ඓතිහාසික අර්ථයෙන් ගත් විට ශ්‍රී ලංකාව නිදහස ලැබීමේ සිටම ඉතා හෙමින් හෙමින් වුවත්, අගාධයක් කරා ගමන් ගනිමින් තිබූ රටක් ලෙස සැලකිය හැකිය. එය විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරගැනීමත් සමග වේගවත් ආර්ථික සංවර්ධනයක් ද සමග වඩා වේගයෙන් අගාධය කරා යන ගමනක් බවට පත්වී යැයි කිව හැකිය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් දේශපාලන ක්‍රමය සිය අවස්ථාවාදී වුවමනාවන්ට ගැලපෙන ලෙස විකෘති කළේය. ඊට පෙර සිරිමා බණ්ඩාරනායක යුගයේදී ද කොල්වින් ආර්. ද සිල්වා අතින් දේශපාලන ක්‍රමය අවස්ථාවදී වුවමනාවන්ට ගැලපෙන ලෙස වෙනස් කිරීමක් සිදුවුවත් එය ජේ.ආර්. ජයවර්ධන යුගයේ සිදුවූ විකෘති කිරීම් තරම් විශාල නොවීය.
ඡන්ද කොට්ඨාස ක්‍රමයෙන් ලබා ගත් වැඩි ආසන සංඛ්‍යාව අනුපාතික ක්‍රමය මත පදනම් වූ විධායක ජනාධිපති ක්‍රමයකට බද්ධ කරගැනීමෙන් නොනැවතී පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමෙන් පසු මැතිවරණයකට නොගොස් තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුව ඊනියා ජනමතවිචාරණයක් මගින් තවත් අවුරුදු හයක කාලයක් සඳහා වලංගු කරගත්තේය. සිදුවූ එම මහා විකෘති කිරීමට එරෙහිව විරුද්ධ පක්ෂ කන්කෙඳිරි ගෑවා විනා බලවත් ලෙස නැගී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේය.
ජනමතවිචාරණයක් වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම්, නැවත ජය ගැනීමේ වැඩි හැකියාවක් තිබුණේ ආණ්ඩු පක්ෂයට වුවත්, විරුද්ධ පක්ෂවල පාර්ලිමේන්තු නියෝජනය බලවත් වී ශක්තිමත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් ඇතිවන්නට ඉඩ තිබුණි. ජවිපෙ ද පහසුවෙන් ආපසු හැරී යා නොහැකි ලෙස පාර්ලිමේන්තු දේශපාලනයට ගැට ගැසෙන්නට ඉඩ තිබුණේය.
එසේ වී නම් කළු ජූලියක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම, උතුරු නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු නියෝජනය අහිමි නොවී උතුරේ මෙවැනි බලගතු කැරැල්ලක් මතු නොවන්නට ද ඉඩ තිබුණේය. දකුණේ ඇතිවන සාමකාමී වාතාවරණය උතුරේ ගැටලු ලිහා ගැනීමට පහසු කරන්නට ඉඩ තිබුණේය.
මුළු දේශපාලන ක්‍රමය විකෘති කිරීමට හේතුවූ ජේ.ආර්. ජයවර්ධනගේ ජනමතවිචාරණ වැඩපිළිවෙල සමස්ත දේශපාලන ක්රමයම උරගා බැලීමකට ලක් කෙරුණු ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
විරුද්ධ පක්ෂවලට ඒ මොහොතේ දරුණු මර්දනයක් එල්ල වී තිබුණු බව සැබෑය. එහෙත් ජනමතවිචාරණ වැඩපිළිවෙළට එරෙහිව සියලු විරුද්ධ පක්ෂ බලවේග සමගි කොට බලවත් ලෙස ක්‍රියාකරන තැනකට ගැනීමට ශ්‍රීලනිපයේ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමත් වී නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. ඒ අවස්ථාවේදී ශ්‍රීලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක පමණක් නොව, දෙමළ ජනතාවගේ නායකයාව සිටි අමිර්තලිංගම් ද අනුගමනය කළේ වැනෙන සුළු අවස්ථාවාදී පිළිවෙතකි. ඒ අවස්ථාවේදී ද ශ්රීලනිපය විසින් රඟපෑ අවස්ථාවදී භූමිකාව පිළිබඳව මික් මෝර් විසින් ද, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ රඟපෑ අවස්ථාවාදී භූමිකාව පිළිබඳ රාජන් හූල් විසින් ද කදිමට විග්රහ කර තිබේ.
