මැතිවරණ කොමසාරිස්ට මල් මිටක්
මා කතා කරන්නට සැලසුම් කර තිබෙන්නේ වෙනත් මාතෘකාවක් ගැන වුවත් මැතිවරණ කොමසාරිස්වරයා පළාත් සභා ඡන්ද අපේක්ෂකයන් සඳහා වත්කම් බැරකම් නීතිය ක්රියාත්මකවීම විධිමත් කිරීම පිණිස ගෙන තිබෙන පියවර ගැන කොමසාරිස්වරයාට පළකරනු ලබන ස්තුතියකින් මෙම ලිපිය ආරම්භ කිරීම උචිතයැ”යි සිතමි.
මේ නීතිය මගේද මහත් උනන්දුවට හේතුවූ නීතියක් වන අතර මෙම නීතිය අකුරටම ක්රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් නිල බලයක් ඇතිව සිටින අය අයථා ලෙස වස්තුව උපයා ගැනීම ආශ්රයෙන් මතුවී තිබෙන ප්රශ්න බොහොමයක් විසඳාගත හැකිය යනු මගේ විශ්වාසයයි. වෙනත් බොහෝ අංශවල සේ ම මැතිවරණවලට තරග කරන දේශපාලකයන් සම්බන්ධයෙන්ද මේ නීතිය අකුරටම ක්රියාත්මක වන තත්ත්වයක් රටේ නොතිබුණි. එම විෂයෙහි අවුල්සහගත තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපා තිබුණේ වත්කම් බැරකම් ප්රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්යය කරන ප්රතිපත්තියක් මැතිවරණ කොමසාරිස්වරයා ක්රියාත්මක නොකිරීමය. මේ නීතිය ක්රියාත්මක වන හැම රටකම පාහේ අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්රකාශ භාරදීම අනිවාර්යය කර තිබේ. ඒ නිසා වත්කම් බැරකම් ප්රකාශ ලබාදීමෙන් තොරව මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි තත්ත්වයක් ඒ රටවල ඇතිවී තිබේ.
මා මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වාදී තිබෙන පරිදි මෙම අක්රමවත් තත්ත්වය ක්රමවත් කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමක් වන අතර කොමසාරිස්වරයාට ඒ සඳහා කළහැකි හොඳම දේ කොමසාරිස්වරයාට ලැබී තිබෙන අභිමත බලය ප්රයෝජනයට ගෙන වත්කම් බැරකම් ප්රකාශ නාමයෝජනා සමග භාරදීම අනිවාර්ය අවශ්යතාවක් ලෙස ප්රකාශයට පත්කිරීමය. මුලදී ඉන්දියාවේ සිදුවූයේද එයයි. දැන් ශ්රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා අනුගමනය කර තිබෙන්නේද ඊට සමාන ප්රතිපත්තියකි. පැවති අක්රමවත් තත්ත්වය නිවැරදි කිරීම සඳහා මැතිවරණ කොමසාරිම්වරයා ගෙන තිබෙන තීරණය අගය කළ යුතුය.
රජිව් ගාන්ධි
ලංකාව බිහිසුණු යුද්ධයකට තල්ලු කිරීමට හේතුවූ 83 කළු ජූලියේ 30 වැනි සංවත්සරය යෙදී තිබෙන්නේ ජූලි 24 වැනිදාටය. ඉන්පසු විවාදයට හේතුවී තිබෙන ඉන්දු-ලංකා ගිවිසුමේ 26 වැනි සංවත්සරය යෙදී තිබෙන්නේ ජූලි 29 වැනිදාටය. මේ සිද්ධීන් දෙකම ගැන කතා කිරීම ඉතා වැදගත් වුවත් මා සාකච්ඡාවට ලක්කිරීමට තෝරාගත්තේ ඉන්දු ලංකා ගිවිසුමේ නිර්මාතෘවරයා වශයෙන් සැලකිය හැකි රජිව් ගාන්ධිය.
