නව ව්‍යවස්ථාව ගැන

April 28, 2013
Publication:
Continuing his response to the draft Nineteenth Amendment, Ivan sets out how a new constitution should be made: first agree the principles with the public, as South Africa and India did, then draft. He argues it must define a Sri Lankan nation of equal peoples and outlaw caste discrimination; return to a reformed parliamentary system with a mixed electoral system, a Senate and an Indian-style election commission; devolve power to village and district councils; bind governments to national policy frameworks, above all a foreign policy that respects India; and make the state secular.

ව්‍යවස්ථා සම්බන්ධයේදී වර්තමානයේ පිළිගත් සම්ප්‍රදායයන් අනුව ව්‍යවස්ථා සම්පාදනයේ පළමු අදියරය ලෙස සැලකෙනුයේ ව්‍යවස්ථා මූලධර්ම හඳුනා ගැනීමය. එම ව්‍යවස්ථා මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන හා සංවිධාන ක්‍රම හඳුනා ගනිමින් ඒවා කෙටුම්පත් කරන තැනකට යන්නේ එහි දෙවැනි අදියරේදීය. එය ඉන්දියාව අනුගමනය කළ ක්‍රමය වනවා සේ ම දකුණු අප්‍රිකාව අනුගමනය කරන ලද ක්‍රමයද වේ. නව රාජ්‍යයක් ගොඩනැගීමේදී හා ඊට අදාළ ආණ්ඩුකරණ ක්‍රියාවලියේදී විසඳා ගත යුතු ප්‍රශ්න හා ඒ සඳහා යොදා ගත යුතු ප්‍රතිපත්ති හඳුනාගැනීම මූලධර්ම හඳුනාගැනීම වශයෙන් සැලකිය හැකිය. දකුණු අප්‍රිකාවේදී මුලින් ඇති කරගන්නා ලද්දේ තාවකාලික භාරකාර ආණ්ඩුවකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමේදී තිබිය යුතු මූලධර්ම හඳුනාගැනීම හා ඒ සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීම සිදුවූයේ එම භාරකාර ආණ්ඩුව යටතේය. මූලධර්ම හඳුනාගැනීමේ ක්‍රියාවලියටද මහජනයාද සම්බන්ධ කරගන්නා ලදි. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා තාවකාලික සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරගනිමින් ව්‍යවස්ථාදායකය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කර ගනිමින් ඇති කරගත් මූලධර්මවලට අනුකූල නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරගනිමින් එය සම්මත කරගන්නා ලදි. දෙවැනි අදියරේ ක්‍රියාවලියටද මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නා ලදි.

ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අධිකරණ විෂය භාර කාරක සභාව අධිකරණයට අදාළ ප්‍රධාන මූලධර්ම හඳුනාගෙන තිබුණේ මේ ආකාරයටය. එනම් කිසිවකුගේ බලපෑමට යටත් නොවී නීතිය හා යුක්තිය අකුරටම ක්‍රියාත්මක කරන ස්වාධීන අධිකරණ ක්‍රමයක් සඳහා ඇති කරගත යුතු ප්‍රතිපත්ති හා සංවිධාන ක්‍රම මොනවාද යන්නයි. එම කාරක සභා සාකච්ඡාවලදී ඇමරිකාවේ හා බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රම සාකච්ඡාවට ලක් කරන ලදි. එහිදී ඇමරිකන් ක්‍රමයේ තිබෙන ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට අධිකරණයට ලබාදී තිබෙන බලය හා විධායකයේ කිසියම් ක්‍රියාවක් ව්‍යවස්ථාවට පටහැනි නම් එම අවලංගු කිරීමට අධිකරණයට ලබාදී තිබෙන බලය තමන්ද ආදර්ශයට ගතයුතු මූලධර්මයක් ලෙස හඳුනා ගත්තේය. එහෙත් ඇමරිකාවේ ක්‍රියාත්මක වන උසස් අධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කරන ක්‍රමය ආදර්ශයට ගතයුතු හොඳ ක්‍රමයක් නොවන බව කාරක සභාවේ පොදු පිළිගැනීම විය. බ්‍රිතාන්‍ය අධිකරණය පවත්වාගෙන යන ස්වාධීනත්වය ප්‍රශංසාවට හේතු වුවද උසාවි සමාලෝචනයට ලක්කිරීමකින් තොරව අණපනත් නීතිගත කිරීමට පාර්ලිමේන්තුවට ලබාදී තිබුණු ඒකාධිකාරී බලය කාරක සභාවේ විවේචනයට හේතුවිය. එහෙත් අධිකරණයට විනිශ්චයකාරවරුන් පත්කිරීම සඳහා යොදා ගැනෙන බ්‍රිතාන්‍ය ක්‍රමය ඔවුන්ගේ පිළිගැනීමට හේතුවිය. අවසානයේ ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අධිකරණ විෂය භාරව ක්‍රියා කළ කාරක සභාව විවිධ ආණ්ඩුක්‍රම සම්ප්‍රදායයන් තුළ තිබෙන ශක්තිමත් අංග උකහා ගනිමින් ඉන්දියාවටම ආවේණික අධිකරණ සම්ප්‍රදායන් හා අධිකරණ සංවිධාන ක්‍රමයක් ඇති කරගත්තේය. එම කාරක සභාව මේ විෂයේදී ඒ සඳහා කෙරෙන සංවාදයට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයද සහභාගි කරවා ගත්තේය. බාහිර ඇඟිලි ගැසීම්වලට යට නොවී නීතිය හා යුක්තිය අකුරටම ක්‍රියාත්මක කරන ස්වාධීන අධිකරණ සම්ප්‍රදායයක් හා සංවිධාන ක්‍රමයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය එකට එකතු වී සාකච්ඡා කොට ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන මෙන් කාරක සභාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. අවසානයේ එය විසින් ගොඩනගන ලද අධිකරණ ක්‍රමය ව්‍යවස්ථාවෙන් හඳුන්වාදී තිබෙන්නේ ඉන්දියානු සමාජ විප්ලවයේ ආරක්ෂකයා හා භාරකාරයා ලෙසය.

විධිමත් ප්‍රවේශයක අවශ්‍යතාව

අපිදු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ විෂය දෙස බැලිය යුත්තේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව ඒ දෙස බලන ලද පුළුල් හා ගැඹුරු ආකාරයටය. අපි මේ විෂයේදී අවස්ථා තුනකදීම වැඩ වරද්දා ගත් ජාතියක් බව අමතක නොකළ යුතුය. අපි පසුගිය අවුරුදු 65 තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් ඇතිකර ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙන බවද අමතක නොකළ යුතුය. ඒ ව්‍යවස්ථාවලට පැවතිය හැකිවූයේ කෙටි කාලයක් පමණය. ඒ වැරැද්ද අපි ඉදිරියට ගෙනයායුතු නැත. එය දඩිබිඩියේ හදන දෙයක් නොවිය යුතුය. ප්‍රභූ සුළු පිරිසක් වායුසමීකරණය කළ කාමරයක හදන දෙයක්ද නොවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය තරම් කාලය ලබාගත යුතුය. ඉන්දියාව හා දකුණු අප්‍රිකාවද ඒ සඳහා කිසියම් දීර්ඝ කාලයක් ගත්තේය. බහුතරයේ බලය යොදා කරන දෙයක් වෙනුවට පොදු එකඟතාවකින් කරන දෙයක් විය යුතුය. ඇතිකර ගන්නා පොදු එකඟතාවට බලහත්කාරයෙන් හා රැවටීමෙන් ඇතිකරගන්නා පොදු එකඟතාවක්ද නොවිය යුතුය. එය අන්‍යනෝ‍ය විශ්වාසයෙන් හා අවබෝධයෙන් ඇතිකර ගන්නා පොදු එකඟතාවක් විය යුතුය. එය බෙදී සිටින ජාතිය සමඟියෙන් එකට එකතු කිරීමට හේතුවන ක්‍රියාවලියක් විය යුතුය. එය ජනතාවගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ක්‍රියාවලියක් විය යුතුය.

