දේශපාලන බලතරගය සුපුරුදු ආකාරයට ඉදිරියට ගෙන යා නොහැකි ලෙස දේශපාලන ක්‍රමය කුණු වී තිබේ. එහෙත් තරගයේ යෙදී සිටින දේශපාලන පක්ෂ හෝ එම තරග කණ්ඩායම් මෙහෙයවන නායකයින් හෝ ඒ බව තේරුම්ගෙන නැත.
ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. ආණ්ඩුවට එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය තරමින් වත් මුදල් නැති තත්ත්වයක් පවතී. එම තත්ත්වය ජය ගැනීම සඳහා එක් අතකින් ආණ්ඩුව වැඩි පොලියකට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර අනෙක් අතට සීග්‍රයෙන් ඉහළයන ජීවන වියදම නොසලකා මහජනතාව මත බදු බර පටවන තත්ත්වයකට තල්ලු වී සිටී. කෙටිකාලීන වශයෙන් ආපසු ගෙවීමේ පදනමක් මත වැඩි පොලියකට ආණ්ඩුව ණය ලබාගැනීමට සමත් වුවද කෙටි කාලීන වශයෙන් ණය ආපසු ගෙවීමේ බර පැටවෙනු ඇත්තේද මහජනතාව මතය. මෙහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ කුණු වී තිබෙන දේශපාලන ක්‍රමය නඩත්තු කිරීම සඳහා ඉසිලිය නොහැකි තරම් බරක් මහජනතාව මත පැටවී ඒ තත්ත්වයනට එරෙහිව කෝපයෙන් ප්‍රතිචාර දක්වන තැනකට මහජනතාව තල්ලු වීමය.
ආණ්ඩුව මුහුණ දී සිටින මෙම මූල්‍ය අර්බුදයට විරුද්ධ පක්ෂය සේම මහජනතාවද තේරුම් ගෙන තිබෙනුයේ පාලකයාගේ අසාර්ථක පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් මිස ඓතිහාසික අර්ථයෙන් දේශපාලන ක්‍රමය කුණු වූ තත්ත්වයකට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස නොවේ.
අධ්‍යාපන අර්බුදය ර්ථිකය පමණක් නොව රටේ අන් හැම අංශයක්ම තිබෙන්නේද අර්බුදයට ගිය තත්ත්වයකය. ඒ සියලු අර්බුද අතුරින් වාර්ගික අර්බුදයට අතිරේකව මතුපිටට පෙනෙන ලෙස මතු වී තිබෙන අර්බුදයක් බවට පත්ව ඇත්තේ අධ්‍යාපන අර්බුදයයි.
නිදහස් අධ්‍යාපනය ඇති කොට දශක හයකට වැඩි කාලයක් ගෙවී ඇතත් තවම නූතන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමක් සිදු නොවීය. කන්නංගර ඇති කළ අධ්‍යාපන ක්රමයේ අත්තිවාරම කෙලෙසන ආකාරයට පටු දේශපාලන අවශ්‍යතා සලකා වෙන්ව පැවති ප්‍රාථමික පාසල් ක්‍රමය එකට එකතු කරන ක්‍රමයක් තුළ 1 වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමය කිසියම් දිර්ඝ කාලයක සිට ක්‍රමයෙන් අර්බුදයට යමින් තිබුණේය. මෙම අවුලේ අලුත්ම ලක්ෂණය බවට පත් වී ඇත්තේ 1 වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය අධ්‍යාපාන කොමිසම අතින් ගිලිහී එය අධිකරණයේ කාරියක් බවට හැරීමය. 1 වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අවුල නිරාකරණය කර ගැනීම සඳහා අධිකරණය විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශ තිබුණු අවුල වඩා උග්‍ර කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. මෙම මාර්ගෝපදේශවල ඇති නිරර්ථක භාවය හා ප්‍රායෝගික නොවන බව මහජනතාව විසින් තේරුම්ගෙන ඇත්තේ අද නොව ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැගෙන අවස්ථාවේදීමය. එය ඇති කරන්නට නියමිත ගැටලු මහජනතාව කෝපයෙන් ප්‍රතික්‍රියා දක්වන තත්ත්වයකට පවා ඇති කළ හැකිය.
