එයාර් වයිස් මාෂල් හැරී ගුණතිලක පිළිබඳව මහජන අවධානය දිනාගන්නා කදිම ලිපියක් ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවී තිබුණි.
හැරී ගුණතිලක පිළිබඳ චිත්‍රය පරිපූර්ණ කිරීම සඳහා මා දන්නා තොරතුරු ඇතුළත් සටහනක් ලිවීම සුදුසු යැයි කල්පනාවීම නිසා මෙය ලියමි.
හැරී ගුණතිලක මේ රටේ ජීවත් වන මිනිසුන් විසින්ම අවලස්සන කරගත් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ලස්සන මිනිසුන් අතර ලස්සනම මිනිසෙකැයි කිව හැකිය. මා ඔහු හඳුනාගත්තේ 1987දීය. එකල ඔහු බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රබල ආධාරකරුවකු විය. අපි නොබෝ කලකින් ළඟින් ඇසුරු කරන මිතුරන් බවට පත්වීමු. ජවිපෙ දෙවැනි කැරැල්ල පැවති බිහිසුණු අවධියේදී රටේ සිදුවන දේවල් ඇස් දෙකෙන්ම දැකගැනීම සඳහා රටේ විවිධ පළාත්වල විටින් විට සංචාරයේ යෙදෙන සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට හැරී, මම, අනුරුද්ධ රත්වත්ත හා තවත් කෙනෙකු ඇතුළත්ව සිටියේය. අපි ඒ සඳහා යන ගමන් බිමන් ගියේ හැරීගේ මෝටර් රථයෙනි. මෝටර් රථය පදවන ලද්දේ හැරීය. රිය පදවන පුද්ගලයා ගුවන් හමුදාවේ හිටපු හමුදාපති වීම හේතු කොටගෙන එම බිහිසුණු යුගයේදී හමුදා මුරකපොලුවලදී දැඩි ප්‍රශ්න කිරීමකට ලක් නොවී සංචාරය කිරීමේ හැකියාව අපට ලැබුණි.
හැරී දැන් ජීවත් වන ඇල්විටිගල නිවාස සංකීර්ණයේ ඇති කුඩා තට්ටු නිවාසය හැරීට ලැබුණේ රණසිංහ ප්‍රේමදාස මහතාගෙනි. ඒ මහතා අගමැති ධුරයේ සිටියදීය. හැරී, සිරිමා බණ්ඩාරනායක මහතාගේ සමීප ආධාරකරුවෙකු බව ප්‍රේමදාස මහතා දැන සිටියේය. 88 ජනාධිපතිවරණයට පෙර තමාට ආධාර කරන ලෙස ප්‍රේමදාස මහතා හැරීගෙන් ඉල්ලා තිබුණි. තමා බණ්ඩාරනායක මැතිනියට ආධාර කිරීමට ප්‍රතිඥා දී ඇති බැවින් එය වෙනස් කිරීමේ හැකියාවක් තමන්ට නැති බව හැරී ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබුණි. හැරී මා හා තවත් පුද්ගලයෙකු ඇතුළත් එම කණ්ඩායම එකල බණ්ඩාරනායක මැතිනිය, අනුරුද්ධ රත්වත්ත වැනි අය හැඳින්වූයේ “ඒ” කණ්ඩායම වශයෙනි. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව හැරී තමන් වෙත කැඳවා ජනාධිපතිවරණයෙන් ජය ලැබී ඇත්තේ තමාට බැවින් තමා සමග එකතු වී රටට වැඩ කිරීමට අවශ්‍ය නම් ඒ කණ්ඩායම සමග තමාට එකතු වන ලෙස හැරීට ආරාධනා කළේය. එම ආරාධනයෙන් පසු ප්‍රේමදාස ජනාධිපතිවරයාට දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්විය යුතුද යන්න ගැන හැරී අප සමග සාකච්ඡා කළේය. මාගේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවට එකතුවීමේ හැකියාවක් මට නැති බවය. අවසානයේ එය තිදෙනාගේම මතය බවට පත්වී හැරී ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.
