චන්ද්‍රිකා මැතිනියනි, සුදු නෙළුමක් මෙන් නැවත පිපී රාජපක්ෂ ආධිපත්‍යයෙන් රට ගලවා ගනු මැනවි

October 29, 2026
Publication:
Written as an open letter, and entirely ironic. Ivan reminds the former president of what her own hands did — the 226 acres taken from ordinary people at a nominal price for the parliamentary complex and passed to a project whose owner made a billion rupees from selling the rights, the land she had written into her own name on leaving office and had to give back, the UNESCO post she had to give up — before inviting her to save the country from her successor.

කිසියම් දීර්ඝ කාලයක සිට රටේ හැම වැදගත් දෙයක්ම සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ස්වරූපයකිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන බලතරගයේ නීතිරීති හා සම්ප්‍රදායන් සකස් වී ඇත්තේ ද ඊටම ගැලපෙන ආකාරයකටය.

මෙම රාජකීය තරගයෙන් ජය ලබා ගන්නා ජයග්‍රාහකයාට තමන් බලයේ සිටින තාක් කල් ශ්‍රී ලංකාවේ සාරය නමැති කේක්ගෙඩිය කැමති තරමකින් භුක්ති විඳිය හැකිය. එහිදී තම ප්‍රධාන කණ්ඩායමට ද ආධාරකරුවන්ට ද ඉන් කිසියම් කොටසක් බෙදාදීමට සිදුවන්නේය.

දුෂණය හා භීෂණය නීති විරෝධී වුවත්, පාලකයා බලයේ සිටින තාක් ඔහු විසින් සිදු කරන දූෂණ හා භීෂණ ක්‍රියාවන්ට අදාළව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකිය. එහෙත් ප්‍රතිපක්ෂවලට හා ජනමාධ්‍යවේදීන්ට පාලකයාගේ දූෂණ හා භීෂණ ක්‍රියාකාරකම් එක්තරා ප්‍රමාණයකට හෙළිදරව් කිරීමේ හා විවේචනය කිරීමේ අයිතිය හිමිය. එහෙත් ඒ මගින් රාජ්‍ය පාලකයා මහජනයාගේ අප්‍රසාදයට ලක් කළ හැකි වුවත්, එය බලරහිත කිරීමේ හැකියාවක් නැත.

රාජ්‍ය පාලකයාට බලය අහිමිවීමත් සමග ඔහු බලයේ සිටියදී කරන ලද දූෂණ හා භීෂණ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ඇතත්, බලයේ සිටින තෙක් ඔහුගේ දූෂණ භීෂණ ක්‍රියාකාරකම් ගැන මහ හඬින් කතා කළ ප්‍රති පක්ෂ හෝ ජනමාධ්‍යවේදීන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන තැනකට යන්නේ නැත. ප්‍රතිපක්ෂය ඒ වන විට බලයට පත්වූ පක්ෂයක් වන තත්ත්වයක් ඉදිරියේ ජනමාධ්‍යවේදීන් කරන්නේ බලරහිත වූ දුෂ්ටයා වීරයකු බවට පත්කිරීමය. බලයට පත් වීරයා දුෂ්ටයකු බවට පත්කිරීමය. බලයේ සිටියදී දුෂ්ටයාගේ භූමිකාව රඟපෑ හිටපු පාලකයාට එරෙහිව නගන ලද සියලු බිහිසුණු චෝදනා ජනමාධ්‍යවේදීහු වහාම අමතක කරති. දැන් අපට අතීතයෙන් වැඩක් නැත. බලයට පත්ව සිටින දුෂ්ටයාට එරෙහිව අප සමගිව සටන් කළ යුතු බව ඔවුහු කියති. අවසානයේදී ජනමාධ්‍යවේදීන්ගෙන් ලැබෙන කරුණාව නිසා සිය පාලන කාලය තුළ සිදුවූ දූෂණ හා භීෂණ චෝදනාවලින් නිදහස් වී හිටපු පාලකයා නැවත වීරයෙකු බවට පත්වේ.