ශ්‍රී ලංකාව නමැති ජාතික රාජ්‍යයේ ජාතිය කුමක්ද? එය සමන්විතවන්නේ කාගෙන්ද යන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී ආරම්භයේදීම විසඳාගත යුතුව තිබෙන සංකීර්ණ ප්‍රශ්නයකි. ශ්‍රී ලාංකික ජාතිය සමන්විත වන්නේ ශ්‍රී ලංකාව මව්බිම ලෙස සලකා මෙහි ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, වැදි, බෝරා, සින්ධි යනාදී ලොකු කුඩා ජනවර්ගවලට අයත් හා බුද්ධාගම හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම හා වෙනත් ආගම් අදහන ජනයාගෙන් නම් ව්‍යවස්ථාවෙන්ම ඒ ගැන කිසියම් අර්ථකතනයක් කරන්නට සිදුවනු ඇත්තේය. එම අර්ථකතනය තුළ ශ්‍රී ලාංකික ජාතියට අයත් ඒ සියලුදෙනාට තිබෙන පිළිගැනීම සමාන බව ඒ සියලුදෙනා සමාන අයිතිවාසිකම් ඇති අය බව සහතික කරගන්නටද සිදුවන්නේය. එම ජාතියේ සමගිය රටේ පැවැත්මට හා ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ නම් එම සමගියට හානි ඇති කරන ක්‍රියා වැළකීම සඳහා විශේෂ විධිවිධාන ඇති කරන්නටද සිදුවන්නේය.

කුලය පිළිබඳ ප්‍රශ්නයද එහිදී විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. කුල ක්‍රමයක් හෝ කුල භේදයක් අවශ්‍ය නොවේ නම් එයට තිබෙන පිළිගැනීමද ව්‍යවස්ථාමය වශයෙන්ම අවසන් කළ හැකිය. කුලය හෝ කුලභේදය ප්‍රවර්ධනය කිරීම නීති විරෝධී දෙයක් ලෙස ප්‍රකාශ කළ හැකිය.

පුද්ගලයන්ගේද පුද්ගල කණ්ඩායම්වලද අයිතිවාසිකම් සඳහා නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ හැකිය. මුල් අවස්ථාවේ මූලික අයිතිවාසිකම් නඩු විමසීමේ බලය මහාධිකරණයට ලබාදීම මගින් මූලික අයිතිවාසිකම් නඩු තීන්දු සඳහා අභියාචනාවන්ට ඉඩක් නැතිකමේ ප්‍රශ්නය විසඳාලිය හැකිය.

ආණ්ඩු ක්‍රමයක් තෝරා ගැනීම

පරමාධිපත්‍යය බලය තිබිය යුත්තේ මහජනයාට නම් එය මහජන හිත සුව පිණිස පොදු සුබ සිද්ධිය සඳහා ප්‍රශස්ත ලෙස යොදාගත හැකි ආණ්ඩුක්‍රමය කුමක්ද යන්න සලකා බැලිය යුතුය. තිබෙන ජනාධිපති ක්‍රමය ප්‍රතිසංවිධානය කොට ඉදිරියට ගෙන යෑම ඒ සඳහා තෝරාගත හැකි එක විකල්පයකි. තෝරාගැනීමට තිබෙන අනෙක් විකල්පය වනුයේ ඊට පෙර තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය විධිමත් කොට එම ආණ්ඩුක්‍රමයට මාරුවීමය.

පරණ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ මනා ඒකාග්‍රතාවක් තිබුණි. මහජන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව තුළ රාජ්‍යයේ සකලවිධ බලය කේන්ද්‍රගතවී තිබුණේය. එය මහජනයාගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කළ රාජ්‍ය බලයේ උසස්ම ආයතනය විය. ප්‍රධාන විධායකයා ලෙස සැලකිය හැකි අගමැති හා ප්‍රධාන විධායකය ලෙස සැලකිය හැකි අගමැති තෝරාපත් කරගන්නා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත විය. අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ පෙනී සිටියේය. පාර්ලිමේන්තුවට වගකීමටද උත්තරදීමටද බැඳී සිටියේය. විධායකයට බලයේ සිටිය හැකිවූයේ ව්‍යවස්ථාදායකයේ කැමැත්ත ඇති තෙක් පමණය. විශ්වාසභංග යෝජනාවකින් පරාජය වූ අවස්ථාවකදී හෝ විසර්ජන පනතක් පරාජය වූ අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතු විය. අතුරු මැතිවරණ ක්‍රමය බලයේ සිටින ආණ්ඩුවේ ජනප්‍රියතාව උරගා බැලෙන වැදගත් අවස්ථාවක් ලෙස ක්‍රියා කළේය. විරුද්ධ පක්ෂයට බලය ලබාගැනීමට සාධාරණ අවස්ථාවක් තිබීම මේ ක්‍රමයට ආවේණිකව තිබූ වැදගත්ම ලක්ෂණයක් විය. ප්‍රධාන විධායකයා ඇතුළු සියලුදෙනා නීතියට යටත් තත්ත්වයක සිටීම නිසා හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමට තිබෙන ඉඩ ඇහිරී තිබුණි.