රජිව් ගාන්ධි සිය මව ලංකාව සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ඉන්දීය විදේශ ප්රතිපත්තියේ යහපත් වෙනසක් ඇති කළ පුද්ගලයා ලෙස සැලකිය හැකිය. ඊට වඩා මෙම අර්බුදයේදී ඔහුට මුහුණ දෙන්නට සිදුවූ සංකීර්ණ ප්රශ්නවලදී ඔහු ක්රියාකර තිබෙන ආකාරය මා තුළ ඔහු පිළිබඳව කිසියම් ගෞරවයක් වී නම් ඔහු ගැන වැඩි වැඩියෙන් කරුණු සොයා බලන තරමට ඔහු කෙරෙහි වන ගෞරවය දෙගුණ තෙගුණ කිරීමට හේතුවූ බව කිව යුතුය. රජිව් ගාන්ධි පිළිබඳව මා දරන මතය රටේ තිබෙන ජනප්රිය මතයට වඩා මුළුමනින් වෙනස්ය.
ගිවිසුමට අත්සන් තැබීමට නියම කරගත් දිනට පෙර දින ලංකාවේ පැවති කලබලකාරී වාතාවරණය නිසා නියම කරගෙන තිබුණු ජූලි 29 වැනිදා වෙනුවට වෙනත් දිනයක් ඒ සඳහා යොදාගත යුතුයි කියන මතයක් ශ්රී ලංකාව පිළිබඳ විෂයේදී රජිව් සමග සමීපව ගනුදෙනු කළ සමහර උපදේශකයන් අතර තිබුණි. එහෙත් රජිව් ගාන්ධිගේ මතය වූයේ ලංකාවේ ප්රචණ්ඩ වාතාවරණයක් තිබුණද නියම කරගෙන තිබෙන දිනයේදීම ගිවිසුමට අත්සන් නොකළහොත් එය ජනාධිපති ජයවර්ධන වඩා අපහසු තත්ත්වයකට පත්කරන හේතුවක් ලෙස ක්රියා කළහැකි නිසා නියම කරගෙන තිබෙන දිනයේම තමා අනිවාර්යයෙන්ම ලංකාවට ගොස් ගිවිසුමට අත්සන් තැබිය යුතු බවය.
රජිව් ගාන්ධි ලංකාවට ආවේ කොළඹ නගරය ගිනිගෙන දැවෙමින් තිබුණු අවස්ථාවකදීය. රජිව් ගාන්ධි ලංකාවට පැමිණි පසු ගිවිසුම අත්සන් කිරීමට පෙර රටේ සිංහල ප්රදේශවල පැන නැගී තිබෙන කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා උතුරු නැගෙනහිර ස්ථාන ගතකොට තිබෙන ආරක්ෂක හමුදා දකුණට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියානු සාම සාධක හමුදාවක් ගෙන්වා යාපනේ හා ත්රිකුණාමලයේ ස්ථාන ගතකරන ලෙස ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජිව් ගාන්ධිගෙන් ඉල්ලා සිටි අතර ඊට අතිරේකව උතුරු නැගෙනහිර ප්රදේශවලින් ආරක්ෂක හමුදා සිංහල ප්රදේශවලට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවෙන් ගුවන්යානා සපයා දෙන ලෙස ඉල්ලා සිටියේය. රජිව් ගාන්ධි තමාගේ ආරක්ෂක භටයන් හා වෙඩි නොවදින රථය රැගෙන පැමිණ තිබූ AN 32 වර්ගයේ ගුවන්යානා දෙක උතුරේ ආරක්ෂක හමුදා දකුණට ගෙන්වා ගැනීමේ කාර්යය වහාම ඇරඹීම සඳහා පාවිච්චි කරන්නට ලබා දුන්නේය.
ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ශ්රී ලංකාවට ගෙන්වන ඉන්දියානු හමුදාවල සුපිරි ආඥාපතියා ලෙස ක්රියාකිරීමේ බලය තමන් වෙත පවරා දෙන ලෙස හා ඒ පිළිබඳ ප්රසිද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති ජයවර්ධන රජිව් ගාන්ධිගෙන් ඉල්ලා සිටියේය. රජිව් ගාන්ධි පැකිළීමකින් තොරව ඊටද එකඟ විය.
