දරුවන් දීග දීම

August 19, 2012
Publication:
Continuing his series on family life, Ivan turns to marriage. He recalls the baker in the house where he boarded as a boy in Katugastota, whose 'theory' was that what cannot be seen does no harm, and the romance of the baker's son that the family tried to break. He warns parents against both indulging and overruling their children's choices, against searching obsessively into a partner's lineage, and against letting horoscopes ruin girls' lives, and urges that daughters be encouraged to continue their education.

විශ්‍රාම ජීවිතය සැලසුම් කරගැනීමේ වැදගත්කම ගැන ලියන්නට ගොස් දැන් සුපුරුදු මාතෘකාවලින් ඉවත් වී මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතවලට අදාළ දේවල් ගැන ලියන කෙනකුගේ තත්ත්වයට පත්ව තිබේ. මා එම තත්ත්වයට ඇද දමනු ලැබුවෝ පාඨකයෝය. විශ්‍රාම ජීවිතය සැලසුම් කිරීම පිළිබඳව ලියන ලද ලිපිය ඇතුළත් පුවත්පත වෙළෙඳපොළට නිකුත් වූ දිනයේ ඊට පෙර දින ඇතිවූ සුළු අසනීප තත්ත්වයක් හේතු කොටගෙන මා ගාල්ලේ නිවසට යන්නට ගමන් ඇරඹුවේ උදේ හතහමාරට පමණය. මා ගෙදර යන්නට පෙර අතරමගදී මා දන්නා නාමධාරී සමාගමක නිර්මාතෘවරයෙක් මට කතා කළේය. ඔහු පොතපත කියවන ඕනෑම දෙයක් විග්‍රහ කිරීමේ හැකියාව ඇති කාර්ය බහුල ජීවිතයක් ගතකරන පුද්ගලයෙකි. ඔහු එම ලිපිය ගැන ප්‍රශංසාවෙන් කතා කරමින් ඉන් තමාද වැදගත් දේවල් ගණනාවක් ඉගෙන ගත් බව කීවේය. විශ්‍රාමිකයන් අතර තනිකඩයන්ද සිටින බවත් ඒ ගැන මගේ අවධානය යොමුවී නැති බවත් ඔහු කීවේය. වඩාත්ම මාගේ පුදුමයට හේතුවූයේ ඔහු වැනි කාර්ය බහුල පුද්ගලයකු පුවත්පත පිටවූ දිනම එතරම් ඉක්මනින් දීර්ඝ ලිපියක් කියෙව්වේ කෙසේද කියාය. ගෙදර යන්නට පෙර රජයේ ඉහළම පෙළේ නිලධාරියකු මට කතා කරමින් ලිපියේ එන අදහස් ගැන ප්‍රශංසා කරමින් සාමාන්‍ය ජනයාගේ ජීවිතවලට මගපෙන්වන දේවල් ගැන වැඩි වැඩියෙන් ලියන ලෙස ඉල්ලා සිටියේය. ගෙදර ගිය පසු තවත් අයද දුරකතනයෙන් කතා කළෝය. ඒ ගැන ප්‍රකට ලේඛකයකු වූ ජයකොඩි සෙනෙවිරත්න විසින් මා වෙත ලියා