නූරිය අනාගතයේ ප්‍රතිබිම්බයක්ද?

August 4, 2013
Publication:
The crimes exposed at Nooriya estate in Deraniyagala, after the murder of superintendent Nihal Perera, show a former Pradeshiya Sabha chairman ruling like a 'little Prabhakaran' for a decade — killing, raping and burning homes under the protection of the provincial Chief Minister and the police. Ivan traces this to the fusion of politicians and criminals that began when MPs were allowed private security squads during the JVP and LTTE insurgencies, fuelling a black economy that now finances the parties. Without a sweeping reorganisation of the state, he warns, the whole country could become a Nooriya.

දැරණියගල නූරියෙන් අසන්නට ලැබෙන කතා ඉතා බිහිසුණුය. ජුගුප්සාජන සේ ම නින්දාසහගතවේයැ”යි ද කිව හැකිය. රටේ-සමාජ දේශපාලන ක්‍රමය කුණුවී තිබෙන තරම ඉන් හොඳින් පෙන්නුම් කරයි. මෙය රටේ හැමතැනකම පවත්නා පොදු තත්ත්වයක් ලෙස සැලකිය නොහැකි වුවත් දැරණියගලට පමණක් සීමාවූ විශේෂ තත්ත්වයක් ලෙසද සැලකිය නොහැකිය. වෙනත් විවිධ ප්‍රදේශවලින්ද ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ බිහිසුණු හා නොසණ්ඩාල ක්‍රියා ගැන නිතර නිතර අසන්නට ලැබෙන්නේය. ඉන් පෙනෙන්නේ මෙය දැරණියගලට පමණක් සීමා නොවූ රටේ තවත් තැන්වලද පවතින තත්ත්වයක් බවය. මෙම බිහිසුණු පිළිකාව පැතිරීම වළකා සමාජ-දේශපාලන ක්‍රමයෙන් මුළුමනින් ඉවත් කරන තැනකට යන්නට රට අසමත්වෙතොත් කවදා හෝ මුළු රටම වුවත් නූරියක් බවට පත්විය හැකිය.

සමහර ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලන නායකයන් මහජනයා බියගන්වා මැර බලයෙන් ඒ ප්‍රදේශවල කටයුතු පාලනය කරන කොල්ලකාරී ප්‍රාදේශීය අධිපතීන්ගේ තත්ත්වයක් හිමිකරගෙන සිටින්නේයැ”යි කිව හැකිය. ප්‍රදේශයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය බෙදීමේ ඒකාධිකාරී බලය තිබෙන්නේ ඔවුන් අතය. දැව තිබෙන ප්‍රදේශයක් නම් හොර දැව ජාවාරම තිබෙන්නේද ඔහුගේ ආධිපත්‍යය යටතේය. ලොකු විකිණීම්වලදී හා මිලදී ගැනීම්වලදී ඔවුන්ට කප්පම් ගෙවිය යුතුය. ප්‍රදේශයේ ඕනෑම කාන්තාවක් තනිව හෝ තමන්ගේ කල්ලියේ සගයන් සමග හෝ දූෂණය කිරීමේ බලය ඔහු භුක්ති විඳී. තමන්ට අවනත නොවන අයට හිංසා පීඩා කිරීම් පමණක් නොව තමන් අකමැති අය මරාදැමීමේ අයිතියද ඔහු භුක්ති විඳී. ප්‍රදේශයේ දේශපාලන මහා බලවතාගේ රැකවරණය ඔහුට ලැබෙන්නේය. එම දේශපාලන බලවතාට මැතිවරණවලට අවශ්‍ය ධනයද, මැර බලය පමණක් නොව ඔහු අපේක්ෂා කරන ඡන්ද සංඛ්‍යාවද ඔහුට ලබාදෙයි. ප්‍රාදේශීය පොලිස් බලවතුන්ද ඔහුට පක්ෂපාතය. ඔවුන් ප්‍රධාන කොට යැපෙන්නේද ඔහුගෙනි. ඒ නිසා නීතිය කෙරෙහි ඇතිකර ගන්නා බියකින් තොරව සිය නීති විරෝධී සාහසික කටයුතු කරගෙනයෑමේ බලය ඔහුට ලැබී තිබේ.

