අශීලාචාර තත්ත්වය පවත්වාගෙන යමුද? ශීලාචාර රටක් ඇතිකර ගමුද?

December 14, 2014
Publication:
Ivan frames the January 2015 election as a choice about the country's future. After defeating a rebellion a state must heal, not keep ruling by fear; yet after Prabhakaran's defeat the Rajapaksa government had no vision for repairing the damage to people, infrastructure, society and institutions, and turned the victory to its own ends, using the forces for power. He asks why the rebellions arose and argues that re-electing Mahinda Rajapaksa would entrench an uncivilised state.

මෙවර ජනාධිපතිවරණය රටේ අනාගත පැවැත්ම තීරණය කරන තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස සැලකිය හැකිය. ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර ඇතත්, රට තිබෙන්නේ ඉතාමත් අශීලාචාර තත්ත්වයකය. ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය ජනාධිපතිවරයාට හිමිවන විට එම ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුත් රට ශීලාචාර තැනකට නොගෙන ඒ තිබුණ තත්ත්වයටත් වඩා අශීලාචාර තැනක රට ගෙනයෑමේ අගෞරවය හිමිවිය යුත්තේද ජනාධිපතිවරයාටය.

රටක බාහිර ආක්‍රමණයක් හෝ අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවූ විට එම තත්ත්වය මැඬපැවැත්වීමේ වගකීම ඇත්තේ ආණ්ඩු බලය දරන ආණ්ඩුවටය. බාහිර ආක්‍රමණයක් හෝ අභ්‍යන්තර කැරැල්ලක් මැඬ පැවැත්වූ පසු ඒ රටේ අයිතිය රාජ්‍ය නායකයාට හිමිවන්නේ නැත. හිමිවිය හැක්කේ ගෞරවයක් පමණය.

කැරලි පරාජය කිරීම

නිදහස ලැබීමෙන් පසු රටේ හමුදා කුමන්ත්‍රණයක්ද ප්‍රචණ්ඩ කැරලි තුනක්ද සිදුවී තිබේ. 1962 හමුදා කුමන්ත්‍රණය හා 1971 කැරැල්ල ව්‍යර්ථ කරන ලද්දේ සිරිමා බණ්ඩාරනායක විසිනි. තමන් රටේ හමුදා පාලනයක් ඇතිවීම වැළකූ නිසා හා 71 කැරැල්ල පරාජය කිරීම නිසා මේ රටේ අයිතිය තමන්ට ලැබිය යුතුයැ”යි කියා සිටියේ නැත. ඉන්පසු ප්‍රේමදාස ජනාධිපතිවරයාද දැවැන්ත කැරැල්ලක් ලෙස සැලකිය හැකි ජේවීපී දෙවැනි කැරැල්ල මැඬ පැවැත්වූයේය. එම කැරැල්ල අල්ලාගෙන සිටි කාලය එල්ටීටීඊ කැරැල්ල අල්ලාගෙන සිටි කාලය තරම් දීර්ඝ නැතත් සිදුවූ මනුෂ්‍ය ඝාතනවල ප්‍රමාණය අතිවිශාලය. එම කැරැල්ලද සිංහල ජනතාව අතර අතිවිශාල මරණ බියක් ඇතිකර තිබුණේය. එහෙත් එම කැරැල්ල පරාජය කළ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මේ රට තමන්ට ණයගැතිවේයැ”යි කල්පනා කළේ නැත. එහෙත් ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කල්පනා කළ ආකාරය අගමැති සිරිමා බණ්ඩාරනායක හෝ ජනාධිපති ප්‍රේමදාස කල්පනා කළ ආකාරයට මුළුමනින් වෙනස්ය. ප්‍රභාකරන් පරාජය කිරීම නිසා ජනාධිපතිවරයා මේ රට තමන්ට ණයගැතියැ”යි විශ්වාස කළා පමක් නොව මේ රට තමන් කැමති තාක් පාලනය කිරීමේ අයිතිය සේ ම මේ රටෙන් තමන් කැමති තරම් වස්තුව උපයාගැනීමේ අයිතිය තමන්ට ලැබිය යුතුයැ”යි විශ්වාස කරමින් ඒ අනුව ක්‍රියා කළේය.

