උතුරේ වගවීම පිළිබඳ ප්රශ්නය මුල් කරගෙන ශ්රී ලංකාවට සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවිට හැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එහෙත් පුදුමයට මෙන් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් ඇතිවිය හැකි ප්රතිවිපාකවල ස්වභාවය හා තරම පිළිබඳව කිසිදු බැරෑරුම් සාකච්ඡාවක් හෝ ගණන් බැලීමක් මේ දක්වා මොනම අංශයකවත් සිදුවී නැත. ආණ්ඩුව එවැනි ගණන් බැලීමකට නොගියා සේ ම විරුද්ධ පක්ෂද එවැනි තැනකට නොගියේය. රටේ ව්යාපාරික ප්රජාව හෝ උගතුන්ද එවැනි උත්සාහයක යෙදුණු බවක් පෙනෙන්නට නැත. ඉන් පෙනෙන්නේ ඉදිරියේ ඇතිවිය හැකි අභියෝග පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව ඉදිරියට යන මෝඩ ජාතියකගේ තත්ත්වයට අප පත්ව සිටින බවය. මේ ගැන මට අවස්ථා කිහිපයකදීම ලියා ඇත්තෙමි. ඒ නිසාවත් ඒ සඳහා වන උනන්දුවක් ඇතිවූ බව පෙනෙන්නට නැත. දැන් හෙමින් හෙමින් ශ්රී ලංකාවට සම්බාධක පැනවීමේ ක්රියාවලිය ආරම්භ වී ඇති බව පෙනෙන්නට තිබේ. යුරෝපයේ අපනයන ණය ඒජන්සි ආයතන ලංකාව සමග ඇතිකර ගන්නා ආර්ථික වාණිජ හා මූල්ය ගිවිසුම්වලට සම්බාධක සඳහා වන වගන්ති ඇතුළත් කර තිබෙන බවත් එය ආණ්ඩුවේ බලවත් විරෝධයට හේතුවී තිබෙන බවත් පසුගිය ඉරිදා සන්ටේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතින් වාර්තා කර තිබුණි.
අනතුර සැලකිල්ලට නොගැනීම
මානව හිමිකම් කොමිසම ශ්රී ලංකාවට අදාළව ආරම්භ කර ඇති වගවීමට අදාළ ජාත්යන්තර පරීක්ෂණයට සහයෝගය නොදීම හා ඊට අවහිර කිරීමේ හේතුව මත පමණක් වුවද ඇමරිකාවට, යුරෝප සංගමයට හෝ එම කඳවුරට අපට එරෙහිව සම්බාධක පනවන ප්රතිපත්තියක් අනුගමනය කළ හැකිය. එය සාධාරණ නොවේය කියා කෑගැසීම හෝ විරෝධය පළකිරීම ප්රශ්නයට නියම පිළිතුරක් වන්නේ නැත. අපට එරෙහිව සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවී එය වර්ධනය වුවහොත් පහසුවෙන් ගොඩ ආ නොහැකි මහා ප්රපාතයකට රාජපක්ෂ ආණ්ඩුව පමණක් නොව මුළු මහත් රටද ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
අපි රටක් වශයෙන් ඇමරිකාව හා යුරෝපීය රටවල් ලංකාවේ වගවීමේ ප්රශ්නය සම්බන්ධයෙන් පවත්වාගෙන යන දැඩි ප්රතිපත්තියට එරෙහිව කෑගසන, විවේචනය කරන හා බැණ වදින ප්රතිපත්තියක් අනුගමනය කළා මිස සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීම සඳහා කිසිදු බලවත් ඵලදායී හා ප්රායෝගික උත්සාහයක යෙදී නැත. එයින් පෙනෙන්නේ රටක් වශයෙන් අප ඇද වැටී තිබෙන මුග්ධභාවයේ තරමය. ඔවුන් කරන දේවල් සාධාරණ අසාධාරණභාවයට වඩා අපි වැදගත් කොට සැලකිය යුතුව තිබුණේ ඒ මගින් රටට ඇති කරන ප්රතිවිපාක ගැනය. ඇති කරන්නට යන ප්රතිවිපාක ඉතා නරක නම් එවැනි තත්ත්වයක් ඇතිවීම වළකා ගත යුතුව තිබෙන්නේ කෙසේද යන්න බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යායුතුව තිබුණි. එහෙත් ආණ්ඩුව එම කාරණය කෙරෙහි කිසිදු අවධානයක් යොමු කළේ නැත. ඒ වෙනුවට පූර්ණ අවධානය යොමු කළේ ඊට වඩා වැදගත්කමින් අඩු ඊට අදාළ අනෙකුත් කාරණා ගැනය.
