සරත් සිල්වාගේ කාල බෝම්බය

August 31, 2014
Publication:
Ivan, no admirer of Sarath N. Silva, nevertheless takes seriously the former Chief Justice's argument that Mahinda Rajapaksa cannot contest a third term. Silva's thesis, set out in nine points, is that the Eighteenth Amendment, passed in 2010 after Rajapaksa had already been sworn in for his second term, cannot give him a right to a third term that he did not have when re-elected. Ivan compares term limits under presidential systems in France, Brazil and elsewhere and argues that what matters is honouring the people's sovereignty.

සරත් නන්ද සිල්වා මා දකිනුයේ නීතිය පිළිබඳව හසළ දැනුමක් ඇති එහෙත් විධායකයේ හා සිය පටු වුවමනාවන් වෙනුවෙන් අධිකරණයේ ඉදිරි ගමන ආපස්සට හරවා අධිකරණයට තිබූ ගෞරවය හා තේජස අහිමි කරනු ලැබූ පළමු අගවිනිසුරුවරයා ලෙසය. නීතිපති ධුරයේ සිටියදී ඔහුගේ බෙල්ල තීරණාත්මක ලෙස හිරවී තිබූ අවස්ථාවකදී ඔහු බේරාගනු ලැබුවේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගය. ඒ වෙනුවෙන් ඔහු අධිකරණය ඇගේ දේශපාලන වුවමනාවන්ට ගැළපෙන ලෙස නැටවිය හැකි ආයතනයක් බවට පත් කළේය. ඇගේ දෙවැනි ධුර කාලය අවසන් වනවිට ඔහු ජනාධිපතිනිය සමග ආරාවුලක් ඇති කරගෙන තිබුණේය. ආරාවුලට බලපෑ හේතුව ලෙස පෙනෙන්නේ වෙනත් විනිසුරුවරුන් පිරිසක් ඉදිරියේ ඇය අගවිනිසුරුවරයා කෙරෙහි අවඥාවක් ඇතිවන ලෙස කතා කිරීමය. අවසානයේ ඔහු ඇගෙන් පළිගත්තේය. ඇගේ දේශපාලන පැවැත්ම අහෝසි කොට ඇය කිසිදු බලයක් නැති කෙනකු බවට පත් කළේය.

ඇගේ පැවැත්ම බලරහිත කරන නඩු තීන්දුව සඳහා ඔහු පාදක කොටගත්තේ ඇගේ දිවුරුමය. ඇය වරක් ප්‍රසිද්ධියේද, තවත් වරක් අප්‍රසිද්ධියේද යනාදී වශයෙන් දෙවරක් දිවුරුම් දී තිබුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ උපදෙස් අනුවය.

ඔහු එක් අතකට චන්ද්‍රිකාගේ පැවැත්ම අහිමි කරන විට අනෙක් අතට ජනාධිපති ධුරයට ඒමට මහින්ද රාජපක්ෂට තිබූ සම්බාධක ඉවත් කොට ඔහුට ජනාධිපති දුරයට පත්වීමට අවශ්‍ය මග එළිපෙහෙළි කර දුන්නේය. ඔහු එසේ නොකරන්නට මහින්දට එම ඉලක්කයට එන්නට බැරිවන්නට ඉඩ තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂට කරන ලද උදව් වෙනුවෙන් ඔහුද ලොකු ප්‍රතිඋපකාර බලාපොරොත්තු විය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගෙන් ලොකු උපකාර ලබාගෙන තිබුණද සරත් නන්ද සිල්වා අපේක්ෂා කළ දේවල් දෙන්න මහින්ද කැමති නොවීය. ඒ නිසා සරත් නන්ද සිල්වා ජනාධිපති මහින්ද සමගද මතභේද ඇති කරගත්තේය. අගවිනිසුරු ධුරයේ සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂට රිදවන්නට බලවත් උත්සාහයක් තිබියදීත් ලැබී තිබුණු පෙර උපකාර නිසාදෝ සිදුවූ කෙණෙහිලිකම් ඉවසා සිටියා මිස මහින්ද කෝපයෙන් ආපසු හැරී පහර දෙන තැනකටද නොගියේය. සරත් නන්ද සිල්වා විශ්‍රාම යන අවස්ථාවේදී විශ්‍රාම යන අගවිනිසුරුට පහරදී ඔහුට තුවාල කොට ගෙදර යැවීම සඳහා තිබූ සංවිධානාත්මක උත්සාහයක් වළකා තිබෙන්නේද ජනාධිපති මහින්ද රාජපක්ෂය.