ඒ ක්‍රමයට මාරුවීමේදී පැරණි කේවළ ඡන්ද ක්‍රමයට තිබූ සීමාසහිතකම්ද නැති කරගත හැකිය. පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සියයට 70ක් වක් පමණ දෙනා කේවළ ඡන්ද ක්‍රමයකින්ද ඉතිරි සියයට 30 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමයකින්ද තේරී පත්වන ක්‍රමයක් ඇති කරගත හැකිය. මැතිවරණවලදී නාමයෝජනා සමග සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට බලකෙරෙන නීති ඇති කරගත හැකිය. ඉන්දියාවේ මැතිවරණ කොමිසම ආදර්ශයට ගෙන පුළුල් බලතල සහිත ස්වාධීන මැතිවරණ කොමිසමක්ද ඇති කළ හැකිය. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පරීක්ෂාවට ලක්කිරීමේ බලයද, මැතිවරණ වියදම්, මැතිවරණ අරමුදල් හා පක්ෂ අරමුදල්ද පරීක්ෂා කිරීමේ බලයද එම මැතිවරණ කොමිසමට ලබාදිය හැකිය.

ව්‍යවස්ථාදායකය ඒක මණ්ඩල ක්‍රමයක් ලෙසට තබාගත යුතුද නැතිනම් ද්වි මණ්ඩල ක්‍රමයක් ඇති කරගත යුතුද යන ප්‍රශ්නයද විසඳාගත යුතුය. සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ තිබුණේ ද්වි මණ්ඩල ක්‍රමයකි. සෙනෙට් මණ්ඩලය අහෝසි කොට ව්‍යවස්ථාදායකය ඒක මණ්ඩල ක්‍රමයක් බවට පත්කරන ලද්දේ 1972දීය. අපට නැවත ද්වි මණ්ඩල ක්‍රමයකට යා හැකිය. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පමණක් නොව පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන පනත් පක්ෂ භේදයකින් තොරව බුද්ධිමත්ව සලකා බැලීමේ ශක්තිය ඇති බුද්ධිමතුන්ට බර තබන සෙනට් මණ්ඩල ක්‍රමයක් ඇති කරගත හැකිය. උසස් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීම සඳහා පිළිගත් ප්‍රතිපත්තියක් ඇති කළ හැකි අතර එසේ කරනු ලබන පත්වීම්වලදී ඔවුන් පරීක්ෂාවට ලක්කිරීමේ බලය සෙනෙට් මණ්ඩලයට ලබාදිය හැකිය. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය සඳහා පැරණි රාජ්‍ය සේවා කොමිෂන් සභා ක්‍රමය ඇති කළ හැකි අතර පොලීසියේ කටයුතු සොයා බැලීම සඳහාද පොලිස් කොමිසමක් ඇති කළ හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ බලය සේ ම අණපනත් විමර්ශනය කිරීමේ බලයද ලබාදිය හැකිය.

