සමාජ පාදඩකරණය යන තේමාව යටතේ මා පසුගිය සතියේ ලියන ලද ලිපියේ ප්රචණ්ඩ කැරලි ඇතිවීමත් සමග හමුදා සේවයේ ඇතිවූ අතිවිශාල ප්රසාරණයත් හමුදාව සේවය අතහැර පලායන්නන් ගැනත් සඳහන් විය. එහෙත් පලා ගොස් සිටි අයගේ සංඛ්යාව ඊට ඇතුළත් නොවීය. සංඛ්යාව වැදගත්වන්නේ එම ප්රවාහයේ තරම තේරුම් ගැනීමටය. හමුදා සේවය අතහැර පලාගිය අයගේ සංඛ්යාව පිළිබඳව විරුද්ධ පක්ෂයේ මන්ත්රීවරයකු පාර්ලිමේන්තුවේදී අසන ලද ප්රශ්නයකට ආණ්ඩු පක්ෂය විසින් දුන් පිළිතුර පසුගිය සති අන්තයේ පුවත්පත්වල පළවී තිබුණි. ඒ අනුව හමුදා සේවයෙන් පලාගොස් ඇති අයගේ සංඛ්යාව 59267කි. ඉන් 267ක් නිලධාරි ගණයට ඇතුළත් අය වෙති.
ඊට පෙර සතියේ ස්මෝල්ගේ ආදර්ශය අළලා ලියන ලද ලිපියට ලැබුණු දුරකතන ප්රතිචාර සංඛ්යාව විශාලය. එම ආදර්ශය මට කතා කළ සමහර අය කුල්මත් කිරීමට හේතුවී තිබුණු බවද පෙනෙන්නට තිබුණි.
ස්මෝල් හා මැතිවරණ කොමසාරිස්
ස්මෝල් එම ආදර්ශය දී තිබුණේ පාසලේ ක්රිකට් කණ්ඩායම් නායකයා තෝරා පත්කර ගැනීම සඳහා පැවති ඡන්දයක් මුල්කොටගෙනය. දැන් අප ඉන්නේද පළාත් සභා ඡන්ද දෙකක මුව විටය. 1977න් පසුව මැතිවරණවලදී දකින්නට තිබුණු ලක්ෂණයක් වනුයේ බොහෝ අපේක්ෂකයන් රිච්මන්ඩ් ඡන්දයේදී ආර්.ඒ.ඩී. මෙල් අනුගමනය කරන ලද පිළිවෙත වඩා විශාල ප්රමාණයකින් ක්රියාත්මක කිරීමය. ඒ තත්ත්වය ක්රමයෙන් ලොකු මහත් වී මේ වනවිට වසංගත තත්ත්වයකට පත්ව ඇතැ”යිද කිව හැකිය. ඡන්ද අපේක්ෂකයන් දැන් ඡන්දදායකයන්ට පගාව දෙන්නේ හොර රහසේ නොව ප්රසිද්ධියේය. සමහර අපේක්ෂකයන් තමන්ගේ ස්ටිකරයක් ඡන්ද කටයුතු අවසන් වන තෙක් ත්රීවිලර්වල අලවා ගෙන සිටීම වෙනුවෙන් නොමිලේ රෝද තුනක් ලබාදෙනවාට අතිරේකව ඒ සඳහා ත්රීවිලරයේ රියදුරාට නිශ්චිත මුදලක්ද ගෙවනු ලබයි. තවත් සමහර අපේක්ෂකයන් ඡන්දදායකයන්ට භාණ්ඩ බෙදාහරිනුයේ ලොරිවලින් හා කන්ටේනර්වලිනි. අපේක්ෂකයන් දැන් ඡන්ද වියදම ගණනය කරනුයේද රුපියල් සතවලින් නොව රුපියල් මිලියනවලිනි.