පසුකලක ප්‍රේමදාස ජනාධිපතිවරයා හැරී ගුණතිලකට රිදවන නරක තීරණයක් ගත්තේය. හැරී ගුණතිලකට කිසිම ගුවන් හමුදා කඳවුරකට ඇතුල්වීම තහනම් කරන තහනම් නියෝගයක් පැනවීය. එය හැරීගේ බලවත් සිත් වේදනාවට ද, කෝපයට ද හේතුවිය. හැරී හිටපු ගුවන් හමුදාපතිවරයාය. අනෙක් අතට ඔහුගේ පිරිමි දරු දෙදෙනා සේවය කළේ ද ගුවන් හමුදාවේය. තමන්ට සිදුකරන ලද අයුක්තියට එරෙහිව සටන් කිරීමට ඔහුට අවශ්‍ය විය. මාගේ මතය වූයේ ද ඔහු නිශ්ශබ්ද නොවී එම නියෝගයට එරෙහිව සටන් කළ යුතු බවය. එහෙත් ඔහු ඇසුරු කළ ඔහුගේ බොහෝ යාලු මිතුරන් දරන ලද අදහස් ඊට වෙනස් විය. ප්‍රේමදාස ජනාධිපතිවරයා වැනි පුද්ගලයෙකු සමග හැප්පෙන්නට යෑම ඇඟට ගුණ නැති බව ඔවුන් කීවේය. එවැනි අරගලයක් ඔහු කෙරෙහි පමණක් නොව, ගුවන් හමුදාවේ සේවය කරන, එහි හොඳ අනාගතයක් තිබෙන බව පෙනෙන ඔහුගේ දරුවන්ගේ අනාගතය කෙරෙහි පවා නරක ලෙස බලපෑ හැකි බව ඔවුන් කීවේය. එහෙත් ඔහු ඒ සියලු අදහස් නිසා තමන්ට සිදුකර තිබෙන අයුක්තියට එරෙහිව සටන් කිරීමට ගෙන තිබූ තීන්දුව වෙනස් නොකළේය. ““අපි දෙන්නම ඉන්නෙ එක මතයක. අනිත් ඔක්කොම ඉන්නෙ වෙනස් මතයක.”” ඔහු එකල නිතර නිතර මට කීවේය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නියෝගයට එරෙහිව අධිකරණය ඉදිරියට යන්නට තීන්දු කොට ඒ බව ඔහු ආරක්ෂක ලේකම් මගින් ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ද පෙරළා පහර දෙන තැනකට යනවා වෙනුවට ගුවන් හමුදා කඳවුරුවලට ඇතුළුවීම වළකන ආකාරයට පනවා තිබූ නියෝගය ඉවත් කර ගත්තේය. එය හැරී උරගා බැලීමකට ලක් කෙරුණු තීරණාත්මක අවස්ථාවක් වී යැයි කිව හැකිය. ඔහු දෙකට නැමී කන්නලව් කරන තැනකට නොගියේය. ඒ වෙනුවට තම අයිතීන් සඳහා සටන් කරන තැනකට ගියේය.
රාවයට ආණ්ඩුවෙන් තර්ජන ගර්ජන එල්ලවෙමින් පැවති යුගයකදී මට ශක්තිය ලබාදීම සඳහා ඔහු රාවය අධ්යක්ෂ මණ්ඩලයට සිය කැමැත්තෙන් එකතු විය. රාවය සටන් කළේ සමාජ යුක්තිය සඳහා බැවින් මා ආරක්ෂා කිරීම ඔහු තමන් සතු වගකීමක් ලෙස සැලකීය. එවැනි විශේෂ අවස්ථාවක ඔහුගේ තරාතිරමේ පුද්ගලයෙකු එවැනි දෙයක් කිරීම අසාමාන්‍යයය. රාවයේ අධ්යක්ෂ මණ්ඩලයට එකතුවීම වෙනුවෙන් ඔහුට ලැබුණේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකදී අන්‍යයන්ට ලැබෙන තේ කෝප්පය පමණි. රැස්වීම්වලට යන ගමන් බිමන් සඳහා යන ඉන්ධන වියදම් දරන ලද්දේ ද ඔහුගේ අතිනි. ඔහු රාවයේ සමාජ කාර්ය භාරය තේරුම් ගෙන ඊට මුළු හදවතින් ආදරය කළ පුද්ගලයෙකු විය.
