දෙමළ සන්ධානය උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන මහ ඇමති අපේක්ෂකයා සිංහලවාදී ප්රකාශකයන්ගේ දැඩි උදහසට හේතුවී සිටින බව පෙනේ. ඔවුන්ගේ එක් ප්රකාශකයකු විග්නේශ්වරම් ඇන්ටන් බාලසිංහම්ට සමාන කිරීමෙන් නොනැවතී ඔහු තමන්ට තිබෙන නීතිමය දැනුම හා අන්තර්ජාතික පිළිගැනීම උතුරු පළාත් සභාව දෙමළ ඊලමක් බවට හරවා ගැනීම සඳහා යොදාගනු ඇතැ”යි ද කියා තිබුණි.
දෙමළ සන්ධානය
මා හිතන අන්දමට දේශීය තලයේ දෙමළ ඊලමක් දිනාගැනීම සඳහා වන දෙමළ අධ්යාශය එල්ටීටීඊයේ පරාජයත් සමග මුළුමනින් අවසන් විය. එල්ටීටීඊ හිඩස ඊළඟට පුරවනු ලැබුවේ දෙමළ සන්ධානය මගිනි. සාම්ප්රදායික දෙමළ නායකයන් අතින් විශේෂයෙන්ම අමිර්තලිංගම් අතින් ප්රචණ්ඩ සටනකට යොමුවී සිටි තරුණ අන්තවාදී බලවේගයන්ට උඩගෙඩිදීමක් සිදුවූවා වුවත් සාම්ප්රදායික දෙමළ දේශපාලන නායකයන් හා එල්ටීටීඊය එකම පිරිසක් ලෙස සැලකීම තරම් මෝඩකමක් තවත් තිබිය නොහැකිය. සාම්ප්රදායික දේශපාලන නායකයන් අතින් සිදුවූ එම වැරැද්ද වෙනුවෙන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතවලින්ම වන්දි ගෙවන්නට සිදුවිය. අමිර්තලිංගම් පමණක් නොව, දෙමළ ජනතාව අතර පිළිගැනීමක් තිබුණු සියලු දෙමළ දේශපාලන නායකයන් ප්රභාකරන්ගේ එල්ටීටීඊය විසින් අනුකම්පාවිරහිතව මරා දමනු ලැබීය. තවදුරටත් ඔවුන් අතින් නොමැරී ඉතිරිවූ කිහිපදෙනකු වී නම් ඔවුන්ට ජීවත්වීමට හැකියාව ලැබුණේ දේශපාලන කටයුතුවලින් ඈත්වී විදේශගතවී සිටීම නිසා හෝ ඔවුන් මරා දැමිය යුතු තරම් වැදගත් නායකයන් පිරිසක් ලෙස එල්ටීටීඊය නොසැලකූ නිසාය. පසුකලක එසේ ඉතිරි වී සිටි කිහිපදෙනාට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නට සිදුවූයේ එල්ටීටීඊය අනුමැතිය ලබාගැනීමෙන් පසුවය. ඒ සමග ඔවුන් එල්ටීටීඊ අදහස් අනුමත කරන එල්ටීටීඊකාරයන් පිරිසක් බවට පත්වීයැ”යි කිව නොහැකිය.