විධායක ජනාධිපති ක්රමයක් ඇති කිරීමෙන් පසු එතෙක් පැවති සමහර ඡන්ද නීති ඉවත් කර ඇතත් තාමත් පවතින නීතිය අනුව සේ ම පිළිගත් ප්රජාතන්ත්රවාදී සාරධර්ම අනුවද ඡන්දදායකයන්ට පගාව දීම හා සංග්රහ කිරීම නීති විරෝධීය. එහෙත් ඒ සියල්ල දැන් සිදුවන්නේ හොර රහසේ නොව ප්රසිද්ධියේය. මැතිවරණයකදී ස්මෝල්ගේ ආදර්ශය වඩාත්ම අදාළවන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය. මෙතෙක් සිදුවූයේ එම නොමනා තත්ත්වය ඉදිරියේ මැතිවරණ කොමසාරිස්වරයා අහක බලාගෙන සිටීමය. මෙම අශෝභන තත්ත්වය පාලනය කිරීමේ ප්රධාන වගකීම පැවරෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයාටය. ඡන්ද අපේක්ෂකයන් මහා පරිමාණයෙන් හා ප්රසිද්ධියේ ඡන්දදායකයන්ට අල්ලස් දෙන තත්ත්වයක් තිබේ නම් එවැනි වටාපිටාවක පවත්නා කවර මැතිවරණයක්වත් නිදහස් හා සාධාරණ විය නොහැකිය. ඡන්දය පාවිච්චි කිරීම මූලික අයිතිවාසිකම් වන නිදහසේ අදහස් පළකිරීමට තිබෙන අයිතියේම වෙන් නොකළ හැකි වැදගත් කොටසක් බවට ශ්රේෂ්ඨාධිකරණය අර්ථකථනය කර තිබෙන අතර ඒ අනුව අපේක්ෂකයන් විසින් මහා පරිමාණයෙන් ඡන්දදායකයන්ට අල්ලස් දීම හා සංග්රහ කිරීම මහා පරිමාණයෙන් සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙස සැලකිය හැකිය. මැතිවරණ පරිපාලනයේදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැවරී තිබෙන වගකීම පිළිබඳවද ශ්රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනයක් ලබාදී තිබෙන බවද කිව යුතුය. ශ්රේෂ්ඨාධිකරණයට අනුව මැතිවරණ කොමසාරිස්වරයා යනු ඔහුගේ වගකීම් ස්වාධීනව හා සාධාරණව ක්රියාකිරීමට අවශ්ය බලය ආණ්ඩුක්රම ව්යවස්ථාව විසින්ම ලබාදී තිබෙන පුද්ගලයෙකි. මැතිවරණවලදී මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමේ වගකීම ප්රධාන කොට පැවරී ඇත්තේ ඔහුටය. ඒ සඳහා තිබෙන නීති ප්රමාණවත් නොවේ නම් රීති ඇති කරගනිමින් ඒ රීති ක්රියාත්මක කිරීමේ බලය ඔහු සතුය. ශ්රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබෙන පරිදි තමන්ට පාලනය කළ නොහැකි ප්රශ්න ඇතොත් ශ්රේෂ්ඨාධිකරණය වෙත ගොස් ඒ සඳහා අවශ්ය මගපෙන්වීම් ලබාගත යුතුය. කෙටියෙන් කියතොත් අවශ්ය නම් ස්මෝල් කෙනකුවීමේ බලය හා අයිතිය මැතිවරණ කොමසාරිස් සතුය.
අඩුම වශයෙන් ඡන්ද කාලයේදී ඡන්ද අපේක්ෂකයන් විසින් ඡන්දදායකයන්ට භාණ්ඩ බෙදාහැරීම හා සංග්රහ කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව ප්රකාශ කළ යුතුය. එවැනි වැරදි කරන ඡන්ද අපේක්ෂකයන් අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඔහු පොලිසියට උපදෙස් දිය යුතුය.
