16 වරක් පරාජය වූ රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයැ”යි කියන උද්ඝෝෂණයක් නැවත එම පක්ෂය තුළ මතුවී තිබේ. විරුද්ධ පක්ෂයට පැමිණි පසු එජාප ලැබූ මැතිවරණ පරාජයන් කෙරෙහි රනිල්ගේ දුර්වලතා ද බලපෑවා විය හැකිය. තමන්ට ලැබුණු පාර්ලිමේන්තු බලය ආරක්ෂා කරගැනීමට අසමත්වීම, 2005 ජනාධිපතිවරණයෙන් ලැබූ පරාජය යන අවස්ථා කෙරෙහි රනිල්ගේ දුර්වලතා බලපෑවා වුවත් අනෙක් මැතිවරණවලින් ලද පරාජයන් කෙරෙහි රනිල්ගේ දුර්වලතාවට වඩා දේශපාලන ක්‍රමය බලපෑවේය.
මෙම දේශපාලන ක්‍රමය විරුද්ධ පක්ෂවලට බලයට පත්වීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ක්‍රමයක් නොවේ. එය රාජ්‍ය බලය ලබාගත් දේශපාලන පක්ෂයට දීර්ඝ කාලයක් බලයේ සිටීමට අවශ්‍ය ඉඩ ලබාදෙන හා විරුද්ධ පක්ෂ දේශපාලන ක්‍රියාකාරීත්වය ද බෙලහීන කරන අශීලාචාර දේශපාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.
තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුළ සාමාන්‍යයෙන් හැම වසර පහකට වරක්ම පාහේ බලය වෙනස් විය. ආණ්ඩු බලයේ සිටි පක්ෂය විරුද්ධ පක්ෂය බවට පත්වී විරුද්ධ පක්ෂය බලයට ආවේය.
එහෙත් මේ දේශපාලන ක්‍රමය තුළ බල හුවමාරුවක් සඳහා දීර්ඝ කාලයක් ගතවේ. එක්සත් ජාතික පක්ෂය එක දිගට අවුරුදු 17 ක් බලයේ සිටියේය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජීවතුන් අතර සිටියේ නම්, ඒ කාලය තවත් අවුරුදු 6 කින් වැඩිවන්නට ඉඩ තිබුණි.
ඉන්පසු බලයට පැමිණි පොදු පෙරමුණ මේ දක්වා බලයේ සිටි කාලය අවුරුදු 15 කට ආසන්නය. චන්ද්‍රිකා නිල කාල දෙකක් බලයේ සිටියේය. ඉන්පසු ඒ පක්ෂයෙන්ම මහින්ද බලයට ආවේය. මෙම දේශපාලන ක්‍රමය විචක්ෂණ ලෙස ප්‍රයෝජනයට ගැනීමට මහින්ද සමත් වෙතොත්, ඔහුට ද නිල කාල දෙකක් බලයේ රැඳී සිටීමට හැකිවේයැ”යි උපකල්පනය කළ හැකිය.
එජාප බලයේ සිටි අවුරුදු 17 තුළ පැවති හැම මැතිවරණයකින්ම ශ්‍රීලනිප පරාජය විය. ඒ ලැබූ පරාජයන්ගේ ප්‍රමාණයන් කෙරෙහි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ අදක්ෂතා බලපෑවා විය හැකි වුවත්, ඒ පරාජයන් කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව වූයේ ද ඇය නොව දේශපාලන ක්‍රමයයි. එහෙත් දේශපාලන ක්රමයේ වරද නිසා හෝ ශ්‍රීලනිප ලබන පරාජයන් හෝ බණ්ඩාරනායක මැතිනියට තිබුණු පිළිගැනීම දුර්වල කිරීමට හේතුවිය. දැන් රනිල්ට සිදුවී තිබෙන්නේ ද එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාවට සිදුවූ දේය.
බලයේ රසය
එදා එජාප අවුරුදු 17 ක් බලයේ සිටියදී විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ට අවුරුදු 17 ක් කට්ට කන්නට සිදුවූයේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බ්ලැක් ලේබල්, විස්කි බොන විට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ට ගල් හෝ පොල් අරක්කුවලින් සෑහීමට පත්වීමට සිදුවී තිබුණි.