අගවිනිසුරු ධුරයේ සිටියදී සරත් නන්ද සිල්වා රඟපෑ භූමිකාව කොතරම් ජුගුප්සාජනක වුවද ජෙනරල් ෆොන්සේකා හදිසියේ දේශපාලනයට කඩා නොවැටෙන්නට 2010 ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂවල පොදු අපේක්ෂකයා වන්නට ඉඩ තිබුණේද සරත් නන්ද සිල්වාය. 2010 ජනාධිපතිවරණයෙන් පසු නැවත එක්තරා ප්‍රමාණයකට ජනාධිපතිට ළංවෙමින් ඔහුට උපදෙස් දෙන තැනකට ගියේය.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයේදී ඇය තනතුරෙන් එලවා දැමීමේ ක්‍රියාදාමයට සහයෝගය දුන්නේය. ඇය තනතුරෙන් එලවා දැමීමෙන් පසු විනිසුරු ශිරාණි තිලකවර්ධන එම තනතුරට ගනිමින් අධිකරණය අනියම් ලෙස පාලනය කළහැකි තත්ත්වයක් ඇතිකර ගැනීම සරත් නන්ද සිල්වාගේ උපාය මාර්ගය වූ බව පෙනෙන්නට තිබේ. ශිරාණි බණ්ඩාරනායක තනතුරෙන් එලවා දැමීමේ කාර්යයේදී සරත් නන්ද සිල්වාගෙන් ඵල ප්‍රයෝජනය ලබාගත්තද ඔහුට සමීප කෙනකු ලෙස පෙනුණු ශිරාණි තිලකවර්ධන ඒ තනතුරට පත්කිරීමට ජනාධිපති කැමති වූයේ නැත. එම අත්දැකීමෙන් පසු සරත් නන්ද සිල්වා නැවත ජනාධිපතිට එරෙහිව පහර ගසන තැනකට ගියේය.

නෛතික බෝම්බය

මෙම ගමනේ අවසානයේදී ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේද දේශපාලන පැවැත්ම කම්මුතු කිරීමට හේතුවන නෛතික සූත්‍රයක් සොයා ගැනීමට සමත් වී තිබෙන බව පෙනේ. ඔහු සොයා ගන්නා ලද එම නෛතික සූත්‍රය කොතරම් තර්කානුකූල හා ව්‍යවස්ථානුකූල හා බලවත් වේද කියන්නේ නම් ජනාධිපතිවරයා කොතරම් බලවත් වුවත් ඔහුගේ නෛතික කාල බෝම්බයට මුහුණ දී සිය දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීම ඉතා දුෂ්කර වනු ඇතැ”යි කිව හැකිය. ඒ අර්ථයෙන් සමහරවිට ඔහු ඉතිහාසයට එකතු වනු ඇත්තේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පැවැත්ම පමණක් නොව ප්‍රභාකරන් පරාජය කළ වීරයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ද දේශපාලන පැවැත්ම අහෝසි කළ පුද්ගලයා වශයෙනි.

මම සරත් නන්ද සිල්වාට කැමති නැත. ඔහු සිය තනතුරේ සිටියදී කරන ලද බරපතළ වැරදි හා ඒ මගින් අධිකරණයට ඇති කළ විනාශය පහසුවෙන් අමතක කළ නොහැකිය. ඒ සියල්ල එසේ තිබියදීත් ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමේ හැකියාවක් 18 වැනි සංශෝධනය නිසා ලැබී නැති බවට ඔහු ඉදිරිපත් කර තිබෙන නෛතික ප්‍රවාදය බිඳ හෙළිය නොහැකි පරිපූර්ණ නෛතික විවරණයක තත්ත්වයක් තිබේය යන්න මගේ මතයයි. ඒ මගින් ව්‍යවස්ථාමය නීතිය පිළිබඳව තමන්ට තිබෙන දැනුමේ ප්‍රමාණය පමණක් නොව ඔහුට තිබෙන ඉවේ ප්‍රමාණයද හොඳින් පෙන්නුම් කර ඇතැ”යි කිව හැකිය. ඔහු ඉදිරිපත් කර තිබෙන ප්‍රවාදය බිඳ හෙළිය නොහැකි තරම් ශක්තිමත් තත්ත්වයක තිබෙන බවද කිව යුතුය.