බලය බෙදාහැරීමේ ප්‍රශ්නය හා ආණ්ඩුකරණය සඳහා පාලන ස්ථර කොපමණ සංඛ්‍යාවක් තිබිය යුතුද යන ප්‍රශ්නයද විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්නයකි. ඉන්දියාවේ ඇති පංචායත් ක්‍රමයට සමාන ගමේ සංවර්ධන කටයුතු තීන්දු කිරීමේ බලය ඇති ඡන්ද බලයෙන් නියෝජිතයන් තෝරාපත් කරගන්නා ගම් සභා ක්‍රමයක් ඇති කළ හැකිය. එවිට පළාත් පාලන ආයතන ක්‍රමය සමන්විත වනු ඇත්තේ ගම් සභාවලින්, මහ නගර සභාවලින්, නගර සභාවලින් හා සුළු නගර සභාවලිනි. පාලනයේ ඊළඟ ස්ථරය සකස් වියයුත්තේ පළාත පදනම් කරගත් පළාත් සභා ආණ්ඩු ක්‍රමයකින්ද නැතිනම් දිස්ත්‍රික්කය පදනම් කරගත් දිස්ත්‍රික් සභා ආණ්ඩු ක්‍රමයකින්ද යන්න විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්නයකි. මා හිතන්නේ රටට වඩා සුදුසු දිස්ත්‍රික්කය පදනම් කොටගත් ක්‍රමයක් බවය. එහෙත් දිස්ත්‍රික් සභා කිහිපයකට එකතු වී පළාත් සභාවක් ඇතිකර ගැනීමේ අයිතිය ලබාදිය හැකිය. එසේ වුවහොත් උතුරු පළාතේ දිස්ත්‍රික්ක එකට එකතු වී පළාත් සභාවක් ඇති කරගනු ඇති අතර බොහෝවිට අනෙක් හැම තැනකම තිබෙනු ඇත්තේ දිස්ත්‍රික් සභාය. එම පළාත් සභාවලට හා දිස්ත්‍රික් සභාවලට කිසියම් ප්‍රමාණයක ස්වයං පාලන බලයක් ලබාදිය යුතු අතර ඒ සඳහා ලබාදෙන බලතල එම ආයතනවල විශ්වාසයට හා ගෞරවයට හේතුවිය යුතුවා සේ ම ඒවා රටේ අඛණ්ඩභාවයට, ආරක්ෂාවට හා කාර්යක්ෂම පාලනයකට බාධා නොකරන තත්ත්වයකද තිබිය යුතුය. දේශපාලනයේදී කාන්තා සහභාගිත්වය ශක්තිමක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට, සෙනට් මණ්ඩලයට පළාත් සභාවලට හා දිස්ත්‍රික් සභාවලට හා පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරාපත් කරගැනීමේදී කාන්තා නියෝජිතයන්ට සියයට 25ක තරමේ නියෝජනයක්වත් ලබාදීම සහතික කරන විධිවිධාන ඇති කරගත හැකිය.

පැරණි පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ ඇති අත්දැකීම් අනුවද බලයට පත්වූ පාලක පක්ෂ ව්‍යවස්ථාවේ එන විධිවිධානවලට පටහැනිව ක්‍රියාකළ අවස්ථා තිබෙනවා සේ ම ව්‍යවස්ථාවේ එන මූලික දර්ශනයට පටහැනිව අයුතු ලෙස බලතල පවරාගත් අවස්ථාද පවතී.

නැවත එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීම සඳහා අවශ්‍ය විධිවිධාන සේ ම සංවිධාන ක්‍රමද ඇති කළ යුතුය.

ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකර ගැනීම

මොන වර්ගයක ආණ්ඩුක්‍රමයක් ඇති කරගත්තද ජාතික වැදගත්කමක් ඇති විෂයයන් සඳහා එනම් විදේශ ප්‍රතිපත්ති, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, බලශක්තිය, විද්‍යාව හා තාක්ෂණය, කර්මාන්ත හා කෘෂිකර්මය, මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපාර, පරිසරය වැනි අංශ සඳහා පිළිගත් ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇති නොකරගන්නේ නම් එම විෂයයන්හිදී බලයට පත්වන පාලකයන් හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. හැම වැදගත් අංශයක්ම පාහේ අවුල් ජාලයක් බවට පත්ව ඇත්තේද ඒ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් තුළ බලයට පත්වන පාලක පක්ෂයක් ක්‍රියාවට නැගිය යුත්තේ පිළිගත් ජාතික ප්‍රතිපත්තින්ය. දේශපාලන පක්ෂ අතර බලය සඳහා තරගය පැවතිය යුත්තේද පිළිගත් ජාතික ප්‍රතිපත්තීන් වඩා හොඳින් ක්‍රියාවට නැගීමේ ශක්තිය ඇත්තේ කුමන පක්ෂයටද යන පදනම මතය. එහෙත් රටට එවැනි ජාතික ප්‍රතිපත්ති රාමුවක් නැති නිසාම බලයට පත්වන පාලකයන්ට ඒ අංශවලදී තමන් කැමති ඕනෑම අමනෝඥ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැගීමේ හැකියාව ලැබී තිබෙන්නේය.

