ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හා දේශපාලනය

October 29, 2026
Publication:
Sri Lanka succeeds at cricket and fails at government, and Ivan says comparing the two tells you why. The cricket team is a cross-section — Sinhala, Tamil, Muslim, every caste and class — because none of those things counts in selection. The political system is built so that all of them count, and so that being a racialist, a religionist or a casteist is the easy road to winning.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේදී සාර්ථක රටකි. එහෙත් රාජ්‍ය පාලනයේදී අසාර්ථක රටකි.

ක්‍රිකට් සාර්ථකත්වය කෙරෙහි බලපා තිබෙන හේතූන් රාජ්‍ය පාලනයේ අසාර්ථකත්වය කෙරෙහි බලපා තිබෙන හේතුත් හඳුනා ගැනීමෙන් පමණක් වුවත්, රටේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන ඇත්ත හේතු හඳුනාගත හැකිය.

ක්‍රිකට්වල ඇති සාර්ථකභාවය

ක්‍රිකට්වලට පමණක් වාර්ගික අගතිය, ආගමික අගතිය, කුල අගතිය හෝ පන්ති අගතිය බලපා නැත. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම වර්ගය, ආගම, කුලය, පන්තිය යන හැම අංගයකින්ම ගත් විට කදිම විග්‍රහයක් ලෙස සැලකිය හැකිය.

සනත් ඇතුළු පළමු පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් වාර්ගික අර්ථයෙන් සිංහලය. මුත්තයියා මුරලිදරන් හා රසල් ආනල්ඩ් දෙමළය. ෆර්වේස් මහරුෆ් මුස්ලිම්ය. තිලකරත්න දිල්ශාන්ගේ පියා මැලේය. මව සිංහලය. මාවන් අතපත්තුගේ පියා සිංහල ද මව බර්ගර් ද වේ.

ආගම වශයෙන් ගත් කල බහුතරයක් බෞද්ධය. දෙදෙනෙක් (චමින්ද වාස් හා රසල් ආනල්ඩ්) ක්‍රිස්තියානි ආගම ද, තවත් දෙදෙනෙක් (මහරුෆ් හා ඩිල්ශාන්) ඉස්ලාම් ආගම ද එක් අයෙක් (මුරලිදරන්) හින්දු ආගම ද අදහයි.

කුල වශයෙන් හා පන්ති වශයෙන් ගත්ත ද මෙම මිශ්‍රිත බව දැකිය හැකිය. කලක් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රභූ පන්තියේ පාසල්වලට සීමාවී තිබූ ක්‍රීඩාවක් වුව ද, අද ඒ තත්ත්වය මුළුමණින් වෙනස් වී ඇති අතර, ඒ වෙනස ක්‍රිකට් කණ්ඩායම තුළ ද හොඳින් දැකිය හැකිය. මහේල හා අතපත්තු කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. සංගක්කාර නුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. උපුල් තරංග අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි. සනත් ජයසූරිය මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයෙනි. ඩිල්ශාන් හා මාලිංග බණ්ඩාර කළුතර මහා විද්‍යාලයෙන් ද, චාමර පානදුර රාජකීය විද්‍යාලයෙන් ද, මහරූෆ් කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් ද, චමින්ද වාස් කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් ද, මුරලිදරන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ද, ලසිත් මාලිංග ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ද, දිල්හාර ප්‍රනාන්දු කඳානේ ඩි මැසනඩ් විද්‍යාලයෙන් ද වේ.

ක්‍රිකට්වලට මගපෙන්වන්නට පාලක මණ්ඩලයක් ද, සුදුසුම අය තෝරා ගැනීමට තේරීම් කමිටුවක් ද, පුහුණු කරන්නට පුහුණුකරුවන් ද මානසිකව මගපෙන්වන්නට මානසික වෛද්‍යවරුන් ද සිටිති.

ක්‍රිකට් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ලැබුණු දායාදයක් වුවත්, ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය විරෝධී බලවේගයන් පවා ක්‍රිකට්වලට විරුද්ධ නැත. විමල් වීරවංශ ක්‍රිකට්වලට පක්ෂය. චම්පික රණවක ද ක්‍රිකට්වලට පක්ෂයය. ප්‍රභාකරන් ද ක්‍රිකට්වලට කැමති බව කියනු ලැබේ. ක්‍රිකට් අධිරාජ්‍යවාදයෙන් ලැබුණු දායාදයක් ලෙස සලකා ක්‍රිකට් අතුගා දැමිය යුතුයි කියන කිසිවෙක් නැති තරම්ය. ක්‍රිකට් විරෝධි පෙළපාලි හෝ විරෝධතා ව්‍යාපාර ගැන අසන්නට ලැබෙන්නේ නැත. ප්‍රභාකරන්ට පක්ෂපාත දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් පවා අන්තර්ජාතික තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට පක්ෂපාතව ඔල්වරසන් දෙන බව මම අසා ඇත්තෙමි. •