ඊට පසුදින ජනාධිපති ජයවර්ධන සමග පෙරවරුවේ පවත්වන ලද සාකච්ඡාවලින් පසුව පැවැත්වීමට සැලසුම් කර තිබුණු හමුදා උත්තමාචාරයේදී හමුදා සේනාංක පරීක්ෂා කිරීමට ඔවුන් අතරට නොයා එය වේදිකාවේ සිට පිළිගතයුතු බවට ඔහුගේ ආරක්ෂක උපදේශකයන් ඔහුට උපදෙස් දෙනු ලැබීය. ඔවුන් ඒ සඳහා නගන ලද තර්කය වූයේ උත්තමාචාරයට සහභාගි වන හමුදා සෙබළුන්ගේ තුවක්කු උණ්ඩවලින් තොරදැ”යි හරියටම නොදන්නා නිසා හා උත්තමාචාරය සූදානම් කර තිබූ ස්ථානය අවට උස් ගොඩනැගිලි තිබුණු නිසා පහසුවෙන් රජිව් ගාන්ධි තුවක්කුවකට ඉලක්ක කරගැනීමට හැකියාව තිබෙන නිසා උත්තමාචාරයේදී හමුදා සේනාංක පරීක්ෂා කරන තැනකට යෑම සුදුසු නොවන බවය. තමන් බියගුල්ලකු ලෙස හැසිරෙන්නට සූදානම් නැති බව ප්රකාශ කරමින් ඔවුන්ගේ උපදෙස් නොසලකා රජිව් ගාන්ධි උත්තමාචාරයේදී හමුදා සේනාංක පරීක්ෂාවට ගියේය.
එහි ඊළඟ ප්රතිඵලය වූයේ සියලු හමුදා නියෝජනය කරන සමූහ පෙළපාළිය පිරික්සමින් සිටියදී නාවික හමුදාවේ සෙබළකු අත තිබූ රයිෆලයේ බඳෙන් ඔහු දරුණු පහරකෑමකට ලක්වීමය. ඩික්සිත් කියා තිබෙන ආකාරයට එම සෙබළාගේ ප්රහාරයෙන් රජිව් ගාන්ධි දිවි ගලවාගෙන ඇත්තේ ඔහුට තිබී ඇති පැති දෘෂ්ටිය හා සුපරීක්ෂාකාරීත්වය නිසාය. ඒ නිසා එල්ල කෙරුණු ප්රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ඔහු සමත් විය.
එම පහරදීමෙන් ඔහුගේ උරහිස පිටුපස මස්පිඬුව මුළුමනින් නිල්පැහැ ගැන්වී ඇතත් ඒ පහරදීමට ලක්වීමෙන් පසුවවත් කලබල වී පිටවී යෑම සඳහා සකස් කර තිබූ වැඩසටහන වෙනස් කළේ නැත. ත්රාසය හා භීතිය රජ කළ අවස්ථාවකදී ඔහු වේදනාව ඉවසා දරා ගනිමින් සිය රියට ගොඩවී රිය පෙරහැරේ සාමාන්ය ලීලාවෙන් ගමන් කළේය.
එවැනි බිහිසුණු හා ත්රාසජනක මහා සිද්ධියකින් පසුත් කලබල නොවී උපේක්ෂාසහගතව සන්සුන් තත්ත්වයකින් ක්රියාකිරීමේ හැකියාව තිබිය හැක්කේ ශ්රේෂ්ඨ පුද්ගලයකුට පමණය.
එම පහරදීම තනි සෙබළකුගේ ක්රියාවක්ද නැතිනම් කුමන්ත්රණයක ප්රතිඵලයක්ද යන ප්රශ්නය බලවත් ලෙස මතුවී තිබියදීත් රජිව් ගාන්ධි ඒ ඇතිවූ අවාසනාවන්ත සිද්ධිය ලංකාව කෙරෙහි විශේෂ ක්රෝධයක් ඇතිකර ගැනීමට හෝ ලංකාව දෝෂදර්ශනයට ලක්කිරීමට හේතුවක් කරගත්තේ නැත.