බාහිර ආක්‍රමණයන් හෝ අභ්‍යන්තර කැරැල්ලක් පරාජය කළ විට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ පාලකයාට අතිරේක වශයෙන් ලැබිය යුත්තේ ගෞරවයක් පමණය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු අඩුවකින් තොරවම මහජනයාගෙන් ගෞරවය හිමි වූයේය. එහෙත් මහජනයාගෙන් ලැබෙන ගෞරවයෙන් පමණක් ජනාධිපතිවරයා සෑහීමට පත්වූයේ නැත. ඒ සඳහා රටට දැරිය නොහැකි තරමේ ඉහළ මිලක්ද ජනාධිපතිවරයා රටින් ඉල්ලා සිටින්නේය. එය ලබාගැනීමට උත්සාහ කරන්නේද ඉතාමත් බලහත්කාරී ස්වරූපයකිනි.

අශීලාචාරකමේ තරම

ප්‍රභාකරන් කැරලි ගසන කාලයේ පමණක් නොව දශක තුනකට ආසන්න කාලයක් රට තිබුණේ අශීලාචාර තත්ත්වයකය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක හමුදා යොදා ගනිමින් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීමට සමත් වුවද නැවත රට ශීලාචාර තත්ත්වයකට ගත්තේ නැත. ඒ වෙනුවට සිදුවූයේ රටේ තිබූ අශීලාචාර තත්ත්වය තව තව වර්ධනය කිරීමය. යටිතල පහසුකම් වර්ධනය කළේද එම අශීලාචාර වටාපිටාව එසේම තිබියදීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය සඳහා ප්‍රවේශයද වන අශීලාචාරය. තිබුණු ආණ්ඩුක්‍රමය යටතේ ජනාධිපතිවරයකුට ධුරයේ සිටීමේ හැකියාව තිබුණේ ධුර කාල දෙකක් පමණය. මීට පෙර එම තනතුරේ සිටි ජනාධිපතිවරුන්ට විවිධ සිහින තිබුණා විය හැකි වුවද ඒ කිසිවකු ධුර කාල දෙක සඳහා පනවා තිබූ සීමාව අතික්‍රමණය කළේ නැත. ජනාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ ජනාධිපතිවරයාට ලැබෙන අතිවිශාල බලය නිසාම තනතුරේ සිටිය හැකි ධුර කාල ගණන දෙකකට සීමා කර තිබේ. එක ධුර කාලයක් සඳහා ජනාධිපති ක්‍රමයක් පවත්වාගෙන යන බොහෝ රටවල් යොදාගෙන තිබෙන කාලසීමාවද ශ්‍රී ලංකාවේ තිබෙන කාලසීමාව වඩා අඩුය. ඇමරිකාවේ එක් ධුර කාලයක් අවුරුදු 4ක් වන විට ප්‍රංශයේ අවුරුදු 5කි. ශ්‍රී ලංකාවේ අවුරුදු 6කි. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුගේ ධුර කාල දෙකක් ඇමරිකන් ජනාධිපතිවරයකුගේ ධුර කාල තුනකට සමානය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුට ධුරයේ සිටිය හැකි කාල පරාසය එතරම් දීර්ඝ එකක්ව තිබියදීත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ තත්ත්වයෙන් සෑහීමට පත් නොවී ධුර කාල දෙක සඳහා පනවා තිබූ සීමාව ඉවත් කළේය. එය ජනාධිපතිවරයාගේ බල ලෝභය පෙන්නුම් කරන ප්‍රබල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මීට පෙර කැරලි ඇතිවූ අවස්ථාවලදී කැරලි මැඬපැවැත්වීම සඳහා ක්‍රියාවට නගන ලද හමුදාකරණය කැරලි මර්දනය කිරීමෙන් පසු වහාම ඉවත් කොට රට නැවත සිවිල් පාලනයකට මාරු කළේය. ජේවීපී දෙවැනි කැරැල්ල පැවති කාලයේ රටේ විවිධ තැන්වල තාවකාලික හමුදා කඳවුරු විශාල සංඛ්‍යාවක් ඉදිකර තිබුණි. කැරැල්ල පරාජය කිරීමෙන් පසු වහාම ඒ සියලු තාවකාලික හමුදා කඳවුරු ඉවත් කොට ආරක්ෂක හමුදා බැරැක්කවලට යවා සිවිල් පාලනයක් ඇති කළේය. එහෙත් ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කිරීමෙන් පසු රට පූර්ණ සිවිල් පාලනයකට මාරු කළේ නැත. උතුරේ අනියම් හමුදා පාලනයක් පවත්වාගෙන යන අතර දකුණේද හමුදා හෙවණැල්ල හොඳින් ප්‍රදර්ශනය කරන තත්ත්වයක් පවත්වාගෙන යයි. සිවිල් නිලතල රැසකට හමුදා නිලධාරීන් පත්කර තිබේ. මෙය යහපත් තත්ත්වයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

