ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම් පවරාදීම් අළලා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවක මහතා කර තිබෙන හෙළිදරව්ව මහජන සංවාදයට ලක්විය යුතුව තිබෙන වැදගත් මාතෘකාවකි.
රටේ සිදුවන දූෂණ ගැන මහ ලොකුවට කතා කරන හිමි නමක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් රුපියල් කෝටි නවයහමාරක් තරම් වෙළෙඳ වටිනාකමක් ඇති අක්කර දෙකක ඉඩම් ප්‍රමාණයක් (කඩුවෙලින්) රුපියල් 30200කට මිලදී ගෙන තිබේ. ඒ මහතා ව්‍යංගයෙන් කියා ඇති කරුණු අනුව මෙම ඉඩම ලබාගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බිහිකළ දේශ හිතෛෂී ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු හා ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු වන ඇල්ලේ ගුණවංශ හිමියන්ය. එම කතාවේ ඇත්ත නැත්ත ඇල්ලේ ගුණවංශ හිමියන් රටට පැහැදිලි කළ යුතු ය.
අපට මෙහි දී වැදගත්වන්නේ එම ගනුදෙනුව නොවේ. පොදු දේපළ සම්බන්ධයෙන් පවත්වාගෙන යන ප්‍රතිපත්තියයි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම් තුට්ටුවට දෙකට දේශපාලන හිතවතුන්ට පවරන ප්‍රතිපත්තිය ආරම්භ වූයේ 1978 දී ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පවා තමාට අයත් විය යුතු පොල් ඉඩමක් වෙනුවෙන් රටේ හොඳම පොල් ඉඩම්වලින් එකක් තමන් වෙත පවරා ගත්තේ ය. සමහර ඇමතිවරු තමන්ගේ නො වටිනා ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ලබා දී ඒ වෙනුවට සිය දහස් ගුණයක් වටිනා නාගරික ඉඩම් ලබා ගත්හ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම් තුට්ටුවට දෙකට මිලදී ගැනීම මගින් ඉඩම් හිමියන් හා වතු වැවිලිකරුවන් බවට පත්වූ දේශපාලනඥයන් ද අප රටේ සිටිති. චන්ද්‍රිකා පාලන යුගයේදීත් ඒ ක්‍රියාවලිය ඒ ආකාරයට ම සිදුවිය.
චන්ද්‍රිකා ද ස්ටැන්ලි විජේසුන්දර මාවතින් කෝටි ගණනක් වටිනා ඉඩමක් ලබා ගත් අතර, ඇගේ පුතා ද වැලිගම මුහුදු තීරයෙන් එවැනි ඉඩමක් ලබාගත්තේ ය. දැන් මහින්ද රාජපක්ෂ යුගයේ ද ඒ ක්‍රියාවලිය එසේම සිදුවෙමින් පවතී.
රටේ පොදු දේපළ තමන් වෙත, තම ඥාතීන් වෙත, ගජ මිතුරන් වෙත පවරා දෙන මෙම වැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ ඉඩම් සම්බන්ධයෙන් පමණක් නොවේ. වෙනත් බොහෝ අංශවල ද එය ඒ ආකාරයෙන් ම සිදුවනු දැකිය හැකි ය.
ගුවන්විදුලි හා රූපවාහිනි විකාශන බලපත්‍රයක වටිනාකම රුපියල් කෝටි ගණනකි. යුරෝපයේ නම් එවැනි බලපත්‍ර විකුණන්නේ වෙන්දේසියේ ය. එහෙත් අපේ රටේ ඒ හැම බලපත්‍රයක් ම පවරා දී ඇත්තේ පස්සා දොරෙනි. සාමාන්‍යයෙන් සිදුවන ක්‍රමය වනුයේ රාජ්‍ය නායකයා තම හිතවතකුට බලපත්‍රය නොමිලේ දුන් විට, එම හිතවතා කෝටි සිය ගණනකට තුන්වැන්නෙකුට එම බලපත්‍රය විකිණීමය. චන්ද්‍රිකා පාලන යුගයේ අවසාන කාලයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියා ජනාධිපතිනියගේ අනුදැනුම ඇතිව තමන්ගේ නමට බලපත්‍රයක් නිකුත් කර ගත්තේ ය. ඉන්පසු ඔහු එම බලපත්‍රය ඩයලොග් සමාගමට විකුණන ලද මිල රුපියල් ලක්ෂ 4000කි.
රජයේ එදිනෙදා කටයුතු කරගෙන යෑමට බැරි තරම් ආර්ථික අහේනියක් රටේ පවතී. පස්සා දොරෙන් කෙරෙන මෙවැනි ගනුදෙනු අහෝසි කොට විකිණීමට අවශ්‍ය පොදු දේපළ ප්‍රසිද්ධියේ විකුණන ප්‍රතිපත්තියක් අනුගමනය නො කරන්නේ ඇයි? එවිට එම මුදල් යන්නේ හෙංචයියලාගේ සාක්කුවලට නො ව, මහා භාණ්ඩාගාරයට ය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සියලු ඉඩම් ප්‍රසිද්ධියේ විකිණිය හැකි ය. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාගරික ඉඩම් විකිණීමෙන් පමණක් වුවත්, නවීන හා කාර්යක්ෂම දුම්රිය සේවයක් ඇති කළ හැකි ය. ගුවන්විදුලි හා රූපවාහිනි විකාශන බලපත්‍ර නොමිලේ ලබාගෙන රුපියල් කෝටි සිය ගණන්වලට විකුණූ අය සොයා බලා ඒ මුදල් මහා භාණ්ඩාගාරයට ලබාගත යුතු ය. රට දියුණු කිරීමට, ඉතිරි වී තිබෙන මෙවැනි පොදු සම්පත් ආරක්ෂා කරගැනීම සමාජ වගකීමකි. •