අපේ රටේ තරුණ පරපුර කෝපයෙන් හා වෛරයෙන් පුපුරමින් සිටින බව පෙනේ. කලක් හුදු විරෝධතා ව්යාපාරයක මුහුණුවරකින් ක්රියාත්මක වූ එය කැරලි ගැසීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බව පෙනේ. කැරලි ගැසීමක් සඳහා අවශ්ය කෙරෙන අවි ආයුධ ලබාගැනීම සඳහා දරන උත්සාහයන් කීපයක්ම වාර්තාවන අතර දැනටම ඒ වෙනුවෙන් තරුණයන් කීපදෙනෙකු හා එක් හමුදා භටයකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
මරණය අත් විය හැකි බව දැන දැන උගත් තරුණ තරුණියන් කැරලිකාර මඟක් වෙත යොමුවී සිටින්නේ ඇයි? ඊට හේතුව ඔවුන්ට හිමි හා හිමිවිය යුතු සාධාරණ අයිතිවාසිකම් ඔවුන්ගෙන් උදුරාගෙන තිබීම නොවේද, ඔවුන්ට ඉදිරියට යාමට තිබෙන මාර්ග අවහිර කර තිබීම නොවේද?
සියලු දෙනාගේම යහපත පිණිස විය යුතු අධ්යාපනය ඔවුන්ගෙන් 99% ක්ම හපකර දමන දූෂ්ය යන්ත්රයක් ලෙස ක්රියාත්මක වේ. ඉංග්රීසියට දී තිබෙන අනවශ්ය වැදගත්කම විසින් ඉංග්රීසි ඉගැනීමට පහසුකම් නැති ගම්බද පෙදෙස්වල තරුණ තරුණියන්ට රැකියා ලබා ගැනීමට තිබෙන ඉඩ ප්රස්ථා බරපතල ලෙස සීමාකර තිබේ. විධිමත් අංශවල රැකියා ලබා ගැනීමේදී මන්ත්රී නිර්දේශයට ලබා දී තිබෙන වැදගත්කම විසින් සුදුසුකම් අනුව රැකියා ලබා ගැනීමට තිබෙන පුළුවන්කම සීමා කිරීමෙන් නොනැවතී තරුණ පරපුරේ ආත්ම ගෞරවයද විනාශ කරන සාධකයක් ලෙස ක්රියාත්මක වේ. ස්වයං රැකියා මාර්ග තුළ ඔවුන්ට නිපදවිය හැකි හැම දේමත් ආනයනය කිරීම හේතු කොටගෙන විධිමත් නොවන අංශවල ස්වයං රැකියා තුළින් ජීවත් වීමට ඔවුන්ට තිබෙන අයිතියද උදුරාගෙන ඇත්තේය. මේ පසුබිම තුළ තරුණ පරපුර කෝපයෙන් හා වෛරයෙන් පුපුරමින් සිටීම පුදුමයට හේතු වන්නේ නැත.
අද තරුණ පරපුරට බණ දේශනා කළ යුතු අවස්ථාවක් නොවේ. වගකිව යුත්තන් බණ පිළිපදිමින් ඔවුන්ගේ ප්රශ්න කඩිනමින් විසඳිය යුතු අවස්ථාවකි. ප්රථම කොට ඔවුන්ට කිනිමිනිකම් කිරීමෙන් වැළකිය යුතුය. දෙවනු කොට ඔවුන් රැවටීමට දරණ උත්සාහයන් ගෙන් වැළකිය යුතුය. තුන් වැනි කොට ඔවුන්ට තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට හා ඒවා සාධාරණ ලෙස විසඳා ගැනීමට තිබෙන මාර්ග අවහිර නොකළ යුතුය.
ඔවුන් කෙරෙහි ගෞරවයකින් හා ඉවසීමකින් ක්රියා කළ හැකි නම්, ඔවුන් රැවටීම පිණිස විනාශ කරන මහා ධනස්කන්දය ඔවුන්ගේ අභිවෘද්ධිය පිණිස යොමු කළ හැකි නම් හා ඔවුන්ට තම ප්රශ්න ඉදිරිපත් කිරීමට හා ඒවා විසඳා ගැනීමට තිබෙන මාර්ග පුළුල් කළ හැකිනම් කෝපයෙන් හා වෛරයෙන් පුපුරන තරුණ පරපුර සන්සුන් කළ හැකිවනු ඇත.
ඔවුන් තෝරාගෙන ඇති මාර්ග වැරදි මුත් පොදු අභිවෘද්ධිය ඉදිරියේ තමන්ගේ ජීවිත පවා පරදුවට තබා ක්රියාකිරීම ගැන අප ඔවුනට ගෞරව කළ යුතුය. අද රටට අවශ්ය වී ඇත්තේ ඔවුන්ගේ ශක්තිය රටේ පොදු අභිවෘද්ධිය පිණිස යොදාගැනෙන ක්රම මිස ඔවුන් දංගෙඩියට යවන ක්රම නොවේ. මේ අභියෝගය ජයගත නොහැකි වේ නම් නැවත මේ රට ලේ විලක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.