ඔහුගේ ප්‍රවාදය මෙසේ පිඬු කළ හැකිය.

i. 78 ව්‍යවස්ථාව සකස් කර තිබුණේම ජනාධිපතිවරයකුට ධුරයේ සිටිය හැකි කාලය එකිනෙකට සම්බන්ධ ධුර කාල දෙකකට සීමාවන ආකාරයටය.

ii. එම ව්‍යවස්ථාව යටතේ දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන ජනාධිපතිවරයෙක් එම දිවුරුම් දුන් දිනයේ සිටම තවත් ධුර කාලයක් සඳහා තරග කිරීමට තිබෙන අයිතිය අහිමි කරගනී.

iii. එය ව්‍යවස්ථාවේ 31 (2) වගන්තිය අනුව විස්තර කොට තිබෙන්නේ මෙසේය.

“ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන්පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය.

iv. ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දෙන ලද්දේ 2010 ජනවාරි 27 වැනිදාය. එම මොහොතේ සිටම ඔහු එම ධුරයට නැවත තරග කළ නොහැකි කෙනකු බවට පත්ව සිටියේය.

v. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කෙරුණේ 2010 සැප්තැම්බර් 9 වැනිදාය.

vi. එම සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිගෙන් පසු එම තනතුරට පත්වන ජනාධිපතිවරුන්ට ධුර කාල දෙකෙන් පසුද නැවත ජනාධිපතිවරණවලට තරග කිරීමේ අයිතිය ලබාදී ඇතත් 2010 ජනවාරි 27 වැනිදා දෙවැනි වර දිවුරුම්දීමත් සමග එදා සිට නැවත තරග කිරීමේ හැකියාව අහිමි කරගෙන සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවත තරග කිරීමේ අයිතිය ලැබෙන විධිවිධාන ඇතුළත් කෙරෙන ආකාරයට එම සංශෝධනය සකස් කර නැත.

viii. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ 31 (2) වගන්තිය ඉවත් කර තිබේ. එහෙත් එම ඉවත් කිරීම සිදුවන අවස්ථාව වනවිට (2010 සැප්තැම්බර් 10) ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 ජනවාරි 27 වැනිදා කරන ලද දිවුරුම් දීම මගින් නැවත තේරී පත්වීමකට අයිතියක් නැති නුසුදුස්සෙක් බවට පත්ව සිටීම තුළ 31 (2) ඉවත් කළ පමණින් නැවත තරග කිරීමේ අයිතිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිට හිමිවන්නේ නැත.

viii. ඔහුට එම අයිතිය අහිමිවී තිබෙන්නේ නීතිය ක්‍රියාත්මකවන්නේ ඉදිරියට මිස ආපස්සට නොවීම නිසාය. අර්ථකථන පනතේ 6 (3) වගන්තිය අනුව එවැනි නීති සංශෝධනයකදී තිබෙන නුසුදුසුකමක් හෝ දඬුවමක් ඉවත් නොවන බව පැහැදිලිව සඳහන් වේ. එම පනත අනුව එවැනි නුසුදුසුකමක් ඉවත් කළ හැක්කේ නිශ්චිත වශයෙන්ම එම නුසුදුසුකම ඉවත් කෙරෙන විධිවිධාන එම සංශෝධනයට ඇතුළත් කිරීමෙන් පමණය. එහෙත් මේ නීතිය සංශෝධනය කෙරෙන අවස්ථාව වනවිට 2010 ජනවාරි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත ජනාධිපතිවරණයකට තරග කිරීමට නුසුදුස්සෙක් වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුසුදුසුකම ඉවත් කරන විධිවිධාන 18 වන සංශෝධනයට ඇතුළත් කර නැත.

ix. එම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරීමේ අයිතියක් සංශෝධිත ව්‍යවස්ථාව අනුව නැත.

