පසුගිය සතියේ සිකුරාදා Ceylon Today පුවත්පතේ ජනමාධ්යවේදියකු මට දුරකතනයෙන් කතා කොට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පුවත්පත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් මා ගැන සඳහන් කිරීම් කිහිපයක් කරන ලද බවත් විශේෂයෙන්ම දියවන්නාඔය කතාව මා හා ලසන්ත වික්රමතුංග නිර්මාණය කරන ලද කතාවක් බව ඔහු කී බවත් මට කියමින් ඒ ගැන වන මගේ කතාව කීමට අවස්ථාවක් ලබාදීමට පුවත්පත කැමති බවත් ඒ සඳහා වන සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා සඳුදා දිනයේදී හමුවිය හැකිදැ”යි මගෙන් විමසා සිටියේය. පොහොය දිනය වන සඳුදා දිනයේදී මා කොළඹ නොසිටින නිසා හමුවනවා නම් හමුවිය හැක්කේ අඟහරුවාදා බව ප්රකාශ කරමින් නැවත සඳුදා දින කතා කරන ලෙස ඉල්ලා සිටියෙමි.
ඉරිදා උදේ මට දුරකතනයෙන් කතා කළ මා දන්නා හඳුනන හිටපු විනිසුරුවරයකු සරත් නන්ද සිල්වා මව්බිමට පච තොගයක් කියා ඇති බව කියා සිටියේය ඔහුගේ සම්මුඛ සාකච්ඡාව මුළුමනින් කියවීදැය”යි විමසූ විට මුළු සම්මුඛ සාකච්ඡාවම කියවූ බවත් සම්මුඛ සාකච්ඡාට වෙන්කර තිබෙන ඉඩ පිටු දෙකහමාරක් බවත් කියා සිටියේය.
ඉන්පසු ඉරිදා මව්බිම පුවත්පත හා එම ආයතනය විසින්ම පළකරන සිලෝන් ටුඩේ පුවත්පත ගෙන්වාගෙන කියවීමි. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සඳහා සිංහල පුවත්පත පිටු දෙකහමාරක් වෙන් කරන විට ඉංග්රීසි පුවත්පත සම්පූර්ණ පිටුවක ඉඩක් වෙන්කර තිබුණි. ඉංග්රීසි පුවත්පතේ පළවී තිබුණේ සිංහල පුවත්පතට ගන්නා ලද සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණයකි. සම්මුඛ සාකච්ඡාව තුළින් තනතුරේ සිටියදී ඔහු විසින් කරන ලද නින්දාසහගත ක්රියාවන් නිසා ඇඟේ තැවරී තිබුණු කැත කුණු සෝදාගැනීමට ඔහු විශාල උත්සාහයක යෙදී තිබුණු බව පෙනෙන්නට තිබුණි. එහි ඔහු මා ගැනද නොයෙකුත් දේ තියා තිබුණි.
සඳුදා සවස Ceylon Today මාධ්යවේදියා නැවත මට කතා කොට අඟහරුවාදා දිනට යොදාගෙන ඇති සම්මුඛ සාකච්ඡාව ගැන මතක් කළේය. මා පුවත්පත් දෙකේම පළවී තිබූ වාර්තා කියවනු ලැබූ බවත් සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබෙන පුද්ගලයා එය සිදුකර තිබෙන ආකාරය ගැන මට එකඟවිය නොහැකි බවත් බරපතළ වැරදි කර තිබෙන පුද්ගලයකුට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙනවිට එය කළයුත්තේ ප්රමාණවත් තරමේ කරුණු හැදෑරීමකින් පසුව බවත් ඔහුට එරෙහිව එල්ල වී තිබූ බරපතළ චෝදනා පිළිබඳව ලියැවුණු පොත්පත් සේ ම දේශීය හා ජාත්යන්තර පරීක්ෂණ වාර්තා තිබෙන බවත් ඒවා පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව ඇඟේ තැවරී තිබෙන කැත කුණු සේදා ගැනීමට වේදිකාවක් තනාදීම යහපත් ජනමාධ්ය කලාවක් ලෙස සැලකිය නොහැකි බව කියමින් ඒ ආකාරයෙන් කෙරුණු සංවාදයක කොටස්කරුවකු අවශ්ය නොවන බවත් කියා සිටියෙමි.