පුද්ගලයන් තේරීමේදී දේශපාලන ඇඟිලි ගැසීම් නැත. •

දක්ෂතාව මිස වර්ගය, ආගම, කුලය හෝ පන්තිය බලපා නැත. •

කණ්ඩායමේ සමගිය කෙරෙහි වර්ග භේද, ආගම් භේද, කුල භේද හෝ පන්ති භේද බලපා නැත. •

කණ්ඩායම සකස් වී ඇත්තේ එම විෂයෙහි රටේ සිටින දක්ෂම මිනිසුන්ගෙනි. •

ආවේණික කුසලතාවන්ට සීමා නොකොට කුසලතා නිරන්තරයෙන් ප්‍රගුණ කිරීමක් සිදු කරයි. •

ඉදිරි දැක්මකින් යුතුය. අපේක්ෂිත ඉලක්ක ජයගැනීම සඳහා තිර අධිෂ්ඨානයකින් හා මනා සහයෝගයකින් ක්‍රියා කරයි. •

ක්‍රිකට් පිළිබඳව පවතින ජාතික ඒකමතිකභාවය ද කණ්ඩායමේ ඉදිරි ගමන ශක්තිමත් කිරීමට හේතුවී තිබේ.

මෙසේ ක්‍රිකට් හිමි කරගෙන තිබෙන සාර්ථකත්වය විසින් එය ජාතීන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්ව තිබෙන අතර, ක්‍රිකට් ජාතීන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවීමෙන් නොනැවතී එය රටට ජයග්‍රහණයන්ට අතිරේකව, විදේශ විනිමය ලබාදෙන වැදගත් මාර්ගයක් බවට ද පත්වී තිබේ.

දේශපාලනයේදී ඇති අසාර්ථකභාවය

දේශපාලන ක්‍රමය සකස් වී ඇත්තේ වර්ගභේදය, ආගම් භේදය, කුලභේදය හා පන්ති භේදය බලපාන ආකාරයටය. වර්ගවාදී වීම ආගම්වාදී වීම හා කුලවාදීවීම දේශපාලනයේදී ජයග්‍රාහී වීමට තිබෙන පහසු මාර්ගය වේ. රාජ්‍ය නායකයා වීමට අයිතියක් ඇත්තේ බහුතර වර්ගය, බහුතර ආගම හා බහුතර කුලය නියෝජනය කරන අයට පමණය. කොතරම් දක්ෂතා තිබුණ ද සුළුතර වාර්ගිකයෙකුට සුළුතර ආගමිකයෙකුට හෝ සුළුතර කුලයකට අයත් පුද්ගලයෙකුට රාජ්‍ය නායකයා වීම දුෂ්කරය.

දේශපාලනයේදී පවුල් සාධකය ද වැදගත් සාධකයක් ලෙස බලපායි. පක්ෂ ක්‍රමය හැඩ ගැසී ඇත්තේ ද පවුලක හෝ පවුල් කණ්ඩායමක දේශපාලන ව්‍යාපාර ලෙසය. සිය අභාවයෙන් පසු පළපුරුදු අය සිටියදී සිය පුත්‍රයා රාජ්‍ය නායකයා හා පක්ෂ නායකයා බවට පත්කර ගැනීමට ඩී.ඇස්. සේනානායකට අවශ්‍ය විය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ අභාවයෙන් පසු ඊළඟ රාජ්‍ය නායකයා හා පක්ෂ නායකයා බවට පත්වූයේ පක්ෂයට සිටි දෙවැනි නායකයා නොව අගමැතිගේ වැන්දඹු බිරිඳ සිරිමා බණ්ඩාරනායකය. සිරිමා බණ්ඩාරනායකගෙන් පසු ඒ තැන හිමිවූයේ ඇගේ දුව චන්ද්‍රිකාටය. ඩී.ඇස්. සේනානායකගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා එක් කෙටි වකවානු දෙකකදී හැර එජාපයේ නායකත්වය හිමිවූයේ එකම පවුල් කණ්ඩායමක සාමාජිකයින්ටය. එජාප එකට බැඳුණු පවුල් කණ්ඩායමක පක්ෂයක් වන විට ශ්‍රීලනිපය එක පවුලක පක්ෂයක් විය. ශ්‍රීලනිපයේ උරුමය හිමිවිය යුත්තේ එම පක්ෂයේ නිර්මාතෘවරයාගේ දරුවන් වශයෙන් තමන්ට බව අදත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා අනුර බණ්ඩාරනායක මහතා විශ්වාස කරති.

