කූට ලේඛන සංස්කෘතිය (ජාතික හැඳුනුම්පත හා ගමන් බලපත්‍රය)

November 10, 2013
Publication:
Answering officials who disputed details in his series on the bureaucracy, Ivan stands by his accounts and then turns to how deep forgery runs. Using Dayananda Dissanayake's Nuwara Eliya deal, he calculates the Treasury's loss at over Rs. 6.1 million on one plot. Birth certificates without serial numbers, a corrupt identity-card office that issued LTTE suicide bombers genuine-looking cards, and a passport office that keeps no copies have created an industry, fed above all by the trade in underage and overage housemaids for the Middle East. Forgery, he says, now runs from school admissions to medical licences and doctorates.

රටේ දූෂිත දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය නිලධාරීන්ට රඟපාන්නට සිදුවී තිබෙන භූමිකාව පිළිබඳව මා ලියමින් තිබෙන ලිපි පෙළ සමහර රාජ්‍ය නිලධාරීන්ගේ උනන්දුවට හේතුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. මට කතා කළ වැඩි දෙනකු සිටියේ මා හා එකඟ වන තත්ත්වයකය. එහි සඳහන් කරුණු දෙකක් නිවැරදි නොවන බව දෙදෙනකු කියා සිටියේය.

ඉන් එක් අයකු කීවේ මැතිවරණ කොමසාරිස් පියසේකර ගැන එහි වන සඳහන නිවැරදි නොවන බවය. ඔහු කීවේ පියසේකර විශ්‍රාම ගියේ යාපනයේ සංවර්ධන සභා ඡන්දයේදී සිදුවූ අවලස්සණ දේවල් නිසා නොව එම මැතිවරණය වන විට ඔහු විශ්‍රාම යායුතු වයස් අද්දරටම පැමිණ සිටි තත්ත්වය තුළ ඉතිරි කෙටි කාලයද සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු තනතුරෙන් විශ්‍රාම ගිය බවය. තනතුරෙන් විශ්‍රාමයෑමෙන් පසු රෝමයේ තානාපතිකමට පත්කරන ලද බවය.

එහෙත් කලක් රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ වී.පී. විට්ටච්චි විසින් ‘Sri Lanka – What When Wrong’ නමින් ලියා පළකර ඇති කෘතියේ සඳහන්වන්නේ යාපනේ සංවර්ධන සභා ඡන්දය අවසන්වීමෙන් පසු මැතිවරණ කොමසාරිස් පියසේකර තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලධාරීන් වෙත යවන ලද බව හා ඒ සමග ඔහු රෝමයේ තානාපති ධුරයට පත් කරන ලද බව එහි පැහැදිලිව සඳහන් වේ. (පිටුව 91) ඊට අතිරේකව නඩේසන්ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය යාපනේ සංවර්ධන සභා ඡන්දය ගැන පළකරන ලද වාර්තාවකද පියසේකර පිළිබඳව ඒ හා සමාන සඳහනක් තිබුණා මට මතකය.

ඊළඟ පුද්ගලයා කතා කළේ හිටපු විගණකාධිපතිවරයකු වූ විජේසූරිය ගැනය. ඔහු කීවේ මා එහි විස්තර කරන සිද්ධියෙන් ගෙදර යන්නට සිදුවූයේ විගණකාධිපති විජේසූරියට නොව ඔහුගේ දෙවැනියාව සිටි එච්.කේ.එස්. සිරිවර්ධනට වන බවය. එහෙත් එම දෙපාර්තමේන්තුව පිළිබඳව මා ළඟ තිබෙන තොරතුරු ඇතුළත් ලිපිගොනුවක එන කරුණු අනුව එහි මා සඳහන් කර තිබෙන කරුණ නිවැරදිය. එම කාරණා දෙක නිවැරදි නූනද මෙම දේශපාලන ක්‍රමය තුළ රාජ්‍ය නිලධාරීන්ට ක්‍රියාකරන්නට සිදුවී තිබෙන යටහත් පහත් හා නීතියට පටහැනි තත්ත්වය ගැන මා පළකර තිබෙන නිරීක්ෂණ බොරුවන්නේ නැත.

