විශ්වවිද්යාල ආචාර්යවරුන් සිය සටන අත්හරින ලද අතර ඔවුන් නික්මයෑමෙන් හිස්වූ වේදිකාව දැන් භාරගෙන තිබෙන්නේ අධිකරණ නිලධාරීන් හා නීතිඥයන්ය. විශ්වවිද්යාල ආචාර්යවරුන් රජයේ නියෝජිතයන් සමග කරන අවසාන සාකච්ඡා අතරමැද රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විශේෂ ප්රකාශයක් කළේය. කිසියම් රජයේ සේවක පිරිසක් වෙනම ගෙන ඔවුන්ගේ වැටුප් වැඩි කරන ප්රතිපත්තියක් පිළිගත් රජයේ සේවක වැටුප් ප්රතිපත්තියට පටහැනි වන නිසා එවැනි ප්රතිපත්තියක් ක්රියාවට නැගුවහොත් ඊට එරෙහිව දැඩි ක්රියාමාර්ගයක් අනුගමනය කරන්නට තමන්ට සිදුවන බව ඔවුන් එම නිවේදනයෙන් කියා සිටියේය. ඉන්ද පෙනෙන්නේ ක්රමය සකස් වී තිබෙන්නේ සමස්තය එකට ගෙන මිස තෝරාගත් කෑලි කෑලි ඉදිරියට ගෙන විසඳුම් දිය හැකි තත්ත්වයක නොවන බවය. පවතින යථාර්ථය එය නම් වැටුප් ප්රශ්නයේදී පොදු විසඳුමක් ගැන කතා නොකොට තමන් ගැන පමණක් කතා කරන තැනකට විශ්වවිද්යාල ආචාර්යවරුන් තල්ලු වූයේ ඇයි? අනෙක් අතට සියලුදෙනා එකට ගෙන කරුණු සලකා බලන ප්රතිපත්තියකට මිස වෙන් වෙන්ව ගෙන කරුණු සලකා බලන ප්රතිපත්තියකට රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ඉඩ නොදෙන්නේ නම්, මේ රාමුවේම සිටි අධිකරණ නිලධාරීන්, ඇමතිවරුන් හා මන්ත්රීවරුන් සම්බන්ධයෙන් පමණක් විශේෂ ප්රතිපත්තියක් අනුගමනය කිරීමට ඔවුන් ඉඩ දුන්නේ ඇයිද කියන ප්රශ්නයටද ඔවුන් පිළිතුරක් දිය යුතුය.
මැර පහරදීම
අධිකරණ නිලධාරීන්ගේ හා නීතිඥයන්ගේ සටනට හේතුවී තිබෙන්නේ වැටුප් ප්රශ්නයක් නොව අධිකරණ සේවයේ ස්වාධීනත්වයට හා ගෞරවයට අදාළ ප්රශ්නයකි. කිසියම් කලක් තිස්සේ පැසවමින් තිබුණු ආරාවුලක් හදිස්සියේම පුපුරනසුලු තත්ත්වයක් ඇති කිරීම කෙරෙහි බලපෑවේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට එල්ල වූ මැර ප්රහාරයක් නිසාය. ලේකම්වරයා ජනාධිපතිවරයාගේ ප්රසිද්ධ වවේචනයට ලක්වූ පුද්ගලයකු බවට පත්ව සිටියේය. එම ලේකම්වරයා අධිකරණ සේවා කොමිසම වෙනුවෙන් පළ කළ නිවේදනයක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවෙමින් තිබෙන බව කියා සිටි අතර පසුව නිකුත් කරන තවත් නිවේදනයක් මගින් තමන්ට එල්ල වී තිබෙන ප්රසිද්ධ චෝදනාවල කිසිදු සත්ය පදනමක් නැති බව කියා සිටින අතර කොමිසමේ සාමාජිකයන්ට හා තමන්ට ජීවිත තර්ජන තිබෙන බවද ප්රකාශ කර සිටියේය. කොමිසමේ ලේකම්වරයාට ගල්කිස්සේදී මැර ප්රහාරයක් එල්ලවන්නේ ඒ අතරතුර කාලයේදීය. මෙම පහරදීම කර ඇත්තේ කවුරුන් විය හැකි වුවද සැකය එල්ල වී තිබෙන්නේ ආණ්ඩුව කෙරෙහිය. පහරදීම පිටුපස ඉන්නේ ආණ්ඩුව නොවේ නම් එල්ල වී තිබෙන චෝදනාවලින් ආණ්ඩුවට නිදහස් වියහැකි වනු ඇත්තේ පහරදීමට වගකිවයුතු අය හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණය. දැන් ඇතිවී තිබෙන ගැටුම අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා හා ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන ගැටුමක් ලෙස සැලකිය නොහැකිය. ගැටුමේ වැදගත්ම කොණ ඇත්තේ ජනාධිපතිවරයා හා අගවිනිසුරුවරිය අතය. අගවිනිසුරුවරිය ආණ්ඩුවේ කටයුතුවලට අවහිර කරන්නේයැයි කියන මතයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයන් තුළ ඇතිවී තිබේයැ”යි කිව හැකිය.
