අශීලාචාර 18 පරාජය කිරීම

September 7, 2014
Publication:
Following up the previous column, Ivan tests Sarath Silva's argument against the constitution. Transitional provisions in Chapter XXI of the 1978 constitution, including Article 160, show how J.R. Jayewardene was specially made eligible, and the Eighteenth Amendment, rushed through on the wave of war victory, has a technical flaw that is not easily corrected. Seeking a favourable ruling from the Supreme Court would put the judges in a trap; opposing injustice is a human duty, and all who want change should unite to defeat the Eighteenth.

මෙම ලිපියේ අරමුණ වනුයේ පසුගිය ලිපියෙන් (සරත් සිල්වාගේ කාල බෝම්බය) සාකච්ඡාවට ලක් කෙරුණු 18 වැනි සංශෝධනයේ තිබෙන වැරදි නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරිමේ අයිතියක් නැත්නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සිහින දකින සියලු දෙනා විසින් ඇතිවෙමින් තිබෙන එම විශේෂ දේශපාලන තත්ත්වය ඉදිරියේ ඔවුන් දකින සිහිනය සැබෑ කරගැනීම සඳහා කළයුත්තේ කුමක්ද යන ප්‍රශ්නය විස්තරාත්මකව සලකා බැලීමය. එසේම මගේ ලිපියේ තිබුණු දෝෂයක්ද නිවැරදි කළ යුතුව තිබෙන අතර අප කුමක් කළ යුතුද යන ප්‍රශ්නය සලකා බලන්නට පෙර සරත් සිල්වාගේ තර්කය සනාථ කෙරෙන ප්‍රබල සාක්ෂියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වෙමි. එම සාක්ෂිය මගේ සොයාගැනීමක් නොව මගේ ඉල්ලීම පරිදි සරත් සිල්වාගේ තර්කය ගැන සොයා බැලූ හිතවත් නීතිඥයෙක් විසින් මගේ අවධාරණයට යොමු කරන ලද කරුණක් බව සැලකිය යුතුය.

දෙවැනි ධුර කාලයක් සඳහා දිවුරුම් දුන් ජනාධිපතිවරයා ඒ දිනයේ සිටම තවත් ධුර කාලයක් සඳහා තරග කිරීමට තිබෙන සුදුසුකම අහිමි කරගන්නා බවට මගේ ලිපියේ එන සඳහන දෝෂ සහිතය. එය මෙසේ නිවැරදි විය යුතුය. දෙවැනි ධුර කාලයක් සඳහා තේරී පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එම තේරී පත්වීමත් සමගම තෙවැනි ධුර කාලයක් සඳහා තරග කිරීමට නුසුදුස්සකු බවට පත්වන්නේය.

සරත් සිල්වා නගන තර්කය සනාථ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉදිරිපත් කළ හැකි ප්‍රබල සාක්ෂියක් මෙසේය.

ජේ.ආර්. සුදුස්සකු කිරීම

සරත් සිල්වාගේ තර්කය අනුව දෙවැනි ධුර කාලයක් සඳහා තේරී පත්වීම තුළම ජනාධිපති මහින්ද රාජපක්ෂ තවත් ධුර කාලයක් සඳහා තරග කිරීමට අයිතියක් නැති නුසුදුස්සකු බවට පත්ව තිබුණේය. 18 වැනි සංශෝධනයෙන් 31 (2) වගන්තිය ඉවත් කර ඇතත් තවත් ජනාධිපතිවරණයක් තරග කිරීමට අයිතියක් නැති නුසුදුසු තත්ත්වයකට පත්ව සිටි ජනපති මහින්ද රාජපක්ෂට එම සුදුසුකම ලබාදෙන විධි විධාන ව්‍යවස්ථාවට ඇතුළත් කර නැත. ඒ නිසා තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමේ අයිතිය ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමි නොවන්නේය.

මෙම කාරණය සනාථ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දැක්විය හැකි නිදර්ශනයක් මෙසේය. අගමැති ධුරයේ සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයෙකු බවට පත් වූයේ 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද දෙවැනි සංශෝධනයෙනි. 78 ව්‍යවස්ථාව නීතිගත වනවිට 72 ව්‍යවස්ථාව සේ ම ඒ මගින් ජනාධිපති ධුරයට පත්ව සිටි ජනාධිපති ජයවර්ධනද නුසුදුස්සකු බවට පත්ව සිටියේය. ඔහු සුදුස්සකු බවට පත්කිරීම සඳහා ඒ ගැන සඳහන් පැහැදිලි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට සිදුවිය.