ඒ කතාව අවසන් කොට තවත් ටික වේලාවකට පසුව ඔහු නැවත මට දුරකතනයෙන් කතා කළේය. මා දෙන ලද පිළිතුර තම කතුවරයාට දැනුම් දෙනු ලැබූ බවත් මා එම සම්මුඛ සාකච්ඡාව ගැන කරන ඕනෑම ප්රතිවිග්රහයක් කපා කෙටීමකින් හෝ විකෘති කිරීමකින් තොරව පළකරන බවට කතුවරයා සහතික වූ බවත් ඔහු කියා සිටියේය. ඉන්පසු සම්මුඛ සාකච්ඡාවකට මම එකඟවීමි. ඒ අනුව පසුදින එම මාධ්යවේදියා මගෙන් සම්මුඛ සාකච්ඡාව ලබා ගත්තේය.
එහි පළවන්නේ කුමක් වුවද එම පුවත්පත්වල පළවූ සම්මුඛ සාකච්ඡාව පිළිබඳව කෙටි විග්රහයක් රාවය පාඨකයන්ගේද දැනගැනීම සඳහා ලිවීම සුදුසුයැ”යි සිතුණි.
සරත් නන්ද සිල්වා
සරත් නන්ද සිල්වා ඉතා වැදගත් හා බලවත් තනතුරු ගණනාවක් ඉසිලූ පුද්ගලයෙකි. ඔහු කලක් නීතිපති ධුරයද වඩා දීර්ඝ කාලයක් අගවිනිසුරු ධුරයද දැරීය. ඔහු එම තනතුරු දෙක උසුලන කාලයේදී මා විසින් ඔහුට එල්ල කරන ලද චෝදනා හා ඔහු එම තනතුරෙන් ඉවත් කරවා ගැනීම සඳහා මා දියත් කරන ලද ක්රියාමාර්ග ඔහුට සිය ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවූ ලොකුම අර්බුද වන්නට ඇති බවට සැකයක් නැත. කරුණු නොදන්නා සාමාන්ය මිනිසුන් අතර ආගමට බර තබා ක්රියාකරන සැදැහැවත් ධර්ම දේශකයකුගේ තත්ත්වය පවත්වාගෙන යන්නට ඔහු සමත්ව ඇතත් කරුණු හොඳින් දන්නා අය අතර දේශීය වශයෙන් පමණක් නොව ජාත්යන්තර වශයෙන්ද ඇත්තේ අතිවිශාල පිළිකුලකි.
ශ්රී ලංකාවේ අධිකරණයට තිබූ ගෞරවය හා අභිමානය නැත්තටම නැති කළ පුද්ගලයා ඔහුය. අධිකරණයේ තිබූ ඉදිරිගාමී ගමන ආපස්සට හරවනු ලැබූ පුද්ගලයාද ඔහුය. ආණ්ඩුක්රමයේ තිබූ අවුල් උග්ර කළ පුද්ගලයාද ඔහුය. ඔහු රාජ්යයේ අත්තනෝමතිකභාවය ශක්තිමත් කළේය. විපක්ෂයේ පැවැත්ම නැත්තටම නැති කළේය. යුරෝපා සංගමයෙන් ලැබෙමින් තිබූ ජීඑස්පී ප්ලස් සහනය ශ්රී ලංකාවට අහිමි කිරීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ පුද්ගලයා ලෙසද සැලකිය හැකිය.
