පක්ෂ මාරු දේශපාලනය හා ජනාධිපති ක්‍රමය

October 29, 2026
Publication:
What could be called the core of the UNP has joined the government, and the Muslim Congress with it, so the government no longer depends on the JVP for its majority. Ivan reads what that does to the opposition, to the SLFP's own office-holders and to the presidency itself — and says that if Mahinda Rajapaksa can reform this ugly system where his predecessor would not, he will escape the rubbish heap of history.

එජාපයේ සාරය ලෙස සැලකිය හැකි පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු විය. ඒ සමග මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ද ආණ්ඩුවට එකතු වූයේය. දැන් බහුතර බලය සඳහා ජවිපෙ මත රඳා පැවතීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නැත. විරුද්ධ පක්ෂයේ පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතුවීමේ ක්‍රියාවලිය පොදුවේ විරුද්ධ පක්ෂය ද, විශේෂ වශයෙන් එජාපය ද බෙලහීන කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. ජවි පෙරමුණට විරුද්ධ පක්ෂයේ නායකත්වය හිමිකර ගැනීමේ හැකියාවක් නැතත්, රනිල් වික්‍රමසිංහගේ නායකත්වය විසින් අක්‍රීය තත්ත්වයකට පත් කොට ඇති එජාපය පරදා ක්‍රියාකාරීත්වයේදී දිදුලන තත්ත්වයක් හිමිකර ගැනීමට ජවිපෙ සමත් වනු ඇතැයි සිතිය හැකිය.

මීට පෙර සිදුවූ පක්ෂ මාරු සේ ම දැන් සිදුවී තිබෙන පක්ෂ මාරුව ද පවතින දේශපාලන ක්‍රමයට ආවේණික විකාරරූපී ස්වරූපය හොඳින් ප්‍රදර්ශනය කරයි.

රටේ මූලික නීතිය ලෙස සැලකෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට රටේ විධායක ජනාධිපති ද, පාර්ලිමේන්තුව ද, අධිකරණය ද බැඳී සිටී.

එක් පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වී, තවත් පක්ෂයකට එකතුවීම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි වගන්තිය යටතේ ඇති (13) (අ) ඡේදය අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් ඔහු තේරී පත්වූ පක්ෂයෙන් ඉවත් වූ අවස්ථාවක හෝ එම පක්ෂයෙන් පහ කළ අවස්ථාවකදී ඔහු එම පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාල සීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන්නේය.

එසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයෙන් පහ කරනු ලැබූ අවස්ථාවක ඉහත කී මාසයක කාලසීමාව ඉකුත්වීමට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් මගින් ඉල්ලීමක් කළහොත් සහ එම පහකිරීම වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඔහුගේ අසුන හිස් නොවන්නේය.””

විධායක ජනාධිපති දේශපාලන ක්‍රමය සකස් කර ඇත්තේ එක් පක්ෂයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීකම අහිමිකර ගැනීමෙන් තොරව පක්ෂ මාරුකළ නොහැකි ආකාරයටය. එහෙත් නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු එහි තීන්ත වේලෙන්නටත් ප්‍රථම තමන් විසින්ම ඇති කරන ලද ව්‍යවස්ථාවේ පිළිගත් මූලධර්මවලට පටහැනිව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමරනායක හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ රාජදොරේ) ආණ්ඩු පක්ෂයට එකතු කරගත්තේය. එදා මෙම නාට්‍යය රඟදක්වන ලද්දේ දැන් රඟ දැක්වෙන ආකාරයට නොව, හාස්‍යජනක ලෙස වුවත්, ව්‍යවස්ථානුකූලව ස්වරූපයකිනි. එකල එජාප ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පූර්ව කාලයට පමණක් බලපවත්වන්නාවූ සංශෝධනයක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන ඒ අරමුණ ඉටුකර ගනු ලැබීය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද දෙවැනි සංශෝධනය වූ අතර, එය බලපෑවේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබූ පළමු පාර්ලිමේන්තු කාලසීමාව සඳහා පමණය. ඒ අනුව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම අහිමි නොවන්නේය.