78 ව්‍යවස්ථාවේ xxi පරිච්ඡේදය වෙන් කොට ඇත්තේ අන්තර්කාලීන විධිවිධාන සඳහාය.

“එහි එන 160 වන වගන්තිය මෙසේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් විධිවිධානයක කුමක් සඳහන්ව තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීම ආරම්භ වන තෙක් යම් තැනැත්තෙක් ජනාධිපති ධුරය දැරුවේද ඒ තැනැත්තා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රථම ජනාධිපතිවරයා වන්නේය. ඒ ජනාධිපතිවරයා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගනු ලැබූ ලෙස සියලු කාර්යයන් සඳහා සලකනු ලැබිය යුත්තේය. එම ජනාධිපතිවරයා 1978 පෙබරවාරි මස 4 වැනි දින සිට 31 වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව සා අවුරුද්දක් ධුරය දරන්නේය.

78 ව්‍යවස්ථාව සම්මත කරගන්නා විට ජාතික රාජ්‍ය සභාවට මන්ත්‍රීවරුන් තේරී පත්ව සිටියේ 1972 ව්‍යවස්ථාව අනුවය. ඒ නිසා ඔවුන්ට අදාළව ඇතිවී තිබුණු නුසුදුසුකම 161 වන වගන්තියෙන් ඉවත් කර තිබුණේ මෙසේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණද

(1) ප්‍රථම පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් එකසිය හැට දෙනකුගෙන් සමන්විත විය යුත්තේය. තවද මේ ව්‍යවස්ථාවේ මීළඟ විධිවිධානවලට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීම ආරම්භ වන තෙක් ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ව සිටි සියලුම තැනැත්තන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තෝරාපත් කරන ලද ලෙස සැලකිය යුත්තේය.”

18 වැනි සංශෝධනය විධිමත් ලෙස කෙටුම්පත් කර තිබුණේ නම් අන්තර්කාලීන විධි විධාන ඇතුළත් පරිච්ඡේදයේ අවසානයට එකතුවිය යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නුසුදුසුකම ඉවත් කොට ඊළඟ ජනාධිපතිවරණවලට තරග කිරීමේ අයිතිය ඔහුට ලබාදෙන විධිවිධානයන්ය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අවාසනාවකට හා රටේ ජනතාවගේ වාසනාවකට 18 වැනි සංශෝධනය නීතිගත කර තිබෙන්නේ ඒ සඳහා වන නිශ්චිත විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් නොවන ආකාරයටය.

මාගේ පසුගිය කලාපයේ ලිපිය පළවන්නට පෙර ආණ්ඩුවේ ඇමතිවරයෙක් මට දුරකතනයෙන් කතා කොට සරත් සිල්වාගේ තර්කය ගැන මා දරන අදහස කුමක්දැ”යි මගෙන් අසා සිටියේය. ඊට පිළිතුරු දෙන්නට පෙර ඒ ගැන ඔහු දරන අදහස කුමක්දැ”යි පෙරළා ප්‍රශ්න කළෙමි. සරත් සිල්වා විශ්වාසදායක පුද්ගලයෙකු නොවූවත් ඔහු ඉදිරිපත් කර තිබෙන තර්කය හරියටම හරි බව ඔහු කීවේය. මාගේ මතයද එයම වන බව මමද පෙරළා කීවෙමි. ඉන්පසු ඔහු කීවේ 18 වැනි සංශෝධනය නීතිගත වීමෙන් පසු එම සංශෝධනය බරපතළ දෝෂ ඇතිව සම්මත කරගෙන තිබෙන සංශෝධනයක් බව සරත් සිල්වා ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බවත් ඒ නිසා තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීම ප්‍රශ්නයක් විය හැකි බව ඔහු කියා ඇති බවත් ජනාධිපතිවරයා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සමග වෛර සහගත ආකල්පයක් ඇතිකර ගැනීමට හේතුවී තිබෙන්නේද දිවි නැගුම නඩුව නොව 18 වැනි සංශෝධනය බවත් ඔහු කියා සිටියේය. මෙම වරද අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් නිවැරදි කරගැනීමට පුළුවන්කම තිබෙනවා නේද කියා මා විමසූ විට ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව හරහා නිවැරදි කරගැනීමක් කිරීමට කිසිදු ඉඩක් නැති බවය.