යුක්තිය හා පොදු යහපත පිණිස මා මාගේ ජීවිතයේදී විවිධ අරගලවල යෙදී ඇතත්, ඒ සියලු අරගල අතුරින් මා වැඩිම අවදානමක් බාරගනිමින් කරන ලද දුෂ්කරම හා සංකීර්ණම අරගලයද ඔහුට එරෙහිව කරන ලද අරගලය වීයැ”යි කිව හැකිය. එය මා විසින් කරන ලද සියලු අරගල අතුරින් ගතවූ කාලය අනුව දීර්ඝතම අරගලය ලෙසද සැලකිය හැකිය. මා එම අරගලයෙන් ජයගත්තේ නැතත් පරාජය වූයේද නැත. එහෙත් මා එම අරගලයෙන් සමාජය හා රටේ ආයතන ක්රමය පිළිබඳව ඉගෙන ගත් ප්රමාණය වෙනත් කිසිදු අරගලයකින් ඉගෙන ගත් ප්රමාණයට වඩා වැඩිය.
එහෙත් ඔහුට එරෙහිව කරන ලද අරගලය යුක්තිසහගත හේතු මත කරන ලද සාධාරණ අරගලයක් වූවා මිස පරණ කෝන්තරයක් නිසා කරන ලද දෙයක් නොවීය. එම දුෂ්කර අරගලය තුළ මට විනාශ නොවී පවතින්නට හැකිවූයේද ඒ නිසාය. ඒ බව ඔහුද දැන සිටියේය. ඔහු ඉතාමත් දූෂිත හා කෘර මිනිසකු වුවත් අංශුමාත්රයක හෝ හෘදය සාක්ෂියක් ඔහුට තිබුණේය. ඔහුට අභියෝග කරන්නට ආ බලවත් අයට පවා ඔහු සිය නිල බලය යොදා පහර දුන්නේය. ඔවුන්ට හිරබත් කන තැනට වැඩ සැලැස්සුවේය. එහෙත් ඔහු මා සම්බන්ධයෙන් එවැනි ප්රතිපත්තියක් අනුගමනය නොකළේ මා හැප්පුණේ ආවේගයෙන් නොව බුද්ධියෙන් වන නිසාත් ඒ හැප්පීමට බලපෑ හේතු ඔහුගේ හෘදය සාක්ෂියට වද දෙන ප්රශ්න ඒවා වීමත් නිසාය.
71 කැරැල්ලේ නඩුව
එහෙත් ඔහු මෙම පුවත්පත් දෙකට දෙන ලද සාකච්ඡාවේදී අඟවන්නට උත්සාහ දරා තිබෙන්නේ මට සිරදඬුවම් නියම වූ කැරැල්ලේ නඩුව ඔහු මෙහෙයවන ලද නිසා මා ඔහු කෙරෙහි ඇති කරගත් වෛරයකින් ක්රියා කළ බවය.
ඔහු දී තිබෙන අර්ථකථනයේ අල්පමාත්ර වශයෙන් හෝ සත්යයක් නැත. කැරැල්ලේ එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම සඳහා යොදාගත් රජයේ නීතිඥ කන්ඩායමට පුද්ගලයන් පස්දෙනකු අයත් විය. එම කණ්ඩායමේ ප්රධානියා වූයේ වික්ටර් තෙන්නකෝන්ය. දෙවැනියා වූයේ කොලින් තෝමේය. රංජිත් අබේසූරිය තුන්වැනියා විය. තිලක් මාරපන එම කණ්ඩායමේ සිව්වැන්නා විය. කණ්ඩායමේ අන්තිමයා හෙවත් කනිෂ්ඨම පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය.
