අධිකරණය රටේ ඇවිලී තිබෙන ගින්න නිවා ගැනීමට ආධාර කරනවා වෙනුවට ඊට පිදුරු දමන පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව පෙනේ.
උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කරන ලද්දේ ඉන්දු-ලංකා ගිවිසුම යටතේය. එසේ කරන ලද්දේ ඉන්දියාවේ ද බලපෑම මත දෙමළ දේශපාලකයන්ගේ බලවත් ඉල්ලීමක් වී තිබුණු එම ප්‍රදේශ දෙමළ ජනයාගේ පාරම්පරික නිජබිම් ප්‍රදේශ බව පිළිගනිමින් ඊට ගැළපෙන පළාත් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහාය.
එම කලාපය දෙමළ ජනයාගේ ඓතිහාසික නිජබිම් වේද යන ප්රශ්නය හැමදාමත් විවාදයට හේතුවී තිබුණු ප්‍රශ්නයක් විය. එම ප්‍රදේශ ඔවුන්ගේ ඓතිහාසික නිජබිම් ප්‍රදේශ බව සනාථ කරන්නට දෙමළ න්‍යායවාදීන්ට බලවත් තර්ක තිබුණා සේම ප්රතිපක්ෂවලට එම මතය ඛණ්ඩනය කරන්නට ද බලවත් තර්ක තිබුණි. ඔවුන්ගේ මතය යම් පමණකට හෝ සාධාරණය කළ හැකිව තිබුණේ මුස්ලිම් ජනතාව ද එක්ව ගත්විට එම කලාපයේ අතිවිශාල බහුතරයක් දෙමළ භාෂාව කතා කරන්නේය යන පදනම මත පමණය. ඒ මොහොතේ නැගෙනහිර මුස්ලිම් ජනයා සිටියේද දෙමළ ජනතාව සමග එක්ව සටන් කරන තැනකය. මේ වන විට මුස්ලිම් ජනයා දෙමළ ජනතාවගෙන් වෙන්වී තමන්ගේම ස්වාධීන පාලන අධිකාරියක් ඉල්ලා සිටින තත්ත්වයක් ඉදිරියේ නිජබිම් තර්කයට තිබුණු වලංගුභාවය බොහෝ දුරට බිඳ වැටී ඇතැයි කිව හැකිය. එහෙත් එය අවසාන වශයෙන් තීරණය විය යුතුව තිබුණේ අධිකරණයේදී නොව සාකච්ඡා මේසයේදීය. ඉන්දු-ලංකා ගිවිසුම යටතේ වුවද මෙම පළාත් දෙක ඒකාබද්ධව පවත්වාගෙන යනවාද නැද්ද යන්න අවසාන වශයෙන් තීන්දු කිරීමේ බලය ලබාදී තිබුණේ නැගෙනහිර ජනතාවටය. අවසාන වශයෙන් ගැටුමට සම්බන්ධ පාර්ශවවලට සාකච්ඡා මේසයේදී ඒ ගැන අවසාන තීරණයක් ගන්නට ඉඩ නොහැර අධිකරණය එම දෙපළාත වෙන් කළේය. එය තිබුණු අර්බුදය උග්‍ර කිරීමට හේතු වන තීන්දුවක් ලෙස සැලකිය හැකිය.
ඉන්දු ලංකා ගිවිසුමට ඇතුළත් සමහර කොන්දේසි සම්පූර්ණ කර නැතත්. ඉන්දු ලංකා ගිවිසුමේ වලංගුභාවය අහෝසි වී නැත. ජනාධිපති ප්‍රේමදාස ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව බලවත් ලෙස නැගී සිටි පුද්ගලයෙකු වුවද, මෙම පළාත් දෙකේ ඒකාබද්ධ තාව දෙකඩ කිරීමට ඔහු කිසිවක් නොකළේය. එය පුපුරණ සුළු කරුණක් බව ඔහු දැන සිටියේය. ඔහු ද සිය පූර්වගාමියා අනුව යමින් ගැසට් නිවේදනයක් මගින් ඒකාබද්ධභාවය දීර්ඝ කළේය. ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දක්වාම බලයට පැමිණි සියලු ජනාධිපතිවරුන් ක්‍රියා කළේ ඒ සමාන ආකාරයකටය.