ජනමතවිචාරණයට යන්නට පෙර ජේ.ආර්. ජයවර්ධන විසින් සියලු එජාප මන්ත්‍රීවරුන්ගෙන් දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගත්තේය. එම අත්තනෝමතික වැඩපිළිවෙළට විරුද්ධ වීමට එජාප තුළ කොන්දක් තිබුණේ එකම එක පුද්ගලයෙකුට පමණය. ඒ පානදුරේ නෙවිල් ප්‍රනාන්දුට පමණය. එම පරීක්ෂණයෙන් රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි යෝධ නායකයින් පමණක් නොව, වත්මනයේ එජාපයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ ද පැරදුණේය. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පැවති හිස්බවේ තරම ඉන් පෙන්නුම් කෙරේ.
දේශපාලන පක්ෂ ක්‍රමයට අතිරේකව ජනමතවිචාරණය රටේ පැවති අධිකරණ ක්‍රමය ද පරීක්ෂාවට ලක් කළේය. ජනමතවිචාරණයක වලංගුභාවය පරීක්ෂා කරන නඩු විභාගයේදී එවකට රටේ අගවිනිසුරුව සිටි නෙවිල් සමරකෝන් ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දික්කර ගැනීමේ වැඩපිළිවෙලට එරෙහිව දැඩිව සිටිය ද අගවිනිසුරුගේ සහාය නැතිවත් ඒ වැඩපිළිවෙළට සහාය දෙන දේශපාලන එහෙයියන් පිරිසක් අධිකරණයේ සිටියේය. විනිශ්චය මණ්ඩලයේ නවදෙනාගෙන් හතරදෙනෙක් විරුද්ධ වන විට පස්දෙනෙක් පක්ෂ විය.
එය ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය උරගා බැලූ වැදගත් අවස්ථාවක් විය.
ජනමතවිචාරණයේ ප්‍රතිඵලයෙන් පසුව වුවත් ප්‍රතිඵලයේ වලංගුභාවය අධිකරණය ඉදිරියේ බලවත් ලෙස අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් විරුද්ධ පක්ෂවලට තිබුණේය. ඒ මොහොත වන විට අධිකරණය මුළුමණින්ම ඒකපාක්ෂික තත්ත්වයක නොතිබුණි.
ජනමතවිචාරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා අධිකරණය ඉදිරියට ගිය ආකාරය පිළිබඳව අප්‍රකට විස්තරයක් ප්‍රින්ස් ගුණසේකරගේ “ලොස්ටි ජෙනරේෂන්” නමැති කෘතියට ඇතුළත්ය.
ජනමතවිචාරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරන නඩුවකින් ජයගත හැකිවේ යැයි ෆීලික්ස් විශ්වාස කළේය. ජනමතවිචාරණයෙන් වැඩිම අලාභය වී තිබුණේ ශ්‍රීලනිපයට නිසා තමන් ඉදිරිපත් කරන එම නඩුවේ පෙත්සම්කාරිය විය හැකිදැයි ඔහු ප්‍රින්ස් ගුණසේකර මගින් බණ්ඩාරනායක මැතිනියගෙන් විමසුවේය. බණ්ඩාරනායක මැතිනිය ඊට එක පයින් කැමති විය. ෆීලික්ස් පෙත්සමේ සියලු කටයුතු අවසන් කිරීමෙන් පසු එහි පෙත්සම්කරුවීමට බණ්ඩාරනායක මැතිනිය අකමැති වීම නිසා පෙත්සම්කරුවකු නැති අඩුව සපුරා ගන්නට සිදුවී ඇත්තේ රෝහණ විජේවීර ගෙනි.
ජනමතවිචාරණය විසින් දේශපාලන ක්රමයේ ඇති කළ මහා විකෘතිය වෙනුවෙන් අතිවිශාල වන්දියක් ගෙවීමට රටට සිදුවිය. දැන උගත්කමක් ඇති වැඩිහිටි මිනිසුන් සිය යුතුකම් ඉටුකිරීමෙන් වැළකී සිටින විට දැන උගත්කමක් නැති සිංහල දෙමළ තරුණ තරුණියන් තමන් දන්නා තුවක්කුවේ භාෂාවෙන් කතා කරන තැනකට ගියේය. මුළු රටම ලේවලින් නැහැවුණේය.
