ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස නම් කිරීම

October 29, 2026
Publication:
Sri Lanka's name has been added to the list of failed states and nothing in political life has taken any notice; parliament cannot be expected to discuss it. Ivan had made the same argument a year earlier, and Wimal Weerawansa answered on television that Sri Lanka was not a failed state and that he would not let it become one. The article works through the state, parliament and the judiciary in turn.

සමත් රාජ්‍යයන්ගේ ලේඛනයට ශ්‍රීලංකාවේ නම ද එකතු වී ඇතත්, එය දේශපාලන තලයේ ගැඹුරු සාකච්ඡාවට ලක් කෙරෙන තත්ත්වයක් තවමත් ඇතිවී නැත. පාර්ලිමේන්තුව පවා ඒ ගැන සාකච්ඡා කරනු ඇතැයි සිතිය නොහැකිය.

ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක තත්ත්වයට පත්ව ඇති බව තර්ක කරමින් මා මීට වසරකට පමණ පෙර ලියන ලද ලිපියකින් පසුව රූපවාහිනී සංවාදයකට සහභාගි වෙමින් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ““ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් නොවන බවත්, ඊට අසමත් රාජ්‍යයක් වෙන්නට තමන් ඉඩ නොදෙන බවත්ය.”” ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා ජනාධිපතිනිය සමග දේශපාලන සභාගයක් ඇති කරගෙන තිබුණු අතර, තමන් ද ශ්‍රී ලංකා රාජ්‍යයේ සුක්කානම හසුරුවන කොටස්කරුවකු වී සිටින තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් ලෙස විග්‍රහ කරන්නට ඉඩදිම සුදුසු නොවේ යැයි කල්පනා කොට ඔහු එසේ ප්‍රකාශ කළා විය හැකිය. එහෙත් ඔහු එම ප්‍රකාශය කරන විට අසමත් රාජ්‍යය යන යෙදුමේ දේශපාලන අර්ථය හරියාකාරව තේරුම් ගෙන සිටියේ ද යන්න පැහැදිලි නැත.

අසමත් රාජ්‍යය

මෙම විෂයයට අදාළව ශ්‍රී ලංකාව ගැන විග්‍රහයකට යන්නට ප්‍රථම එම යෙදුමේ දේශපාලන අර්ථය සොයා බැලීම වැදගත්ය. රොබට් අයි රොට්බර්ග් අසමත් රාජ්‍යයන්ගේ දර්ශකය පවත්වාගෙන යන බුද්ධි මණ්ඩලයේ සභාපතිවරයාය. ඔහු අසමත් රාජ්‍යයක මූලික ලක්ෂණ ඔයැ අ්ියසබටඑදබ ුම්රඑැරකහ (ීමපපැර 2002) සගරාවට විග්‍රහ කොට තිබුණේ මෙසේය.

““අසමත් රාජ්‍යයක ආයතන ක්‍රමය ඉතාමත් දුර්වල හා විකෘති තත්ත්වයක පවතී. බොහෝ දුරට තිබෙන ආයතන අතරීන් ක්‍රියාකාරි තත්ත්වයක පවතින්නේ විධායකය පමණය. ව්‍යවස්ථාදායකයක් ඇතත්, එය පවතින්නේ රබර් මුද්‍රාවක තත්ත්වයකය. ව්‍යවස්ථාදායකය පවතිනු ඇත්තේ ප්‍රජාතන්ත්‍ර වාදවිවාද වලින් තොරවය. අධිකරණය පවතින්නේ ද ස්වාධීනත්වය අහිමි කරගත් විධායකයේ අතකොලුවක් ලෙසය. විශේෂයෙන් රාජ්‍යයට සම්බන්ධ ආරාවුල් වලදි පුරවැසියන්ට යුක්තිය ඉටු කරගත නොහැකි තත්ත්වයකය. නිලධරතන්ත්‍රය ද තිබෙනු ඇත්තේ බොහෝ කලක සිට වෘත්තියවේදයේ ඇති වගකීමේ ගුණය අහිමි කරගනිමින්, පුරවැසියන් පීඩාවට පත් කිරීමේ අරමුණින් විධායකය දෙන අණ පටු ස්වරූපයකින් ක්‍රියාවට නගන්නන්ගේ තත්ත්වයකය. යුද්ධ හමුදාව යම් ආකාරයක පිළිගැනීමක් ඉතුරු කරගෙන සිටින එකම ආයතනය විය හැකි වුවත්, එහිද දැඩි දේශපාලනකරණයකට ලක්ව තිබෙන තත්ත්වයක් තුළ එය තිබෙනවා ඇත්තේ ද පෙර පැවති ජීව ගුණය අහිමි කරගත් තත්ත්වයකය.””

මීට අතිරේකව අසමත් රාජ්‍යයක මතු විස්තර කෙරෙන සියලු ලක්ෂණ හෝ ඉන් කිසියම් විශාල ප්‍රමාණයක් තිබිය හැකි බව රොට්බර්ග් පෙන්වා දෙයි.

(1) අසමත් රාජ්‍යයක ත්‍රස්තවාදි කැරළි එකක් හෝ දෙකක් තිබිය හැකිය. (2) වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ගෝත්‍රය වැනි සාධක මත පවත්නා භේදවල ඉහළ මට්ටමක වර්ධනයක් තිබීම. (3) භූමියේ සමස්ත ආධිපත්‍යය රාජ්‍යය සතු නොවීම. (4) රාජ්‍ය සමස්ත පුරවැසි ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට තෝරාගත් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටීම. (5) මානව හිමිකම් උල්ලංඝනය ඉහළ අනුපාතිකයක තිබීම. (6) අපරාධ අනුපාතිකය ඉහළ මට්ටමක තිබීම. (7) අවතැන්වූවන්ගේ අනුපාතිකය ද ඉහළ මට්ටමක තිබීම. (8) රට අතහැර යන්නන්ගේ අනුපාතිකය ද ඉහළ මට්ටමක තිබීම. (9) දූෂණ අනුපාතිකය ද ඉහළ මට්ටමක තිබීම. (10) පළිගැනීමේ උරුමය ඉහළ මට්ටමක තිබීම. (11) රාජ්‍ය විසින් පවත්වාගෙන යා යුතු අධ්‍යාපනය සෞඛ්‍ය සේවා වැනි අංශ බිඳ වැටෙමින් එම ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ මට්ටමක වර්ධනයක් තිබීම. (12) ආදායම් ප්‍රති ව්‍යාප්තියේ අසමානතාවන්ගේ වේගවත් වර්ධනය (13) ආර්ථික ඉඩ ප්‍රස්ථා විවර වී ඇත්තේ පාලකයාට හෝ පාලක පක්ෂයට සමීප සුළු පිරිසකට පමණක් වීම. (14) මහජන ආරක්ෂාව සහතික කිරීමේ හැකියාවක් රාජ්‍යයට නොතිබීම, (15) බාහිර බලවේගයන්ගේ අත පෙවීම් ඉහළම මට්ටමක පැවතීම.

රොට්බර්ග් විස්තර කරන මෙම නපුරු ලක්ෂණ සියල්ලම පාහේ ශ්‍රී ලංකාව තුළ ද දක්නට ලැබෙන අතර, සමහර අංග අනුපාතික මට්ටමකින් ගත් විට ඉහළම අගයක් ගන්නා බව ද කිව හැකිය. මෙවැනි තත්ත්වයක් රටක ඇතිවන්නේ එම නපුරු ලක්ෂණ ජයගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම යෙදිමට රාජ්‍ය අසමත්වීම තුළ එම ක්‍රියාවලිය කලක් තිස්සේ වර්ධනයවීමේ බලයක් වශයෙනි. ඕනෑම ජාතික රාජ්‍යයක නෛතික අත්තිවාම ලෙස සැලකිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. අප තරම් ඉතාමත් හිතුවක්කාරි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇති කරගත් හා නැවත එසේ ඇති කරගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමට සමත් ජාතියක් ලොව නැති තරම්ය.

සෝල්බරි ව්‍යවස්ථාව ලෙස සැලකෙන පළමු ව්‍යවස්ථාව ඉංග්‍රීසීන් විසින්ම අපට සාදා දුන්නේය. එය අතිවිශාල බහුතර බලයකින් සම්මත කරගැනීමෙන් පසුව එහි තීන්ත වේලෙන්නටත් ප්‍රථම ඊට ඇතුළත් 29 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් 1948 දී දෙමළ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කළේය. ඉන්පසු 1956 දී දෙමළ භාෂාවට සාධාරණ තත්ත්වයක් ලබාදිමෙන් තොරව සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කළේය. රටේ ෙසේවරිභාවය සඳහා අවශ්‍ය පියවරක් ලෙස සලකා 1972 දී සමගි පෙරමුණු ආණ්ඩුව තමන්ට තිබූ බහුතර බලය මත පදනම් වී ප්‍රතිපක්ෂ නොසලකා පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගත්තේය. එය පැවතුණේ අවුරුදු 05 ක් පමණය. ඉන්පසු 1977 දී එජාප තමන්ට ලැබී තිබුණු හයෙන් පහේ බලය පදනම් කොටගෙන නැවත වරක් ප්‍රතිපක්ෂ නොසලකා තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගත්තේය. යූඑන්පිය බලයේ සිටි දාහත් අවුරුදු කාලය තුළ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කළ සංශෝධනවලින් වැඩි හරියක් ප්‍රතිපක්ෂවලින් පළිගැනීමේ අරමුණින් කරන ලද සංශෝධන වී යැයි කිව හැකිය. ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේදි එනම් 2000 අගෝස්තුවලදි විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මිලදි ගෙන අධිකරණයේ ද සහාය ඇතිව ඉතාමත් සටකපට ආකාරයකින් සම්මත කරගන්නට ගිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට හැකිවී නම් මේ වන විට ශ්‍රී ලංකාව ජීවත්වන්නට තිබුණේ එම ව්‍යවස්ථාව යටතේය. රටේ වාසනාවට එම සාහසික ප්‍රයත්නය සාර්ථක නොවීය. ව්‍යවස්ථා සභාවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයකට ඉඩ ලබාදිම සඳහා ඇති කරගන්නා ලද 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසය තුළ සිදුවී ඇති එකම ඉදිරිගාමී පියවර ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු ද එහි තීන්ත වේලෙන්නටත් ප්‍රථම එහි එන විධාන උල්ලංඝනය කිරීමට තරම් ශ්‍රී ලංකාව අශීලාචාර වූවේය.

රටේ මුලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. මූලික නීතිය අමු අමුවේ උල්ලංඝනය කරන රටක නීතියේ පාලනයක් තිබිය හැක්කේ කෙසේද? නීතියේ පාලනයක් නැති විට සමස්ත දේශපාලන අත්තිවාරම ම දෙදරා කඩා වැටෙන තත්ත්වයක් ඇතිවන්නේය.

පාර්ලිමේන්තුව

රටට අවශ්‍ය න්‍යාය හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. නීති සම්පාදනයෙන් හා රාජ්‍යයේ මූල්‍ය කටයුතු හැසිරවීමේ බලය ඇත්තේ ද පාර්ලිමේන්තුවටය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවක තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදි ජීව ගුණය අහිමි කරගනිමින් තමන්ට තිබූ උත්තරිතර බලය සුඛෝපභෝගී පාර්ලිමේන්තු සංකීර්ණයක් සඳහා හා ද්‍රව්‍යමය වරප්‍රසාද සඳහා හුවමාරු කරගනිමින් එය විධායකයේ රබර් මුද්‍රාවක් බවට පත්වීම ආරම්භ වන්නේ 1978 සිට යැයි කිව හැකිය.

පාර්ලිමේන්තුවක් වශයෙන් තමන්ට හිමි අවුරුදු හතේ නිල කාලය තවත් අවුරුදු 6 කින් ජනමත විචාරණයකින් දිර්ඝ කරගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගත් ලෝකයේ එකම පාර්ලිමේන්තුව ලෙස සැලකිය හැක්කේ ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තරම් සිය දිනභාවය ප්‍රදර්ශනය කර ඇති පාර්ලිමේන්තුවක් ලොව කවර රටකවත් නැති තරම්ය. එහි හයෙන් පහක බලයක් තිබූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක් අයෙකු හැර අන් සියලු දෙනා 1982 ජනමත විචාරණයට පෙර ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි දින නොයොදා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට බාර දුන්නේය. මේ සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යමින් චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගයේදි ද ආණ්ඩු පක්ෂයේ අන් මන්ත්‍රිවරුන් පොළඹවා ගැනීම සඳහා නියෝජ්‍ය ඇමතිවරුන් 26 දෙනෙකු දින නොයොදා සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිනිය වෙත බාර දුන්නේය.

දැන් ශ්‍රී ලංකාවට තිබෙන්නේ අඳ, ගොලු, බිහිරි බවට පත් පාර්ලිමේන්තුවකි. ආණ්ඩුකරණයට අදාළ කිසිම වැදගත් කරුණක් එහි සාකච්ඡාවට ලක්වන්නේ නැත. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිතන බව පෙනෙන්නේ තම ඡන්ද කොට්ඨාසවල ජනයාගේ දුක්ගැනවිලි සොයා බැලීම මන්ත්‍රීවරුන් වශයෙන් තමන් වෙත පැවරි තිබෙන ප්‍රධාන වගකීම බවය. රට තුළ සිදුවන කටයුතුවල හොඳ නරක නිරන්තරයෙන් සොයා බලමින් අත්‍යවශ්‍ය කාරණා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක් කරමින් රාජ්‍ය පාලනය නමැති නෞකාව හරි මග ගෙනයෑමට උපරිම ලෙස දායකවීම තමන් වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම බව ඔවුන් දන්නා බවක් පෙනෙන්නට නැත. ඕනෑම පාර්ලිමේන්තු ක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදයේ ලේ නහර ලෙස ක්‍රියාකරනුයේ පාර්ලිමේන්තු මහා සභාව නොව විවිධ විෂයයන් සඳහා ඇති පාර්ලිමේන්තු කාරක සභාය. රාජ්‍යයකට පැවරෙන කාර්ය බහුලත්වය හේතු කොටගෙන දළ කෙටුම්පත් ලෙස පළමුව සකස් වන අණපනත් සවිස්තරාත්මක ලෙස සාකච්ඡාවට ලක් කෙරෙනුයේ කාරක සභාවලදිය. එම කාරක සභා විෂය භාර ඇමතිවරයාට හා තෝරාගත් මන්ත්‍රීවරුන් පිරිසකට සීමාවන්නේ නැත. එම කාරක සභා ඉදිරියට විෂයයට අදාළ නිලධාරින් හා විශේෂඥයන් කැඳවනු ලබයි. එහෙත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය ඵලදායී හෝ කාර්යක්ෂම තත්ත්වයක නොපවතී. නිදර්ශනයක් වශයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවට තමන්ගේ විශාල ලිපිගොනු ද රැගෙන එන නිලධාරින්ට ගණ පූර්ණය නැතිකම නිසා ආපසු හැරි යන්නට සිදුවන අවස්ථා ඉතා බහුලය. අනෙක් අතට ගණ පූර්ණය ඇති අවස්ථාවලදි පවා මන්ත්‍රීවරුන් තමන්ට ඒ සඳහා ලැබෙන දිමනාව ලබාගැනීමෙන් පසු ඉක්මනින් ආපසු යන තත්ත්වයක් ඉදිරියේ මොනම කරුණක්වත් තර්කානුකූල අවසානයක් දක්වා ඉදිරියට ගෙනයෑමට නොහැකි වී තිබේ. ඉහළ මට්ටමේ තනතුරු සඳහා කෙරෙන පත්කිරිම් පිළිබඳව සොයා බැලීම සඳහා තිබෙන (Committee දබ යසටය කැඩැක ්චචදසබඑපැබඑි) කාරක සභාවට පසුගිය 20 වසර පුරාම කළ හැකිව තිබෙන්නේ එක් නිලධාරියෙකුගේ පත්කිරීම නිෂ්ප්‍රභා කිරීම පමණය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වගකීම් තොර බව පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳම නිදසුන වනුයේ අගවිනිසුරුවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවලදි පාර්ලිමේන්තුව දක්වන ලද උදාසීනභාවයයි. වගකිවයුතු පාර්ලිමේන්තුවක් අධිකරණ නායකයකුට එරෙහිව එවැනි චෝදනා එල්ලවන අවස්ථාවකදි එම චෝදනාවල ඇත්ත නැත්ත සොයා බැලීමෙන් වැළකී සිටින්නේ නැත. එක්කෝ අධිකරණ නායකයා එම චෝදනාවලින් නිර්දෝෂී කළ යුතුය. නැතිනම් ඔහු නිලයෙන් පහ කොට අධිකරණයේ ගෞරවය ආරක්ෂා කර දිය යුතුය. ඒ වෙනුවට පාර්ලිමේන්තුව කළේ යුක්තිය පසිඳලීමේ සමස්ත යාන්ත්‍රණයම කුණුවන්නට ඉඩදි බලා සිටීමය.