වික්ටර් තෙන්නකෝන් ශ්රේෂ්ඨාධිකරණයට ගිය පසු පැමිණිල්ලේ නඩුව මෙහෙයවන ලද්දේ කොලින් තෝමේය. ඔහු ශ්රේෂ්ඨාධිකරණයට පත්වීමෙන් පසුව නඩුව මෙහෙයවන ලද්දේ රංජිත් අබේසූරියයි. එතැන් සිට නඩු තීන්දුව දෙන අවස්ථාව දක්වා පැමිණිල්ල මෙහෙයවන ලද ප්රධානියාද ඔහු විය. සරත් නන්ද සිල්වා එම කණ්ඩායමේ සාමාජිකයන් අතුරින් අඩුම වැදගත්කමක් ලැබුණු පුද්ගලයා විය. විනිසුරු කොලින් තෝමේ විශ්රාමයෑමෙන් පසු හා මා රාවය ආරම්භ කිරීමෙන් පසු අප දෙදෙනා අතර යම් පමණක ඇසුරක් හා මිතුරුකමක් තිබුණේයැ”යි කිව හැකිය. වෛර කරනවා නම් මා වෛර කළයුත්තේ සරත් නන්ද සිල්වාට නොව රංජිත් අබේසූරියටය. ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මාගේ වැදගත් නඩු දෙකක් වෙනුවෙන් නොමිලේ පෙනී සිටියේය. ඉන් එකක් සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීමට එරෙහිව පවරන ලද නඩුව වූ අතර එය දිග්ගැසුණු නඩුවක් විය. කැරැල්ලේ නඩුව මෙහෙයවන ලද පුද්ගලයන් හා මා අතර අගතිගාමී හැඟීම් තිබුණේ වී නම් මා ඔහුගෙන් ආධාර ලබන හෝ ඔහු මට ආධාර කරන තත්ත්වයක් ඇතිවිය නොහැකිය. එම නඩුව ආශ්රයෙන් ඔහු පිළිබඳව මා තුළ ඇති කරගත් අගතියක් තිබුණේය, ඒ අගතිය මත අන් සියලු දේ සිදුවීය කියන තර්කයේ කිසිදු සත්ය පදනමක් නැති බව ඉන් පෙනීයයි.
1992දී හෝ 1993දී නීති විද්යාලය මා වෙත මාගේ මාධ්ය භාවිතාව වෙනුවෙන් සම්මානයක් පිරිනමනු ලැබීය. නාට්ය භාවිතය සඳහා ධර්මසිරි බණ්ඩාරනායකටද සම්මානයක් පිරිනමනු ලැබීය. ඒ වන විට සරත් නන්ද සිල්වා අභියාචනාධිකරණයේ ප්රධානියා විය. අපට සම්මාන පිරිනැමීම සඳහා තෝරාගන තිබුණේ ඔහුය. මට සම්මානය ලබාගන්නට සිදුවූයේ ඔහු අතිනි. සම්මාන පිරිනැමෙන අවස්ථාවලදී එහි සිටි ඡායාරූප ශිල්පීන් ඡායාරූප ගත්තා වුවද උත්සවය අවසන්වීමෙන් පසු මා සමග එක්ව ඡායාරූපයක් ගන්නා ලෙස ඔහු එහි සිටි ඡායාරූප ශිල්පියකුගෙන් ඉල්ලා සිටියේය. මමද ඔහුගේ ඉල්ලීමට එකඟ වීමි. මා තුළ ඔහු පිළිබඳව කිසිදු තරහක් තිබුණේ නම් මා ඒ යෝජනාවට එකඟවන්නේ නැත.
නීතිපතිට එරෙහිව නඩු පැවරීම
කැරැල්ලේ නඩුව ආශ්රයෙන් මා තුළ තරහක් තිබුණු බව පෙන්වන්නට ඔහු ඇඟට පතට නොදෙනී ඉදිරිපත් කර තිබෙනතවත් කතාවක් වනුයේ ඔහු නීතිපති ධුරයට පත්වූ පසුවද මා ඔහුට එරෙහිව නඩු පවරන ලද බවය. එය ඇත්තකි. එසේ කළේද ඔහු කෙරෙහි වන විශේෂ තරහක් තිබූ නිසා නොව නීතිපති වශයෙන් ඔහු හා ඔහුගේ පූර්වගාමීන් මා සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබූ මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරන ප්රතිපත්තියට එරෙහිව මා කරමින් සිටි අරගලය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට එසේ කිරීමට අවශ්ය වූ නිසාය.