ප්‍රභාකරන්ගේ වෙනම රාජ්‍ය ක්‍රමය පරාජය කර ඇතත්, අලුත් විදියක පුංචි වෙනම රාජ්‍ය ක්‍රමයක් සිංහල දකුණේ ගොඩනැගෙමින් තිබෙන බව පෙනේ. තවදුරටත් උතුරේ ප්‍රභාකරන් කෙනකු ගැන ඇති කරගත් බියකින් ජීවත්විය යුතු නැතත්, ප්‍රාදේශීය මට්ටමෙන් ගොඩනැගෙමින් සිටින පුංචි ප්‍රභාකරන්ලා ගැන මහත් බියකින් ජීවත්වීමට එම ප්‍රදේශවල ජනතාවට සිදුවී තිබෙන බව පෙනේ.

නූරියේ ප්‍රභාකරන්

දැරණියගල නූරියේ ප්‍රභාකරන්ගේ භූමිකාව රඟපා ඇත්තේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාය. මෙම ප්‍රදේශයේ ඔහුගේ සාහසික පාලනය රජකර තිබෙන කාලසීමාව අවුරුදු 10කටත් වැඩිය. ඔහු ප්‍රාදේශීය මට්ටමෙන් හිමි කරගෙන තිබෙන අතිවිශාල බලය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ලැබීමෙන් පසු තහවුරු කරගන්නා ලද තත්ත්වයක් වනවා විය යුතුය.

අවුරුදු 10ක් හෝ ඊට වැඩි කාලයක් තුළ ඔහු හා ඔහුගේ කල්ලිය කර තිබෙන සාහසික ක්‍රියා මහජනයාට දැනගන්නට ලැබෙන්නේ පළමුවරටය. ඔහු හා ඔහුගේ කල්ලිය අතින් වතු අධිකාරි නිහාල් පෙරේරා ඝාතනයට ලක් නොවී නම් සමහරවිට ඒ ප්‍රදේශයේ පැවති තත්ත්වය තවත් බොහෝ කලක් පවතින්නට ඉඩ තිබුණි. මෙම වතු අධිකාරිවරයා ඝාතනය කරන්නට පෙර මෙම කල්ලිය ඔහුට පහර දී තිබුණි. ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇතත්, එය නූරියේ ප්‍රභාකරන්ට එරෙහිව කරන ලද පැමිණිල්ලක් වන නිසා පොලිසිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිවක්ම කර නැත. වැඩේ ගැස්සෙන්නේ වතු අධිකාරිවරයා ඝාතනය කිරීමෙන් පසුවය. ඊටද හේතුව වතු අධිකාරිවරයාට ඉහළ මට්ටම්වලින් තිබුණු සම්බන්ධතා නිසා විය යුතුය. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට වැඩේ ගැස්සුණේද ඊට සමාන ආකාරයකටය. වතු අධිකාරිවරයා නොමරා ඒ ප්‍රදේශයේ කොතරම් මිනිසුන් මැරුවද ප්‍රශ්නයක් නොවන්නට ඉඩ තිබුණි.

මේ කල්ලිය පසුගිය අවුරුදු 10ක් හෝ ඊට වැඩි කාලයක් තුළ කර තිබෙන සාහසික ක්‍රියාවල ප්‍රමාණය අතිවිශාලය. මේ කල්ලිය එක මවකගේ දරුවන් හතරදෙනාම විටින් විට මරා දමා තිබේ. තිදෙනෙක් පිරිමි දරුවන්ය. හතරවැන්නා කාන්තාවකි. කාන්තාව මරා දමා ඇත්තේ සිඟිති දරුවකු ඇගේ තනයෙන් කිරිබොමින් සිටියදී ඇගේ යටි බඩෙන් මෝල්ගහක් යැවීමෙනි.