අවුරුදු 17කට පසුව පාලන බලය මාරුවීමෙන් පසුවත්, බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්ඩුව ජේ.ආර්. ජයවර්ධන විසින් දේශපාලන ක්රමයේ ඇති කර තිබුණු මහා විකෘතිය අහෝසි කරන තැනකට ගියේ නැත. ඒ වෙනුවට ජේ.ආර්. ජයවර්ධනගේ කැත දේශපාලන උරුමයන් උජාරුවෙන් ඉදිරියට ගෙන යන පිරිසක් බවට පත්වූහ. මැතිවරණ ජයගත යුතු ආකාරය තමන්ට ජේ.ආර්. ජයවර්ධන විසින් කියා දී ඇති බැවින් මැතිවරණවලදී තමන් පරාජය කිරීමේ හැකියාවක් කාටවත් නැති බවට වහසි බස් ද කීවේය.
පාලකයන් අතින් දේශපාලන ක්රමයේ බරපතල විකෘති කිරීම් ඇතිවූ විට ඊළඟට බලයට පත්වන පාලකයා අතින් ඒ විකෘති කිරීම් නිවැරදි විය යුතුය. දේශපාලන ක්‍රමය ගරා හැලෙන තත්ත්වයකට පත් නොවනුයේ එසේ කරන්නේ නම් පමණය.
ඉන්දිරා ගාන්ධිගේ අවසාන පාලන කාලය තුළ ඇය අතින් බරපතළ වැරදි ගණනාවක් සිදුවී තිබුණි. ඒ වැරදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි ද බලපා තිබුණි. ඉන්පසු එළඹෙන දේසායිගේ පාලන යුගය තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති කර තිබුණු සියලු විකෘති කිරීම් නිවැරදි කළේය. එම නිවැරදි කිරීමේ ක්‍රියාවලියට කොංග්රස් පක්ෂය ද ආධාර කළේය.
94 බලයට පැමිණීමෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංග අතින් සිදුවිය යුතුව තිබුණේ ද එයයි. එහෙත් ඇයට එවැනි ඉදිරි දැක්මක් නොතිබුණි.
77ට පෙර පැවති ක්‍රමය තුළ ඥාති සංග්‍රහය, පාක්ෂිකයින්ට වැඩි සැලකිලි දැක්වීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොසලකා ක්රිියා කිරීම වැනි ලක්ෂණ තිබුණ ද දේශපාලකයින්ට පොදු වස්තුව කොල්ලකෑමේ හැකියාවක් ඒ දේශපාලන ක්‍රමය තුළ නොතිබුණි. පාලක දේශපාලකයින්ට පොදු වස්තුව කොල්ලකෑමට තිබෙන හැකියාව ජේ.ආර්. ජයවර්ධන ඇති කළ ක්‍රමයට ආවේණික විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ජේ.ආර්. යුගයේදී ඔහුගේ ගෝල බාලයින් පොදු වස්තුව කොල්ලකෑවේ රට සංවර්ධනය කරමිනි. ඒ නිසා දේශපාලකයින්ගේ ඇඟපත පමණක් නොව, රටේ ඇඟ පත ද ලොකු මහත් විය. එහෙත් චන්ද්‍රිකා යුගයේ පාලකයන් රටේ වස්තුව කොල්ලකෑවේ රට සංවර්ධනය කිරීමකින් තොරවය. ඒ නිසා රට කෙට්ටු වන විට පාලකයන් තරවිය. ලංකා මාතාව කෙට්ටු වී චන්ද්‍රිකා මාතාව තරවිය.
දේශපාලකයන්ට ලැබෙන ද්‍රව්‍යමය වරප්‍රසාද මේ වන විට රටේ උණුසුම් කතාබහට හේතුවී ඇති බැවින් රටේ ආර්ථික හැකියාව නොසලකා මන්ත්‍රීවරුන්ට මහජන මුදලින් කප්පන් ගෙවන ක්‍රමයක් දේශපාලන ක්‍රමයට එකතු වූ ආකාරය ද මෙහිදීම සලකා බැලිය හැකිය.