ඕනෑම රටක ක්රියාත්මක වන අධිකරණ සංවිධාන ක්රමය ඒ රටේ දේශපාලන ශීලාචාරබවේ තරම පෙන්නුම් කරන වැදගත් කැටපතක් බව කියා ඇත්තේ හැරල්ඩ් ලැස්කිය. අධිකරණ ක්රමයකින් අපේක්ෂා කරන්නේ සාමාන්ය ආරාවුල්වලදී යුක්තිය පසිඳලීම පමණක් නොවන්නේය. ව්යවස්ථාදායකය ප්රතිපත්ති හා නීති සම්පාදනය කරයි. විධායකය ඒවා ක්රියාත්මක කරයි. ප්රතිපත්ති සම්පාදනයේදී ව්යවස්ථාදායකයත් හා නැවත ඒවා ක්රියාත්මක කරන විට විධායකයත් නීතියට අනුකූලව ක්රියාකරන්නේද යන්න සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ අධිකරණයටය. විධායකයට මහජන යහපතට හේතු නොවන බලයක් ආරෝපණය කරගැනීමට ඉඩ නොදෙමින් මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නා ලෙස ක්රියා කළයුත්තේද අධිකරණයයි.
අධිකරණය
එහෙත් රටේ පවතින දූෂිත දේශපාලන ක්රමය තුළ අධිකරණය ස්ථානගත කර තිබෙන්නේ එවැනි පුළුල් කාර්යභාරයකට ඉඩ නොලැබෙන ආකාරයටය. 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ව්යවස්ථාදායකය විධායකය හා අධිකරණය වශයෙන් බලබෙදීමක් ඇතිකර තිබෙන බවක් පෙනෙන්නට තිබුණද එම බලබෙදීම සැලකියහැක්කේ අව්යාජ බලබෙදීමක් වශයෙන් නොව ව්යාජ බලබෙදීමක් වශයෙනි. එම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දර්ශනය අනුව ප්රමුඛ වැදගත්කම ලබාදී ඇත්තේ පරමාධිපත්යය බලය ඇති මහජනයාට නොව, මහජනයා බලයට පත්කරන විධායක ජනාධිපතිටය. ව්යවස්ථාව සකස් කර තිබෙන්නේ රාජ්යයේ සකළවිධ බලය විධායක ජනාධිපති අත කේන්ද්රගත කෙරෙන ආකාරයටය. ජනාධිපති නීතියට යටත් නැති නීතියට ඉහළින් සිටින ආකාරයටය. නීතියට ඉහළින් සිටින රාජ්ය පාලකයකු සිටින රටක නීතියේ පාලනයක් තිබිය නොහැකිය. මෙය ශ්රී ලංකාවේ අධිකරණයටද මුහුණ දෙන්නට සිදුවී තිබෙන දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.