ඉන්දු-ලංකා ගිවිසුම රට තුළ මහා පරිමාණයෙන් ලේ හලන තත්ත්වයක් ඇති කළේය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දිවි ගලවා ගත්තේ අනූනවයෙනි. ඉන්දියාවේ රජිව් ගාන්ධිට සිය ජීවිතය අහිමිවූයේ ද එහිම ප්‍රතිඵලයක් වශයෙනි. ඉන්දු-ලංකා ගිවිසුමේ සමස්ත ඉතිහාසය නොසලකා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති කරගත් එකඟත්වයක ඵලයක් වශයෙන් පවත්වාගෙන ගිය පළාත් දෙකේ ඒකාබද්ධතාව ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් එක් පෑන් පහරකින් අහෝසි කළේය.
මෙම අධිකරණ තීන්දුව අනුව සේ ම ඊට පෙර සිංහරාසා අයදුම්පතට අදාළව දෙන ලද තීන්දුව අනුව ද පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත් සංවේදී විෂයයක් බවට පත්ව තිබෙන බවය. ඒ මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුම් කරන්නට හදන්නේ මොනම ජගතෙකුටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හෝ ඊට එරෙහිව යෑමට ඉඩ දෙන්නට තමන් සූදානම් නැති බවය. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අඛණ්ඩ හා නිල දෘෂ්ටිය වේද? නැතිනම් විවිධ හේතු නිසා තමන්ට අවශ්‍ය අවස්ථාවලදී පමණක් එසේ කරනවාද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කෙරෙන අවස්ථාවලදී එම අශෝභන තත්ත්වය නිවැරදි කරවා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය දැනුවත් පුරවැසියන්ට යුක්තිය ඉටුකර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය සමත් නොවීය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කිරීමට එරෙහිව ඉදිරිපත්වු මූලික අයිතිවාසිකම් පෙත්සම් ඒ සඳහා දැක්විය හැකි ආසන්නම නිදර්ශනය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවංක උනන්දුවක් ඇත්නම් එවැනි නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නන්ට උඩගෙඩි දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඇයි?
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කිසියම් කාලයක සිට තමන්ට අයත් නොවන දේශපාලන භූමිකාවක් රඟපාමින් සිටින්නේය යන්න රහසක් නොවන්නේය. එම රංගනයේ ප්‍රධාන නළුවා බවට පත්ව සිටින්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය.
ජනවාර්ගික අර්බුදය වැනි ලේ වැගිරෙන සංකීර්ණ අර්බුදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පිහිටා විසඳාලිය නොහැකිය. රාජ්‍යයට එරෙහිව කැරලි ගැසීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. විකල්ප සන්නද්ධ හමුදා පවත්වාගෙන යෑම හා විකල්ප පාලන බල ප්‍රදේශ පවත්වාගෙන යාම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි ප්‍රශ්න විසඳාගත යුතුව ඇත්තේ රාජ්‍ය සතු බලහත්කාරයේ බලය යොදා ගනිමින් එසේ ක්‍රියාකරන්නන් මර්දනය කිරීමෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නම් සටන් විරාම ගිවිසුම හෝ එල්ටීටීඊය සමග ඇතිකර ගන්නා කවර ගිවිසුමක්වත් නීත්‍යානුකූල වන්නේ නැත. එවැනි පිරිසක් සමග සාකච්ඡාවලට යාම පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය
සුනාමිය වැනි හදිසි මහා ව්‍යසනයන්හිදී රටේ පවතින සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. සාමාන්‍ය කාලවලදී මරණ පරීක්ෂණයකින් තොරව මළමිනී වැළලීමේ හැකියාවක් නැතත්, එවැනි මහා අර්බුදයකදී සාමාන්‍ය නීතිය නොසලකා විශේෂ ලෙස ක්‍රියාකිරීමේ හැකියාව ලැබෙන්නේය. එම තත්ත්වය ජනවාර්ගික අර්බුදයට ද අදාළය.
මෙම විෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය කුමන හේතුවක් නිසා හෝ ව්‍යවස්ථාමය දෘෂ්ටි කෝණයකින් කරුණු සලකා බලා තීන්දු දෙන්නට යෑම නිසා එතෙක් කබලේ බැදෙමින් තිබූ අර්බුදය ලිපට දමා ඇති බව කිව යුතුය.