පළමු අගමැති පාව්චිචි කළ බෙන්ස් රථය 1965 වසර දක්වා බලයට පැමිණි අගමැතිවරුන් පාවිච්චි කළේය. වසර 05කට සැරයක් අලුත් රථයකට මාරුවීමේ හැකියාවක් එකල නොතිබුණි. නිල වාහන ලැබුණේ තනතුරුවලටය. එම වාහනය හොඳින් පාවිච්චි කළ හැකි තාක් එම නිලයට පත්වන පුද්ගලයින් එම නිල වාහනය පාවිච්චි කළේය. මන්ත්‍රීවරුන්ට ලැබුණු වැටුප් ආකර්ශනීය නොවීය. බොහෝ මන්ත්රීවැන් සිය ගම් ප්‍රදේශවල සිට කොළඹ පාර්ලිමේන්තු සැසි වාරවලට ආවේ බස් රියෙන් හෝ කෝච්චියෙනි. කොළඹට එන මන්ත්‍රීවරුන්ට නැවතීමේ පහසුකම් ලැබුණේ ශ්රාවස්තියෙනි. දේශපාලනය නම්බුකාර දෙයක් වුවා මිස, විශාල ලෙස මුදල් ඉපයිය හැකි මාර්ගයක් නොවීය.
ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවට තිබූ උත්තරීතර බව අහිමි කොට එය විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත් කළේය. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිව තිබූ අසහනය නැති කිරීම සඳහා මහජන මුදලින් ඔවුන්ට කප්පම් ගෙවන ක්‍රමයක් ඇති කළේය.
මන්ත්‍රීවරයකුගේ නිල කාලය අවුරුදු 06කි. අවුරුදු 6ක් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබදෙනවා වෙනුවට අවුරුදු පහකට වරක් තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. නිල කාලය තුළ එක වරක් නොව දෙවරක්ම ලැබෙන බලපත්‍ර දෙක විකුණා මුදල් උපයා ගත හැකි කෑදර ක්‍රමයක් සකස් කරදී තිබෙන බව පෙනේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබුණු ගෞරවය උදුරා ගෙන ඒ වෙනුවට ඇති කළ මුදලින් කප්පන් ගෙවන ක්‍රමයට කිසිවකුත් විරුද්ධ වූයේ නැත. ජේවීපී, ජේඑච්යූ වැනි දේශපාලන ධාරා නියෝජනය කරන්නන් පවා ඒ කෑදර ක්‍රමයට අනුගත වූයේය.
1990දී පමණ මම මේ විෂය බණ්ඩාරනායක මැතිනිය සමග කතා කළෙමි. සාකච්ඡා මේසයේ පක්ෂ ලේකම් සූරියප්පෙරුම ද, වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ ද, අනුරුද්ධ රත්වත්ත ද, නෙවිල් ප්‍රනාන්දු සිටියේය.
ජේ.ආර්. ජයවර්ධන ඇති කර තිබෙන මජර දේශපාලන ක්‍රමයෙන් ආර්ථික වරප්‍රසාද ලබා ගනිමින් ඒ ක්‍රමයට එරෙහිව සටන් කරන්නේ කෙසේදැයි මම බණ්ඩාරනායක මැතිනියගෙන් ප්‍රශ්න කළෙමි.
මම එහිදී ඇයට පෙන්වා දීමට උත්සාහ කළේ ජේ.ආර්. ජයවර්ධන ඇති කර තිබෙන මජර දේශපාලන සංස්කෘතියට එරෙහිව ජයග්‍රාහී සටනක නිරතවීමට අවශ්‍ය නම්, විකල්ප දේශපාලන සංස්කෘතියක් මත පිහිටා ක්‍රියා කළ යුතු බවය. වාහනයක් නැතිව බැරි නම් නිල කාලය සඳහා වාහන බලපත්‍ර දෙකක් වෙනුවෙන් අඩු මිල එක බලපත්‍රයක් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව තිබුණා නේදැයි මම ප්‍රශ්න කළෙමි. ඇය ඒ සාකච්ඡාව ඉදිරියට ගෙනයෑමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
එදා එම සාකච්ඡාවට සහභාගිවූවන්ට දහවල් ආහාර ඇණවුම් කර තිබුණේ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. මට ලැබුණු බුරියානි පාර්සලය අවසන් කිරීමේ හැකියාවක් මට නොතිබුණෙන්, මගේ බඩේ තරමට ගැළපෙන ලෙස කා අත හෝදා ගැනීම පිණිස අසල තිබූ නානකාමරයට ගියෙමි. නෙවිල් ප්‍රනාන්දු ආහාර ගනිමින් සිටි පිරිසෙන් වෙන්වී මා සොයාගෙන පැමිණ මට කීවේ ශ්‍රීලනිපයට විකල්ප දේශපාලන පාඩම් උගන්වන්නට යාම කිසිම තේරුමක් නැති දෙයක් බවය. ශ්‍රීලනිපයේ නායකයින්ට ද වඩා වැදගත් වී ඇත්තේ රට නොව වරප්‍රසාද බවය.