මෙම දූෂිත දේශපාලන ක්රමය සකස් කිරීමේදී ඇමරිකානු විධායක ජනාධිපති ක්රමය ගුරුකොට ගෙන ඇතත් ඒ ක්රමයේ තිබෙන යහපත් අංගලක්ෂණ සැලකිල්ලට ගෙන නැත. ලෝකයේ බලවත්ම විධායක ජනාධිපති ලෙස සැලකෙන්නේ ශ්රී ලංකාවේ ජනාධිපති නොව ඇමරිකාවේ ජනාධිපතිය. ඇමරිකන් ජනාධිපතිට ලැබී තිබෙන බලය කොයිතරම් විශාල වුවත් ඇමරිකන් ව්යවස්ථාව විසින් ඔහු ස්ථාන ගතකර තිබෙන්නේ නීතියට යටත් තත්ත්වයකය. ඇමරිකන් ජනාධිපති කරන කිසියම් ක්රියාවක් නීති විරෝධී වේ නම් ඒ ක්රියාව බලරහිත කිරීමේ බලය ඇමරිකන් ශ්රේෂ්ඨාධිකරණය සතුය. එහෙත් ශ්රී ලංකාවේ ජනාධිපති කරන මොනම ක්රියාවක්වත් මොනව අධිකරණයකදීවත් ප්රශ්න කළ නොහැකිය.
ඉහළ අධිකරණයට විනිසුරුවන් පත්කිරීම සඳහා ජනාධිපතිට ලැබී තිබෙන බලයේදී ඇමරිකාව ශ්රී ලංකාව අනුගමනය කරන ප්රතිපත්තියේ සමහර අංශ එක සමාන වුවත් සමහර අංශ එක සමාන නැත. මේ රටවල් දෙකේම ඉහළ අධිකරණයට විනිසුරුවන් පත්කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිටය. එහෙත් ඇමරිකන් ක්රමයේදී ජනාධිපතිවරයා නම් කරන පුද්ගලයන් සෙනට් මණ්ඩලය විසින් තියුණු පරීක්ෂාවට ලක් කරයි. එම පරීක්ෂණයෙන් අසමත් වී තනතුරුවලට පත් නොවන අයගේ සංඛ්යාවද සුළුපටු නැත. එහෙත් ශ්රී ලංකාවේ උසස් අධිකරණයට ජනාධිපතිවරයා විසින් පුද්ගලයන් පත්කිරීමේදී ඔවුන් තියුණු ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන ක්රමයක් නැත – අපේ රටේ ක්රමය සකස් කර තිබෙන්නේ අධිකරණයද අනියම් ලෙස පාලනය කිරීමේ බලය ජනාධිපතිට ලැබෙන ආකාරයටය.
මේ ක්රමය තුළ අධිකරණයට ලබාදී තිබෙන බලයේද බරපතළ සීමාසහිතකම් පවතී. ජනාධිපතිවරයා ප්රධාන විධායකයාය. විධායකයේ බොහොමයක් ක්රියාකාරකම් සිදුවන්නේ ජනාධිපතිවරයාගේ ඍජු මෙහෙයවීම යටතේය. එහෙත් ඔහු ගෑවී තිබෙන කිසිම විධායක කාර්යයක් පරීක්ෂා කිරීමේ බලය අධිකරණයට නැත.
ව්යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය අධිකරණයට ලබාදී ඇතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් සම්බන්ධයෙන් ලබාදී තිබෙන බලය සීමිතය. 120 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනතක් ආණ්ඩුක්රම ව්යවස්තාවට අනුකූලදැ”යි තීරණය කිරීම පිණිස ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය. කැබිනට් මණ්ඩලය විසින් කිසියම් කෙටුම්පත් පනතක් ව්යවස්ථා සංශෝධනයන් ලෙස තීන්දු කළ විට ශ්රේෂ්ඨාධිකරණයට සලකා බැලිය හැක්කේ ඒ සඳහා ජනමතවිචාරණයක් අවශ්යද නැද්ද යන්න පමණය.