එවන ලද දීර්ඝ ලිපියක් කියවන්නට ලැබුණි. ඔහු ඉල්ලා තිබුණේ ඒ විෂය ගැන පොතක් ලියන ලෙසය. ඒ මගින් විශ්‍රාමිකයන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කළ හැකි බව ඔහු කියා තිබුණි. ඉන්පසු සති අන්තයේ මා නිවසේ දහවල් ආහාර ගනිමින් සිටියදී නිවසේ දුරකතනයට ඉංගිරියෙන් කෙනෙක් කතා කළේය. ඔහු විශ්‍රාම ලිපියට අතිරේකව එම සතියේ පළවී තිබූ දරුවන් ගැන ලිපියද කියවා තිබුණි. ඔහු විවිධ දේවල් ගැන කතාකරන අතර දැන් තමා ඉන්නේ ප්‍රමාද වූ තත්ත්වයක බවද කියාසිටියේය. ඒ සමග ඔහු දැන් තමන්ට වයස 64ක් වන බවද කීවේය. ප්‍රමාද වැඩි කතාව මා තුළ කම්පනයක් ඇති කිරීමට හේතු වුවද ඒ ගැන මා වැඩිදුර කරුණු විමසීමක් කළේ නැත. ඔහු මාගේ නිවසේ දුරකතන අංකය දැනගත්තේ කෙසේද කියන ප්‍රශ්නය මා තුළ කුතුහලයක් ඇති කර තිබුණි. මාගේ ජංගම දුරකතන අංකය දන්නා අය සිටියත් මාගේ නිවසේ දුරකතන අංකය දන්නේ ඉතාමත් කලාතුරකින් කිහිපදෙනකු පමණය. මා ඒ ගැන ප්‍රශ්න කළ විට ඔහු කීවේ දුරකතන අංකය ලබාගත්තේ ටෙලිකොම් සමාගමෙන් බවය. ඉරිදා සවස බද්දේගම සමිත හිමියන් මාගේ ආයතනයේ කලක් වැඩ කළ සමන් සී. ලියනගේ හා චෙස් ගුරුවරයකු සමග මගේ නිවසට ආවේය. සමිත හිමියන්ට බද්දේගම ප්‍රදේශයේ පාසල් සිසුන් අතර චෙස් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට අවශ්‍ය වී තිබුණි. ඒ හැම දෙයකින්ම පෙනෙන්නේ මිනිසුන්ට සම්බන්ධවීමට පහසු නැති ලොකු දේවල් වෙනුවට සම්බන්ධ විය හැකි පහසු පොඩි දේවල් කියා දුන් විට ඔවුන් ඒවා අත්හදා බලන බවය. මාගේ දෙවැනි දුව මට නිතර නිතර කියන දෙයක් වනුයේ ලොකු දේවල් ලියනවාට අතිරේකව තාත්තාට ලංකාවේ කුස්සිය හා ආහාරපාන ගැන විශේෂ මතයක් තිබෙන නිසා ඒ ගැනද පොතක් ලියන ලෙසය. මේ වන විට සංකීර්ණ විෂයයක් පිළිබඳව පොතක් ලියමින් සිටින අතර දැන් එය තිබෙන්නේ එහි අවසාන භාගයේය. එය අවසන් වන තෙක් දේශපාලනයට හා ආණ්ඩුකරණයට බර තබන ලිපිවලින් ඉවත් වී එදිනෙදා ජන ජීවිතයට ප්‍රයෝජනවත් දේවල් ලිවිය යුතුයැ”යි සිතුවෙමි. මා මෙවර සාකච්ඡා කිරීමට තෝරාගත්තේ දරුවන් දීග දීමේ ප්‍රශ්නය ගැනය. එයද දෙමාපියන් සමහරවිට අවුල් ඇතිකර ගන්නා අවස්ථාවක් හැටියට සැලකිය හැකිය.