18 වැනි සංශෝධනය මහජනයා යුද්ධය ජයග්‍රහණයෙන් ඔදවැඩී හොඳ සිහිය අහිමි කරගෙන සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් ජනතාවට අටවන ලද ලොකු උගුලක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඇත්තටම සිදුවී තිබෙන්නේ ජනතාව වෙුනවට උගුලන අටවන ලද ජනාධිපතිවරයාම එම උගුලට හසුවීමය.

ජනතාවගෙන් බලය උදුරා ගැනීම

පැරණි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකුට දැරිය හැකි ධුර කාල ගණන ධුර කාල දෙකකට සීමා කොට තිබුණි. ඒ සීමාව ඉවත් කොට තමන් කැමති ඕනෑම වාර ගණනක් තරග කළ හැකි තත්ත්වයක් ලබාගැනීම මගින් දීර්ඝ කාලයක් පදවියේ රැඳී සිටීම 18 වැනි සංශෝධනයෙන් අපේක්ෂිත ප්‍රධාන අරමුණ වීයැ”යි කිව හැකිය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙරද 1978 ව්‍යවස්ථාව මගින් ඇතිකර තිබූ ජනාධිපති ආණ්ඩුක්‍රම තුළ ආණ්ඩු වෙනස් කරගැනීමට ජනතාවට තිබුණු අයිතිය බරපතළ ලෙස සීමා කොට තිබුණේය. ඊට පෙර තිබූ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය තුළ සාමාන්‍යයෙන් සෑම වසර පහකට වරක් ආණ්ඩු වෙනස්කිරීමේ පුළුවන්කම ජනතාවට ලැබී තිබුණේය. ඇති කළ ජනාධිපති ආණ්ඩුක්‍රමය ඒ තත්ත්වය නැති කොට ආණ්ඩු වෙනස්වීම ඉතාමත් කලාතුරකින් පමණක් සිදුවන දෙයක් බවට පත් කළේය. ජනාධිපති ක්‍රමයක් ඇතිකිරීමෙන් පසු පළමුවරට ආණ්ඩු පෙරළියක් ඇතිවූයේ අවුරුදු 17කට පසුවය. එනම් 1994දීය. ඉන්පසු ගෙවී ගොස් තිබෙන අවුරුදු 20ක කාලයක් බලයේ සිටිනුයේ එකම පක්ෂයකි. 18 වැනි සංශෝධනය මගින් ජනාධිපති මහින්ද රාජප්කෂ ආණ්ඩු වෙනස් කිරීමට ක්‍රමයේ තිබූ දුෂ්කරතාව තවත් වට ගණනාවකින් උග්‍ර කළේයැ”යි කිව හැකිය. තමන් කැමති තෙක් බලයේ සිටිය හැකි හා ඉන්පසු තම පවුලේ අයටද බලයේ සිටිය හැකි ක්‍රමයක් සංස්ථාපනය කිරීම 18 වැනි සංශෝධනයේ මුඛ්‍ය අරමුණවීයැ”යි කිව හැකිය.

ජනාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජනාධිපතිවරයකුට ධුරයේ සිටිය හැකි ධුර කාල ගණන උපරිම වශයෙන් ධුර කාල දෙකකට සීමා කර තිබීම කෙරෙහි බලපා තිබෙන හේතු මීට පෙර ලිපියෙන් සලකා බලන ලදි. එහිදී සලකා නොලබන ලද එක හේතුවක් මෙහිදී සංක්ෂිප්ත වශයෙන් හෝ සලකා බැලීම වැදගත්ය.

ජනාධිපති ධුරයේ සිටින ජනාධිපතිවරයකු දෙවැනි ධුර කාලය සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයකට තරග කරන්නේ ධුරයෙන් ලැබී තිබෙන අතිවිශාල බලය සේ ම තේජසද ඇතිවය. එය ප්‍රතිවාදී අපේක්ෂකයාට නැති විශේෂ වාසිදායක තත්ත්වයකි. එයද ජනාධිපතිවරයකුට බලයේ සිටිය හැකි කාලය උපරිම වශයෙන් ධුර කාල දෙකකට සීමා කිරීමට හේතුවී තිබෙන තවත් වැදගත් හේතුවකි.