ඔවුහු එල්ටීටීඊයේ අවසාන කාලයේදී එල්ටීටීඊ ග්රහණයට නතුවී සිටියේ තෝරාගැනීමට අන් විකල්පයක් නොතිබුණු තත්ත්වය ඉදිරියේය. ඔවුන්ගේ සිත්වල ප්රභාකරන් හා ඔහුගේ වැඩපිළිවෙළ ගැන නොකැමැත්තක් සේ ම අප්රසාදයක්ද තිබුණේය. නැවත ඔවුන් නිදහසේ හුස්ම ගැනීම ආරම්භ කර තිබුණේ එල්ටීටීඊයේ විනාශයත් සමගය. ඔවුන් අතර තිබුණු එම පරස්පරය යුද්ධයෙන් පසු ජාතිය ගොඩනැගීමේ කාර්ය සලකා යොදාගැනීමට තිබෙන හැකියාව තේරුම් ගැනීමට ජයග්රාහී සිංහල නායකත්වය අසමත් විය. ආරම්භයේදී ඔවුන් පෙන්නුම් කරන ලද මටසිලුටුභාවයේ තරම සාමාන්යයෙන් අපේක්ෂා කළ නොහැකි තරම් මට්ටමක පැවතියේයැ”යි කිව හැකිය. දෙමළ ඩයස්පෝරාව ශ්රී ලංකාවට එරෙහිව යුරෝපය දෙවනත් කරමින් සිටින අවස්ථාවකදී දෙමළ සන්ධාන සිය පක්ෂයේ නිල උත්සවයක් ආරම්භ කරන ලද්දේ ජාතික ගීය ගායනා කිරීමෙනි. එය 1983න් පසුව දෙමළ නිල උත්සවයකදී සිය කැමැත්තෙන් ජාතික ගීය ගායනා කළ පළමු අවස්ථාව විය. ප්රභාකරන් ජාතික ගීය ගායනා කිරීම තහනම් කර තිබූ බවද අමතක නොකළ යුතුය.
දෙමළ සන්ධානයේ නායකයන්ට ප්රභාකරන් හා ඔහුගේ එල්ටීටීඊය ගැන පමණක් නොව දෙමළ ඩයස්පෝරාව ගැනද විවේචනයක් තිබුණි. ලංකාවේ දෙමළ ජනතාවට වන හානිය නොසලකා එල්ටීටීඊය කරන ඕනෑම දෙයක් අනුමත කරන ප්රතිපත්තියක් අනුමත කිරීම මගින් ඔවුන්ද විශාල වැරැද්දක් කර තිබෙන්නේය යන්න ඔවුන් දෙමළ ඩයස්පෝරාව පිළිබඳව දරන ලද මතය වූ බව මම දනිමි. මාගේ මතය අනුව එල්ටීටීඊයේ පරාජය කෙරෙහි දෙමළ ඊලාම්වාදී ඩයස්පෝරාවද බලපෑවේය. ඩයස්පෝරාව එල්ටීටීඊයට මුදල් ලැබෙන මාර්ගයක් වීම හේතු කොටගෙන එල්ටීටීඊය වඩා වැදගත් කොට සලකන ලද්දේ ලංකාවේ දෙමළ ජනතාව නොව ඩයස්පෝරාවට අයත් දෙමළ ජනතාවය. එල්ටීටීඊය කරන පහරදීම්වලට අර්ථ දෙකක් තිබුණු අතර එක් අර්ථයක් වූයේ ඩයස්පෝරාව සතුටු කොට ඔවුන්ගෙන් ලැබෙන මුදල් ආධාර වර්ධනය කරගැනීමය. එල්ටීටීඊයේ ආදායම් තරවන තරමට ඔවුන් නවීන ආයුධ කෙරෙහි පමණක් විශ්වාසය තබා ක්රියාකරන ව්යාපාරයක් බවට පත්විය. ඔවුන්ගේ විනාශය කෙරෙහි එයද තීරණාත්මක සාධකයක් ලෙස බලපෑවේය. ආත්ම ගෞරවය ඇතිව ප්රධාන ප්රවාහයට එකතුවීමට ලැබුණු කිසිම අවස්ථාවක් ප්රයෝජනයට ගැනීමට ඔවුන් අසමත් වූයේ ආයුධ කෙරෙහි ඇති කරගෙන තිබූ උමතු විශ්වාසය නිසාය. ප්රධාන ප්රවාහයට ඒම ඔවුන් තේරුම් ගෙන තිබුණේ ආයුධ හා ආයුධ සන්නද්ධ සටන අත්හැරීමක් ලෙසය. ඔවුන්ට දේශපාලනයට වඩා වැදගත් වූයේ ආයුධය.