සාපරාධී අපහාස නීතියෙන් වැඩියෙන්ම බැටකෑ ජනමාධ්යවේදියා මාය. සරත් නන්ද සිල්වා සේ ම ඔහුගේ පූර්වගාමී නීතිපතිවරුන් සාපරාධී අපහාස නීතිය මට එරෙහිව සේම වෙනත් ජනමාධ්යවේදීන්ට එරෙහිවද යොදා ගනිමින් තිබුණේ නීතියට පටහැනිව හිතුවක්කාරී ආකාරයකටය. මට එරෙහිව සාපරාධී අපහාස නීතිය පාවිච්චි කරන්නට පෙර පාවිච්චි කෙරුණේ පාර්ලිමේන්තු වරප්රසාද නීතියයි. එම නීතිය අභියෝගයට ලක් කරන්නට මට සිදුවූ අතර එම අභියෝගය ඉදිරියේ මට එරෙහිව පාර්ලිමේන්තු වරප්රසාද නීතිය භාවිත කිරීම අත්හරින්නට එවකට පැවති ප්රේමදාස ආණ්ඩුවට සිදුවිය. ඉන්පසු ඒ වෙනුවට මට එරෙහිව බහුල ලෙස යොදාගන්නට වූයේ සාපරාධී අපහාස නීතියයි.
සාපරාධී අපහාස නීතියේදී සාමාන්යයෙන් ඒ යටතේ නඩු පැවරෙන පුද්ගලයකුට අධිචෝදනා ඉදිරිපත් කෙරුණේ මහේස්ත්රාත් උසාවියකදී සිදුකෙරෙන මූලික පරීක්ෂණයකදී චෝදනා සනාථ වුවහොත් පමණය. ඒ සාමාන්ය ක්රමය වෙනුවට මට එරෙහිව යොදාගනු ලැබුවේ විශේෂ ක්රමයකි. එනම් මහේස්ත්රාත් උසාවිය මූලික පරීක්ෂණයකට ඉඩ නොදී මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කිරීමය. නීතිපතිට එවැනි බලයක් තිබුණද අභිමත බලය පාවිච්චි කරමින් අධිචෝදනා ඉදිරිපත් කරන්නේ නම් ඒ ආකාරයෙන් කරන නඩු පැවරීමකට පෙර අධිචෝදනා ඉදිරිපත් කරන්නට තරම් බරපතළ වරදක් මා අතින් සිදුවීද යන්න නීතිපති හොඳින් සොයා බැලිය යුතුව තිබුණි. එහෙත් මට එරෙහිව සේ ම අන් ජනමාධ්යවේදීන් එරෙහිවද නීතිපතිවරුන් තමන්ට ලැබී තිබෙන අභිමත බලය පාවිච්චි කෙරෙමින් තිබුණේ හිතුවක්කාරී හා පීඩාකාරී ලෙසය. වෙනත් ජනමාධ්යවේදීන් ඒ තත්ත්වය පිළිගෙන නඩුවලට මුහුණ දෙනවිට මා එම තත්ත්වය පිළිනොගෙන නඩු පවරන ක්රමයට අභියෝග කරමින් මට එරෙහිව පවරන නඩුවලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන පිළිවෙතක් අනුගමනය කළෙමි. ඉන්පසු මා කළේ ඒ සියලු නඩු එකට ගෙන නීතිපතිට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය වෙත යෑමය. එය ඒ ආකාරයෙන් නීතිපතිවරයෙකුට එරෙහිව පවරන ලද පළමු නඩුව විය.
