විලි බිය අහිමි කරගැනීම

November 9, 2014
Publication:
As the January 2015 campaign begins informally, Ivan argues that a third-term candidacy under the Eighteenth Amendment shows a government that has lost all shame. He recalls the Kalawana case after 1977, when an election petition by Sarath Muttetuwegama unseated the UNP's Pilapitiya and Speaker Bakeer Markar's ruling produced two members for one seat, to show how elections were once policed. He lists the corrupt practices defined in the Presidential Elections Act of 1981 that the head of state is committing, and contrasts the discipline of India's election commission, which checked even Narendra Modi.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පරමාධිපත්‍යය බලය තිබෙන්නේ ජනතාවටය. ජනතාව තමන් සතු පරමාධිපත්‍යය බලය ප්‍රධාන වශයෙන් අභ්‍යාස කරනු ලබන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම මගිනි. ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ සැලකෙනුයේ ජනතාව තමන්ට හිමි පරමාධිපත්‍යය බලය අභ්‍යාස කෙරෙන ඉතා වැදගත් හා උත්තරීතර අවස්ථාවක් ලෙසය. එම අවස්ථාවේදී ඡන්දදායකයන් කෙරෙහි අයුතු ලෙස බලපෑම, අයුතු ලෙස සංග්‍රහ කිරීම, අල්ලස හා දූෂණය සැලකෙනුයේ ඉතාමත් බරපතළ වැරදි ලෙසය. මැතිවරණවලදී නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම රාජ්‍යයේ සේ ම මැතිවරණ විෂය භාර ආයතනයේ හෝ බලධාරියාගේ යුතුකමක් වනවා සේ ම වගකීමක්ද වේ. රටක නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා ඇතිකර තිබෙන සංවිධාන ක්‍රම හා විධිවිධාන ඒ රටේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ස්වරූපය නැතිනම් ඒ රටේ ශීලාචාරකමේ තරම පෙන්නුම් කරන හොඳ කැටපතක් ලෙසද සැලකිය හැකිය.

දැනටමත් නොනිල වශයෙන් ආරම්භ කර ඇති 2015 ජනවාරිවලදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මාපකයක් වශයෙන් ගනිමින් දේශපාලන ශීලාචාරත්වයේදී ශ්‍රී ලංකාව තිබෙන්නේ කවර තැනකද යන්න සලකා බැලිය හැකිය.

18 වැනි සංශෝධනය

තුන්වැනි ධුර කාලයක් සඳහා ජනාධිපතිවරණයක් පවත්වන්නට යන්නේ පළමු වතාවටය. අපේ රටේ තිබුණේ ජනාධිපතික්‍රමයේ හොඳ ශීලාචාර ආකෘතියක් නොවූවද ඒ යටතේ පවා ජනාධිපතිවරයෙකුට ධුරයේ සිටිය හැකි වාර ගණන වාර දෙකකට සීමා කර තිබුණි. එය අශීලාචාරභාවයේදී යාහැකි දුරට පනවන ලද සීමාවක් ලෙස සැලකිය හැකිය. විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ පොරොන්දුවට පටහැනිව විධායක ජනාධිපතික්‍රමයේ රස උපරිම ලෙස උරාබොමින් එය ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළා පමණක් නොව 18 වැනි සංශොධනයෙන් තිබූ ධුර කාල දෙකේ සීමාව ඉවත් කොට ජනාධිපතික්‍රමය වාර සීමා නැති ජනාධිපතික්‍රමයක් බවට පත් කළේය. එම සංශෝධනය මහජනතාවගේ පරමාධිපත්‍යය බලයට බලපාන සංශෝධනයක් වන නිසාම එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියකට සීමා නොකොට ජනමතවිචාරණයකින්ද අනුමත කරගත යුතු බව තීන්දු කිරීමේ වගකීම අධිකරණයට තිබුණද අධිකරණය ඒ වගකීම ඉටු කළේ නැත.

ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් තවත් කලකට පසුව තුන්වැනි ධුර කාලයක් සඳහා වන ජනාධිපතිවරණයක් සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන අවස්ථාවාදී 18 වැනි සංශෝධනයේ අවුල්සහගත නිමාව තුළ මෙම ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමේ හැකියාවක් නැති බවට හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් සිල්වා විසින් නෛතික තර්කයක් ඉදිරියට ගෙනාවේය. මෙම තර්කය මැනවින් පරීක්ෂාවට ලක්වෙමින් එය නෛතික අංශවල මහත් පිළිගැනීමට හේතුවූ බලවත් තර්කයක් බවට පත්වූයේය. එහෙත් පුදුමයට මෙන් මෙම බලවත් නීති තර්කය ඉදිරියේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ ආණ්ඩුව සසල වූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඉදිරිපත්වූ එම නීති තර්කය නිෂ්ප්‍රභ කරන්නටද ආණ්ඩුවේ පැත්තෙන් කිසිදු උත්සාහයක් ගත්තේද නැත. හැකිනම් අධිකරණය ඉදිරියට ගොස් ප්‍රශ්නය විසඳා ගන්නා ලෙස ආණ්ඩුව විටින් විට කියා සිටියා පමණය. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබියදීත් 18ට ඉදිරිපත් කරන ප්‍රතිසංශෝධනයක් මගින් 18 තිබෙන වැරදි නිවැරදි කරගැනීමට උත්සාහ කළේද නැත. වරදක් තිබේද කියා දැනගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගියේද නැත. 18 වැනි සංශෝධනයේ බරපතළ ගැටලු තිබියදී එම තත්ත්වය නිවැරදි කරගැනීමෙන් තොරවම තුන්වැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයකට යෑමට තීන්දු කිරීමෙන්ම පෙනෙන්නේ නීතියෙන් එල්ල වන සියලු අභියෝගවලින් තමා ආරක්ෂා කිරීම අධිකරණය විසින් ඉටුකළ යුතු යුතුකමක් ලෙස ජනාධිපතිවරයා විශ්වාස කරන බවය.

අධිකරණය හා මැතිවරණ කොමසාරිස්

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ මැතිවරණවලදී පවිත්‍රතාවද නිදහස් හා සාධාරණ බවද ආරක්ෂා කිරීමේ වගකීම සේ ම නැවත ජනතාවගේ පරමාධිපත්‍යයට අදාළ නෛතික ප්‍රශ්නවලදී ජනතාවට තිබිය යුතු පරමාධිපත්‍ය බලය කෙළසන්නට හෝ හීන කරන්නට ඉඩ නොදී ආරක්ෂා කිරීමේ වගකීමද ප්‍රධාන

කොට පැවරී තිබෙන්නේ අධිකරණයටය. මෙම විෂයේදී ශ්‍රී ලංකාවේ අධිකරණ ඉන්දියානු අධිකරණ තරම් නිර්මාණශීලී නැතත් අපේ අධිකරණය විශාල පරිහානියකට ඇද වැටෙන්න පෙර කාලයේදී අවස්ථා ගණනාවකදී අධිකරණය තමන් වෙත පැවරී තිබුණු එම යුතුකම හොඳින් ඉටුකර තිබෙන බව කිව යුතුය. ඒ අවස්ථා අතරින් තෝරාගත් එක නිදර්ශනයක් මෙහි ගෙනහැර දක්වනුයේ එම ආරාවුලේදී අධිකරණය පමණක් නොව මැතිවරණ කොමසාරිස්වරයාද තීරණාත්මක උරගා බැලීමකට ලක්වූ අවස්ථාවක් ලෙස සලකාය.