සීලාචාර තත්ත්වයක සිටි යුගය
විධායක ජනාධිපති ආණ්ඩුක්රමයක් ඇතිවන්නට පෙර ඡන්ද අපේක්ෂකයකුට ඡන්ද කටයුතු සඳහා කළහැකි වියදම සඳහා නීතියෙන් පනවන ලද සීමා තිබුණි. මැතිවරණයකදී මැතිවරණ කටයුතු හැසිරවීම හා පරිපාලනය සඳහා අපේක්ෂකයකුට කළහැකි උපරිම වියදම රුපියල් 5000ක් හෝ එක ඡන්දදායකයකු සඳහා සත 20ක් විය. 1965 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ රටේ සියලුම අපේක්ෂකයන් දරන ලද වියදම රුපියල් 303381ක් විය. 1970 මැතිවරණයේදී එය රුපියල් 347398ක් විය. දිස්ත්රික්ක අනුව ගත් විට 1970 මැතිවරණයේදී වැඩිම වියදමක් දරා තිබුණේ කෑගල්ල දිස්ත්රික්කයේ මන්ත්රී ධුර අපේක්ෂකයන්ය. එක් අපේක්ෂකයකුගේ සාමාන්ය වියදම රුපියල් 4235 ශත 18ක් විය. අඩුම වියදමක් දරා තිබුණේ වවුනියාව දිස්ත්රික්කයේ අපේක්ෂකයන්ය. එක් අපේක්ෂකයකුට වැටුණු වියදම රුපියල් 1940 ශත 40කි.
මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ වියදම්වල සහතික කළ වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. එකල පාර්ලිමේන්තුවට තරග කරන අපේක්ෂකයන් තරග කළේ දිස්ත්රික්කයකට නොව පුංචි මැතිවරණ කොට්ඨාසයකටය.
ඒ අනුව දිස්ත්රික්කයකට තරග කරන අපේක්ෂකයකුට මැතිවරණ කොට්ඨාසයකට තරග කරන අපේක්ෂකයකුට වඩා වැඩි වියදමක් දරන්නට සිදුවීම ස්වාභාවික වුවත් අද අපේක්ෂකයන් මහා පරිමාණයෙන් කරන වියදම් කවර මට්ටමකින්වත් සාධාරණ නොවන අතර දරන වියදමේ විශාලත්වය අනුව බොහෝ දෙනකු සැලකිය හැක්කේ ඡන්දදායකයන්ට පගාව දෙන පගාකාරයන් ලෙසය.
ඡන්ද නීති උල්ලංඝනය කරමින් කිසියම් පුද්ගලයකු ජයග්රහණය කරන ලද අවස්ථාවකදී මැතිවරණ පෙත්සමක් මගින් ජයග්රාහකයාගේ තේරී පත්වීම අභියෝගයට ලක්කිරීමේ හැකියාව එකල පරාජිත අපේක්ෂකයන්ට තිබුණි. ඡන්ද පෙත්සම් නිසා ඉතා බලවත් පුද්ගලයන්ගේ පවා අසුන් අහිමි වූ අවස්ථා තිබුණි.
1947දී පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයට 1947 පැවති මහා වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි කරගෙන සිටි ටී.බී. ඉලංගරත්න මහනුවර ආසනයට තරග කළේය. ඔහු තරග කළේ එකල අපේ ජෝර්ජ් නමින් ප්රකටව සිටි හිටපු රාජ්ය මන්ත්රණ සභා මන්ත්රීවරයකු වූ ජෝර්ජ් ඊ. ද සිල්වා සමගය. එම මැතිවරණයෙන් ජෝර්ජ් ජයගත්තද ඉලංගරත්න පරාජය වූයේ ඡන්ද 205කිනි.
ඉලංගරත්න ජෝර්ජ්ගේ තේරී පත්වීමට එරෙහිව ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමක් නිසා ජෝර්ජ්ට අසුන අහිමිවී ඔහුගේ ප්රජා අයිතියද අවුරුදු හතකට අහිමි විය. ඒ නිසා ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා පැවති අතුරු මැතිවරණයට ඉලංගරත්න සමග තරග කළේ ජෝර්ජ්ගේ පුතාය. එම අතුරු මැතිවරණයෙන් වැඩි ඡන්ද 3853කින් ජයගැනීමට ඉලංගරත්න සමත් විය.