රටක ආරක්ෂක හමුදා සිටින්නේම ආරක්ෂාවට අදාළ ප්‍රශ්න ඇතිවන අවස්ථාවලදී රටේ ආරක්ෂාව පිණිස සටන් කිරීම සඳහාය. බාහිර ආක්‍රමණයක් හෝ අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවන අවස්ථාවලදී එම ආක්‍රමණ හා කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ක්‍රියාකළයුත්තේ ආරක්ෂක හමුදාය. විශාල වියදමක් දරා ආරක්ෂක හමුදා පවත්වාගෙන යන්නේත් ඒ අරමුණ සඳහාය. ආරක්ෂාව සඳහා සටන් කරන්නට සිදුවන අවස්ථාවලදී ඔවුන්ගෙන් සමහරකුට මියයන්නට සේ ම තවත් සමහරකුට තුවාල ලබන්නටද සිදුවේ. එය ලෝකයේ හැම ආරක්ෂක හමුදාවකටම අදාළ සාමාන්‍ය තත්ත්වයකි. ආරක්ෂක හමුදා සේවය රක්ෂාවක් වශයෙන් තෝරාගන්නා අය එසේ කරන්නේද කිසියම් විශේෂ අවස්ථාවකදී තමන්ට මිය යන්නට හෝ තුවාල ලබන්නට සිදුවිය හැකි බව දැනගෙනය. බාහිර ආක්‍රමණයක් හෝ අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවූ අවස්ථාවකදී ආරක්ෂක හමුදා එය මැඬ පැවැත්වූවිට තමන්ගේ රාජකාරි වගකීම හරියාකාරව ඉටුකිරීම වෙනුවෙන් ආරක්ෂක හමුදාවන්ට ගෞරවය හිමිවිය යුතු වුවත් ඒ නිසා රට, ආරක්ෂක හමුදාවන්ට ණයගැති තත්ත්වයකට පත්වන්නේ නැත.

කැරලි ඇතිවූයේ ඇයි?

ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීම වැදගත්ය. ජනාධිපතිවරයා ප්‍රඥාවන්ත නායකයකු වී නම් ඒ සමග දෙමළ තරුණ පරපුරද එවැනි අන්තවාදී තැනකට තල්ලු වූයේ ඇයි කියා සොයා බැලිය යුතුව තිබුණේය. ත්‍රස්තවාදී මාවත තෝරාගත් එකම තරුණ පිරිස ඔවුන් පමණක් නොවීය. දකුණේ සිංහල තරුණ පරපුරද කලක් ත්‍රස්තවාදී මාවත තෝරාගෙන තිබුණේය. සිංහල හෝ දෙමළ තරුණයන් ත්‍රස්තවාදී මාවතට තල්ලු කිරීමට බලපෑ සමාජ, ආර්ථික, දේශපාලන හේතු මුළුමනින් නොසලකා හරින ප්‍රතිපත්තියක් තුළ රටට අවශ්‍ය වී තිබූ ප්‍රතිසංස්කරණ තේරුම් ගැනීමට තිබුණු හැකියාව ජනාධිපති අහිමි කරගත්තේය. ප්‍රභාකරන් පරාජය කරන අවස්ථාව වනවිට දශක තුනකට ආසන්න කාලයක් රට හා සමාජය ජීවත් වී තිබුණේ ඉතාමත් අශීලාචාර වටාපිටාවකය. සිංහල දකුණෙත්, දෙමළ උතුරේත් ඇතිවූ ප්‍රචණ්ඩ කැරලි හා ඒවා මර්දනය කිරීමට දරන ප්‍රයත්නයන් තුළ දස දහස් ගණන් මිනිසුන් මරණයට පත්වී තිබුණි. ඒ දීර්ඝ කාලය තුළ රටේ මිනිසුන්ට ජීවත් වන්නට සිදුවී තිබුණේ මරණ බියෙනි. ඒ කාලය තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රමයේ සේ ම යුක්තිය පසිඳලන ආයතන ක්‍රමයේද විශාල බිඳ වැටීමක් ඇතිවී තිබුණි. මනුෂ්‍ය සාරධර්මවලද විශාල පිරිහීමක් ඇතිවී තිබූ අතර ආණ්ඩුක්‍රමය හා ඒ යටතේ තිබෙන ආයතන ක්‍රමයද සමස්ත සමාජ ක්‍රමයද විකෘති වී තිබුණේයැ”යි කිව හැකිය. යුද්ධය අවසන් කිරීමෙන් පසු පළමු කොට විය යුතුව තිබුණේ ආණ්ඩුක්‍රමයේ හා ආයතන ක්‍රමයේද සමාජ ක්‍රමයේද ඇතිවී තිබූ විකෘතීන් නිවැරදි කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ ඇති කිරීමය. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ ඇතිව තිබූ විකෘතීන් නිවැරදි කරගැනීමකින් තොරව ඉදිරියට යන්නට වෙර දැරීමය.

නිසි දැක්මක් නොතිබීම

දශක තුනක් තරම් දීර්ඝ කාලයක් රටේ රජ කළ ප්‍රචණ්ඩ වටාපිටාව තුළ වැඩිම හානියක් සිදුවී තිබුණේ මිනිසුන්ටය. ඝාතනයට ලක්වූ මිනිසුන් සංඛ්‍යාව ලක්ෂයකටත් වැඩිය. වදහිංසාවන්ට හා විවිධ අතවරයන්ට ලක්ව සිටි අයගේ සංඛ්‍යාව ඊටත් වැඩිය. මාපියන් විශාල පිරිසකට සිය දරුවන් අහිමිව තිබූ අතර කාන්තාවන් විශාල පිරිසකට සිය සැමියන් අහිමිව තිබුණේය. මෙම බිහිසුණු වටාපිටාව සමාජයේ ප්‍රකෘති මනස විකෘති කිරීමට හේතුවී තිබුණි. සමාජය බියසුලු, ආත්මාර්ථකාමී හා අවිචාරවත් සමාජයක් බවට පත්ව තිබුණේය.

මානව සම්පතට සිදුවී තිබුණු හානියට පසුව ලොකුම හානිය සිදුවී තිබුණේ ආණ්ඩුක්‍රමයට හා ඒ යටතේ තිබෙන ආයතන ක්‍රමයන්ටය. ජනාධිපති ආණ්ඩුක්‍රමය නීතිය හා සම්ප්‍රදායන් නොසලකා ක්‍රියාකරන, මිනිසුන් තලන පෙළන හා වස්තුව කොල්ලකන කුරිරු ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය වී තිබුණේය. ඒ යටතේ තිබෙන සමස්ත ආයතන ක්‍රමයද පාලකයාගේ දේශපාලන අතකොලු ලෙස ක්‍රියාකරන මහජනයා පීඩාවට පත් කරන දූෂිත හා අකාර්යක්ෂම ආයතන ක්‍රමයක් බවට පත්ව තිබුණේය.

