17 වැනි ව්‍යවස්ථා සංශෝධනය

October 29, 2026
Publication:
Every party in parliament took some part in killing the 17th Amendment, the JVP included, and the court at the inquest found the death lawful. Citizens who went to defend it came back empty-handed. Now the same parties are indignant, and the court says nobody can be above the law — after thirty years of holding that a president cannot be a respondent.

17 වැනි සංශෝධනය දැන් නැවත දේශපාලන පක්ෂ අතර හා විනිශ්චයකාරවරුන් අතර උණුසුම් කතාබහට හේතුවී තිබෙන ජනප්‍රිය මාතෘකාවක් බවට හැරී තිබේ.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මරා දැමීමේ ක්‍රියාවලියට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් හවුල් විය. එම ව්‍යවස්ථා සංශෝධනයේ උත්පත්තියේදී වින්නඹු අම්මා ලෙස ක්‍රියා කළ ජවිපෙ පවා එම ව්‍යවස්ථා සංශෝධනය මරා දැමීමේ ක්‍රියාවලියට දායක විය. එම ඝාතනය පිළිබඳව මරණ පරීක්ෂණයේදී අධිකරණයේ මතය වූයේ ද ඒ මරණය සාධාරණ මරණයක් බවය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ආරක්ෂාව සඳහා උසාවිය ඉදිරියට ගිය දැනුවත් හා සංවේදී පුරවැසියන්ට උසාවියෙන් ආපසු එන්නට සිදුවූයේ හිස් අතිනි.

දැන් මෙම සාහසික ක්‍රියාවට හවුල් වූ ආණ්ඩු පක්ෂය හැර අන් සියලු පක්ෂවලට තමන් විසින් මරා දමන ලද 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පණදීමට අවශ්‍ය වී තිබේ. අධිකරණය ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් පවත්වාගෙන ගිය ප්‍රතිපත්තියේ යූ හැරවුමකට යොමුවී සිටින බව පෙනේ.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අපේක්ෂාව වූයේ වැදගත් ප්‍රමුඛ තනතුරුවලට හිතුවක්කාරී ලෙස පුද්ගලයන් පත්කිරීමට තිබෙන බලය පාලනය කිරීමය. ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් දකින ලද සිහිනය සැබෑ වුවත්, විධායක ජනාධිපතිවරයාට පරම බලය ලබාදීමේ අරමුණින් ව්‍යුහගත කරන ලද ව්‍යවස්ථාවක් එවැනි සරල ව්‍යවස්ථා සංශෝධනයකින් වෙනස් කළ නොහැකිය. එය හරියටම බලවත් සිංහයෙකු උගේ වල්ගයෙන් අල්ලා මෙල්ල කරන්නට දරන උත්සාහයක් බඳුය.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කිරීමේ අයිතිය තිබෙන ආකාරයටය. ජනාධිපති, ජනාධිපතිවරණයකදී මහජනයාට හැර අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට වගකීමට බැඳී නැති ආකාරයටය. ජනාධිපති පමණක් නීතියට ඉහළින් සිටින ආකාරයටය.

එවැනි ක්‍රමයක් ශිෂ්ටසම්පන්න හෝ ප්‍රජාතන්ත්‍රවාදී විය නොහැකි වුවත්, අපේ රටේ පවතින නීතිය වී ඇත්තේ එයයි.

දැන් අධිකරණය කියන්නේ නීතියට ඉහළින් කිසිවකු සිටිය නොහැකි බවය. ඒ නිසා ජනාධිපති නඩුවක වගඋත්තරකරුවකු කළ හැකි බවය. එහෙත් ඒ අධිකරණයම අවුරුදු තිහක් තිස්සේම ජනාධිපති, නඩුවක වගඋත්තරකරුවකු කරන්නට ඉඩ නුදුන්නේය.

අධිකරණය ආචීර්ණකල්පික ආකල්ප අතහැර ලිබරල්වාදී දෘෂ්ටියකින් දේවල් දකින තැනකටම ඒම යහපත්ය. එහෙත් අධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකිය. කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීම පමණය.

ප්‍රශ්නයේ පුංචි කොණක් අල්ලාගෙන කෑගසනවාට වඩා මෙම අශීලාචාර දේශපාලන ක්‍රමය මුළු එකක් වශයෙන් ගෙන එය වෙනස් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය බැ?රුම් ලෙස සලකා බලන තැනකට ඒම වැදගත්ය. මෙම අශීලාචාර දේශපාලන ක්‍රමය එජාපයේ නිර්මාණයකි. ශ්‍රීලනීප විරුද්ධ පක්ෂයේ සිටියදී තමන් බලයට පැමිණියහොත් මෙම දූෂිත ක්‍රමය වහා වෙනස් කරන බවට දිවුර දිවුරා පොරොන්දු වූයේය. එහෙත් බලය ලැබීමෙන් පසු කළේ ශ්‍රීලනිපය ද එක්සත් ජාතික පක්ෂය ඇති කළ ඒකාධිපති ක්‍රමයේ උපරිම ලෙස රස උරා බොන ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමය. ජනතා විමුක්ති පෙරමුණ ද විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව මුල් යුගයේ කතා කළත්, පසුව එම අශීලාචාර ක්‍රමයේ කෑදර කොටස්කරුවකු බවට පත්වෙමින් ඒ ක්‍රමයේ රස උපරිම ලෙස උරා බොන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

දැන්වත් මේ සියලු දේශපාලන පක්ෂවලට එකට එකතු වී ශීලාචාර දේශපාලන ක්‍රමයක් ගැන සිහින දකින තැනකට යා නොහැකිද?