ඒ අනුව දෙවැනි ධුර කාලය හතර වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය පවා ජනාධිපතිවරයාට හිමිවන්නේ නැත. ඒ නිසා ජනාධිපතිවරයා කැඳවන එවැනි ජනාධිපතිවරණයක් බාරගැනීමේ හැකියාව මැතිවරණ කොමසාරිස්වරයාටද නැත. මැතිවරණ කොමසාරිස්වරයාට එහිදී කළ හැකිව තිබෙන එකම දේ ඒ ගැන වන අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමය.

සැබෑ නොවූ සිහින

දෙවැනි දුර කාලය සම්පූර්ණවීමෙන් පසු තුන්වැනි ධුර කාලයක් ගැන සිහින දකින්නට උත්සාහ කළ පළමු පුද්ගලයා වනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ නොව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. ආචාර්ය කේ.එම්. ද සිල්වා විසින් ලියන ලද ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ එන තොරතුරුවලට අනුව ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඒ අරමුණ වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක්ද කෙටුම්පත් කරවාගෙන තිබුණේය. එහෙත් ඒ සඳහා වන ඔහගේ වැඩපිළිවෙළ හකුළුවා ගන්නා ලද්දේ ජේවීපී දෙවැනි කැරැල්ල හා අගමැති ප්‍රේමදාසගෙන් එල්ල විය හැකි බලවත් විරෝධය සලකාය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගටද දෙවැනි ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසුත් තවදුරටත් බලයේ රැඳී සිටීම සඳහා වන උනන්දුවක් සේ ම ඒ සඳහා වන නොපැහැදිලි වැඩපිළිවෙළක්ද තිබුණා වුවත් එම වැඩසටහන හකුළුවා ගන්නට සිදුවූයේ සරත් නන්ද සිල්වා දෙන ලද තීන්දුව නිසාය. මෙම ජනාධිපතිවරුන් දෙදෙනාට වඩා ජනාධිපති මහින්ද රාජපක්ෂ දකින ලද සිහිනයේදී ඔහු සිය පූර්වගාමීන්ට වඩා බලවත් එක වැදගත් පියවරක් ඉදිරියට තබමින් ඒ සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීමට සමත් වුවද සම්මත කරගන්නා ලද සංශෝධනයේ තිබෙන ලොකු හිලක් නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද අවසානයේ සිය අරමුණ සපුරාගත නොහැකි අසරණ තත්ත්වයකට ඇද වැටෙමින් සිටින්නේයැ”යි කිව හැකිය. තිබුණු විධායක ජනාධිපතික්‍රමය අවුරුදු 12කට සීමාවූ ව්‍යවස්ථාදායක ඒකාධිපති ක්‍රමයක් ලෙස සැලකිය හැකි නම් 18 වැනි සංශෝධනය සැලකිය හැක්කේ එම අවුරුදු 12 කාලසීමාව අතික්‍රමණය කරමින් වඩා දීර්ඝකාලීන ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයකට පාර කැපූ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙසය. යුද්ධයේ ජයග්‍රහණයට මුවාවී මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ ව්‍යවස්ථා සංශෝධනයකදී සාමාන්‍යයෙන් අනුගමනය කළයුතු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ද නොසලකාය. එය සම්මත කරගන්නා ලද්දේද හදිසි කටයුත්තක් ලෙස සලකාය. මෙම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී පවා අදිකරණය එහි තිබෙන වැරදි අඩුපාඩු පමණක් නොව එය ආණ්ඩුක්‍රමයට ඇති කරන විනාශකාරී බලපෑම හොඳින් සලකා බැලූ බවක් පෙනෙන්නට නැත. සරත් නන්ද සිල්වා පෙන්වා දී තිබෙන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයේ ලොකු හිලක් තිබීමෙන්ම පෙනීයන්නේ ඒ හිල පවා කල්තියා දකින්නට අධිකරනය අපොහොසත්ව ඇති බවය.