ක්‍රීඩාවේ නීති රීති හා සම්ප්‍රදායන් සකස් වී ඇත්තේ පාලකයන්ට දඬුවම් විඳීමට ලක්වීමකින් තොරව පාලකයා බලයේ සිටියදී කොල්ලකාගත් ධනය භුක්ති විඳිය හැකි ආකාරයටය. මෙම ක්‍රමය යටතේ පාලන බලයේ සිටියදී ජනමාධ්‍යවේදීන් කරන විවේචන හා හෙළිදරව් කිරීම් ඉවසාගෙන සිටීමේ ශක්තිය ඇතොත් බලයේ සිටියදී කොල්ලකාගත් ධනය බලරහිත වූ පසු නිදහසේ භුක්ති විඳීමේ හැකියාව හිටපු පාලකයාට ලැබෙන්නේය.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයේ සිටියදී පට්ටපල් බොරුකාරියක්, අංක එකේ හෙරක් ලෙස චෝදනා කළ, ඒ චෝදනා ඔප්පු කරන්නට කරුණු ඉදිරිපත් කළ ජනමාධ්‍යවේදීහු අද ඒ අතීතය අමතක කොට ඇය සමග කල්ලි ගැසෙමින් ඇය වීරවරියක් බවට අභිෂේක කරමින් සිටිති.

ඇගේ කාලයේ සිදුවූ දූෂණ භීෂණ ක්‍රියා ගැන අද කිසිවෙක් කතා කරන්නේ නැත. තම පාලන කාලය තුළ ඇය සිත් සේ රටේ සාරය උරා බීවාය. ඒ මගින් පරම්පරා ගණනක් වුවත් වියදම් අධික ජේත්තුකාර මහේශාඛ්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ධනය උපයා ගත්තාය. ඇගේ කාලයේදී ඇය විරුද්ධවාදීන්ගේ රීරිමාංසය උරා බීවාය. සිය දේශපාලන සතුරන් බියගැන්වීම සඳහා මිනී මස් අගනා අවුරුදු තෑගි ලෙස පාර්සල් කොට ඔවුන්ගේ නිවෙස්වලට බෙදා දුන්නාය.

මනෝ ගනේෂලිංගම් මහතාට අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රශ්නය රැගෙන යන්නට සිදුවූයේ ඇය වෙතය. අතුරුදහන්වුවන් පිළිබඳව නිර්භීත ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන ඒ මහතාට ද ඇගේ පාලන යුගය තුළත් අතුරුදහන්වූවන් පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබූ බව මෙතරම් ඉක්මණින් අමතකවීම කෙතරම් ඛේදජනකද? රාජන් හූල් ප්‍රකාශ කර තිබෙන ගණන් හිලව් අනුව 1996 ජූලි සිට ඔක්තෝබර් දක්වා වන මාස තුනක කාලය තුළ පමණක් යාපනේ වලිකාමම් හා තෙන්නමරච්චි ප්‍රදේශවලින් අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාව 340 ඉක්මවීය. පුද්ගලයන් අතුරුදහන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ 1995 මැයි මාසයේ අවසානයේ සිට සති කිහිපයක කාලයක් තුළ කොළඹ ජලාශවල හා ජල මාර්ගවල අභිරහස් මළ සිරුරු 22ක් පාකර හැරීමෙනි.

ඇගේ පෞද්ගලික ආරක්ෂක කණ්ඩායම ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනින් කප්පම් ගත්තේය. තමන්ට අවනත නොවන ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ආයතනවලට පහර දුන්නේය. ගිනි තැබුවේය. රෝහණ කුමාර, කුමාර් පොන්නම්බලම් වැනි පුද්ගලයන් ඝාතනය කළේය. රූකාන්ත-චන්ද්‍රලේඛා වැනි කලාකරුවන් හිංසාවට ලක් කළේය. අනෝජා වීරසිංහගේ මොනරාගල නිවස ගිනිබත් කළේය. එකම දිනක එකම අවස්ථාවක ජනමාධ්‍යවේදීන් විශාල පිරිසකට පහරදී ඔවුන්ගේ වටිනා කැමරා උපකරණ පැහැර ගැනීමෙන් ලෝක වාර්තාවක් ද තැබුවේය.