1977 මැතිවරණයෙන් කලවාන ආසනයට එජාපයෙන් තේරී පත්ව සිටි පිලපිටිය මන්ත්‍රීවරයාට එරෙහිව ඔහුගේ ප්‍රධාන තරගකරු වූ සරත් මුත්තෙට්ටුවගම මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළේය. එම මැතිවරණ පෙත්සමේදී සරත් මුත්තෙට්ටුවගම ශක්තිමත් තත්ත්වයක සිටින බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. මේ අතර පිලපිටිය මන්ත්‍රීවරයා රිය අනතුරකට මුහුණදී එතැන් සිට නිවාඩු ගැනීමකින් තොරව පිට පිට මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගි නොවීම නිසා ඔහුගේ පාර්ලිමේන්තු අසුන 1979 ජනවාරි 5 වැනිදා හිස්විය. එක්සත් ජාතික පක්ෂ ලේකම්වරයා එදිනම පිලපිටිය මහතා කලවාන ආසනය සඳහා තුණ්ඩු ක්‍රමයට පත් කළ මන්ත්‍රීවරයා ලෙස නම් කරන ලද අතර පසුදිනම ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

මැතිවරණ පෙත්සමෙන් පිලපිටිය පරාජය වී ඔහුගේ තේරීම් පත්වීම අවලංගු විය. එම තීන්දුවට එරෙහිව පිලිපිටිය අභියාචනයක් ඉදිරිපත් කළද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයේදී දෙන ලද තීන්දුව අනුමත කළේය. එහෙත් පිලපිටිය තවදුරටත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ආවේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා කලවාන ආසනයට අතුරු මැතිවරණයක් සූදානම් කළේය. 1980 දෙසැම්බර් 10 වැනි දින කලවාන ආසනය සඳහා නාමයෝජනා භාරගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා රත්නපුර දිසාපතිට දැන්වීය. ඒ අතරතුර කාලයේදී පිලපිටිය කතානායකවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කළේය. “තමා දෙවැනි වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ තුණ්ඩු ක්‍රමයට බවත් එම තේරී පත්වීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් නොවන බවත්, ඒ නිසා කලවාන මන්ත්‍රීවරයා තමා වන බවත් ඒ සඳහා තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔහු එම පෙත්සමෙන් කතානායකවරයාගෙන් ඉල්ලා තිබුණි.

නාමයෝජනා දිනට පෙරදින කතානායක බකීර් මාකර් මහතා පිලපිටිය මන්ත්‍රීවරයාගේ පෙත්සම පිළිබඳව සිය තීන්දුව ප්‍රකාශ කළේය. පත්කළ මන්ත්‍රීවරයකු වශයෙන් පිලපිටිය මහතා කලවාන ආසනයේ මන්ත්‍රිවරයා බව ඔහු ප්‍රකාශ කළේය. මෙම හාස්‍යජනක නාට්‍යයේ නියම අධ්‍යක්ෂවරයා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බව කිසිවකුටත් රහසක් නොවීය. ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාද (එම්.ඒ. ජයසේකර) දැන සිටියේය.

කතානායකවරයාගේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා කතානායකගේ තීන්දුව නොසලකා නාමයෝජනා භාර ගත්තේය. අතුරු මැතිවරණය සඳහා කෙරෙන කටයුතු නොකඩවා ඉදිරියට කරගෙන ගියේය.

කලවාන ආසනයට මන්ත්‍රීවරුන් දෙදෙනකුට අසුන් ගැනීමට ඉඩ ලැබෙන ලෙස ව්‍යවස්ථා සංශෝධනය කරන බව දෙසැම්බර් 17 වැනිදා කැබිනට් ප්‍රකාශක ආනන්ද තිස්සද අල්විස් කියා සිටියේය.

කලවාන ආසනයට මන්ත්‍රීවරුන් දෙදෙනකු පත් කළ හැකි වන ලෙස සකස් කළ තුන්වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදුව එය අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් පස් කට්ටුවක් ඉදිරියේ විමර්ශනයට ගනු ලැබීය. ජනවාරි 12 වැනි දින පැවැත්වීමට නියමිත කලවාන අතුරු මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ පුරප්පාඩුවක් නැති නිසා තේරී පත්වන මන්ත්‍රීවරයාට ඒ සඳහා අවස්ථාවක් ලබාදීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කරන බවට නීතිපති තර්ක කළේය. ජනතාවගේ කැමැත්ත නොමැතිව මන්ත්‍රීන් 168 දෙනාට අමතරව එක මන්ත්‍රීවරයකු හෝ පාර්ලිමේන්තුවට ඇතුළත් කරගැනීමේ අයිතියක් පාර්ලිමේන්තුවට නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව විය. මේ නිසා එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් අනුමත වීම ප්‍රමාණවත් නොවන බවද ඊට ජනමතවිචාරණයකින්ද අනුමැතිය ලබාගත යුතු බවද ප්‍රකාශ කර සිටියේය.

