නාගරික කොමසාරිස් හා හිටපු මහා භාරකරු

October 29, 2026
Publication:
People:
The Colombo municipality is a tangle, and the plan to replace its commissioner was stopped when he went to the Supreme Court. Ivan then turns to the man being manoeuvred back into the public trustee's office — who, as deputy, helped sell temple land as private land, and whose department's trusts and funds he spent as he pleased. 'God help the public trustee's department.'

කොළඹ නගර සභාව තිබෙන්නේ අවුල් ජාලාවකය. එම අවුල ජයගැනීමට තිබෙන එක් ක්‍රමයක් වනුයේ නගර සභාව විශේෂ කොමසාරිස්වරයකුගේ පාලනයකට නතු කිරීමය. නාගරික කොමසාරිස්වරයාට එල්ල වී තිබෙන චෝදනා අනුව කොළඹ නගර සභාවේ පාලනය, දැනට සිටින නාගරික කොමසාරිස්වරයා අතට පත් කිරීම සුදුසු නැතැයි සලකා ඔහු වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට ආණ්ඩුව සැලසුම් කළේය.

නාගරික කොමසාරිස්වරයා වහාම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. තමා නාගරික කොමසාරිස්වරයා වශයෙන් කිසිම දූෂණ ක්‍රියාවක නිරත වී නැති බව ප්‍රකාශ කරමින් තමාගේ තනතුරු අහිමි කිරීම මගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවීමට ආසන්න තත්ත්වයක් ඇති බව ප්‍රකාශ කරමින්, තමා නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීමට බලපාන අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා සිටියේය.

ඔහුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නේ නම් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දිය යුතු බව පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් තමා කිසිම දූෂණයක යෙදී නැතැයි කිව් පමණින් එකී පුද්ගලයා සර්ව නිර්දෝෂී පිරිසිදු පුද්ගලයෙකු වන්නේ නැත.

කොළඹ නගර සභාව දූෂණයෙන් ඉහවහා ගිය ආයතනයකි. නගර සභාවට ලැබිය යුතු ආදායම්වලින් කිසියම් විශාල පංගුවක් නාගරික කොමසාරිස්වරයාගේ සාක්කුවට යන බව මෙම විෂය පිළිබඳව අවබෝධයක් ඇති බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. ප්‍රචාරක දැන්වීම් පුවරුවලින්, කුණුවලින්, අනවසර ඉදිකිරීම්වලින් හා සැලසුම් අනුමත කිරීම මගින් කොමසාරිස්වරයා අයථා ලෙස වසරකට උපයන ආදායමේ ප්‍රමාණය කෝටි ගණනක් වන බව ඔවුන්ගේ මතයයි. 2006 වසර සඳහා ප්‍රචාරක දැන්වීම්වලින් අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 60ක් වුවත්, උපයා තිබුණේ මිලියන 09ක් පමණය. කුණු ඉවත් කිරීම සඳහා පමණක් නගර සභාව කරන වියදම දෙවැනි වනුයේ නගර සභාවේ වැටුප්වලට පමණය. කුණු ඉවත් කිරීම සඳහා වාර්ෂික වියදම රුපියල් මිලියන 640කි. පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්කාර සමාගම්වලට සිය කොන්ත්‍රාත් දීර්ඝ කරගැනීම සඳහා සිරිතක් වශයෙන් උසස් නිලධාරීන්ට ලොකු පගා ගෙවීමට සිදුවී තිබෙන්නේය. ක්ලීන් කෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය සිය කොන්ත්‍රාත්තුව දීර්ඝ කරගැනීම සඳහා එක වරකට රුපියල් ලක්ෂ 70 බැගින් දෙවරකට ගෙවා තිබෙන පගාවේ ප්‍රමාණය මිලියන 14කි.