වෙනත් රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේ දෙවැනි ධුර කාලය සඳහා තරග කරන ජනාධිපතිවරයෙකු ඒ සඳහා අවශ්‍ය අරමුදල් සොයාගන්නේ රාජ්‍ය බලය උපයෝගී කරගෙනය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ දෙවැනි ධුර කාලය සඳහා 1982 පැවති මැතිවරණයට අවශ්‍ය කරන අරමුදල් එම ජනාධිපති සොයා ගත් ආකාරය මට පසුකලකදී දැනගන්නට ලැබුණේ ගාමිණී දිසානායකගෙනි. ඔහු තමන්ට අවශ්‍ය අරමුදල් සොයාගෙන ඇත්තේ කොස්ටික් සෝඩා සඳහා වන ටෙන්ඩරයකිනි. මිලදී ගත් කොස්ටික් සෝඩාවල ප්‍රමාණය එක අවුරුද්දකට නොව අවුරුදු දහයකට වුවත් ප්‍රමාණවත් වන්නට ඇතැ”යි ඔහු කීවේය. මාගේ මතය අනුව දෙවැනි ධුර කාලය සඳහා තරග කරන ඇමරිකන් ජනාධිපතිවරයෙකු හෝ ප්‍රංශ ජනාධිපතිවරයකු වැය කරන ධනයට වැඩි ධනයක් දෙවැනි ධුර කාලයක් සඳහා තරග කරන අපේ රටේ ජනාධිපතිවරයෙකු වැය කරයි. ඊට අතිරේකව ජනාධිපතිවරයා රාජ්‍යයේ පොදු දේපළද ඒ සඳහා යොදා ගනී. රාජ්‍යයට අයිති සියලු ජනමාධ්‍ය ආයතන දෙවැනි ධුර කාලය සඳහා තරග කරන ජනාධිපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරයි. රාජ්‍ය ආයතන සතු ධනය හා සම්පත්ද උපරිම වශයෙන් යොදා ගන්නේය. අනෙක් අතට එවැනි ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ආණ්ඩුව සේ ම පළාත් සභා ආණ්ඩුද ක්‍රියාවිරහිත තත්ත්වයකට පත්වන්නේ නැත. එම ආයතනවල මැති ඇමතිවරුන් සේ ම එම ආයතන සතු බලය හා සම්පත්ද උපරිම මට්ටමෙන් පාවිච්චි කෙරෙන තත්ත්වයක් සම්ප්‍රදායක් රටේ ගොඩනැගී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය 18 වැනි සංශෝධනයට අනුමැතිය ලබාදී තිබෙන්නේ සැලකිල්ලට ගත යුතුව තිබුණු මේ සියලු වැදගත් කාරණා නොසලකාය. එම සංශෝධනය අනුමත කරමින් ලබාදී තිබෙන තීන්දුව ඒ මොහොතේ රටේ පැවති උද්වේගකර වටාපිටාවට යටවී නීතියට හා පිළිගත් සම්ප්‍රදායයන්ට පටහැනිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආත්මාර්ථකාමී දේශපාලන අභිලාෂයන්ට අනුමැතිය ලබාදෙන හා මහජන පරමාධිපත්‍යය නොසලකා නීතියට පටහැනිව දෙන ලද අසාධාරණ තීන්දුවක් ලෙස සැලකිය හැකිය.

ජනතාවගේ වාසනාව

දැන් 18 වැනි සංශෝධනයේ ලොකු කාර්මික දෝෂයක් ඇතිනම් එය සැලකිය යුතුව තිබෙන්නේ රටේ ජනතාවගේ වාසනාවට ඇතිවී තිබෙන දෙයක් ලෙසය. රටේ ජනතාවට එරෙහිව අටවන ලද උගුලකට ජනතාව වෙනුවට උගුල අටවන ලද ජනාධිපතිවරයාම අසුවී සිටින බවය. ඒ ගැන මහජනයා ප්‍රීති විය යුතුය. දැන් ජනතාව කළ යුතුව තිබෙන්නේ එම අවස්ථාව ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපතිවරයාට ඉන් ගැලවීයා නොහැකි ලෙස ඒ උගුල තදකිරිමය. ජනතාවට නිදහස උදා කරගත හැකි ප්‍රතිසංස්කරණ දිනාගත හැකිවනු ඇත්තේ එවිටය.

