රාවයේ මහජන පෙත්සම

November 2, 2014
Publication:
Ivan describes the response to Ravaya's public petition for reform of government: calls and emails on the day it went on sale from Gamini Viyangoda, Chandra Jayaratne, a professional association and ordinary readers. Ravaya's readers, he writes, are an unusual constituency; the petition's aim is to win a political framework the country needs after decades of decline. He then examines the President's election-year budget promises, from university places to allowances for kidney patients and pensions for garment workers, and asks what they are worth.

ආණ්ඩු ප්‍රතිසංස්කරණ සඳහා වන රාවයේ මහජන පෙත්සම පාඨකයන් අතට පත් කරන අවස්ථාවේදී ඒ කෙරෙහි පාඨකයන් කවර ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන ප්‍රශ්නය මාගේ ඉමහත් කුතුහලයට හේතුවී තිබුණේයැ”යි කිව හැකිය. ඒ මගින් අපේක්ෂා කරන අරමුණ සපුරා ගැනීම සඳහා පාඨකයින් එම වැඩසටහන උද්යෝගීමත්ව භාරගත යුතුව තිබුණේය. ඒ සඳහා එම වැඩසටහනට එකතුවීම මගින් තමන් රටේ පොදු යහපත සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටුකරන්නේය යන හැඟීම ඔවුන් තුළ ඇති කළ යුතුව තිබුණේය.

රාවය වෙළෙඳපොළට නිකුත් කෙරුණු සිකුරාදා දිනයේදීම පෙරවරු 8.30ට පමණ ගාමිණී වියන්ගොඩ දුරකතනයෙන් මා අමතා කතා කළේය. ඒ වනවිට මා සිටියේ කාර්යාලයට යෑම සඳහා සූදානම්වෙමින් මා නැවතුම් ගෙන සිටි නිවසේය. චන්ද්‍රා ජයතර්න (ඔහු බැංකුකරුවෙකි, වෙළෙඳ මණ්ඩලයේ හිටපු ප්‍රධානියෙකි.) රාවය අමතා යවන ලද ඊමේල් පණිවුඩයක පිටපත් තමා ඇතුළත් තවත් කිහිපදෙනකු වෙතද එවා තිබෙන බවත් ඔහු එම පෙත්සම ඉතා අගේ කොට තිබෙන බවත් පෙත්සමේ ඉංග්‍රීසි දෙමළ විද්‍යුත් පිටපත් ඔහු ඉල්ලා තිබෙන බවත් ගාමිණී කීවේය. කාර්යාලයට යාමටත් පෙර හිමිදිරියේ ලැබුණු මෙම පුවත මා සිත කුල්මත් කළේයැ”යි කිව හැකිය.

කාර්යාලයට පැමිණ චන්ද්‍රා ජයරත්නගේ ඊමේල් පණිවුඩය ලබාගනිමින් සිටින අවස්ථාවේදීම තවත් ඊමේල් පණිවුඩයක් ලැබුණි. එය එවා තිබුණේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයට අනුයුක්ත සංවිධානයක සභාතිවරයකු විසිනි. එවන ලද කෙටි පණිවුඩයෙන් කියා තිබුණේ රාවයේ පෙත්සම තම සංවිධානයේ සියලු සාමාජිකයන්ගේ අවධානය පිණිස යොමු කරන බවය. ඉන් තවත් විනාඩි කිහිපයකට පසුව තවත් ඊමේල් පණිවුඩයක් ලැබුණි. එය එවා තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වූ කුමුදු කුසුම් කුමාර විසිනි. නිර්මිලිටරිකරණයක අවශ්‍යතාව එම පෙත්සමට ඇතුළත් කළයුතු වැදගත්ම කරුණක් බව ඔහු කියා තිබුණි. පෙත්සමට කරුණු එකතු කරමින් එය සංශෝධනය කිරීමේ අයිතිය මහජනයාට ලබාදිය යුතු බවද ඔහු කියා තිබුණි. පෙත්සමේ දෙමළ හා ඉංග්‍රීසි විද්‍යුත් පිටපතක් තමා වෙත එවන ලෙසද ඔහු කියා තිබුණි.