වැටුප්
විෂමතා අවුල
ජ්‍ය සේවකයින්ගේ වැටුප් පිළිබඳ ප්රශ්නය තිබෙන්නේද පහසුවෙන් ලිහාගත නොහැකි අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. එහිදී පිළිගත් ජාතික වැටුප් ප්රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට රට අපොහොසත් වී තිබේ. රාජ්‍ය සේවක වැටුප් කොමිසමට සියලු රාජ්‍ය සේවකයින් ඇතුළත් වන්නේ නැත. වැටුප් කොමිසමේ ප්‍රතිපත්තිවලට පටහැනිව පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වැටුප් හා විනිශ්චය කාරවරුන්ගේ වැටුප් තීරණය කරයි. පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරයෙකුගේ වැටුප් වැඩි කර ගැනීමට අවශ්‍ය වූ විට සිරිතක් වශයෙන් කරන්නේ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි කිරීමය. ඉන් පසු ටික කලක් නිශ්ශබ්දව බලා සිට අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් හා මන්ත්‍රීවරුන් තමන්ගේ වැටුප් අතර විෂමතාවක් ඇති බව ප්‍රකාශ කරමින් ඊට ගැලපෙන තරමට මන්ත්‍රීවරු තමන්ගේ වැටුප් වැඩි කර ගනිති. වැටුප් කොමිසමටද පිළිගත් ප්රතිපත්තියක පිහිටා ක්රියාකරන්නට දේශපාලනඥයින් ඉඩ දෙන්නේ නැත. පොදුවේ සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එකට ගෙන ඔවුන් කරන සේවය අනුව දිය යුතු වැටුප් තීරණය කරනවා වෙනුවට දේශපාලනඥයින් තමන් කැමති කැමති කණ්ඩායම්වලට වැටුප් වෙනස් කරන ප්‍රතිපත්තියක් තුළ රාජ්‍ය සේවක වැටුප් ලේඛන විෂමතාවලින් පිරුණු දෙයක් බවට පත්ව තිබේ.
දැන් ගුරු ශ්‍රේණි කිහිපයක් තමන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා උසස් පෙළ උත්තර පත්‍ර බැලීමෙන් වැළකී සිටින වර්ජනයකට යොමු වී සිටිති. ඔවුන්ගේ දුක් ගැනවිලි සාධාරණ බව අධ්‍යාපන ඇමතිවරයාගේ සේම කැබිනට් මණ්ඩලයේද මතය වී තිබේ. එහෙත් වැටුප් කොමිසමේ මතය වී ඇත්තේ ඔවුන්ගේ විෂමතා ප්රශ්නය නිවැරදි කරන පිළිවෙතකට ගිය හොත් වෙනත් අය සඳහා අලුත් විෂමතා ඇති වී මහා අවුලක් ඇති විය හැකි බැවින් මේ මොහොතේ වෙනස්කම් ඇති කළ නොහැකි බවය.
අධ්‍යාපනයේ එම අර්බුදයද අධිකරණය ඉදිරියට ගියේය. අධිකරණය උත්තර පත්‍ර ඇගයීමට බාධාකිරීම් වළකන වාරණ නියෝගයක් පැනවිය. එහෙත් එවැනි වාරණ නියෝගයක් එම ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැත. වාරණ නියෝගය තිබියදී වර්ජනය දිගටම සිදු කෙරෙමින් පවතී. මේ අවුල අවසන් කරන්න යන්නේ කෙසේද? ඒ නිසා උසස් පෙළ සිසුන්ට සිදුවන හානියට වන්දි ගෙවන්නේ කව්ද?
දේශපාලන ක්‍රමය කුණු වීමෙන් ඇති වී තිබෙන අර්බුදය පුපුරන්නට විලිලමින් තිබෙන්නේ සම්ප්‍රදායික ආකාරයට නොව අලුත්ම ආකාරයකටය. එය ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයද අවුලට හා අසරණ තත්ත්වයකට පත් කරන අර්බුදයක් බවට පත්විය හැකිය.
පාර්ලිමේන්තුව හා ජනාධිපති
නාධිපති වරයාට පාර්ලි මේන්තු කාරක සභාවල මුලසුන දැරීමේ හැකියාවක් තිබේද යන ප්රශ්නය හා පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පාර්ලිමේන්තුවෙන් පිට අරලියගහ මන්දිරයේ පැවැත්විය හැකිද යන ප්රශ්නය මතු වී තිබේ.
