ලලිත් – ප්‍රේමදාස

October 29, 2026
Publication:
Lalith Athulathmudali and Ranasinghe Premadasa were killed seven days apart fourteen years ago. Ivan writes them as a pair: Athulathmudali, who had every qualification to rule and was killed before he could, second only to C.W.W. Kannangara among those who served the country without ever governing it; and Premadasa, who came from outside the elite and won the office anyway. He ends with three unsolved puzzles — the two killings and the Town Hall bomb that cost Chandrika Kumaratunga an eye.

ලලිත් ඇතුලත්මුදලි, රණසිංහ ප්‍රේමදාස යන නායකයින් දෙපළ මීට වසර 14කට පෙර ඝාතනයට ලක්වූයේ දින හතක කාලයක් තුළය. ලලිත් ඝාතනයට ලක්වී ඉන්පසු හරියටම දින හතකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ද ඝාතනයට ලක්විය.

ලලිත් රටේ පාලකයා වීමට සියලු සුදුසුකම් තිබියදී ජීවත්වීමට හැකිවී නම් ඒ ඉලක්කය වෙත පැමිණීමට පුළුවන්කම තිබියදී ඝාතනයට ලක්වීම නිසා ඒ හැකියාව අහිමි වූ නායකයකු ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව බිහි කළ නූතන දේශපාලනඥයින් අතර රටේ පාලකයා බවට පත් නොවී, රටට අමරණීය සේවයක් කළ පුද්ගලයින් අතර, ප්‍රමුඛයා ලෙස සැලකිය හැක්කේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගරය. ලලිත් ඇතුළත්මුදලි එවැනි අමරණීය ස්ථානයක් හිමි කරගත් දෙවැනි පුද්ගලයා ලෙස සැලකිය හැකිය.

ඔහු කොළඹ රාජකීය විද්‍යාලය බිහි කළ දීප්තිමත්ම ශිෂ්‍යයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. ඔහුගේ පියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු නියෝජිතයකු වුවද ලලිත්ට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණු අවස්ථාවේදී ඒ සඳහා අවශ්‍ය අතිරේක වියදම් පියවා ගැනීමේ ආර්ථික හැකියාවක් ඒ පවුලේ අයට නොතිබුණි. ඔහු මුහුණ දී තිබූ ඒ ප්‍රශ්නයෙන් ඔහු ගලවා ගැනීමට මැදිහත් වූයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවය. තමා උපන් රට ඔහුට කරන ලද එම ආධාරය ඔහු ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගත්තා පමණක් නොව, ඔහු ඊට දක්වන කෙළෙහි ගුණයක් වශයෙන් සිය කෙටි ජීවිත කාලය තුළ රට වෙනුවෙන් අමරණීය සේවාවක් ද ඉටු කළේය. ශ්‍රේෂ්ඨ පුද්ගලයින් තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවන අනුවේදනීය අත්දැකීම් අමතක කරන්නේ නැත. සිය ශිෂ්‍ය ජීවිතයේදී තමන්ට මුහුණ දෙන්නට සිදුවූ එම කණගාටුදායක අත්දැකීම් අමතක නොකළ ලලිත්, ආර්ථික අමාරුකම් උසස් අධ්‍යාපනයට බාධාවක් නොවනු පිණිස විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා මහපොළ අරමුදල පිහිටුවීය. එදා සිට අද දක්වා මහපොළ අරමුදලින් ආධාර ලබාගෙන ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංඛ්‍යාව දශ ලක්ෂයකටත් වැඩිවිය හැකිය.