සංශෝධනයේ තිබෙන දෝෂ සහිත තත්ත්වය නිවැරදි කරගැනීමකින් තොරව ජනාධිපතිවරයාට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කළ නොහැකිය. තුන්වැනි ධුර කාලයක් සඳහා ඔහු ජනාධිපතිවරණයක්ද ජනාධිපතිවරයාට කැඳවිය නොහැකිය. දෙවැනි ධුර කාලය සම්පූර්ණවීමෙන් පසු ජනාධිපතිවරයා විශ්‍රාම ගත යුතුය.

ඇතිවී තිබෙන දෝෂය නිවැරදි කරගැනීමද පහසු නැත. දෝෂය නිවැරදි කරගැනීමට තිබෙන එකම මාර්ගය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රමවත් කරගැනීම සඳහා වන තවත් ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීමය. එසේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් අර්ථකථනයක් ලබාගත යුතුය.

18 වැනි සංශෝධනය සම්මත කරගන්නා ලද අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය තුළ පැවති පොදු ඒකමතිකභාවය අද ඇත්තේ නැත. 18 වැනි සංශෝධනයට සහායදීමෙන් තමන් බලවත් වරදක් කරගත්තේයැ”යි කියා සිතන මන්ත්‍රීවරුන් කිසියම් විශාල පිරිසක් ආණ්ඩු පක්ෂයේ සිටින්නේය. විවිධ හේතු නිසා ජනාධිපතිවරයා කෙරෙහි ඇති කරගෙන තිබූ විශ්වාස පළුදු කරගෙන සිටින මන්ත්‍රීවරුන් කිසියම් පිරිසක්ද ආණ්ඩු පක්ෂයේ සිටිති. දීර්ඝ කාලයක් ජනාධිපතිවරයාට මේ ධුරයේ රැඳී සිටීමට හා ඉන්පසු පවුලේම තවත් කෙනෙකුට මෙම තනතුර යනවා දකින්නට කැමති නැති පිරිසක්ද ආණ්ඩු පක්ෂය තුළ සිටින්නේය. ඊට අතිරේකව දැන් තිබෙන ක්‍රමය අනුමත නොකරන කිසියම් විශාල මන්ත්‍රී පිරිසක්ද ආණ්ඩු පක්ෂය තුළ සිටිති.

සාම්ප්‍රදායික වාමාංශික පක්ෂවල මතය වී ඇත්තේ ජනාධිපතිවරණයට නොගොස් ජනාධිපතික්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට මාරුවිය යුතු බවය. දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණද විධායක ජනාධිපතික්‍රමයට විරුද්ධය. ජාතික හෙළ උරුමය විධායක ජනාධිපති ක්‍රමයකට පක්ෂ වුවත් දැන් පවතින ක්‍රමයට විරුද්ධය. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණටද ඒ සමාන විවේචනයක් තිබෙන්නේය.

ආණ්ඩු පක්ෂය තුළ පවතින මෙම සංකීර්ණ හා අවුල්සහගත වටාපිටාව තුළ 18 වැනි සංශෝධනය විධිමත් කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩක් ඇත්තේම නැති තරම්යැ”යි කිව හැකිය. ඒ බව ජනාධිපතිවරයාද හොඳින් දනී.

අධිකරණයේ වගකීම

අධිකරණයට ගොස් වාසිදායක අර්ථකථනයක් ලබාගැනීමද සරල හෝ පහසු විය නොහැකිය. 18 වැනි සංශෝධනය සලකා බලන ලද්දේ පස්දෙනකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් මගිනි. ඒ නිසා නැවත ඒ ගැන සලකා බැලීමකට යන්නේ නම් එය ඊට වඩා ලොකු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ සලකා බැලිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිශ්චයකාරවරුන් රටේ කටයුතු සිදුවන ආකාරය ගැන තෘප්තිමත් තත්ත්වයකින් සිටින්නේයැ”යි කිව නොහැකිය. ආණ්ඩුව අධිකරණය සම්බන්ධයෙන් අනුගමනය කළ සාහසික ප්‍රතිපත්තිය අනුමත නොකරන අයද එහි සිටිය හැකිය. නීතියට අනුව නම් මෙය අධිකරණයට අර්ථ නිරූපණයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන අතර පාර්ලිමේන්තුවෙන්ම විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්නයකි. අධිකරණය අතින් එහිදී වරදක් සිදුවුවහොත් එය අධිකරණය කෙරෙහි වන මහජන විශ්වාසය තවදුරටත් හීනකිරීමට හේතුවන දෙයක් බවට පත්විය හැකිය. ඒ තත්ත්වය ජාත්‍යන්තර වශයෙන්ද බරපතළ ප්‍රශ්න ඇති කිරීමට හේතුවිය හැකිය. වැරදිලාවත් අධිකරණය ජනාධිපතිගේ වාසියට හේතුනොවන අර්ථකථනයක් ලබා දුනහොත් ජනාධිපති ඇද වැටෙනු ඇත්තේ පතුළක් නැති මහා අගාධයකටය.