ඇගේ කාලයේ සිදුවූ මහා පරිමාණයේ දුෂණ දැන් රටට හෝ ජනමාධ්‍යවේදීන්ට මතක නැත. ඇගේ දෙවැනි ධුර කාලය 2005 වසර අවසානයෙන් අවසන් වන බව අධිකරණය තීරණය කිරීමෙන් පසු ඇය රජයේ වියදමෙන් සංවර්ධනය කළ රුපියල් මිලියන 350ක් වටිනා අක්කර එකහමාරක ඉඩමක් සිය නමට ලියවා ගත්තාය. ඊට පෙර දිවංගත සිය සැමියාගේ නාමයට මුවාවී කොළඹ හතේ ස්ටැන්ලි තිලකරත්න මාවතෙන් රුපියල් මිලියන 500ක් පමණ වටිනා රජයේ ඉඩමක් තමන් වෙත ලබාගෙන තිබුණු අතර, සිය පුතාගේ නමට ද වැලිගම මුහුදට යාව අක්කර දෙකක ඉඩමක් ලබාගෙන තිබුණි. මේ සියලු ඉඩම්වල වටිනාකම රුපියල් මිලියන 1000කට වැඩි මිස අඩු නැත.

දූෂණයේදී ඇය වාර්තා පිට වාර්තා තැබූ නායිකාවකි. ප්‍රංශ දුම්රිය එන්ජින් ගනුදෙනුවේදී ඇයට අවශ්‍ය අනුග්‍රහය ලබා නොදීමේ වරදට භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙදර යන්නට සිදුවිය. එම දුම්රිය එන්ජින් කට්ටල්වලින් බහුතරයක් අදත් තිබෙන්නේ වැඩකට ගත නොහැකි තත්ත්වයකය. එම දුම්රිය එන්ජින් කට්ටල් දූෂිත පාලකයන් සඳහා ගොඩනගන කෞතුකාගාරයක තැන්පත් කළ යුතුය.

පාර්ලිමේන්තු සංකීර්ණය පවතින කලාපය තුළ ඇයට ගොල්ෆ් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය වූයේ රොනී පීරිස් ඉදිරියට දමාගෙන ඇයට එම ව්‍යාපෘතියෙන් විශාල මුදල් කන්දරාවක් කඩා ගැනීමට අවශ්‍ය වූ නිසාය. ව්‍යාපෘතිය සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණය අක්කර 226ක් වන අතර, ව්‍යාපෘතියේ අයිතිය විකිණීමෙන් පමණක් රොනී පීරිස් රුපියල් බිලියනයක් පමණ ඉපයීය. ඒ ඉඩම් පාර්ලිමේන්තු සංකීර්ණය වෙනුවෙන් ලබාගන්නේ මහජනයාගෙනි. ඔවුන්ට වන්දි වශයෙන් ගෙවන ලද්දේ සොච්චම් මිලකි. අවසානයේදි සොච්චම් මිලක් ගෙවා මහජනයාගෙන් අත්පත් කරගත් ඉඩම් ව්‍යාපාරික ව්‍යාපෘතියකට පැවරීම මගින් රුපියල් කෝටි ගණනක් අයථා ලෙස උපයා ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමත් වූවාය.

ඇගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක වූ ප්‍රධාන පෙළේ හැම ව්‍යාපෘතියකින්ම ඇය මුදල් ඉපයූවාය. ලැයිස්තුව ඉතා දිගය. ඒ සියලු ව්‍යාපෘති මගින් උපයන්නට ඇති ධනස්කන්ධය ද ඉතා විශාලය. ඇය ද ගුවන් යානාවලින්, නාවික යාත්‍රාවලින් හා මිලදී ගන්නා ආයුධවලින් මුදල් ඉපයුවාය. 2000 සිට 2005 දක්වා කාලය තුළ අවි ආයුධ මිලදී ගැනීම්වලදී සිදුවී තිබෙන දූෂණ ගැන සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පතර කර තිබෙන අතර, එම කොමිසම සිය අතුරු වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදී තිබේ. ඇගේ පාලන කාලය තුළ ආයුධ මිලදී ගැනීමේදී සිදුවී තිබෙන දූෂණ පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇතැයි සිතිය හැකිය.