පොදු පෙරමුණ බලයට පත්වීමත් සමග ගල්පොල්වලට සීමාවී සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරු ංද බ්රුන්ඩි, ෂීවාස් රීගල් විස්කි බොන පිරිසක් බවට පත්වූහ. බලය අහිමි වූ අයගේ ජීවිත නැවත කාලකණ්ණිභාවයට පත්විය. නැවත නැවත ඔවුන් කෙරෙන් ප්රකාශවෙමින් තිබෙන්නේ එම අසහනයයි.
බලය රස බලා ඇති අයට බලය නැතිව ජීවත්විය නොහැකිය. “අපි අවුරුදු 15 ක් බලා සිටියෙමු. තවත් කොපමණ කලක් අපි බලා සිටිමුදැ”යි ඔවුහු ප්‍රශ්න කරති.
රනිල්ගේ, ජේ.ආර්. මාමා මෙම දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ විරුද්ධ පක්ෂයට පහසුවෙන් බලය ලැබිය හැකි ආකාරයට නොවේ. බලය හිමි කරගත් පක්ෂයට කොතරම් රටේ ප්‍රශ්න තිබුණ ද අපහසුවකින් තොරව දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටිය හැකි ආකාරයටය. රනිල් පරාජිත කර ඇත්තේ මාමාගේ දූෂිත දේශපාලන ක්‍රමයයි. එහෙත් අවාසනාවකට පරාජිත බෑණා ද මාමාගේ දූෂිත දේශපාලන ක්‍රමයට ඇති කෑදරකම ලේසියෙන් අත්හරින බවක් පෙනෙන්නට නැත.
එජාපය හා ජනතා විමුක්ති පෙරමුණ තමන් ලැබූ පරාජය ඉදිරියේ දත්මිටි කනවාට වඩා මෙම දූෂිත දේශපාලන ක්‍රමය තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නම් එයින් ඔවුන්ට පමණක් නොව රටට ද යහපතක් විය හැකිය.
දේශපාලන ක්‍රමය
දේශපාලන වශයෙන් ශිෂ්ටසම්පන්න සමාජයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් කරන්නේ පුරවැසියාගේ උපරිම සුභ සිද්ධිය ආරක්ෂා කරමින් පවත්වාගෙන යන මහජන නියෝජිත පාලන ක්‍රමයක් සඳහා වන සම්මුතියකි.
සීමාසහිතකම් තිබුණා විය හැකි වුවත්, සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේදී සේ ම 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්පාදනයේදී ද පුරවැසියාට ලැබෙන වැදගත්කම සැලකිල්ලට ගන්නා ලදි. එහෙත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරවැසියාගේ අභිවෘද්ධිය මූලික ලෙස සැලකිල්ලට ගෙන සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවේ. පරම බලය ඇති විධායක ජනාධිපතිවරයෙකු හා එම ජනාධිපතිවරයාට ගැලපෙන ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම 78 ව්‍යවස්ථාවේ ප්‍රධාන දර්ශනය විය. මහජන යහපත සඳහා ව්‍යවස්ථාවට ඇතුළත් මූලික අයිතිවාසිකම්, ව්‍යවස්ථාවට ගම්භීර පෙනුමක් ලබාදීම සඳහා අලවන ලද බාහිර සැරසිලි ලෙස සැලකිය හැකිය.
මෙම ව්‍යවස්ථාව සකස් කිරීමේදී වැදගත් කොට සලකා ඇත්තේ පාලකයාට ලැබිය යුතු පරම බලය මිස, පුරවැසියන්ට ඇති පරමාධිපත්‍ය බලය නොවේ.