ක්‍රම දෙකේ වෙනස

සංශෝධනය සලකා බැලීමේදී ජනතාවගේ පරමාධිපත්‍ය බලය කෙරෙහි එය බලපාන ආකාරය පිළිබඳව අධිකරණය සාධාරණව කරුණු සලකා බැලීමක් කර තිබෙන බවක් පෙනෙන්නට නැත. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ අගමැතිවරයකුට එම ධුරයට තේරී පත්විය හැකි වාර ගණන ගැන සීමාවක් නැතත් විධායක ජනාධිපතික්‍රමයක් ඇති හැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම පාහේ ජනාධිපතිවරයකුට ධුරයේ සිටිය හැකි වාර ගණන සඳහා පනවන ලද සීමාවක් පවති. ඒ ඇයිද යන ප්‍රශ්නය අධිකරණය එහිදී හොඳින් සලකා බැලූ බවක් පෙනෙන්නට නැත.

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ ආණ්ඩුවේ ප්‍රධාන විධායකයා ලෙස ක්‍රියාකරන අගමැති තෝරාපත් කරගනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි. අගමැති ඇතුළු ඔහු විසින් තෝරාපත්කර ගන්නා කැබිනට් මණ්ඩලයට පැවතිය හැක්කේ පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන තාක් කල් පමණය. නැතහොත් ඒ ක්‍රමය තුළ විධායකය පරාජය කිරීමේ බලය ව්‍යවස්ථාදායකයද සතුය. ඒ අර්ථයෙන් අගමැතිවරයකුගේ පැවැත්ම ස්ථිරසාර නැත. ඔහුගේ තත්ත්වය දුර්වලය.

එහෙත් විධායක ජනාධිපතිවරයකුගේ තත්ත්වය ඊට වෙනස්ය. ඔහු ආණ්ඩුවේ නායකයා පමණක් නොව රාජ්‍ය නායකයාද වේ. ඔහුට තිබෙන බලතල අගමැතිවරයකුට තිබෙන බලතලවලට වඩා විශාල වන අතර ව්‍යවස්ථාදායකයේ හෝ මහජන බලපෑමෙන් ජනාධිපතිවරයකු වෙනස් කළ නොහැකිය. ඒ අර්ථයෙන් ඔහු පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යටතේ සිටින අගමැතිවරයෙකුට වඩා ඉතා බලවත්ය. ඔහුගේ පැවැත්මද ස්ථිරසාරය. අගමැතිවරයකුට වෙනස්ව ජනාධිපති නියමිත කාලසීමාවක් සඳහා වන ව්‍යවස්ථාදායක ඒකාධිපතියකු ලෙස සැලකිය හැකිය.

ධුර කාල සඳහා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ අගමැතිවරයකු නැති සීමාවක් ජනාධිපතික්‍රමය තුළ ජනාධිතිවරයකුට පනවා ඇත්තේ එතරම් විශාල බලයක් ඇතිව දීර්ඝ කාලයක් එකම පුද්ගලයකු තනතුරේ ඉඳීමෙන් විය හැකි හානිය සලකාය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ලංකාවේ කරන්නට හැදූ දේ මීට පෙර ජනාධිපතික්‍රමයක් ඇති ඇමරිකාවේද ජනාධිපති රූස්වෙල්ට්ද කර තිබුණේය. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ධුර කාලය අපේ මෙන් අවුරුදු හයක් නොව අවුරුදු හතරකි. මුලදී ඇමරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ජනාධිපතිවරයෙකුට ධුරයේ සිටිය හැකි වාර ගණන ගැන කිසිදු සීමාපැනවීමක් නොතිබුණි. පළමු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂින්ටන් දෙවරක්ම තෝරාපත් කරනු ලැබීය. එහෙත් ඔහු තුන්වැනි වතාවට ඡන්දයට ඉදිරිපත් නොවීය. එතැන් පටන් හැම ජනාධිපතිවරයෙකුම අනුගමනය කළ සම්ප්‍රදාය එය විය. ජනාධිපතිවරයෙකුට ධුරයේ සිටිය හැකි ධුර කාල ගණන ධුර දෙකකට ව්‍යවස්ථාවෙන් නොව සම්ප්‍රදායෙන් තීරණය වී තිබුණි.