අසුවී තිබෙන උගුලෙන් ගැලවීමට තිබෙන කිසිම මාර්ගයක් විශ්වාසදායක හෝ ස්ථිර සාර නැත. මේ තත්ත්වය තේරුම් ගැනීමට විරුද්ධ පක්ෂ ව්‍යාපාර සමත් වේද? අඩුම වශයෙන් මෙම තීරණාත්මක ප්‍රශ්නය ඉදිරියේ එක්සත් ක්‍රියාමාර්ගයකට එමින් ඵලදායී බලපෑමක් ඇති කිරීමට ඒවා සමත් වේද? නැතහොත් වඩා වැදගත් වන්නේ ඉක්මන් ජනාධිපතිවරණයක්යැ”යි ඒ සියලුදෙනා කල්පනා කරන තත්ත්වයක් තුළ තමන් අසුවී තිබෙන උගුලෙන් ගැලවීමට ජනාධිපති සමත්වේද?

කළයුත්තේ කුමක්ද?

ඉක්මන් ජනාධිපතිවරණයක් අවශ්‍ය වූයේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට නොව ජනාධිපතිටය. ඉක්මන් ජනාධිපතිවරණය වාසිදායක වන්නේද ජනාධිපතිට මිස විරුද්ධ පක්ෂවලට නොවේ. ඒ නිසා නීතියට පටහැනි ජනාධිපතිවරණයක කොටස්කරුවන්වෙමින් 18ට වලංගුභාවයක් දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට දැන් මතුවී තිබෙන මෙම මූලික ප්‍රශ්නය කේන්ද්‍ර කොටගනිමින් හසුවී සිටින උගුලෙන් ජනාධිපතිට ගැලවෙන්නට ඉඩ නොදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට වාසිදායකය. දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හීන දකින්නන්ටද වාසිදායකය.

තිබෙන දෝෂ විධිමත් ලෙස නිවැරදි කරගැනීමකින් තොරව නීති විරෝධී ජනාධිපතිවරණයක් පවත්වන තැනකට යෑමට සමත් වුවහොත් විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට එක්සත්ව හා එක්සිත්ව ක්‍රියා කළ හැකි නම් ඒ තත්ත්වය නිෂ්ප්‍රභ කිරීම සඳහා ජනාධිපතිවරණය වර්ජනය කරන තැනකට යා හැකිය. ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගය පරාජය කිරීම සඳහා ඡන්දය කටු ගා ජනාධිපතිවරයා පරාජය කෙරෙන ක්‍රියාකාරී ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? අවශ්‍ය නම් ඡන්ද ලබාගැනීම සඳහා නොව මන්ද කටුගාන ව්‍යාපාරයක් මෙහෙයවීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ හැකිය. එහෙත් පොදු අපේක්ෂකයා තමන්ට ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නැත. ඒ වෙනුවට ජනතාවගෙන් ඉල්ලා සිටිය යුත්තේ ජනාධිපති සමග 18 පරාජය කිරීම සඳහා ඡන්දය කටුගා විරෝධය පළ කරන ලෙසය. එවැනි වැඩසටහනක් මහජනයා කුල්මත් කොට ඔවුන් ක්‍රියාකාරී තත්ත්වයකට ගැනීමට හේතුවිය හැකිය.