මෙම සාහසික කල්ලිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව එම ගම් ප්‍රදේශයේ දහසකට වැඩි ජනතාවක් ගමේ පන්සලේ නායක භික්ෂූන්වහන්සේ හා ගමේ කෝවිලේ පූජකයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට මෙම රැස්වීමට ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයකු සේ ම සහකාර පොලිස් අධිකාරිවරයකු සහභාගි වී තිබේ. එහිදී ප්‍රදේශවාසීන් මේ කල්ලිය විසින් කරන ලද බිහිසුණු අපරාධ ගැනත් ප්‍රදේශයේ පොලිස් ලොක්කන් සිදුවූ ඒ සියලු අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටි ආකාරයත් මහ ඇමති මහීපාල හේරත් හා ඔහුගේ පුතා හා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා මෙම අපරාධ කල්ලියට ලබාදී තිබෙන රැකවරණය හා ඒ දෙපිරිස අතර තිබී ඇති සමීප සම්බන්ධයන් හෙළිදරව් කර තිබේ. එම රැස්වීමේදී මේ කල්ලිය විසින් ප්‍රදේශයේ පාසල් යන දැරියන් දූෂණය කර තිබෙන ආකාරයද විස්තර කර තිබේ.

එහිදී උදේශිකා සිරිකුමාර නමැති කාන්තාවක් කියා ඇත්තේ මීට වසර තුනකට පමණ පෙර තමන් ගැබිනි මවක්ව සිටියදී මේ කල්ලිය නිවසට කඩා වැදී දෙමාපියන්ට වෙඩි තබා නිවස ගිනි තබන ලද බවත්, ඒ ගැන මොනම පියවරක්වත් පොලිසිය නොගත් බවයි. එහිදී කතා කර ඇති යූ. පද්මකුමාර නමැති තවත් කෙනකු කියා ඇත්තේ මේ කල්ලිය 2008 වසරේදී සිය නිවස ගිනිබත් කරන ලද බවත් එය පැමිණිලි කිරීමට ප්‍රදේශයේ හැම පොලිස් ස්ථානයකටම ගියමුත් එකම පොලිස් ස්ථානයකින්වත් පැමිණිල්ල භාරනොගන්නා ලද බවත්, අවසානයේ පොලිසිය කළේ තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකරන ලද බවත්ය. මෙම සාහසික කල්ලිය කරන සාහසිකකම්වලට ආරක්ෂාව ලබාදීම ගැන ගම්වැසියන් මහ ඇමතිවරයා පමණක් නොව නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහටද චෝදනා කරන ලද බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි.

එහිදී ප්‍රදේශවාසීන් කර තිබෙන කතාවලින් පෙනීයන්නේ මෙම සාහසික කල්ලියේ නායකයා හා මහ ඇමති අතර සමීප සම්බන්ධයක් තිබී ඇති බවය. මහ ඇමති මෙම සාහසික කල්ලිය උපරිම මට්ටමකින් ආරක්ෂා කර තිබෙන බව පෙනේ. ඒ අනුව පොලිසියේ පළාත් නියෝජ්‍ය පොලිස්පතිගේ සිට පොලිසිවල ස්ථාන භාර පොලිස් පරීක්ෂකවරුන් දක්වා සියලු නිලධාරීන් මෙම අපරාධ කල්ලියට රැකවරණය ලබා දුන්නේය.

දේශපාලන පාදඩකරණය

පරණ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය පැවති කාලයේදීද දේශපාලනඥයන් චණ්ඩින්ගෙන් ආධාර උපකාර ලබාගත් අවස්ථා තිබුණි. එහෙත් ඒ කාලයේ මේ දෙපිරිස අතර දුරස්ත සම්බන්ධයක් මිස සමීප සම්බන්ධයක් නොතිබුණි. මේ දෙපිරිස අතර සමීප සම්බන්ධයක් ඇතිවීම ආරම්භවන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇතිවීමත් සමගය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේ ආරම්භයේදී වෘත්තීය සමිති සටන් හා ශිෂ්‍ය සටන් මර්දනය කිරීම සඳහා මැරවරයන් යොදා ගත්තේය. ස්ත්‍රී දූෂණ චෝදනාවලට අධිකරණය විසින් දඬුවම් කරනු ලැබූ ගෝනවල සුනිල්ට සමාව දුන්නේය. ඉන්පසු සාමදාන විනිශ්චකාරකමක්ද ලබා දුන්නේය.

