චම්පික රණවක හා ශබ්ද දූෂණය

October 29, 2026
Publication:
The Hela Urumaya's outlook is divisive, Ivan writes, and its lay leader's noise-control bill is a good and forward-looking law: no loudspeakers from ten at night until dawn. He blames the UNP for opposing it in order to stir religious feeling, and says religious observance may be broadcast to the temple, the church or the kovil but not forced on people who are asleep.

හෙළ උරුමයේ දේශපාලන දෘෂ්ටිය භේදකාරි ය. එය සම අයිතිවාසිකම් සහිත එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් ඇති කිරීමට බාධා කරයි.

එහෙත් හෙළ උරුමයේ ගිහි නායකයා ලෙස සැලකිය හැකි පාරිසරික ඇමති චම්පික රණවක මහතා ශබ්ද දූෂණය පාලනය සඳහා ඉදිරියට ගෙනා නීති කෙටුම්පත සමාජයේ පොදු යහපතට හේතුවන ඉදිරිගාමී නීති කෙටුම්පතක් බව ප්‍රකාශ කළ යුතු ය. රාත්‍රී 10න් පසු එළිවන තෙක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කිරීම එහි අරමුණ විය.

එහෙත් අවාසනාවකට රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හෙළ උරුමයට එරෙහිව ආගම් කුලප්පු කරවීමේ දුෂ්ට අරමුණින් යුතුව එම නීති සම්පාදනයට එරෙහිව නැගී සිටියේ ය. මෙම නීතිය නිසා ආගමික පෙරහැර, සර්ව රාත්‍රික පිරිත් පින්කම් හා රාත්‍රී කාලයේ පවත්වන වෙනත් ආගමික උත්සව පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇති බව කියමින් හෙළ උරුමය යෙදෙන දේශපාලනයට සමාන පටු ආගම්වාදී දේශපාලනයක යෙදුණේ ය.

ආගම්වල පැවැත්ම ඉතා වැදගත් වුවත්, ආගම් සමාජය පීඩාවට ලක් කරන ක්‍රියාකාරකම්වල යෙදිය යුතු නැත. රාත්‍රී කාලයේදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සමාජය කෙරෙහි හානිකර බලපෑමක් ඇති කරයි. දහවල් වැඩ කිරීමෙන් හෝ අධ්‍යාපනයේ යෙදීමෙන් පසු මිනිසුන් නින්දට යන්නේ රාත්‍රී කාලයේ ය. ජීවිත පැවැත්ම සඳහා නින්ද අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකේ. රාත්‍රී කාලයේ මහජනයාගේ නින්දාවට බාධාවක් ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි නො කළ යුතු ය. එහෙත් ඉන් මහජනයාට වන හානිය නො සලකා කවර අරමුණක් සඳහා හෝ ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්නේ නම්, එම තත්ත්වය වැළැක්වීමට අවශ්‍ය නීති තිබිය යුතු ය. එය හැම ශිෂ්ටසම්පන්න රටක ම පාහේ පවත්නා තත්ත්වයකි. එවැනි නීති නිසා ආගමික ක්‍රියාකාරකම්වලට බාධාවක් වන්නේ නැත. රාත්‍රී නිදි වර්ජිතව පන්සලක, පල්ලියක හෝ කෝවිලක සිදුවන ආගමික කටයුත්තකට සහභාගිවීමට අවශ්‍ය බැතිමතුන්ට එහි ගොස් ආගමික වතාවත්වල යෙදීමේ අයිතිය තිබිය යුතු ය. එහෙත් එය සිදුවිය යුත්තේ ඉන් පිටස්තරව නින්දට යන ජනතාවට අවහිරයක් නොවන ලෙස ය. එහිදී ශබ්ද භාවිතය ආගමික වතාවත් සිදු කරන පන්සලට, පල්ලියට හෝ කෝවිලට සීමා කරගත හැකි ය. ආගමික වැඩසටහන් වුවත් බලහත්කාරයෙන් නින්දේ සිටින අයට අසන්නට සැලැස්වීම සාධාරණ නැත.

දේශපාලන පක්ෂ පටු දේශපාලන වාසි සලකා රට අවුල් කරන තැනකට නො යා යුතු ය. හෙළ උරුමයේ දේශපාලන භාවිතයේ හරි වරද කුමක් වුවත්, එජාප වැනි වගකිවයුතු පක්ෂයක් හෙළ උරුමය ඉදිරියට ගෙනා ශබ්ද සීමා නීතියේ දී කළ යුතුව තිබුණේ ආගම් කුලප්පු කරන තැනකට යෑම නො ව, සමාජයේ පොදු යහපතට හේතුවන එම නීති කෙටුම්පත සම්මත කරගැනීමට සහාය දීම ය. එහෙත් එම පක්ෂය අනුගමනය කළ එම අවස්ථාවාදී ප්‍රතිපත්තිය නිසා එම නීතිය සම්මත කරගත නො හැකි තත්ත්වයක් දැන් උදාවී තිබේ. ඒ මගින් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පාලන කාලය තුළ පවා එවැනි නීතියක් ඉදිරියට ගෙන ආ නො හැකි තත්ත්වයක් ඇතිකර ගත්තේ ය. •