මෙම තීන්දුවෙන් පසුව පිලපිටිය මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ සමග ජනාධිපතිවරයා ඔහු රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ සභාපති පදවියට පත් කළේය.

ජනතාවගේ පරමාධිපත්‍යය බලයට අදාළ එම ආරාවුලේදී මැතිවරණ කොමසාරිස්වරයා හා ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා සතුටු කරන තැනකට ගියේ නැත. ඒ වෙනුවට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කළේය. එහෙත් වර්තමානයේ දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය ඊට කොතරම් වෙනස්ද?

මැතිවරණ කාලසටහන

ජනාධිපතිවරණය හා ජනාධිපතිවරණ කාලසටහන මැතිවරණ කොමසාරිස්වරයාගේ අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය හා සාධාරණත්වය තීරණාත්මක ලෙස උරගා බැලීමකට ලක්වන අවස්ථාවක් වන්නට නියමිතය. පාප් වහන්සේගේ ලංකා සංචාරය සඳහා දින නියම කර තිබියදී පාප් වහන්සේගේ සංචාරයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබේ. ජනාධිපතිගේ දෙවැනි ධුර කාලයේ සිව් අවුරුද්ද සම්පූර්ණවන්නේ නොවැම්බර් 19 වැනිදාටය. පාප්වහන්සේගේ ලංකා සංචාරය යෙදී තිබෙන්නේ ජනවාරි 13, 14 යන දින දෙකේය. මේ සීිමිත රාමුව තුළ ජනාධිපතිවරයාගේද අභිලාෂයන්ට ගැළපෙන ලෙස මැතිවරණ කාලසටහනක් සකස් කරන්නට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවී තිබේ. ජනාධිපතිගේ අපේක්ෂාද පැහැදිලිය. පාප්වහන්සේ එන්නට පෙර අඩුම කාලසීමාවක් තුළ ජනාධිපතිවරණය පැවැත්වීම ජනාධිපතිගේ එක අභිලාෂයකි. ජ්‍යොතිෂඥයා ලබාදී තිබෙන සුබ නැකත් දිනයට ජනාධිපතිවරය පැවැත්වීම ඊළඟ අභිලාෂය ලෙස සැලකිය හැකිය.

සුබ නැකත් දිනය ප්‍රකටය. ජනාධිපතිවරණ දිනයද අප්‍රකට නැත. ඒ ගැන විවිධ කතා විවිධ මැති ඇමතිවරුන් කියා ඇති අතර ජනමාධ්‍යයද ඒ ගැන විවිධ කතා පළකර තිබේ. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන ස්ථිරසාර අදහසක් ජනාධිපතිවරයාට සේ ම ආණ්ඩුවට ද තිබෙන බව පෙනේ. ඒ සියල්ල එකට ගත්විට බැලූ බැල්මට පෙනෙන්නේ මැතිවරණ කාලසටහන පිළිබඳව ජනාධිපතිවරයා හා මැතිවරණ කොමසාරිස්වරයා අතර කිසියම් එකඟතාවක් ඇති කරගෙන තිබෙන බවය. ජනාධිපතිවරණ පනත අනුව නම් ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීමෙන් පසුව නාමයෝජනා දිනය හා මැතිවරණ පැවැත්වෙන දිනය තීන්දු කළයුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාය. මැතිවරණ කොමසාරිස්වරයා ඒ සඳහා ජනාධිපතිවරයා සමග කිසියම් එකඟතාවක් ඇති කරගෙන තිබෙන්නේ නම් එය සදාචාර විරෝධී වනවා පමණක් නොව නීතියටද පටහැනිය. ජනාධිපතිවරණයක් තරගයකි. මැතිවරණ කොමසාරිස්වරයා තරගකරුවන්ට සමාන ලෙස සැලකිය යුතුය. තෝරාගත් තරගකරුවකුට විශේෂ සැලකිලි දක්වන හා ඔහුගේ අවශ්‍යතාවන්ට ගැළපෙන කාලසටහනක් සකස් කරදීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට නැත. මැතිවරණ කොමසාරිස්වරයා සාධාරණ විය යුතුවා සේ ම ඒ සාධාරණ බව පෙනෙන්නටද තිබිය යුතුය.