විග්නේශ්වරන්ගේ සම්ප්රාප්තිය
ප්රභාකරන් දෙමළ සමාජයේ එකම නායකයා බවට පත්වූයේ අන් සියලු දෙමළ නායකයන් මරා දැමීම මගිනි. ඔහු ඒ මගින් ලංකාවේ දෙමළ ජනතාවගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවද ඔවුන්ට සිටින එකම නායකයා බවට පත්වූවේය. අවසානයේ ඔහුගේ මරණයත් සමග ලංකාවේ දෙමළ ජනයා නායකයන් නැති ජනතාවක් බවට පත්වූයේය. සාම්ප්රදායික දෙමළ නාකයන් කිහිපදෙනකු ඉතිරි වී සිටීම තුළ ඒ අඩුව පිරවීමක් සිදු නොවීය. හේතුව ඔවුන් දීර්ඝ කාලයක් දෙමළ ජනතාවගෙන් ඈත්ව සිටි පිරිසක් වීම නිසාය. විග්නේශ්වරන් වැනි පුද්ගලයකු දෙමළ දේශපාලන කරළියට එන්නේ එවැනි විශේෂ වටාපිටාවක් ගොඩනැගී තිබුණු අවස්ථාවකදීය. දෙමළ ජනතාවට ඔවුන්ගේ විශ්වාසයට හේතුවන නව නායකයන් අවශ්යව තිබුණේය. විග්නේශ්වරන් දේශපාලන කරළියට ඒමෙන් කිසියම් ප්රමාණයකට පිරවෙන්නේ ඒ හිඩැසය. විග්නේශ්වරන් වැනි දැඩි වර්ගවාදී හෝ බෙදුම්වාදී අදහස් නොදරන සිංහල ප්රජාව සමගද සමීප සම්බන්ධකම් තිබෙන යහපත් හා අවංක ඉතිහාසයට උරුමකම් කියන පුද්ගලයකු දේශපාලන කරළියට ඒම ගැන දකුණේ සිංහල ජනයා සතුටු විය යුතුවා මිස වෛරයෙන් හා ක්රෝධයෙන් ආඩපාලි කියන තැනට යායුතු නැත. ඔහුගේ දරුවන් දෙදෙනාම විවාහ වී සිටින්නේ සිංහලයන් සමගය. ඒ විවාහ ඉතා ඈත කාලයේදී සිදුවූවා නොව මෑත කාලයේදී සිදුවූ ඒවාය. ඔහු අන්ත වර්ගවාදියකු වී නම් ඔහු සිංහල බෑනා කෙනකු හා ලේලි කෙනකු භාරගනු ඇතැ”යි සිතිය නොහැකිය. අධිකරණ නිලධාරියකු වශයෙන් ඔහුට තිබෙන ඉතිහාසය ගෞරවනීය වනවා සේ ම වර්ණවත්ද වේ.
සරත් නන්ද සිල්වා පාලන යුගයේදී ඉහළ අධිකරණයේ බොහෝ අය සිදුවන වැරදි අනුමත කරන තැනක සිටියද ඔහු එසේ නොකළේය. ශ්රේෂ්ඨාධිකරණයෙන් විශ්රාම යන අවස්ථාවේදී ඔහුගේ සමුගැනීමේ කතාව අධිකරණය ඇද වැටි තිබුණු ඛේදජනක තත්ත්වය පිළිබඳව කරන ලද හොඳ විග්රහයක් ලෙස සැලකිය හැකිය. ඉතාම වැදගත් දේ ඔහු කවර අවස්ථාවකදීවත් එල්ටීටීඊ හිතවාදියකු හෝ ආධාරකරුවකු නොවීමය. ඔහු වැනි පුද්ගලයකුට අසරණභාවයට පත්ව සිටින දෙමළ ජනයාට විශාල සේවයක් කළ හැකිවා සේ ම සිංහල දෙමළ ආරාවුල විසඳාගැනීම සඳහාද පුරෝගාමී කාර්යභාරයක් කළ හැකිය.