දේශපාලනඥයන් හා අපරාධකාරයන් එකට කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ඇතිවීම ආරම්භවන්නේ ජවිපේ දෙවැනි කැරැල්ල ආරම්භවීමත් සමගය. එම කැරැල්ල දේශපාලනඥයන්ට සැබෑ ජීවිත තර්ජනයක් ඇති කර තිබුණේය. දේශපාලනඥයන්ට ප්‍රමාණවත් තරමින් හමුදාවේ හෝ පොලිසියේ ආරක්ෂාව ලබාදීමට පුළුවන්කමක් නොතිබීම හේතු කොටගෙන තමන්ගේම ආරක්ෂක කණ්ඩායම් ඇතිකර ගැනීමේ බලය ආණ්ඩුව විසින් දේශපාලනඥයන් වෙත ලබාදෙන ලදි. ඒ සමග ප්‍රාදේශීය මට්ටමෙන් සිටින අපරාධකරුවන් දේශපාලනඥයන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරම්භ කරන ලද අතුරු හමුදාවලට එකතුවන තත්ත්වයක් ඇතිවිය. ඔවුන්ට ආරක්ෂක හමුදා විසින් නවීන ආයුධ පරිහරණය පිළිබඳ පුහුණුවක් ලබාදෙන ලද අතර අතුරු හමුදාවලට අවශ්‍ය අවි ආයුධද ලබාදෙන ලදි. පළාත් සභා ක්‍රමයක් ඇති කිරීමෙන් පසු පළාත් සභාවලට තරග කරන අපේක්ෂකයන්ට හා තේරී පත්වූ මන්ත්‍රීවරුන්ටද ජීවිත තර්ජනය එල්ල වීම නිසා ඔවුන්ටද තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය අතුරු හමුදා පවත්වාගෙන යෑමට ඉඩ දෙන ලදි. ඒ නිසා අතුරු හමුදා පවත්වාගෙන යන දේශපාලනඥයන්ගේ ගණන දහස් ගණනක් බවට පත්විය.

මෙසේ දේශපාලනඥයන්ගේ අතුරු හමුදාවට එකතු වූ අපරාධකරුවන් ඒ නිසා තමන්ට හුරුපුරුදු අපරාධකාරී ජීවන රටාව අත්හැරියේ නැත. ඒ වෙනුවට සිදුවූයේ දේශපාලන බලවතා මුවාවක් කරගනිමින් තමන්ගේ කටයුතු වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙනයෑමට ඔවුන්ට අවස්ථාවක් ලැබීමය. මෙම අපරාධකරුවන් තවදුරටත් අපරාධකරුවන් ලෙස නොව දේශපාලන බලවතුන්ට සමීප දේශපාලනඥයන්ගේ ආරක්ෂකයන් ලෙස සලකා ඔවුන් සමග සහයෝගයෙන් ක්‍රියාකරන්නට පොලිසියටද සිදුවූයේය. ඒ නිසා ඔවුන් විසින් කරන අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පොලිසියට සිදුවිය.