අශීලාචාර ජනාධිපතිවරණයක්

තුන්වැනි ධුර කාලය සඳහා පවත්වන්නට යන ජනාධිපිතවරණය නීතියට අනුකූල නොවන ජනාධිපතිවරණයක් ලෙස සැලකිය හැකි සේ ම දැනටමත් දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය අනුව බලන විට එම ජනාධිපතිවරණය ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයට එකතුවන්නට යන අශීලාචාරම ජනාධිපතිවරණය ලෙසද සැලකිය හැකිය.

ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශ කර නැත. එහෙත් දැනටමත් ජනාධිපතිවරයා සිය ජනාධිපතිවරණ සටන ආරම්භ කර ඇත්තේයැ”යි කිව හැකිය. දැනටමත් ප්‍රධාන මැතිවරණ කාර්යාලය විවෘත කර තිබෙන අතර ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන පවත්වාගෙන යන මහජන රැස්වීම්ද පවත්වාගෙන යමින් තිබෙන්නේය. අරලියගහ මන්දිරයේදී දිනපතාම පාහේ පන්දහසකට රැස්වීමක් පැවැත්වේ. අමාත්‍යාංශ ලේකම්වරයකු 5000ක රැස්වීමක් සංවිධානය කර දිය යුතුය. අරලියගහ මන්දිරයේ පැවැත්වෙන රැස්වීමට යන සෙනඟට ආහාරපානද නොමිලේ ලබාදේ. ඒවාට වැය කෙරෙන්නේ අපේක්ෂකයාගේ පෞද්ගලික මුදල් නොව මහජන මුදල්ය.

අයවැය ඉදිරියට ගත්තේද ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙනය. එය අයවැයකට වඩා ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ජනතාවගේ ඡන්ද ලබාගැනීම සඳහා ක්‍රියාවට නගන ලද විශේෂ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. ඒ සඳහා තේරුමක් ඇති දේවල් සේ ම තේරුමක් නැති දේවල් ද මහජනයාට ලබාදී තිබෙන්නේයැ”යි කිව හැකිය. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කළේය. විශ්‍රාමිකයන්ට දෙන දීමනාද වැඩි කළේය. පිංපඩි ලබන්නන්ට දෙන දීමනාවද වැඩි කළේය. සමෘද්ධි ආධාර ලබාගන්නට දෙන දීමනාද දෙගුණ කළේය. වකුගඩු රෝගීන්ට පමණක් දීමනාවක් දීම ගැන පිළිකා රෝගීන් හා හෘදය රෝගීන් ජනාධිපතිවරයා සමග උරණ නොවිය යුතුය. ආබාධිතයන්ටද විශේෂ දීමනාවක් ලබාදීමට පොරොන්දු විය. වීවල සහතික මිලද වැඩි කළේය. මෙම අයවැය හා ඌව ඡන්දය අතර අපූරු සමානතාවක් පවතී.