ඇන්.ඇම්. පෙරේරා කියා ඇත්තේ 78 ව්‍යවස්ථාව ඇමරිකන් ක්රමයේ ද, ප්‍රංශ ක්රමයේ ද, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්රමයේ ද, අච්චාරුවක් වන බවය. එහෙත් ඒ අච්චාරුව නිර්මාණය කිරීමේදී පවා මේ ඕනෑම දේශපාලන ක්‍රමයක් තුළ දක්නට ලැබෙන සංවරණය හා තුලනය සඳහා තිබෙන විධිවිධාන මෙම අච්චාරුවට ඇතුළත් නොකිරීමට තරම් ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් සටකපට වී ඇති බව කිවයුතුය.
ජේ.ආර්. ජයවර්ධන ලිස්සන ගහ තරණය කළේ වයස අවුරුදු 71දීය. ඉතිරි ජීවිත කාලය පරම බලය සහිත පාලකයකු ලෙස ජීවත්වීම ඔහුගේ අරමුණ වූ අතර, 78 ව්‍යවස්ථාව එම ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙන් සම්පාදනය කළ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
පොදු දේපළ කොල්ලය
නැපෝලියන් ජේ.ආර්. ගේ ප්‍රියතම වීරයෙක් විය. නැපෝලියන් රටවල් අල්ලා ගැනීමේදී, සිය සේනාවට අල්ලා ගත් රටේ හෝ නගරයේ වස්තුව කොල්ලකන්නට ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එය සෙබලු පොළඹවනු ලබන ප්‍රධාන සාධකය විය.
ජේ.ආර්. ජයවර්ධන සිය දේශපාලන ක්‍රමය නිර්මාණය කිරීමේදී අනුගාමිකයන් පොළඹවනු ලබන ප්‍රධාන සාධකය බවට පත්කර ගත්තේ ද එම සාධකයමය. ඔහු තමන් ගොඩනගා ගත් දේශපාලන ක්‍රමය තුළ පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය දේශපාලන බලය බවට පත් කළේය.
තමන්ට පරම බලය ලැබෙන ආකාරයට ගොඩනගන දේශපාලන ක්‍රමය නඩත්තු කිරීමට අසාමාන්‍ය තරමේ විශාල වියදමක් අවශ්‍ය බව ආරම්භයේ සිටම ජේ.ආර්. දැන නොසිටියා විය නොහැකිය. ඒ අනුව ඔහු සිය දේශපාලන ක්‍රමය නිර්මාණය කළේ එම වියදම පොදු දේපළවලින් පියවිය හැකි ආකාරයටය. ඕනෑම ශිෂ්ටසම්පන්න රටක මැතිවරණ අරමුදල් සඳහා නීති පවතී. පෞද්ගලික අංශය පක්ෂයට මුදලින් ආධාර කරන විට ලබාදිය හැකි මුදල් ආධාරවල උපරිමයක් සඳහා නීති පවතී. දේශපාලන පක්ෂ සිය අරමුදල් හා මැතිවරණ වියදම් ප්‍රකාශ කළ යුතුය. අපේක්ෂකයන්ද සිය මැතිවරණ වියදම් ප්‍රකාශ කළ යුතුය.
සීමාසහිතකම් තිබියදී මෙවැනි නීති අපේ රටේ ද තිබුණි. එහෙත් ජේ.ආර්. ගේ දේශපාලන ක්‍රමය තුළ ඒ සඳහා වන නීති කිසිවක් නැත. ඇමරිකාවේ, ප්‍රංශයේ, එංගලන්තයේ පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ පවා මැතිවරණ අරමුදල් හා මැතිවරණ වියදම් පිළිබඳ විශේෂ නීති ඇති බව ජේ.ආර්. නොදැන සිටියා විය නොහැකිය.
තමන් නිර්මාණය කරන දේශපාලන ක්‍රමය තුළ දේශපාලන පක්ෂවලට ප්‍රධාන මැතිවරණ සඳහා අතිවිශාල වියදමක් වැය කරන්නට සිදුවන බව ජේ.ආර්. දැන සිටියේය. එසේම එම දේශපාලන ක්‍රමය තුළ මැතිවරණ කොට්ඨාසයක් වෙනුවට දිස්ත්‍රික්කයකට තරග කරන අපේක්ෂකයන්ට ඒ සඳහා අතිවිශාල වියදමක් දරන්නට සිදුවන බව ඔහු නොදැන සිටියා විය නොහැකිය.
මෙම විෂයය සඳහා විශේෂ නීති ඇති කිරීමෙන් වැළකී සිටින්නට ජේ.ආර්. ට අවශ්‍ය වූයේ පක්ෂවලට හා දේශපාලකයන්ට අවහිරයකින් තොරව ව්‍යාපාරික ලෝකයෙන් අවශ්‍ය මුදල් ලබාගැනීමට ඉඩ ලබාදීම සඳහාය. එසේ ව්‍යාපාරික ලෝකයෙන් ලබාගන්නා වියදම් රටේ පොදු සම්පත්වලින් ආපසු ගෙවන ක්‍රමයක් ද ජේ.ආර්. ජයවර්ධන ඇතිකර දුන්නේය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට ඒ වියදම් ආපසු ගෙවන ලද්දේ ද රටේ පොදු සම්පත්වලිනි. මෙසේ බලය සඳහා කරන අරගලය රටේ පොදු සම්පත් අත්පත් කරගැනීම සඳහා කෙරෙන වියරු තරගයක් බවට හැරුණි.
පක්ෂ අරමුදල්
පක්ෂ අරමුදල්වලට මහා පරිමාණයෙන් ආධාර කරන ව්‍යාපාරිකයන්ට රජයේ ව්‍යාපාර පෞද්ගලිකකරණයේදී නාමික මිලකට ඒවා ලබාගැනීමේ ඉඩකඩ ලබාදෙන ලදි. රජයේ බැංකුවලින් ආරක්ෂණ රහිතව කෝටි ගණන් මුදල් ණයට දී ඒවා ආපසු අය කරගැනීමෙන් තොරව කපා හැරෙන සම්ප්‍රදායන් ස්ථාපිත විය. එවැනි ව්‍යාපාරිකයන්ට විශාල ලෙස ආදායම් උපයාගත හැකි වෙනත් මාර්ග ද ඇති කරදෙන ලදි.
වානිජ හා කර්මාන්ත කටයුතුවලට ආයෝජනය කරනවාට වඩා බලතරගයට අවශ්‍ය මුදල් දේශපාලන පක්ෂවලට හා පුද්ගලයන්ට ලබාදීම වඩා ලාභදායී බව තේරුම් ගත් විට ව්‍යාපාරික ලෝකය ද තරගකාරී ලෙස දේශපාලන බලතරගයට විශාල ලෙස මුදල් ලබාදෙන ප්‍රධානතම ප්රභවය බවට පත්විය. ක්‍රමයෙන් දේශපාලන පක්ෂවලට හා දේශපාලන පක්ෂවල කැපී පෙනෙන පුද්ගලයන්ට ව්‍යාපාරික ලෝකයෙන් විශාල ලෙස මුදල් ලැබෙන තත්ත්වයක් තුළ පක්ෂ අරමුදල් ද, පක්ෂවල කැපී පෙනෙන පුද්ගලයන්ගේ පෞද්ගලික අරමුදල් ද තරවිය. ව්‍යාපාරිකයන් එකවිට පක්ෂවලට ද පක්ෂවල සිටින තනතුරු ලැබීමේ හැකියාවක් ඇති පුද්ගලයන්ට ද මුදල් දුන්නේය. ඒ සමග මැතිවරණ කටයුතු සඳහා පක්ෂ හා පුද්ගලයන් කරන වියදම් විශාල ලෙස ඉහළ යමින් විශාල ලෙස මුදල් වියදම් කිරීමට තිබෙන හැකියාව දේශපාලනය සඳහා අවශ්‍යම කොන්දේසියක් බවට පත්වූයේය.