ඒකාබද්ධතාව අහෝසි කිරීමෙන් ඒකාබද්ධතාවයෙන් නැගෙනහිර ජීවත් වන සිංහල හා මුස්ලිම් ජනතාවට සිදුවී තිබුණු අයුක්තිය අහෝසි වනු ඇති බව තීන්දුවෙන් ප්‍රකාශ වී ඇතත්, තීන්දුව දෙමළ දේශපාලන පක්ෂවල පමණක් නොව මුස්ලිම් දේශපාලන පක්ෂවල ද සතුටට හේතුවී නැත. මුස්ලිම් කොංග්රස් නායකයා ඒ බව පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. එසේම තීන්දුව විරුද්ධ පක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ද සතුටට හේතුවී නැත.
ඒකාබද්ධතාවයට අවුරුදු 19ක් ගතවී ඇතත්, ජවිපෙට එම විෂය මතක් වූයේ ද හදිස්සියේය. ජවිපෙ නැවත පාර්ලිමේන්තු දේශපාලනයට පිවිස අවුරුදු 11ක් ගතවී ඇතත්, ඒකාබද්ධතාවයට එරෙහිව උසාවි යන්නට මතක් වූයේ අවුරුදු 10කට පසුවය. අඩුම වශයෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග ඇති කරගත් පරිවාස ගිවිසුමේදීවත් ඒකාබද්ධතාවයට එරෙහිව එකම වචනයක්වත් සඳහන් වූයේ නැත.
ඇත්තටම බොහෝ ප්‍රමාද වී හෝ ජවිපෙට ඒ සඳහා උසාවි යන්නට අවශ්‍ය වූයේ එවැනි දේක අවශ්‍යතාව මතක් වූ නිසාද? නැතිනම් කාගෙන් හෝ ලැබුණු කැඳවීමක් නිසාද?
ප්රභාකරන්ගේ වීර දින කතාව යෙදී ඇත්තේ නොවැම්බර් 27 වැනිදාටය. දෙමළ සන්ධානය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අධිකරණ තීන්දු නිවැරදි නොකරන්නේ නම් දෙමළ සන්ධානය පාර්ලිමේන්තු කටයුතුවලින් මුළුමණින් ඉවත් වන බවය. දෙමළ සන්ධානය එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ආණ්ඩුවට කාල වකවානුවක් ද ලබාදී තිබේ. ලබාදී තිබෙන දිනය වී ඇත්තේ නොවැම්බර් 17 වැනිදාය. අධිකරණ තීන්දුව නිවැරදි කරන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බව එජාප නායකයා ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රටේ දේශපාලන පක්ෂවල පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විමතියට හා විරෝධයට හේතුවී තිබේ. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩේවිඩ් බවුචර් ද ඒ ගැන සිය විමතිය ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව දෙන ලද්දේ ද සාම සාකච්ඡා මුව විට තිබෙන අවස්ථාවකය.
දැන් ඇත්තටම ඊළඟට සිදුවන්නට යන්නේ කුමක්ද? හදිසි පනත් මගින් නැවත පළාත් දෙක ඒකාබද්ධ කිරීමේ හැකියාවක් ආණ්ඩුවට තිබේද? මෙම ඒකාබද්ධතාව නිසා නැගෙනහිර සිංහල හා මුස්ලිම් ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබියදී එවැනි ඒකාබද්ධ කිරීමකට නීත්‍යානුකූල ඉඩක් තිබේද? අනෙක් අතට නැවත තාවකාලික ලෙස ඒකාබද්ධ කිරීමක් සඳහා ඉදිරිපත් කෙරෙන පනතක් නීත්යානුකූලවීමට නම් ජනමතවිචාරණයකින් ද අනුමැතිය ලබාගත යුතුයි කීමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැත්ද?
ආණ්ඩුව නොවැම්බර් 17 වැනිදාට කලින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් දෙමළ සන්ධානයට පාර්ලිමේන්තු කටයුතුවලින් ඉවත් වන තැනකට යන්නට සිදුවනු ඇත්තේය. එවැනි තත්ත්වයක් රටේ යහපතට හේතුවන්නේ නැත. ඊළඟට ඉතිරි වන ප්රශ්නය ඉන්පසු ප්රභාකරන් කරන්න යන්නේ කුමක්ද යන්නයි.