ව්‍යවස්ථාවේ එන පක්ෂ මාරුවට අදාළ විධි විධාන තාවකාලිකව අත්හිටුවා ඒ වැඩේ කරන්නට තරම් පාර්ලිමේන්තු බලයක් චන්ද්‍රිකාට නොවීම නිසා ඇයට විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී පිරිස් එකතු කරගැනීමට සිදුවූයේ අධිකරණයේ ආරක්ෂාව යටතේය. විනය විරෝධී ක්‍රියාවක් මත පක්ෂ තහනමකට ලක්වන මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීකම අවසාන වශයෙන් තීන්දු කරන්නේ අධිකරණයයි. ඒ මගින් ආණ්ඩුවට පමණක් සීමාවී තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ කැත වැරැද්ද කරන තැනකට ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින අධිකරණය ද පොළඹවා ගනු ලැබීය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පමණක් නොව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද එකල ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට මන්ත්‍රීවරුන් ගැනීම සඳහා අද මෙන් තනතුරු පමණක් නොව මහා පරිමාණයෙන් මුදලින් අල්ලස් ගෙවන ක්‍රමයක් ද යොදා ගත්හ. එස්.බී. දිසානායක කියා ඇති පරිදි චන්ද්‍රිකාගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්‍ය අඩු පිරිස එක්සත් ජාතික පක්ෂයෙන් මිලදී ගැනීම සඳහා ඔහුට චන්ද්‍රිකාගෙන් ලැබුණු මුදල් පොදියේ වටිනාකම රුපියල් කෝටි 10කි. සමහර මන්ත්‍රීවරුන්ට අත්තිකරම් පවා ගෙවා තිබියදී විකිණෙන්නට එකඟ වී සිටි මන්ත්‍රී පිරිස සිංගප්පූරුවට යැවීමෙන් එජාප නායකයා ඒ වැඩපිළිවෙළ ව්‍යර්ථ කිරීමට සමත් විය.

ඉන්පසු පොදු පෙරමුණේ පාර්ලිමේන්තු ආණ්ඩුව පරාජය කිරීමේ ක්‍රියාව සඳහා ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විරුද්ධ පක්ෂයට ගැනීම වෙනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ ද තනතුරුවලට අතිරේකව මුදලින් ගෙවන ක්‍රමයක් ක්‍රියාත්මක කළේය. ඒ මගින් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු තත්ත්වයක් නිර්මාණය කොට එම මැතිවරණයෙන් ජය ලබාගනිමින් තමන්ගේ පාර්ලිමේන්තු ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් විය.

රනිල් වික්‍රමසිංහගේ එම පාර්ලිමේන්තු ආණ්ඩුව “විප්ලවකාරී” ජනතා විමුක්ති පෙරමුණේ සහාය ඇතිව ජනාධිපතිනි චන්ද්‍රිකා විසින් විධායක බලය යොදා විසුරුවා හරින ලදි. එම පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් පසු බහුතර බලයක් ලබාගැනීම සඳහා ද චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් වරප්‍රසාද සඳහා හෝ මුදලට මිලදී ගත්තාය. එම මෙහෙයුමට ජවිපෙ ද විප්ලවකාරී ස්වරූපයකින් දායක විය.

දැන් විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වී සිටින එජාප මන්ත්‍රීවරුන් අතර ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි කිහිප දෙනෙක් ද සිටිති. කරු ජයසූරිය හා රාජිත සේනාරත්න වැනි අය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ද ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් වෙනුවෙන් ද පෙනී සිටියහ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මෙම පක්ෂ මාරුව නිසා දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරමය අයිතිය ඔවුහු අහිමි කරගෙන සිටිති. දැන් ඔවුන් අවසාන වශයෙන් ආරක්ෂා කරන්නේ අධිකරණය වන නිසා ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් කතා කිරීමේ හැකියාවක් ඔවුන්ට නැත.