රජයේ නිලධාරීන් පිළිබඳව මේ ආකාරයේ ලිපි පළකිරීමෙන් මා අපේක්ෂා කරන්නේ කුමක්දැ”යි රාජ්‍ය නිලධාරියකු ලෙස සැලකිය හැකි තවත් පුද්ගලයකු මගෙන් ප්‍රශ්න කළේය. රාජ්‍ය නිලධාරීන්ට රඟපාන්නට සිදුවී තිබෙන ඛේදජනක භූමිකාව ගැන ඔවුන් තුළම කනගාටුවක් ඇති කිරීම මගේ එක් අරමුණක් බවත් දේශපාලන ක්‍රමයේ දැති රෝද කැරකෙන ආකාරය පිළිබඳව මහජන අවබෝධය තියුණු කිරීම තවත් අරමුණක් වන බවත් කියා සිටියෙමි. එහෙත් රාජ්‍ය නිලධාරීන් මේ ක්‍රමයට කොතරම් ඇබ්බැහි වී සිටිනවාද කියතොත් සමහර උසස් රාජ්‍ය නිලධාරීන් අතර තමන්ට රඟපාන්නට සිදුවී තිබෙන අවලස්සන භූමිකාව ගැන පසුතැවිල්ලක් තිබෙන බවක්වත් පෙනේනනට නැත. මෙම දූෂිත ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිලාභ විසින් ඔවුන්ගේ හෘදය සාක්ෂිය ගල්කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

ඉඩම් කොල්ලය

කතා කළ වැඩි දෙනකුගේ වඩාත්ම කුතුහලයට හේතුවී තිබුණු කාරණය වන බව පෙනෙන්නට තිබුණේ හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකගේ ඉඩම් ගනුදෙනුව ගැනය. එහෙත් එය මට නම් අසාමාන්‍ය සිදුවීමක් ලෙස පෙනුණේ නැත. 1977 යූඑන්පී ආණ්ඩු කාලයේ සිදුවූ ඉඩම් ගනුදෙනු පිළිබඳව දීර්ඝ විස්තරයක් මාගේ චෞර රාජ්‍ය නමැති පොතට ඇතුළත්ය.

එම පොත කියවා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන පාඨකයකු මට අපූරු ඊමේල් පණිවුඩයක් එවා තිබුණි. ඊට ඇතුළත්ව තිබූ තොරතුරු අනුව එම පාඨකයා වීරයකු ලෙස සලකන ලද පුද්ගලයකු ජීවත්වන්නේද ඕස්ට්‍රේලියාවේය. ඔහු ජනාධිපති ජයවර්ධනට සමීප විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරියෙකි. පොතට ඇතුළත්ව තිබූ ඉඩම් ගනුදෙනු අතර ඔහුගේ වීරයාගේ නම සඳහන් වී නැතත් එම වීරයාගේ බිරිඳ විය හැකිය යන සැකය ඇති කරන නමක් ඊට ඇතුළත්ව තිබෙනවා දැක ඒ ගැන කරුනු දැනගැනීමේ අදහසින් ඔහු සිය වීරයා හමුවන්නට ඔහුගේ නිවසට ගොස් ඔහුට වයඹ පළාතේ වත්තක් තිබේදැ”යි විමසා තිබේ. තමන් ටඑහි වත්තක් තිබෙන බව ඔහු කී විට “චෞර රාජ්‍ය” පොතේ අදාළ පිටුව පෙරළා ඔහු අතට දී එහි සඳහන් වී ඇත්තේ ඔහුගේ ඉඩම ගැනදැ”යි ප්‍රශ්න කර තිබේ. එය බලා ඔහු මුහුණ අඳුරු කරගත් බවත් ඒ සිද්ධියෙන් පසු ඔවුන් දෙදෙනා අතර තිබූ සමීප සම්බන්ධයද අවසන් වූ බවත් ඔහු එහි සඳහන් කර තිබුණි.