නෙවිල් සමරකෝන්
දේශපාලන ක්රමය සකස් කර තිබෙන්නේ බලබෙදීමක් පිළිබඳ ව්යාජ පෙනුමක් ලබාදී තිබියදීත් ව්යවස්ථාදායකය හා අධිකරණය විධායකයේ සියලු ක්රියා අනුමත කළ යුතු තත්ත්වයක තැබෙන ආකාරයටය. ව්යවස්ථාදායකය ඉතා ඉක්මනින් විධායක ජනාධිපතිගේ රබර් මුද්රාවක් බවට පත්වුවද අධිකරණය ඒ තත්ත්වයට පත් නොවී සිටීමට බලවත් උත්සාහයක යෙදුණේයැ”යි කිව හැකිය. එහි ගෞරවය හිමිවිය යුත්තේ අගවිනිසුරු නෙවිල් සමරකෝන්ටය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයට පත් කළේ ඔහු තමන්ගේ විශ්වාසයට හේතුවූ පුද්ගලික මිත්රයෙකු වීම නිසාය. මිත්රයා එම තනතුරට පත්වීමෙන් පසු තමන්ගේ වුවමනාවන් හොඳින් ඉටුකරනු ඇතැ”යි ඔහු විශ්වාස කළා විය යුතුය. එහෙත් නෙවිල් සමරකෝන් එම තනතුරට පත්වූ පළමුදිනයේ සිටම ජනාධිපතිවරයාගේ රබර් මුද්රාවක තත්ත්වයට පත් නොවී අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටියේය. ඔහුට සැඟවුණු දේශපාලන න්යාය පත්රයක් තිබූ බවක් පෙනෙන්නට නැත. ඔහු එම තනතුරට පත් කළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් පළිගැනීමේ හෝ ආණ්ඩුවේ කටයුතු කඩාකප්පල් කිරීමේ වුවමනාවක් ඔහුට තිබුණු බවද පෙනෙන්නට නැත. දේශපාලන ක්රමය තුළ අධිකරණයට ලැබී තිබුණු බලය ඉතා සීමිත වුවද ඒ සීමිත රාමුව තුළ ඉඳිමින් හෝ සමාජයේ ආරක්ෂාව සඳහා අධිකරණය ඉටුකළ යුතු විශේෂ කාර්යභාරයක් ඇතැ”යි කල්පනා කරමින් බලවත් හැඟීමකින් යුතුව ඒ යුතුකම ඉටුකරන ප්රතිපත්තියක් අනුගමනය කළ බව පෙනෙන්නට තිබේ.
ඔහු විශේෂයෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවට අදාළ නඩු විභාග උසස් ප්රමිති තත්ත්වයක තබාගන්නා පිළිවෙතක් අනුගමනය කළේය. එවැනි නඩුවලට ජේයෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත ලොකු හෝ පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ලබා දුන්නේය. එවැනි වැදගත් නඩු සඳහා තුන්දෙනකුට සීමාවූ විනිශ්චය මණ්ඩලයක් පත් කරන ක්රමයක් ඔහුගේ පාලන යුගයේදී ක්රියාත්මක නොවීය. විනිශ්චයකාරවරුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වන අවස්ථාවලදීද ඒවා යටපත් නොකොට විධිමත්ව ඒවා සොයා බලන ක්රමයක් ක්රියාත්මක විය.