ජේ.ආර්. ජයවර්ධනගේ අපූරු හා විෂම නිර්මාණයක් ලෙස සැලකිය හැකි විධායක ජනාධිපති ක්‍රමය ශිෂ්ටසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ලෙස සැලකිය නොහැකිය. ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කළ මෙම ක්‍රමයේ ඇති බිහිසුණු බව කල් තියා ගැඹුරින් දැකීමේ හැකියාව තිබුණේ එන්.එම්., කොල්වින් වැනි පරිණත දේශපාලකයන් කිහිප දෙනෙකුට පමණය. එන්.එම්. පෙරේරා 1979දී විධායක ජනාධිපති ක්‍රමය ගැන මෙසේ ලීවේය. ““ඇමරිකාවේ ජනාධිපතිවරයා සිව් අවුරුදු කාලයක් සඳහා ඒකාධිපතියෙක් යැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ එම කාලපරිච්ඡේදය තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කර ඇත.”” එන්.එම්. කියන්නේ මේ ක්‍රමය යටතේ බලයට පත්වන ජනාධිපතිවරයා හය අවුරුදු කාලයක් සඳහා වන ඒකාධිපතියෙකු බවය. එහෙත් ඇත්තටම මේ ක්‍රමය යටතේ ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයා ඒකාධිපතියෙකු වන්නේ හය අවුරුදු කාලයක් සඳහා නොව, දොළොස් අවුරුදු කාලයක් සඳහාය. මහජන ඡන්දය වැදගත්වන්නේ පළමු ධුර කාලය සඳහා බලයට පත්වීම සඳහා පමණය. දෙවැනි ධුර කාලය සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය තමන්ට තිබෙන මහජන බලයට අතිරේකව රාජ්‍ය බලය පාවිච්චි කොට ජයගත හැකිය.

ජේ.ආර්. ජයවර්ධන නිල කාල දෙකක් බලයේ සිටියේය. ඝාතනයට ලක් නොවී නම් ජනාධිපති ප්‍රේමදාස ද නිල කාල දෙකක් බලයේ රැඳී සිටිනු නොවැළැක්විය හැකිය. ජනාධිපති චන්ද්‍රිකා ද නිල කාල දෙකක් බලයේ සිටියාය. දැන් එළඹ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වාරය වන අතර, ඔහු ද නිල කාල දෙකක් බලයේ රැඳී සිටිනු ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති සළු පිළි හැන්දවූ ඒකාධිපති ක්‍රමයකි. මේ ක්‍රමය යටතේ විධායක ජනාධිපති ජනාධිපතිවරණයකදී මහජනතාවට හැර පාර්ලිමේන්තුවට අධිකරණයට හෝ වෙනත් ආයතනයකට වග නොකියයි. බරපතළ වැරදි කරන විධායක ජනාධිපතිවරයෙකු වුවත්, බලයෙන් පහකළ හැකි ක්‍රමයක් නැත. දෝෂාභියෝගය එවැනි ක්‍රමයක් ඇති බවට ජනතාව රැවටීම සඳහා ඇති කර තිබෙන බොරුවක් පමණය. ඇත්තටම පිස්සු වැටුණු ජනාධිපතිවරයෙකු වුවත් ඉවත් කරන ක්‍රමයක් මේ ක්‍රමය තුළ නැති බව කොල්වින් කීවේ ඒ නිසාය.

විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යනවා නම් විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන තැනකට ගෙනා යුතුය. බරපතළ වැරදි කරන ජනාධිපතිවරයෙකු දෝෂාභියෝගයක් මගින් ඉවත් කළ හැකි ආකාරයට දෝෂාභියෝගය සඳහා තිබෙන විධිවිධාන සරල හා ප්‍රායෝගික තත්ත්වයකට ගෙනා යුතුය. මෙවැනි ක්‍රමයක් තුළ මනා පාලනයක් සඳහා ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබීම අත්‍යවශ්‍යය.

සර්ව පාක්ෂික සම්මේලනයේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ ඉදිරිපත් කර තිබෙන යෝජනා මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට විධායක අගමැතිවරයෙකු සහිත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යෝජනා කර තිබේ. ජනාධිපතිවරයාගේ එකඟතාවකින් තොරව එවැනි යෝජනාවක් ඉදිරිපත් වනු ඇතැයි සිතිය නොහැකිය. මේ ක්‍රමයේ රස උරා බිව් කිසිවෙක් එය වෙනස් නොකළහ. සිය පූර්වගාමියාට වෙනස්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම අවලස්සන ක්‍රමයේ යහපත් වෙනසක් ඇති කළ හැකි නම් චන්ද්‍රිකා මෙන් ඉතිහාසයේ කුණු බක්කියට නොවැටෙන තත්ත්වයක් දිනාගැනීමට ඔහුට හැකිවනු ඇත්තේය. •