සටන්කාමී මුනිවරයෙකුගේ තටු සිඳීම

October 29, 2026
Publication:
The Supreme Court has asked Elmo Perera to show cause why he should not be struck off the roll of lawyers — a man who has fought fearlessly all his life for the people's freedom and fundamental rights, for the independence of the judiciary and for the honour of the legal profession. He came to the bar after retiring as Surveyor General, and the case chosen to punish him is one he brought himself about the constitution, public rights and the courts.

රටේ ජනතාවගේ නිදහස හා මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ද, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිඥ වෘත්තියේ ගෞරවය වෙනුවෙන් ද හැමවිටමත් අභීත ලෙස සටන් කළ දීප්තිමත් චරිතයක් ලෙස සැලකිය හැකි නීතිඥ එල්මෝ පෙරේරා මහතා නීතිඥ වෘත්තියෙන් ඉවත් නොකිරීමට හේතු ඇතොත් ඒ හේතු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මහතා වෙත දැනුම් දී තිබේ.

එල්මෝ පෙරේරා මහතා නීතිඥ වෘත්තියට පිවිසියේ මිනුම්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවය. ඔහු නීතිඥයින් අතර සිටි සටන්කාමී මුනිවරයෙකු වශයෙන් සැලකිය හැකිය. නීතිඥ වෘත්තිය ඔහුට මහජනයාට අයිතිවාසිකම් දිනා දෙන මාර්ගයක් වූවා මිස, මුදල් උපයන මාර්ගයක් නොවීය. මා දන්නා තරමින් ඔහු පෙනී සිටි නඩුවලින් වැඩි හරියකට (සමහරවිට සියල්ලම ද විය හැකිය.) පෙනී සිටියේ ගාස්තු අය කිරීමකින් තොරවය. ඔහු තමන්ට ලැබුණු විශ්‍රාම වැටුපෙන් ජීවත් වූ පුද්ගලයෙකු ලෙස සැලකිය හැකිය.

ඔහු අධිකරණය තුළ අයිතිවාසිකම් සඳහා හඬ නගා කතා කරන පුද්ගලයෙකු බවට පත්වූයේ ද අධිකරණය විධායකයේ ඍජු දේශපාලන අතකොලුවක් බවට පත්වෙමින් තිබූ අවස්ථාවකය. මහජන අයිතිවාසිකම් ගැන හැඟීමක් ඇති වෘත්තීයවේදීන්ගේ සංවිධානයක් ලෙස සැලකිය හැකි යහපත් ආණ්ඩුකරණයක් සඳහා වන මහජන ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලෙස සැලකිය හැක්කේ ද එල්මෝය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීමට හේතුවු 17 වැනි ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙළේ නිර්මාපකයා ලෙස සැලකිය හැක්කේ ද ඔහුය.

ඔහුට අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සමග සමීප හිතවත්කමක් තිබුණේය. එහෙත් අගවිනිසුරු ධුරයට සරත් නන්ද සිල්වා මහතා පත්කිරීම ආශ්‍රයෙන් අධිකරණයේ මතුවූ අර්බුදයේදී තම අගවිනිසුරුවරයා සමග තිබුණු පැරණි හිතවත්කම් නොසලකා ප්‍රතිපත්ති මත පිහිටා අගවිනිසුරුට එරෙහිව උඩුගම්බලා පිහිනන කිහිපදෙනා අතරට ඔහු ද එකතු වූයේය.

අගවිනිසුරුගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කෙරුණ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනෙන් එකකට (රසායන ඉංජිනේරු ඩබ්.ඒ.බී. ජයසේකරගේ පෙත්සමට) පෙනී සිටියේ ඔහුය. ඉන්පසු ඔහු එළඹෙ දුෂ්කර අවධිය තුළ අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් කෙරුණු හැම අරගලයකටම දායක විය. සාමාන්‍යයෙන් නීතිඥයෙකු අතගසන්නට කැමති නැති මහජනයාගේ නිදහසට හා අයිතිවාසිකම්වලට අදාළ නඩු සිය ගණනක් වෙනුවෙන් පෙනී සිටියේය. සමහර අවස්ථාවල ප්‍රතිපත්තිමය ප්‍රශ්නවලදී ඔහු ද පෙත්සම්කරුවකු වෙමින් නඩු කීවේය. සාමාන්‍යයෙන් ඔහු නඩු කියන කලාව තුළ විනිසුරුවරුන්ගේ සතුටට හේතු නොවන විශේෂ ලක්ෂණයක් ද අන්තර්ගතව තිබුණි. නඩු අසන අවස්ථාවකදී විනිසුරුවරයෙකු අතින් වරදක් හෝ අසාධාරණය සිදුවන ඕනෑම අවස්ථාවකදී ඔහු නිහඬව නොසිට හඬ නගා කතා කළේය. එය ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අසාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකි අතර, ඒ නිසා සමහර විනිසුරුවරුන් අතර ඔහු කෝපයට හේතුවූ පුද්ගලයෙකු බවට පත්ව සිටියේය.

ඔහුට දඬුවම් කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂාව, මහජන අයිතිවාසිකම්, අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය යන විෂය පථයන්ට අදාළව තමාව පෙත්සම්කරුවකු වෙමින් පවරන ලද නඩුවක් ආශ්‍රයෙන් මතුවූ සිද්ධි දාමයකි. අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු (ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හා ටී.බී. වීරසූරිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා) තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව එම කොමිසමේ වැඩ කිරීමේ හැකියාවක් නැති බව ප්‍රකාශ කරමින් ඔවුන් එම කොමිසමෙන් ඉල්ලා අස්විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු විසින් කරන ලද එවැනි ප්‍රකාශයකින් පසු ඒ ගැන කරුණු සොයා බැලීමේ යුතුකමක් හා වගකීමක් අධිකරණයට හා ව්‍යවස්ථාදායකයට තිබුණ ද ඒ ආයතන දෙකම ඒ යුතුකම ඉටු නොකළේය. ආණ්ඩු පක්ෂය පමණක් නොව ඊට එජාප, ජවිපෙ, හෙළ උරුමය වැනි පක්ෂ ද වගකිව යුතුය. එල්මෝ පෙරේරා තමන් පෙත්සම්කරුවකු වෙමින් අධිකරණය ඉදිරියට ගියේ එම මූලික ප්‍රශ්නයට විසඳුමක් සොයාගැනීමටය. අවසානයේදී ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේ ද ඔහුටය.

මෙය අධිකරණය තුළ ගමන් ගනිමින් තිබෙන බිහිසුණු ප්‍රවනතාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මාර්ක් ප්‍රනාන්දු මහතා විශ්‍රාම යන වයසට පෙර සිය කැමැත්තෙන් විශ්‍රාම ගියේය. එය නීති ක්ෂේත්‍රය තුළ කම්පනයක් ඇති කිරිමට හේතුවුවත් එම කම්පනය තේ කෝප්පයක් තුළ ඇතිවූ කුණාටුවකට වැඩි දෙයක් නොවීය. ඉන්පසු විග්නේශ්වරන් විනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය පිළිබඳව පුවත්පතකට දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර තිබුණි. එහෙත් බොරුවට නිදාගෙන සිටින ව්‍යවස්ථාදායකය අවධි කිරීමට ඒ ප්‍රකාශය ද සමත් නොවීය. ඉන්පසු අධිකරණ සේවා කොමිෂන් සාමාජිකයන් දෙදෙනෙකු බරපතළ ඇඟවීමක් කරමින් අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා අස්වුව ද ව්‍යවස්ථාදායකයට ඔවුන්ගේ ඉල්ලා අස්වීම ද වැදගත් නොවීය. දැන් ඊළඟ බිල්ල බවට පත්ව තිබෙන්නේ එල්මෝ පෙරේරාය. ඔහු එකම බිල්ල නොවනවා සේ ම අවසාන බිල්ල ද නොවනු ඇත.

සේකර