අන්තර්ජාතික බලතරගයේදී අපේ රටට විශාල වැදගත්කමක් ලැබී තිබෙන්නේ ප්‍රධාන මුහුදු මාර්ගයක් පාලනය කළහැකි උපාය මාර්ගික වැදගත්කමක් ඇති සංධිස්ථානයක මේ දිවයින පිහිටා තිබීම නිසාය. අපේ රටේ ළඟම අසල්වැසියා වී සිටින්නේ කලාපීය බලවතා වන ඉන්දියාවය. වර්තමානයේ ඉන්දියාව කලාපීය බලවතාගේ තත්ත්වයෙන් ඔබ්බට යමින් ලෝක බලවතකුගේ තත්ත්වයට ගමන් ගනිමින් සිටින්නේය. ලංකාවේ උපාය මාර්ගික පිහිටීමට ලැබී තිබෙන වැදගත්කම ලෝක බලවතුන්ට සංවේදී කරුණක් වී තිබෙනවා සේ ම ඉන්දියාවේ ළඟම අසල්වැසියක වීම හේතු කොටගෙන එම කාරණය වැඩියෙන්ම බලපා තිබෙන රට බවට පත්ව තිබෙන්නේ ඉන්දියාවය. පවතින මෙම භූ යථාර්ථයට ගැළපෙන පිළිගත් ජාතික විදේශ ප්‍රතිපත්තියක් අපට නැත. ඒ නිසා එම සංවේදී හා සංකීර්ණ විෂයේදී රටේ ආරක්ෂාව නොසලකා හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමේ බලය පාලකයන්ට ලැබී තිබේ.

භූ දේශපාලන යථාර්ථය

එම විෂයේදී ජේආර් ජයවර්ධන ළඟම අසල්වැසියා වන ඉන්දියාව මුළුමනින් නොසලකා දැඩි ඇමරිකන් හිතවාදී විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම නිසා රටට සිදුවූ විනාශය අතිවිශාලය. එහිදී ජනාධිපති ජේආර් ජයවර්ධන වැදගත් කොට සලකන ලද්දේ තෝරාගත් මහා බලවතකුට හිතවත්ව ක්‍රියාකරන ප්‍රතිපත්තියක් මගින් ඒ මහා බලවතාගෙන් රටට ලබාගත හැකි උපරිම ලාභ ප්‍රයෝජන ලබාගැනීමය. අප ඇමරිකාව සමග සමීපව ක්‍රියාකරන තෙක් ඉන්දියාවට කළ හැකි කෙංගෙඩියක් නැතැ”යි ඔහු කල්පනා කළේය. ඔහුගේ එම විශ්වාසය යථාර්ථයක් නොවන බව ඔහු තේරුම් ගත්තේ ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ ගුවන්තලය ආක්‍රමණය කොට යාපනයට සහනාධාර හෙළුෑ අවස්ථාවේදීය. එහිදී ඇමරිකාව අනුගමනය කළ නිහඬ ප්‍රතිපත්තිය ඔහුගේ පුදුමයට හේතුවූ අතර අවසානයේදී ජනාධිපති ජයවර්ධන ඉන්දියාව ඉදිරියේ දණින් වැටී ක්‍රියාකරන තත්ත්වයකට ඇද වැටුණි.

ජේආර් ජයවර්ධනගෙන් උගත යුතු හරි පාඩම් වර්තමානයේ බලයේ සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද ඉගෙන ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. ඉන්දියාව මුළුමනින් නොසලකා චීනයට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියකින් ලැබිය හැකි සිල්ලර වාසි ඇතත් එයද සැලකිය යුත්තේ ඉතාමත් විනාශකාරී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි, භයානක ක්‍රියාවක් ලෙසය. රටක් වශයෙන් අපට ඉන්නට සිදුවී තිබෙන්නේ ඇමරිකන් කටේ හෝ චීන කටේ නොව ඉන්දීය කටේය. ඒ භූ දේශපාලන යථාර්ථය අපට වෙනස් කළ නොහැකිය. අප ඉන්දියාව ඉදිරියේ නිවට ලෙස වැඳ වැටී ක්‍රියාකරන තැනකට යායුතු නැතත්, ඉන්දියානු විරෝධී හෝ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විදේශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ යහපතට හෝ ආරක්ෂාවට හේතුවන්නේ නැත.