සියලු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ආධාර ලබාදෙන ප්‍රතිපත්තියක් වෙනුවට දුප්පත්ම ළමුන්ට පමණක් ආධාර දෙන ප්‍රතිපත්තියක් ඇති නොකළේ මන්දැයි වරක් මම ලලිත්ගෙන් ප්‍රශ්න කළෙමි. ඔහු විසින් ඊට දෙන ලද පිළිතුර වූයේ වර්ගීකරණයකට ගියේ නම් දුප්පත් ශිෂ්‍යයන්ට ඒ නිසා අවමානයක් ඇතිවන්නට ඉඩ තිබුණ බවය. ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානියක් ඇති නොවන ආකාරයට ඔවුන්ට ආධාර කරන ක්‍රමයක් ඇති කිරීමට තමන්ට අවශ්‍ය වූ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ලලිත් ප්‍රසිද්ධ දේශපාලනයට එන්නට පෙර ද දුප්පත් ශිෂ්‍යයන්ට තමන්ට හැකි පමණින් ආධාර කළේය. ඔහු නීති විද්‍යාලයේ උගන්වමින් සිටි කාලයේදී මුදල් දුෂ්කරතා නිසා නීති අධ්‍යාපනය අතහැර යන්නට තීරණය කර තිබුණු ශිෂ්‍යයෙකුට ආධාර කළ ආකාරය එම ශිෂ්‍යයාගේ සමකාලීනයෙකුගෙන් මා ඒ කාලේ අසා තිබුණි. ඔහු නීති අධ්‍යාපනය අත්හරින්නට තීරණය කර තිබෙන බව දැනගන්නට ලැබුණු විට එවැනි තීරණයක් ගැනීමට බලපෑ හේතුව කුමක්දැයි ලලිත් ඔහුගෙන් පෞද්ගලිකව විමසීය. මුදල් දුෂ්කරතා නිසා එවැනි තීරණයක් ගත් බව දැනගැනීමෙන් පසු තම නිවසට පැමිණ තමා හමුවන ලෙස ඔහු ශිෂ්‍යයාගෙන් ඉල්ලා සිටියේය. නිවසට ගිය පසු රුපියල් 5000ක චෙක්පතක් දී ඒ මුදල අවසන් වූ පසු නැවත තමාගෙන් අවශ්‍ය මුදල් ලබාගත හැකි බවත්, එහෙත් සෑමවිටම ඒ මුදල් වැය කළ ආකාරය සඳහන් කෙටි සටහනක් තමාට දිය යුතු බවත් ඔහු කියා සිටියේය. තමාට සිය ජීවිතයේදී අත්විඳින්නට සිදුවූ දුකක් අන් අයට අත් නොවිඳින්නට ක්‍රියා කරන පුද්ගලයා සැලකිය හැක්කේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වශයෙනි. ඔහු එම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ඇති කරන ලද විසඳුම මනෝරාජික විසඳුමක් නොවීය. ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි යථාර්ථවාදී විසඳුමක් විය. ඒ මගින් සංකීර්ණ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් ලබාදීමේ හැකියාවක් තමන්ට ඇති බව ඔහු ඔප්පු කළේය.

සාමාන්‍ය මිනිසාගේ ජනප්‍රිය වෙළෙඳපොළ බවට පත්ව තිබුණු සතොස සාමාන්‍ය මිනිසා අතර ජනප්‍රිය සුපර් මාකට්ටුවක් බවට පරිවර්තනය කළේ ද ලලිත්ය. ඔහු තමන් යටතේ තිබුණු කොළඹ වරාය ද නවීකරණය කළේය. ඔහු ආරම්භ කළ අපනයන ගම්මාන ක්‍රමය ඔහුගෙන් පසු සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමක් සිදු නොවූව ද එය ගම් දියුණු කිරීම සඳහා ඔහු විසින් ක්‍රියාවට නගන ලද ප්‍රශස්ථ වැඩපිළිවෙළක් විය. රට නවීකරණය කොට දියුණු කිරීමට ඔහුට මනා දැක්මක් තිබුණු බව ඒ හැම දෙයකින්ම ඔහු සනාථ කළේය.

නූතන ලෝකයේ වැඩිම වටිනාකමක් ලැබී ඇත්තේ අදහස්වලටය. ප්‍රායෝගික වටිනාකමක් ඇති අදහස් ඇති අයට ඒවා විකිණීමෙන් පමණක් කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්විය හැකිය. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාව අදහස්වලට ඇති වැදගත්කම හා වටිනාකම තේරුම් නොගත් රටක් ලෙස සැලකිය හැකිය. ප්‍රායෝගික වටිනාකමක් ඇති අදහස් පළවූ විට ඒවා මනාව ග්‍රහණය කරගැනීමේ අපූරු හැකියාවක් ලලිත්ට තිබුණේය. එසේ ග්‍රහණය කරගත් අදහස් හුළඟේ පාවෙන්නට ඉඩ නොහැර මහ පොළොවේ පැල කිරීමට ද ඔහු උත්සාහ කළේය. එය මා දන්නා ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලනඥයකු තුළ මට දක්නට නොලැබුණු ලලිත් තුළින් පමණක් දක්නට ලැබුණු අතිවිශේෂ ලක්ෂණයක් බව ද කිව යුතුය.