ඇය සිය පාලන කාලය තුළ මහපොළොව පමණක් නොව, අහස ද උලා කෑවාය. රටක රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානයක් සඳහා වන බලපත්‍රයකට තිබෙන වෙළෙඳපොළ වටිනාකම අතිවිශාලය. වෙනත් රටවල නම් ගුවන් විදුලි තරංග සැලකෙනුයේ පොදු මහජනතාව සතු සම්පතක් ලෙසය. බලපත්‍ර ලබාදෙන්නේ වෙන්දේසි ක්‍රමයට වැඩිම මිලක් ගෙවන්නට සූදානම් ඉල්ලුම්කරුටය. එහෙත් අපේ රටේ අන් සියලු ජනාධිපතිවරුන් සේ ම ඇය ද බලපත්‍ර නිකුත් කරන ලද්දේ ගජ මිතුරන්ටය. එහෙත් වෙනත් ජනාධිපතිවරුන්ට වෙනස්ව ඇය තමන්ගේ නමට ද බලපත්‍ර ලබා ගත්තාය.

මා දන්නා එක් අපූරු කතාවක් මෙසේය. විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුර අමරසේකර තනතුර අත්හැර යන විට තමන්ගේ නමට ද බලපත්‍රයක් රැගෙන ගියේය. එය ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙනුවෙන් ලබා ගන්නා ලද බලපත්‍රයක් බව කියනු ලැබේ. එම බලපත්‍රය ඩයලොග් සමාගමට විකුණන ලද්දේ ඩොලර් මිලියන 4කට ආසන්න මුදලකටය. කොළ කෑල්ලකින් පමණක් උපයන ලද ආදායම රුපියල් ලක්ෂ 400කි.

ඇගේ ලස්සනම සොරකම සිදුවූයේ ජනාධිපතිවරණය කාලයේදීය. ඇයට බලය අතහැර යන්නට සිදුවූයේ අනපේක්ෂිත අවස්ථාවකදීය. තමාට තව ඇත්තේ දින ගණනක කාලයක් බව තේරුම් ගත් ඇය ගෙනයා හැකි හැම දෙයක්ම පොදි බැඳගන්නා පිළිවෙතක් අනුගමනය කර තිබෙන බව පෙනේ. ජනාධිපති අරමුදල තිබුණේ ඇය යටතේය. එම අරමුදලෙන් ද කුට්ටියක් කඩාගෙන යෑම ඇගේ අරමුණ විය. ඇය කඩිමුඩියේ තමන්ට ප්‍රධානත්වය ලැබෙන ආකාරයට භාරයක් පිහිටුවා ගත්තාය. ඒ භාරය වෙනුවෙන් මහජන බැංකුවේ නව ගිණුමක් ද (අංක 045100151820752) විවෘත කරවා ගත්තාය. ඉන්පසු ජනාධිපති අරමුදලෙන් එම ගිණුමට චෙක්පත් දෙකක් මගින් රුපියල් ලක්ෂ 600ක් බැර කරවා ගත්තාය.

දැන් ජනමාධ්‍ය විසින් නැවත වීරවරියක් බවට පත්කරමින් සිටින්නේ එවැනි දහජරා ඉතිහාසයක් ඇති ගැහැනියකි. තමාගේ අධ්‍යාපනික සුදුසුකම්වල සිටම රටට බොරු ඇද බෑ, පාලන බලයේ සිටියදී උපරිම ලෙස රටේ සාරය උරාබිව් ඇය වැනි චෞර නායිකාවක් සිටිය යුත්තේ දේශපාලන ලෝකයේ නොව හිරගෙදරය.