වැරදි ක්‍රමයක් සියලු දෙනාගේ අනුග්‍රහයෙන් පැල කළ විට ඇටය පැලවී තවදුරටත් අතු ඉති දමමින් මහා වෘක්ෂයක් බවට පත්වීම ද නොවැළැක්විය හැකිය. ජවිපෙ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ද අසන ලද ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පිළිතුරු දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරයෙකුට වැය කෙරන මාසික වාහන කුලිය රුපියල් 1,90,000ක්, බවත් නිවාස කුලිය රුපියල් ලක්ෂයක් බවත්ය. මාසිකව රුපියල් විසි දහසකට ලබා ගන්නා නිවසකට වුවත් ඒ රුපියල් ලක්ෂය ලබාගත හැකිය.
ඔබට නමගිය අපරාධකරුවකු වීමට අවශ්‍ය නම්, හිත හදාගත යුත්තේ පළමු අපරාධය සඳහා පමණය. ඉන්පසු කරන කිසිම අපරාධයකට හෘද සාක්ෂිය ප්‍රශ්නයක් වන්නේ නැත. මහජන මුදලින් කප්පම් ලබන ක්‍රමයකට අත ගැසූ විට වැඩි වැඩියෙන් කප්පම් ගැනීම වරදක් ලෙස පෙනෙන්නේ නැත.
විශ්‍රාම ගිය ජනාධිපති චන්ද්‍රිකා භුක්ති විඳි වරප්‍රසාද විවාදයට හේතුවී තිබේ. ඇය තනතුරේ සිටියදී රටේ පොදු වස්තුව උපරිම ලෙස කොල්ල කෑවේය. ඇය තනතුරේ සිටියදී ගිය සමහර විදේශ ගමන්වලදී ඇගේ සාප්පු සවාරිවල වියදම දරන ලද්දේ ද ඇගේ අතින් නොව රජයේ මුදලිනි. ඇය ඉන්දියාවට ගිය අවස්ථාවකදී ඇය වටිනා සාරි එකක් දෙකක් නොව, දුසිම් ගණනක් මිලදී ගත්තාය. බිල ගෙවීමේ වගකීම පැවරුණේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයටය.
බලයේ සිටියදී මහා මාලිගාවක් තනන්නට සිහින දකිමින් රුපියල් කෝටි 80ක වියදමක් දරා සංවර්ධනය කළ නැදිමාලේ ඉඩමෙන් විශ්‍රාම යන්නට පෙර අක්කර 1 1/2ක කොටසක සින්නක්කර අයිතිය සිය නමට ලියවා ගැනීමට සිය කැබිනට් මණ්ඩලය එකඟ කරවා ගත්තාය. ඇගේ එම ඉඩම් ගනුදෙනුවට එරෙහිව මා අභියාචනාධිකරණයට ගිය විට සිය නමට ලියවා ගත් ඉඩමේ අයිතිය නැවත නිවාස සංවර්ධන අධිකාරියේ නමට හරවන බව ඇය අධිකරණයට දැනුම් දුන්නාය.
ඒ සමග ඇය රණවිරු අධිකාරිය ප්‍රයෝජනයට ගෙන තිබූ නිවසක් සිය නිල නිවස බවට හරවා ගත්තාය. එම නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පමණක් රජයෙන් වැය කළ මුදල රුපියල් ලක්ෂ 40කි. ඇය අපේක්ෂා කළ මට්ටමින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම සඳහා තවක් ලක්ෂ ගණනාවක මුදලක් වැය කරන්නට තිබුණේ යැයි කිව හැකිය.
ඇගේ නිල නිවසට අදාළව දී තිබෙන නඩු තීන්දුව මොහොතකට අමතක කොට ජනාධිපති වරප්‍රසාද පනත භාවිතා කරමින් තිබෙන ආකාරය සලකා බැලීම වැදගත්ය.