ප්රභාකරන් පරාජය කිරීම
එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ යුතුව තිබුණේද නැද්ද යන ප්රශ්නය අද දක්වාම විවාදයට හේතුවී තිබෙන සදාචාරමය ප්රශ්නයක් ලෙස සැලකිය හැකිය. මගේ මතය අනුව එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම නිවැරදිය. එය ඉතාමත් හිතුවක්කාරී හා විනාශකාරී ව්යාපාරයකි. ඔවුන් සමග සාකච්ඡා මගින් ප්රශ්න විසඳාගැනීමේ මොනම ඉඩක්වත් නොතිබුණේයැ”යි කිව හැකිය. සාමකාමී ලෙස ප්රශ්න විසඳා ගැනීමට ඉඩ ලැබුණු කවර අවස්ථාවක්වත් ඔවුන් එම අවස්ථා ප්රයෝජනයට නොගත්තේය. දෙමළ ඊලමකින් මෙපිට කිසිවක් ඔවුන් බලාපොරොත්තු නොවූයේය. ඔවුහු සමස්ත සමාජය කෙරෙහි පමණක් නොව තමන් නියෝජනය කළ දෙමළ සමාජය කෙරෙහිද විනාශකාරී ලෙස බලපෑවේය. දැඩි යුද විරෝධී ප්රතිපත්තියක පිහිටා ක්රියාකළ බර්ට්රන් රසල් සේ ම දැඩි අහිංසාවාදී ප්රතිපත්තියක පිහිටා ක්රියාකළ මහත්මා ගාන්ධිද දෙවන ලෝක යුද්ධයේදී තමන්ගේ දැඩි ස්ථාවරයන් ලිහිල් කරමින් හිට්ලර්ගේ නාසිවාදය පරාජය කිරීමේ අරමුණින් මිත්ර හමුදා කරන යුද්ධය අනුමත කළේය. ඊට සහයෝගය පළකරන ප්රතිපත්තියක පිහිටා ක්රියා කළේය. ප්රභාකරන්ගේ කැරැල්ල ලංකාව සම්බන්ධයෙන් මතුකර තිබුණේද එවැනි තීරණාත්මක ප්රශ්නයකි. එය පරාජය කිරීම හරිය. වැරැද්ද තිබෙන්නේ එය පරාජය කිරීම තුළ නොව ප්රභාකරන්ගේ කැරැල්ල පරාජය කිරීමෙන් පසු සිංහල දෙමළ ආරාවුල විසඳාගැනීමට ලැබී තිබුණු ඓතිහාසික අවස්ථාව නිසි ලෙස ප්රයෝජනයට ගැනීමට ආණ්ඩුව අසමත්වීම තුළය. ආණ්ඩුවට ප්රභාකරන්ගේ යුද්ධ ව්යාපාරය පරාජය කිරීම සඳහා විචක්ෂණ දැක්මක් තිබුණද සාමය දිනාගැනීම සඳහා වන විචක්ෂණ දැක්මක් නොතිබුණි. දෙමළ ප්රශ්නය සමග මජර ගලන තරමටම කුණුවී තිබුණු දේශපාලන ක්රමයද වෙනස් කරමින් සියලුදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන නව ශ්රී ලංකාවක් ගොඩනගා ගැනීමට ඉතිහාසය විසින් ලබාදෙන අවස්ථාව ප්රයෝජනයට ගැනීමට ශ්රී ලංකාව අසමත් විය. එම අසමත්භාවය වඩා විශාල අර්බුදයකට ශ්රී ලංකාව තල්ලු කිරීමට හේතුවිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයේ ජයග්රහණයෙන් පසු ජාතිය අමතා කරන කතාවේදී අන් සියලු දේවල් කියන අතර අප යුද්ධයෙන් ලැබූ ජයග්රහණය ගැන උදම් විය යුතුවා සේම අප අතින් පරාජයට පත්වූයේ අපේ රටේම ජනවර්ගයක තරුණ පිරිසක් බව ප්රකාශ කරමින් ඒ ගැන අපි කනගාටු විය යුතුයැ”යි කීවේ නම් දෙමළ ජනතාව ජාතියට එකතු කරගැනීමේ ක්රියාවලිය ආරම්භවන්නට ඉඩ තිබුණේ එදාය. එහෙත් ලැබූ ජයග්රහණයේ ජනප්රිය එක පැත්තක් මිස එහි අනෙක් පැත්ත දකින්නට ජනාධිපතිවරයා අසමත් විය. යුද්ධයෙන් ලැබූ ජයග්රහණයෙන් පසුව දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලටද විසඳුමක් ලැබෙන ආකාරයට මජර ගලන තරමටම කුණුවී තිබුණු දූෂිත දේශපාලන ක්රමය වෙනස් කරමින් සියලුදෙනාගේ ගෞරවයට හේතුවන නව ශ්රී ලංකා රාජ්යයක් ප්රතිනිර්මාණය කිරීමට සමත් වී නම් දෙමළ ඩයස්පෝරාවෙන් හා අන්තර්ජාතික වශයෙන් එල්ල වන බලපෑම් අවම කරගනිමින් ශ්රී ලංකාව සමස්ත ලෝකයේම ගෞරවය හිමි කරගත් රටක් බවට පත්වන්නට ඉඩ තිබුණේය. එසේ වී නම් ජනාධිපතිවරයාට තිබෙන පිළිගැනීමද අතිවිශාල ලෙස ඉහළ යන්නට ඉඩ තිබුණි.
පරණ අවතාර යළි ඇතිවිය හැකිද?
එල්ටීටීඊය පරාජය කළද වෙනම රාජ්යයක් හෝ ඊලමක් ඇතිකර ගැනීමට තිබෙන අපේකෂා මුළුමනින් අවසන් වී නැතැ”යි කියන කතාද නිතර අසන්නට ලැබෙන අතර ඒවා සැලකිය යුත්තේද තේරුමක් නැති අප්රභංස කතා ලෙසය. එවැනි සිහින දකින අය දෙමළ ඩයස්පෝරාව තුළ සිටිය හැකිය. එහෙත් එවැනි සිහින දකින අය ලංකාවේ දෙමළ ජනතාව අතර ඇත්තේම නැතැ”යි කිව හැකිය. එසේ සිතන ඔල්මාදකාරයන් කිහිපදෙනකු සිටිය හැකිමුත් එල්ටීටීඊය ලැබූ පරාජයත් සමග වෙනම දෙමළ රාජ්යයක් සඳහා පැවති විශ්වාසය යළි පණදිය නොහැකි ලෙස මැරී ඇතැ”යි කිව හැකිය. සාධාරණ හේතු ඇතිව හෝ නැතිව කිසියම් ජන පිරිසකගේ විශ්වාසයට හේතුවූ දේශපාලන ව්යාපෘතියක් ඒ සියලුදෙනාගේ විස්මයට හේතුවන ලෙස මුළුමනින් කඩා වැටුණු විට නැවත ඒ සමාන ව්යාපෘතියක් සඳහා අලුත් විශ්වාසයන් ජනිත කළ නොහැකිය. වෙනම රාජ්යයක් පිළිබඳව අදහස භූ දේශපාලන යථාර්ථය තුළ කවදාවත් ඉටු කරගත නොහැකි මනෝරාජික විශ්වාසයක් වී තිබියදීත් ඒ ගැන වන විශ්වාසයක් ජනිත කිරීමට හේතුවී