1977න් පසු ආරම්භ වී අද දක්වා ක්‍රියාත්මක වන ඉඩම් කොල්ලය විටින් විට බලයට පත්වන දේශපාලනතන්ත්‍රයේ දේශපාලකයන්ද, දේශපාලනතන්ත්‍රයට සමීප උසස් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ඇතුළත් ගජ මිතුරන් තවත් විශාල පිරිසක් හිටිහැටියේ මහා ධනවතුන් හා ඉඩම් හිමි වැවිලිකරුවන් බවට පත් කළ අවලස්සන ක්‍රියාදාමයක් ලෙස ඉතිහාසයට එකතුවිය යුතුව තිබේ. එය බ්‍රිතාන්‍ය පාලන යුගයෙන් පසුව සිදුවූ දැවැන්තම ඉඩම් කොල්ලය ලෙසද සැලකිය හැකිය. ඉඩම් සීමා හා ප්‍රතිසංස්කරණ නීති යටතේ රජයට පවරාගන්නා ලද වතු ඉඩම් ප්‍රමාණය අක්කර දශ ලක්ෂයකට වැඩිවූ අතර එම ඉඩම්වලින් වැඩි ප්‍රමාණයෙන් වගාකරන ලද වතු ඉඩම් ලෙස සැලකිය හැකිය. මෙම ඉතා අගනා ප්‍රමාණයෙන් අතිවිශාල වතු ඉඩම් සංචිතය විටින් විට බලයට පැමිණි ආණ්ඩුවල දේශපාලකයන් හිතෙන හිතෙන ආකාරයට ඒවා තමන් සතු කරගත්තේය. එසේම තමන්ට හිතවත් උසස් නිලතල නිලධාරීන්ටද ගජමිතුරන් ගණයෙහිලා සැලකිය හැකි පුද්ගලයන්ට නාමික මිලකට බෙදා දුන්නේය.

ඒ ඉඩම් විකිණීම අවශ්‍ය වී නම් වෙළෙඳපොළ මිල ගණන්වලට එම ඉඩම් මිලදී ගැනීමට කැමති පුද්ගලයන්ට විකුණන පිළිවෙතක් අනුගමනය කළේ නම් එයින් රජයට උපයා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණු ආදායම අතිවිශාලය. ඒ ලැබෙන ආදායම සමස්ත අධ්‍යාපන ක්‍රමය සේ ම මහජන සෞඛ්‍ය සේවයද ක්‍රමවත් හා නවීන කිරීමට ප්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි. එහෙත් බලයට පත් හැම ආණ්ඩුවක්ම කළේ ඒ වෙනුවට මෙම ඉඩම් සංචිතය තමන්ට කොල්ලකෑමට තිබෙන සම්පතක් ලෙස සලකා ක්‍රියාකිරීමය.

ඉන් භාණ්ඩාගාරයට උපයා ගතහැකිව තිබුණු ආදායම හා උපයාගෙන තිබෙන ආදායම පිළිබඳ දළ අදහසක් හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානයකගේ ඉඩම් ගනුදෙනුවේ එන දත්ත ආශ්‍රයෙන් ගණනය කළ හැකිය.

දයානන්ද දිශානායක මහතා නුවරඑළියෙන් ලබාගෙන ඇති ඉඩමේ ප්‍රමාණය පර්චස් 123.4කි. මුළු ඉඩමට ගෙවන ලද මිල රුපියල් තිස්දහසකි. පර්චසයක් සඳහා ගෙවා තිබෙන මිල රුපියල් 243.11කි. එය භාණ්ඩාගාරයට ලැබුණු මිල ලෙස සැලකිය හැකිය.

ඉන් මාස 5කට පසුව දයානන්ද දිශානායක මහතා තමන් මිලදී ගත් ඉඩමෙන් පර්චස් 18.4ක් තමන් වෙත තබා ගනිමින් ඉතිරි පර්චස් 105ද ෆිනෑන්ස් සමාගමට විකුණා තිබෙන මිල රුපියල් පනස් දෙලක්ෂ පනස් දෙදහසකි. එවිට පර්චසයක් විකුණා තිබෙන මිල රුපියල් පනස් දහස් එකසිය දහනවයයි ශත හතරකි. රජය මේ ඉඩම විවෘත වෙළෙඳපොළේ විකිණුවේ නම් මහා භාණ්ඩාගාරයට ලැබෙන අවම ආදායම රුපියල් හැට එක් ලක්ෂ හැත්තෑ දෙදහස් තුන්සිය පනහයි ශත 47කි. මෙම ගනුදෙනුවෙන් රජයට සිදුවී තිබෙන අලාභය රුපියල් 6142350 ශත 47කි.