ඌව ඡන්දයේදී ආණ්ඩු පක්ෂ අපේක්ෂකයන් මහජනයාට ද්‍රව්‍යමය වශයෙන් දිය හැකි හැම දෙයක්ම දුන්නේය. මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු තේ කඩවලට ආසන හතරක් සහිත ලොකු කුඩයක් දුන්නේය. වඩුවන්ට වඩු කට්ටලය බැගින්ද, මේසන්වරුන්ට මේසන් බඩු කට්ටලය බැගින්ද දුන්නේය. ගෘහණියන්ට කුස්සි බඩු කට්ටලයක්ද දුන්නේය. සිල්ගන්නට සිල් රෙදිද දුන්නේය. එහෙත් ඒ සියල්ල සිදුකෙරුණේ අපේක්ෂකයන්ගේ පුද්ගලික වියදමිනි. අයවැයෙන් සිදුකර තිබෙන්නේ ඒ දේම ඊට වඩා මහා පරිමාණයෙන් හා විස්තීර්ණ ආකාරයකින් වුවත් ඒ සඳහා වියදම් දරා තිබෙන්නේ ජනාධිපතිගේ පුද්ගලික මුදලින් නොව මහජන මුදලිනි. සංදර්ශන දෙක අතර තිබෙන මූලික වෙනස එයයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අයවැයෙන් ලබාදෙන ප්‍රතිපාදනවල පංගුවද විශාල ප්‍රමාණයකින් වැඩි කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන පංගුව කොතරම්ද යන්න පැහැදිලි නැතත් පළාත් සභා මන්ත්‍රීවරයකුට ලබාදෙන ප්‍රතිපාදනවල ප්‍රමාණය ලක්ෂ 100 දක්වා වැඩිකර තිබේ. සමහර ජනමාධ්‍ය වාර්තාකර තිබුණු ආකාරයට ඊට අතිරේක පක්ෂ ආසන සංවිධායකයන්ට රුපියල් ලක්ෂ 100 බැගින් බෙදාදීමට නියමිතය. රජයේ කෂේත්‍ර නිලධාරීන් ලක්ෂයකට රුපියල් 50,000ක් වැනි මිලකට මෝටර් සයිකල් බෙදා දුන්නේය. සියලු පොලිස් නිලධාරීන්ටද මෝටර් සයිකල් ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික විය. දිවි නැගුම වැඩසටහනට අනුයුක්ත සියලු පවුල්වලට රුපියල් 5000 සිට 50,000 දක්වා වන ණය මුදලක් ලබාගත හැකිය. ණය ගෙවිය යුත්තේ වසරක සහන කාලයකින් පසුවය. පොලිය 4%කි. සමෘද්ධි සහනාධාර ලබන පවුල් ලක්ෂ 16කට රුපියල් 5000ක ආධාර මුදලක් නොවැම්බර් 9 වැනිදාට පෙර ලබාදීමට නියම කර තිබේ. මෙම ආධාර මුදල සමග අර්තාපල් කිලෝ දෙකක්ද ලබාදීමට නියමිතය. අර්තාපල් සඳහා යන වියදම හැර රුපියල් 5000ක ආධාර මුදල සඳහා පමණක් යන වියදම රුපියල් මිලියන 8000කි. ඊට අතිරේකව ගුරු සේවයට හා පළාත් පාලන සේවයට අභ්‍යාසලාභීන් 50,000 බැගින් ලක්ෂයක් අභ්‍යාසලාභීන් බඳවා ගැනීමට නියමිතය.

තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමට සූදානමින් ඒ සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයක් මුවවිට තබාගෙන ජනාධිපතිවරයා කරන මේ සියලු ක්‍රියා ඡන්දදායකයන්ගේ අමන්දානන්දයට හේතුවිය හැකි වුවත් ජනාධිපතිවරණ පනත අනුව ඒ සියලු ක්‍රියා සැලකිය යුත්තේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට තරම් බරපතළ දඬුවම් ලැබිය හැකි දූෂිත ක්‍රියා ලෙසය.

1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 76, 77, 78 සහ 79 යන වගන්තිවලින් විස්තර කර තිබෙන අයුතු සංග්‍රහ කිරීම, අයුතු බලපෑම් කිරීම හා අල්ලස් යන ගණයට වැටෙන වැරදි මෙසේ කෙටියෙන් සාර සංග්‍රහ කළ හැකිය.

ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරණයකට පෙර හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන අතරතුර කාලයේදී ඡන්දය ලබාගැනීමේ අරමුණින් හෝ ඊට අනුෂාංගික අරමුණක් සඳහා ඍජු ලෙස හෝ වක්‍ර ලෙස

(අ) යම් කෑමක් බීමක්, අන්නපානයක් හෝ ඊට සම්බන්ධ ද්‍රව්‍යයක් ලබාදීම.