ව්‍යාපාරිකයන්ට ඔවුන් කරන වියදම වෙනුවෙන් පොදු සම්පත්වලින් ගෙවන ක්‍රමයක් තහවුරු වූවා සේ ම, විශාල වියදමක් දරා මහජන නියෝජිතයන් ලෙස තේරී පත්වන පුද්ගලයන්ට රටේ පොදු සම්පත් කොල්ලකා ගැනීමේ අයිතිය ලබාදෙන ක්‍රමයක් ද තහවුරු විය. ජේ.ආර්. ජයවර්ධන සිය ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට නාමික මිලකට රජයේ ඉඩම් ලබාදී ඔවුන් ඉඩම් හිමි වැවිලිකරුවන් පිරිසක් බවට පත් කළේය. ව්‍යාපාර ඉඩ ප්රස්ථා ද ඇති කරදී ඔවුන් ඉඩම් හිමි වැවිලිකරුවන් පිරිසක් වනවාට අතිරේකව ව්‍යාපාරික පන්තියක් බවට පත් කළේය.
ඇමතිවරුන්ට, මහ ඇමතිවරුන්ට, පළාත් සභා ඇමතිවරුන්ට, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට තමන් යටතට වැටෙන විෂයය පථය තුළ උපරිම ලෙස ධනය හරිහම්බ කරගැනීමට ඉඩ ලබාදෙන ක්‍රමයක් ස්ථාපිත විය.
හැරී ජයවර්ධන
දේශපාලන බලතරගයට අවශ්‍ය මුදල් ලබාදීමෙන් ආපසු උපයාගත හැකි ධනයේ ප්‍රමාණය කොතරම් ද යන්න පිළිබඳව දැක්විය හැකි ජනප්‍රියතම නිදර්ශනය වනුයේ හැරී ජයවර්ධනය.
ඔහු එකවිට වැඩි ප්‍රමාණයකට ශ්රීලනිපය ද ඊට අඩු ප්‍රමාණයකට එජාපය ද බලාගත්තේය. ඒ නිසා පෞද්ගලිකකරණයේදී ඔහුට අතිවිශාල වාසි ලබාගැනීමට හැකිවිය. ඔහු වෙළෙඳාමේදී රජයට ලැබිය යුතු බදු ආදායම් විශාල ලෙස වංචා කළේය. එහෙත් හැම රාජ්‍ය පාලනයකින්ම ලැබුණු ආරක්ෂාව නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඔහුට එරෙහිව රේගුව නීතිය ක්‍රියාත්මක කරන්නට දරන ලද උත්සාහයකදී රටේ ජනාධිපතිනිය ඔහුගේ ආරක්ෂාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියා පමණක් නොව, අවසානයේදී ඒ පරීක්ෂණයට සම්බන්ධ රේගු නිලධාරියෙකුට මැරුම් කන්නට සිදුවී, එම පරීක්ෂණයට සම්බන්ධ සෙසු රේගු නිලධාරීන්ට ජීවිත ආරක්ෂාව සඳහා රට අතහැර පලායන්නට ද සිදුවිය. ඒ සියලු අශෝභනකම් තිබියදීත් දේශපාලන පක්ෂවලට හෝ දේශපාලන නායකයන්ට හැරී එපාවූයේ නැත. ඔහු ඔවුන්ට නැතිවම බැරි පුද්ගලයෙක් විය.
ඔහු ලංකාවේ සිටින ලොකුම ව්‍යාපාරිකයාය. සාමාන්‍ය වටිනාකම රුපියල් බිලියන 30 ක් වූ රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 06 කට මිලදී ගැනීමට ඔහු සමත් විය. මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධුරයේ සිටින විට, අගමැති ධුරය හෙබවූයේ රනිල් වික්‍රමසිංහය. රක්ෂණ ගනුදෙනුවට මතභේදයකින් තොරව මෙම නායකයන් දෙපළගේම ආශිර්වාදය ලැබුණි. මෙම ගනුදෙනුවට එරෙහිව කෑ ගැසූ රතු පක්ෂය ද අවසානයේදී හැරීගෙන් ආධාර ලබන පක්ෂයක් බවට පත්විය.