සිව්වැනි පණිවුඩය දුරකතන පණිවුඩයකි. ඒ පොළොන්නරුවේ කතෝලික පූජකයකු කරන ලද ඉල්ලීමකි. පෙත්සමේ පිටපත් පහක් තමා වෙත එවන ලෙස ඔහු දැනුම් දී තිබුණි. පස්වැන්නද දුරකතන පණිවුඩයකි. කතා කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විශ්‍රාම ගිය ලේකම්වරයෙකි. පෙත්සම කියවූ විට ලොකු ආස්වාදයක් ඇතිවූ බවත් රටට අවශ්‍ය වෙනස්කම් එහි හොඳින් සාර සංග්‍රහ කර තිබෙන බවත් ඔහු කීවේය. හයවැනි පණිවුඩයද දුරකතන පණිවුඩයකි. කතා කළේ රත්නපුරෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේ කෙනෙකි. මෙම පෙත්සම් ව්‍යාපාරය ලොකු පින්කමක් ලෙස සැලකිය හැකි බවත් එය සාර්ථක කරගැනීම සඳහා දිය හැකි උපරිම සහාය දෙන බවත් කියා සිටියේය.

ඉන්පසු එම දිනයේ ඉතිරි කොටසේදී සේ ම සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකේද විටින් විට ලැබෙන දුරකතන පණිවුඩවලින් වැඩි කොටසක් පෙත්සම ගැන කරන කතාබහ වීයැ”යි කිව හැකිය. ඒ සියලු ප්‍රතිචාරවලින් මට පෙනී ගියේ රාවය පාඨකයන් තුළ පෙත්සම් ව්‍යාපාරය ගැන උද්යෝගයක් ඇතිවී තිබෙන බවය. රාවය පාඨකයන් කිසියම් විශාල පිරිසක් එම අරමුණ වෙනුවෙන් උද්යෝගීමත් ලෙම ක්‍රියාකාරී වන තැනකට ගියහොත් අත්සන් දශ ලක්ෂයේ ඉලක්කය සපුරාගත හැකි යථාර්ථයක් බවට පත්කරගත හැකිය.

රාවය පාඨකයන් සැලකියයුත්තේ සාමාන්‍ය සමාජයට වඩා දැනුවත් සංවේදී හා හැඟීම්බර සමාජ කණ්ඩායමක් ලෙසය. ඔවුන් ක්‍රියාකාරී ලෙස සමාජය කෙරෙහි බලපාන තැනකට ගියහොත් සමාජය කෙරෙහි ඇති කළ හැකි බලපෑම විශාලය.

මෙම පෙත්සම් වැඩසටහනේ එක් වැදගත් අරමුණක් වනුයේද එයයි. එනම් රාවය පාඨකයන් සමාජය කෙරෙහි බලපෑම් ඇති කරන තැනකට ගැනීමය. නැතිනම් ශීලාචාර, සමාජ, දේශපාලන ක්‍රමයක් තනාගන්නා වැඩසටහනකට ඔවුන් ක්‍රියාකාරී ලෙස දායක කරගැනීමය. ඒ මගින් ඔවුන් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින්නන් බවට පත්කර ගැනීමය. පෙත්සමෙන් අපේක්ෂා කරන්නේ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනයාට අවබෝධයක් ලබාදීමය. එය අත්සන් කළයුතු පෙත්සමක් බවට පත්කර ඇත්තේ මහජනයාට අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අවබෝධයක් ලබාදෙනවාට අතිරේකව ඊට අත්සන් කිරීම මගින් මහජනයා ඊට අනුමැතිය පළකරන්නන් බවට පත්කරගැනීම සඳහාය. කියවා අත්සන් තැබීමද ක්‍රියාවකි. අත්සන් ගැනීම ඊට වඩා ලොකු ක්‍රියාවක්. අත්සන් එකතු කරන්නාට අත්සන් කරන අයගේ අනුමැතිය දිනාගැනීම සඳහා අදහස් පළකරන්නට සිදුවේ. සමහරවිට තර්ක කරන්නටද සිදුවේ. අත්සන් තබන්නාට වැඩි ක්‍රියාවක් අත්සන් එකතු කරන්නා අතින් සිදුවේ. ඒ මගින් ඔහු හෝ ඇය ආණ්ඩු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයකු බවට පත්කරයි. ඒ අර්ථයෙන් මෙම පෙත්සම් වැඩසටහන ආකාර දෙකකින් මහජනයා පුහුණු කරන වැඩසටහනක් ලෙස සැලකිය හැකිය.