ඉන්පසු දේශපාලනඥයන්ගේ ජීවිත රැකීමේ ප්‍රධාන වගකීම පැවරී තිබුණේ අපරාධකරුවන්ටය. අපරාධකරුවන් තමන් වෙනුවෙන් කරන සේවය සලකා පෙරළා මේ අපරාධකරුවන් ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමට දේශපාලකයන්ටද සිදුවිය. අපරාධකරුවෙක් තමන්ට ලැබී තිබුණු මෙම වාසිදායක වටාපිටාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය. දේශපාලනඥයන් දැන හෝ නොදැන මත්ද්‍රව්‍ය ප්‍රවාහයට දේශපාලනඥයන්ගේ නිල වාහන යොදා ගත්තේය. නැත්නම් ඒ සඳහා පොලිසියේ වාහන යොදා ගත්තේය. වෙනත් අපරාධ කටයුතු සඳහාද දේශපාලනඥයාගේ හෝ පොලිසියේ නිල වාහන යොදා ගත්තේය. සමහරවිට මෙම අපරාධකරුවන් නීති විරෝධී මාර්ගවලින් උපයන ආදායමකින් කිසියම් පංගුවක් සමහර දේශපාලකයන්ටද ලැබුණාද විය හැකිය. දේශපාලනඥයන්ද සිය ආරක්ෂාව සඳහා පමණක් නොව සිය විරුද්ධවාදීන් බියගැන්වීම හා මර්දනය කිරීම සඳහාද අපරාධකරුවන් ප්‍රයෝජනයට ගත්තේය. දේශපාලනඥයන්ගේ හොර ඡන්ද ව්‍යාපාර මෙහෙයවන ලද්දේ එම අපරාධකරුවන්ය.

ඒ සමග දේශපාලනඥයා පොලිස් නිලධාරියා හා අපරාධකාරයා යන වර්ග තුනට අයත් මිනිස්සු එකට එකතු වී සහයෝගයෙන් වැඩ කරන තත්ත්වයක් ඇතිවිය. අපරාධකාරයන්ට ලබාදෙන රැකවරණය වෙනුවෙන් දේශපාලනඥයාට සේ ම පොලිස් නිලධාරියාටද ප්‍රතිලාභ ලැබුණේය. අනෙක් අතට දේශපාලකයා වෙනුවෙන් කරනු ලබන කාර්යභාරයට අපරාධකාරයාටද පෙරළා ප්‍රතිලාභ ලැබුණේය. ඒ නිසා මේ දෙපිරිස එකිනෙකා මත රඳා පවතින මනා සහයෝගයෙන් වැඩ කරන දෙපිරිසක් බවට පත්විය.

ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු දේශපාලනඥයන්ට එල්ටීටීඊයෙන් එල්ල වී තිබුණු තර්ජන නිසා දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා ඇති කරන ලද එම ක්‍රමය කඩා බිඳ දැමීමකින් තොරව ඉදිරියට ගලා යන දෙයක් බවට පත්විය.

සහජීවනයේ ප්‍රතිවිපාක

දේශපාලනඥයන් හා අපරාධකාරයන් අතර ඇතිවූ මෙම සහජීවනය ආර්ථිකය කෙරෙහිත්, නීතිය කෙරෙහිත් දේශපාලනය කෙරෙහිත් බලපෑවේය. ව්‍යාපාරික අංශවල නීති විරෝධී ක්‍රියාකාරකම්වල ශීඝ්‍ර වර්ධනයක් ඇතිවී ආර්ථිකය තුළ කළු ආර්ථිකයේ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. විදේශ සමීක්ෂකයන් කණ්ඩායමක් කර තිබෙන ගණන් බැලීමකට අනුව එය ආර්ථිකයේ හිමි කරගෙන තිබෙන පංගුව සියයට 50ක් තරම් විශාලය. එම තත්ත්වය විසින් කළු සල්ලිකාරයන් ධනවතුන් අතර සිටින බලවත්ම පිරිස බවට පත් කළේය. ලුම්පන් පසුබිමක් ඇති අය රටේ ලොකුම සල්ලිකාරයන් බවට පත්විය.

