ජේවීපී යෝජනා ප්‍රතික්ෂේප කරන්නට තරම් ආණ්ඩුවට ආත්ම විශ්වාසයක් තිබීම ගැන අපි සතුටු වෙමු. එම පක්ෂය රටේ අව වරප්‍රසාද සමාජ තීරුවක් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ඔවුන්ට සවන්දීම වැදගත් වුවත්, ඔවුන්ගේ අන්තවාදී මතවාද පිළිගැනීමෙන් රටට විනාශයක් මිස යහපතක් වන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ම වන දේශපාලන දර්ශනයක පිහිටා ක්‍රියා කරන දෘඪ දේශපාලන පක්ෂයක් වුවත්, ඔවුන්ගේ දැනුමේ බරපතළ සීමාසහිතකම් පවතී. ඔවුන් පළාත් සභා ක්‍රමය රට බෙදන වැඩපිළිවෙළක් ලෙස සලකා පළාත් සභාවලට තරග කරන අය පවා අනුකම්පා විරහිතව මරා දමන පිළිවෙතක් අනුගමනය කළේ ය. ඉන් තවත් වසර ගණනාවකට පසු ස්වයං විවේචනයකින් තොර ව පළාත් සභාවලට තරග කොට අද පළාත් සභා ක්රමයේ දේශපාලන පංගුකාරයින් පිරිසක් බවට පත්ව සිටිති. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව නැගී සිටිමින් ඉන්දියානු පරිප්පු විකිණීම පවා මරණ දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සලකා ක්‍රියා කළ එම පක්ෂය තවත් පසුකලකදී නෝර්වේ රාජ්‍ය වෙනුවට ඉන්දියාව මැදිහත්කරුවකු කරගැනීම වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔවුන්ගේ දේශපාලන භාවිතය තුළ පෙන්නුම් කරන මෙම පරස්පර විරෝධී ලක්ෂණ දේශපාලන වශයෙන් ඔවුන් තුළ පවතින අපරික්ෂාකාරීභාවය මනා ලෙස පෙන්නුම් කරයි.
යුද්ධ හමුදාව ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්නා තත්ත්වයකට පත් කිරීම යුද හමුදාවේ ගෞරවයට හේතුවන්නේ නැත. යුද්ධය ගැන ඔවුන් දරන අදහස් ඉතාමත් ලද බොළඳය. ජෙනරාල් කොබ්බෑකඩුව වැනි විශිෂ්ට ගණයේ යුද විශේෂඥයන්ගේ මතය වූයේ ද මෙම අර්බුදය වාර්ගික අර්බුදයක් වන නිසා යුද හමුදාවට කළහැක්කේ දේශපාලන විසඳුමක් ඇති කරගැනීම සඳහා බල කෙරෙන වටපිටාවක් නිර්මාණය කරදීම පමණක් බව ය. හැරී ගුණතිලක, ජෙරී සිල්වා, ලයනල් බලගල්ල, හැමිල්ටන් වනසිංහ වැනි විශ්‍රාමික හමුදා නායකයන් දරන මතය ද බොහෝ දුරට ඊට සමාන ය. යුද්ධයෙහි කෙළ පැමිණි එවැනි පැසුණු පිරිසක් එසේ කියන විට මේ විෂය ගැන කිසිම අවබෝධයක් නැති විමල් වීරවංශ වැනි පුද්ගලයෙකු දෙන උපදෙස් මත යුද්ධය මෙහෙයවන තත්ත්වයකට යයි නම් රටේ ඉරණම ඛේදජනක වනු නො වැළැක්විය හැකි ය.
මෙතෙක් කිසියම් විශාල ප්‍රමාණයකට ආණ්ඩුවට ජේවීපියේ සිරකරුවකු ලෙස ක්රියාකරන්නට සිදුවීම කෙරෙහි පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිකමේ ප්රශ්නය බලපෑවේ ය. එහෙත් එම අර්බුදයට තිබෙන විසඳුම ජේවීපී හිරකාරයෙකු වෙමින් රට අගාධයකට තල්ලු කිරීම විය නො හැකි ය. ඒ සඳහා ආණ්ඩුවට පිළිගත හැකි වෙනත් විකල්පයක් තිබිය යුතු ය.
සටන් විරාම ගිවිසුමේ අඩුපාඩුකම් ඇතොත්, එය වෙනස් කර ගත යුතුව ඇත්තේ ප්රතිපක්ෂයේ ද එකඟතාව ඇතිව ය. ඒකපාර්ශ්විකව එය වෙනස් කළ නො හැකි ය. පහසුකම් සපයන්නාගේ කාර්ය භාරය ඉටු කරන නෝර්වේ රාජ්‍යය නිගරු කොට එළවා දැමීමේ හැකියාවක් අපට නැති අතර, ඉන්දියාව හා ජාත්‍යන්තර ප්‍රජාව නොසලකා ක්‍රියා කිරීමේ හැකියාවක් ද නැත.
අන් සියල්ලට වඩා රටට අවශ්‍යව ඇත්තේ අන්තවාදී මාර්ගවල ගමන් ගැනීමෙන් වැළකී සියලු දෙනාගේ ම ගෞරවයට හා පිළිගැනීමට හේතුවන දේශපාලන විසඳුමක් ඇති කරගැනී ම ය. එය සරල හෝ පහසු නැතත්, නිසි අධිෂ්ඨානයකින් හා කැපවීමකින් ක්‍රියා කරන්නේ නම් ඒ අරමුණු ජයගැනීමට ද බැරිකමක් නැත.