මැතිවරණයෙන් පරාජය වූ ජෝර්ජ්ගේ පුතාද ඉලංගරත්නගේ තේරී පත්වීම අභියෝගයට ලක්කරමින් මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළේය. අධිකරණය ඉලංගරත්නගේ තේරීපත්වීම අවලංගු කොට ඔහුගේ ප්රජා අයිතියද හත් අවුරුදු කාලයක් සඳහා අහිමි කළා පමණක් නොව ඉලංගරත්නගේ තේරී පත්වීමට එරෙහිව ඡන්ද පෙත්සම ඉදිරිපත් කළ ජෝර්ජ්ගේ පුතාගේ ප්රජා අයිතියද අධිකරණය විසින් තුන් අවුරුදු කාලසීමාවක් සඳහා අහිමි කරන ලදි. හේතුව ඔහු මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් ලේඛනයට ඔහු විසින් කර තිබූ රුපියල් 25ක වියදමක් ඇතුළත් කොට නැති බව පෙත්සම් විභාගයේදී තහවුරුවීම නිසාය.
අද කාලයේ සිදුවන දේවල් සමග පැරණි පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය තිබූ කාලයේ සිදුවූ දේවල් සසඳා බලන විට මැතිවරණ විෂයේදී අප හැමදාමත් වනචාරී තත්ත්වයක නොසිටි බව තේරුම් ගත හැකිය. සීමාසහිතකම් තිබියදී වුවත් මැතිවරණ විෂයේදී අප සිට ඇත්තේ වඩා හොඳ ශීලාචාර තත්ත්වයකය. එම විෂයේදී දැන් සිටින වනචාරී තත්ත්වය සීලාචාර තත්ත්වයක සිට පසුව ඇති කරගත් තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
තිබුණු පැරණි පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක හොඳම දේශීය සහවාදය ලෙස සැලකිය නොහැකි වුවත් අවසාන විග්රහයේදී රාජ්යයේ පරමාධිපත්ය බලය හිමිව තිබුණේ ජනතාවටය. ජනතාව තමන්ට තිබෙන පරමාධිපත්යය බලය අභ්යාස කරන ලද්දේ විටින් විට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම මගිනි. ජනතාව සිය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා මහජන නියෝජිතයන් පිරිසක් වෙත සීමිත කාලයක් සඳහා තමන්ගේ පරමාධිපත්යය බලය පවරා දෙන ලද අතර එම මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව රටේ සියලු කටයුතු හසුරුවන උත්තරීතර දේශපාලන ආයතනය ලෙස ක්රියා කළේය. විධායකය තෝරාපත් කරගන්නේ පාර්ලිමේන්තුව විසිනි. විධායකය පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටියේය. අවශ්ය නම් විධායකය පරාජය කිරීමේ බලයද පාර්ලිමේන්තුවට තිබුණි.
සාමාන්යයෙන් මහජනයා හැම අවුරුදු 5කට වරක්ම මැතිවරණවලදී ආණ්ඩුව වෙනස් කළේය. ආණ්ඩු බලය ස්ථාන ගතකොට තිබුණේ මහජනයාට අවශ්ය නම් මැතිවරණවලදී බලයේ සිටින ආණ්ඩුව පෙරළා දැමිය හැකි ආකාරයටය. මැතිවරණවලදී මහජන මතය බරපතළ ලෙස විකෘති කළහැකි තත්ත්වයක් නොතිබුණි. මහ මැතිවරණ දෙකක් අතරතුර කාලයේදී විටින් විට පැවැත්වෙන අතුරු මැතිවරණ මහජන මතය පිළිබිඹු කරන වැදගත් මාපකයක් වශයෙන් ක්රියා කළේය. සාමාන්යයෙන් එසේ පැවැත්වෙන අතුරු මැතිවරණවලින් වැඩි හරියක් ජයගත්තේ ආණ්ඩු පක්ෂය නොව විරුද්ධ පක්ෂය. සාමාන්යයෙන් හැම වසරකට වරක්ම පවත්වන මැතිවරණවලින් ආණ්ඩු මාරුවන තත්ත්වයක් තිබීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු එම මැතිවරණ කටයුතු කෙරෙහි බලපෑ හැකි වෙනත් දේශපාලන අධිකාරී නොතිබීම හේතු කොටගෙන පවත්වනු ලබන මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක පැවතුණි. රාජ්ය නිලධාරීන්ද අපක්ෂපාතව ක්රියාකරන තත්ත්වයක් පැවතුණි. ඉතා වැදගත් දේ ඒ තිබුණු ක්රමය තුළ විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ අවස්ථාවක් තිබීමය.