අපේ රටේ කටයුතු සිදුවන යථා තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් තරමින් අවධානයට ලක්වී නැති විශේෂ ක්ෂේත්‍රයක් මෙසේය.

ජාතික හැඳුනුම්පත

ලෝකයේ බොහෝ රටවල දැන් සියලු ගනුදෙනු සිදුවන්නේ හැඳුනුම්පත හා එහි අංකය පදනම් කොටගෙනය. ඕනෑම මිලදී ගැනීමක්, විකිණීමක්, තෑගිදීමක් සටහන්වන්නේ හැඳුනුම්පතේ අංකයටය. වෛද්‍යවරයකුට, නීතිඥයකුට හෝ වෘත්තීයවේදියකුට කරන ගෙවීම් සඳහා නිකුත් කෙරෙන ලදුපත් ලියන්නේද ජාතික හැඳුනුම්පතේ අංකයටය. රජයේ ගනුදෙනු පුරවැසියන්ට පාරදෘශ්‍ය විය යුතුවා සේ ම පුරවැසියන්ගේ ගනුදෙනුද බදු අය කරන රජයේ ආයතනවලට පාරදෘශ්‍ය විය යුතුය. මේ ක්‍රමය නිසා උපයන ආදායම් සැඟවීම දුෂ්කර වී තිබෙන අතර බදු අය කරගත යුතු පුද්ගලයන්ගේ විධිමත් ආකාරයට බදු අයකර ගැනීමේ හැකියාව රජයේ බදු එකතු කරන ආයතනවලට ලැබී තිබේ.

එහෙත් කවදා හෝ මේ හා සමාන ක්‍රමයක් ප්‍රායෝගිකව යොදාගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැත. ඊට හේතුව අපේ රටේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම විධිමත් හා විශ්වාසවන්ත ආකාරයට සිදුවන ක්‍රියාදාමයක් නොවීමය. මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ ලොකු මුදලක් ගෙවා ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් හොර ජාතික හැඳුනුම්පතක් හෝ හොර ගමන් බලපත්‍රයක් ලබාගත හැකි ක්‍රමයක් මේ ආයතන දෙකේම ස්ථාපිත වී තිබෙන්නේයැ”යි කිව හැකිය.

උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා අත්‍යවශ්‍යම ලියවිල්ලක් ලෙස සලකනු ලැබේ. ලංකාවේ නිකුත් කරන උප්පැන්න සහතික සඳහා අනුක්‍රමික අංකයක් නැත. ඒ නිසා හොරට උප්පැන්න සහතිකයක් ලබාගැනීම ඉතා පහසු දෙයක් බවට පත්වී තිබේ.

එම තත්ත්වය හා හැඳුනුම්පත් කාර්යාංශයේ රජකරන දූෂිත වටාපිටාව හොරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම පහසු දෙයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය කොන්දේසියක් වන අතර හොරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට තිබෙන පහසු හැකියාවක් හොරට ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ හැකියාවද පහසු කර තිබේ.

