ශ්‍රී ලංකාව අතිවිශාල අර්බුදයකට තල්ලු වී සිටින රාජ්‍යයක් ලෙස සැලකිය හැකි ය. වාර්ගික අර්බුදය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුද අතර ප්‍රධාන අර්බුදය ලෙස සැලකිය හැකි වුවත්, එය ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ දී තිබෙන එකම අර්බුදය ලෙස සැලකිය නො හැකි ය. බෙදුම්වාදී ප්රචණ්ඩත්වය හා යුද්ධය එම වාර්ගික අර්බුදයේ ඍජු ප්‍රතිඵලයක් වන අතර, ඒ ආශ්රයෙන් මෙතෙක් ඇතිවී තිබෙන ගැටුම්වලින් පමණක් සිදුවී තිබෙන විනාශය ඉතා විශාල ය. වාර්ගික අර්බුදය නිසා පමණක් දෙපාර්ශ්වයේ සෙබළුන් වශයෙන් හා සිවිල් වැසියන් වශයෙන් මරණයට පත්ව තිබෙන අයගේ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න විය හැකි ය. අනාථභාවයට පත්ව සිටින අයගේ ගණන දශ ලක්ෂයකටත් වැඩි ය.
එය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ එක් පැතිකඩක් පමණ ය. අනෙක් හැම අංශයක් තුළ ද දැකිය හැක්කේ අවුල්සහගත තත්ත්වයක් මිස සුගතියක් නොවේ. පොදු ගමනාගමන විෂය පවතින්නේ අවුල් ජාලාවක ය. රටේ පොදු මගී ප්‍රවාහන සේවා පවතින්නේ එහි ගමන් ගන්නා මිනිසුන්ගේ මනුෂ්‍යත්වයට නිගා දෙන තත්ත්වයක ය. අධ්‍යාපනයේ පාසල් ක්‍රමය හා විශ්වවිද්‍යාල ක්‍රමය තිබෙන්නේ ද අවුල් ජාලාවක ය. ආත්ම ගෞරවයට පාසලක් ලබාගැනීම සඳහා විශාල පගාවක් දීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්ව තිබෙන අතර, රටට අවශ්‍ය ඵලදායී උපාධිධාරීන් බිහිකිරීමට විශ්වවිද්‍යාල ක්‍රමය අසමත්ව තිබේ. රටේ පවතින බදු ක්‍රමය ජනතාවගේ ගෞරවයට හෝ විශ්වාසයට හේතුවී නැත. එක් කලකදී දියුණු ම තත්ත්වයක පැවති මහජන සෞඛ්‍ය සේවා ක්රමයේ ද ශීඝ්‍ර පරිහානියක් පවතී. රාජ්‍ය සේවකයින් සඳහා විධිමත් වැටුප් ප්‍රතිපත්තියක්වත් පවත්වාගෙන යෑමට රාජ්‍ය සමත් වී නැත. අල්ලස හෝ දූෂණය රජ නො කරන තැනක් ඇත්තේ ම නැති තරම් ය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ජනතාවගේ හාස්‍යයට මිස ගෞරවයට හේතුවී නැත.
නිදහස ලබන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව කලාපයේ අන් රටවල් සමඟ සසඳන විට දියුණු ම තත්ත්වයක සිටියේ ය. රටේ යටිතල පහසුකම් සාපේක්ෂ වශයෙන් දියුණු තත්ත්වයක පැවතියේ ය. කාර්යක්ෂම දුම්රිය සේවයක් පමණක් නො ව, කොළඹ නගරයට ට්රූම් කාර් හා ට්‍රොලිබස් සේවාවක් ද තිබුණේ ය. සාක්ෂරතාවයේ දී හා පාසල් අධ්‍යාපන ක්රමයේ ව්‍යාප්තියේ දී අප දෙවැනි වූයේ ජපානයට පමණ ය. ඒක පුද්ගල ආදායමේදීත්, අප දෙවැනි වූයේ ජපානයට පමණ ය. එහි දී රටවල් දෙක අතර, පරතරය ද විශාල නොවී ය. දියුණු පාර්ලිමේන්තුවක්, කාර්යක්ෂම නිලධර තන්ත්රයක් හා මහජනයාගේ ගෞරවයට හේතු වූ අධිකරණ ක්‍රමයක් ද අපට තිබුණි.
එහෙත් ඒ තිබුණු තත්ත්වය මනා ලෙස ඉදිරියට ගෙනයෑමට අපි අසමත් වී සිටිමු. නිදහස ලැබෙන විට අපට වඩා පස්සෙන් සිටි රටවල් වේගයෙන් දියුණුව කරා යන විට රටක් වශයෙන් අප ගමන් ගනිමින් තිබෙන්නේ ආපස්සට ය.
ව්‍යවස්ථාදායකයට තිබුණු ගෞරවය අහිමි වී එය මහජනයාගේ හාස්‍යයට හේතුවූ ආයතන ක්‍රමයක් බවට පත්වී තිබේ. සිවිල් සේවයට තිබුණු ගෞරවය හා අභිමානය ද වාෂ්ප වී තිබේ. අධිකරණය ගැටුම් විසඳන ආයතන ක්‍රමයක් වෙනුවට නැති ගැටුම් ඇති කරන ආයතනයක් බවට පත්වී තිබේ. රටේ හැම අංශයක ම දක්නට ඇත්තේ දියුණුවක් නො ව පරිහානියකි.
රට ඇද වැටී තිබෙන ඛේදජනක තත්ත්වයෙන් ගොඩගැනීමට අවශ්‍ය නම් සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී අපට වැරදුණේ කොතැන ද යන ප්‍රශ්නයට හරි පිළිතුරක් සොයා ගත යුතුය. ඒ සඳහා අවංක ලෙස ආපසු හැරී බැලීමක් කළ යුතු ය.
ව්‍යවස්ථාදායකයේ අසාර්ථකභාවයට හේතු මොනවා ද? දේශපාලන පක්ෂ ක්රමයේ අසාර්ථකභාවයට හේතු මොනවා ද? විධායකයේ හා අධිකරණයේ අසාර්ථකභාවයට හේතු මොනවාද යන්න අවංක ව සොයා බැලීමක යෙදිය යුතු ය. ගැලවීමට තිබෙන හරි මාර්ගය තෝරා ගැනීමට හැකිවනු ඇත්තේ එවැනි අවංක ආපසු හැරී බැලීමකට යොමුවීමට අප සමත් වනු ඇත්නම් පමණ ය.
සර්ව පාක්ෂික සාකච්ඡාවලත්, ප්‍රධාන පක්ෂ අතර කෙරෙන ද්විපාක්ෂික සාකච්ඡාවලත් න්‍යාය පත්‍රයේ අංක එකට තිබිය යුත්තේ එයයි. ඒ සියලු දෙනා අන් සියල්ලට පෙර අවංක ලෙස ආපසු හැරී බැලීමක යෙදිය යුතු ය.