පවතින දේශපාලන ක්‍රමය අනුව ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර දී බල බෙදීමක් පවතී. ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු කටයුතුවලට මැදිහත් විය හැක්කේ සීමිත ආකාරයට පමණි. විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුව ඇමතීමේ අයිතිය ජනාධිපති සතුය. එවැනි අවස්ථාවලදි ජනාධිපතිවරයා අසුන්ගත යුත්තේ කතානායක ආසනයේය. එහෙත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධූරයේ සිටිය දී මෙම පිළිගත් සම්ප්රදාය වෙනස් ව මුදල් ඇමති අසුනේ අසුන් ගනිමින් එක විට ජනාධිපති හා මුදල් ඇමති ලෙස අය වැය ලේඛන ඉදිරිපත් කළාය. මෙම ක්‍රියා පිළිවෙතට එරෙහිව ඒ අවස්ථාවේදී විපක්ෂය නැගී නොසිටියේය. ඒ වෙනුවට ඒ ආකාරයෙන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට එන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් ඉල්ලා සිටියාය. රනිල් වික්‍රමසිංහ මහතා එසේ කළේ ඇගේ එම ක්‍රියාව පිළිගත් සම්ප්‍රදායට පටහැනි වුවත් ඇයට එසේ කිරීමට ඉඩ දෙන ප්‍රතිපත්තියක් මගින් කවදා හෝ ජනාධිපති වූ පසු තමන්ටද එම අයිතිය ලැබෙන බව සලකාය. අවසානයේ දැන් ඒ වෙනුවෙන් වන්දිගෙවන්නට සිදු වී ඇත්තේද විපක්ෂයටමය. විය යුතුව තිබුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන ආකාරයට ක්‍රමය වෙනස්කර ගැනීමය. එවැන්නකින් තොරව විපක්ෂය වැරදි සම්ප්රදායක් ඇති කිරීමට ඉඩ දුන්නේය.
ඇමති මණ්ඩලයේ විශාලත්වය
හින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට්ටුවේ විශාලත්වය බෙහෙවින් කතාබහට හේතු වී තිබෙන මාතෘකාවක් වී තිබේ. එය ලෝකයේ තිබෙන විශාලතම කැබිනට්ටුව විය යුතුය. එය නඩත්තු කිරීමට අති විශාල වියදමක් දරන්නට සිදුවන බවට ද සැකයක් තිබිය නොහැකිය. එහෙත් මෙම වියදම් අධික, හාස්‍යජනක ලක්ෂණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පමණක් ආවේනික විශේෂ ලක්ෂණයක් ලෙස සැලකීම වැරදිය. එය 1977 සිට ම ලංකාවේ පැවති සෑම ආණ්ඩුවකට ආවේනික පොදු ලක්ෂණයක් විය. සමහර ආණ්ඩුවල කැබිනට් මණ්ඩලය කුඩා වුවත් ආණ්ඩු පක්ෂයේ තනතුරු දරන්නන්ගේ සංඛ්‍යාව 90% ඉක්මවීය.
ජේ.ආර්. ජයවර්ධනගේ ඇමති මණ්ඩලය විටින් විට 21-26 දක්වා වෙනස් වූවද කැබිනට් නොවන ඇමතිවරු විශාල සංඛ්‍යාවක් සිටියහ. විවිධ දිස්ත්‍රික්කවලටද ඇමතිවරු සිටියහ. නියෝජ්‍ය ඇමතිවරු ද සිටියහ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිය ඇමති මණ්ඩලය 22 කට සීමා කරගෙන සිටියද දෝෂාභියෝගයෙන් පසු මුළු ආණ්ඩු පක්ෂයටම විවිධ තනතුරු ලබා දුන්නේය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පළමු ඇමති මණ්ඩලය 22කට සීමා වුවද ඊට අතිරේකව නියෝජ්‍ය ඇමතිවරුන් 31ක්ද වෙනත් ආකාරවලින් විවිධ තනතුරු දරන තවත් විශාල පිරිසක් ද සිටියේය. ඇගේ දෙවැනි පාලන කාලය තුළ ආණ්ඩු පක්ෂයේ තනතුරු දරන්නන්ගේ සංඛ්‍යාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් 95% ක මට්ටමක් ඉක්මවන තත්ත්වයක තිබුණි. ඇමති තනතුරු නැති අයට විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යාපෘතිවලට සම්බන්ධකරමින් ඒ හැම කෙනෙකුටම වෙන් කරන වාහනයක්ද ඉන්ධන ද, වෙනත් වියදම්ද ලබා දුන්නේය. ආරම්භයේ සිට බලයට පැමිණි හැම ජනාධිපතිවරයෙකු විසින්ම පවත්වාගෙන ආ මේ තත්ත්වයම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රඟ දක්වමින් සිටින ආකාරය වඩා හාස්‍යජනක විය හැකි වුවත් පූර්වගාමීන් හා ඔහු අතර ඇත්තේ ප්‍රමාණාත්මක වෙනසක් මිස ගුණාත්මක වෙනසක් නොවේ. විවිධ තනතුරු දරන්නන් නඩත්තු කිරීම වෙනුවෙන් දරන වියදමේ වෙනස්කම් තිබිය හැකි වුවත් හැම ජනාධිපතිවරයෙකුට ආණ්ඩු පක්ෂය නඩත්තු කිරීම සඳහා හා ඔවුන්ට තෘප්තිමත් ජීවිතයක් සහතික කිරීම සඳහා දරන ලද වියදම අති විශාල විය. මුළු ආණ්ඩු පක්ෂයටම පෙනෙන හෝ නොපෙනෙන ලෙස තනතුරු දීමේ මෙම වියදම් අධික කැත සම්ප්රදාය සැලකිය යුත්තේ තිබෙන අවලස්සන හා දූෂිත දේශපාලන ක්රමයේම ඵලයක් ලෙසය.