රටේ පළ කෙරෙන හැම පොතකින්ම පිටපත් 2000ක් මිලදී ගෙන පුස්තකාල 1000ක් සංවර්ධන කරන අරමුදලක් ගැන මම වරක් ලලිත්ට යෝජනා කළෙමි. ලංකාවේ පොත් වෙළෙඳපොළේ ඇති කුඩා බව නිසා වෘත්තීය ලේඛක පිරිසක් බිහිවීම වැළකී ඇති බවත්, පිටවන හැම පොතකින්ම පිටපත් 2000ක් මිලදී ගන්නා වැඩපිළිවෙළක් ඇති කළ හැකි නම් එක පොතක් මුද්‍රණය කෙරෙන පිටපත් සංඛ්‍යාව 5000ක තත්ත්වයකට වර්ධනය වී වෘත්තීය ලේඛක පිරිසක් බිහිකිරීමට අවශ්‍ය වටපිටාවක් රටේ ඇතිවනු ඇති බවත්, ඒ මගින් හොඳ පුස්තකාල දාහක් ද බිහිවන්නේ නම් එය ශ්‍රී ලංකා සමාජ චෛතසිකයේ ගැඹුර හා විචාරවත් බව වර්ධනය කිරීමට හේතුවනු ඇති බවත් මම ප්‍රකාශ කළෙමි. හැම සතොස වෙළෙඳ සැලකට පොත් විකිණීම සඳහා අංශයක් ද ඇති කළ හැකි බව මම කීවෙමි. ඔහු මට හොඳින් සවන් දුන්නේය. මහපොළ පනතේ පිටපතක් මා අතට දී වසරකට පිටවන පොත් සංඛ්‍යාව හා ඒ හැම පොතකින්ම පිටපත් 2000ක් මිලදී ගැනීම සඳහා යන වියදම ගණනය කොට අවශ්‍ය අරමුදල පිළිබඳව වාර්තාවක් හා ඒ වැඩපිළිවෙළ මහපොළ අරමුදලට බද්ධ කිරීමට පනතේ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳව වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. ඇමරිකානු පුස්තකාල කොංග්‍රසය ද ලෝකයේ ඕනෑම රටක පළවන හැම වැදගත් පොතකින් පිටපත් ගණනාවක් මිලදී ගනී. පුස්තකාල කොංග්‍රසයේ පවත්වාගෙන යෑම සඳහා කරන වියදම ශ්‍රී ලංකා ආණ්ඩුවේ වාර්ෂික වියදමටත් වැඩිවිය හැකිය. දියුණුව සංවර්ධනය හා ආධිපත්‍යය එන්නේ දැනුමෙන් බව ඇමරිකාව දනී.

ලලිත් ඇතුලත්මුදලි ඉල්ලා සිටි වාර්තාව සකස් කිරීම සඳහා පොත් කර්මාන්තය ගැන හසළ දැනුමක් ඇති කිහිපදෙනෙකු සමග මම කතා කළෙමි. වර්ෂයකට පළවන පොත් සංඛ්‍යාව පිළිබඳ ගණන් හිලව් ද සොයා ගත්තෙමි. එහෙත් මාගේ කටයුතු අවසන් කරන්නට පෙර රාජ්‍ය බලයෙන් ද, මහපොළ අරමුදලට තිබුණු සම්බන්ධයෙන් ද ඔහු පිටස්තර කෙරිණ. ඒ සමග ඒ වැඩපිළිවෙළ ද ලස්සන සිහිනයක් බවට පත්වූයේය.