රජිව් ගාන්ධි ඝාතනය
ඉන්දු-ලංකා ගිවිසුම සකස් කිරීමේදී ප්රධාන අරමුණු හතරක් සැලකිල්ලට ගන්නා ලෙස තමන්ට උපදෙස් දුන් බව ඩික්සිත් කියයි. ඒවා නම් පළමුව ශ්රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා ඒකීයත්වය සුරක්ෂිත විය යුතුය. දෙවනුව ශ්රී ලංකාවේ ඒකීයත්වයට හෝ භෞමික අඛණ්ඩතාවට හානියක් නොවන අයුරින් දමිළයන්ගේ සියලු සාධාරණ අභිලාෂයන් සපුරාලිය යුතුය. තුන්වැනිව ශ්රී ලංකාවේ බහුවාර්ගික, බහු ආගමික සමාජ ලක්ෂණය ගිවිසුම මගින් සහතික කරනු ලැබිය යුතුය. එහිදී ශ්රී ලංකාවේ සියලු පුරවැසියන්ට භාෂාව, ආගම හෝ වර්ගය බාධාවක් නොවන පරිදි පරිපාලනයේදී හා දේශපාලනයේදී සාධාරණත්වය ඉටුවන බවට සහතික විය යුතුය. සිව්වෙනුව ඉන්දීය රජය මේ අරමුණු සහතික කිරීමේදීත්, ත්රස්තවාදය පිටුදැකීමේදීත් ශ්රී ලංකා රජයට සහයෝගය දෙන බැවින් ඉන්දියාවේ උපක්රමික හා ජාතික ආරක්ෂක අරමුණු ඉටුකර ගැනීමේදී ශ්රී ලංකා රජය ඉන්දීය රජයට සහයෝගය ලබාදිය යුතුය.
ප්රභාකරන් හා ඔහුගේ එල්ටීටීඊය ප්රචණ්ඩ වැඩපිළිවෙළින් ඉවත් කොට ප්රධාන ධාරාවට ගැනීම සඳහා රජිව් ගාන්ධි තමන්ට කළහැකි හැම දෙයක්ම කළේය. ඇති කරගන්නට යන ගිවිසුම පිළිබඳව ප්රභාකරන් දිල්ලියේදී රජිව් ගාන්ධි සමග කරන ලද සාකච්ඡාවකදී තමන්ගේ හමුදා නඩත්තු කළේ ඒ ප්රදේශවල මහජනයාගෙන් එකතු කරගන්නා ලද බදු මුදල්වලින් නිසා ගිවිසුම ඇතිකර ගැනීමෙන් පසු ඔවුන් පරිපාලනයට හා පොලිස් හමුදාවට අන්තර්ග්රහණය කරන තෙක් ඔවුන් නඩත්තු කිරීම පිළිබඳ ප්රශ්නයට මුහුණ දෙන්නට සිදුවන බවත් ඔවුන් නව පරිපාලනයට හා පොලිසියට අන්තර්ග්රහණය කරගැනීම සඳහා මාස 6 සිට 8 දක්වා අතර කාලයක් ගතවෙතොත් කෝටි 3 සිට කෝටි 5 දක්වා අතර මුදලක් වැයවන බව කියා සිටිමින් එම වියදම ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීමද රජිව් ගාන්ධි ඉටුකර දුන්නේය. එසේම ඇති කරන්නට යන අවි භාරදීම පිළිබඳ ප්රශ්නයේදීද ප්රභාකරන් හා ඔහුගේ ජේයෂ්ඨ සගයන්ට ආරක්ෂාවට අවශ්ය අවි ළඟ තබාගැනීමටද ඉඩ දුන්නේය. අත්අඩංගුවට ගෙන සිටි සියලුදෙනා නිදහස් කිරීමටද සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත අතුරු පාලක සභාවේ තනතුරු 7ක් එල්ටීටීඊයට ලබාදීමට සේ ම එහි ප්රධාන පරිපාලකයා තෝරාගැනීමේ බලයද ප්රභාකරන්ට ලබාදීමටද එකඟ විය.