ජනාධිපති කොතරම් බලවත් වුවත් පාර්ලිමේන්තුවේ බහුතර පිරිසකගේ සහාය නැතිව ඔහුට පැවතිය නොහැකිය. අවම වශයෙන් පාර්ලිමේන්තුවේදී 113 දෙනෙකු පක්ෂව තබා ගැනීම සඳහා බලයට පත්වන හැම ජනාධිපතිවරයෙකුටම ඔවුන්ට මහජන වියදමෙන් කප්පම් ගෙවන ක්‍රමයක් පවත්වාගෙන යාමට සිදුවී තිබේ. එවැනි විශාල පිරිසක් නඩත්තු කිරීම රටට ඔරොත්තු නොදෙන්නේ නම් එම තත්ත්වය ජයගත හැකි වනු ඇත්තේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමෙන් පමණි. දේශපාලන ක්‍රමය වෙනස් නොකොට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට ගෙනාවද ඒ කැත ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යන විශාල කැබිනට් මණ්ඩලයට විරුද්ධ වීම අර්ථවත් වනු ඇත්තේ එය පවතින දේශපාලන ක්රමයේ ඵලයක් ලෙස සලකා දේශපාලන ක්‍රමය වෙනස් කරගැනීමේ අවශ්‍යතාවද සැලකිල්ලට ගනිමින් විවේචනයේ යෙදෙන්නේ නම් පමණය. එසේ නැතිව ආණ්ඩුව වෙනස් කිරීමෙන් පමණක් එම තත්ත්වය ජය ගත හැකි වේ යැයි කල්පනා කිරීම මුලාවකි.
රටට අවශ්‍ය
ක්රමයේ වෙනසකි
මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ආණ්ඩු පෙරලියකට වඩා දේශපාලන ක්රමයේ ඇතිකරන විශාල වෙනසකි. දේශපාලන ක්රමයේ ඇති පරස්පරතා නිසා ඉදිරියට යා නොහැකි තැනක රටක් හිර වූ විට නැවත ඒ රටට ශක්තිමත් ඉදිරි ගමනක් ලබා ගත හැක්කේ දේශපාලන ක්රමයේ ව්‍යුහයම වෙනස් කම් ඇති කිරීමෙන් පමණය. එය ශ්‍රී ලංකාවට පමණක් නොව මෙවැනි අර්බුදයන්ට මුහුණ දෙන ඕනෑම රටකට ආවේනික පොදු ධර්මතාවකි. එහෙත් එවැනි වෙනසක් ආණ්ඩු පක්ෂයකට හෝ විපක්ෂයට තනිව කළ නොහැකිය.
එක්කෝ ක්‍රමය මහජන විප්ලවයකින් වෙනස් විය යුතුය. එහෙත් එවැනි විප්ලවයකට සුදුසු දේශපාලන පරිසරයක් රටේ නොපවතී. ඊළඟට තිබෙන විකල්පය වන්නේ දේශපාලන පක්ෂ අතර තිබෙන බල තරගය මොහොතකට නතර කොට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය එකතු වී රටට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීමය. එවැනි ක්‍රියාදාමයකට එක්කෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මුල පිරිය යුතුය. ඔහු එසේ නොකරන්නේ නම් විපක්ෂ නායකයා එවැනි ක්‍රියාදාමයකට මුල පිරිය යුතුය. ඒ දෙදෙනාම එසේ නොකරන්නේ නම් දැනුවත් සමාජය ඊට මුල පිරීමක් ලබාදිය යුතුය. ඒ සියලු දෙනා අන්ධයින් ලෙස ක්‍රියා කරන්නේ නම් කාලකණ්ණිභාවය ජය ගැනීමට තව බොහෝ කල් ගත වනු නොවැළැක්විය හැකිය. •