දේශපාලන ක්‍රමය ශිෂ්ටසම්පන්න තැනකට ගැනීමේ ඇත්ත වුවමනාවක් ලලිත්ට තිබුණි. ධුර කාල දෙකක් සඳහා වන ඒකාධිපති ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කිරීමට දායක වීම ගැන ඔහු තුළ අවංක ලැජ්ජාවක් සේ ම කණගාටුවක් ද තිබුණි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. දෝෂාභියෝගයත් සමග ඔහු වහාම තනතුරෙන් ඉල්ලා අස්නූන ද තනතුර අත්හැරීමෙන් පසු ඒ ගැන කණගාටු වූ බවක් ද පෙනෙන්නට තිබුණේ නැත. තමා දේශපාලන වශයෙන් නැවත ඉපදුණු බව ඔහුගේ මතය විය. ඔහු ජනතාව අතරට යෑමෙන් විශාල තෘප්තියක් ලැබුවේය. විශාල රැස්වීම්වලට වඩා කුඩා සම්මන්ත්‍රණ පන්නයේ රැස්වීම්වලට ඔහු ප්‍රිය කළේය. මිනිසුන් ප්‍රශ්න අසනවා දකින්නට සේ ම ඒවාට පිළිතුරු දෙන්නට ද ඔහු ප්‍රිය කළේය.

ඔහු වැරදි නොකළ අඩුපාඩුකම්වලින් තොර පුද්ගලයෙකු නොවීය. ඔහු ඉන්දු-ලංකා ගිවිසුමට අවහිර කළේය. එසේ කළේ රටේ ස්වාධීනත්වයට හානියක් ඇතිවනු ඇතැයි යන බියෙන් නොව, ඉන්දු ලංකා ගිවිසුම හරහා තමා පසුකොට ගාමිණී දිසානායක කෙනෙකු රජවෙනවා දකින්නට තිබූ අකමැත්ත නිසාය.

ලලිත්ට දෙමළ නිජබිම පිළිබඳ තියුණු විවේචනයක් තිබුණි. ඔහු ඒ ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දීර්ඝ ලියවිල්ල ඒ ගැන ලියවුණ හොඳම විග්‍රහයන් කිහිපයෙන් එකක් ලෙස ද සැලකිය හැකිය. එහෙත් ඔහු ජනවාර්ගික අර්බුදය පිළිබඳ දරන අදහස් ද වෙනස්වෙමින් තිබුණු බව කිව යුතුය. මම ඒ ගැන අවස්ථා ගණනාවකදීම ඔහු සමග අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමි. ඔහු එම විෂයයේදී වේගයෙන් වෙනස්වෙමින් සිටි බව මට පෙනුණි. ජනවාර්ගික අර්බුදය තමන් දකින ආකාරය හා ඊට තිබෙන විසඳුම ඔහු මට විස්තර කළේය. ඔහුගේ අදහස් පළකිරීම මා විමතියට පත් කිරීමට හේතුවිය. මා කුමාර් පොන්නම්බලම්ට දුරකතනයෙන් කතා කොට ලලිත් හමුවී සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියෙමි. ලලිත් තුට්ටු දෙකේ ජාතිවාදියෙක් බවත්, තමාට ඔහු සමග කතාවක් නැති බවත් ඔහු තරයේ කියා සිටියේය. එහෙත් මගේ බලකිරීම නිසා කුමාර් ලලිත් හමුවන්නට ගියේය. ආපසු පැමිණි විට කුමාර් මා අමතා දුරකතනයෙන් කතා කොට ලලිත් ඉතාමත් ප්‍රායෝගික තැනකට පැමිණ තිබෙන බව ප්‍රශංසා මුඛයෙන් කීවේය. කලාප සභා ක්‍රමය ලෝකයා දන්නේ චන්ද්‍රිකාගේ අදහසක් ලෙස වුවත්, ඒ අදහස ලලිත්ගේය. චන්ද්‍රිකා එය ණයට ගෙන තිබුණේ ලලිත්ගෙනි. ප්‍රසිද්ධියට පත් කර නොතිබුණ ද ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා තමන්ගේම වන වැදගත් යෝජනාවලියක් තිබුණේය.

මට මේ ලිපිය ලියන්නට හිතුණේ ලලිත්ගේ මරණ සංවත්සරය වෙනුවෙන් ඔහු පිළිබඳ ගුණ ගී ගායනාවක යෙදෙන්නට නොව, ඔහුගේ ඝාතනය කා අතින් සිදුවීද යන ප්‍රශ්නය නැවත මතු කිරීමට අවශ්‍ය වූ නිසාය. එහෙත් ඊට පෙර ඔහුගේ ඝාතනයෙන් හරියටම දින 7කට පසුව ඝාතනයට ලක්වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගැන ද කෙටියෙන් හෝ කතා කිරීම වැදගත්ය.