බේකර්ගේ න්‍යාය

මා මෙම සාකච්ඡාව මාගේ ජීවිතය කෙරෙහි බලපෑ විශේෂ න්‍යායවාදයකින් ආරම්භ කිරීමට කැමතිය. මෙම න්‍යායවාදයේ නිර්මාතෘවරයා මහාචාර්යවරයකු නොව බේකරියක බක්කරේ කෙනෙකි. ඒ නිසා මා මේ න්‍යායවාදය මාගේ දරුවන්ට කියා දුන්නේ බේකර්ගේ න්‍යාය වශයෙනි.

මා කුඩා කාලයේ කිසියම් කලක් අධ්‍යාපනය ලැබුවේ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේය. මා නේවාසිකව සිටියේ වීරකෝන් ගාඩ්න්ස්හි විසූ ගුරුවරියකගේ නිවසේය. මාගේ ලොකු තාත්තාගේ දුවක නුවර අවට ප්‍රදේශයක පදිංචි වී සිටි අතර බෝඩින් ජීවිතයේ ඒකාකාරී බව තුරන් කරගැනීම පිණිස මා සමහර සති අන්තවල එම අක්කාගේ නිවසට ගියෙමි.

ඒ නිවසේ බේකරියක් තිබුණි. අවට පාසල් ගණනාවකට බනිස් නිපදවනු ලැබුවේ මේ බේකරියේය. එහි බක්කරේ ලෙස වැඩ කළේ මහා කළු සිංහලයකු බඳු ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙකි. ඔහු ප්‍රසන්න පුද්ගලයෙකි. එහි සිදුවන බනිස් හැදීමේ ක්‍රියාවලිය නැරඹීමේ පුරුද්දක් මටද තිබුණි. ඒ වෙනුවෙන් මටද පුංචි තෑග්ගක් ලැබුණි. ඒ සාමාන්‍ය බනිස්වලට වෙනුවට මුළු බනිස් ගෙඩිය පුරාම සීනි අතුරන ලද බනිස් ගෙඩි කිහිපයක් මටද ලැබීමය. උණු උණුවේ ඒ බනිස් කන්න මමද ප්‍රිය කළෙමි.

මේ බක්කරේගේ නම මට මතක නැත. එහෙත් ඔහු ශූර කතාකාරයෙකි. ඔහු වෙනත් අය සමග පිටි මෝලිය අනන අවස්ථාවලදී අන් සමග කතා කරන අතර මටද විවිධ කතා කිීවේය. ඒ කතා අතර මට කවදාවත් අමතක නොවන ධර්මතාවක් ඔහු සරල බසින් මට කියා දුන්නේය. ඔහු මා ඇමතුවේ පුංචි මහත්තයා වශයෙනි. ඔහු මෙසේ කීවේය.

“දැන් බලන්න පුංචි මහත්තයා අපි පිටි මෝලිය අනනවා. අපි කරන දේ පිටත වෙන කාටවත් පෙනෙන්නේ නැහැ. වැරදිලාවත් කවුරුවත් හිතුවොත් මේ බේකරියේ පාන් බනිස් හදන බක්කරේ පිටි මෝලිය අනන කොට බක්කරේගේ කැහි හා හොටුත් ඒකට දාලා අනනවද දන්නෙ නැහැ කියලා ඒ පුද්ගලයාට මොන බේකරියකින්වත් පාන් හෝ බනිස් කන්න වෙන්නෙ නැහැ. මොන දේකදිවත් ඕනෑවට වඩා සැක කරන්න හොඳ නැහැ. බේකරිය බැලූ බැල්මට පිරිසිදු නම් එහි වැඩ කරන අයත් බැලූ බැල්මට පිරිසිදු නම් එයින් සෑහීමට පත්වෙන්න ඕනේ.”

මා බේකර්ගේ න්‍යාය ලෙස විස්තර කරන්නේ එම ධර්මතාවයි. එය විවිධ ආකාරවලට තේරුම් කළ හැකිය. සමහර දේවලදී අනවශ්‍ය තරමට සැක නොකරන්න. නැතිනම් සමහර දේවලදී අනවශ්‍ය තරමට කරුණු සොයා බලන තැනකට නොයන්න. එසේත් නැත්නම් තවත් සමහර දේවලදී අනවශ්‍ය තරමට කල්පනා කරන, ප්‍රීති වන හෝ කනගාටු වන තැනකට නොයන්න. යනාදී වශයෙන් එය තේරුම් කළ හැකිය. ඔහු උගත් මහාචාර්යවරයකු නොවූවත් ඔහු මට වැදගත් ධර්මතාවක් කියා දුන් ගුරුවරයකු හා න්‍යායවාදියකු ලෙස මම සලකමි. අප කතා කරන දරුවන් දීගදීම පිළිබඳ මාතෘකාවටද එම ධර්මතාව අදාළය.