මීට කිසියම් කලකට ඉහතදී අපරාධ විමර්ශන නිලධාරියකුගෙන් ජාතික හැඳුනුම්පත් කාර්යාංශය පිළිබඳව මට අපූරු කතාවක් අසන්නට ලැබුණි. ඇමති ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීමේ අරමුණින් ඔහුගේ කාර්යාලයට පැමිණි එල්ටීටීඊ මරාගෙන මැරෙන හමුදාවේ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය ළඟ තිබූ හැඳුනුම්පත පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනයකදී එය ජාතික හැඳුනුම්පත් කාර්යාංශය විසින්ම නිකුත් කරන ලද හොර හැඳුනුම්පතක් බව සොයාගැනීමෙන් පසු ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණයකදී එම කාර්යාංශයේ ප්‍රධානියාගේම අනුදැනුම ඇතිව එල්ටීටීඊයම ව්‍යාජ හැඳුනුම්පත් කිසියම් විශාල ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බව සොයාගැනීමට සමත් වී තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වී ඇතත්, ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අත්අඩංගුවට ගැනීම වළකන වාරණ නියෝගයක් ලබාගැනීම නිසා එම පරීක්ෂණය තාවකාලිකව අත්හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවී තිබේ. ඉන්පසුව ඇතිවූ බිහිසුණු සිද්ධීන් ගණනාවකදීද (හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඝාතන ප්‍රයත්නයේදී පවා) මරාගෙන මැරෙන බෝම්බකරුවන් අත හැඳුනුම්පත් කාර්යාංශය නිකුත් කරන ලද ව්‍යාජ හැඳුනුම්පත් සොයාගැනීමට හැකිවීම නිසා හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා ගෙදර යැවීමට ආණ්ඩුවට සිදුවිය. එහෙත් මේ කාර්යාංශයේ ප්‍රධානියාට හා ඊට සම්බන්ධ වෙනත් පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාකරන තැනකට ගියේද යන්න සැකසහිතය. අපරාධ පරීක්ෂකයාගේ මතය අනුව හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියාට තමන් අත්අඩංගුවට ගැනීම වළකන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලපබාගැනීමට හැකිවී ඇත්තේ ඔහු හා එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා අතර තිබුණේයැ”යි කියන ළඟ සම්බන්ධය නිසාය. ඉතා වැදගත් කොට සැලකිය හැකි මෙම ආයතනයේ කටයුතු සිදුවී තිබෙන අවලස්සන හා බිහිසුණු ආකාරය පිළිබඳ මනා චිත්‍රයක් එම සිද්ධිය ආශ්‍රයෙන් ඇති කරගත හැකිය.

ගමන් බලපත්‍රය

ගමන් බලපත්‍රය නිකුත් කරන ආයතනයේ කටයුතු සිදුවෙමින් තිබෙන්නේද ඉතාමත් අවිධිමත් හා දූෂිත ආකාරයටය. එහි කටයුතු සිදුවන ආකාරය ගැන පරීක්ෂාවෙන් සිටින හා හොඳ අවබෝධයක් ඇති කෙනකු මට කීවේ ලොකු මුදලක් ගෙවා, ඕනෑම පුද්ගලයකුට ව්‍යාජ ගමන් බලපත්‍රයක් ලබාගත හැකි තත්ත්වයක් එම ආයතනයේ පවත්නා බවය. ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා අයදුම් කරන පුද්ගලයකුගෙන් ලබාගන්නා සියලු ලියවිලි ඒවාහී පිටපත් තබාගැනීමෙන් තොරව අයදුම්කරුට ආපසු ලබාදෙන ක්‍රමයක් එහි ක්‍රියාත්මක වන අතර ඔහුට අනුව එවැනි ක්‍රමයක් එහි ක්‍රියාත්මක කෙරෙන්නේම මුදලට හොර බලපත්‍ර නිකුත් කෙරෙන ක්‍රමයේ ආරක්ෂාව සඳහාය. රිසානා සිද්ධියේදී ඇය පාවිච්චි කළ හොර ගමන් බලපත්‍රය ඇයට ලැබුණේ කෙසේද යන්න ගැන විධිමත් සොයා බැලීමක් කෙරුණේ නැත. කරුණා අම්මාන්ද මන්ත්‍රීවරයකුවීමට ප්‍රථම එංගලන්තයට ඇතුළුවීම සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කිරීමේ වරදට එම රටේදී අත්අඩංගුවට ගනු ලැබීය. අධිකරණය මගින් ගමන් බලපත්‍රය තහනම් කළ බොහෝ පුද්ගලයන්ට රටින් පලායෑමට හැකිවී තිබෙන්නේද ඕනෑම පුද්ගලයකු ලොකු මුදලක් වියදම් කොට පළමු කොට ව්‍යාජ උප්පැන්න සහතිකයක්ද ඊළඟට ව්‍යාජ ජාතික හැඳුනුම්පතක්ද අවසානයේ ව්‍යාජ ගමන් බලපත්‍රයක්ද ලබාගත හැකි තත්ත්වයක් රටේ පවතින නිසාය. ගමන් බලපත්‍රය අත්හිටුවනු ලැබූ වංචාකරුවන් හා දරුණු අපරාධකරුවන් රටින් පලායන්නේ මුහුදු මගින් නොව ගුවනිනි.