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබුණද ඔහුගේ පාලනය යුගය තුළ අධිකරණය කොන්ද කෙළින් තබාගෙන ඉදිරියට යන්නට උත්සාහ කළේය. සිරිමා බණ්ඩාරනායක තමන් පාලන බලයේදී සිදුවූ වැරදි සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමට එරෙහිව පවරන ලද නඩුව අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතභාවය උරගා බැලීමකට ලක් කෙරුණු වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඇය තමන්ගේ කටයුතු සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසමට එරෙහිව තහනම් රිට් නියෝගයක් ලබාගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට ගියාය. ඇයගේ තර්කය වූයේ අගමැති වශයෙන් තමා වගකිවයුත්තේ පාර්ලිමේන්තුවට පමණක් වන නිසා කිසිදු උසාවියකට හෝ කොමිසමට ඒ කටයුතු සෝදිසි කිරීමේ බලයක් නැති බවය. අධිකරණය ඇගේ තර්කයට ඇතුළත් එක් කරුණක් පිළිගත්තේය. එනම් ඇගේ පාලන කාලය විශේෂ ජනාධිපති කොමිෂන් සභා නීතිය පැනවීමට පෙර කාලයක් වීම හේතු කොටගෙන ඒ කාලය තුළ සිදුවූ කටයුතු පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට, වාර්තා කිරීමට හෝ නිර්දේශ කිරීමට බලයක් විශේෂ ජනාධිපති කොමිසමට නැති බව ප්රකාශ කරමින් අභියාචනාධිකරණය එම ජනාධිපති කොමිසමට එරෙහිව තහනම් නියෝගයක් ලබා දුන්නේය. ආණ්ඩුව ඉන්පසු ව්යවස්ථාව සංශෝධනය කොට (එය ව්යවස්ථාවට ඉදිරිපත් කළ පළමු සංශෝධනය විය.) එවැනි සිද්ධීන්වලදී අභියාචනාධිකණයට එවැනි නියෝගදීමට තිබෙන බලය ඉවත් කොට ඒ බලය ශ්රේෂ්ඨාධිකරණය වෙත පවරන ලදි. වැදගත්වන්නේ ආණ්ඩුව එහිදී අනුගමනය කළ ප්රතිපත්තිය නොව හයෙන් පහක බලයක් සමග අලුතෙන් බලයට පත්ව තිබූ ආණ්ඩුවක් සම්බන්ධයෙන් ආණ්ඩුවට වාසිදායක නොවන තීන්දුවක් ලබාදීමට අභියාචනාධිකරණයට ඒ අවස්ථාවේ තිබූ හැකියාව හා එම දේශපාලන ආරාවුල සම්බන්ධයෙන් පෙන්වන ලද නිර්භීත හා අපක්ෂපාත ප්රතිපත්තියයි. අධිකරණයේ අපක්ෂපාතීත්වය හා සාධාරණත්වය පිළිබඳව ඊළඟට සිදුවූ වැදගත්ම උරගා බැලීම ලෙස සලැකිය හැක්කේ කලවාන ඡන්ද පෙත්සමෙන් ආසනය අහිමි වන්නට නියමිතව සිටි ආණ්ඩු පක්ෂ මන්ත්රීවරයකු, තීන්දු ප්රකාශ කරන්නට පෙර මන්ත්රී ධුරයෙන් ඉවත් වී නැවත පත් කළ මන්ත්රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්වීම ආශ්රයෙන් මතුව තිබූ අර්බුදයේදී අධිකරණය ක්රියාකළ ආකාරයයි. ආණ්ඩුව අතුරු මැතිවරණයෙන් තේරී පත්වූ සරත් මුත්තෙට්ටුවේගමට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදෙනවාට අතිරේකව ඡන්ද පෙත්සමෙහි ආසනය අහිමි වූ පිලපිටියද මන්ත්රීවරයෙකු වශයෙන් තබාගැන්මට උත්සාහ කළේය. ඒ සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමටද උත්සාහ කළේය. එහෙත් ආණ්ඩුවේ එම සෙල්ලමට අධිකරණය ඉඩ දුන්නේ නැත.
නෙවිල් සමරකෝන් පාලන යුගයේදී අධිකරණය රඟපෑ භූමිකාව ජනාධිපති ජයවර්ධනගේ කෝපයට හේතුවී ඔහු අධිකරණයට ගොරෝසු ලෙස ප්රතිචාර දක්වන තැනකට ගියද අධිකරණය ඒ සියලු දේ විඳ දරාගනිමින් තමන් තෝරාගත් මගෙහිම ඉදිරියට ගියේය. එම තත්ත්වය අධිකරණය කෙරෙහි වන මහජනයාගේ විශ්වාසය හා ගෞරවය වර්ධනය කළේය.