ඒ සමග දරුවන් දීගදීම පිළිබඳව අප කතා කරන විෂයයට අදාළව මෙම න්‍යායවාදියාගේම පවුලේ ඇතිවූ අනුවේදනීය සිද්ධියක් දරුවන් දීගදීමේ ප්‍රශ්නයට මුහුණ දී සිටින දෙමාපියන්ට ඉතා වැදගත් පාඩමක් ඉගෙන ගතහැකි ආදර්ශ කතාවක් ලෙස ඉදිරිපත් කිරීමටද මම කැමැත්තෙමි.

බේකර්ගේ පුතාගේ ප්‍රේම සම්බන්ධය

මා මේ කියූ අක්කලාගේ නිවසේ උයන පිහන කටයුතු සඳහා සේවිකාවක් සිටියාය. ඇය නිල් පැහැති බළල් ඇස් ඇති පැහැපත් පෙනුමකින් යුතු තරුණ කාන්තාවක් විය. රෙද්ද හා හැට්ටය ඈ අඳින සාමාන්‍ය ඇඳුම විය. ඇය උයන පිහන ආකාරය බලා සිටීමට මා ද කුස්සියට ගොස් එහි වාඩිවී ඇය සමග කතාබහ කරමින් සිටින අවස්ථා තිබුණි. ඇය මා සුරතල් කරන අතර මොන මොනවා හෝ මට විශේෂ දේවල් කන්නටද දෙන්නේය.

මා මේ නිවසේ සිටි එක් රාත්‍රියකදී මෙම තරුණිය බේකර් න්‍යායේ නිර්මාතෘවරයා සමග පැන ගොස් තිබුණි. නින්දට ගොස් සිටි මා ඇහැරුණේ ඒ ගැන උස් හඬින් කැරෙන කතාබහ හා ඝෝෂාව නිසාය. ඉන්පසු මේ දෙදෙනාට කුමක්වීද යන්න මා දැන සිටියේ නැත. එම නිවසේ අක්කා, ස්වාමිපුරුෂයා හා ඔවුන්ගේ දරුවන් සමග තිබුණු මාගේ ළඟ සම්බන්ධය විවිධ හේතු නිසා බොහෝ දුරස්ථ වී තිබුණි. මා වෙනත් දුරස්ථ පාසලකට යෑම, යෞවන වියේ කැරලිකාරයකු වී අවුරුදු හතක් තරම් කාලයක් බන්ධනාගාරයේ ජීවත්වන්නට සිදුවීම වැනි විවිධ හේතු ඒ කෙරෙහි බලපෑවේය.

එහෙත් කිසියම් අවුරුදු විශාල ගණනකට පසුව ඒ දෙදෙනා ගැන නොව ඔවුන්ගේ පුතා ගැන එක්තරා ප්‍රමාණයකට රොමැන්ටික්ද විශාල ප්‍රමාණයකට අනුවේදනීය හා බිහිසුණුවූද කතාවක් අසන්නට ලැබුණි. වැඩි විස්තර නැතිව සංක්ෂිප්තව කියන්නේ නම් මෙම යුවළට පිරිමි දරුවෙක් සිටියේය. ඔහු ලොකු අධ්‍යාපනයක් ලැබූ බව පෙනෙන්නට නැත. ඔහු අතුරුදන් වන විට සේවය කර තිබුණේ යුද හමුදාවේය. මෙම තරුණයා රටේ අංක එක තරමට ඉහළ ගිය පුද්ගලයකු ඇතුළත් පවුලක එකම දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණි. ඔහුගේ පෙම්වතියගේ පවුලේ පාර්ශ්වයට එය පෙනුණේ පවුලේ තත්ත්වයට නොගැළපෙන නොමනා ප්‍රේම සම්බන්ධයක් ලෙසය.