මෙම සම්ප්‍රදාය දිගු කලක් තිස්සේ ඉතාමත් සුපරීක්ෂාකාරී ලෙස රැකගෙන ඉදිරියට එමින් තිබුණද ජනාධිපති ප්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් මෙම අනගි සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් දෙවැනි ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු නැවත 1940දී හා 1944දී ජනාධිපතිවරණ දෙකට තරග කොට ඒවා ජයගනිමින් ධුර කාල හතරක් ජනාධිපති ධුරය හොබවනු ලැබුවේය. ඔහුගේ මෙම හිතුවක්කාරි හා සම්ප්‍රදාය විරෝධී ක්‍රියා පිළිවෙත බලවත් ලෙස රටේ සාකච්ඡාවලට ලක්වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයකුට ධුරයේ සිටිය හැකි වාර ගණන දෙකක් ලෙස නියම කෙරෙන ආකාරයට සංශෝධනයක් (22 වැනි සංශෝධනය නීතිගත වූයේ 1951 පෙබරවාරි 27 වැනිදාය.) ඇති කරගන්නා ලද්දේ එවැනි අයෝග්‍ය දෙයක් නැවත ඇති නොවන තත්ත්වයක් සහතික කිරීම සඳහාය.

ඩිගොල් ප්‍රංශයේ ඇති කළ ජනාධිපති ක්‍රමයේද ධුරයේ සිටිය හැකි වාර ගණන සඳහා සීමා පැනවීමක් තිබුණි. මුලදී තිබුණේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 07ක් වශයෙනි. ජනාධිපතිවරයෙකුට තනතුරේ සිටිය හැක්කේ ධුර කාල දෙකක් පමණය. ජනාධිපතිවරයකුගේ ධුර කාලයට තිබූ අවුරුදු හතේ කාලසීමාව ඕනෑම වැඩි දීර්ඝ කාලයක් ලෙස සලකා 2000 වසරේදී එය අවුරුදු 5 දක්වා අඩු කරන ලදි.

බ්‍රසීලයේ මුලින් තිබුණු ක්‍රමය අනුව ජනාධිපතිවරයකුට ධුරයේ සිටිය හැක්කේ එක ධුර කාලයක් පමණය. ධුර කාලය අවුරුදු පහකි. එහෙත් 1997දී ඒ ක්‍රමය වෙනස් කළේය. ධුර කාලය අවුරුදු 4 දක්වා අඩු කොට එක ජනාධිපතිවරයකුට තේරී පත්විය හැකි වාර ගණන දෙකක් බවට පත් කළේය.

ජනාධිපති ක්‍රමයක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී හැම රටකම පාහේ ජනාධිපතිවරයකුට තේරී පත්විය හැකි වාර ගණන දෙකකට සීමා කොට ඇති බව දැකිය හැකිය. දකුණු අප්‍රිකාවේ ධුර කාලය අවුරුදු 05කි. තේරී පත්විය හැකි වාර ගණන දෙකකි. මැක්සිකෝවේ ධුර කාලය අවුරුදු 6ක් වනවිට තේරී පත්විය හැකි වාර ගණන එකකි. වෙනිසුලියාවේ ධුර කාලය අවුරුදු 06ක් වනවිට තේරී පත්විය හැකි වාර ගණන දෙකකි. ආර්ජන්ටිනාවේ ධුර කාලය වසර හතරකි. තේරී පත්විය හැකි වාර ගණන දෙකකි. අයර්ලන්තය ධුර කාලය වසර හතකි. තේරී පත්විය හැකි වාර ගණන දෙකකි. පින්ලන්තයේ ධුර කාලය වසර හයකි. තේරී පත්විය හැකි වාර ගණන දෙකකි. පෘතුගාලය ධුර කාලය වසර පහකි. තේරී පත්විය හැකි වාර ගණන දෙකකි. පිලිපීනයේද ධුර කාලය වසර පහකි. තේරී පත්විය හැකි වාර ගණන දෙකකි.

වියයුත්තේ කුමක්ද?

