සර්ව පාක්ෂික සම්මේලනයේ නියෝජිතයින් දීර්ඝ සාකච්ඡාවලියකින් පසුව උපරිම මට්ටමේ බලය බෙදාහැරීමක් සඳහා පොදු එකඟතාවකට පැමිණ ඇති බව සර්ව පාක්ෂික සම්මේලනයේ සභාපති තිස්ස විතාරණ මහතා පුවත්පත්වලට ප්‍රකාශ කර තිබුණි. සර්ව පාක්ෂික සමුළුව ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය වැනි පක්ෂ ද නියෝජනය කරයි. එම පක්ෂ දෙක ද උපරිම බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළකට එකඟ වේ නම් එය ඉතාමත් ඉදිරිගාමී තත්ත්වයක් වන බව අමුතුවෙන් කිවයුතු නැත.
එක්සත් ජාතික පක්ෂය තවමත් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වී නැතත්, සහභාගිවීමට එකඟ වී තිබේ. එම පක්ෂය ද උපරිම ලෙස බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළකට එකඟ ය. ඒ අනුව උපරිම ලෙස බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සඳහා දේශපාලන තලයේ පොදු ජාතික එකඟතාවක් පවතී. ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය යන පක්ෂ සිටින්නේ ද එම එකඟතාව තුළ ය.
මේ සියලු දෙනා උපරිම ලෙස බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සඳහා පොදු එකඟතාවකට පැමිණීම සත්‍යයක් නම්, එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතිවූ රටේ පොදු යහපතට හේතුවන ඓතිහාසික වැදගත්කමක් ඇති සංසිද්ධියක් ලෙස සැලකිය හැකි ය.
දැන් අපට එතැන් සිට ශ්‍රී ලංකාව සඳහා යොදාගත හැකි හොඳම බලය බෙදාහැරීමේ මාදිලිය කුමක් විය යුතු ද යන්න වාද කළ හැකි ය.
ජනවාර්ගික අර්බුදය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන එක ම අර්බුදය නොවන බව ඒ සමග අපි අමතක නො කළ යුතු ය. එය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන වඩා විශාල අර්බුදයක එක් ප්‍රධාන පැතිකඩක් පමණ ය.
ශ්‍රී ලංකාව අසාර්ථක වන්නේ ජනවාර්ගික ආවේග කළමනාකරණයේ දී පමණක් ද? නැත. අන් සියලු ප්‍රධාන ප්‍රශ්න කළමනාකරණයේ දී ද අප සිටින්නේ අසාර්ථක තත්ත්වයක ය.
අපේ ව්‍යවස්ථාදායකය අසාර්ථක ය. විධායකය අසාර්ථක ය. අධිකරණය අසාර්ථක ය. ජනමාධ්‍ය අසාර්ථක ය.
සිය පුරවැසියන් භේදයකින් තොරව ආදරයෙන් හා ගෞරවයෙන් රැකබලා ගැනීමට රාජ්‍ය අසමත් වී තිබේ. රටේ තිබෙන බදු ක්‍රමය පීඩාකාරී ය. රජයේ සේවකයින් සඳහා තිබෙන වැටුප් ක්රමයෙහි සාධාරණ බවක් හෝ විධිමත් භාවයක් නො පවතී. දෙමාපියන් අහිමි වූ අසරණ ළමයෙකු නඩත්තු කිරීම සඳහා රජය දිනකට වැය කරන්නේ රුපියල් 10ක් වැනි සොච්චම් මුදලකි. පාරිභෝජන දීමනාවලින් හෝ විශ්‍රාම වැටුප්වලින් ජීවත් වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකබලා ගැනීමේ ක්‍රමයක් රටට නැත. රටේ නගර අපිරිසිදු ය. ජනතාවගේ ආත්ම ගෞරවයට හේතුවන පොදු මගී ප්‍රවාහන සේවාවක් සහතික කිරීමට රට සමත් වී නැත. පාසල් ක්‍රමය හා අධ්‍යාපනය තිබෙන්නේ අවුල් ජාලාවකය. ඉතාමත් දියුණු තත්ත්වයක තිබූ මහජන සෞඛ්‍ය සේවාවන් තිබෙන්නේ ද වේගයෙන් පරිහානිය කරා ගමන් කරන තැනක ය. අල්ලස හා දූෂණය රටේ රජ කරයි. අධිකරණ ක්‍රමය පක්ෂග්රාහී ය. යුක්තිය ඉටු කරගැනීම සඳහා මහජනයාට දෙවිවරුන්ගේ පිහිට පැතීමට සිදුවී තිබේ.
ශ්‍රී ලංකාවේ සමස්ත චිත්‍රය රටේ ජීවත් වන සියල්ලන්ගේ ම ගෞරවයට හා විශ්වාසයට හේතුවන ලෙස වෙනස් කිරීමේ ඇත්ත අවශ්‍යතාවක් පවතී. ජනවාර්ගික ප්රශ්නය කෙරෙහි සේ ම සමස්ත අර්බුදය කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතු ය. සමස්ත චිත්රයේ වෙනසක් ඇති කරන මහා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට අප යා යුතු ය. ඒ සඳහා පක්ෂ අතරත්, ජනතාව අතරත් පොදු එකඟතාවක් ඇති කරගත යුතු ය. •