පනතේ එන කාරණා මොනවා වුවත්, විශ්‍රාම යන ජනාධිපතිවරයෙකුට නිල නිවසක් ලැබිය යුත්තේ විශ්‍රාම යන ජනාධිපතිවරයාට ජීවත්වීමට සුදුසු නිවසක් නැති අවස්ථාවක පමණය. නිවසක් ඇති විට නිවස යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට අවශ්‍ය අතිරේක වියදම් ආණ්ඩුව ලබාදිය යුතුය.
ජේ.ආර්. ජයවර්ධනට තමන්ගේම නිවසක් තිබුණේය. ජේ.ආර්. ජයවර්ධන සමහර අංශවලින් රට විනාශ මුඛයට පත් කළ නායකයකු ලෙස සැලකිය හැකි වුවත්, ඔහු තමන්ගේ එම නිවසේ පදිංචියට ගියා විනා වෝඩ් පෙදෙසේ තිබෙන නිවස බදු දී තමන්ට පදිංචියට නිවසක් ඉල්ලා සිටියේ නැත.
චන්ද්‍රිකාට ද ජීවත්වීමට සුදුසු එක නිවසක් නොව නිවාස ගණනාවකම තිබුණේය. එහෙත් ඇය කල්පනා කළේ ඒ සියලු නිවාස බදු දී රජයේ වියදමින් ලබාගන්නා නිවසක ජීවත්වීමටය. එයින් පෙනෙන්නේ ඇගේ කෑදරකමට සීමාවක් නොතිබුණු බව නොවේද?
දැන් අපි මන්ත්‍රීවරුන් භුක්ති විඳින ද්‍රව්‍යයමය වරප්‍රසාද ගැන කතා කිරීම මොහොතකට අතහැර අපගේ නියම මාතෘකාවට ආ යුතුය. නිදහසින් පසු අපි අගාධයට යන ගමනකට මුල පිරුවෙමු. 1977දී ඒ ගමන වඩා වේගවත්ව යන ගමනකට මුල පිරුවෙමු. ඒ ගමනේ තුන්වැනි සංධිස්ථානය එළැඹෙන්නේ චන්ද්‍රිකා යුගයේ අවසාන කාලයේදීය.
ඇය එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් තිබූ පාර්ලිමේන්තුව ජවිපෙ සමග එකට එකතු වී විසුරුවා හැරියාය. ඉන්පසු සිය සැමියා ඝාතනය කිරීමේ වගකීම ජනාධිපති ප්‍රේමදාස මත පවරා ඒ චෝදනාවෙන් ජවිපෙ නිදහස් කොට ජවිපෙ සමග සන්ධානයකට යමින් පාර්ලිමේන්තු මැතිවරණය ජය ගත්තාය. එම මැතිවරණයේදී ශ්රීලනිපය කුඩාවී ජවිපෙ කෘතිම ලෙස විශාල වූයේය. එය රට ප්රපාතය කරා යන ඓතිහාසික ගමන වඩා වේගවත් කළ තුන්වැනි හා අවසාන සංධිස්ථානය ලෙස සැලකිය හැකිය. මැතිවරණය යාන්තමට දිනාගන්නවා හැර ජවිපෙ සමග සන්ධානයක් ඇතිකර ගැනීමෙන් ඇය අපේක්ෂා කළ අන් කිසි කරුණක් දිනාගැනීමට ඇය සමත් වූයේ නැත. විශ්‍රාම යාමත් සමග ඇය ඉතිහාසයේ කුණු කූඩයට වීසිවිය.