මෙම නොමනා සම්බන්ධය අත්හරින ලෙස දෙමාපියෝ ඇයට බල කළෝය. සමහරවිට තර්ජනය ද කරන්නට ඇත. එහෙත් සිය ප්‍රේම සම්බන්ධය අත්හරින්නට ඇය කැමති වී නැත. මෙම දෙමාපියෝ ඇස ගසාගෙන සිටි පවුලේ තත්ත්වයට ගැළපෙන ඉංජිනේරුවකු ඇයට යෝජනා කළෝය. ඒ යෝජනාවටද ඇය කැමති වී නැත. අවසානයේ ජේවීපී දෙවැනි තරුණ කැරැල්ල කාලයේ ඇගේ ප්‍රේමවන්තයා පැහැර ගැනීමකට ලක්ව අතුරුදන් විය. ඒ වන විට මෙම සොල්දාදුවා සේවය කළේ එකල විජය කුමාරතුංග පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ද වර්තමානයේ ජර්මන් තානාපතිවරයා ලෙස ක්‍රියා කරන සරත් කෝන්ගහගේගේ ආරක්ෂාවට ලබාදී තිබූ ආරක්ෂක කණ්ඩායමේ සොල්දාදුවකු වශයෙනි. සිය ප්‍රේමවන්තයාගේ ඉරණමට වගකිවයුතු අය කව්දැයි ඇය දැනසිටියා විය යුතුය. ඇය තම පෙම්වතා වෙනුවෙන් විවාහවීමෙන් වැළකී සිටියාය. දෙමාපියන් කොතරම් හොඳ විවාහ යෝජනා ගෙන ආවද ඇය ඒ කිසිවකට එකඟ නොවූවාය. ඒ නිසා ඇගේ ජීවිතය කාලකණ්ණි වූවා පමණක් නොව, ඇගේ දෙමාපියන්ගේ වයස්ගත ජීවිතද කාලකණ්ණිවීමටද හේතුවිය.

ඉන් උගත හැකි පාඩම වනුයේ සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීමේදී දරුවන් හිතුවක්කාර වන අවස්ථා පවතින බවය. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ එවැනි තීරණයන් බලහත්කාරයෙන් වෙනස් කිරීමට දරන උත්සාහයක් සමහරවිට ඉතාමත් බිහිසුණු ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බවය. ඉහත විස්තර කරන ලද ඛේදජනක නිදර්ශනයේදී දුව අදහස වෙනස් නොකරන බව පෙනුණු විට දෙමාපියන් ඇගේ කැමැත්තට ඉඩදී, සොල්දාදුවාගේ රැකියාව අවනම්බුවක් වී නම් එම තරුණයාගේ අධ්‍යාපනයට ගැළපෙන වෙනත් රැකියාවක් ලබාදෙමින් ඔවුන්ට විවාහ වන්නට ඉඩ හැරියේ නම් ඒ දෙදෙනාගේ ජීවිත වාසනාවන්ත වන්නට ඉඩ තිබුණා සේ ම තරුණියගේ දෙමාපියන්ටද සංතෝෂයෙන් මියයෑමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුණි.

මේ ආකාරයටම නොවූවත් සමහර දරුවන් දෙමාපියන්ගේ කැමැත්තට එරෙහිව ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නා අවස්ථා දුලබ නැත. එවැනි අවස්ථාවලදී බොහෝ දෙමාපියන් කියන්නේ ඒකා හෝ ඒකී අපේ කැමැත්තට පටහැනිව ක්‍රියාකළහොත් ඇයට හෝ ඔහුට ගෙදර පස් පාගන්නටවත් ඉඩ දෙන්නේ නැති බවය. නැතිනම් පවුලෙන් එලවා දමන බවය. එහෙත් එවැනි රළු ප්‍රතිපත්තියක් සාධාරණ නොවනවා සේ ම සමහරවිට බිහිසුණු ප්‍රතිඵල ඇති කිරීමටද හේතුවිය හැකිය.