ලලිත් එකවිට පොතේ උගතෙකු හා ප්‍රායෝගික නායකයකු වන විට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පොතේ උගතකු නොවී ප්‍රායෝගික නායකයකු වීය. ලලිත්ගේ පසුබිම අනුව මම මේ රටේ පාලකයා වෙමියි සිතීම විප්ලවකාරී නොවූවත්, රණසිංහ ප්‍රේමදාසගේ පසුබිම අනුව එසේ සිතීම පවා ඉතා විප්ලවකාරී බව කිව යුතුය. රටේ පාලකයා වීමේ අයිතිය ප්‍රභූ පන්තියේ ඒකාධිකාරී අයිතියක් වී තිබුණු යුගයක නිර්ප්‍රභූ වටපිටාවකින් පැමිණි ඔහු රටේ පාලකයා වීමට අධිෂ්ඨාන කිරීමෙන් නොනැවතී ඒ අරමුණ ජය ගත්තේය. මට පෙනෙන අන්දමට ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාව වන විට ලේ හැලෙන කැරැල්ලක් රටේ නොවී නම් ප්‍රේමදාස මහතාට ජනාධිපති තත්ත්වයට පත්වන්නට ඉඩ ලැබෙන්නේ නැත. එයට එජාපයෙන් ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණා සේ ම, එජාපයෙන් ඉඩ ලැබුණ ද ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂයෙන් තරග කළ අපේක්ෂිකාවට පරාජය වන්නට ඉඩ තිබුණි.

ශ්‍රී ලංකාවේ නිර්ප්‍රභූ දුප්පත් ජනයාගේ උන්නතිය වෙනුවෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා අතින් සිදුවී තිබෙන සේවය සදා අමරණීයැයි කිව හැකිය. ගම්බදට ඇඟලුම් කම්හල් ගෙනයෑමේ වැඩපිළිවෙළට මම ද සිනාසුණෙමි. ආරම්භයේ ඒ ගැන තමා තුළ පවා විශ්වාසයක් නොතිබුණු බව මිලින්ද මොරගොඩ ද පසුකලක මා සමග කියා තිබුණි. එහෙත් අප සියලු දෙනාගේ ආකල්ප ඔහු බොරු කළේය. ඔහු සිය වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ආයෝජකයින්ට උපරිම සහන ලබා දුන්නේය. නොමිලේ ආණ්ඩුවේ ඉඩම් දුන්නේය. අධෝව්‍යුහ පහසුකම් ආණ්ඩුවේ වියදමෙන් ලබා දුන්නේය.

ඒ වැඩසටහනින් ගම්බද ඉහළ පන්තික හෝ මැද පන්තික ජනයාට සහනයක් සිදු නොවූවා විය හැකිය. එහෙත් පහළම සිටින දුප්පත් ජනයාට ඇඟට දැනෙන සහනයක් ලැබුණේය. සමහරවිට ගම්බද දුප්පත් තරුණියන් මෙම කම්හල්වලට ගියේ කසාදයක් බැඳ ගැනීමට අවශ්‍ය පහසුකම් සපුරා ගැනීම සඳහාය. එහෙත් ප්‍රේමදාසගේ මේ වැඩපිළිවෙළ තුළ ද අඩුපාඩු තිබුණි. ඒවායින් අයුතු ප්‍රයෝජන ගත් අය ද සිටියහ. ඒ සියලු සීමාසහිතකම් තිබියදීත් එය ගම්බද දුප්පත් ජනයාට නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබාදෙනවාට අතිරේකව සමස්ත ආර්ථිකය කෙරෙහි ද ඵලදායී ලෙස බලපෑවේය. මළබැඳී කොහෙත්ම නොකැරකෙන තත්ත්වයක තිබූ රාජ්‍ය සේවයේ දැති රෝද හොඳින්ම කැරකුණ යුගය වූයේ ද ප්‍රේමදාස යුගයයි. කුසීත තත්ත්වයක සිටි රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව වැඩ කරන තැනකට ඒමට ජනාධිපති ප්‍රේමදාස කෙරෙහි ඇති කරගත් බිය ද බලපෑවා විය හැකිය. කවර ආකාරයකින් හෝ වෙනදා සරල වැඩකට දහපහළොස් වතාවක් ආපසු හරවා යවන ගම්මුන්ට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් දැකගන්නට ලැබුණේ ප්‍රේමදාස යුගයේදීය.

රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි පමණක් නොව ගාමිණී දිසානායක හා රොනී ද මෙල් ද ජේ.ආර්. ජයවර්ධන යුගය තුළ දේශපාලන තලයේ මහා පුරුෂයන් බවට පත්වූ පුද්ගලයින් ලෙස සැලකිය හැකිය. ඔවුන් අතරින් අද ජීවතුන් අතර සිටින්නේ රොනී ද මැල් පමණය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ලලිත් මරා දමනු ඇතැයි බියක් සමහර ලලිත් හිතවාදීන් අතර ගොඩනැගී තිබුණි. ප්‍රේමදාස විසින් ලලිත් මරවන්නට පෙර ලලිත් විසින් ප්‍රේමදාසව මැරවිය යුතුයි කියන අදහස් ද ලලිත්ට ඉතාමත් සමීප සමහර අය තුළ තිබුණි. එවැනි අය සතුටු කිරීම සඳහා ලලිත් කීවේ ප්‍රේමදාස තමාව ඝාතනය කළහොත් දින හතක් යන්නට පෙර ප්‍රේමදාස ද ඝාතනය කෙරෙනු ඇති බවය. පුදුමයකට මෙන් ප්‍රේමදාස ඝාතනය කෙරුණේ ද ලලිත්ගේ ඝාතනයෙන් හරියට දින හතකට පසුවය. ලලිත්ගේ ඝාතනය කෙරෙහි ජනාධිපති ප්‍රේමදාසටවත් ජනාධිපති ප්‍රේමදාසගේ ඝාතනය කෙරෙහි ලලිත්ටවත් කිසිම සම්බන්ධයක් තිබුණේ යැයි මම නොසිතමි. එහෙත් එම ඝාතන දෙක තුළ නොවිසඳුණු ප්‍රහේළිකාවක් ඇතැයි මම සිතමි.

මම අසූ ගණන් මුලදී ගාල්ලේ බෙලිගහ හන්දියේ තරුණයෙකුට ඔහු මිලදී ගෙන තිබුණු මෝටර් රථය සංචාරක හෝටලයකට දමා ගැනීමට උදව් කළෙමි. එම පවුලේ අය තමන්ට ඒ ප්‍රදේශයේ තිබූ වළව්වක් බඳු නිවස හා ඉඩම විකුණා ජීවත්වීම සඳහා වෙනත් ප්‍රදේශයකට ගියහ. ලලිත් ඇතුලත්මුදලිට වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී වෙඩි තබන පුද්ගලයාට ආසන්නයෙන්ම සිටි පුද්ගලයා වී ඇත්තේ ඉහත කී තරුණයාය. ඔහු මේ මෑතකදී ද මගේ කාර්යාලයට පැමිණියේය. ඔහු ලලිත් ඇතුලත්මුදලිගේ ආධාරකරුවකු වශයෙන් ලලිත් කතා කරන රැස්වීම් සොයාගෙන යෑමේ පුරුද්දක් ඇති කොටගෙන සිටි පුද්ගලයෙකි. ඔහු වෙඩි තබන පුද්ගලයා දෙස විශ්මයෙන් මෙන් බලා සිටිය බවත්, ඡායාරූපයක් ලෙස ඔහුගේ රූපය සිය මතකයේ තැන්පත් වූ බවත් ඔහු ප්‍රකාශ කරයි. රඝුනාදන්ගේ මළ සිරුර සොයා ගත් විට ඔහු ද ඒ මළ සිරුර බලන්නට ගියේය. ලලිත්ට වෙඩි තැබූ වෙඩික්කාරයා රඝුනාදන් නොවන බව ඔහුගේ නිරීක්ෂණය විය. ලලිත්ට වෙඩි තැබූ වෙඩික්කාරයා ලෙස වැල්ලම්පිටියේ සුදු මල්ලී හඳුනා ගත්තේ එම තරුණයා විසිනි. වැල්ලම්පිටියේ සුදු මල්ලිගේ කතාව ආණ්ඩුව නිර්මාණය කළ පචයක් බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අඩි පොළොවෙ හප්පා මහා හඬින් ප්‍රකාශ කළහ. රඝුනාදන් එම වැඩපිළිවෙළ සඳහා ඉදිරිපත් කිරීමට කල් තියා රඳවාගෙන සිටි පුද්ගලයෙක් බව තහවුරු කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි තිබේ. රඝුනාදන් පිළිබඳ කදිම විස්තරයක් රාජන් හුල්ගේ කෘතියට ද ඇතුළත්ය. ලලිත්ට වෙඩි තැබුවේ වැල්ලම්පිටියේ සුදු මල්ලී නම් ඒ පිටුපස තිබෙන හස්තය කුමක්ද?