දේශපාලන පක්ෂ ක්‍රමය ක්‍රියාත්මකවෙමින් තිබෙන්නේ ද ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන ආයතන ක්‍රමයක් වශයෙනි. ප්‍රධාන දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් නොපවතී. සියලු බලතල කේන්ද්‍ර ගතවී ඇත්තේ පක්ෂ නායකයා අතේය. පක්ෂ ක්‍රමය තුළ ඉදිරියට ඒමට හැකියාව ලැබී ඇත්තේ දක්ෂ පුද්ගලයින්ට නොව පක්ෂ නායකයාට පක්ෂපාත පුද්ගලයින්ටය.

පක්ෂ ක්‍රමය තුළ හෝ දේශපාලන ක්‍රමය තුළ දේශපාලකයන් පුරුදු පුහුණු කරන ක්‍රමයක් නැත. අසාර්ථක පුද්ගලයින් පිටමං කරන ක්‍රමයක් හෝ වයෝවෘද්ධ පුද්ගලයින් විශ්‍රාම යවන ක්‍රමයක් නැත. බරපතළ වැරදි කරන පුද්ගලයින්ට දඬුවම් කරන ක්‍රමයක් ද නැත. දේශපාලන ක්‍රමය සකස් වී ඇත්තේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය වෛරසහගත ආකාරයකින් ක්‍රියා කළ යුතු ආකාරයටය. ආණ්ඩු පක්ෂය බවට පත්වන පක්ෂය සිරිතක් වශයෙන් විරුද්ධ පාක්ෂිකයින්ගෙන් පලිගනී. රැකී රක්ෂා අහිමි කළ හැකි අවස්ථාවලදී ඔවුන් රැකියාවලින් නෙරපා හැරේ. දුෂ්කර පළාත්වලට මාරුකළ හැකි අවස්ථාවලදී ඔවුන් දුෂ්කර පළාත්වලට මාරු කරනු ලබයි. රක්ෂා ලබාදීමේදී පළමු සුදුසුකම ලෙස සලකනුයේ ආණ්ඩු පක්ෂයට ඇති දේශපාලන බැඳීම්ය. ආණ්ඩු පාක්ෂිකයා ආණ්ඩුව කරන හැමදෙයක්ම හරි වරද නොසලකා අනුමත කරන විට විරුද්ධ පාක්ෂිකයා ආණ්ඩුව කරන හැමදෙයක්ම හරි වරද නොසලකා හෙළා දකින ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

අධිකරණය සිරිතක් වශයෙන් බලයේ සිටින ආණ්ඩුවේ දේශපාලන අතකොලුවක් ලෙස ක්‍රියා කරන තත්ත්වයක් ඉදිරියේ දඬුවම් ලැබීමට ඇති බයකින් තොරව වැරදි කිරීමට ආණ්ඩු පක්ෂවලට සම්බන්ධ දේශපාලකයින්ට හැකිවී තිබේ.

දේශපාලන පක්ෂ ප්‍රධාන කොට යැපෙන්නේ කළු සල්ලිවලිනි. ඒ මගින් කළු සල්ලිකාරයින් තිරය පිටුපස සිට දේශපාලන ක්‍රමය හසුරුවන ප්‍රධාන පුද්ගලයන් බවට පත්ව සිටිති.

ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට සමාජය ගෙවන මිල ඉතා විශාල වුවත්, ඔවුන්ගේ ඵලදායකත්වය පවතින්නේ ඉතාමත් පහත් මට්ටමකය. ඔවුන් වර්ග, ආගම් හා කුල අනුව ජනතාව භේදබින්න කොට තිබෙන අතර, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, බලශක්ති වැනි පොදු ව්‍යාපාරවල දක්නට ලැබෙන අකාර්යක්ෂම බව හා දූෂිත බව දූෂිත හා ආකාර්යක්ෂම දේශපාලන ක්‍රම විසින් නිර්මාණය කොට තිබෙන දේශපාලකයින්ගේ අසාර්ථකභාවයේ තාර්කික ඵලයක් ලෙස සැලකිය හැකිය.

අපට ක්‍රිකට්වලදී මෙන් දේශපාලනයේදීත් හොඳ ප්‍රතිඵල අවශ්‍ය වේ නම් ජාවාරම්කරුවන් වෙනුවට ඵලදායී වැඩ කොටසක් ඉටු කළ හැකි දක්ෂයින්ට තැන ලැබෙන ක්‍රමයකට රට මාරුවිය යුතුය. පුද්ගලයා වෙනස් කරන ක්‍රමයක් වෙනුවට අද රටට අවශ්‍ය වී ඇත්තේ ක්‍රමය වෙනස් කරන ක්‍රමයකි. •