වෙනත් සමහර රටවල් සමග සසඳන විට අපේ මැතිවරණ නීති ඉතා දියුණු තත්ත්වයක නොතිබුණද මැතිවරණවලදී පිළිගත හැකි සීලාචාර තත්ත්වයක් පවත්වාගෙන යෑමට පුළුවන් තරමේ මැතිවරණ නීති සමුදායක් තිබුණි. මැතිවරණ දෙපාර්තමේන්තුව ඉන්දියාවේ මැතිවරණ කොමිසම තරම් දියුණු තත්ත්වයක නොතිබුණද පිළිගත හැකි ප්රශස්ත මට්ටමකින් මැතිවරණ දෙපාර්තමේන්තුව සිය වගකීම් ඉටු කරන තත්ත්වයක් තිබුණි. මූලික අයිතිවාසිකම් බිඳවැටීමකදී නඩු පැවරිය හැකි තත්ත්වයක් ඒ කාලයේ නොතිබියදීත් මැතිවරණ පෙත්සම්වලට අදාළ නඩු කටයුතු ප්රශස්ත මට්ටමකින් පවත්වාගෙන යෑමට අධිකරණය සමත්ව තිබුණි.
තිබුණු පැරණි ක්රමය තුළද නීති උල්ලංඝනයන් තිබුණි. එහෙත් මැතිවරණයකදී මහජන මතය මුළුමනින් විකෘති කිරීමේ හැකියාවක් ඒවාට නොතිබුණි. සමහර සීමිතකම් තිබියදීත් මැතිවරණවලදී මහජන මතය අව්යාජ ලෙස ප්රකාශ වන තත්ත්වයක් තිබුණි.
සීලාචාරකම අත්හැරීම
එතෙක් ශීලාචාර තත්ත්වයක පැවති දේශපාලන බලඅරගලය වනචර තත්ත්වයකට පරිවර්තනය වීම සිදුවූයේ නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපති ක්රමයක් ඇති කිරීමත් සමගය. ජනාධිපති නීතියට හෝ පාර්ලිමේන්තුවට වගනොකියන ඒ සියල්ලට ඉහළින් සිටින තත්ත්වයක් ඇතිවීම නිසා නීතියේ පාලනය බිඳ වැටී ඒ තත්ත්වය මැතිවරණ කෙරෙහිද බලපෑවේය. පාර්ලිමේන්තුවට තිබුණු උත්තරීතර තත්ත්වය අහිමි වී විධායක ජනාධිපති උත්තරීතර බවට පත්වී පාර්ලිමේන්තුව විධායක ජනාධිපතිගේ රබර් මුද්රාවක් බවට පත්විය. මැතිවරණ අපේක්ෂකයන් සඳහා පැවති සීමා නීති අහෝසි කරන ලදි. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් මැතිවරණ කොමසාරිස්වරයාට සහතික කරන ලද මැතිවරණ වියදම් ලේඛන ලබාදීමට තිබූ නීතිමය බැඳීමද අහෝසි කරන ලදි. මන්ත්රීකමට ලබාදෙන ලද විශේෂ වරප්රසාද හේතු කොටගෙන එය පහසුවෙන් මුදල් උපයාගත හැකි මාර්ගයක් බවට පත්වී ඒ සඳහා කෙරෙන තරගය වියරු, වියදම් අධික හා ම්ලේච්ඡ තරගයක් බවට පත්වූයේය. මැතිවරණ කොමසාරිස්වරයා කෙරෙහි සේ ම අධිකරණය කෙරෙහිද බලපෑමට ජනාධිපතිට ලැබී තිබුණු අතිවිශාල බලය නිසා මැතිවරණ කොමසාරිස්වරයා සේ ම අධිකරණයද සිය ස්වාධීනත්වය අහිමි කරගනිමින් ජනාධිපතිවරයාට යටහත් පහත් තත්ත්වයකින් ක්රියා කරන ආයතන ක්රම දෙකක් බවට පත්විය. විධායක