අයුක්තියට එරෙහිවීම හා යුක්තිය පක්ෂවීම හැම මනුෂ්‍යයකු තුළම තිබිය යුතු මනුෂය ගුණධර්මයකි. එහෙත් මොන මොන හේතු නිසා හෝ ඒ සඳහා වන සංවේදීතාව මේ රටේ ජනයා කිසියම් විශාල ප්‍රමාණයකට අහිමි කරගෙන සිටින්නේය. ඔවුන් නැවත ප්‍රකෘති මනුෂ්‍යයන් බවට පත්කළ හැකිවනු ඇත්තේ එම සංවේදීතාව නැවත ඇති කර ගැනීමට හේතුවන ලෙස ඔවුන් අවදි කිරීමෙනි. දීර්ඝකාලීන ව්‍යවස්ථාදායක ඒකාධිපති ක්‍රමයක් පරාජය කිරීම සඳහා වීථි බහින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහොත් එවැනි ඉල්ලීමකට ජනතාව එකඟවන්නේ නැත. එහෙත් දීර්ඝකාලීන ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයක් ඇතිවීම වළකා ගැනීම සඳහා තමන්ගේ ඡන්දය කටුගාන්නයැ”යි ජනතාවගෙන් ඉල්ලා සිටියහොත් එවැනි අහිංසක විරෝධය පළකිරීමේ ක්‍රියාමාර්ගයකට මහජනයා උද්යෝගිමත් ලෙස සහභාගි කරගැනීමේ පුළුවන්කමක් තිබිය හැකිය.

මේ මොහොතේ සියලු විරුද්ධ පක්ෂවල සේ ම ආණ්ඩුක්‍රමයේ යහපත් වෙනසක් අපේක්ෂා කරන සියලුදෙනාද උත්සාහ කළයුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂට නීතියට පටහැනිව තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කරන්නට ඉඩ නොදීමය. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීම සඳහා ඒ සියලුදෙනා එක්සත්ව හා එක්සිත්ව ක්‍රියාකිරීමය. දීර්ඝකාලීන ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේ එවිටය. 1982 ජනමතවිචාරණයද මේ සමාන බරපතළ ප්‍රශ්නයක් මතුවී තිබුණු අවස්ථාවකි. ඒ අවස්ථාවේදී එය ඇති කරන්නට යන බිහිසුණු ප්‍රතිවිපාක කල්තියා තේරුම් ගනිමින් සියලු විරුද්ධ පක්ෂ ව්‍යාපාර එක්සත්ව හා එක්සිත්ව ජනමත විචාරණය පරාජය කිරීම සඳහා උද්යෝගිමත් ලෙස ක්‍රියාකරන තැනකට ගියේ නම් රටේ ඉරණම මේ තරම් ඛේදජනක නොවන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ මොහොතේ විරුද්ධ පක්ෂ ව්‍යාපාර කට්ටිවාදයෙන් තොරව ප්‍රඥාවන්ත ලෙස ක්‍රියාකරන්නට අසමත්වීම නිසා රටට ඔවුන්ගේ එම අවස්ථාවාදය වෙනුවෙන් දැවැන්ත වන්දියක් ගෙවන්නට සිදුවිය.

දැන් ඇතිවී තිබෙන්නේද ඒ හා සමාන තත්ත්වයකි. මේ මොහොතේ වැදගත් වන්නේ ඊළඟට රජකළ යුත්තේ කව්ද යන්න නොව බිහිසුණු සම්ප්‍රදායක් ආරම්භවීම වළකා ගැනීමය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි ධුර කාලයකට පමණක් සීමා කොට දීර්ඝකාලීන ව්‍යවස්ථාදායක ඒකාධිපතික්‍රමයක් ඇතිවීම වළකා ගැනීමය. එය රටේ අනාගත ඉරණම තීරණය කරන කේන්ද්‍රීය ප්‍රශ්නයකි. එම කේන්ද්‍රීය ප්‍රශ්නය ජයගත හැකිවනු ඇත්තේ බලය අල්ලාගැනීමේ අරමුණ මොහොතකට පසෙකට ලා එවැනි වැරදි සම්ප්‍රදායක් ඇතිවීම වළකා ගැනීම සඳහා සියලු දේශපාලන ව්‍යාපාර හා ප්‍රවණතා එක්සත්ව ක්‍රියාකරන තැනකට ඒමෙන් පමණය. එම කේන්ද්‍රීය ප්‍රශ්නයට ලැබෙන වැදගත්කම තේරුම් ගැනීමට ඒ සියලුදෙනා අසමත් වෙතොත් රටේ ඉරණම පමණක් නොව ඔවුන්ගේ ඉරණමද ඉතාමත් අවාසනාවන්ත වනු නොවැළැක්විය හැකිය