මෙතෙක් සම්බාධක පැනවීමකට ලක්වූ කිසිදු රටක් විශාල විනාශයකට ලක්වීමෙන් තොරව ගැලවී නැත. අප වැනි පුංචි රටක් නොව ඉරානය ඉරාකය වැනි ප්රමාණයෙන් විශාල හා ඉතා ධනවත් රටවල් පවා ඒ නිසා අතිවිශාල කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටුණේය.
කවර ආකාරයේ බලවතකු වුවද හැමවිටම අවංක ලෙස හෝ සාධාරණ ලෙස ක්රියාකරන්නේ නැත. තමන් හිමිකරගෙන සිටින බලය ආරක්ෂා කරගැනීමට ඔවුහු විශේෂ උනන්දුවක් දක්වති. ඔවුන්ගේ ආරක්ෂාව හෝ පැවැත්ම දුර්වල කිරීමට හේතුවන දේවල් සිදුවන අවස්ථාවලදී ඔවුන්ගෙන් එල්ල වන ප්රතික්රියා ඉතා රළු පරුෂ විය හැකිය. මෙය මහා බලවතුන්ට පමණක් ආවේණික ලක්ෂණයක් නොව ඕනෑම වර්ගයේ බලවතකුට ආවේණික සාමාන්ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියාව කලාපීය බලවතුන්ගේ තත්ත්වයේ සිටියදී පවා ශ්රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාව නොසලකා ඉන්දියානු විරෝධී බලවේගයන් සමග කල්ලි ගැසී ක්රියාකරන තැනකට ගියවිට ඉන්දියාවෙන් අපට එල්ල වූ ප්රතික්රියාද ඉතා රළු පරුෂ විය. චීනය, ටිබෙටය සම්බන්ධයෙන් දිගින් දිගට පවත්වාගෙන යන ප්රතිපත්තියද සේ ම වර්තමානයේ රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන ප්රතිපත්තියද ඊට සමානය.
විදේශ ප්රතිපත්තියේ වරද
අප වැනි පුංචි හා දුර්වල රටකට ආරක්ෂාව සඳහා තෝරාගත හැකි හොඳම ප්රතිපත්තිය වනුයේ මහා බලවතුන් අතර කෙරෙන පොරයේ හවුල්කරුවකු නොවී කවර බලවතකුගේ හෝ කෝපයට හේතු නොවන නිදහස් හා මැදිහත් ප්රතිපත්තියක් පවත්වාගෙනයෑමය. ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ඔහු අනුගමනය කළ ඉන්දීය විරෝධී ඇමරිකන් ගැති ප්රතිපත්තියේදී ඔහු කල්පනා කළ බව පෙනෙන්නේ ඉන්දියාව කලාපීය බලවතා වුවද තමන් වැඩ කරන්නේ මහා බලවතා සමග වන නිසා ඉන්දියාව ගැන බියවීමේ අවශ්යතාවක් නැතිය කියාය. එහෙත් ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් රටට කඩා වැදුණු අවස්ථාවේදී ඇමරිකාව ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. අවසානයේදී රටේ පැවැත්ම සේ ම ජේ.ආර්. ජයවර්ධනගේද පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා ඉන්දියාව ඉදිරියේ වැඳ වැටී කන්නලව් කරන තැනකට යන්නට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට සිදුවිය.
දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුගමනය කරමින් සිටින්නේද ජනාධිපති ජයවර්ධන අනුගමනය කරමින් සිටි විදේශ ප්රතිපත්තියටත් වඩා විනාශකාරී හා ප්රකෝපකාරී විදේශ ප්රතිපත්තියකි. ජේ.ආර්. තරහ කරගත්තේ කලාපීය බලවතා වූ ඉන්දියාව පමණය. මහින්ද තරහ කරගෙන සිටිනුයේ කලාපීය බලවතාට අතිරේකව ලෝක බලවාතය. විදේශ ප්රතිපත්තියේදී ජේ.ආර්. ජයවර්ධනගෙන් උගත යුතුව තිබෙන කිසිම වැදගත් පාඩමක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉගෙන ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. රාජපක්ෂ ආණ්ඩුවට ලෝක බලතුලනය පිළිබඳව හරි අවබෝධයක් නැති අතර චීනයෙන් ලබාගත හැකි සරල වාසි සලකා මේ යන ගමන කෙළවර වනු ඇත්තේ විශාල විනාශයකිනි.
අපට සම්බාධක පනවන තත්ත්වයක් ඇති වුවහොත් ඒ මගින් ඇති කරන පීඩනය ඉවසා දරාගෙන සිටීමේ හැකියාවක් මේ රටේ ජනතාවට තිබෙනු ඇතැ“යි සිතිය නොහැකිය. සිරිමා බණ්ඩාරනායක යුගයේදී මේ රටේ ජනතාව විවෘත ආර්ථික ක්රමයකට හුරුපුරුදු වී නොසිටියදී පවා ඉතාමත් සාධාරණ හේතු මත ආණ්ඩුව ජනතාවට පනවන ලද ආර්ථික තහංචි ඉවසා දරාගෙන සිටීමට රටේ ජනතාව සමත් වූයේ නැත. ජාත්යන්තර වශයෙන් ආර්ථික සම්බාධක පනවන තත්ත්වයක් යටතේ ඇතිවන පීඩනයන් සමග සසඳන විට සංවෘත ආර්ථික ක්රමයකට හුරුපුරුදු වී සිටි ජනතාවට එම ආණ්ඩුව පනවන ලද ආර්ථික තහංචි ඇති කළ පීඩාව ඉතා විශාල නොවේයැ”යි කිව හැකිය. එහෙත් මුලදී දේශප්රේමී හා සමාජවාදී ආවේගයන්ගෙන් කුල්මත් වී “සිනි නැතිව තේ බොන්නම්, හාල් නැතුව බත් කන්නම්යැ”යි කියමින් පෙළපාළි ගිය ජනතාවට පසුව ආපසු හැරී ආණ්ඩුවට පහර දෙන තැනකට ගියේය. දැන් රටේ ඉන්නේ සවෘත ආර්ථිකයකට හුරුපුරුදු වූ ජනතාවක් නොව විවෘත ආර්ථිකයකට අනුගතවූ ජනතාවකි. එවැනි ජනතාවක් සිරිමා බණ්ඩාරනායක යුගයේදී ජනතාව ඉවසාගෙන සිටි ප්රමාණයටවත් ආර්ථික සම්බාධක පනවන තත්ත්වයක් ඉදිරියේ ඇතිවිය හැකි වඩා විශාල පීඩාව ඉවසාගෙන සිටිනු ඇතැ”යි සිතිය නොහැකිය.
සම්බාධක පනවන තත්ත්වයක් රටේ කිසිවකුත් අනුමත කළයුතු නැත. ඉන් රටට මහා විනාශයක් මිස කිසිදු සුගතියක් ඇතිවන්නේ නැත. ඒ සමග සම්බාධක පැනවීමේ ඇත්ත තර්ජනයක් තිබියදී එය කල්තියා සැලකිල්ලට නොගැනීම මගින් ප්රධාන කොට ආණ්ඩුවද ඊට පසුව විරුද්ධ පක්ෂ ව්යාපාර හා රටේ උගතුන්ද තමන්ගේ දේශපාලන මුග්ධභාවයේ තරම හොඳින් ප්රදර්ශනය කර ඇතැ”යි කිව හැකිය. වැදගත් උගතුන් සේ ම විරුද්ධ පක්ෂ ව්යාපාරද කළ යුතුව තිබුණේ රට මහා විනාශයකට තල්ලු නොකොට අන්තවාදී විදේශ ප්රතිපත්තියෙන් ඉවත් වන ලෙස ආණ්ඩුවට බලකිරීමය. එහෙත් එවැනි කිසිදු බලකිරීමක් නොතිබෙන තත්ත්වය තුළ දේශප්රේමී පැණි තැවරූ විනාශකාරි විදේශ ප්රතිපත්තිය බාධාවකින් තොරව ඉදිරියට ගෙනයෑමේ හැකියාව ආණ්ඩුවට ලැබුණි. අවසානයේ සියලුදෙනා කෙරෙහි එය ඇති කරන්නට යන්නේ මහා විනාශයකි.