යටිතල පහසුකම්වලටද කිසියම් විශාල හානියක් සිදුවී තිබුණද ඊට වැඩි ප්‍රමුඛ වැදගත්කමක් දිය යුතුව තිබුණේ මානව සම්පත්වලට, ආණ්ඩුක්‍රමයට හා ආයතන ක්‍රමයට සිදුවී තිබුණු හානියටය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ අංශ දෙකම නොසලකා සංවර්ධනයේදී ප්‍රමුඛ වැදගත්කමක් ලබා දුන්නේ යටිතල පහසුකම්වලටය. ඒ මගින් ඇතිවූ සංවර්ධනය තිබුණු විකෘතිය උග්‍ර කිරීමට හේතුවූ සංවර්ධනයක් ලෙස සැලකිය හැකිය.

සමාජ ක්‍රමයේ ඇතිව තිබූ අතිවිශාල පරිහානිය හා විකෘතිය නැති කිරීමට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ඇති නොකිරීම නිසා සමාජ ක්‍රමයේ තිබෙන නපුරු ලක්ෂණ වර්ධනය වී එකිනෙකා කෙරෙහි සැකයෙන් හෝ අවිශ්වාසයෙන් බලන, මිථ්‍යා විශ්වාසයන් පසුපස හඹායන, අවිචාරවත් ආත්මාර්ථකාමී හා අපරාධවලට බර තබා ක්‍රියාකරන වඩා අවලස්සන සමාජයක් ඇතිවිය.

ආණ්ඩුක්‍රමයේ හා ආයතන ක්‍රමයේ ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම නිසා සංවර්ණය හා තුළනය සඳහා තිබිය යුතු සංවිධාන ක්‍රම අහිමි කරගත් මහජන සම්පත් කොල්ලකන, නීතිය නොසලකා ක්‍රියාකරන, අන්ත හා දූෂිත පීඩාකාරී පාලන ක්‍රමයක් බවට පාලන ක්‍රමය විකාශනය විය. ඒ යටතේ ඇති කළ යටිතල පහසුකම් සංවර්ධනයද බාහිර පෙනුමෙන් ලස්සන වුවත් සමබර නොවන, යහපත් ඉදිරි දැක්මක් නැති, මහා පරිමාණයෙන් මහජන මුදල් ගසාකන ඵලදායීතාවයෙන් තොර, වැඩසටහනක් බවට පත්වීයැ”යි කිව හැකිය.

ආත්මාර්ථකාමී වීම

ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අංක එකට හා දෙකට විය යුතුව තිබුණේ විකෘති වී තිබුණු සමාජ ක්‍රමය හා ආණ්ඩුක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමය. විකෘති වී තිබුණු සමාජය නැවත ප්‍රකෘතිමත් කිරීමය. අවුල් වී තිබුණු අන්තර්වාර්ගික හා අන්තර් ආගමික සම්බන්ධතා විධිමත් කොට වර්ගය, ආගම, කුලය හා වෙනත් භේද නොසලකා රටේ සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදෙමින් එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන්, ගෞරවයෙන් ක්‍රියාකරන ශ්‍රී ලාංකිකයන්ගේ සමාජයක් ගොඩනැගිය යුතුව තිබුණේය. ඒ සමග ඒ සියලුදෙනාගේ විශ්වාසයට, ගෞරවයට හේතුවන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක්ද ඒ ආණ්ඩුක්‍රමය යටතේ ක්‍රියාත්මක වන කාර්යක්ෂම ආයතන ක්‍රමයක්ද ඇති කරගත යුතුව තිබුණේය. ඒ සියල්ල ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සම්පූර්ණ කළ යුතුව තිබුණු ඓතිහාසික අවශ්‍යතාය.