නිදහස ලැබීමෙන් පසු දශක තුනකට පසුව එක දිගට තවත් දශක තුනක් තරම් කාලයක් රට තිබුණේ ඉතාමත් අශීලාචාර තත්ත්වයකය. එය මිනිසුන් අතුරුදන් කරන මිනිසුන් මරණ, මිනිසුන් වධහිංසාවලට ලක් කරන, මිනිසුන්ට භීතියෙන් ජීවත්වීමට බල කෙරුණු රුදුරු හා අඳුරු යුගයක් විය. ඒ කාලයේදී විවිධ විමුක්තිකාමීන් හා ආරක්ෂක හමුදා අතින් ඝාතනයට ලක්වූ අයගේ සංඛ්‍යාව ලක්ෂයකට වැඩිය. දීර්ඝ කාලයක් රටේ පැවති එම බිහිසුණු අශීලාචාර වටාපිටාව මිනිසුන් සේ ම මිනිස් සම්බන්ධතාද, රටේ පැවති ආයතන ක්‍රමයද විකෘති කළේය. දශක තුනක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවති මෙම බිහිසුණු අශීලාචාර වටාපිටාව විසින් ඇති කර තිබුණු විකෘතියේ නිවැරදි කරන ශීලාචාරත්වය කරා යන ප්‍රතිසංවිධානයක් ඇති කළ යුතුව තිබුණේ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමගය. එහෙත් යුද්ධයෙන් පසු එවැන්නක් සිදු නොවීය. ඒ වෙනුවට සිදුවූයේ ලැබූ ජයග්‍රහණයේ මහා පම්පෝරි මැද්දේ ඇතිව තිබූ අශීලාචාර තත්ත්වයේ මූලික වෙනසක් ඇති කිරීමෙන් තොරව එම තත්ත්වය ගල් ගැසෙන්නට ඉඩහැරීමය. ඒ මගින් ඇතිවී තිබෙන ඵලය අශීලාචාර වනවා සේ ම විනාශකාරීය. දැන් රටේ ජනතාවට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ කාර්යක්ෂම හා සාධාරණ පාලනයක් සඳහා හා සංවරණය හා තුලනය සඳහා තිබුණු සියලු ආයතන ක්‍රම බිඳ වැටී මුළු රටම එක පුද්ගලයකුගේ දැඩි ආධිපත්‍යයකට නතුවූ අශීලාචාර වටාපිටාවකය. රට තිබෙන්නේ පවතින මෙම අශෝභන හා අශීලාචාර තත්ත්වය විධිමත් ලෙස ප්‍රතිසංවිධානයකට ලක්කිරීමෙන් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකි තත්ත්වයකය. ආණ්ඩුව රට ප්‍රතිසංවිධානයට ලක් කෙරෙන ප්‍රතිසංස්කරණවලට තරයේ විරුද්ධය. ඒ මගින් රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතිය ආණ්ඩුව අහිමි කරගෙන තිබෙන අතර පවත්වන්නට නියමිතව තිබෙන මැතිවරණ දෙකෙන්ම ආණ්ඩුව පරාජය කොට රට ප්‍රතිසංවිධානයකට ලක් කෙරෙන ප්‍රතිසංස්කරණවලට බර තබා ක්‍රියා කරන ආණ්ඩුවක් ඇති කර ගැනීම රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්වී ඇතැ”යි කිව හැකිය.

