්ථාවට අයත්ව තිබූ ලංකා මැරයින් සර්විසස් සමාගම ජෝන් කීල්ස් සමාගමට විකිණීමේ ගනුදෙනුවට අදාළව ද ආන්දෝලනාත්මක තීන්දුවක් දුන්නේය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණයට අදාළව ද තීන්දුවක් දීමට නියමිතය.

රටේ වෘත්තීය සමිති නායකයන් අතර අගවිනිසුරු කෙරෙහි ගොඩනැගුණු පොදු විරෝධයක් තිබුණි. ඔවුන් අගවිනිසුරු දැක්කේ සාධාරණ වෘත්තීය සමිති අරගළ අධිකරණ නියෝග මගින් මර්දනය කරන පුද්ගලයෙකු වශයෙනි. වරාය වෘත්තීය සමිති අරගළයක් සම්බන්ධයෙන් දෙන ලද වාරණ නියෝගයට එරෙහිව වෘත්තීය සමිති අන්තර්ජාතික කම්කරු සංගමයට (ෂඛධ) පැමිණිලි කළෝය. එම පැමිණිල්ල විභාගයට ගෙන අගවිනිසුරුගේ ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක් කෙරෙන තීන්දුවක් එම සංගමය විසින් ප්‍රකාශයට පත් කළේය. එහෙත් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ආරාවුලේදී ගරු වෘත්තීය සංගම් සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා අනුගමනය කළ සහනශීලී ආකල්පය අගවිනිසුරුවරයා පිළිබඳව වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ පැවති ආකල්පය කිසියම් දුරකට වෙනස් කිරීමට හේතුවී තිබේ. එහෙත් ප්‍රශ්න පත්‍ර ආරාවුලට අදාළව ඇසුණ මෙම නඩු විභාගයේදී ප්‍රශ්නය කෙළවර කරන විසඳුමක් ඉදිරිපත් කිරීමට අගවිනිසුරු සමත් නොවීය. ගුරුවරුන් සඳහා අධිශ්‍රේණියක් ඇති කොට එක වැටුප් වර්ධකයක් ලබාදිය යුතු බවට දෙන ලද නියෝගය විසඳුමක් ලෙස කිසිම ගුරු සංගමයක් කල්පනා නොකරයි.

අගවිනිසුරු පවත්වාගෙන යන පිළිවෙත ජනප්‍රිය විය හැකිවුවත්, නීිතියට පටහැනි බව කියන අය ද සිටිති. පී.බී. ජයසුන්දරට එරෙහිව තීන්දුවක් ප්‍රකාශ කිරීමෙන් පසු මොනරාගල පැවති ප්‍රසිද්ධ උත්සවයකදී විනිසුරුවරුන්ගේ වැටුප් ආරාවුලක් ඈඳාගෙන පී.බී. ජයසුන්දර විවේචනය කිරීම මගින් මේ දෙදෙනා අතර ආරාවුලක් පැවති බව පැහැදිලිව පෙනෙන බවට ඔවුහු තර්ක කරති. සමහරු කියන්නේ පෙත්සම් ගෙන්නාගෙන තීන්දු දෙන ක්‍රමයක් ක්‍රියාත්මක වන බවය.

ආණ්ඩුව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොසලකා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා මුලදී අනුගමනය කළ පිළිවෙත වූයේ ආණ්ඩුවේ එම ප්‍රතිපත්තිය අනුමත කිරීමය. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එරෙහිව අධිකරණය ඉදිරියට ගිය දැනුවත් පුරවැසියන්ට ඒ නිසා හිස් අතින් එන්නට සිදුවූවා පමණක් නොව, සමහර අවස්ථාවලදී තේරුමක් නැති නඩු උසාවියට ගෙන ඒම ගැන පැමිණිලිකරුවන්ට තරයේ අවවාද කෙරුණු අවස්ථා ද තිබුණි. අධිකරණය කෙරෙන් ප්‍රකාශිතව තිබූ එම ආකල්පය නිසා 17 වැනි සංශෝධනයේ විධි විධාන බලාත්මක කරගැනීමට උනන්දුවක් දක්වන පිරිස් ඒ වෙනුවෙන් අධිකරණය ඉදිරියට නොයන ප්‍රතිපත්තියකට ද තල්ලු වී සිටියෝය.

එහෙත් කවදාවත් මෙවැනි ප්‍රශ්නවලට මීට පෙර අධිකරණයක් ඉදිරියට ගොස් නැති පෙත්සම්කරුවන් දෙදෙනකු ව්‍යවස්ථා සභාව පත්කරවා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනුණේය. පුදුමයට මෙන් එම පෙත්සමේ එක වගඋත්තරකරුවකු ලෙස ජනාධිපති ද නම් කර තිබුණි. සාමාන්‍යයෙන් පළපුරුදු කිසිම නීතිඥයෙකු ජනාධිපති ලේකම් මිස, ජනාධිපති මෙවැනි පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කරන්නේ නැත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා පමණක් නොව, මෙතෙක් ක්‍රියාත්මක වූ පිළිගත් ප්‍රතිපත්තියටද පටහැනි නිසාය. මෙම පෙත්සමේ ජනාධිපති වගඋත්තරකරුවෙකු ලෙස නම්කර ඇති බැවින් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥයා ඉල්ලා සිටි අවස්ථාවේදී එම විරෝධය නොසලකා පෙත්සම වැඩිදුර විභාගයට නියම කළේ ““කිසිම පුද්ගලයෙකුට නීතියට ඉහළින් සිටිය නොහැකි බව”” ප්‍රකාශ කරමිනි. ජනාධිපති වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම අහම්බෙන් හෝ අත් වැරැද්දකින් සිදුවූවක් විය නොහැකිය.