ඔහු බණ්ඩාරනායක මැතිනියගේ විශ්වාසවන්ත සගයෙකු වී සිටියදීත්, චන්ද්‍රිකාගේ ආගමනයට ඉත සිතින් ආධාර කළේය. බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී චන්ද්‍රිකාගේ ආරක්ෂාව භාරව ක්‍රියා කළේ හැරීය. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදීද ඇය වෙනුවෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේය. චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු ඇය ඔහු එයාර් ලංකා අධ්යක්ෂ මණ්ඩලයට පත් කළාය. එහෙත් එයාර් ලංකා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් ඔහු අනුගමනය කළ ඍජු ප්‍රතිපත්ති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සංතෝෂයට හේතු නොවීය. ඔහු තමන් කැමති ප්‍රතිපත්ති ආරක්ෂා කරගැනීම සඳහා එයාර් ලංකාවට ආයුබෝවන් කීවේය. ඒ සමග ඔහු පක්ෂ දේශපාලනයට ද ආයුබෝවන් කීවේ යැයි කිව හැකිය. එහෙත් තමන්ට ලැබුණු පදවිය අහිමි වීම ගැන ඔහු කණගාටුවෙන් කතා කරනු කිසිම අවස්ථාවකවත් මා දැක නැති බව ද කිව යුතුය.
අදහස් ප්‍රකාශ කිරීමේදී ඔහු දක්වා ඇති නිර්භීතභාවය ඉතාමත් සුවිශේෂ යැයි කිව හැකිය. ඔහු තමන් දරන අදහස් නොබියව නොපැකිළව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. විවේචනයට ලක් කිරීම අවශ්‍ය අවස්ථාවලදී ඔහු ඕනෑම ජගතෙකු නොබියව විවේචනය කළේය. ඔහුට ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදය ගැනත්, යුද්ධය ගැනත් තමන්ගේම වන විශ්ලේෂණයක් තිබුණි. යුද්ධයට කළ හැකි ලොකුම දේ සාකච්ඡාමය විසඳුමකට ශක්තිමත් වටපිටාවක් ඇති කරදීම පමණක් බවත්, ඒ හැර යුද්ධය අර්බුදයට තිබෙන විසඳුම නොවන බවත්, ඔහු හැමදාමත් නොබියව තිර ලෙස ප්‍රකාශ කළේය. සිය පුත්‍රයා ගුවන් හමුදාපති තනතුරට පත්වීමෙන් පසුවවත් හැරී මතභේදයට තුඩුදෙන අදහස් පළ කිරීමෙන් වැළකී සිටිනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් පුත්‍රයාගේ පදවි ප්රාප්තියෙන් පසුවවත් හැරී සිය අදහස් පළකිරීම අත්හළේ නැත. යුද්ධය විජයග්‍රාහී පෙනුමකින් ඉදිරියට යමින් තිබුණු අවස්ථාවක හා සිය පුත්‍රයා එම යුද්ධයේ ගුවන් හමුදා ප්‍රධානියා වී සිටින තත්ත්වයක් යටතේත් හැරී සුපුරුදු ලෙස රටට හඬනගා කීවේ අර්බුදයට තිබෙන විසඳුම යුද්ධය නොවන බවය.
එයාර් වයිස් මාෂල් හැරී ගුණතිලක ගුවන් හමුදාපති ධුරයෙන් විශ්‍රාම යන අවස්ථාව වන විට ඔහුට නොතිබුණේ ඉන්නට නිවසක් පමණක් නොවේ. මෝටර් රථයක්වත් නොතිබුණි. නිවස ලැබීමෙන් පසු මෝටර් රථයේ සිට අයිස් පෙට්ටිය හා රූපවාහිනිය දක්වා වන සියලු ගෘහභාණ්ඩ මිලදී ගත්තේ තමන් සන්තකයේ තිබුණු ඉඩමක් විකිණීමෙනි.
හැරී ගුණතිලක අවලස්සන බවට පත්ව තිබෙන රටක ඉපදුණු ලස්සන මිනිසෙකි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක මිනිසකු විය. නිර්භීත මිනිසකු විය. තමන් ඉපදුණු රටට ආදරය කළ හැඟීම්බර මිනිසෙකි. ඔහු මගේ කාලයේ ජීවත් වූ තවත් වීරයෙක් ලෙස සැලකිය හැකිය.