එල්ටීටීඊ ගිණුමට බැරකර ඇති ලලිත් ඝාතනය පමණක් නොව, ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය ද වෙනත් බලවේගයන් විසින් කරන ලද ඝාතනයක් වන බව මගේ විශ්වාසයයි. බාබු පිළිබඳ කතාව රසවත්ය. එහෙත් බාබුට ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කිරීමට අවශ්‍ය නම් තමන්ගේ පණ නසා ගැනීමෙන් තොරව ජනාධිපතිවරයා ඝාතනය කොට පලායෑමේ හැකියාවක් ඔහුට තිබුණි. මරාගෙන මැරෙන සගයකු බිලිදෙන්නේ එවැනි බිලිදීමකින් තොරව බිලිගත නොහැකි අය සඳහා පමණය.

ප්‍රේමදාස ඝාතනයට දින කිහිපයකට පෙර එජාප මැයි දින පෙළපාලියේ විශාල පිපිරීමක් ඇතිවන්නට නියමිත බව මම දැන සිටියෙමි. මා ඒ බව දැනගත්තේ සුචරිතයේ සිට මට රහසේ දුරකතනයෙන් කතා කරන පුද්ගලයෙකුගෙනි. සුචරිතයේ ජීවත් වන පුද්ගලයෙකු සමහර රාත්‍රී කාලවල මට දුරකතනයෙන් කතා කරන බව ලලිත් ද දැන සිටියේය. ලලිත් එය මගෙන් දැනගත්තේ ජෝසිම්ට අදාළ සිද්ධියක් මා ලලිත්ට විස්තර කළ විට තිබුණු හිතවත්කම සලකා එම තොරතුරු ලැබුණු මාර්ගය ලලිත්ට කියන්නට සිදුවීම නිසාය. ලලිත් මට පෙරළා කීවේ මා කියන ලද කතාව අකුරටම නිවැරදි බව තමා දන්නා නිසා සුචරිතයෙන් කතා කරන එකී පුද්ගලයාට නොවරදවා සවන් දෙන ලෙසය.