හිටපු මහා භාරකාර සරත් සෙනෙවිරත්න ද අලුත් අඩව්වක් අල්ලමින් සිටින බව පෙනේ. ඔහු අධිකරණ නිලධාරියෙකි. ඔහු ගම්පහ අධිකරණයේ සේවයේ නිරතව සිටියදී දිගින් දිගටම එල්ල වන්නට වූ චෝදනා නිසා එවකට හිටපු අගවිනිසුරු පාලින්ද රණසිංහ මහතාට ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා සොයා බැලීම සඳහා මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට සිදුවිය. ඒක පුද්ගල පරීක්ෂණයෙන් චෝදනා සනාථවීමෙන් පසු අධිකරණ සේවයෙන් ඉවත් කළ යුතු තත්ත්වයක සිටියදී ඔහු ජනාධිපති විජේතුංගගේ සහාය ලබාගෙන පළමුව අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවටත්, ඉන්පසුව මහා භාරකාර දෙපාර්තමේන්තුවටත් පැන ගත්තේය. නියෝජ්‍ය මහා භාරකාරවරයාව සිටියදී භික්ෂූන් වහන්සේ නමක් සමග එකතු වී සාංඝික ඉඩමක් පුද්ගලික ඉඩමක් ලෙස කූට ලෙස ව්‍යාපාරිකයෙකුට විකුණුවේය. අවසානයේ ව්‍යාපාරිකයාට සිය අලාභය අයකර ගැනීම සඳහා ඉඩම විකුණූ භික්ෂුව, එය සාංඝීක ඉඩමක් නොවන බවට සහතික වූ සරත් සෙනෙවිරත්න හා ඔප්පු ලිවූ සරත් සෙනෙවිරත්නගේ නීතීඥ මස්සිනාට එරෙහිව නඩු පැවරීමට සිදුවිය.

ඔහු මහා භාරකාරයාව සිටියදී දෙපාර්තමේන්තුව භාරයේ තිබූ භාර හා අරමුදල් රිසි සේ ගසා කෑවේය. ඔහුගේ පාලන කාලය තුළ භාරවලට අයත් වටිනා නාගරික ඉඩම් පවා හොර පාරේ විකුණුවේය. දෙපාර්තමේන්තුව යටතේ තිබෙන භාරවල අරමුදල් රුපියල් මිලියන 131ක් ප්‍රමුඛ බැංකුවේ තැන්පත් කොට රුපියල් ලක්ෂ 19ක පගාවක් ප්‍රමුඛ බැංකුවෙන් ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳ මහ බැංකුව විසින් කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මහා භාරකාරයා පිළිබඳව පරීක්ෂණ දෙකක් පැවැත්වීය. පරීක්ෂණයෙන් මහා භාරකාරයා ලක්ෂ 19ක අල්ලසක් ලබාගෙන ඇති බව තහවුරුවීමෙන් පසුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මහා භාරකාරයාට එරෙහිව මහාධිකරණය ඉදිරියේ නඩු හතක් පැවරීය.

මහා භාරකාරයා අධිකරණ නිලධාරියෙකු වීම නිසාත් මහා භාරකාර ධුරයට පත්වීමෙන් පසුව ඔහු අධිකරණයේ උසස් ම නිලධාරීන් සමග පැවති සමීප සම්බන්ධය නිසාත් මහා භාරකාරයාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග තිබූ සමීප මිත්‍රත්වය නිසාත්, මෙම විෂය ගැන උනන්දුවක් දක්වන අය මෙම නඩු පැවරීම දෙස බලා සිටියේ සැකයෙනි.

ඒ සැකය තහවුරු කරමින් ඔහු පළමු නඩුවෙන් ජය ගත්තේය. එම ජයග්‍රහණය රහසක් වශයෙන් තබා ගැනීමට සියලු කටයුතු ක්‍රියාත්මක විය. කිසිම පුවත්පතක් පළමු නඩුවෙන් මහා භාරකාරවරයා නිදහස් වූ බව වාර්තා කළේ නැත. ඉන්පසු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔහුට එරෙහිව පවරා තිබූ අනෙක් නඩු හයම ඉවත් කරගත්තේය. එය ද ජනමාධ්‍ය වාර්තා නොකළ රහසක් විය.

දැන් මේ වංචාකාරයා නැවත මහා භාරකාර ධුරයට ගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවෙමින් පවතී. මහා භාරකාර දෙපාර්තමේන්තුවට දෙවියන්ගේම පිහිටයි! •