ඉදිරි ගමන ආපස්සට හැරවීම
නෙවිල් සමරකෝන් විශ්රාම ගැනීමෙන් පසුද අගවිනිසුරු ධුරයට පුද්ගලයන් තෝරා ගැනුණේ ජනාධිපතිවරුන්ගේ විශ්වාසයට හේතුවූ පුද්ගලයන්ය. එහෙත් ඔවුන් කිසිවෙක් සිය කැමැත්තෙන් විධායකය කරන හැම දෙයක්ම අනුමත කරන රබර් සීල් බවට පත් නොවූහ. බොහෝ දුරට අධිකරණය අපක්ෂපාතව හා සාධාරණව ක්රියාකරන තත්ත්වයක තබා ගත්තේය. ජී.පී.එස්. ද සිල්වා අගවිනිසුරුවරයාගේ පාලන යුගය තුළ අධිකරණයේ ගුණාත්මක පිරිහීමක් ඇතිවීයැ”යි කිව හැකිය. එම අගවිනිසුරුවරයා අයහපත් කෙනෙකු නොවූවද සියටලුදෙනා සතුටු කිරීමට හේතුවන ලිහිල් පාලනයක් පවත්වාගෙන යෑම නිසා අධිකරණ නිලධාරීන්ගේ විනය පාලනයේ පරිහානියක් ඇතිවීම ආරම්භවීයැ”යි කිව හැකිය. මහේස්ත්රාත් ලෙනින් රත්නායක ආශ්රයෙන් මතුවූ අර්බුදයේදී ඔහු අධිකරණ සේවයට එකතු වී තිබුණේ රක්ෂණ සංස්ථාවේ අරමුදල් වංචා කිරීමේ සිද්ධියක් මත රක්ෂණ සංස්ථාවේ සේවයෙන් නෙරපා හැරීමෙන් පසුව බව පසුව සිදුවූ පරීක්ෂණයකදී සනාථ විය. අධිකරණ සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී ඔවුන් ගැන නිසි සොයා බැලීමකින් තොරව බලවත් පුද්ගලයන් විසින් දෙනු ලබන රෙකමදාරුව මත පමණක් පිහිටා පුද්ගලයන් බඳවා ගැනීම නිසා අධිකරණ සේවයට නුසුදුසු පුද්ගලයන් එකතුවීමක් ඒ කාලයේ සිදුවීයැ”යි කිව හැකිය.
අධිකරණය පවත්වාගෙන යමින් තිබූ ඉදිරිගාමී ගමන් මග මුළුමනින් ආපසු හැරවීමක් සිදුවන්නේ සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමත් සමගය. ජනාධිපතිනිය ඔහු එම තනතුරට පත් කරනු ලබන්නේද විෂමාචාර චෝදනා පිළිබඳව ඔහුට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය පැමිණිලි දෙකක් විභාගයට ගෙන තිබුණු අවස්ථාවකදීය. ජනාධිපතිනියගේ නීති උපදේශකයන් ලෙස ක්රියා කළ එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර වැනි නීති විෂයෙහි එවකට සිටි සම්භාවනීය පුද්ගලයන් ගණනාවක් සරත් නන්ද සිල්වා එම තනතුරට පත්කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියද ඇය ඒ මොහොතේ ශ්රේෂ්ඨාධිකරණයේ ගමන් මග පිළිබඳව බලවත් සැකයක් ඇති කරගෙන සිටි තත්ත්වය ඉදිරියේ ඈ ඉතාමත් මුරණ්ඩු ලෙස ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාලාභියකුගේ තත්ත්වයට පත්ව සිටි සරත් නන්ද සිල්වා එම තනතුරට පත් කළාය. ඔහු ශ්රේෂ්ඨාධිකරණය, විධායකය විසින් කරනු ලබන ඕනෑම ක්රියාවකට අනුමැතිය ලබාදෙන රබර් මුද්රාවක තත්ත්වයට පත් කළේය.
