ශ්‍රී ලංකා යෝජනා හා අනාගතය

October 29, 2026
Publication:
The SLFP's package for the ethnic question and for political reform has been rejected by the Tamil alliance. Ivan quotes Suresh Premachandran — that Tamils took the armed road because Sinhala leaders refused to share power, and that after more than seventy-five thousand deaths the government still does not grasp how serious this is — and says no single party can reach the target, so the president and the opposition leader have to work with mutual understanding.

ජකවාර්ගික අර්බුදයට විසඳුමක් වශයෙන් හා දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රීලනිප ඉදිරිපත් කර තිබෙන යෝජනා පොදිය දෙමළ සන්ධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇති පරිදි දෙමළ ජනතාවට සන්නද්ධ අරගල මාවත තෝරා ගැනීමට සිදුවූයේ සිංහල ජන නායකයින් බලය බෙදාගන්නා වැඩපිළිවෙළකට එකඟවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ය. හැත්තෑ පන්දහසකට වැඩි පිරිසක් මරණයට පත්වීමෙන් පසුත් වාර්ගික අර්බුදයේ බරපතළකම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් වී තිබෙන බව ප්‍රකාශ කරන ඔහු බලය බෙදාහැරෙන පෙඩරල් විසඳුමකට අඩු විසඳුමක් භාරගැනීමට දෙමළ ජනතාව සූදානම් නැති බව ද ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස ක්‍රියා කරන ඊපීඩීපී පක්ෂයේ නායක සමාජ සේවා ඇමති ඩග්ලස් දේවානන්ද කෙරෙන් ද යෝජනා පිළිබඳව ප්‍රකාශ වී ඇත්තේ අතෘප්තිසහගත හැඟීමකි. බලය බෙදාහැරීමේ ඒකකය පළාත විය යුතුයි යන්න ඔහුගේ මතය වන අතර, උතුරු නැගෙනහිර පළාත් දෙක නැවත ඒකාබද්ධ කොට වෙනත් පළාත්වලට නැති විශේෂ බලතල එම ඒකාබද්ධ කළ ඒකකයට ලබාදිය යුතු බව ද ඔහු ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ තවත් කොටස්කාර පක්ෂයක් වන මුස්ලිම් කොංග්‍රසයේ නායක තැපැල් හා විදුලි සංදේශ ඇමති රවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත්තේ ද ඉදිරිපත් කර තිබෙන යෝජනා අපේක්ෂාවන්ට සරිලන තත්ත්වයක නො පවත්නා බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යෝජනා සකස් කිරීමේ දී හෙළ උරුමය පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අභිලාෂයන් ද සැලකිල්ලට ගෙන ඇති බව පෙනේ. යෝජනාවල ඇති පටු බව කෙරෙහි එම තත්ත්වය බලපා තිබෙන බව ද පෙනේ.

ශ්‍රීලනිප ඉදිරිපත් කර තිබෙන යෝජනාවල හොඳ නරක කුමක් වුවත්, එම යෝජනාවල සීමිත බවක් ඇත්නම් එම සීමිත බව පුළුල් කරගනිමින් සියලු දෙනාට පිළිගත හැකි වැඩපිළිවෙළක් දක්වා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම දේශපාලන පක්ෂවල වගකීම වේ යැයි අපි සිතමු. එක් අතකින් කුණුවී මජර ගලන තත්ත්වයකට පත්ව ඇති ජනවාර්ගික ප්‍රශ්නයට කල්පවත්නා විසඳුමක් සොයාගත යුතු ය. අනෙක් අතට ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක තත්ත්වයකට පත් කිරීමට හේතුවී තිබෙන පවතින දේශපාලන ක්‍රමයේ යහපත් වෙනසක් ඇති කරගත යුතු ය. පවතින ලේ වැගිරීම් අවසන් කොට ජාතික සමගිය තහවුරු කරගනිමින් අපට රටක් වශයෙන් නැවත නැගී සිටීමට හැකිවනු ඇත්තේ ඒ ඉලක්ක ජයගැනීමට රටක් වශයෙන් අප සමත් වේ නම් පමණ ය.

ඒ ඉලක්කය කරා තනි පක්ෂයකට ළඟාවිය නො හැකි ය. එය සියලු දේශපාලන පක්ෂවල ඒකාබද්ධ උත්සාහයක් විය යුතු ය. ආණ්ඩුව ප්‍රතිසංස්කරණ සඳහා විවර කර තිබෙන දොර නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන එය වසා දමන තැනකට විරුද්ධ පක්ෂ තල්ලු නො විය යුතු ය. රටේ පවතින අවුල්සහගත තත්ත්වය පවතින විෂම දේශපාලන ක්‍රමයේ තාර්කික ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. සියලු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ඵලදායක නව දේශපාලන ක්‍රමයක් ඇති කරගත හැකි නම් රට මුහුණ දී තිබෙන අවුල්සහගත තත්ත්වය ජයගැනීම අමාරු නැත. ඒ අරමුණ වෙනුවෙන් මෙම සංවාදය ඉදිරියට ගෙන යා හැකි රාමුවක් ඇති කරගනිමින් තර්කානුකූල අවසානයක් දක්වා සංවාදය ඉදිරියට ගෙනයෑම ආණ්ඩු පක්ෂයේ ද විරුද්ධ පක්ෂවල ද වගකීම වේ යැයි අපි විශ්වාස කරමු. එසේ ම එම සංවාදය පාර්ලිමේන්තුවට පමණක් සීමා කළ යුතු නැත. මහජනතාවට ද ඊට සම්බන්ධවීමට අවශ්‍ය දොරටු විවෘත කළ යුතු ය. මෙම විශේෂ මොහොතේ දී රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිත්, විරුද්ධ පක්ෂ නායකයාත් අනේ‍යාන්‍ය අවබෝධයකින් යුතුව ක්‍රියා කරන තැනකට ආ යුතු ය. •