මෙය විශාල ලෙස මුදල් උපයාගත හැකි මහා කර්මාන්තයක් බවට පත්ව ඇත්තේ ගෘහ සේවකයන් විදේශ රටවලට යැවීම මහා පරිමාණයේ කර්මාන්තයක් බවට පත්ව තිබෙන තත්ත්වය නිසාය. ගෘහ සේවකයන් ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගැනීම සඳහා ඇණවුම් එවන මැදපෙරදිග රටවල ඒජන්සිකරුවන් ඔවුන්ට ගෙවන අත්තිකාරමක් හා වෙනත් වියදම් වශයෙන් එක සේවිකාවක් සඳහා ලක්ෂ 3ත් 5ත් අතර මුදලක් ඒජන්සිකරුවන්ට ලබා දේ. ඒ මගින් පමණක් රට වසරකට උපයන විදේශ විනිමය ආදායමේ ප්‍රමාණය අතිවිශාලය. ඒ වෙනුවෙන් එක් අයකු සඳහා එවන මිල රුපියල් ලක්ෂ තුනක් ලෙස සලකා වසරකට ගෘහ සේවය සඳහා මැදපෙරදිග රටවලට යන අයගේ සංඛ්‍යාව 150,000ක් ලෙස සලකතොත් ඒ මගින් රට උපයන විදේශ විනිමය ආදායම ඩොලර් මිලියන 330කි. ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හා ව්‍යාජ ගමන් බලපත්‍ර සඳහා මුදල් ලැබෙන ප්‍රධානතම මාර්ගය බවට පත්වී ඇත්තේ එයයි.

මේ ලැබෙන මුදලින් කිසියම් පංගුවක් ඒජන්සිකරුවන් තැරැව්කරුවන්ට ලබා දේ. බොහෝ විට තමන්ගේ බිරිඳ හෝ දුව හෝ ගෘහ සේවය සඳහා රට යවා ඒ මුදල (ඒ සඳහා ලැබෙන මුදල රුපියල් ලක්ෂයක්, දෙකක් හෝ සමහරවිට ඊටත් වැඩිවිය හැකිය.) ලබාගන්නේ බොහෝවිට රට යන තැනැත්තියගේ ස්වාමිපුරුෂයා හෝ පියාය. මෙසේ ගෘහ සේවය සඳහා යෑමට කැමැත්තක් දක්වන අය අතර වයස සම්පූර්ණ කළ නොකළ අය සේ ම වයස ඉක්මවූ අයද සිටිති. ගෘහසේවය සඳහා මැදපෙරදිග යෑමට කැමති අය සොයා ගැනීම පහසු නැත. ඉල්ලුම හා සැපයුම අතර මහා පරතරයක් පවතී. ඒ තත්ත්වය තුළ වයස සම්පූර්ණ නොකළ අයට සේ ම වයස ඉක්මවූ අයට ඊට ගැළපෙන ලෙස එම ලියවිලි සකස් කරදීමට ඒජන්සිකරුවන්ට සිදුවී තිබේ. ඒ සඳහා පළමුවෙන් උප්පැන්න සහතිකයක් ලබාගත යුතුය. ඉන්පසු එය උපයෝගී කොටගෙන ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ලබාගත යුතුය. ව්‍යාජ ගමන් බලපත්‍රය ලබාගත යුත්තේ එම අවශ්‍යතාවන් දෙක සම්පූර්ණ කිරීමෙන් පසුවය. ඒ සඳහා යන සියලු අතිරේක වියදම් දරනු ලබන්නේ ඒජන්සිකරුවන්ය. ඒජන්සිකරුවා ඒ වියදම දරනුයේ තමන්ගේ සාක්කුවෙන් නොව ඔහුට ලැබෙන ඉහත කී අරමුදලෙනි. රිසානා සිද්ධියේදී එම දැරියගේ නිදහස වෙනුවෙන් ලංකාණ්ඩුවට බලවත් ලෙස ඉදිපත්වීමේ හැකියාවක් නොතිබුණේද ඇයගේ වයස සහතික කළ ගමන් බලපත්‍රය ලංකාණ්ඩුව විසින් නිකුත් කරන ලද ගමන් බලපත්‍රයක් වීම නිසාය. ව්‍යාජ හැඳුනුම්පත් නිකුත් කිරීම හා ව්‍යාජ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මහා පරිමාණයෙන් මුදල් උපයාගත හැකි දැවැන්ත ජාවාරමක් බවට පත්වී තිබෙන්නේ කෙසේද යන්න ඒ ආශ්‍රයෙන් තේරුම්ගත හැකිය.