ඉන්දියාව අපේ ළඟම අසල්වැසියා හා කලාපයේ මහා බලවතා වන නිසා ඇය සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන අතර අනෙක් මහා බලවතුන් සමගද කල්ලි ගැසී හෝ ගැටුම් ඇතිකර ගන්නා තත්ත්වයකට නොගෙස් මැදිහත් හා නොමැඳි පිළිවෙතක පිහිටා ක්‍රියාකළ යුතුය. රටේ ආරක්ෂාව සේ ම ගෞරවයටද හේතුවනු ඇත්තේ එවැනි විදේශ ප්‍රතිපත්තියකි.

විදේශ ප්‍රතිපත්තිවලදී බලයට පත්වන පාලකයන්ට රටේ ආරක්ෂාව නොසලකා හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට ලැබී තිබෙන ඉඩ නැතිකළ යුතුය. එසේ කළ හැකිවනු ඇත්තේ අපේ රටේ පිහිටීම භූ දේශපාලන යථාර්ථයන් සේ ම ලෝක යථාර්ථයන්ද (ගෝලීයකරණ තත්ත්වය) සැලකිල්ලට ගත් විදේශ ප්‍රතිපත්තීන් සඳහා පිළිගත් ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකර ගැනීමෙනි. එම ප්‍රතිපත්ති පිළිපැදීම හැම පාලක පක්ෂයක්මත් බලකෙරෙන නීතයෙන් බැඳ තබන විධිවිධාන ඇති කිරීමෙනි. එවැනි ජාතික ප්‍රතිපත්ති රාමු අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, ගමනාගමනය, බලශක්තිය, විද්‍යාව හා තාක්ෂණය, කර්මාන්ත හා කෘෂිකර්මය, පරිසරය යන අංශ සඳහා ද ඇති කළ යුතුය.

රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවා ගැනීම සඳහා ද ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇති කරගත යුතුය. එය පටු දේශපාලන අර්ථයෙන් කරන ක්‍රියාවක් වීම හේතු කොටගෙන එය රටට දැරිය නොහැකි විශාල අය බරක් බවට පත්වී තිබේ.

ජාතික ප්‍රතිපත්ති රාමු හදන්නේ කවුද යන ප්‍රශ්නය මතු කළ හැකිය. එය සිදුවිය යුතුව තිබෙන්නේ ඒ ඒ අංශවල විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ගේද සහභාගිත්වයෙනි. ඒ සඳහා සුදුසු සංවිධාන ක්‍රමයක් ඇති කරගත යුතුය.

නිල බලයක් ඇති පුද්ගලයන් එම නිල බලය යොදාගෙන අයථා ලෙස වස්තුව උපයා ගැනීම සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබෙන අතර එම තත්ත්වය රට අල්ලසින් හා දූෂණයෙන් වෙලාගත් රටක් බවට පත්කිරීමට හේතුවී තිබේ. මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා තිබෙන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා ක්‍රමය වෙනුවට අල්ලස හෝ දූෂණය මර්දනය කිරීම මූලික පරමාර්ථය කොටගෙන ක්‍රියාකරන ස්වාධීන නව ආයතන ක්‍රමයක් ඇතිකර ගැනීමටද විධිවිධාන ඇති කරගත යුතුය. එය විශ්‍රාම ගිය විනිශ්චයකාරවරුන්ට රක්ෂා ලබා දෙන ආයතන ක්‍රමයක් නොවිය යුතුය. ඒ කාර්යය සඳහා අවශ්‍ය තරම් බලතල ලබාදෙන හා ඔවුන් කරන කටයුතු නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන සංවිධාන ක්‍රමයක් සහිත ආයතන ක්‍රමයක් විය යුතුය.

මහජනයා පීඩාවට පත්කිරීම

වත්කම් බැරකම් නීතිය විධිමත් කිරීමෙන් හා වත්කම් හෙළිකිරීමට බැඳී සිටින සියලුදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාගේ දැනගැනීම සඳහා ඒ සඳහාම පවත්වාගෙන යන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීමෙන්ද අල්ලසට හෝ දූෂණයට තිබෙන නැඹුරුව අධෛර්යමත් කළ හැකිය.

