විශ්ව විද්යාලවල ඇවිළෙන ගින්න තවමත් නිවී නැත. එය නිවා දැමීමේ ඇත්ත වුවමනාවක් වග කිවයුත්තන්ට තිබෙන බවක්ද පෙනෙන්නට නැත. කලබල ඇති වන හැම අවස්ථාවකට විශ්ව විද්යාල සති දෙකක කාලයක් වසා තැබීමට ආංඩුව තීන්දු කර තිබෙන අතර, පවතින විශ්ව විද්යාල ක්රමය අහෝසිකොට විවෘත විශ්ව විද්යාල ක්රමයන් ඇති කිරීමේ වුවමනාවද ඉඟිකොට දැන්වා ඇත්තේය.
විශ්ව විද්යාලවල තිබෙන කලබල නැති කළහැකි වනු ඇත්තේ ඊට පදනම් වන හේතු වලට පිළියම් යෙදීමෙන් මිස හේතු ඇතිකර තිබෙන ප්රතිඵලවලට පිළියම් යෙදීමෙන් නොවේ. එයින් සිදුවිය හැකි එකම දේ තත්ත්වය වඩ වඩාත් නරක අතට හැරීමය.
විශ්ව විද්යාල ශිෂ්යයන් යනු අප සමාජයේම දූ දරුවන් පිරිසක් මිස අහසින් වැටුණු පිරිසක් නොවේ. විශ්ව විද්යාලයෙන් පිටස්තර බාහිර සමාජය කෙරෙහි බලපවත්නා සමාජ ආර්ථික හා දේශපාලන ගැටළු විශ්ව විද්යාල ශිෂ්යයන් කෙරෙහි ද බලපායි. අනෙක් අතට ඔවුන්ට පමණක් සීමාවන සුවිශේෂ ප්රශ්නද ඇත්තේය. අද විශ්ව විද්යාලවල පවත්නා කලබලකාරී තත්ත්වය කෙරෙහි සාමාන්ය සමාජයේ පවත්නා ගැටළුසේම ඔවුන්ට සුවිශේෂවන ගැටළුද බලපා ඇත්තේය. විශ්ව විද්යාල වල පවත්නා කලබලකාරී තත්ත්වය නැති කිරීමට නම් ඔවුන්ට සුවිශේෂ වන මූලික ගැටළු විසඳිය යුතුය. ප්රධානම දේ අලුත් විශ්ව විද්යාල අණපනත් මගින් විශ්ව විද්යාල ක්ෂේත්රය තුළ නැති කර තිබෙන ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීමයි. ඇති වී තිබෙන හා ඇති වෙමින් තිබෙන කලබල විශ්ව විද්යාල ක්ෂේත්රය තුළ පැවති ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය දුර්වල කිරීමට ලැබී තිබෙන ප්රතිවිපාකයන් විශ්ව විද්යාල පාලනය ප්රජාතන්ත්රවාදීමූල ධර්ම අනුව ප්රතිසංවිධානය කිරීමෙන් හා ශිෂ්යයන්ට ප්රජාතන්ත්රවාදීව ක්රියා කිරීමට තිබෙන ඉඩ ප්රස්ථා පුළුල් කිරීමෙන් පමණි මේ ප්රශ්නය විසඳිය හැකි වනු ඇත්තේ.
ආංඩුව විශ්ව විද්යාල ශිෂ්යයන් වැරදි ලෙස මර්දනය කිරීමෙන් නොනැවතී, සාමාන්ය ක්රමයට පිටස්තරව යමින් පොහොසතුන්ගේ දූ දරුවන් සඳහා වන විශ්ව විද්යාල ක්රමයන් ඇති කර තිබීම ඔවුන් තුළ පවත්නා වෛරසහගත හැඟීම් උත්සන්න කිරීමට හේතුවී තිබෙන බව පෙනේ. තමන්ගේ හා තම පංතියේ ඔලමොට්ටල දූ දරුවන්ට උපාධි ලබාගැනීමේ ක්රමයක් ඇති කිරීම වෙනම දෙයකි. එහෙත් ඒ සඳහා සාමාන්ය විශ්ව විද්යාල ශිෂ්යයන්ට තිබෙන පොදු පහසුකම් ඔවුන්ට උදුරා දීම හා ඔවුන්ට ලැබෙන උපාධිය සමාන තත්වයකින් සැලකීම සාහසික අපරාධයකි. මෙහිදී විශ්ව විද්යාල ශිෂ්යයන් තනි නොකොට ඔවුන් රැකගැනීමට ක්රියා කිරීම නිදහස් අධ්යාපනයට හා ප්රජාතන්ත්රවාදී නිදහස ගැන උනන්දුවක් දක්වන කොයි කාගෙත් සමාජ යුතු කමක් වන්නේය.