ඔහුගේ පාලන කාලය තුළ අධිකරණයේ ඇතිවූ පිරිහීම අසමසම තත්ත්වයක පැවතුණි. ඔහු නඩු තීන්දුවලදී විනිශ්චයකාරවරුන් කෙරෙහි බලපෑවේය. විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා සේ ම හිතවතුන්ට වාසි ලබාදීම සඳහාද නඩු තීන්දු දුන්නේය. විවිධ දේශපාලන පක්ෂවල සහාය දිනාගැනීම සඳහා ඔවුන්ගේ උනන්දුවට හේතුවන විෂයයන්ට බලපාන ආකාරයට නඩු නිර්මාණය කොට තීන්දු දුන්නේය. තමන්ට අවනත නොවන විනිශ්චයකාරවරුන්ගෙන් පළිගත්තේය. ඔහුගේ කාලයේ අධිකරණයේ ඇතිවූ සදාචාරමය පිරිහීම කැපී පෙනෙන තත්ත්වයක පැවතියේය.
ඔහු අගවිනිසුරු ධුරය හොබවන අතර ජනාධිපතිනියගේ උපදේශකයකු වශයෙන් ද ක්රියා කළේය. බෝම්බ සිද්ධියෙන් පසුව ජනාධිපතිනියට එක් වරක් ප්රසිද්ධියේද, තවත් වරක් අප්රසිද්ධියේද දිවුරුම්දීමට උපදසේ දී තිබුණේ ඔහුය. ඔහු ඒ බව පුවත්පත්වලටද ප්රකාශ කර තිබුණි. අවසාන කාලයේ ජනාධිපතිනිය සමග මතභේද ඇති කරගත් විට දෙවරක් දිවුරුම් දෙන්නට ඇයට උපදෙස් දුන් පුද්ගලයාම නඩුවේ විනිශ්චයකාරවරයා බවට පත්වී ඇගේ පැවැත්ම අවලංගු කිරීමට හේතුවන තීන්දුවක් දුන්නේය. ඔහුගේ අපේක්ෂාව වී තිබුණේ යල් පැනගිය තත්ත්වයකට පත්ව සිටි චන්ද්රිකාගෙන් ඉවත් වී නැගී එන තරුව බවට පත්ව සිටි මහින්ද රාජපක්ෂ සමග ඉදිරියට යෑමය. ඒ සඳහා මහින්ද රාජපක්ෂට උපරිම ලෙස ආධාර කළේය. ඔහුගේ ඉදිරි ගමනට තිබූ බාධා ඉවත් කර දුන්නේය. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිගෙන් අපේක්ෂා කළ ලාභ ප්රයෝජන නොලැබුණු විට ඔහුගේ පාලනයේ අවසාන කාලයේදී විධායකය සමග ගැටෙන විධායකයට එරෙහිව තීන්දු දෙන විප්ලවකාරී චරිතයක් බවට පත්වූයේය.
වැරදි කුණුවන්නට ඉඩහැරීම
සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයෙන් නික්මයෑමෙන් පසුව ඒ තනතුරට පැමිණි අනුප්රාප්තිකයන් කිසිවෙක් සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා විසින් අධිකරණය නමැති පූජාසනය මත ගොඩ ගසා එකතු කොට තිබුණු කැත කුණු ඉවත් කිරීමක් සිදු නොකළේය. ඒවායින් හමන දුගඳ ඉවසා ගෙන සිටිමින් සිය කටයුතු ඉදිරියට ගෙන ගියේය.
අධිකරණයේ කිසියම් පාලනයක් තුළ බරපතළ වරදක් සිදුවී නම් හා ඒ වරද අනාගතය කෙරෙහිද බලපාන බරපතළ වරදක් වේ නම් පාලනය වෙනස් වූ වහාම නව පාලකයා ඒ වරද නිවැරදි කළ යුතුය. එම තත්ත්වයෙහි ඇති බරපතළකම පෙන්වාදීම සඳහා මම එක නිදර්ශනයකට පමණක් සීමාවෙමි. මෙම දේශපාලන ක්රමය තුළ මන්ත්රීකම අහිමි කරගැනීමෙන් තොරව මන්ත්රීවරයකුට පක්ෂය මාරු කළ නොහැකිය. එහෙත් අගවිනිසුරු සරත් නන්ද සිල්වා ආණ්ඩු පක්ෂයට එකතු වන විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ මන්ත්රීකම් අහිමි නොවන ක්රමයක් ඇතිකර දුන්නේය. එය දේශපාලන ක්රමයේ විශාල අවුලක් ඇති කිරීමට හේතුවිය. ඔහු තනතුරෙන් විශ්රාම යෑමෙන් පසු සිදුකර තිබුණු එම විකෘති කිරීම ශ්රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි කළ යුතුව තිබුණි. එයින් බැටකෑ දේශපාලන පක්ෂද ඒ තත්ත්වය නිවැරදි කරගැනීම සඳහා ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට යායුතුව තිබුණි. ශ්රේෂ්ඨාධිකරණය ස්ව කැමැත්තෙන් ඒ බරපතළ වරද නිවැරදි නොකළා සේ ම විරුද්ධ පක්ෂද ඒ වරද නිවැරදි කරගැනීමට කිසිදු උත්සාහයක නොයෙදුණේය. එය ඇති කර තිබෙන විකෘතිය දැවැන්තය.