ලෝකයේ ජනාධිපතික්‍රමයක් තිබෙන හැම රටකම පාහේ ජනාධිපතිවරයකුට ධුරයේ සිටිය හැකි වාර ගණන වාර දෙකකට සීමාකර තිබියදී හා ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් තරම් දීර්ඝ කාලයක තිබියදී ජනාධිපතිවරයා යුද්ධයේ ජයග්‍රහණය මුවාවක් කරගනිමින් ධුරයේ සිටිය හැකි වාර ගණනට පනවා තිබූ සීමාව ඉවත් කරගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙනාවේ තිබුණ සීමාසහිත ව්‍යවස්ථාදායක ආඥාදායකත්වය සීමාරහිත ව්‍යවස්ථාදායක ආඥාදායකත්වයක් බවට පත්කර ගැනීම සඳහාය. මෙම සංශෝධනයට ඡන්දය දුන් ආණ්ඩු පක්ෂයේ සැලකිය යුතු පිරිසක්ද ඊට ඡන්දය දුන්නේ හිතට විරුද්ධවය. එහෙත් මහජනයාගෙන් එල්ල වූ බලපෑම නිසා නොව එම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ අයගේ නොසැලකිල්ල හා ඔලමොට්ටලකම නිසා එම සංශෝධනයෙන් අපේක්ෂා කළ අරමුණු සපුරාගත නොහැකි විකට රූපී දෙයක් බවට දැන් පත්වී තිබේ. එය රටේ ජනතාවගේ වාසනාවටත් ජනාධිපතිවරයාගේ අවාසනාවටත් සිදුවී තිබෙන අහම්බයක් ලෙස සැලකිය හැකිය.

මට පෙනෙන අන්දමට දැන් සිදුවිය යුතුව තිබෙන්නේ 18 වැනි සංශෝධනයට විරුද්ධව, ජනාධිපතික්‍රමයට විරුද්ධ හා ජනාධිපතික්‍රමයකට පක්ෂ වුවත් රටේ පවතින අශීලාචාර ජනාධිපතික්‍රමයට විරුද්ධ වන සියලුදෙනා එක පොදියක් මෙන් එකට එකතු වී 18 ඇති නීති විරෝධී බව නොසලකා හදිසි, නීති විරෝධී, ජනාධිපතිවරණයක් ඉදිරියට ගැනීමට ඉඩ නොදෙන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. එසේ කිරීමට සමත් වෙතොත් එය බලවත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට හේතුවන හැරවුම් ලක්ෂයක් ලෙස ක්‍රියාකරනු ඇත.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට ආවේණික වැරදි හා අඩුපාඩු නිසා ඇතිවී තිබෙන නීති විරෝධී තත්ත්වය නොසලකා බලහත්කාරී ලෙස ඉක්මන් ජනාධිපතිවරණයක් ඉදිරියට ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කළහොත් ඒ නිසා විය හැකි එකම දේ ඔහු ජනතා විරෝධී කෘර පාලකයකු ලෙස ඉතිහාසයේ කුණු කූඩයට එකතුවීමය. ඔහුට සිය ආරක්ෂාව හා ගෞරවය සඳහා තෝරාගත හැකි එකම මග වනුයේ තමන් නීතිය අනුව ඉක්මනින් අවලංගුභාවයට පත්වෙමින් සිටින ජනාධිපතිවරයකු බව තේරුම් ගනිමින් ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අවුරුදු දෙකක කාලය තුළ භේදයෙන් තොරව විරුද්ධ පක්ෂ බලවේගයන්දේ සහාය ඇතිව සුළු ජාතීන්ගේ ප්‍රශ්නද විසඳාගත හැකි ආකාරයට මජර ගලන තරමට කුණුවී තිබෙන මෙම පීඩාකාරී හා දූෂිත දේශපාලන ක්‍රමය සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස වෙනස් කිරීම සඳහා ක්‍රියාකිරීමය. ජනාධිපතිවරයාට තමන් විසින් ඇති කරගෙන තිබෙන පව් කිසියම් ප්‍රමාණයකට හෝ සෝදාගත හැකිවනු ඇත්තේද ඒ ආකාරයට පමණය. වරදකාරී හැඟීමකින් තොරව සන්සුන් සිතකින් යුතුව විශ්‍රාම යෑමට හැකිවනු ඇත්තේද එවිටය.