ආණ්ඩුක්‍රමයේ ස්වභාවය කුමක් වුවත් ඒ හැම ආණ්ඩුක්‍රමයක් යටතේම මහජනයා පීඩාවට පත්කිරීමට හෝ ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙළෙසීමට හේතුවන ලෙස ක්‍රියාත්මක වූ සාධක කිහිපයක් මෙසේය.

1. අසාධාරණයකට ලක්වූ පුද්ගලයකුට සාධාරණය ඉටුකර ගැනීම ඉතාමත් දුෂ්කර දෙයක් වී තිබෙන්නේය. අසාධාරණයට ලක්වූ පුද්ගලයා සාමාන්‍ය අයකු නම් යුක්තිය ඉටුකර ගැනීමට ඉඩක් ඇත්තේම නැතැ”යි කිව හැකිය.

2. නිල බලයක් ඇති පුද්ගලයන් තමන්ට තිබෙන නිල බලය ප්‍රදර්ශනය කිරීම සඳහා හෝ වෙනත් හේතු නිසා ඔවුන් වෙත ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එන සාමාන්‍ය ජනයා නොසලකා සිටීමෙන්ද රස්තියාදු කිරීමෙන් හෝ ප්‍රශ්නය විසඳාදීම ප්‍රමාද කිරීමෙන්ද පීඩාවට ලක් කරති.

මෙම අසාධාරණ තත්ත්වය වළකා රාජ්‍ය සේවය විනයගරුක, මහජන හිතකාමී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා සුදුසු නව සංවිධාන ක්‍රමය හා විධිවිධාන ඇති කරගත යුතුය. කාර්යක්ෂම හා සාධාරණ ලෙස සේවය ඉටු නොකරන, මහජනයා රස්තියාදු කිරීමෙන් පීඩාවට පත් කරන රාජ්‍ය සේවකයන්ට එරෙහිව මහජනයාට පැමිණිලි කළ හැකි එම පැමිණිලි ගැන සොයා බලන ස්ථිර ආයතන ක්‍රමයක් ඇති කරගත යුතුය. නැතිනම් ඊට සමාන කාර්යභාරයක් ඉටුකරන වෙනත් ආයතන ක්‍රමයක් ඇතිනම් එම වගකීමද එම ආයතන ක්‍රමයටම භාරදිය යුතුය. බලවත් අසාධාරණයක් සිදුවී යුක්තිය ඉටුකර ගැනීමට අසමත්ව සිටින අයටද පැමිණිලි ඉදිරිපත් කළ හැකි හා ඒ පැමිණිලි සොයා බලන තැනක් ඇති කළ යුතුය. ඉහළින් එල්ල වන බලපෑම් නිසා හෝ වෙනත් හේතු නිසා නීතිය අකුරටම ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිවද පැමිණිලි ඉදිරිපත් කළහැකි හා ඒ ගැන සොයා බලන තැනක්ද ඇති කළ යුතුය.

අවසාන වශයෙන් රාජ්‍යයේ ආගමික ස්වරූපය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් රාජ්‍ය අනාගාමික රාජ්‍යයක තත්ත්වයට පත් කරනවාද යන්නද සලකා බැලිය යුතුය. රාජ්‍යයට ආගමික තත්ත්වයක් ආරෝපණය කර තිබුණේ වැඩවසම් අතීතයේදීය. නූතන රාජ්‍ය අනාගාමිකය. අසල්වැසි ඉන්දියාව ආගමට බර දේශයක් වුවත්, එහි තිබෙන්නේ අනාගාමික රාජ්‍යයකි. මහත්මා ගාන්ධි ආගමික වුවත් ඔහු පෙනී සිටියේ අනාගාමික රාජ්‍යයක් වෙනුවෙනි. රාජ්‍යයේ විශාල කොටසක් නූතන තත්ත්වයක තබාගෙන තවත් කොටසක් අතීත තත්ත්වයක තැබීම යහපත් නැත.

මෙම ලිපියේ එන අදහස් විවේචනයට ලක්කිරීමෙන් හෝ නව අදහස් ඇතොත් පළකිරීමෙන් සාධාරණ සමාජයක් වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇතිකර ගැනීම පිළිබඳව අරඹා ඇති සංවාදය ශක්තිමත්ව හා අර්ථවත්ව ඉදිරියට ගෙන යෑම ඉතා වැදගත්ය.