ඇය විශ්‍රාම යෑමෙන් හිස්වූ තනතුර සඳහා පැවති තරගයෙන් ජයගනිමින් මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපති විය. තරගය ජයගැනීම සඳහා චන්ද්‍රිකා කෘතිම ලෙස ලොකු මහත් කර තිබූ ජවිපෙ සහය ලබාගැනීම ද අතවශ්‍ය සාධකයක් බවට පත්ව තිබුණි. ඓතිහාසික අර්ථයෙන් ගත් විට මහින්ද රාජපක්ෂ බලයට පත්වීම, අගාධයක් කරා ගමන් කරමින් තිබුණු රටේ දේශපාලන ක්‍රමය එම ඓතිහාසික ගමනේ අවසානය කරා ළඟාවෙමින් තිබුණු අවස්ථාවක සිදුවූවක් ලෙස සැලකිය හැකිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් බලයට පත්වී තිබෙන්නේ ඓතිහාසික අර්ථයෙන් විනාශය කරා ගමන් ගනිමින් තිබෙන දේශපාලන ක්‍රමයක් විනාශයේ පය පාමුලට ගමන් ගනිමින් තිබුණ අවස්ථාවකය. ජනාධිපතිවරයාට දැන් තෝරා ගැනීමට මාර්ග දෙකක් තිබේ. සිය පූර්වගාමීන් ගිය මාවතේ ඉදිරියට යාම තෝරා ගැනීමට තිබෙන එක් විකල්පයකි. එය සුවපහසු විය හැකි වුවත්, ක්රමයේ විනාශයත් සමග ජනාධිපතිවරයා ද එහිදී ඉතිහාසයේ කුණු බක්කියටම විසිවනු නොවැළැක්විය හැකිය.
තෝරා ගැනීමට තිබෙන ඊළඟ මාර්ගය වනුයේ ඓතිහාසිකව විනාශයට යමින් තිබෙන දේශපාලන ක්‍රමය මුළුමණින් වෙනස් කරන තැනකට යාමය. ඒ සඳහා පළමුව අනුන් වෙනස් කරන්නට පෙර තමා වෙනස්විය යුතුය. මැදමුලන මහින්ද රාජපක්ෂ රාජ්‍යතාන්ත්‍රික මහින්ද රාජපක්ෂ කෙනෙකු බවට වෙනස් විය යුතුය. ඥාතියා, මිත්‍රයා, ගමේ මිනිසා ඡන්දෙට ආධාර කළ මිනිසා, පාක්ෂිකයා යන කාරණා දෙවැනි තැනකට ලා ඒ සියලුදෙනාට වඩා රට වැදගත් කොට සලකන තැනකට යා යුතුය. සිංහල මිනිසාගේ පමණක් නොව, දෙමළ, මුස්ලිම්, බර්ගර්, වැදි, අහිගුණ්Àක යන රටේ ජීවත් වන සියලු දෙනාගේ නායකයා තමා බව තේරුම් ගනිමින් ඒ සියලු දෙනා ගෞරවයෙන් හා ආදරයෙන් රැකබලා ගන්නා තැනකට යා යුතුය. විරුද්ධ පක්ෂය සමග ඇති කරගෙන තිබෙන සැක සංකා ඉවත් කොට ඒ සියලුදෙනා සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට යා යුතුය. කළමනාකරණය කුණුවී තිබෙන්නේ ජනවාර්ගික විෂයය පමණක් නොව, අන් හැම විෂයකදීමත් කළමනාකරණය කුණුවී ඇති බව තේරුම් ගනිමින් සමස්ත දේශපාලන ක්‍රමය සියලුදෙනාගේ ගෞරවයට හේතුවන වෙනසක් දක්වා ඉදිරියට ගෙනයන පරිවර්තන ක්‍රියාවලියට නායකත්වය ලබා දෙන්නෙකු බවට පත්විය යුතුය. ජේ.ආර්. ජයවර්ධන මෙන් තමන්ගේ ඔළුවට ගැලපෙන තොප්පියක් හදන තැනකට නොව රටේ ඔළුවට ගැළපෙන තොප්පියක් හදන තැනකට යායුතුය. හැම කෙනෙකුම සතුටු කරන්නට උත්සාහ කරනවා වෙනුවට සාකච්ඡා කොට හරි තීන්දු ගනිමින් ඒ තීන්දු නිර්භීතව ක්‍රියාවට නගන තැනකට යා යුතුය.
දෙවැනි මාර්ගය අති සරල නැත. ශක්තිමත් ආරම්භයකට යාම දුෂ්කරය. එහෙත් මුල පිරීම ශක්තිමත් හා නිවැරදි නම් මහජනයාගේ සහාය උපරිම ලෙස ලැබෙනු ඇත.
පළමු මාර්ගයේදී තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවන්නේ නැත. පූර්වගාමීන් මෙන් ඔහේ යාහැකිය. බලයේ සිටින තෙක් අත්පුඩි ගසන පිරිසක් ද සිටිනු ඇත. එහෙත් ගමනේ කෙළවර වාසනාවන්ත හෝ ගෞරවාන්විත වන්නේ නැත. •