ඒ සියල්ල එසේ තිබියදීත් ප්රභාකරන් හා ඔහුගේ එල්ටීටීඊය මුරණ්ඩු පිළිවෙතක පිහිටා ක්රියාකරන්නට වූ විට ප්රභාකරන් හා එල්ටීටීඊය මර්දනය කෙට හෝ ගිවිසුමේ අරමුණ සපුරාගත යුතුයි කියන ස්ථාවරයට රජිව් ගාන්ධි තල්ලු විය. එල්ටීටීඊය විසින් 1987 ඔක්තෝබර් 6 වැනිදා ඉන්දියානු සෙබළුන් හයදෙනකු මරා දැමීමෙන් පසු එල්ටීටීඊය මර්දනය කිරීමේ අරමුණින් ඉන්දියානු හමුදා “ඔපරේෂන් පවන්” නමින් හමුදා මෙහෙයුමක් ඇරඹීය. එල්ටීටීඊය අක්රිය කිරීම සඳහා ඕනෑම පරිණාමයකින් මෙහෙයුම් දියත් කරන්නට රජිව් ගාන්ධි අනුමැතිය දී තිබුණි.
ප්රභාකරන් ඇතුළු එල්ටීටීඊ නායකයන් සියලුදෙනා පණපිටින් හෝ පණ නැතිව අල්ලාගැනීමේ අරමුණින්ද විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදි. ඒ වනවිට එල්ටීටීඊ මූලස්ථානය තිබුණේ යාපනේ විශ්වවිද්යාලයේය. රාත්රී කාලයේ ගුවනේ සිට පැරෂුට්වලින් මූලස්ථානයට කඩා වදින කොමාන්ඩෝ ප්රහාරයක් මගින් ඔවුන් පණ පිටින් හෝ පණනැතිව අල්ලාගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වී තිබුණි. කෙසේ හෝ එල්ටීටීඊය එම මෙහෙයුම ගැන තොරතුරු දැනගත්තේය. ප්රභාකරන් හා එහි සිටි නායකයන් සියලුදෙනා ඊට පැය දෙකකට පමණ පෙර එම ස්ථානයෙන් ඉවත්ව තිබුණි. රාත්රියේ අහසේ සිට පැරෂුට්වලින් බසින කමන්ඩෝ භටයන් සියලුදෙනා මරා දැමීමටද ඔවුහු සමත් වූහ. මෙය ඉන්දියානු හමුදා විස්මයට හා ලැජ්ජාවට පත් කළ අවස්ථාවක් විය. ඒ ගැන ඩික්සිත් කියන්නේ එල්ටීටීඊයට එරෙහිව සටන් කරන තැනකට යන්නට පෙර ඉන්දියානු හමුදා එල්ටීටීඊය සමග පණිවුඩ හුවමාරු කරගැනීම යොදාගන්නා ලද සංඛ්යාත වහා වෙනස් නොකිරීම නිසා සමහරවිට මෙම විශේෂ මෙහෙයුම පිළිබඳව තොරතුරු ඔවුන්ට දැනගන්නට ලැබෙන්නට ඇති බවය.