වංශෙ කබල් ගෑම

සමහර දෙමාපියන් දරුවන්ට සුදුසු සහකාරයකු හෝ සහකාරියක සෙවීමේදී අනවශ්‍ය තරමට දේවල් සොයන්නට ගොස් වැඩ වරද්දාගන්නා අවස්ථාද බහුලව දැකිය හැකිය. බේකර්ගේ න්‍යාය අනුවද සමහර දේවලදී අනවශ්‍ය තරමට දේවල් සොයන තැනකට නොයා යුතුය.

ඉහතදී විස්තර කළ නිදර්ශනයේ එන මාගේ අක්කාට හා ඇගේ සැමියාට ලොකු දරු පවුලක් සිටියේය. එම ගණන හරියටම මතක නැතත් දරුවෝ දහදෙනකුට ආසන්න ගණනක් සිටියෝය. තුන්දෙනකු හැර අන් සියලුදෙනාම ගැහැනු දරුවෝය. දරුවන්ගෙන් වැඩි පිරිසක් හොඳ අධ්‍යාපනයක්ද ලැබුවෝය. හොඳ රක්ෂාවලද නිරත වූවෝය. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයේ කුල පසුබිම අනුව ඔවුහු වංශවත් පවුලක් වූහ. ඒ නිසා ඔවුන් රදළ නොවූවත් ඔවුන්ට රදළ පෙනුමක් ආරෝපණය වී තිබුණි. ඔවුන් වැඩිමහල් දියණියට සුදුසු සහකරුවකු සෙවීමේදී උගත්කම, කුලවන්තකම, රැකියාව, ධනවත්කම, ලස්සන පෙනුම වැනි බොහෝ දේවල් සොයන්නට ගියේය. පුංචි අඩුවකදී පවා එය නොසලකා සිටින්නට කැමති නොවීය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ වැඩිමහල් දියණියගේ විවාහය දිගින් දිගට කල්යෑමය. අක්කා විවාහ වන තෙක් විවාහ නොවිය යුතුයි කියන ප්‍රතිපත්තියේ ඉඳිමින් දෙවැනි දුවද විවාහවීමෙන් වැළකී සිටියාය. ඒ සම්ප්‍රදායයට හා සංස්කෘතියට අනෙක් දූවරුද නොදැනීම අනුගත වූහ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ පිරිමින් හැර ගෙදර සියලු ගැහැනු දරුවන් ගෙදරට නාකිවීමය. විවාහ නොවූ දූවරුන්ගෙන් යුතු පවුලක් බවට පත්වීමය.

දරුවන් විවාහ කරදීමේදී මනාලියගේ මනාලයාගේ පසුබිම් තොරතුරු සොයා බැලිය යුතු වුවත් අනවශ්‍ය තරමට සුදුසුකම් සොයන තැනකට යෑමෙන් දරුවන් අමාරුවේ වැටිය හැකිය. මෙය වැඩියෙන් අදාළවන්නේ ගැහැනු දරුවන්ටය. ගැහැනු දරුවන් විවාහ කරදීම අනවශ්‍ය තරමට ප්‍රමාද නොකළ යුතුය. හමුවන හැම කෙනෙකුගේම මොකක් හෝ පොඩි වැරැද්දක් අල්ලාගෙන ප්‍රතික්ෂේප කරන තැනකට ගියහොත් එය පුරුද්දක් බවට හැරී දියණිය ගෙදර නාකිවන තත්ත්වයකට පත්විය හැකිය. අනවශ්‍ය තරමට කුලයට, ආගමට, දෑවැද්දට හා ධනයට බර නොතැබිය යුතුය. කිසිවෙක් පරිපූර්ණ නැත. පරිපූර්ණ මනාලයන් හා මනාලියන් සොයන්නට යෑම තේරුමක් නැති ක්‍රියාවකි.