(ආ) ඍජු ලෙස හෝ අන් අයුරකින් යම් මුදලක් හෝ ප්‍රතිෂ්ඨාවක් දීම හෝ ණයට දීමට එකඟවීම.

(ඇ) කෙළින් හෝ අන් අයුරකින් යම් නිලයක්, තනතුරක් හෝ සේවා නියුක්තියක් ලබාදීම. ලබාදීමට එකඟවීම හා පොරොන්දුවීම.

(ඈ) ඒ සඳහා යම් තෑග්ගක්, ණයක් පොරොන්දුවක් ලබාදීම හා ලබාදීමට පොරොන්දුවීම. අයුතු සංග්‍රහ කිරීමේ වරදට, හෝ අයුතු බලපෑමේ වරදට හෝ අල්ලස්දීමේ වරදට වරදකරු විය යුතුය.

මේ ගණයට වැටෙන වැරදි දූෂණ ගණයෙහිලා සැලකිය යුතු අතර එවැනි වරදකට අධිකරණය විසින් වරදකරුවකු කරන ලද පුද්ගලයකුට මාස 12ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගතකිරීමෙන් දඬුවම් කළ හැකිය.

එවැනි වරදකට වරදකරු කරනු ලැබූ පුද්ගලයකු වරදකරු කරනු ලැබූ දින සිට අවුරුදු පහක කාලයක් සඳහා ඡන්දය හිමියකු ලෙස ලියාපදිංචි කිරීමට, ඡන්දය දීමට හෝ ඡන්දයකට තරග කිරීමට නුසුදුසු පුද්ගලයකු ලෙස සැලකිය යුතුය. වරදකරු කරනු ලැබූ දිනයෙහි සිට ඔහු ජනාධිපතිවරයකු ලෙස තෝරා පත්කරගනු ලැබ සිටියේ නම් ඔහුගේ තේරී පත්වීම වරදකරු කරනු ලැබූ දිනයේ සිට නිෂ්ප්‍රභ විය යුතුය.

රටේ රාජ්‍ය නායකයා මෙම වැරදි සිදුකරමින් තිබෙන්නේ ඒවා බරපතළ වැරදි බව නොදැනද? නැතිනම් තමන් මොනවා කළද තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමට ඉඩක් නැතැයි කියා සිතන නිසාද?

රාජ්‍ය නායකයා කරමින් තිබෙන මෙම වැරදි බරපතළ වැරදි බව මැතිවරණ කොමසාරිස්වරයා නොදන්නේද? ඒ බව දන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයා ඒ බව දැනුම්දීමේ යුතුකමක් හා වගකීමක් ඔහුට නැතිද? නැතිනම් ඊට එරෙහිවීම මගේ වැඩක් නොවේයැ”යි මැතිවරණ කොමසාරිස්වරයා කල්පනා කරනවාද?

පසුගිය ඉන්දීය මැතිවරණයේදී බීජේපී පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස පෙනී සිටි මෝදි මැතිවරණ නීතියට පටහැනිව යන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය කරන අවස්ථාව වන විට එම මැතිවරණයෙන් මෝදි අගමැති වන බව මුළු රටම දැන සිටියේය. එසේ තිබියදීත් මැතිවරණ කොමිසමේ ප්‍රධානියා මෝදිගේ එම ප්‍රසිද්ධ ප්‍රකාශය හෙළා දකින නිවේදනයක් නිකුත් කළ අතර නැවත වරක් එවැනි ප්‍රකාශයක් කළහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.

මෝදි මැතිවරණ කොමිසමේ ප්‍රධානියාගේ ප්‍රකාශයට පිළිතුරු දෙන තැනකට ගියේ නැත. මැතිවරණ කාලය තුළ නැවත ඒ වරද සිදු කළේද නැත. මෝදි බලයට පත්වීමෙන් පසුව මැතිවරණ කොමිසමේ ප්‍රධානියාට අනියම් ලෙස හෝ පහරදෙන තැනකට ගියේ නැත.

අපේ රටේ නැත්තේද එම විනය හා ශීලාචාරකමය.