ජනාධිපති ක්රමය තුළ ප්රධාන දේශපාලන බලඅධිකාරීන් දෙකක් ඇතිවීම නිසා එක බල ආයතනයක් විසුරුවා හරින විට අනෙක් බල ආයතනය බලයේ ඉඳිමින් ඒවාට තිබෙන බලය මැතිවරණ පැවැත්වෙන බලආයතනය කෙරෙහි බලපෑමේ හැකියාව හිමිකර ගත්තේය. නිදර්ශනයක් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන විට බලයේ සිටින ජනාධිපති තමන්ට තිබෙන අතිවිශාල බලය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යොදා ගනී. ජනාධිපතිවරණයක් පැවැත්වෙන විට බලයේ සිටින ඇමති මණ්ඩලය ඒ බලය ජනාධිපතිවරණය සඳහා පාවිච්චි කරන තත්ත්වයක් ඇතිවිය. ඇති කරන ලද නව දූෂිත ක්රමයට ආවේණික විශේෂිතම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ මැතිවරණවලදී ආණ්ඩු වෙනස් කිරීමේ බලය බොහෝදුරකට මහජනයාගෙන් ඉවත් කිරීමය. ඒ මගින් මහජනයාට පහසුවෙන් වෙනස් කළ නොහැකි ආණ්ඩු බලයක් ස්ථාපිත විය. ඒ සමග මහජනයාට තිබූ පරමාධිපත්යය බලය අහිමි වී ඒ බලය තනි විධායක ජනාධිපතිවරයකු භුක්ති විඳින තත්ත්වයක් ඇතිවිය. එහි ප්රතිඵලයක් වශයෙන් ආණ්ඩු පෙරළි ඉතාමත් කලාතුරකින් අහම්බෙන් මෙන් සිදුවන දෙයක් බවට පත්වූයේය. 1977දී බලයට පැමිණි පාලක පක්ෂය වෙනස් වූයේ 1994දීය. එහිදීද ආණ්ඩු වෙනසකට ඉඩ ලැබුණේ ජනාධිපතිකමේ ඩී.බී. විජේතුංග කෙනකු සිටීම නිසාය. ඒ වෙනුවට බලවත් වෙනත් කෙනකු ඒ තනතුරේ සිටියේ නම් 1994දීද ආණ්ඩු වෙනසක් ඇති නොවන්නට ඉඩ තිබුණි.
ශ්රීලනිප ප්රමුඛ සමගි පෙරමුණ 1994දී බලයට ආවේ මෙම කෑදර කොල්ලකාරී ක්රමය වෙනස් කොට නැවත පැරණි ක්රමයට යන බවට දිවුරා පොරොන්දුවෙමිනි. එහෙත් එම එකතුවද මේ දූෂිත ක්රමයේ රස උපරිම ලෙස උරා බීවා මිස ක්රමය වෙනස් කරන තැනකට නොගියේය. ඒ නිසා 1994 බලයට පත්වූ එම පක්ෂ එකතුවට අද දක්වා එනම් අවුරුදු 20කට ආසන්න කාලයක් බලයේ රැඳී සිටීමට හැකිවී තිබේ. මේ දූෂිත ක්රමය තුළ පාලක පක්ෂයට අවශ්ය නම් මහජන මතය කොල්ලකෑ හැකිය. නැතිනම් තොග වශයෙන් මිලදී ගත හැකිය. කොල්ලකෑම් සිදුවූයේද මිලදී ගැනීම් සිදුවන්නේද හොර රහසේ නොව ප්රසිද්ධියේය. මේ ක්රමය රට පාලනය කරනවාට අතිරේකව පොදු වස්තුව කොල්ලකෑමේ අරමුණින්ම ඇති කර තිබෙන දූෂිත ක්රමයක් වන නිසා බලයේ සිටි කොල්ලකාරී කල්ලියක් තවත් කොල්ලකාරී කල්ලියකට බලයෙන් පහකිරීම දුෂ්කරය. එක්සත් ජාතික