තිබුණේ විස්මයජනක ලෙස අල්ලාගෙන සිටීමට එල්ටීටීඊය සමත්ව තිබුණ නිසාය. ඒ සඳහා වන එල්ටීටීඊ ව්යාපෘතිය ඇදහිය නොහැකි ආකාරයකට කඩා වැටුණු විට කවර ආකාරයකින් හෝ අත්පත් කරගන්නා වෙනම රාජ්යයක් පිළිබඳ අදහසට තිබෙන පිළිගැනීමද අළු දූලි බවට පත්විය. සමාජවාදයට සිදුවු දේද මීට සමානය. හොඳ නරක කුමක් වුවත් සෝවියට්දේශයේ පැවැත්ම සමාජවාදී විප්ලවය පිළිබඳ අදහසට වටිනාකමක් හා පිළිගැනීමක් ලබාදී තිබුණි. සමාජවාදී අදහස් දරන්නන් සෝවියට් දේශය බිඳ වැටෙනු ඇතැ”යි විශ්වාස නොකළේය. සෝවියට් දේශපාලනයේ බිඳ වැටීමත් සමාජවාදී විප්ලවයට එතෙක් තිබුණු පිළිගැනීමද වාෂ්ප වූ දෙයක් බවට පත්වූයේය. සමාජවාදය කෙරෙහි ඇති කරගත් විශ්වාසය අත්නොහරින ලද සුළු පිරිසක් සිටිය හැකි වුවත් ඒ කිසිවෙක් අතීතයේදී මෙන් සමාජවාදී විප්ලවයක් සඳහා බැරෑරුම් උත්සාහයක යෙදෙනු ඇතැ”යි සිතිය නොහැකිය.
ජේවීපී සිහිනයට සිදුවූයේද ඊට සමාන දෙයකි. කැරැල්ලේ පරාජයත් සමග ඔවුන් අතර පැවති ප්රචණ්ඩ අරගලයක් මගින් බලය ලබාගැනීමේ විශ්වාසයද මුළුමනින් බිඳ වැටුණි. ඒ සමග ඔවුන් පැරණි මාවත අතහැර ප්රධාන ප්රවාහයට එකතු විය. ඔවුන් අතින් පෙර කැරැල්ලක් සිදුවී තිබෙන නිසා තවත් එවැන්නක් සිදුවිය හැකියැ”යි කල්පනා කිරීම තරම් මෝඩකමක් තවත් තිබිය නොහැකිය.
වෙනම දෙමළ රාජ්යයක් පිළිබඳ ව්යාපෘතිය එල්ටීටීඊය සමග නැවත නැගිටිය නොහැකි ලෙස මිහිදන්වී ඇතැ”යි කිව හැකිය. නැවත ශ්රී ලංකා දෙමළ සමාජයේ කිසිවෙක් ඊට නැවත පණ දෙන්නට කල්පනා කරනු ඇතැ”යි සිතිය නොහැකිය. එසේ සිතන ඉතා සුළු පිරිසක් හෝ සිටී නම් දෙමළ ජනතාව අතර ඔවුන්ට පිළිගැනීමක් ලැබෙනු ඇතැ”යිද සිතිය නොහැකිය. දෙමළ ජනතාවට විසඳාගැනීමට මූලික ප්රශ්නයක් තිබෙන අතර එය වෙනම රාජ්යයක් පිළිබඳ ප්රශ්නයක් නොව ගෞරවය පිළිබඳ ප්රශ්නයකි. එම ප්රශ්නයට සිංහල නායකයන් සාධාරණ විසඳුමක් ලබානොදෙතොත් ප්රචණ්ඩ ආකාරයකින් හෝ සාමකාමී සටන් ක්රියාමාර්ගයකින් වෙනම රාජ්යයක් දිනාගැනීම සඳහා අරගල කරන තැනකට ඔවුන් යොමු නොවනු ඇතත් ඉහත කී අහිංසක අරමුණ දිනාගැනීම සඳහා ඔවුන් නොකඩවා උත්සාහ දරනු ඇතැ”යි සිතිය හැකිය.