මුව විට තිබෙන දංගෙඩිය
සම්බාධක පැනවීමක් ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය අත්යවශ්ය නැත. අනුමැතිය නැතිව වුවත් බලවත් සාමාජික රටකට හෝ සාමාජික රටවල් කිහිපයකට අපට එරෙහිව සම්බාධක පැනවිය හැකිය. ඇමරිකාව හා යුරෝපා සංගමය යන රටවල් පමණක් වුවත් අපට එරෙහිව සම්බාධක පනවන තත්ත්වයකට ගියහොත් අපේ ආර්ථිකය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. අපේ අපනයන භාණ්ඩයන්ගෙන් වැඩිම කොටසක් මිලදී ගන්නේ ඒ රටවල්ය. ඒ භාණ්ඩ චීනයට හෝ රුසියාවට විකිණීමේ හැකියාවක් නැත. අපනයන ආදායම්වල බිඳ වැටීමක් ආනයන කෙරෙහි සේ ම සමස්ත ආර්ථිකය කෙරෙහිද බලපායි. අනෙක් අතට එක්සත් ජාතීන්ගේ සංවිධානයටද අවශ්ය නම් අපට එරෙහිව සම්බාධක පනවන තැනකට යා හැකිය. එවැනි අවස්ථාවකදී චීනය හෝ රුසියාව අපේ ආරක්ෂාව වෙනුවෙන් සිය පැවැත්ම පරදුවට තබන ප්රතිපත්තියක් අනුගමනය කරනු ඇතැ”යි සිතිය නොහැකිය. මීට පෙර වෙනත් රටවලට සම්බාධක පනවන ලද අවස්ථාවලදී ඒ අතර තිබුණු සමහර රටවල් චීනය සමග කල්ලි ගැසී ක්රියාකරන තැනක සිටියදීත් චීනය ඒ රටවල ආරක්ෂාව සඳහා දැඩි ප්රතිපත්තියක් අනුගමනය කළේ නැත. එවැනි අවස්ථාවකදී සිදුවිය හැක්කේ චීනය විසින් මීට පෙර සමහර සගයන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්රතිපත්තියට සමාන අතසෝදා ගැනීමේ ප්රතිපත්තියක් ලංකාව සම්බන්ධයෙන්ද අනුගමනය කිරීමය.
ආණ්ඩුව අනියම් ලෙස පෙන්වන්න හදන්නේ ජනතාව කිසිදේකට බියවිය යුතු නැති බවය. එයින් අනියම් ලෙස කියන්නේ ආණ්ඩුව ඇතිවන ඕනෑම තත්ත්වයක් ඉදිරියේ මහජනතාව බලාගන්නා බවය. සම්බාධක පනවන තත්ත්වයක් ඇති වුවහොත් විය හැකි දේවල් හා ඒ තත්ත්වය ජයගැනීම සඳහා ආණ්ඩුවට තිබෙන විකල්ප වැඩපිළිවෙළවල් මොනවාද කියා ආණ්ඩුව මහජනයාට කියන්නේ නැත. ජීඇස්පී ප්ලස් සහනය සම්බන්ධයෙන් ප්රශ්න මතුවූ අවස්ථාවේදීත් ආණ්ඩුව පුන පුනා ජනතාවට කීවේ ඒ ගැන බියවියයුතු නැති බවය. ජී.ඇස්.පී ප්ලස් නැතුවත් බරපතළ හානියකින් තොරව ඉදිරියට යෑමේ තරගකාරී හැකියාව ශ්රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට තිබෙන බවට තර්ක කළේය. එහෙත් ජී.ඇස්.පී. ප්ලස් සහනය අහිමිවීමෙන් තවත් වසර කිහිපයකට පසුව ආණ්ඩුව කීවේ ඊට වෙනස් කතාවකි. එම සහනය අහිමි කිරීම නිසා සමහර ඇඟලුම් කර්මාන්තශාලා වැසී ඇති බවය. ඒ නිසා ඇඟලුම් කර්මාන්තයේ විශාල පිරිසකට රක්ෂා අහිමි වී ඇති බවය. ඇඟලුම් අපනයනයෙන් උපයන ආදායමේ සැලකිය යුතු පහත වැටීමක් ඇතිවී තිබෙන බවය.