අපරාධකාරයන්ට දේශපාලකයන්ගෙන් ලැබෙන රැකවරණය හා අනුග්‍රහය නිසා අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම අඩපණ වී රටේ සිදුවන අපරාධවල ප්‍රමාණයද ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. අපරාධ නඩුවලදී වැරදිකරුවන් වන අයගේ අනුපාතිකය ලංකාව සඳහා පවතින්නේ 3%ක් තරම් පහත් මට්ටමකය. ඉන්දියාවේ සිට 65%ක් වන අතර යුරෝපය සඳහා වන එම අනුපාතිකය 80%කි. ආදායම් බදුවලින් ආණ්ඩුව උපයන 20%ක් තරම් වන මට්ටමකට පහත වැටී ආදායම් බදුවලින් උපයන රජයේ ආදායම 80%ක් තරම් ඉහළ නැග තිබේ. කොටස් වෙළෙඳපොළට පත් කරන ලද ප්‍රධාන විධායක නිලධාරීන් තිදෙනකුම එක් අයකුට පසු තවත් අයකු වශයෙන් එම තනතුරෙන් ඉවත්ව ගියේ ස්වාධීනව ක්‍රියාකිරීමට පුළුවන්කමක් නැති බව ප්‍රකාශ කරමිනි. ආර්ථිකයේ වැදගත් මර්මස්ථානයක් ලෙස සැලකිය හැකි කොටස් වෙළෙඳපොළ කෙරෙහි පවතින කළු සල්ලිකාරයන්ගේ ආධිපත්‍යයේ තරම ඉන් මනා ලෙස පෙන්නුම් කරයි.

රටේ ප්‍රධාන හැම දේශපාලන පක්ෂයකම පාහේ කළු සල්ලි මත යැපෙන තත්ත්වයකට පත්වන්නට සිදුවී තිබේ. මැතිවරණ වියදම් සඳහා පාලනයක් නැතිකම නිසා මැතිවරණ කටයුතු සඳහා යන වියදම් අසාමාන්‍ය ලෙස ඉහළ නැග තිබෙන අතර කළු සල්ලිකාරයන්ගේ ආධාර නැතිව දේශපාලන පක්ෂවල මැතිවරණවලට තරග කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මෙම විශේෂ තත්ත්වය දේශපාලන පක්ෂ මහජනයා මත යැපෙන තත්ත්වයෙන් ඉවත් කොට කළු සල්ලිකාරයන්ගෙන් යැපෙන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. එම තත්ත්වය බලයට පත්වන ආණ්ඩුවල ස්වභාවයද වෙනස් කිරීමට හේතුවී තිබේ. බලයට පත්වන ආණ්ඩු මහජනයා කෙරෙහි වෙනුවට කළු සල්ලිකාරයන් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකරන තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවී තිබේ. ඒ මගින් බලයට පත්වන හැම ආණ්ඩුවක්මත් අනියම් ලෙස පාලනය කිරීමේ හැකියාව කළු සල්ලිකාරයන්ට ලැබී තිබෙන්නේය. දැන් කලක සිට දේශපාලනයේ තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල ඇතිවී තිබෙන මහා ගරා හැලීම කෙරෙහි සමාජ-දේශපාලනයේ ඇතිවී තිබෙන එම වෙනස්කම්ද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ.

ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව

රට තිබෙන්නේ සමාජ-දේශපාලන ක්‍රමයේ හැම අස්සක් මුල්ලක් නෑරම කෙරෙහි විහිදෙන මහා ප්‍රතිසංවිධානයකින් තොරව ඉදිරියට යා නොහැකි තත්ත්වයකය. එහෙත් ඒ සඳහා වන ගැඹුරු විශ්ලේෂණයක් හෝ දර්ශනයක් මොනව දේශපාලන පක්ෂයකටවත් තිබෙන බවක් පෙනෙන්නට නැත. සමාජ දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන මහා කුණුවීම ගැන මේ කිසිදු දේශපාලන පක්ෂයක් තුළ බලවත් කම්පනයක් ඇති බවක්ද පෙනෙන්නට නැත. එවැනි කම්පනයක් සමාජය තුළ පවා තිබෙන බවක් පෙනෙන්නට නැත.

මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශක්තිමත් ඉදිරි දර්ශනයක් අවශ්‍ය වන අතර එවැනි දර්ශනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත්තේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය හා ඒ කෙරෙහි බලපා තිබෙන හේතූන් පිළිබඳව ශක්තිමත් විශ්ලේෂණයක් ඇත්නම් පමණය. විශ්ලේෂණයක අවශ්‍යතාව ඇතිවනු ඇත්තේද තිබෙන යථා තත්ත්වය පිළිබඳව ඇති කරගත් බලවත් කම්පනයක් ඇති නම් පමණය. එහෙත් තාමත් අප ඉන්නේ දේවල් සරල ලෙස දකින තත්ත්වයකය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග ඇතිකර ගන්නා සරල ආණ්ඩු පෙරළියකින් මේ තත්ත්වය ජයගත හැකිවනු ඇතැ”යි තාමත් බොහෝ අයගේ කල්පනාව වී තිබෙන බවද පෙනේ.

රට ඇද වැටී තිබෙන මෙම කාලකණ්ණි තත්ත්වය නවීන චින්තනයක් ඇති කරගැනීමෙන් තොරව නවීන රටක් බවට පත්වීමේ පරස්පරයද වැදගත් හේතුවක් ලෙස බලපා තිබෙන්නේයැ”යි කිව හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප නිදහස දිනාගත්තේද නිදහස දිනාගැනීමෙන් පසු ඉදිරියට යන්නට උත්සාහ කළේද ගොඩනැගී තිබුණු ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ එක්සත් ජාතියක්වත් ලැබී තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ ඵලදායී ක්‍රියාකාරීත්වයක් සඳහා අත්‍යවශ්‍ය වූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්වත් ඇතිකර ගැනීමෙන් තොරවය. එක්සත් ජාතියක් නැතිව ගිය ගමන ජාතික රාජ්‍ය විකෘති කළේය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නැතිව ගිය ගමන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයද විකෘති කළේය. ඒ දෙකේ ඇතිවූ මහා විකෘතීන් රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත් කළේය. ලේ හලන එම ප්‍රචණ්ඩ වටාපිටාව එක දිගට අවුරුදු 30කට ආසන්න කාලයක් රටේ පැවතියේය. රටේ ජනගහනයේ තරමට නොගැළපෙන තරම් විශාල පිරිසක් අකාලයේ මරණයට පත්වූ අතර නොමැරී ඉතිරි වූ මිනිසුන් ද සිය සංවේදී අංග අහිමි කරගත් පිරිසක් බවට පත් කළේය. එම විශේෂ වටාපිටාව සමාජ-දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුණු කුණුවීම උපරිම කිරීමට හේතුවිය.

මෙම තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ වර්ග භේදවාදී, ආගම් භේදවාදී හා කුලභේදවාදී ආකල්පවලට තිබෙන පිළිගැනීම නැති කොට එකිනෙකා කෙරෙහි සමාන ගෞරවයෙන් ක්‍රියාකරන එක්සත් ශ්‍රී ලාංකික ජාතියක්ද, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙරෙහි සංවේදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්ද ඇතිකර ගැනීමට හේතුවන ආකාරයට ඔජර ගලන තරමට කුණුවී තිබෙන සමාජ-දේශපාලන ක්‍රමය වෙනස් කරමින් අභිනව ශ්‍රී ලංකා රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කිරීමට හේතුවන මහා ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළකට රට යොමු කිරීමෙනි. එසේ නොවෙතොත් මේ ගමන නතර වනු ඇත්තේ මහා අරාජිකත්වයකිනි. එයද සැලකිය යුතුව තිබෙන්නේ සමාජය විසින් දැනුවත්ව ප්‍රඥාවෙන් හා මහත් ඉවසීමෙන් යුතුව සම්පූර්ණ කළ යුතුව තිබුණු ඓතිහාසික කාර්යයක් ඉටු නොකිරීම නිසා ඉතිහාසය විසින් ඉතාමත් රළු පරුෂ ලෙස හා විකාරරූපී ආකාරයකින් කරන විනාශකාරී කාර්යයක් ලෙසය.