වර්ගවාදයේ හා ආගම්වාදයේ අවකාශය
වර්ගවාදය ආගම්වාදය වැනි ප්රාථමික ආවේගයන් ඇවිස්සවීම පහසු වුවත් එයද හැමදා කළ නොහැකි දෙයක් බව ශ්රී ලංකාවේ දේශපාලනඥයන් තවමත් තේරුම් ගෙන නැති ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. වර්ගවාදී හෝ ආගම්වාදී ආවේගයන් නිසා මහා විනාශයක් ඇතිවූ පසු සහනශීලී හැඟීම් සමාජය තුළ ඇතිවේ. වර්ගවාදයට හා ආගම්වාදයට තිබෙන පිළිගැනීමද ඒ සමග අවසන් වේ. ඒ සමග ආගම් හෝ වර්ග අතර කවදාවත් නැති ආකාරයේ සහනශීලී ආකල්ප ඇතිවේ. ඒ නිසා ඇතිවූ විනාශය තේරුම් ගන්නා සමාජය තුළ වාර්ගික හෝ ආගමික හේතු මත ආගමික හෝ වාර්ගික ජනතාව කුලප්පු කරන නායකයන් හා ව්යාපාර කෙරෙහි පිළිකුළක් හා බලවත් අප්රසාදයක් ඇතිවේ. ඒ සමග වර්ගවාදයට හා ආගම්වාදයන්ට තිබෙන අවකාශයද නැතිවී යන්නේය.
යුරෝපයේ ඇතිවූ තිස් අවුරුදු යුද්ධය (1618-1648) මීට දැක්විය හැකි නිදර්ශනයකි. එය යුරෝපයේ ඇතිවූ දීර්ඝතම යුද්ධය වන අතර ඒ කෙරෙහි බලපෑ විවිධ හේතු අතර ක්රිස්තියානි සභාවේ ඇතිව තිබූ දෙකඩවීමද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. තිස් අවුරුදු යුද්ධයෙන් මියගිය අයගේ සංඛ්යාව 80 ලක්ෂයක් ලෙස සැලකේ. ඒ යුද්ධයෙන් ඇතිවූ විනාශය වසංගත හා සාගතයද ඇති කළේය. යුරෝපයේ ඇතිවූ ඒ මහා විනාශය ආගමික අන්තවාදයන්ගේ ඇති විනාශකාරීභාවය හා නිරර්ථකභාවය යුරෝපයට කියා දුන්නේය. ඒ සමග ජනතාව අතර මහා ආගමික සහනයක් උදාවිය. ඒ සමග ආගමික අන්තවාදයන්ට යුරෝපා රටවල තිබුණු අවකාශයද මුළුමනින් නැතිවී ගියේය.
නිදහසත් සමග ඉන්දියාවේ ඇතිවූ හින්දු මුස්ලිම් කෝලාහලය ඇති කරන ලද ප්රතිඵලයද ඊට සමාන විය. ඒ නිසා ඉන්දියාව දෙකඩ වී මහා ජීවිත විනාශයක් සිදුවිය. ගාන්ධිගේ මරණයත් සමග තැන් තැන්වල දැල්වෙමින් තිබූ වර්ගවාදී ගිනි නිවී ගාන්ධිගේ චිතකයෙන් දැල්වෙන එකම ගින්න එහි ඉතිරි වූ එකම ගින්න බවට පත්විය. ඉන්දියාවේ ඇතිවූ ඒ මහා විනාශය ආගමික හා වාර්ගික ප්රශ්නවලදී සහනශීලීවීමේ අවශ්යතාව පිළිබඳ වැදගත් පාඩමක් කියාදෙමින් ඒ සඳහා අවශ්ය ශික්ෂණය ඉන්දියානු සමාජයට ලබා දුන්නේය.