මෙවැනි පසුබෑමක් තිබියදීත් යාපනය අර්ධද්වීපයේ එල්ටීටීඊ ක්රියාකාරීත්වය අඩපණ කොට ඔවුන් වන්නි කැලේට සීමාවූ තැනකට ගන්නට ඉන්දියානු හමුදා සමත් වුවත් තමන් ඇතුළු එල්ටීටීඊ නායකයන් සියලුදෙනා ඉලක්ක කරගනිමින් ඉන්දියානු හමුදා ක්රියාවට නගන ලද පැරෂුට් කොමාන්ඩෝ මෙහෙයුම ප්රභාකරන් තුළ රජිව් ගාන්ධි පිළිබඳව දරුණු වෛරයක් ඇති කිරීමට හේතුවූවා විය යුතුය. අවසානයේ ප්රභාකරන් මරාගෙන මැරෙන හමුදාවේ කළු කොටි සෙබළියක් යොදා ගනිමින් රජිව් ගාන්ධිගේ ජීවිතය ඉන්දියානු භූමියේදීම නැති කළේය. එය ප්රභාකරන්ගේ දැක්මේ පටුකම සේ ම ඔහු තුළ වූ උද්දච්චභාවයේ තරම පෙන්නුම් කළ වැදගත් අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය. තමන්ට අවශ්ය නම් ලෝකයේ කවර තැනක කවර තරාතිරමක පුද්ගලයකු වුවත් මරා දැමීමේ හැකියාව තිබෙන බව ඔහු විශ්වාස කළේය. ඒ ගැන ඔහු තුළ අතිවිශාල උද්දාමයක්ද තිබුණු බව පෙනේ. එහෙත් ප්රභාකරන්ට ළඟ මිස දුර නොපෙනුණේය. එම ඝාතනයන් සමග ඔහුගේ අවසානයේ ආරම්භය ඇතිවීයැ”යි කිව හැකිය.
මා “කඳුළු සලන පාරාදීසිය” නමින් පළකර තිබෙන ගැටුම් පරිණාමයට අදාළ ඡායාරූප හා සටහන් ඇතුළත් පොතට රජිව් ගාන්ධිගේ ඝාතනය ගැන වන සටහනක්ද ඇතුළත්ය. එහි සඳහන් මාගේ එක් නිරීක්ෂණයක් වනුයේ රජිව් ගාන්ධි අවසානයේ මියගියේ දමිළ තරුණියක් විසින් එල්ල කරන ලද ප්රහාරයකින් වුවත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී නාවික හමුදා සිංහල තරුණයා එල්ල කළ ප්රහාරය සාර්ථක වී නම් ඔහු ඊට පෙර මැරෙන්නට ඉඩ තිබුණේ සිංහල තරුණයකු අතින් වන බවය.
මේ පොත පළකොට කිසියම් කලකට පසුව එම පොතේ ඉංග්රීසි සංස්කරණයේ පිටපත් තුනක් අත ඇතිව ඒවාට මගේ අත්සන් ලබාගැනීම සඳහා මනා දේහදාරී පුද්ගලයකු මා වෙත පැමිණියේය. පොත් තුනක් ඇයිද යන කුතුහලය මා තුළ ඇතිවී ඔහු කවුදැ”යි මම ඔහුගෙන් ප්රශ්න කළෙමි. ඔහු ඔහුගේ නාම කාඩ්පත මට දෙමින් කියා සිටියේ තමන් රජිව් ගාන්ධි ඝාතන පරීක්ෂණය භාර ප්රධාන පොලිස් නිලධාරියා බවය. පොත ගැන උනන්දුවක් ඇතිවීමට බලපෑ හේතුව කුමක්දැ”යි විමසූ විට ඡායාරූප පෙළගස්වා තිබෙන ආකාරය හා ඒවාට යොදා තිබෙන සටහන් තමාගේ සිත්ගත් බවත් ඒ සියල්ලටත් වඩා රජිව් ගාන්ධි ඝාතනය පිළිබඳව එහි එන සටහන තමාගේ සිත්ගත් බවත් කියා සිටියේය. පොත් තුනක් ඇයිදැ”යි මම අසා සිටියෙමි. “එකක් මට, එකක් සෝනියා ගාන්ධිට, අනෙක මා වැඩ කරන ආයතනයේ පුස්තකාලයටයැ”යි ඔහු කියා සිටියේය.