මා අසා ඇති එක ප්‍රසිද්ධ ධනවත් පවුලක් සිය පවුලේ ඈත ඉතිහාසයේ සිට අද දක්වාම පවුලේ දියණියන් විවාහ කර දුන්නේ හොඳින් තෝරාගත්, අධ්‍යාපනයේදී දක්ෂතා පෙන්නුම් කළ දුප්පත් තරුණයන්ටය. ඔවුන් සිරිතක් වශයෙන් මනාලයා තෝරාගන්නේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් අතුරෙනි. තෝරාගත් මනාලයාට අධ්‍යාපනික හැකියාවන් දියුණු කරගැනීම සඳහා උපරිම ලෙස ආධාර කර උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු එම තරුණයා සිය බෑණා බවට පත්කර ගත්තේය.

කේන්දරය මත යැපීම

ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනයේදී විවාහය නොසලකා වැඩිදුර අධ්‍යාපනයේ යෙදීමට ඔවුන් ධෛර්යමත් නොකළ යුතුය. අවශ්‍ය නම් විවාහ වූ පසු වැඩිදුර අධ්‍යාපනය ඉදිරියට ගෙනයෑම වරදක් නැත. එහෙත් දියණියගේ වයස නොසලකා විවාහවීමට සුදුසු වයස පැමිණි කල එය නොසලකා වැඩිදුර අධ්‍යාපනයේ යෙදීම නිසා සමහරවිට ඇගේ ජීවිතය කාලකණ්ණි බවට පත්විය හැකිය. ඊට දැක්විය හැකි අපූරු නිදර්ශනයක් මට මගේ මිත්‍රයෙකුගෙන් අසන්නට ලැබුණි. ඇය PhDය සම්පූර්ණ කරන විට වයස අවුරුදු තිස්පහ සම්පූර්ණකර තිබුණි. උසස් අධ්‍යාපනයට පූර්ණ අවධානය යොමු කිරීම නිසා ඇයට ප්‍රේම සම්බන්ධකම් ඇති කරගැනීමටද කාලයක් නොතිබුණි. ඉහළම අධ්‍යාපනයක් ලැබීමෙන් පසු ඊට අඩු අධ්‍යාපනයක් ලැබූ අයෙකු විවාහ කරගැනීමේ හැකියාවක්ද ඇයට නොතිබුණි. අවසානයේ ඇගේ උසස් අධ්‍යාපනය ඇගේ ජීවිතය වර්ණවත් කරනවා වෙනුවට ජීවිතය කාලකණ්ණි කිරීමට හේතුවිය. ඇය එක දිගට PhD උපාධිය ලබාගන්නා තෙක්ම අධ්‍යාපනයේ නොයෙදී විවාහ වියයුතු වයසේදී විවාහ වී ඉන්පසු PhD උපාධිය දක්වා සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන ගියේ නම් සමහරවිට ඇගේ ජීවිතය වාසනාවන්ත වන්නට ඉඩ තිබුණි. මනුෂ්‍යයා ඉබ්බකු තරම් කාලයක් ජීවත්වන්නේ නැත. පරම ආයුෂ අවුරුදු 75ක් ලෙස සැලකුවද ළමා කාලය, අධ්‍යාපනය ලැබීම, රක්ෂාවක් කිරීම, විවාහවීම, දරුවන් ලැබීම, දරුවන් දීගදීම යනාදී සියල්ලම මෙම පොඩි කාලය තුළ සම්පූර්ණ කරගත යුතුය. ගැහැනු දරුවකුගේ ප්‍රජනන හැකියාවට නියමිත කාලසීමාවක් තිබේ. අධ්‍යාපනයේදී ඒ කාරණයද සැලකිල්ලට ගත යුතුය.