මෙම ශික්ෂණය ලංකාවේද ක්රමානුකූලව ගොඩනැගෙමින් තිබෙන දෙයක් ලෙස සැලකිය යුතුය. ලංකාවේ ජනතාවද වර්ගභේදවාදී හා ආගම් භේදවාදී ගැටුම්වලින් හති වැටෙන තත්ත්වයකට පැමිණ ඇතැ”යි කිව හැකිය. පනස් ගණන්වල හෝ හැට ගණන්වල වර්ගවාදයට හා ආගම්වාදයට තිබුණු පිළිගැනීම අද සමාජයේ නොපවතී. දමිළයන් මුළුමනින් නොසලකා සිංහලයන්ට පමණක් සහන ලබා දුන් 56 සිංහල පමණක් ප්රතිපත්තිය නූතන සිංහල තරුණ පරපුරේ කනගාටුවට මිස ආස්වාදයට හේතුවී නැත. 83 ජූලි කලබල ගැනද ඔවුන් තුළ ඇත්තේ පිළිකුළක් මිස ආස්වාදයක් නොවේ. පනහේ දශකයේදී එල්.එච්. මෙත්තානන්ද, කේ.එම්.පී. රාජරත්න වැනි අයට ආගම හෝ ජාතිය දඩමීමා කොටගෙන සමාජය විශාල ලෙස කුලප්පු කිරීමට හැකියාව තිබුණි. එහෙත් අද ඔවුන්ගේ වර්තමාන අවතාරවලට එවැනි හැකියාවක් නැත. හේතුව ඔවුන් මෙත්තානන්දලාට, රාජරත්නලාට වඩා අදක්ෂ නිසා නොව වර්ගවාදයන්ට ආගම්වාදයන්ට සමාජයේ තිබුණු අවකාශය ක්රමයෙන් නැතිවීයමින් තිබෙන නිසාය. වර්ගවාදී හෝ ආගම්වාදී ආරාවුල් නිසා සිදුවූ විනාශය පිළිබඳව අවබෝධයක් මහජනයාට තිබෙන නිසාය. දෙමළ සමාජයේ පවතින්නේද ඊට සමාන තත්ත්වයකි.
උතුරු නැගෙනහිර සිදුවන දේවල් ගැන අවබෝධයක් දෙමළ හිතවතකු මට කීවේ පුනරුත්ථාපනය කළ එල්ටීටීඊ තරුණ තරුණයන්ට දෙමළ සමාජය විසින් කොන්කිරීම ඔවුන්ට මුහුණදෙන්නට සිදුවී තිබෙන ලොකුම ප්රශ්නයක් වී තිබෙන බවය. ඉන්ද පෙනෙන්නේ අවසානයේ එල්ටීටීඊ කැරැල්ල දෙමළ ජනතාවද අනුමත නොකරන බවය.
කොයි කවුරු මොන මොන හේතු මත වර්ගවාදී හා ආගම්වාදී ආරාවුල් මතුකර ගැනීමට උත්සාහ කළද ශ්රී ලංකාව ගමන් කරමින් තිබෙන්නේ සමගියේ හා සහනශීලීත්වයේ දිසාවකටය. වර්ගවාදී හා ආගම්වාදී ව්යාපාරවලට වෙනදා මෙන් මහජන පිළිගැනීමක් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ ඒ නිසාය. ගව ඝාතනයට එරෙහිව ගිනි තබාගෙන දිවි නසාගත් භික්ෂුව ඒ දේ මීට අවුරුදු 20කට හෝ 30කට පෙර කරන්නට සමත් වී නම් එය රටේ මහා ගින්නක් ඇති කරන සිද්ධියක් වන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ සිද්ධිය රටේ ජනතාව අතර බරපතළ බලපෑමක් ඇති නොකළේ සිංහල සමාජ අධ්යාත්මයේ ඇතිවෙමින් තිබෙන මහා වෙනස්කම් නිසාය.