පෙත්සම විභාගයට ගැනුණේ මාර්ක් ප්රනාන්දු ප්රමුඛ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටියේ නීතිපතිගේ දෙවැනියා ලෙස ක්රියා කළ කමලසබේසන්ය. නීතිපතිට එරෙහිව මේ ආකාරයට නඩු පවරන ප්රතිපත්තියකට ඉඩ දුනහොත් නීතිපති දෙපාර්තමේන්තුව සිය කටයුතු කරගෙනයෑමට බැරි තත්ත්වයක් ඇතිවනු ඇති බවට කමලසබේසන් තර්ක කළේය. එහෙත් මාර්ක් ප්රනාන්දු කමලසබේසන්ගේ එම තර්කය පිළිගත්තේ නැත. නීතිපති තමන්ට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව කෙනෙකුට එරෙහිව පීඩාකාරී ලෙස පාවිච්චි කරන්නේ නම් එවැනි අවස්ථාවකදී නීතිපතිට එරෙහිව නඩු පැවරීමේ අයිතියක් ඒ පුද්ගලයාට තිබෙන බව මාර්ක් ප්රනාන්දු එහිදී පළකළ මතය විය. එහෙත් එම නඩුවේදී මාර්ක් ප්රනාන්දු විනිසුරුවරයා නීතිපතිට එරෙහිව නඩු පැවරීමට මට තිබෙන අයිතිය පිළිගත්තද නීතිපති මට එරෙහිව තමන්ට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව පීඩාකාරී ලෙස පාවිච්චි කර තිබෙන බව පිළිනොගත්තේය.
ජිනීවා නඩුව
මාර්ක් ප්රනාන්දු විනිසුරුවරයාගේ තීන්දු අර්ධ විප්ලවකාරී වුවද එය මාගේ පිළිගැනීමට හේතු නොවීය. ඔහු මගේ නඩුව අවශ්ය තරමට පුළුල් කෝණයකින් සලකා නොබැලීය යන්න මගේ මතය විය. එම තීන්දුව ප්රකාශ කළ දිනයේදී ඒ ගැන වන මගේ මතය ජනමාධ්යවේදීන් විමසූ අතර මම එම තීන්දුව නොපිළිගන්නා බවත් තීන්දුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරමින් සාපරාධී අපහාස නීතියට එරෙහිව කරන මගේ සටන තවදුරටත් ඉදිරියට ගෙනයන බවත් ප්රකාශ කළෙමි.
ඒ අනුව මාගේ නඩුව ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කළෙමි. කමිටුව මගේ පැමිණිල්ල විභාගයට ගැනීමට තීන්දු කළේය. ලංකා ආණ්ඩුව ඊට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය. පළමුවෙන් එය සලකා බලන ලද අතර මූලික විරෝධයට එරෙහිව මගේ පැත්තෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත සැලකිරීම් පිළිගනිමින් ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධය නිෂ්ප්රභ කරමින් මාගේ පැමිණිල්ල විභාගයට ගත්තේය. නඩු විභාගය ඒකපාක්ෂික එකක් නොවීය. ලංකා ආණ්ඩුවද විධිමත් ලෙස ලිඛිතව කරුණු ඉදිරිපත් කළේය. අවසානයේ කමිටුව මගේ පැත්තෙන් ඉදිරිපත් කළ තර්ක පිළිගනිමින් ලංකා ආණ්ඩුව මේ නඩු පැවරීම් මගින් මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කරමින් ඒ මගින් මට සිදුවී තිබෙන පීඩාවට ප්රමාණවත් වන්දියක් ගෙවන ලෙස නියම කළේය. එය මට පමණක් නොව ලංකාවේ වෙනත් ජනමාධ්යවේදීන්ට එරෙහිව බහුල වශයෙන් පාවිච්චි කරනු ලැබූ පීඩාකාරී නීතියට එරෙහිව කරන ලද දිග්ගැසුණු නෛතික සටනකින් මා ලැබූ ජයග්රහණයක් විය.
