“නව ව්යවස්ථාවක් හදාගැනීමේ ප්රශ්නය” යන තේමාව යටතේ විස්තරාත්මක ලිපියක් ලිවීමට මා පෙළඹුණේ ඇයිද කියන කාරණය මා මෙම ලිපි පෙළ ආරම්භයේදීම කිසියම් ප්රමාණයකට පැහැදිලි කළෙමි. ඒ සඳහා මා පොළඹවන ප්රබල හේතුව වශයෙන් බලපෑවේ රාවය සහයෝගිතා ව්යාපාරය කැඳවන ලද පංගුකාරයන්ගේ රැස්වීමකදී ඊට සහභාගි වූ පුද්ගලයන් කිහිපදෙනකු විසින්ම නව ව්යවස්ථාවක් හදාගැනීමේ ප්රශ්නය පිළිබඳව මතු කරන ලද ප්රශ්න කිරීම්ය. එම විෂය පිළිබඳව ඔවුන්ගේ අවබෝධය තියුණු කිරීමට හේතුවන ලිපි පෙළක් ලිවීමට මට අවශ්ය වූ අතර එම ලිපි පෙළ නව ව්යවස්ථාවක් ගැන සිහින දකින වෙනත් අයගේද ප්රයෝජනයට හේතුවනු ඇතැ”යි මම කල්පනා කළෙමි.
සිංහල හින්දු අවුරුදු නිවාඩුව ආරම්භ වනවිට මා ඒ වෙනුවෙන් ලිපි තුනක් ලියා පළකර තිබුණෙමි. එහෙත් මා අපේක්ෂා කළ විවරණය සම්පූර්ණ කිරීම සඳහා තවත් ලිපි කිහිපයක්ම ලිවිය යුතුව තිබුණි. අවුරුදු නිවාඩු කාලයේදී ඒ ගැන විධිමත් ගණන් බැලීමක් කරන්නට මම උත්සාහ කළෙමි. පළමු ලිපි දෙකෙන් මා කතා කර තිබුණේ රට මුහුණ දී තිබුණු අර්බුදයේ සංකීර්ණ ස්වභාවය හා එම අර්බුදය හා ආණ්ඩුක්රම ව්යවස්ථා අතර තිබෙන අන්තර් සම්බන්ධය ගැනය. වඩා හොඳ නව ව්යවස්ථාවක් ගැන තර්කානුකූල අදහසක් ඇතිකර ගැනීමට මේ දක්වා ඇති කරගෙන තිබෙන ව්යවස්ථා තුන ගැන ඒවාහී ඓතිහාසික පසුබිම සමග ආපසු හැරී බැලීමක් කිරීම අත්යවශ්යවේයැ”යි කල්පනා කළෙමි. එහිදී මට තුන්වැනි ලිපියෙන් විවරණය කළ හැකිවූයේ එම ව්යවස්ථා තුනෙන් දෙකක් ගැන පමණය. 1978 ජේ.ආර්.ගේ ව්යවස්ථාව ගැන සලකා බැලීම අවශ්ය වනවා සේ ම 18 වැනි සංශෝධනය දක්වා ව්යවස්ථාවට එකතු කර තිබෙන සංශෝධන ගැන සලකා බැලීමද අවශ්යය.
ඊට අතිරේකව මෙම ලිපි පෙළෙන් අවශ්යයෙන්ම කතා කළ යුතුව තිබෙන වෙනත් කාරණා මොනවාදැ”යි ගණන් බැලීමක යෙදෙන්නට මම උත්සාහ කළෙමි. ආණ්ඩුක්රම ව්යවස්ථා සහිත නවීන රාජ්යයන් පහළවීම, ඒ තත්ත්වය කෙරෙහි බලපෑ සමාජ විපර්යාස, ඒ ආශ්රයෙන් ආණ්ඩුක්රම විෂයෙහි ඇතිවී තිබෙන මූලධර්ම හා සම්ප්රදායයන් ගැනත් එහිදී අප ඉන්නේ ශීලාචාරබවේ කවර මට්ටමකද යන්න ගැනත් කතා කළ යුතුය. ඒ සමග ව්යවස්ථා සම්පාදනයන්ට අදාළ අතීත පරමාදර්ශ හා නූතන පරමාදර්ශ ගැනත් නූතන ව්යවස්ථා සම්පාදනයන්හිදී අවශ්යයෙන්ම සැලකිල්ලට ගතයුතු හා අනුගමනය කළයුතු මූලධර්ම හා සම්ප්රදායයන් ගැනත් කතා කළ යුතුය.
ඊළඟට ශ්රී ලංකාවට අවශ්ය වී තිබෙන්නේ කවර ආකාරයක ව්යවස්ථාවක්ද, ඉන් සම්පූර්ණ කරගත යුතුව තිබෙන අභිලාෂයන් මොනවාද යන්න ගැන සාකච්ඡා කළ හැකිය. අවසාන වශයෙන් නව ව්යවස්ථාවක් ඇති කරගැනීමේ ඉලක්කය ප්රායෝගිකව ජයගත යුතුව තිබෙන්නේ කෙසේදැ”යි සාකච්ඡා කළ හැකිය. ඒ සඳහා වඩා වැදගත් වනුයේ බෙදී සිටින සියලු සංවිධාන හා ඒවා යටතේ සිටින ජනයා හා ඉන් පිටස්තර ජනයා එකට එකතු කිරීමට අවශ්ය කැරිස්මාවක් තිබෙන පොදු අපේක්ෂකයකු සොයාගැනීමද නැතිනම් බෙදී සිටින සංවිධාන ඒවා යටතේ සිටින ජනයා හා ඉන් පිටස්තර ජනයා එකට එකතුකිරීමට ශක්තියක් තිබෙන ඒ සියලුදෙනාගේ ආකර්ෂණයට, විශ්වාසයට හා පිළිගැනීමට හේතුවන හා ඒ සියලුදෙනාට පංගුකාරිත්වයක් ලබාදෙන පොදු වැඩසටහනක් ඇතිකර ගැනීමද යන ප්රශ්නය සාකච්ඡා කළ යුතුය.
මගේ ගණන් බැලීම අනුව ඉහත විස්තර කළ කාරණා ආවරණය කෙරෙන ආකාරයේ ලිපි පෙළක් සම්පූර්ණ කිරීමට තවත් ලිපි 07ක් පමණ ලිවිය යුතුය. එවැනි දිග්ගැසුණු ලිපි පෙළක් පාඨකයන්ගේ උනන්දුවට හේතුවේද? පළමු ලිපි තුන සමහර පාඨකයන්ගේ උනන්දුවට හේතුවී තිබෙන බව ලැබුණු ප්රතිචාරවලින් පෙනෙන්නට තිබේ.
එහෙත් ඒ ගණයට වැටෙන අයගේ ප්රමාණය කොතරම්ද යන්න පැහැදිලි නැත. එය පාඨකයන්ගේ උනන්දුවට හේතුනොවේ නම් ඒ වෙනුවෙන් මා මහන්සි වීම තේරුමක් නැති ක්රියාවකි. ඒ ගැන පාඨකයන් හිතන්නේ කෙසේද යන්න දැනගැනීමට මම කැමැත්තෙමි.