රටේ අදූරදර්ශීභාවය
මා හිතන අන්දමට රජිව් ගාන්ධි පිළිබඳව සිංහල ජනයා අතර පවතින ජනප්රිය මතය වැරදිය. ඔහු මේ රට අල්ලා ගැනීමට මාන බැලූ සටකපට හා බිහිසුණු පුද්ගලයකු ලෙස සැලකීම අසාධාරණය. ඔහු සිය මෑණියන් සමග ගත්විට මෑණියන්ගේ වැරදි විදේශ ප්රතිපත්තිය නිවැරදි කළ ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් සාධාරණව ක්රියාකරන්නට උත්සාහ කළ ඍජු ප්රතිපත්ති සහිත ජන නායකයෙකි. දෙමළ ජනයා මුල් කොටගෙන අපේ රටේ ඇතිව තිබූ ජනවාර්ගික ප්රශ්නය ඉන්දියාව කෙරෙහිද බලපාන සංවේදී ප්රශ්නයක් බවට පත්ව තිබුණේය. ඒ සමග අපේ රටේ ක්රියාත්මක වන සමහර දේවල් විශේෂයෙන් ඇමරිකන් හඬ ගුවන්විදුලිය හා ඊශ්රායෙල් කුලී හමුදාවල ක්රියාකාරීත්වය ඉන්දියාවේ ආරක්ෂාව කෙරෙහි බලපාන ප්රශ්නයක් ලෙස සලකන තත්ත්වයක් ඉන්දියාවේ ඇතිවී තිබුණි. රජිව් ගාන්ධිගේ මැදිහත්කාර ප්රවේශය තුළ දෙරටට බලපාන මෙම ප්රශ්න සාධාරණව විසඳාගැනීමේ අවංක වුවමනාවක් තිබුණේයැ”යි කිව හැකිය.
ඉන්දියානු හමුදා ඉල්ලා සිටියේ අපය. ගිවිසුම ක්රියාත්මක කිරීමේ වගකීම ඉන්දියාවට භාරදෙන ලද්දේද අපය. ඊටද රජිව් ගාන්ධි එකඟ වූයේ ඊට සිය ආරක්ෂක ප්රධානීන්ගේ නොකැමැත්ත පළකර තිබියදීය. අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් මෙහි සිටි ඉන්දියානු හමුදා නඩත්තු කිරීමට අවශ්ය වියදම් දරන ලද්දේද අප විසින් නොව ඉන්දියාව විසිනි. ඉන්දියානු හමුදා නොවන්නට රජයට කැරලි දෙකකට මුහුණ දෙන්නට සිදුවී ඒ කැරලි දෙකෙන්ම රජය පරාජය වන්නටද ඉඩ තිබුණි. ඉන්දියානු හමුදා උතුරු නැගෙනහිර ප්රදේශවල සිටියදී ප්රධාන මැතිවරණ තුනක් (පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය) පවත්වන ලදි. එම මැතිවරණ කාලවලදී දකුණේ සිදුවූ බිහිසුණු කඩාකප්පල්කාරී සිද්ධීන්ට සමාන සිද්ධීන් උතුරු නැගෙනහිර සිදු නොවීය. එහි බිහිසුණු සිද්ධීන් සිදුවූයේ ඉන්දියානු හමුදා පැමිණීමෙන් පසු එල්ටීටීඊය ප්රසිද්ධ කරළියේ සිටි සුළු කාලයේදීය. ඔවුන් වන්නියට පලවා හැරීමෙන් පසු විශාල සිද්ධීන් සිදු නොවීය. මේ මැතිවරණ තුනේදීම දකුණේ ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය තිබුණේ පහළ මට්ටමකය. එහෙත් දකුණට සාපේක්ෂව උතුරු නැගෙනහිර ප්රදේශවල ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය තිබුණේ ඉහළ මට්ටමකය.
ජවිපෙ කැරැල්ල ඉන්දු-ලංකා ගිවිසුම නිසා ඇති වූවක් නොවීය. ඔවුන් සිටියේ සන්නද්ධ නැගිටීමකට සූදානම්වෙමිනි. ඉන්දු-ලංකා ගිවිසුම ඔවුන් තමන්ගේ කැරැල්ල කරළියට ගැනීමට අවස්ථාවක් කරගත්තේය. භික්ෂූන්වහන්සේලා කිසියම් විශාල පිරිසක් මියගියේද ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව සටන් කළ නිසා නොව ජවිපෙ කැරැල්ලේ ක්රියාකාරී අනුගාමිකයන් ලෙස ක්රියාකිරීම නිසාය.