මෙම පෙත්සම් ව්‍යාපාරයේ අරමුණ රටට අවශ්‍ය කරන එම පරිවර්තනය සඳහා ජනතාව දැනුවත් කිරීමය. ඔවුන් ඇත්ත විපර්යාසයක් වෙනුවෙන් පෙනී සිටින දැනුවත් හා හැඟීම්බර ජනතාවක් බවට පත්කිරීමය. මෙම රට වසාගෙන තිබෙන අශීලාචාර තත්ත්වය නැති කොට රට සියලුදෙනාගේ ගෞරවයට හේතුවන ශීලාචාර රටක් බවට පත් කළ හැකිවනු ඇත්තේ දශ ලක්ෂ ගණනක් ජනතාව දැනුවත් ලෙස හා ක්‍රියාකාරී ලෙස එම පරිවර්තන ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායක වේ නම් පමණය.

එම නිසා මෙම පෙත්සම් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා උපරිම මට්ටමින් දායක වනන ලෙස අපි පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. ඊට ක්‍රියාකාරී ලෙස දායක වන ලෙස වෘත්තීයවේදී සංවිධාන, වෘත්තීය සමිති සංවිධාන හා බහුජන සංවිධානවලින් ඉල්ලා සිටිමු.

පොරොන්දුවල යථාර්ථය

ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේදී කරන ලද කථාවකදී මුස්ලිම් ජනයා සඳහා අපූරු පොරොන්දුවක් ලබාදී තිබේ. ඒ මක්කම නොගිය හැම මුස්ලිම් ජාතිකයකුටම ජීවිතේ එක වරක් හෝ ආණ්ඩුවේ වියදමින් මක්කමට යෑමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඇති කරන බවය. එවිට ඒ අයිතිය බෞද්ධ, ක්‍රිස්තියානි හා හින්දු බැතිමතුන්ටද දෙන්නට සිදුවන්නේය. දඹදිව වන්දනා නොකළ බෞද්ධයන්ව එක වරක් ආණ්ඩුවේ වියදමින් දඹදිව යවන්නට සිදුවේ. ජෙරුසලමට නොගිය ක්‍රිස්තියානින්ද ජෙරුසලටම යවන්නට සිදුවේ. ඉන්දියාවට නොගිය හින්දුන්වද ඉන්දියාවටද යවන්නට සිදුවන්නේය. ලංකාවේ ඉන්නේ මෙවැනි බොරු සෝභන පොරොන්දුවලින් මුලා කළ හැකි මෝඩ ජනතාවක්ද?

උසස් අධ්‍යාපනයේ ඉලක්කද පුදුමසහගතය. විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 2020 වනවිට 100,000 දක්වා හතර ගුණයකින් ඉහළ දැමීමට අපේක්ෂා කරයි. ශිෂ්‍ය සංඛ්‍යාව හතර ගුණයකින් ඉහළ දමන විට විශ්වවිද්‍යාලවල ඉඩකඩ හෝ අලුතෙන් අවශ්‍ය විශ්වවිද්‍යාල සංඛ්‍යාවද හතර ගුණයකින් ඉහළ දමන්නට සිදුවේ. තිබෙන විශ්වවිද්‍යාල ප්‍රමාණය හැර එකම අලුත් විශ්වවිද්‍යාලයක්වත් ඉදිකර නැත. ඒ සඳහා සැලැස්මක්ද නැත. ප්‍රතිපාදන වෙන් කිරීමක් ද නැත. එයද වැල්ලේ තනන්නට හිතන මාලිගාවක් ලෙස සැලකිය හැකිය.