ඉතා වැදගත් දේ ජිනීවා නඩුව සඳහා මා පාදක කොටගත්තේ ආචාර්ය මාර්ක් ප්රනාන්දු දෙන ලද තීන්දුවයි. එය ඔහු විසින් දෙනු ලැබූ තීන්දුවක් වඩා බලවත් ජාත්යන්තර අධිකරණයක් ඉදිරියේ අභියෝගයකට ලක් කෙරුණු අවස්ථාවක් විය. ඒ තීන්දුව ප්රකාශ කිරීමෙන් පසුව ආචාර්ය මාර්ක් ප්රනාන්දු කොළඹ විශ්වවිද්යාලයේ නීති පීඨය විසින් පළකරන Sri Lanka Journal of International Law නමැති සඟරාවට එම තීන්දුව විවරණය කරන ලිපියක් ලීවේය. එහි මාතෘකාව වූයේ Victor Ivan V Sri Lanka-Decision it’s Impact on Human Rights යන්නයි. ඔහු එම විචාරයෙන් මානව හිමිකම් කමිටුව දී තිබෙන තීන්දුවේ වැදගත්කම පිළිගනිමින් එම තීන්දුව ලංකාවේ මානව අයිතිවාසිකම්වලට නව මානයක් ලබාදී තිබෙන බව ප්රකාශ කර තිබුණි. මා ඒ වෙනුවෙන් කරන ලද අරගලය කිසිදු පදනමක් නැතිව කරන ලද බොරු අරගලයක් නොවන බව ඉන් පෙනීයයි.
නීතිපති සමග ගැටුමක් ඇතිකර ගැනීම
මා නීතිපති සරත් නන්ද සිල්වා සමග ගැටුමකට එළැඹෙන්නේ මහේස්ත්රාත්වරයකු තමා ඉදිරියේ ඇසෙන නඩුවක වගඋත්තරකාරියක් අපහරණය කිරීමේ සිද්ධියක් පිළිබඳව මා කරන ලද හෙළිදරව්වකින් පසුව ඒ පිළිබඳව කෙරුණු පරීක්ෂණයෙන් ඒ බව සනාථ වී තිබියදීත් පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත ලැබීමෙන් පසු නීතිපති වශයෙන් ඔහු එම දූෂිත මහේස්ත්රාත්වරයා ආරක්ෂා කිරීමේ සිද්ධිය නිසාය. ඒ ආශ්රයෙන් ඉන්පසු ඇතිවූ දේවල් මා ලියා ඇති බැවින් මා මෙහිදී ඒ ගැන කිසිවක් කතා කරන්නේ නැත.
ඔහු අගවිනිසුරු ධුරයට පත්වූ අවස්ථාවේදීද එම පත්කිරීම මා අභියෝගයට ලක් කළේද ඒ සඳහා වන ශක්තිමත් හා යුක්තිසහගත පදනමක පිහිටාය. මා විනිශ්චයකාරවරුන් දෙදෙනකුට එරෙහිව ප්රසිද්ධ චෝදනා ඉදිරිපත් කර තිබුණි. ලෙනින් රත්නායක එක් අයකු වනවිට උපාලි අබේරත්න ඊළඟ විනිසුරුවරයා විය. ඒ ගැන මා දිගින් දිගට කරන ලද හඬ නැගීම නිසා මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කරන ලද චෝදනා පිළිබඳව කරුණු පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා අගවිනිසුරු ජීපීඑස් ද සිල්වා විසින් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කළේය. මහේස්ත්රාත් ලෙනින් රත්නායක පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධිකරණයේ හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා හා ටීබී වීරසූරිය යන විනිසුරුවරුන්ගෙනි. දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධිකරණයේ අමිර් ඉස්මයිල්, හෙක්ටර් යාපා හා පී එදිස්සූරිය යන විනිසුරුවරුන්ගෙනි. මේ කමිටු දෙක විසින් ඒ ගැන පවත්වන ලද පරීක්ෂණයකින් පසුව මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කර තිබුණු චෝදනාවලට එම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කළේය. ඒ තීන්දු විසින් එතෙක් මා නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව කරමින් තිබූ අරගලයට ශක්තිමත් නෛතික පදනමක් ලැබුණි. විවිධ හේතු මත (ලෙනින් රත්නායක සරත් නන්ද සිල්වාගේ ඥාතියකු විය. උපාලි අබේරත්න සරත් නන්ද සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් ජයසේකර