රණසිංහ ප්රේමදාස ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව කල්පනා කළේ ජවිපෙ කැරැල්ල පරාජය කිරීමට නම් ඔවුන් අත තිබිය යුතු ඉන්දියානු විරෝධී ධජය තමන් අතට ගතයුතු බවය. එහෙත් එය හරි කල්පනාවක් නොවීය. වැරදි හා මෝඩ කල්පනාවක් ලෙස සැලකිය හැකිය. ඒ සඳහා ඔහු එල්ටීටීඊයට අවි ආයුධ හා මුදල් දුන්නා පමණක් නොව ඔවුන්ට එරෙහිව ඉන්දියානු හමුදා කරන සියලු මෙහෙයුම් අත්හිටුවා හැකි ඉක්මනින් ඉන්දියානු හමුදාව ලංකාවෙන් ඉවත් කරගන්නා ලෙසද ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය. රජිව් ගාන්ධි ඊට එකඟවෙමින් කඩින් කඩ නොව වහාම ඉන්දියානු හමුදාව ඉන්දියාවට ගෙන්වා ගත්තේ නම් උතුරු නැගෙනහිර ප්රදේශවල ආරක්ෂාව සඳහාද ආරක්ෂක හමුදාවන්ගෙන් කොටසක් යොදාගන්නට සිදුවන තත්ත්වයක් යටතේ ජවිපෙ කැරැල්ල ජයගැනීමට ඉඩ තිබුණා සේ ම, උතුරු නැගෙනහිර තත්ත්වයද පාලනය කිරීමට දුෂ්කර අවුල් ජාලාවක් බවට පත්වන්නට ඉඩ තිබුණි. ප්රේමදාස ජනාධිපතිවරයා එවැනි මෝඩ ප්රතිපත්තියක් අනුගමනය නොකොට කැරැල්ල පරාජය කිරීමේ වගකීම ආරක්ෂක හමුදාවට භාරදී එල්ටීටීඊය පරාජය කරන්නට ඉන්දියානු හමුදාවන්ට ඉඩහැරියේ නම් එක කැරැල්ලක් වෙනුවට මේ කැරලි දෙකම පරාජය කිරීමට ශ්රී ලංකාව සමත්වන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ ජේවීපී කැරැල්ල පමණක් පරාජය කරන්නට හැකිවී එල්ටීටීඊ කැරැල්ල පහසුවෙන් ජයගත නොහැකි විනාශකාරී මහා කැරැල්ලක් බවට පත්වීමය.
රජිව් ගාන්ධිට ආවේණික මොනතරම් අඩුපාඩුකම් හා වැරදි තිබෙනවා විය හැකි වුවද ශ්රී ලංකාව අතිවිශාල අර්බුදයකට තල්ලු වී තිබුණු අවස්ථාවකදී ඒ තත්ත්වයෙන් ශ්රී ලංකාව විශාල ප්රමාණයකට මුදාගත් ඒ වෙනුවෙන් අවසානයේ සිය ජීවිතයද පූජා කළ වීරයකුගේ තත්ත්වයෙන් ශ්රී ලාංකික අපි ඔහු සැලකිය යුතුය යන්න මගේ මතයයි. අපි හොඳ නරක ගැන හා යුක්තිය අයුක්තිය ගැන සංවේදී ජාතියක් වෙමු නම් ඔහුට නින්දා අපහාස කරනවා වෙනුවට අප කළයුත්තේ ඔහු එම දුෂ්කර මොහොතේදී ශ්රී ලංකාව වෙනුවෙන් කර තිබෙන විශාල සේවාව හා කැපවීම වෙනුවෙන් රටේ ලොකු පිළිරුවක් ඉදිකොට ඔහුට උපහාර දැක්වීමය.