රටකට සම්බාධක පැනවීමේ තර්ජනයක් ඇතිවිට අන් සියලුදෙනාට පෙර එය බලපාන්නේ විදේශ ආයෝජකයන් කෙරෙහිය. ලංකාවේ ආයෝජනයන් සඳහා ගිවිසුම් ඇති කරගෙන සිටින සමහර ආයෝජකයන් මෙම තර්ජනය නිසා දැනටමත් සිය සැලසුම් ක්රියාවට නැගීම තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර ඒ සමග දැනටමත් මෙහි ව්යාපාර ආරම්භ කොට ඇති සමහර විදේශ ව්යාපාරිකයන්ද ලංකාව අතහැර යෑමට අවශ්ය කටයුතු සූදානම් කරමින් සිටින බවද පෙනෙන්නට තිබේ.
බොරු සුදනකම
ලංකාවේ වැරදි විදේශ ප්රතිපත්තිය සම්බාධක පනවන තර්ජනයක් ඇතිවීම කෙරෙහි බලපා තිබෙන එක හේතුවක් වනවිට ඒ කෙරෙහි බලපා තිබෙන ඊළඟ හේතුව වී තිබෙන්නේ යුද්ධයෙන් පසු වගවීමෙන් වැළකී සිටීම හා දෙමළ ජනතාවගේ මූලික ප්රශ්න නොවිසඳීම ආශ්රයෙන් ඇතිවී තිබෙන ගැටලුය. ආණ්ඩුව යුද්ධයෙන් පසුව ක්රියාවට නගන ලද සමහර ප්රජාතන්ත්ර විරෝධී ක්රියාකාරකම්ද එම ප්රශ්න දෙක ආශ්රයෙන් ඇතිව තිබූ අවුල්සහගත තත්ත්වය තවදුරටත් උග්රකිරීමට හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය.
යුද්ධයේදී සිදුවී ඇති බවට චෝදනා එල්ල වූ සීමාන්තික ක්රියා සොයා බැලීමේ වගකීම ආණ්ඩුව තමන් අතට ගනිමින් විශ්වාසයට හේතුවන අභ්යන්තර පරීක්ෂණ ක්රියාවලියකට ගියේ නම් මෙම ආරාවුලේ බර විශාල ප්රමාණයකට සැහැල්ලු කරගත හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව එහිදී දැඩි අධානග්රාහී ප්රතිපත්තියක පිහිටා සිටියා විනා පිළිගත හැකි නම්යශීලී ප්රතිපත්තියකට යොමුවීමට කැමති වූයේ නැත.