කූට ලේඛන සංස්කෘතිය

අප කූට ලේඛනවලට හුරුපුරුදු වී කිසියම් ප්‍රමාණයකට ඒ මත යැපෙන ජාතියකගේ තත්ත්වයට පත්වී ඇතැ”යි කිව හැකිය. කූට ලේඛන සැකසීම, ළඟ තබාගැනීම හා පාවිච්චි කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව බරපතළ දඬුවම් පැමිණවිය හැකි වරදකි. එහෙත් දරුවාට හොඳ පාසලක් ලබාගැනීමේ අරමුණ සඳහා දෙමාපියන් කූට ලේඛන සකස් කිරීම ඉතාමත්ම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. කූට ලේඛන සැකසීමට සහායවීමෙන් යැපෙන අයගේ සංඛ්‍යාවද අතිවිශාලය. හොඳ පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්වලට යා කොට තිබෙන සමහර ලේඛන කූට ලේඛන විය හැකි බව විදුහල්පතිවරුන්ද දනිති. අධ්‍යාපන බලධාරීන් හා දේශපාලන බලධාරීන්ද දනිති. එහෙත් ඒ සියලුදෙනා මෙම දූෂිත ක්‍රමයට කැමතිය. විශේෂයෙන්ම විදුහල්පතිවරුන් කැමතිය. කූට ලේඛන ඉදිරිපත් කරන දෙමාපියන්ගෙන් පගාව ගැනීමට බියවිය යුතු නැති බව විදුහල්පතිවරු දනිති. තමන්ට හොඳ විදුහලක් ලබාගැනීමට හැකිවූයේ කූට ලේඛන නිසා බව පාසලට ඇතුළත් වන දරුවාද කිසියම් කලෙක දැනගන්නේය. ඉන්පසු උසස් විභාග සඳහාද කූට ලේඛන යොදාගනිමින් අදක්ෂ දරුවකු වෙනුවට මුදල් ගෙවා දක්ෂ අයකු යොදාගන්නා අවස්ථා දුලබ නැත. ඒ සඳහා අවශ්‍ය කරන ජාතික හැඳුනුම්පතක් හදාගැනීම අමාරු නැත. වෛද්‍යවරයකු ලෙස වැඩ කිරීමට අවශ්‍ය බලපත්‍රයක් නැතිව කූට ලේඛනයක් මගින් ඒ තත්ත්වය දිනාගත් වෛද්‍යවරුන් රටේ එමට සිටිති. කූට ලේඛන මගින් ආචාර්ය උපාධි තත්ත්වයක් දිනාගත් හෝ ලොකු මුදලක් ගෙවා ඊට සමාන තත්ත්වයක් ලබාගත් අයද රටේ එමට සිටිති. විශ්‍රාම යන වයස දීර්ඝ කරගැනීම සඳහා ව්‍යාජ ලෙස තම උපන් දිනය වෙනස් කළ බලවත් අමාත්‍යාංශ ලේකම්වරයකුට ඒ කරුණ හෙළිදරව් වීම නිසා නින්දාවට ලක්වී තනතුර අතහැර ගෙදර යෑමට සිදුවිය. ජනාධිපතිවරයකුට පවා කූට ලෙස ආචාර්ය උපාධියකට හිමිකම් කීම ගැන ප්‍රසිද්ධ චෝදනා එල්ල විය.

මේ තත්ත්වය ගැන අපි ජාතියක් වශයෙන් ලැජ්ජාවට පත් නොවෙමු නම් අපේ ජාතියේ අනාගතය යහපත් වනු ඇතැ”යි විශ්වාස කළ නොහැකිය.