දේශපාලන ගමන් මග

October 29, 2026
Publication:
Only the government is in a stable condition at this moment and every other party is in crisis — and the government's stability is not secure either. The JVP can neither join the government wholly nor separate from it wholly, and its attempt to bring the government entirely onto its own agenda has failed. The tail wags as the dog wants, Ivan writes; the dog cannot be wagged as the tail wants.

මේ මොහොතේ ස්ථාවර තත්ත්වයක තිබෙන්නේ ආණ්ඩුව පමණය. අන් සියලු දේශපාලන පක්ෂ තිබෙන්නේ අර්බුදයට ගිය තත්ත්වයකය. ආණ්ඩුවේ ස්ථාවරභාවය ද ස්ථිර නැත. සිදුවීම් විසින් එයද ඕනෑම මොහොතක අර්බුදයට තල්ලු කරන තත්ත්වයක් ඇතිවිය හැකිය.

ජේවීපීයට මුළුමණින්ම ආණ්ඩුවට එකතුවීමේ හැකියාවක් නැත. අනෙක් අතට එයට මුළුමණින් ආණ්ඩුවෙන් වෙන්වීමේ හැකියාවක් ද නැත. ආණ්ඩුව මුළුමණින් සිය න්‍යාය පත්‍රයට අනුකූල කරගැනීමට දරන ලද උත්සාහය සාර්ථක වූයේ නැත. බල්ලාට අවශ්‍ය ලෙස වල්ගය වැනෙනවා මිස, වල්ගයට ඕනෑ ලෙස බල්ලා වැනවිය නොහැකිය. එහෙත් ජේවීපීය උත්සාහ දරමින් සිටින්නේ වල්ගයට අවශ්‍ය විධියට බල්ලා වැනවීමටය. තමන්ගේ න්‍යාය පත්‍රය මුළුමණින් නොසලකා ආණ්ඩුවට එකතු වුවහොත් එම පක්ෂය සමග දැනට ඉතිරි වී සිටින පිරිස් ද පක්ෂය අතහැර යනු නොඅනුමානය. අනෙක් අතට පාක්ෂිකයින් සතුටු කිරීම සඳහා ආණ්ඩුව සමග ගැටෙන්නට ගොස් ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එම පක්ෂයට තිබෙන පාර්ලිමේන්තු නියෝජනයේ ප්‍රමාණය විශාල ප්‍රමාණයකට අහිමි වනු නොවැළැක්විය හැකිය. එම තත්ත්වය ඉදිරියේ අවස්ථාවාදී වනවා හැර ඍජු ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමේ හැකියාවක් ජේවීපීයට නැත.

එජාපය තුළ නොවිසඳී කුණුවෙමින් තිබෙන නායකත්වය පිළිබඳ අර්බුදය එම පක්ෂය බෙලහීන කොට කැඩී බිඳී විසිරී යන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. පොදු එකඟතාවක් ඇති කරගැනීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළ එජාප නායකයාගේ සතුටට හේතුවී නැතත්, පක්ෂය තුළ තමන් කෙරෙහි කලකිරීමෙන් සිටින අය ආණ්ඩුවට එකතුවීමට එය අවස්ථාවක් කරගත හැකි නිසා එම යෝජනාව මුළුමණින් නොසලකා සිටීමේ හැකියාවක් ද පක්ෂ නායකයාට නැත. එහෙත් එකඟවීම හා එකඟනොවීම යන කාරණා දෙකෙන් කුමක් තෝරාගත්ත ද පක්ෂයෙන් කිසියම් විශාල පිරිසක් ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියාකරන තැනකට යාම නොවැළැක්විය හැකිය.