ආණ්ඩුව මුලදී ඉතා දැඩි ස්වරයකින් දිගින් දිගටම කියා සිටියේ ආරක්ෂක හමුදා අතින් සීමාන්තික ක්රියා කිසිවක් සිදුවූයේ නැති බවය. එය ඇත්තක් නම් ඒ ගැන කෙරෙන කවර පරීක්ෂණයකට හෝ ආණ්ඩුව බිය නොවිය යුතුව තිබුණේය. එහෙත් ආණ්ඩුව ඒ ගැන කරන පරීක්ෂණයකට දිගින් දිගට විරුද්ධවීමෙන් බැලූ බැල්මට පෙනී යනුයේ ආණ්ඩුව ඒ ගැන කියන දේ සත්යයක් නොවන බව හා එහිදී ආණ්ඩුවට වසන් කරන්නට දේවල් ඇති බවය. යුද්ධයේදී හෝ යුද්ධය අවසානයේදී ආරක්සක හමුදා අතින් සීමාන්තික වැරදි සිදුවී තිබුණේ නම් එම යථාර්ථය ඉදිරියේ පවා ආණ්ඩුව ඒවා ගැන සොයා බලන සාධාරණ අභ්යන්තර පරීක්ෂණයකට ගියේ නම් වැරදි කරන ලද ආරක්ෂක හමුදා සාමාජිකයන් සුළු පිරිසක් වරදකරුවන් වන්නට ඉඩ තිබුණද ආණ්ඩුවට අවශ්ය නම් ඔවුන්ට සමාව ප්රදානය කිරීමේ හැකියාව තිබුණි. එසේ වී නම් සම්භාධක පනවන තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවන්නට ඉඩ තිබුණි. එවැනි පරීක්ෂණයක් නිසා එල්ටීටීඊයට එරෙහිව සටන් කළ ආරක්ෂක හමුදා පාවාදීමක් සිදුවන්නේ නැත. ඒ මගින් සිදුවන්නේ සුළු පිරිසක් ආරක්ෂක හමුදාවන්ගේ ප්රතිරූපයට ඇති කර තිබෙන හානිය නැති කොට ආරක්ෂක හමුදාවන්ගේ ප්රතිරූපය යළි යථා තත්ත්වයකට පත්කිරීමය.
කැරලි මර්දනයේදී ආරක්ෂක හමුදාවන් අතින් සිදුවී ඇති සීමාන්තික ක්රියාකාරකම් ගැන සොයා බැලීම රටට නුහුරු නුපුරුදු දෙයක් ලෙස සැලකිය නොහැකිය. පරිපූර්ණ තත්ත්වයකින් නොවූවද එය 71 කැරැල්ලෙන් පසුවද ඉන්පසු ජේවීපී දෙවැනි කැරැල්ලෙන් පසුවද එල්ටීටීඊයට එරෙහිව කෙරුණු යුද්ධයේදී අවස්ථා කිහිපයකදී සිදුවිය. එහිදී එම පරීක්ෂණ ආරක්ෂක හමුදා පාවාදීමක් ලෙසද සැලකුණේ නැත. එවැනි පරීක්ෂණවලට එරෙහිව ආරක්ෂක හමුදා නැගී සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේද නැත. මේ අවස්ථාවේදී පමණක් මුළු රටේම පැවැත්ම පරදුවට තබා පරීක්ෂණයකට නොයන දැඩි ප්රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ ජනතාවට හෙළිකිරීමට බැරි වෙනත් හේතු නිසා විය යුතුය.
දෙමළ ජනතාව පෙළීම
යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඇතැම් සමහර දේවලදී ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ප්රතිපත්තිය සාධාරණ නොවනවා සේ ම ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙළෙසන්නටද හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. අවතැන්වූවන් නැවත පදිංචි කරවීම, අත්අඩංගුවට ගනු ලැබූ අය පුනරුත්ථාපනය කොට සමාජ ගතකිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම වැනි සමහර අංශවලදී කැපී පෙනෙන ප්රගතියක් පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත්ව ඇතත් පවරා ගත් ඉඩම් ආපසු ලබාදීම, උතුරේ දෙමළ ජනතාවට ඔවුන්ට හිමි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ලබාදීම, උතුරේ හමුදාකරන්ය ලිහිල් කිරීම, දෙමළ ප්රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම වැනි ප්රශ්නවලදී ප්රමාණවත් තරමේ ප්රගතියක් පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත් වී නැත.
