ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයක්!

October 29, 2026
Publication:
The government is to offer a settlement of the ethnic question together with a change to the executive presidency — an executive prime minister answerable to parliament. Better than what exists, Ivan says, and nowhere near enough: from a birth certificate to a job, a bribe is the working condition of every transaction, and nothing can be done without political patronage. That is what has to change.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුව හරහා විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් සමග ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට නියමිත ය. ඉදිරිපත් කරන්නට යන යෝජනා තවමත් පැහැදිලි නැතත්, විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ක්‍රමයක් ඇති කරන්නට යන බව ප්‍රකාශිත ය.

පාර්ලිමේන්තුවට වග නො කියන විධායක ජනාධිපති ක්‍රමයකට වඩා පාර්ලිමේන්තුවට වගකියන විධායක අගමැති ක්‍රමයක් යහපත් ය. එහෙත් එවැනි සරල වෙනසක් පමණක් රාජ්‍යයේ ඇතිවී තිබෙන අතිවිශාල ගරා හැලීමට පිළියමක් වන්නේ නැත. දේශපාලන ක්‍රමය තිබෙන්නේ ශිෂ්ටසම්පන්න තත්ත්වයක නොවේ. දේශපාලන ක්‍රමය කෙරෙහි මහජනයාගේ විශ්වාසයක් හා ගෞරවයක් නැත්තේ ඒ නිසා ය.

දේශපාලන ක්‍රමයේ ප්‍රධාන අංග ලෙස සැලකිය හැකි විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, රාජ්‍ය සේවය යන හැම අංශයක් සේ ම, දේශපාලන ක්‍රමයේ මුරපල්ලාගේ කාරිය පැවරී තිබෙන ජනමාධ්‍ය දක්වා වන රාජ්‍යයේ හැම වැදගත් අංශයක් ම දූෂිත ය. ඒ මොනම අංශයක්වත් ඒවා වෙත පැවරී තිබෙන සමාජ වගකීම් හරියාකාරව ඉටු කිරීමට සමත් වී නැත. උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීමේ සිට රැකියාවක් ලබා ගැනීම දක්වා වන හැම කාර්යයක් සඳහා ම අල්ලස අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන අතර, දේශපාලන අනුග්‍රහයෙන් තොරව ජීවිතයේ කිසිවක් කළ නොහැකි තරමට දේවල් දේශපාලනීකරණය වී තිබේ.

මේ අශෝභන තත්ත්වය මුළුමණින් ම වෙනස් විය යුතු ය. අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කළ යුතු අතර, රාජ්‍ය පාලකයාගේ සිට පුරවැසියා දක්වා වන සියලු දෙනා නීතියේ පාලනයට යටත් තත්ත්වයක් ස්ථාපිත කළ යුතු ය. රාජ්‍යයක්, පුරවැසියන් පීඩාවට පත් කරන ආයතන ක්‍රමයක් වෙනුවට පුරවැසියන් ආදරයෙන් රැක බලා ගන්නා ආයතන ක්‍රමයක් බවට පරිවර්තනය විය යුතු ය.

පවතින අශෝභන දේශපාලන ක්‍රමය වෙනුවට ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයක් ඇති කළ හැකිවනු ඇත්තේ සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී රටේ පුරවැසියන් ද සම්බන්ධ කරගනිමින් රටට සුදුසු නව දේශපාලන ක්‍රමයක් සඳහා කතිකාවතකට යමින් ඒ මගින් පොදු එකඟතාවකට ඒමෙනි. වර්ගය, ආගම, කුලය හෝ දරන අදහස් අනුව පුරවැසියන්ට වෙනස්කම් නො කරන, සියලු පුරවැසියන්ට සමාන ලෙස සලකන, නීතියට ද මහජනයාට වගකියන කාර්යක්ෂම කළමනාකරණයක් සහතික කළ හැකි ස්ථිරසාර සාමයක් ස්ථාපිත කළ හැකි, දේශපාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වේ නම් ශ්‍රී ලංකාවට යා හැකි දුර සීමා රහිත ය. •