ප්රභාකරන්ට තර්ක කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තර්ක දෙකක් ලබාදී තිබෙන බව පෙනේ.
ජාත්‍යන්තර රටවල් සමග ඇතිකර ගන්නා ජාත්‍යන්තර සම්මුතිවලටවත් ආණ්ඩුව ගරු නොකරන්නේ නම් අප සමග ඇතිකර ගන්නා සම්මුතීන් ගැන විශ්වාස කරන්නේ කෙසේදැයි තවදුරටත් ප්‍රශ්න කළ හැකිය. අනෙක් අතට ආණ්ඩුව සද්භාවයෙන් ඇතිකර ගන්නා සම්මුතියක් වුවත් අවලංගු කිරීමේ බලය අධිකරණය සතු වේ නම් අපි එවැනි සම්මුතියක් කෙරෙහි විශ්වාසය තබන්නේ කෙසේදැයි ඔහුට තර්ක කළ හැකිය.
අගවිනිසුරුගේ දේශපාලන නූල් සූත්තර හා ඔහුගේ දේශපාලන අභිලාෂයන් අතර පැහැදිලි සම්බන්ධයක් පවතී. ආණ්ඩුව හා එජාප අතර පොදු එකඟතාවක් ඇතිවනවාට අගවිනිසුරු තරයේ විරුද්ධය. මෙම එකඟතාව පිළිබඳව එජාප තුළ බෙදීමක් ඇතත්, ඒ කවර පිලක් කෙරෙහිවත් අගවිනිසුරුට විශ්වාසයක් නැත.
තමාට එරෙහිව එම පක්ෂය දෝෂාභියෝග දෙකක් හා දියවන්නාඔය සිද්ධියේදී තේරීම් කාරක සභාවක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ලද බව අගවිනිසුරුට අමතක කළ නොහැකිය. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රවි කරුණානායක, තිස්ස අත්තනායක, ගාමිණී ලොකුගේ, ජී.ඇල්. පීරිස් යන සියලු දෙනා අගවිනිසුරුට වහකදුරු මෙන් තිත්තය.
අගවිනිසුරු මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිකම කරා යන ගමනේදී තීරණාත්මක වැදගත්කමක් ඇති උදව්වක් ලබා දුන්නේය. එම උදව්ව නොවන්නට අදත් ජනාධිපතිකමේ ඉන්නේ චන්ද්‍රිකාය. එහෙත් ඔහු මහින්ද රාජපක්ෂ මහතාට එසේ ආධාර කළේ තමන්ගේ හොඳම මිතුරන් වී සිටින ජවිපෙ හා ජාතික හෙළ උරුමය වැනි පක්ෂ සමග ඉදිරියට යන්නට මිස, තමන්ගේ දේශපාලන සතුරන් සමග එකඟතා ආණ්ඩුවක් ඇති කරගන්න නොවේ. අගවිනිසුරු දැන් දේවල් දකින ආකාරය ජවිපෙ දේවල් දකිමින් සිටින ආකාරයට සමානය. ඔවුන් සියලු දෙනා සිතන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කළේ අප නම් ඔහු රට පාලනය කළ යුත්තේ ද අප සමග පමණක් බවය. එසේ නොවේ නම් ඔහු සැලකිය යුත්තේ දේශද්‍රෝහියෙකු ලෙසය.
අගවිනිසුරුගේ දේශපාලන නූල් සූත්තර පිටුපස ඇති දේශපාලන චින්තනය වනුයේ එයයි.
එහෙත් කබලේ තිබුණු රට ලිපට දැමීමෙන් රට පමණක් නොව, අගවිනිසුරු ද දැවී යා හැකිය.
නිල බලය තිබෙන විට අගවිනිසුරු දක්ෂ සටන්කරුවකු ලෙස සැලකිය හැකි වුවත්, තමාගේ තරමට නොගැලපෙන තරමට සතුරු සටන් පෙරමුණ විශාල කරගැනීම ඥාණාන්විත ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය.