ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නිවන් සැප

October 29, 2026
Publication:
A country needs a constitution written or unwritten, and Sri Lanka has become a state that goes forward having made its own constitution void without putting another in its place. The president emptied it by appointing to the independent commissions in disregard of it, and no court, no religious leader, no opposition party and no newspaper objected strongly enough to matter.

රටකට ලිඛිත හෝ ලිඛිත නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබීම අත්‍යාවශ්‍ය වුවත් ශ්‍රී ලංකාව තමන්ට තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලරහිත කොට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද ඇති කරගැනීමෙන් තොරව ඉදිරියට යන රාජ්‍යයක් බවට පත්වී තිබේ.

ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයින් පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා ක්‍රියාකිරීම මගින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලරහිත කර තිබේ. එය අධිකරණයේ විරෝධයට හේතුවී නැත. ආගමික නායකයන්ගේ විරෝධයට හේතුවී නැත. විරුද්ධ පක්ෂවලද බලවත් විරෝධයට හේතුවී නැත. ජනමාධ්‍යවල ද බලවත් විරෝධයට හේතුවී නැත. එහි ඇති වරදේ ඇති බලවත්කම පෙන්වා දෙන එකම කතුවැකියක්වත් ලියැවී නැත. බිෂොප්වරුන්ගේ සම්මේලනය ““ඩාවින්සි කෝඩ්”” චිත්‍රපටයට ලබාදෙන තරම් වැදගත්කමක්වත් මේ විෂයයට ලබාදී නැත. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද අක්ෂරය චිත්‍රපටයට ලබාදී තිබෙන වැදගත්කම තරම් වැදගත්කමක්වත් මේ විෂයයට ලබාදී නැත. රනිල් වික්‍රමසිංහලාගේ සිට විමල් වීරවංශලා දක්වා වන සියලු විරුද්ධ පක්ෂ දේශපාලකයින් ඒ කාරණයේදී මුළුමණින්ම නිහඬය. විද්වත් වෘත්තිකයින්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් පෙරමුණ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, සිමොග් (CIMOG) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනසංසදය වැනි සංවිධාන කිහිපයක් පමණක් විරෝධය පළ කළේය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය නිහඬය. වෘත්තීය සමිති ව්‍යාපාරය ද නිහඬය.

මේ ප්‍රශ්නයේදී පුරවැසියන් දෙදෙනෙකු (ආචාර්ය විශ්වලිංගම් හා සුසිල් සිරිවර්ධන) තනිපංගලමේ නඩු කියමින් සිටින්නේය. ඔවුන්ගේ නඩුව ඇසෙන දිනවල එම නඩුව ඇසෙන උසාවි ගාලාව හිස්ය. ශ්‍රී ලංකා සමාජය අකුරු උගත්කමේදී ඉහළම තැනක සිටියත්, අවිචාරභාවයේදී ඊට වඩා ඉහළ තැනක සිටින බව ඉන් පෙනීයයි.

මෙම පුරවැසියන් දෙදෙනා පවරා තිබෙන නඩුව වෙනුවෙන් නීතිපති වෙනුවෙන් පෙනී සිටින නීිතිඥයා කියන්නේ ජනාධිපතිවරයාට තිබෙන මුක්තිය අනුව ඔහු කරන කිසිම ක්‍රියාවක් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය අවුරුදු 06 කි. බලයේ සිටින ජනාධිපතිවරයෙක් තමාගේ ධුර කාලය අවුරුදු 12 ක් ලෙස සලකා ක්‍රියාකළහොත් නීතිපතිගේ ප්‍රවේශය අනුව එවැනි ක්‍රියාවක් ද අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකිය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සැලකිය යුත්තේ ජනාධිපතිවරයාගේ කැමැත්තය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලරහිතවීම ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 17 වැනි සංශෝධනය නොසලකා ක්‍රියාකළ අවස්ථාවේ සිට නොව, ඊට බොහෝ පෙර කලක සිටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එක් පක්ෂයකින් තේරී පත්වූ මන්ත්‍රීවරයෙකුට මන්ත්‍රීකම අහිමි කරගැනීමෙන් තොරව වෙනත් පක්ෂයකට මාරුවිය නොහැකිය. එහෙත් විරුද්ධ පක්ෂය අතහැර ආණ්ඩු පක්ෂයට මාරුවූ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහිමි වූයේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලරහිත කොට පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කර දුන්නේ අන් කිසිවකු විසින් නොව ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින අධිකරණය විසිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරෙන ආකාරයට ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයින් පත් කිරීමේ ක්‍රියාවලියේදී එසේ පත්වීම් ලැබූ සියලු දෙනා උගතුන් වුවත් එම පත්වීම්වල ඇති ව්‍යවස්ථා විරෝධී ස්වභාවය තේරුම්ගෙන එම පත්වීම් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමට ආත්ම ශක්තියක් තිබුණේ පුද්ගලයින් තිදෙනෙකුට පමණය. පත්වීම් ලැබූ අය අතර විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරු සේ ම, ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට පත්වීම් ලැබූවෝ ද සිටිති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ භාර දූර වගකීම පැවරී තිබුණු හා තිබෙන පිරිසක් ද එසේ ක්‍රියා කරයි නම් අන් අය ගැන කථා කිරීම තේරුමක් තිබිය නොහැකිය. •

අබ්බගාත විරුද්ධ පක්ෂය

රාජ්‍යයක අසමත්භාවය කෙරෙහි බලයේ සිටින ආණ්ඩු පක්ෂයෙහි, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් පමණක් නොව, විරුද්ධ පක්ෂවල අබ්බගාත ක්‍රියාකාරකම් ද බලපායි. ආණ්ඩු පක්ෂයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියාකරන විට එයට එරෙහිව නැගී සිටීමේ ප්‍රධාන වගකීම ඇත්තේ විරුද්ධ පක්ෂයටය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සිය පක්ෂය බලවත් ලෙස නැගී සිටින තැනකට ගැනීමට එවකට ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ ශ්‍රීලනිපයේ නායිකාව ලෙස ක්‍රියා කළ සිරිමා බණ්ඩාරනායක මැතිනිය අසමත් විය. ඉන්පසු එළඹෙන පොදු පෙරමුණු ආණ්ඩු යුගයේදී ඒ වගකීම ඉටු කිරීමට එජාප නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා අසමත් විය. 1970-76 යුගයේදී ජේ.ආර්. ජයවර්ධන විරුද්ධ පක්ෂ නායකයාව සිටියදී බලයේ සිටි ආණ්ඩුව ක්‍රියාවට නගන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව පක්ෂ නායකයා වශයෙන් ජේ.ආර්. ජයවර්ධන නිර්භීතව නැගී සිටියා සේ ම සිය පක්ෂය ද එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කරන තැනකට ගෙනාවේය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පක්ෂ නායකත්වය ලැබුණු සම්පූර්ණ කාලය තුළ ආණ්ඩු පක්ෂයට තමන් කැමති දෙයක් කරන්නට ඉඩ හැර බිබික්කම ඔඩොක්කුවට කඩා වැටෙන තෙක් පැත්තකට වී බලා සිටියා මිස කිසිවිටක නිර්භීතව නැගී නොසිටියා සේ ම පක්ෂය ද සටන් කරන තැනකට නොගෙනාවේය.

පොදු පෙරමුණු යුගය තුළ අධිකරණයේ අරමුණු කණපිට හරවන ක්‍රියාවලියේදී බලවත් කිසිවක් නොකොට නිශ්ශබ්දව බලා සිටීම දේශපාලන නායකයකු වශයෙන් ඔහු විසින් කරන ලද සමාව දිය නොහැකි බරපතළම වරද ලෙස සැලකිය හැකිය. අධිකරණයක් විධායකයේ දේශපාලන අතකොළුවක් බවට පත්වූ විට රාජ්‍ය අවුල් ජාලාවක් බවට පත්වේ. බලයේ සිටින ආණ්ඩුවක් හිතුවක්කාරී ලෙස ක්‍රියා කරන විට එය වළකා ගැනීමට තිබෙන එක් බලවත් මාර්ගයක් වනුයේ අධිකරණයයි. ඒ සඳහා අධිකරණය ස්වාධීන තැනක තිබිය යුතු අතර, අධිකරණය ස්වාධීන තැනක තබා ගැනීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ ආණ්ඩු පක්ෂයට නොව විරුද්ධ පක්ෂයටය. එහෙත් ඒ වගකීම ඉටු කිරීම රනිල් වික්‍රමසිංහ මහතා පැහැර හැරියේය. දැන් ඒ නිසාම සිය දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට ඒ මහතාට යන්නට ද අධිකරණයක් නැති තත්ත්වයක් ඇතිවී තිබෙන්නේය. ඒ නිසා තම පක්ෂයෙන් මන්ත්‍රීවරුන් බුරුතු පිටින් ආණ්ඩු පක්ෂයට එකතු වුවත් වොෂින්ටනයට ගොස් හූල්ලනවා ඇරෙන්නට වෙනත් කරන්නට දෙයක් නැති තත්ත්වයකට ඔහු පත්ව සිටී. •

රාජ්‍යයේ අසමත්භාවයට ජවිපෙ ද වගකිව යුතුය

ශ්‍රී ලංකා රාජ්‍යය අසමත් තත්ත්වයකට පත්ව තිබෙන බව පිළිගැනීමට ජවිපෙ සූදානම් නැත. එසේ ප්‍රකාශ කිරීම ඔවුන් දකින්නේ බාහිර කඩා වැදීමකට අවසර ලබාදීමට දියත් කෙරුණු කුමන්ත්‍රණයක් ලෙසය. බාහිර කඩා වැදීමක් වැළකිය යුත්තේ අසමත්භාවය වසා ගැනීමෙන් නොව බාහිර කඩා වැදීමකට ඉඩක් නැති ආකාරයට තිබෙන අභ්‍යන්තර ආරාවුල් තමන් ප්‍රශස්ථ ලෙස කළමනාකරණය කරගන්නා තැනකට යෑමෙනි. ඒ වෙනුවට ඔවුන් අනුගමනය කරමින් සිටින්නේ අසමත්භාවය තීව්‍ර කිරීමට හේතුවන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරකම්වලට උඩ ගෙඩි දෙන ප්‍රතිපත්තියකි.

විධායකයට හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන්නට ඉඩ නොදීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ අධිකරණය වෙත පැවරෙන ප්‍රධාන වගකීමයි. එහෙත් එසේ කළ හැක්කේ ස්වාධීන අධිකරණයකට පමණය. අධිකරණයට තිබිය යුතු ස්වාධීනත්වය අහිමි කොට එය විධායකයේ දේශපාලන අතකොළුවක් බවට පත්කිරීමේ බිහිසුණු ක්‍රියාවලියට ජනතා විමුක්ති පෙරමුණ ද දායක වූයේය.

තිබෙන ව්‍යවස්ථාව අනුව පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහිමි විය යුතු බව ජවිපෙ නොදැන සිටින්නට හේතුවක් නැත. එහෙත් එසේ පක්ෂ මාරුකරන්නන්ගේ මන්ත්‍රීකම් අධිකරණය ලවා ආරක්ෂා කරදීමේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය කරළියට ගැනීමට ජවිපෙ ද දායක වූයේය. ජවිපෙ පස්සා දොරෙන් අධිකරණය සමඟ ගනුදෙනු කරන තැනකට ගියේය. දැන් ජවිපෙට විධායක ජනාධිපති ක්‍රමය ගැන මතක නැත. විධායක ජනාධිපතිවරිය පාර්ලිමේන්තුවට එරෙහිව හිතුවක්කාරී ලෙස බලය පාවිච්චි කරන තැනකට දක්කන ලද්දේ ජවි පෙරමුණය. එජා පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන තෙක් එය විරුසුවා නොහරින බවට කතානායකවරයා වෙත සහතික වී තිබූ අවස්ථාවක ඒ පොරොන්දුව නොසලකා එජා පෙරමුණට බහුතර බලයක් තිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හරවන ලද්දේ ජවිපෙ විසිනි. ඒ නිසා පක්ෂයක් වශයෙන් ජවිපෙ කෘත්‍රිම ලෙස ලොකු මහත් වුවත් එම පියවර රාජ්‍යය බිඳ වැටීමේ ක්‍රියාවලිය වේගවත් කළේය. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් පසුව ව්‍යවස්ථා විරෝධී ලෙස විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් දක්කන ක්‍රමයක් ක්‍රියාවට නැගීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගත්තේ ද ජවිපෙ ය. ඉන්පසු පටු දේශපාලන ලාභ සලකා ජවිපෙ අධිකරණය සමඟ පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ගියේය.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇති කිරීමට හේතුවූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දර්ශනය ජවිපෙ නූනත්, 17 වැනි සංශෝධනය නීතිගත කරවා ගැනීමේ ක්‍රියාවලියේ දී ජවිපෙ අතරමැදි කපුවා ලෙස ක්‍රියා කළේය.

දැන් 17 වැනි සංශෝධනය ගැන ජවිපෙ කිසිම කතාවක් නැත. එය බලරහිත කොට ශ්‍රී ලංකා රාජ්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති සමාජ ගිවිසුමකින් තොරව ඉබාගාතේ යන රාජ්‍යයක් බවට පත්ව තිබෙන බව ඔවුන්ට නොපෙනේ.

විදේශීය මැදිහත්වීමකට එරෙහිව රට පුරා ප්‍රචාරක රැස්වීම් පවත්වන්නට පෙර ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයන් එකට රැස්වී ශ්‍රී ලංකා රාජ්‍යයට සිදුවී තිබෙන්නේ කුමක්ද? ඊට වගකිවයුත්තේ කව්ද යන්න ගැන සාධාරණ සොයා බැලීමක් කරන්නේ නම් රට පිළිබඳ වඩා නිවැරදි තක්සේරුවක් ඇති කරගැනීමට ඔවුන්ට හැකිවනු ඇත්තේය.

ශ්‍රී ලංකා රාජ්‍යයේ අසමත්භාවයට ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය හා ජනමාධ්‍ය යන හැම අංශයක්ම වගකිවයුතුය. ඊට ජනතා විමුක්ති පෙරමුණ හා එල්ටීටීඊය ද වගකිව යුතුය.

එල්ටීටීඊ යුද්ධ ව්‍යාපාරය සේ ම ජනතා විමුක්ති පෙරමුණෙන් රාජ්‍යයට එරෙහිව එල්ල වූ කැරලි දෙක ද රාජ්‍ය බෙලහීන කිරීමට හා ඊට තිබුණු පිළිගැනීම දුර්වල කිරීමට හේතුවිය. ජවිපෙ දැන් පැරණි කැරලි මාවතට ආයුබෝවන් කියා පාර්ලිමේන්තු මාවත තෝරාගෙන ඇතත්, එහිදී ඔවුන් අනුගමනය කෙරෙමින් තිබෙන අන්තවාදී ක්‍රියාමාර්ගයන් ද රාජ්‍ය ශක්තිමත් කරනවා වෙනුවට එය තව තව දුබල කිරීමට හේතුවී තිබේ. •