පවරන ලද නඩුවේදී නීතියට පටහැනිව සරත් නන්ද සිල්වාගේ වාසිය පිණිස නීතියට පටහැනිව ක්රියාකළ විනිසුරුවරයා විය.) මෙම විනිසුරුවරුන් දෙදෙනාව ආරක්ෂා කළේ නීතිපතිය. පරීක්ෂණ දෙකේ තීන්දුවෙන් පසු නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව මම ශ්රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළෙමි. මාගේ පැමිණිල්ල මත ශ්රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කළේය. මා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පහසුවෙන් ඉවත දැමිය නොහැකි ශක්තිමත් පදනමක පිහිටා තිබූ බැවිනි. එම තීරණය ගන්නා ලද්දේ ශ්රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන් එකට එකතු වී ඒ ගැන කරන ලද සාකච්ඡාවකින් පසුවය. පරීක්ෂණයක් ආරම්භ කරනවාට විනිසුරුවරුන් තිදෙනකු (ප්රියන්ත පෙරේරා, ඩීපීඑස් ගුණසේකර හා එල්ජීඑච් ධීරසේකර යන විනිසුරුවරුන්) විරුද්ධ වූ අතර අන් සියලුදෙනා පක්ෂ විය. මාගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ අමීර් ඉස්මයිල් මහතාටය. ජයසේකරගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ ශිරානි බණ්ඩාරනායක මහත්මියටය. මෙම පරීක්ෂණ දෙක භාරව ක්රියා කළේ මාර්ක් ප්රනාන්දු මහතාය.
ජනාධිපතිනිය බෙල්ල හිරවන තත්ත්වයකට පත්ව සිටි චෝදනාලාභී සිය මිතුරා අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ මගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරව ක්රියා කළ විනිසුරු අමීර් ඉස්මයිල් මහතා සරත් නන්ද සිල්වාගෙන් ලිඛිතව නිදහසට කරුණු විමසීමක්ද කර තිබියදීය.
සරත් නන්ද සිල්වා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩයට හරවා පළකිරීම ගැන සරත් සිල්වා කියා තිබුණේ ඒ මගින් ඔහු පමණක් නොව රටේ ජනාධිපතිනියද මා විසින් ඔළුවෙන් සිටවූ බවය. එය ඇත්තය. ඒ අවස්ථාවේදී මගේ විරෝධයට හේතුවූයේ සරත් නන්ද සිල්වා පමණක් නොවේ. ඒ නොමනා පත්කිරීම සිදුකළ ජනාධිපතිනියද මගේ විරෝධයට හේතුවී තිබුණි. මට ඒ අවස්ථාවේදී ඉතාමත් බලවත් ලෙස විරෝධය පළකිරීමට තිබුණු එකම මාර්ගයද එයවීයැ”යි කිව හැකිය.
සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අවස්ථාවක ඔහු මෙම තනතුරට පත්කිරීම සුදුසු නැති බව ජනාධිපතිනියගේ ප්රධාන නීති උපදේශක වශයෙන් ක්රියා කළ එච්එල් ද සිල්වාද ජනාධිපතිනියට ප්රකාශ කර තිබුණි. මෙම නොමනා පත්කිරීම කරනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ විනිසුරුවරුන් හා නීතිඥයන් පිළිබඳ විෂය භාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රධාන නිලධාරියා වශයෙන් ක්රියා කළ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතාද ශ්රී ලංකාවට පැමිණ එය නොමනා පත්කිරීමක් බව ප්රසිද්ධියේම ප්රකාශ කළේය. අඩුම වශයෙන් පරීක්ෂණය අවසන් වනතෙක් වැඩබලන අගවිනිසුරුවරයකු පත් කළ යුතුව තිබුණු බව ඔහු ප්රකාශ කළේය.
ඒ සියල්ලෙන්ද පෙනීයන්නේ ඔහුගේ පත්කිරීමට එරෙහිව මා පළ කළ විරෝධය තර්කානුකූල ශක්තිමත් පදනමක් තිබූ එකක් මිස පුහු විරෝධයක් නොවන බවය.
(ඉතිරි කොටස ලබන සතියේ)