අධිකරණය

ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ විධායකය නිසි මග හැසිරවීමේ වගකීම පැවරෙන්නේ අධිකරණයටය. විධායකයේ හැම කාර්යයක්ම අධිකරණයේ පරික්ෂාවට ලක්විය යුතුය. එය විධායකයට අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීමට ඉඩ නොතැබිය යුතුය. පුරවැසියන්ට අසමාන ලෙස සැලකිලි දැක්වීමට ඉඩ නොතැබිය යුතුය.

එහෙත් ශ්‍රී ලංකාවේ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයක් තුළ තමන් වෙත පැවරි තිබෙන යුතුකම් හා වගකීම් හරියාකාරව ඉටු කිරීමට සමත් වී නැත. අධිකරණය හැමවිටම විධායකයේ කටයුතු පරික්ෂාවෙන් සිටින ආයතනයක් ලෙස ඊට ඉහළින් සිටිය යුතු වුවත් අධිකරණය ක්‍රියාකරමින් සිටිනුයේ විධායකයට යටහත් පහත් එහි දේශපාලන අතකොලුවක් ලෙසය. එය පුරවැසි නීති සම්පාදනයේදි ද නැවත රාජ්‍ය භාෂාවට අදාළ නීිති සම්පදානයේදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලධර්ම නොසලකා පාලක පක්ෂයට අනුග්‍රහය දක්වන පිළිවෙතක් අනුගමනය කළේය. සමස්ත දේශපාලන ක්‍රමය විකෘති කොට දේශපාලන ආයතන ක්‍රමය බෙලහීන කිරීමට හේතුවූ පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කෙරෙන ජනමත විචාරණ ප්‍රෝඩාවට අනුමැතිය දෙමින් ඒ ප්‍රෝඩාවේ පංගුකාරයෙකු බවට පත්වූයේය.

නිදහසින් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම අධිකරණයට ඇඟිලි ගැසුවේය. ෆිීලික්ස් ඩයස් බණ්ඩාරනායකගෙන් පසුව අධිකරණයට වඩාත්ම ඇඟිලි ගැසූ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනය. එහෙත් අධිකරණය තමන්ට පක්ෂපාත තැනක තබා ගැනීම සඳහා අධිකරණ නායකත්වයට ගෙනා පුද්ගලයා ඒ තනතුරට පත් මොහොතේ සිට තමන්ට තිබුණු සියලු දේශපාලන බැඳීම් අත්හරිමින් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයක් ඉදිරියේ පරළවෙමින් තිබූ අධිකරණයේ ස්වාධීනත්වය යළි විකසිත වීමට හේතුවිය. ඉන්පසු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යුගයේදි සේ ම ජනාධිපති ආර්. ප්‍රේමදාස යුගයේදි ද විධායකයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව අධිකරණය නිර්භීතව තීන්දු දෙන තැනක සිටියේය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අගවිනිසුරු ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ චෝදනාලාභී තත්ත්වයක සිටි පුද්ගලයෙකු පත්කිරීම මගින් අධිකරණයේ ස්වාධීන ගමන් මග මුළුමනින් ආපස්සට හරවන ලද අතර, ඒ සමග අධිකරණය විධායකයේ ඍජු අතකොලුවක් ලෙස ක්‍රියාකරන තත්ත්වයකට පත්විය. එම තත්ත්වය සමස්ත දේශපාලන ක්‍රමය කෙරෙහි ද විනාශකාරි ලෙස බලපෑවේය.