ජේ.ආර්. ජයවර්ධන ඇති කර තිබෙන මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ කොතරම් රටේ ප්‍රශ්න තිබුණ ද, මැතිවරණවලින් ජය ලැබීමේ හැකියාව ඇත්තේ පාලක පක්ෂයට මිස විරුද්ධ පක්ෂයට නොවේ. පාලක පක්ෂයේ පැවැත්ම කෙටිකාලීන නොවන බව පෙනෙන විට පොලිසියේ පමණක් නොව, රාජ්‍ය නිලධාරීන්ගේ ද අනුග්‍රහය ලැබෙන්නේ පාලක පක්ෂයටය. 1977 සිට බලයේ සිටි හැම දේශපාලන පක්ෂයක්ම මැතිවරණවලදී පක්ෂයේ අභිවෘද්ධිය සඳහා රාජ්‍ය මාධ්‍ය, රජයේ වාහන හා රජයේ වෙනත් සම්පත් යොදාගත්තේය. මෙම දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය පාලකයා හා පාලක පක්ෂය නීතියට ඉහළින් සිටින නිසා මැතිවරණ කටයුතු සඳහා රජයේ සම්පත් යොදා ගැනීම නීති විරෝධී වුවත්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. බලයේ සිටි හැම දේශපාලන පක්ෂයක්ම මැතිවරණවලදී දිළිඳු සහනාධාර මැතිවරණ ජයගැනීම සඳහා පාවිච්චි කළේය.
ගල් ගැසුණු ක්‍රමය
මෙම නින්දාසහගත දේශපාලන ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කළේ එජාප හැමදා බලයේ තබා ගන්නට මිස විරුද්ධ පක්ෂයට බලය දෙන්නට නොවේ. එහෙත් රණසිංහ ප්‍රේමදාසගෙන් පසු බලයට පැමිණි ජනාධිපති විජේතුංග මෙම දේශපාලන ක්‍රමය තුළ බලය ආරක්ෂා කරගැනීමේදී අවශ්‍ය තරමට විචක්ෂණ වීමට අසමත්වීම නිසා අහම්බෙන් මෙන් බලය පොදු පෙරමුණ අතට මාරු විය. ඒ සමග එක්සත් ජාතික පක්ෂය 17 අවුරුදු සැණකෙළිය අවසන් වී පොදු පෙරමුණේ සැණකෙළිය ආරම්භ විය. ජේ.ආර්. ජයවර්ධන ඇති කළ ගල් ගැසුණු දේශපාලන ක්‍රමය තුළ එක දිගට නිල කාල දෙකක් චන්ද්‍රිකා රජ කළාය. රනිල්ට බලය ලබා ගන්නවා නම්, බලය ලබාගන්නට ඇත්ත ඉඩක් තිබුණේ 2005 ජනාධිපතිවරණයේදීය. එහෙත් එම තරගයේදී රනිල්ට වඩා මහින්ද විචක්ෂණවීම නිසා ඒ තරගයෙන් මහින්දට ජය ලැබුණි.
දැන් රනිල්ට තව අවුරුදු ගණනක් බලාගෙන සිටින්නට සිදුවිය හැකිය. මහින්ද රාජපක්ෂ එක නිල කාලයකින් අවසන් කරන බවක් පෙනෙන්නට නැත. නිල කාල දෙකක්ම බලයේ සිටීමට අවශ්‍ය විචක්ෂණභාවය මහින්ද රාජපක්ෂ තුළ පවතින බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.
දැන් රනිල්ට තෝරාගැනීමට විකල්ප දෙකක් තිබේ. පළමු විකල්පය වනුයේ ජේ.ආර්. මාමා සේ ලිස්සන ගහේ මුදුනට නැගීමට හොඳටම නාකිවන තෙක් පක්ෂ නායකත්වය අල්ලාගෙන බලාගෙන සිටීමය. දෙවැනි විකල්පය වනුයේ සිය මාමා ඇති කර තිබෙන නින්දාසහගත දේශපාලන ක්රමයේ සැබෑ ප්රජාතන්ත්රවාදී වෙනසක් වෙනුවෙන් පෙනී සිටීමය. රනිල්ට දෙවැනි විකල්පය කිරීමට හැකිවනු ඇත්තේ පරම බලය පිළිබඳව ඇති කරගෙන තිබෙන කෑදරකම අත්හැරිය හැකිනම් පමණය.