රජරට වකුගඩු ආබාධිතයන්ට රුපියල් 3000ක මාසික දීමනාවක් ගෙවන්නට යන බව අයවැයේ සඳහන් වේ. එය රජරට වකුගඩු රෝගීන්ට පමණක්ද නැතිනම් සියලු වකුගඩු රෝගීන්ටද යන්න අපැහැදිලිය. වකුගඩු රෝගීන්ට විශේෂ දීමනාවක් ලබාදීම වරදක් නැතත් දීමනාවක් දෙනවා නම් එය වකුගඩු රෝගීන්ට පමණක් දීම සාධාරණවන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවිය හැක. පිළිකා රෝගීන්, හෘදය රෝගීන් ඒ ගණයට ඇතුළත් නොකරන්නේ ඇයිදැ”යි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. එවිට එවැනි රෝගවලට ගොදුරු වී සිටින සියලුදෙනාට දීමනා දෙන්නට ආණ්ඩුවට සිදුවනු ඇත්තේය. රෝගවලදී ආණ්ඩුව කළයුතුව තිබෙන්නේ රෝගීන්ට මුදල් සහනාධාර දීම නොව, එම රෝගවලට නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකි කාර්යක්ෂම ආයතන ක්‍රමයක් ඇති කිරීමය. හෘදය රෝග, පිළිකා, වකුගඩු ශල්‍යකර්මවලදී දිග බලාපොරොත්තු ලේඛනයක රැඳී නොසිටින කඩිනමින් ශල්‍යකර්ම කරවා ගැත හැකි තත්ත්වයක් සහතික කරදීමය.

හැම පුද්ගලයකුටම නොමිලේ රෝග පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමේ අයිතිය ලබාදීමේ අයිතියද අයවැයෙන් සහතික කර තිබේ. බැලූ බැල්මට පෙනෙන්නේ නවීන ස්කෑනර් පරීක්ෂණයකට මුහුණදී වාර්තාවක් ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදී තිබෙන බවය. එවැනි පරීක්ෂණ වාර්තාවක් සඳහා අය කෙරෙන මිල රුපියල් 14,000ක් පමණ වේ. එහෙත් මේ වැඩසටහන සඳහා වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 500ක් පමණය. එවිට එක පුද්ගලයකුට වැටෙන්නේ රුපියල් 25ක් වැනි මුදලකි. එවැනි සොච්චම් මුදලකින් හොඳ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නේ කෙසේද?

ඇඟලුම් සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමටද නියමිතය. සාමාන්‍යයෙන් ඇඟලුම් සේවකයන් ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන්නේ කසාද බඳින තෙක් පමණය. එවැනි පිරිසකට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදෙන්නේ කෙසේද යන්න ප්‍රහේළිකාවකි. අනෙක් අතට ගොවීන්ට ලබාදෙන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය මුළුමනින් විහිළුවක් බවට පත්ව තිබෙන තත්ත්වයක් තුළ අලුතෙන් ඇති කරන තවත් විශ්‍රාම වැටුප් ක්‍රම ගැන විශ්වාස කළහැක්කේ කෙසේද?

ජේ‍යෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරි කිරීම් සඳහා 12%ක ස්ථිර පොලියක් ලබාගත හැකි ක්‍රමයක් ස්ථාපිත කිරීම ඉතා හොඳ දෙයක් වුවත් එය ඇති කර තිබෙන අවිධිමත් ක්‍රමය තුළ සියලු වාණිජ බැංකු බරපතළ අර්බුදයකට තල්ලු වනු නොවැළැක්විය හැකිය. එවැනි සියලු තැන්පතුකරුවන් 12%ක පොලියක් ලබාගැනීම සඳහා වාණිජ බැංකුවල තිබෙන ස්ථිර තැන්පත් ඉවත් කරගන්නා තත්ත්වයකට තල්ලු වනු නොවැළැක්විය හැකිය. එවිට වාණිජ බැංකු ලොකු අර්බුදයකට තල්ලු වනු නොවැළැක්විය හැකිය.

අයවැයේ දර්ශනය මෙම තීරණාත්මක මොහොතේදී ජනතාව රවටා ඔවුන්ගේ ඡන්ද ලබාගැනීම බව ඉතා පැහැදිලිය.