එල්ටීටීඊය සිටින්නේ ද තමන් හිමිකරගෙන සිටි විජයග්‍රාහී තත්ත්වය නැවත ආපසු ලබාගත නොහැකි අසරණ තත්ත්වයකය. ආණ්ඩුවේ හමුදා යාපනේ අල්ලා ගැනීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළට පහර දෙන අවස්ථාව තෙක්ම යුද ව්‍යාපාරයක් වශයෙන් එල්ටීටීඊය ගමන් ගනිමින් තිබුණේ විජයග්‍රාහී ගමන් මගකය. ඔවුහු උතුරේ තිබූ මුලතිව් හා පුනරින් යන හමුදා කඳවුරු පමණක් නොව දැවැන්ත හමුදා කඳවුරු සංකීර්ණයක් වූ අලිමංකඩ ද අල්ලා ගැනීමට සමත් විය. කටුනායක ගුවන් තොටුපළට පහරදීමේ සිද්ධිය ඔවුන්ගේ ජයග්‍රාහී යුද්ධ ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව සලකුණු කළේ යැයි කිව හැකිය. ඔවුන් ඥාණාන්විත දේශපාලන ව්‍යාපාරයක් වී නම් යුද්ධයට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තිය අතහැර දේශපාලනයට බර තබා ක්‍රියාකරන ව්‍යාපාරයක් බවට මාරුවිය යුතුව තිබුණේ ඒ අවස්ථාවේදීය.

ඔවුන් ශක්තිමත් තැනක සිට සාම සාකච්ඡා කරන තැනකට මාරුවුවද එම සාම සාකච්ඡා තර්කානුකූල අවසානයක් කරා ගෙනයාමට අවශ්‍ය හික්මීම ඔවුන්ට නොතිබුණේය. ඔවුන් පැවති දේශපාලන යථාර්ථය නොසලකා කොන්ෆෙඩරේෂන් තත්ත්වයක් නොලැබෙන්නේ නම් නැවත ආයුධ බලයෙන් එවැනි තත්ත්වයක් ලබාගන්නේ යැයි කියන විශ්වාසය මත පිහිටා ක්‍රියා කළේය.

සාමාන්‍යයෙන් මෙවැනි වර්ගභේදවාදී ආරාවුලකදී සියලු දෙනාගේ ගෞරවයට හේතුවන විසඳුමක් ඉදිරිපත් කරන්නාගේ භූමිකාව රඟපෑ යුත්තේ පීඩකයා නොව පීඩිතයාය. එහෙත් එහිදී එල්ටීටීඊය විසඳුමක් ඉදිරිපත් කිරීමේ වගකීම පීඩකයාට බාරදී බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එල්ටීටීඊය එතෙක් දක්ෂ යුද ව්‍යාපාරයක භූමිකාව රඟපාන්නට සමත් වුවත් ඒ සමග දක්ෂ දේශපාලන ව්‍යාපාරයක භූමිකාව රඟපාන්නට සමත් නොවීය.

එල්ටීටීඊ ආරම්භයේ සිට ගොඩනගාගෙන සිටි ඉලක්කය යථාර්ථවාදී ඉලක්කයක් නොවීය. එය ආරම්භයේ සිට අපේක්ෂා කළේ උතුරු නැගෙනහිර පළාත් ඇතුළත් වෙනම දෙමළ රාජ්‍යයකි. එය නොවේ නම් කොන්ෆෙඩරේෂන් තත්ත්වයකි. උතුර මුළුමණින් වාගේ දෙමළ වුවත්, නැගෙනහිර මුළුමණින්ම වාගේ දෙමළ නොවීය. නැගෙනහිර ජීවත් වන දෙමළ නොවන අන් ජනයා තමන් වෙත දිනාගැනීමේ ශක්තිමත් වැඩපිළිවෙළක් ද එයට නොවීය. මුස්ලිම් ජනතාව ද දෙමළ භාෂාව කතා කරන ජනතාවක් ලෙස සලකා වර්ගය මත නොව භාෂාව මත පදනම් වූ දෙමළ ඒකකයක් ඉදිරියට ගැනීමට ඔවුන් සමත් වුවත්, එවැනි සිහිනයක් යථාර්ථයක් බවට පත්කර ගැනීමට අත්‍යාවශ්‍ය කොන්දේසියක්ව තිබූ දෙමළ මුස්ලිම් සමඟිය ආරක්ෂා කරගැනීමට ඔවුන් අසමත් විය. තමන් අදහස් කරන පාලන කලාපයේ ජීවත් වන සිංහල ජනයාගේ සහාය දිනාගැනීමට ඔවුන් අසමත් විය. පවතින භූ දේශපාලන යථාර්ථය අනුව ඉන්දියාවේ කැමැත්ත නැතිව ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පැවතිය නොහැකිය. ඉන්දියානු සාම හමුදාවන්ට එරෙහිව යුද්ධ කරන තැනකට යාම මගින් එතෙක් තමන්ට සහාය දුන් කලාපීය බලවතා තරහ කරගත්තේය. ඉන්පසු රජීව් ගාන්ධි ඝාතනය කිරීම මගින් දෙපාර්ශ්වය අතර ඇතිව තිබූ විරසකය සදාකාලික විරසකයක් බවට පත්කර ගත්තේය. එල්ටීටීඊය යුද්ධය හසුරවන නීති හොඳින් දැන සිටිමුත් දේශපාලනය හසුරුවන නීති හරි හැටි දැන සිටි බවක් පෙනෙන්නට නැත. ඔවුන්ට යුද්ධයේදී කෙළ පැමිණුනු දැනුමක් තිබුණේය. එහෙත් දේශපාලනයේදී ඔවුන්ට තිබුනේ අඳ බාල දැනුමකි.

එහෙත් ඒ කරන ලද සියලු වැරදි තිබියදීත් කටුනායකට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමඟ ආරම්භ වූ සාම සාකච්ඡා ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඔවුන් සමත් වී නම් ඔවුන් මෙතරම් අසරණ තත්ත්වයකට නොවැටෙන්නට තිබුණි.

සාම කතාවලට එරෙහිව ජවිපෙට බලවත් ලෙස නැගී සිටීමට අවශ්‍ය ශක්තිමත් වටපිටාවක් ඇති කර දුන්නේ ඔවුන්ය. සාකච්ඡාමය ක්‍රියාවලියට පිවිසීමත් සමග ඔවුන් තම ඉලක්ක යථාර්ථයට ගැලපෙන ලෙස වෙනස් කරගත යුතුව තිබුණි. ප්‍රති ඝාතන දේශපාලනයකට ඉඩ නොලැබෙන පරිදි ඝාතන දේශපාලනය අත්හළ යුතුව තිබුණි. සාකච්ඡාමය ක්‍රියාවලියේදී තම ජනයාගේ හැඟීම් පමණක් නොව ප්‍රතිපක්ෂ ජනතාවගේ හැඟීම් ද සැලකිල්ලට ගත යුතුව තිබුණේය. තමන් සමග සාකච්ඡාවට එන ආණ්ඩුවට පූර්ණ රාජ්‍ය බලය නොතිබුණු බව අමතක නොකළ යුතුව තිබුණේය. තමන්ගේ ගෞරවය පමණක් නොව ප්‍රතිපක්ෂ නායකයන්ගේ ද ගෞරවය ආරක්ෂා කළ යුතුව තිබුණේය. මැන්ඩෙලා ක්ලර්ක් සමග අවශ්‍ය අවස්ථාවලදී ගැටුණ ද ඔහු කිසිම අවස්ථාවකදී ඔහු සිය ජනතාව අතර ගෞරවය විරහිත තත්ත්වයකට ඇද නොදැම්මේය. ක්ලර්ක් ද මැන්ඩෙලා සමග ගැටුණේය. එහෙත් අවශ්‍ය සීමා ඉක්ම නොවීය.