මේ විෂයයේදී කේන්දරයද සමහර ගැහැනු ළමුන්ගේ ජීවිත කාලකණ්ණි කරන සාධකයක් ලෙස ක්‍රියාකරයි. කේන්ද්‍රයේ එන තොරතුරු අනුව සමහර ගැහැනු ළමයකුට ස්වාමි පුරුෂයකු සෙවීම දුෂ්කරය. කේන්දර විශ්වාස කරන දෙමාපියෝද නරක කේන්දරයක් ඇති දරුවන්ට පුංචි කාලයේ සිට ඔවුන්ගේ ඔළුවට කේන්දරයේ එන නරක කතාව මතක් කරති. ඔයාගේ කේන්දරේ අනුව ඔයා වැරදි මිනිහෙකු බැන්දොත් ඒ මිනිහා අනිවාර්යයෙන්ම මැරෙනවා. නරක කේන්ද්‍රයක් ඇතිවිට සමහර අම්මලා ඒ බව පුංචි කාලයේ සිටම කේන්ද්‍රය හිමි දියණියට කියති. දියණිය වැඩෙන්නේද අසන්නට ලැබෙන එම කතාවෙන් ඇති කරගත් විශාල බියක්ද සමගය. කේන්දරේ නිසා පමණක් විවාහ වීම වළකා ඇති කාන්තාවන්ගේ ප්‍රමාණය විශාලය. මෙය කිසිම දෙමාපියකු විසින් නොකළ යුතු වැරැද්දකි. උප්පැන්න සහතිකය වෙනස් කිරීම නීති විරෝධී වරදක් වුවත් කේන්දරේ වෙනස් කිරීම වරදක්වන්නේ නැත. උප්පැන්නයේ උපන් දිනය සඳහන් වෙතත් උපන් වේලාව සඳහන්වන්නේ නැත. කේන්දරයක් තිබීම අත්‍යවශ්‍ය නම් තම දියණියගේ විවාහය වළකන හෝ ඊට බාධා කරන කේන්දර ඇතිවිට කේන්දරය වෙනස් කිරීම වරදක් නැත. කේන්දරය අනුව බරපතළ නොගැළපීම් ඇතිව විවාහ වී සාර්ථක ජීවිත ගත කරන අය මට හමුවී තිබේ. කිසිම තේරුමක් නැති මෙවැනි දේවල් දරුවන්ගේ ජීවිත කාලකණ්ණිභාවයට පත්කිරීමට හේතුවක් කරගත යුතු නැත.

දරුවකු විවාහවීමත් සමග ඔහු හෝ ඇය පැරණි පවුල් ඒකකයෙන් ඉවත් වී තමන්ගේම නව පවුල් ඒකකයක් ඇති කරගනී. ඒ සමග පැරණි පවුල් ඒකකයේ දෙමාපිය ආධිපත්‍යයෙන්ද ඒ දරුවා නිදහස් වන්නේය. ඉන්පසු ගොඩනැගෙන නව පවුල් ඒකකයට වඩා වැදගත්වන්නේ තම පවුලේ සැමියා බිරිඳ හා දරුවන්ය. පැරණි ඒකකයේ දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට ලැබෙන්නේ ඊට අඩු වැදගත්කමකි. මේ වෙනස දෙමාපියන් පටලවා නොගත යුතුය. එම ඒකකයට ස්වාධීනව ක්‍රියාකරන්නට ඉඩ හැරිය යුතුය. දෙමාපියන් ඊට වැරදි ලෙස ඇඟිලි නොගැසිය යුතුය. මව හෝ පියා එම ඒකකය කෙරෙහි ආධිපත්‍යය පාන තැනකට නොයා යුතුය. ඒ සීමා උල්ලංඝනය කළවිට පවුල් අර්බුද ඇතිවිය හැකිය. අවිවාහක ජීවිතයේදී දෙමාපියන් බලාගත් දරුවන් විවාහවීමෙන් පසු ඒ තත්ත්වයෙන් මුළුමනින් හෝ කිසියම් ප්‍රමාණයකට වෙනස් විය හැකිය. ඒ වෙනස දෙමාපියන් ඉවසිය යුතුය.