පළපුරුදු නීතිඥයෙකු අත්හදා බැලීම පිණිස එසේ කළාද විය නොහැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ එය අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව කරන ලද ක්‍රියාවක් ලෙසය. ජනාධිපති වගඋත්තරකරුවකු ලෙස පෙත්සමක නම් කිරීම සේ ම, එම පෙත්සම සංශෝධනයකින් තොරව භාරගැනීම තුළ සැඟවුණු දේශපාලන අරමුණක් ද තිබෙන බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. ව්‍යවස්ථාව වැරදි නම් ඒ වරද නිවැරදි කළයුත්තේ පාර්ලිමේන්තුවයි. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය මිස, ව්‍යවස්ථා සම්පාදන බලය අධිකරණයට නැත. අධිකරණය යුක්තිය පසිඳලන ආයතනයක් වශයෙන් මිස, දේශපාලන උගුල් අටවන ආයතනයක් ලෙස ක්‍රියා කළ යුතු නැත.

ඊළඟ වටයේදී අගවිනිසුරුගේ අවාසියට හේතුවන සිද්ධි දාමයක් ඇතිවිය. ශබ්ද පාලනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නියෝගයක් කඩකිරීමේ චෝදනා මත පහළ උසාවිය වෙත ඉදිරිපත් කරන ලද භික්ෂූන් වහන්සේ නමකගේ ප්‍රශ්නයක් එම උසාවිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම නඩුව විභාගයට ගත් දින වගඋත්තරකාර භික්ෂූන් වහන්සේ අධිකරණයට නොපැමිණීම හේතු කොටගෙන ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව පොලිසිය එම භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළේය. මෙම සිද්ධිය භික්ෂූන් වහන්සේලා අතර කම්පනයක් ඇති කිරීමට හේතුවිය. ඇප ලබාගැනීම සඳහා රිමාන්ඩ් භාරයේ සිටි එම භික්ෂුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළ දිනයේ, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසක්, සිද්ධියට විරෝධය පෑම සඳහා අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලය නඩුව අසන අධිකරණ ශාලාවට එන අවස්ථාවේදී වාඩිගෙන සිටි අසුන්වලින් නොනැගිට සිටියහ. භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම අගවිනිසුරුගේ කෝපයට හේතුවිය. භික්ෂූන් වහන්සේලාට අධිකරණයෙන් පිටවී ගොස් නැවත එන ලෙස දැනුම් දෙනු ලැබුවත් භික්ෂූන් වහන්සේලා ඒ ඉල්ලීමට ද එකඟ නොවූහ. එහිදී අගවිනිසුරු එසේ හැසිරුණු භික්ෂූන් වහන්සේලාට දඬුවම් කරනවා වෙනුවට රිමාන්ඩ් භාරයේ සිටි භික්ෂූන් වහන්සේගේ මෝසම විභාගයට නොගැනීම මගින් අධිකරණයේ සිදුවූ වරදට කිසිම සම්බන්ධයක් නැති රිමාන්ඩ් භාරයේ සිටි භික්ෂූන් වහන්සේට දඬුවම් කළේය. එය අගවිනිසුරු පරීක්ෂාවට ලක් කෙරුණු වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. වරදක් කළේ විරෝධය පළ කිරීම සඳහා උසාවියට පැමිණි භික්ෂූන් නම්, ඔවුන් කළ වරදට උසාවි භූමියේවත් නොසිටි රිමාන්ඩ් භාරයේ සිටි භික්ෂුවට දඬුවම් කිරීම සාධාරණ විය හැක්කේ කෙසේද?

ඊළඟට රිමාන්ඩ් භාරයේ සිටි භික්ෂූන් වහන්සේ නිදහස් කරන ලද ආකාරය ද පුදුමසහගතය. හිමිනම වෙනුවෙන් 8 වැනිදා දෙවැනි මෝසම ඉදිරිපත් කළේ එම භික්ෂූන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි පැරණි නීිතිඥයා වන කල්‍යාණන්ද තිරාණගම විසින් නොව, වෙනත් නීතිඥයෙකු විසිනි. මෝසම අධිකරණයට ඉදිරිපත් වූ වහාම පන්නල පඤ්ඤාලෝක හිමියන් වහාම නිදහස් කරන ලෙස අගවිනිසුරු බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. එහි සිදුවූයේ ඇපදීමක් නොව, නිදහස් කිරීමකි. එල්ල වී තිබූ චෝදනාව වූයේ බලපත්‍රයක් රහිතව රාත්‍රි කාලයේ ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නියෝගයක් කඩකිරීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් කර ඇත්තේය යන්නයි. එවැනි චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගන්නා ලද එම භික්ෂූන් වහන්සේ නඩු විභාගයකට ලක් කිරීමකින් තොරව නිදහස් කරන ලද්දේ මුල් මෝසම විභාගයට නොගැනීමෙන් තමන් අතින් අසාධාරණයක් වීයැ”යි අගවිනිසුරු සැලකූ නිසාද? එසේ නැතහොත් සමහර භික්ෂූන් වහන්සේලා මේ සිද්ධිය මත අගවිනිසුරුට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටි තත්ත්වයක් ඉදිරියේ එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට එසේ කිරීම අවශ්‍ය වේයැ”යි සිතූ නිසාද?