එල්ටීටීඊය තමන්ට ලැබුණු ඒ අවස්ථාව ප්‍රශස්ථ ලෙස ප්‍රයෝජනයට ගැනීමට අසමත් විය. ඒ චෝදනාව ඊට සමාන ආකාරයකින් රනිල් වික්‍රමසිංහ වෙතද එල්ල කළ හැකිය. තමන්ට පූර්ණ වශයෙන් රාජ්‍ය බලය ලැබෙන තෙක් සාම සාකච්ඡා ඉදිරියට ඇදගෙන යෑමට ඔහුට අවශ්‍ය විය. සාම සාකච්ඡා තමන් ඊළඟ ජනාධිපතිවරණයේදී බලයට පත්කිරීමට හේතුවන වර්ණවත් පෙරහැරක් බවට පත්කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. චන්ද්‍රිකාගේ ද සහාය ලබාගෙන ඇති කරන විසඳුමක් වෙනුවට තමන්ට පමණක් ගෞරවය ලැබෙන ලෙස තමන් පූර්ණ වශයෙන් බලයට පත්වීමෙන් පසු ඇති කරන විසඳුමක් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියා කළේය.

දෙපාර්ශ්වයේ නායකයන්ගේ මෙම අවස්ථාවාදී හා අමන ප්‍රතිපත්තිය සාම විරෝධී බලවේගයන්ගේ පැවැත්ම ශක්තිමත් කොට ඔවුන්ගේ පැවැත්ම දුර්වල කොට බෙලහීන කළේය. ජනාධිපතිවරණයේදී දෙපාර්ශ්වයේම නායකයන් ක්‍රියා කළේ මොළේ නැති ශක්තිමත් කුලු මීහරකුන් දෙදෙනෙකු ලෙසය.

අවසානයේ දෙපාර්ශ්වයේ නායකයින් දෙදෙනා එකිනෙකාගේ දේශපාලන මිනීවළවල් එකිනෙකාට කපා දුන්නේය. අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූයේ එම විකාරරූපී දේශපාලන ක්‍රියාවලියේ විකාරරූපී ඵලයක් වශයෙනි. දැන් රටේ විනාශය හෝ ගැලවීම රැඳී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අතේය. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතාගේ ගැලවීම හා විනාශය රැඳී ඇත්තේ ද රටේ ගැලවීම හෝ විනාශය මතය.

රට තිබෙන්නේ ප්‍රතිසංස්කරණය කළ නොහැකි තැනක නොව මුළුමණින් ප්‍රතිනිර්මාණය කළ යුතු තැනකය. රට මුළුමණින් ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව තේරුම්ගත හැකිවනු ඇත්තේ හා ඒ සඳහා සුදුසු වැඩසටහනක් සොයා ගත හැකිවනු ඇත්තේ අවංක ලෙස ආපසු හැරී බැලීමක යෙදීමට අවශ්‍ය හික්මීම ඇතිනම් පමණය. සමස්ත දේශපාලන ආයතන ක්‍රමයම ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට ගරා වැටෙන තත්ත්වයකට පත්වී තිබේ. නිදහසින් පසු කිසිම ආයතන ක්‍රමයක් සාර්ථක ලෙස පවත්වාගෙන යෑමට අප සමත්ව නැත. රට මුළුමණින් නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව තේරුම්ගත හැකිවනු ඇත්තේ අපේ අසාර්ථකභාවයට බලපා තිබෙන ඇත්ත හේතු හඳුනාගන්නා තැනකට යාමෙන් පමණය.

රටේ පවතින අසාර්ථකභාවයට ව්‍යවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ, පක්ෂ ක්‍රමයේ හා ජනමාධ්‍යවල අසාර්ථකභාවය බලපා තිබේ. රටේ පවතින අසාර්ථකභාවය ඒ සියලු ආයතනවල අසාර්ථකභාවයේ තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. රටේ පවත්නා අසාර්ථකභාවය ජයගත හැකිවනු ඇත්තේ ඒ සියල්ල එකට ගෙන මුළුමණින් වෙනස් කිරීමෙන් පමණය. එය සරල හෝ පහසු කාරියක් නොවනු ඇතත්, එසේ නොවෙතොත් රට දේශපාලන අරාජිකත්වයකට තල්ලු වනු නොවැළැක්විය හැකිය.