යුද්ධය අවසන් වී වසර පහකට වැඩි කාලයක් ගෙවී ඇතත් ආරක්ෂක හමුදා බැරැක්වලට යවා පූර්ණ සිවිල් පාලනයක් ඇති කිරීමට ආණ්ඩුව සමත් වී නැත. ඒ වෙනුවට සිදුවී තිබෙන්නේ පරාජිත දෙමළ ජනතාව අනියම් ලෙස පාලනය කිරීමේ බලය ජයග්රාහී ආරක්ෂක හමුදාවන්ට ලබාදීමය. අධි ආරක්ෂක කලාප ඇති කිරීම සඳහා බලහත්කාරයෙන් පවරාගනු ලැබූ ඒ ප්රදේශවල ජනතාවගේ ඉඩම් එක්තරා ප්රමාණයකට මිස පූර්ණ වශයෙන් පැරණි හිමිකරුවන්ට ලබාදී නැත. ඒ වෙනුවට උපායික වැදගත්කමක් ඇති ස්ථානවල අලුතින් ඉදිකෙරෙමින් තිබෙන හමුදා කඳවුරු සඳහා අක්කර දහස් ගණනින් ඉඩම් පවරා ගනිමින් තිබේ. උතුරට පළාත් සභා ආණ්ඩුවක් තිබුණද ඒ ආණ්ඩුවට තිබෙන පාලන බලය ඉක්මවා ගිය පාලන බලයක් එහි ආරක්ෂක හමුදාවන්ට ලබාදී තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. එහි ජනතාවගේ දෛනික කටයුතුවලට ආරක්ෂක හමුදා විසින් අනවශ්ය ලෙස ඇඟිලි ගසන ප්රතිපත්තියක් ක්රියාත්මක වන බවද පෙනෙන්නට තිබේ.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි දෙමළ ජනතාවගේ ප්රශ්න විසඳා ගැනීමට දෙමළ නායකයන් ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කරන්නට සූදානම් තත්ත්වයක සිටියේය. තමන් ඒකීය රාජ්යයක් තුළ බලය බෙදාගැනීමේ වැඩසටහනක් වෙනුවෙන් මිස වෙනම දෙමළ රාජ්යයක් වෙනුවෙන් පෙනී නොසිටින බව දෙමළ සන්ධානයේ නායකයන් ප්රසිද්ධියේ ප්රකාශ කර තිබුණේය. දශක ගණනකට පසුව දෙමළ සන්ධානයේ උත්සවවලදී ජාතික ගීය ගයා වැඩ ආරම්භ කරන තැනකටද ඔවුන් යොමුවී සිටියේය. පළාත් සභා මැතිවරණ ජයග්රහණයෙන් පසු මහ ඇමතිවරයා උතුරේ උත්සවයක් පවත්වා දිවුරුම් දෙනවා වෙනුවට ජනාධිපති වෙත පැමිණ ඔහු ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔවුන් විසින් දෙන ලද සංකේතාත්මක වැදගත්කමක් ඇති සංඥාවලට ලැබිය යුතු වැදගත්කම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් විය. දෙමළ සන්ධානයේ නායකයා (සම්බන්ධන්) ප්රකාශ කර තිබෙන පරිදි යුද්ධයෙන් පසු දෙමළ නායකයන් පළකරන ලද සහයෝගය ප්රයෝජනයට ගනිමින් ආණ්ඩුව දෙමළ නායකයන් සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට ගියේ නම් ජාත්යන්තරයෙන් එල්ල වී තිබෙන අභියෝගය පහසුවෙන් ජයගැනීමට සමත්වන්නට ඉඩ තිබුණි. රට යමින් තිබෙන්නේ මහා අගාධයක් කරාය. නැවේ සුක්කානම හසුරුවන කප්පිත්තා තමන් නැව රැගෙන යන්නේ සාමාන්යයෙන් නැව් නොයන අනතුරුදායක කලාපයකට බව දන්නේ නැත. නැවේ සිටින සෙසු කාර්ය මණ්ඩලයට සේ ම මගීන්ටද ඒ ගැන වැටහීමක් නැත. ඒ සියලුදෙනා විනාශකාරී අනතුරුදායී කලාපයකට ගමන් ගනිමින් සිටිනුයේ දේශප්රේමී ආවේගයන්ගෙන් මත්වී කුල්මත්වූ තත්ත්වයකිනි.