ඒ අර්ථයෙන් දේශපාලන ක්රමය පමණක් නොව රටේ අධිකරණ ක්රමයද තිබෙන්නේ පිරිසිදු තත්ත්වයක නොව සෝදා පිරිසිදු කළ යුතු අපිරිසිදු තත්ත්වයකය. විනිශ්චයකාරවරුන් අතර ගෞරවයට හේතුවන අය සිටින්නා සේ ම ගෞරවයට හේතු නොවන අයද සිටින්නේය. අධිකරණයේ ගුණාත්මක අගය වර්ධනය කරගැනීමට අවශ්ය වී තිබෙනවා සේ ම විධායකයට හිතුවක්කාරි ලෙස ක්රියාකිරීමට ඉඩ නොතබන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්ය තරම් බලතල ඇති අධිකරණ ක්රමයක් ඇතිකර ගැනීමටද රටට අවශ්ය වී තිබෙන්නේය.
එහෙත් දැන් අපි ජීවත්වන්නේ ප්රතිසංස්කරණ දිනාගත හැකි අවස්ථාවක නොව සමස්ත දේශපාලන ක්රමයම කඩා බිඳ වැටෙමින් පවතින අවිධියකය. අධිකරණය හා විධායකය අතර ඇතිවී තිබෙන ගැටුමට බලපා තිබෙන හේතු මොනවා වුවද ඒ ගැටුමෙන්ද වියහැක්කේ දේශපාලන ක්රමයේ බිඳ වැටීමේ ක්රියාවලිය ප්රවේගවත්වීමය. ඒ අර්ථයෙන් ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයම එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් සිදුකරනු ඇත්තේ දේශපාලන ක්රමය නමැති කුලුන සිටුවා තිබෙන බිමේ පස් බුරුල් කිරීමය.
මේ ගැටුමෙන් ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාවක් අධිකරණයට නැත. මේ දේශපාලන ක්රමය තුළ අධිකරණ නිදහස පුළුල් කරගැනීමේ හැකියාවක්ද තිබිය නොහැකිය. විධායකය මෙම සටනින්ද ජයගනු ඇතත් ඒ වෙනුවෙන් විධායකයටද දැවැන්ත වන්දියක් ගෙවීමට සිදුවනු ඇත්තේය. ජාත්යන්තර වශයෙන් යහපත් ප්රතිරූපයක් ඇතිකර ගැනීම සඳහා හා සමහර රටවල් හා ආයතන අතර තිබෙන සම්බන්ධතා යහපත් කරගැනීම සඳහා වන උත්සාහයක් සඳහා ආණ්ඩුව විශාල ආයෝජනයක් කර තිබෙන්නේය. එහෙත් මේ ගැටුම ඒ සියල්ල ගඟේ මුහුදේ දැම්මා වැනි තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. අගවිනිසුරුවරිය තනතුරින් ඉවත් කිරීමට දරන ඕනෑම උත්සාහයක් ජාත්යන්තර ප්රජාව තේරුම් ගනු ඇත්තේ ආණ්ඩුව හිතුවක්කාරී බලය වර්ධනය කරගැනීමට දරන වියරු උත්සාහයක් ලෙසය.