එහෙත් ඒ කිසිවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් සම්පූර්ණ නොවීය. ජනාධිපතිවරයාට එහිදී වැදගත් වූයේ රට නොව තමාය. ප්‍රභාකරන් පරාජය කළ වීරයා වශයෙන් තමන්ට මේ රට තමන් කැමති තාක් කල් පාලනය කිරීමේ අයිතිය තිබෙන්නේයැ”යි කල්පනා කළේය. ඒ වෙනුවෙන් තමාට හා තමාගේ කණ්ඩායමට මේ රටේ වස්තුව හිමිකර ගැනීමේ අයිතිය තිබෙන්නේයැ”යිද කල්පනා කළේය. ඒ සඳහා තිබුණු ආණ්ඩුක්‍රමයේ ඒකාධිපති ගති ලක්ෂණ උපරිම තත්ත්වයට ගෙනාවේය. බිඳ වැටී තිබුණු ආයතන ක්‍රමයේ ඉතිරි වී තිබුණු සැකිළිද මුළුමනින් කඩා බිඳ දැම්මේය.

දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්නේ තමන්ට පාලනය කරගත නොහැකි මහා අර්බුදයකය. ඔහු හිමිකරගෙන තිබූ අතිවිශාල බලය කඩා බිඳ වැටෙමින් පවතී. කලක් ජනතාව ඔහු වීරයකු ලෙස සලකා ඔහුට පුද සත්කාර කළේය. දැන් ජනතාවට ඔහු පෙනෙන්නේ වීරයකු ලෙස නොව පරාජය කළ යුතුව තිබෙන දුෂ්ටයකු ලෙසය. ජනතාව තුළ ඔහු පිළිබඳව ඇත්තේ ගෞරවයක් නොව හාස්‍යයකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවසානයේ ඉතිහාසයට එකතුවනු ඇත්තේ නිදහසින් පසු මීට පෙර බලයට පැමිණි කිසිදු නායකයකුට නොලැබුණු තරමේ අවකාශයක් ලැබී තිබියදීත් අවශ්‍ය තරමට ප්‍රඥාවන්තවීමට අසමත්වීම නිසා හා ඕනෑවට වඩා ආත්මාර්ථකාමීවීම නිසා මහජනයාගේ ගෞරවයට හේතුවූ සාර්ථක නායකයකුවීමට තිබෙන ඉඩ මුළුමනින් අහිමි කරගත් අසාර්ථක නායකයකු ලෙසය. මේ ජනාධිපතිවරයා තරම් ඉක්මන් වේගයකින් ඉහළ ගිය ඊටත් වැඩි වේගයකින් පහළ වැටුණු ජනාධිපතිවරයකුත් තවත් නැති තරම්ය. ජනාධිපතිවරයා තවමත් මුළුමනින් බිමට වැටී නැත. ඒ තත්ත්වය වළකා ගැනීමට ජනාධිපතිවරයා මුළු වැර යොදා ක්‍රියාකරනු ඇතත් කවර බලයක් යොදා වුවද බිම ඇද වැටීම වැළැක්විය නොහැකිය. නැගී සිටින මහජන බලයක් කවර බලයකටවත් යටපත් කළ නොහැකිය. මේ අවසාන මොහොතේවත් ප්‍රඥාව ඇතිකර ගැනීමට සමත් වේ නම් ජනාධිපතිවරයාට කළ හැකි හොඳම දේ තමන්ගේ ඇද වැටීම නොවැළැක්විය හැකි බව තේරුම් ගෙන ඒ නිසා සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ක්‍රියාකිරීමය.

මෙම ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමෙන් පමණක් රටට ලොකු සුගතියක් විය නොහැකිය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාත්මක නොකළ ඓතිහාසික අවශ්‍යතා සම්පූර්ණ කරමින් ඉතාමත් අශීලාචාර තත්ත්වයක තිබෙන මේ රට ශීලාචාර තත්ත්වයකට ගෙනා යුතුය. ඒ ගැනද මහජනයා තුළ අවධියක් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ යුතුව තිබෙන්නේද ශීලාචාර ආකාරයකට මිස අශීලාචාර ආකාරයකට නොවේ. ශීලාචාර ක්‍රමයකට මාරුවිය හැකිවනු ඇත්තේ ඒ කාර්යද ඉතාමත් ශීලාචාර ආකාරයකට සම්පූර්ණ කිරීමට සමත් වේ නම් පමණය.