රාජ්‍ය පාලකයා බලයේ සිටියදී කරන දුෂණ භීෂණ ක්‍රියා හෙළිදරව් කළ යුතුය. එහෙත් පවතින දේශපාලන ක්‍රමය තුළ පාලකයා බලයේ සිටින තාක් ඔහු කරන එවැනි වැරදිවලට එරෙහිව ඔහුට දඬුවම් පැමිණවීමේ හැකියාවක් නැත. හෙළිදරව්කිරීම්වලින් හෝ විවේචනවලින් කළ හැක්කේ ඔහු කෙරෙහි මහජන අප්‍රසාදයක් ඇති කිරීම පමණය. එහෙත් බලය අහිමිවීමත් සමග ඔහුට මුක්තියෙන් ලැබී තිබෙන ආරක්ෂාව අහිමි වී පාලන බලයේ සිටියදී කරන ලද බරපතළ වැරදිවලට එරෙහිව ඔහු නීතිය ඉදිරියට පමුණුවාලීමේ හැකියාව ලැබෙන්නේය. එහෙත් අවාසනාවකට මෙන් පාලකයා රාජ්‍ය බලයේ සිටියදී ඔහු කරන වැරදිවලට එරෙහිව සටන් කරන කිසිවෙක් බලය අහිමිවීමෙන් පසු ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන තැනකට යන්නේ නැත. ඒ වෙනුවට සාමාන්‍යයෙන් සිදුවන්නේ බලයේ සිටියදී කරන ලද සියලු විරෝධතා හෙළිදරව් කිරීම් අමතක කොට නැවත එම විවේචකයින් හිටපු රාජ්‍ය පාලකයා සමග එකට කල්ලි ගැසී සහයෝගයෙන් ක්‍රියා කරන තැනකට තල්ලුවීමය. මෙම වැරදි පිළිවෙත නිසා බරපතළ වැරදි කළ රාජ්‍ය පාලකයින්ට දඬුවම් ලැබීමේ අවදානමකින් තොරව බලයේ සිටියදී සොරකම් කළ ධනය නිදහසේ භුක්ති විඳිමින් සැපවත් ජීවිත පවත්වාගෙන යෑමේ හැකියාව ලැබී ඇත්තේය.

දැන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ ද එයයි. එහෙත් විය යුතුව තිබෙන්නේ ඇය පාලන බලයේ සිටියදී කරන ලද බරපතළ වැරදිවලට එරෙහිව ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන තැනකට යොමුවීමය. පාලකයන්ගේ චර්යාවේ වෙනසක් ඇති කිරීමට හැකිවනු ඇත්තේ එවැනි ක්‍රියාමාර්ගයකින් පමණය. ඇය විසින් කරන ලද වැරදිවලට ඇයට දඬුවම් ලැබෙතොත් තමන්ට ද එවැනිම අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවිය හැකි බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සේ ම ඊළඟට බලයට එන වෙනත් ජනාධිපතිවරුන් ද තේරුම් ගනු ඇත්තේය. ජනාධිපතිවරුන්ට ලැබෙන අතිවිශාල බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ සම්ප්‍රදායේ යහපත් වෙනසක් ඇතිවනු ඇත්තේ එවිටය.

ඇය ධුර කාලය අවසන් වන විට රැගෙන යන්නට තම නමට වටිනා ඉඩමක් ලියවා ගත්තාය. එම ක්‍රියාවට එරෙහිව අධිකරණයට ගිය විට ඇයට තමා නමට ලියවා ගත් ඉඩම ආපසු රජයට දෙන්නට සිදුවිය. ඉන්පසු යුනෙස්කෝව ඇයට උපදේශක තනතුරක් ලබා දුන් අවස්ථාවේදී ද ඊට එරෙහිව එල්ල වූ විරෝධතා නිසා ඇයට දෙන ලද තනතුර අත්හිටුවීමට යුනෙස්කෝවට සිදුවිය.

දැන් ඇය නැවත රටට පැමිණ ඇත්තේ තමන් කරන ලද බරපතළ වැරදි මේ වන විට රටට අමතක වී ඇතැයි කල්පනා කරන නිසා විය යුතුය. ඇගේ තක්සේරුව නිවැරදිය. ඇය වැනි දූෂිත, තක්කඩි නායිකාවකට නැවත වීරවරියක වන්නට ඉඩ දෙනවා ද යන්න ජනතාව නැවත බැ?රුම් ලෙස සිතා බැලිය යුතුය. •