ජනාධිපති ප්‍රේමදාස ඝාතනයට ලක්වූ මැයි දිනයට දින කිහිපයකට පෙර මැයි දින පෙළපාලියේ පිපිරීමක් සිදුවීමට නියමිත බව මා වෙත දැනුම් දෙන ලද්දේ සුචරිතයේ සිට කතා කරන එම පුද්ගලයාය. මහා විනාශයක් ඇතිවීම වැළකීමේ හැකියාව මට ඇති බව ඔහු ප්‍රකාශ කළ විට එසේ කියන්නේ ඇයිදැයි මම ප්‍රශ්න කළෙමි. ඔබ පුවත්පත පළවන්නේ මැයි දිනයට පෙර දිනයේ වන නිසා එවැනි පුවතක් මුල් පුවතක් වශයෙන් පළ කළහොත් විනාශයක් ඇතිවීම වැළකෙණු ඇති බව ඔහු කියා සිටියේය. මා ඔහුගෙන් අසන ලද කිසිවක් ඊට පෙර ලියා නැත. ඒ ඔහුගේ ආරක්ෂාව සලකාය. එහෙත් මේ පුවත ලියන්නට ඔහු බල කළ තත්ත්වයක් යටතේ එජාප මැයි දින පෙළපාලියේ දැවැන්ත පිපිරීමක් ඇතිවීමට නියමිත බව කියන පුවත මුල් පුවතක් ලෙස පළ කළෙමි. පුවත්පත වෙළෙඳපොළට නිකුත් වීමට නියමිතව තිබුණේ මැයි දිනයට පෙර දිනයේය. එහෙත් පුදුමයකට මෙන් එම පුවත්පත පළ නොවීය. පුවත්පත එකල මුද්‍රණය කෙරුණේ මරදානේ පෞද්ගලික මුද්‍රණාලයකය. ප්‍රමාදයට හේතුව කාර්මික දෝෂයක් බව මුද්‍රණාලය කියා සිටියේය. එය එවැනි දෙයක් සිදුවූ පළමු අවස්ථාව විය. ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්වන විට පුවත්පතේ මුද්‍රණ කටයුතු අවසන් වී තිබුණි. පුවත්පත පළවීම වළකා ජනාධිපති ප්‍රේමදාස ඝාතනය පිළිබඳ විස්තර ඇතුළත් මුල් පුවතක් සමග අලුත් මුල් පිටුවක් සකසා පුවත්පතේ මුල් පිටුව අලුතෙන් මුද්‍රණය කොට වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුවිය. පළ නොවූ මුල් පුවත ඇතුළත් කතාව වෙලාවට පළකිරීමට හැකි වී නම් සමහරවිට ඒ සිදුවීම එසේ සිදු නොවන්නට ඉඩ තිබුණේය.

මේ සිද්ධිය පිළිබඳ විවරණයක් ජනාධිපති ප්‍රේමදාසගේ අභාවයේ දෙවැනි සංවත්සරයේදී ලියා පළ කළෙමි. මට එහිදී එල්ල වූ තර්ජන සංඛ්‍යාව අතිවිශාලය. මුළු පවුලම ඝාතනය කරන බවට දිගින් දිගට ප්‍රකාශ විය. එවැනි අහිංසක විවරණයක් සැඟවුණු තුන්වැනි පිරිසකගේ වෛරයට හේතුවූයේ ඇයි? ලලිත් ඇතුලත්මුදලි හා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යන ඝාතන දෙකම එල්ටීටීඊ නොවන එකම පිරිසක් විසින් සිදුකළේය යන්න මගේ නිරීක්ෂණයයි.

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ ඒකාධිකාරී බලය ඇත්තේ එල්ටීටීඊයටය. මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව බැලූ බැල්මට පෙනෙන ලෙස එවැනි ප්‍රහාරයක් තුන්වැනි පිරිසකට සංවිධානය කළ හැකි නම්, එවැනි ක්‍රියාවක් වැටෙන්නේ ද එල්ටීටීඊ ගිණුමටය. වෙනත් පිරිසක් එසේ කළත් එය වෙනත් පිරිසක් විසින් කරන ලද ක්‍රියාවක් බව කීමේ හැකියාවක් එල්ටීටීඊයට නැත. මක්නිසාදයත් ඒ බලය තවත් පිරිසකට ඇති බව පිළිගත් විට තමන්ට ඒ විෂයෙහි තිබෙන ඒකාධිකාරී බලය වාෂ්ප වන නිසාය.

නායක ඝාතන හා නායකයින් ඝාතනය කිරීමට තැත් කිරීම් යන විෂයයෙහි නොවිසඳුණු ප්‍රහේළිකා තුනක් ඇතැයි මම සිතමි. පළමු ප්‍රහේළිකාව ලලිත් ඇතුලත්මුදලි ඝාතනය ද, දෙවැන්න ජනාධිපති ප්‍රේමදාස ඝාතනය ද වන අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එක් ඇසක් අහිමි කළ ටවුන් හෝල් බෝම්බ සිද්ධිය තුන්වැනි ප්‍රහේළිකාව ලෙස සැලකිය හැකිය. මෙම සිද්ධීන් තුන පිළිබඳව තිබෙන ජනප්‍රිය මත සාධාරණ පරීක්ෂණයකින් පසුව ඇති කරගන්නා ලද නිගමන ලෙස සැලකිය නොහැකිය. සමහර කරුණු හැමදා අභිරහස් ලෙසින්ම තිබෙන්නට ඉඩ හැරීම භයානකය. •