පක්ෂය එක දිගට අවුරුදු 17ක් රටේ සාරය උරා බීවේය. ඔවුන් මේ දූෂිත ක්රමය ඇතිකර ගත්තේ කවදා හෝ ප්රතිපක්ෂයකට බලය දීමේ අදහසින් නොව හැමදා බලයේ ඉඳීමේ අදහසිනි. එහෙත් ඔවුන්ටම පාලනය කරගත නොහැකි හේතු නිසා බලය අහිමි වී ප්රතිපක්ෂයට බලය ගියේය. ඉන් බලයට පත්වන ඊළඟ පිරිස රටේ සාරය උරාබොන්නන් බවට පත්වූයේය. එදා එජාප බලයේ සිටි අවස්ථාවේදී ශ්රීලනිපය ඇද වැටී සිටි ඛේදජනක තත්ත්වයට සමාන තත්ත්වයකට දැන් එජාප ඇද වැටී සිටින්නේය. දැන් රටට අවශ්ය වී තිබෙනුයේ සරල ආණ්ඩු වෙනසකට වඩා මෙම දූෂිත කොල්ලකාරී ක්රමයේ මූලික වෙනසකි. මහජනයාගෙන් උදුරාගෙන තිබෙන පරමාධිපත්යය බලය නැවත මහජනයාට ලබාදෙන ක්රමයකි. පාලක පක්ෂයට රටේ සාරය උරාබීමට ඉඩ නොලැබෙන නීතියේ ආධිපත්යය රජයන කැබලි වී තිබෙන ජාතිය එකට ඒකරාශී කරන දේශපාලන ක්රමයකි.
මෙය අපේ ඓතිහාසික ගමන් මගේ එක් අවලස්සන අධියරයක් ලෙස සැලකිය හැකිය. මෙම දූෂිත දේශපාලන ක්රමයද සදාකාලික නැත. තාවකාලිකය. එය ඓතිහාසික අර්ථයෙන් දැන් තිබෙන්නේ ශක්තිමත් තත්ත්වයක නොව පණ අදින කෑලි කඩා හැලෙන තත්ත්වයකය. එය ස්වාභාවිකවද මරණයට පත්වනු ඇත්තේය. මහජනයාට අවශ්ය නම් ස්වාභාවික මරණයක් ළඟාවන තෙක් බලා නොසිට එහි ජීවිතය ඉක්මනින් තොර කිරීමේ හැකියාවක්ද තිබෙන්නේය. දැන් සියලු විරුද්ධ පක්ෂ විධායක ජනාධිපති ක්රමය අහෝසි කළයුතුයි කියන ස්ථාවරයට පැමිණ තිබෙන්නේය. විධායක ජනාධිපති ක්රමය අනුමත කරන්නේ ආණ්ඩුව හා ආණ්ඩු පක්ෂය පමණය. එහෙත් බොහෝ දෙනෙක් ප්රසිද්ධියේ කතා කරන්නේ නැතත් ආණ්ඩු පක්ෂයේ වැඩි පිරිසක්ද විධායක ජනාධිපති ක්රමයට කැමති නැත. එහෙත් ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ බලවත් සුළු පිරිසක් විධායක ජනාධිපති ක්රමයේ ආරක්ෂාව සඳහා පෙනී සිටින තත්ත්වයකට පත්ව සිටී. වඩා විශාල පිරිසක් විධායක ජනාධිපති ක්රමය එපායැ”යි කියන තැනකට පැමිණ ඇතත් ඒ එකතුවට තාමත් එකවිට විධායක ජනාධිපති ක්රමය අනුමත කරන ආණ්ඩුවට හා විධායක ජනාධිපති ක්රමයට එරෙහිව ප්රබල දේශපාලන බලයක් ලෙස මතුවීමට තාමත් හැකිවී නැත. එසේ වී තිබෙන්නේ ඇයි? ඒ ගැන හා හොඳ පොදු අපේක්ෂකයකු ගැන විරුද්ධ පාක්ෂිකයන් අතර තිබෙන සිහිනයේ යථාර්ථය ගැන වන මගේ අදහස ඊළඟ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.