කරුගේ ඇස් පෑදීම

July 8, 2012
Publication:
Ivan welcomes Karu Jayasuriya's call for the fragmented opposition to unite under a common banner to abolish the executive presidency, noting that for the first time Jayasuriya speaks of the political system as a whole. A statement is not enough, he argues, without a working programme, and he sets out six observations: the system has run its historical course; it fragments the opposition; it has lost legitimacy; it lets ruling groups drain the country's wealth; it encourages corruption by removing old safeguards such as the ban on MPs doing business with the state; and it makes the rule of law, urged by the Lessons Learnt commission, impossible to achieve.

විරුද්ධ පක්ෂ ව්‍යාපාර තිබෙන්නේ කැබලි වූ තත්ත්වයකය. එම තත්ත්වය විරුද්ධ පක්ෂ ව්‍යාපාර දුර්වල කරන අතර ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවී තිබේ. කැබලි වී තිබෙන විරුද්ධ පක්ෂ ව්‍යාපාර එකතු කරන්නේ කෙසේද යන දුෂ්කර හා සංකීර්ණ ප්‍රශ්නයට අලුත් ආකාරයක විසඳුමක් ඉදිරිපත් කරන්නට කරු ජයසූරිය මහතා උත්සාහ කර තිබෙන බව පෙනේ.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් විරුද්ධ පක්ෂවලින් ඉල්ලා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරදැමීම සඳහා වන පොදු බැනරය යටතේ එක්සත් වන ලෙසය. ඒ මගින් විධායක ජනාධිපති ක්‍රමයට යළිත් වරක් අප රටේ සහ එහි ජනතාවගේ හැමදෙයක්ම පැහැර ගැනීමට ඉඩ නොතබන ලෙසය.

පළමුවරට කරු ජයසූරිය මහතා මෙම නිවේදනයෙන් දේශපාලන ක්‍රමය මුළු එකක් වශයෙන් ගෙන කතා කරන තැනකට ගොස් තිබෙන බව පෙනේ. ඔහු ඒ ගැන මෙසේ කියයි.

“අවුරුදු ගණනාවක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අපට නීරස පාඩම් බොහොමයක් උගන්වා ඇත. මේ ක්‍රමය දේශපාලන පක්ෂ වශයෙන් අප අසරණ කර ඇත. එක්තරා අවධියකදී විධායක ජනාධිපති ක්‍රමය ඉතා ඉහළින් පිළිගත් එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයන් වූ ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක මහත්වරුද පසුකාලීනව මේ බව වටහා ගත්හ. එක පුද්ගලයකු වටා බලය ඕනෑවට වඩා ඒකරාශීවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීමට හේතු නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයට බාධාවක්මය. දේශපාලනඥයන් මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය රටවැසියන් ලෙස අද අප අත්දකින යථාර්ථය එයයි. මෙය වෙනස් කිරීම සඳහා එකම මාර්ගය වන්නේ එම වෙනස ඇති කිරීම එක්සත් හා ශක්තිමත් විපක්ෂයේ එකම පොදු ස්ථාවරය බවට පත්කිරීමයි.”

කරු ජයසූරිය මහතා දෘෂ්ටිමය අර්ථයෙන් වැදගත් ඉදිරි පියවරක් ගෙන තිබෙන බව පෙනේ. එහෙත් හුදු නිවේදනයකින් පමණක් එම අරමුණ ඉටුකරගත නොහැකිය. ඒ සඳහා ක්‍රියාකාරී වැඩසටහනකට යායුතුය. සියලු විරුද්ධ පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ දේශපාලන අරමුණ වෙත ගෙන ඒම වැදගත් වුවත් දේශපාලන ක්‍රමයක් පරාජය කිරීමට දරන උත්සාහයක් විරුද්ධ පක්ෂවලට පමණක් සීමා කිරීම සුදුසු නැත. දේශපාලන ක්‍රමයක් වෙනස් කරගැනීම සඳහා ආණ්ඩුවක් වෙනස් කරනවාට වඩා විශාල පොදු අනුමැතියක් අවශ්‍ය වන්නේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි කියා සිතන අයට සේ ම ඒ ක්‍රමය ආරක්ෂා කරගත යුතුයි සිතන අයටද ප්‍රයෝජනවත් විය හැකි දේශපාලන ක්‍රමය හා එහි අනාගතය පිළිබඳව මා ඇති කරගෙන තිබෙන නිරීක්ෂණ කිහිපයක් මෙසේය.

1. ක්‍රමය යල් පැනයෑම

ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්‍රමයට ඓතිහාසික වශයෙන් යාහැකි උපරිම දුර වෙත එය ළඟාවී ඇතැ”යි කිව හැකිය. සුළු ජනවර්ග ප්‍රශ්නයටද විසඳුමක් ලැබෙන ආකාරයට රටට සාපයක් බවට පත්ව තිබූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන දේශපාලන ප්‍රතිසංවිධාන වැඩසටහනක් ක්‍රියාවට නැගිය යුතුව තිබුණේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමගය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කරන්නට සමත් වී නම් ඔහු කෙටිකාලීන වීරයකු නොවී දීර්ඝකාලීන වීරයකු වන්නට ඉඩ තිබුණි. එහෙත් එම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ජනාධිපතිවරයා අසමත් විය. පොරොන්දු වූ පරිදි දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරනවා වෙනුවට එම දූෂිත ක්‍රමය තුළ සිය පැවැත්ම දීර්ඝ කරගැනීම සඳහා ආණ්ඩු ක්‍රමයට සංශෝධනයක් ඉදිරිපත් කිරීම මගින් එම ඓතිහාසික කාර්යභාරයට තිබෙන අයිතිය අහිමි කරගත්තේය. ත්‍රස්තවාදය පරාජය කිරීම තුළ දේශපාලන ක්‍රමය නිරුවත් කිරීමක්ද සිදුවිය. ඒ සමග නිරන්තරයෙන්ම දේශපාලන ක්‍රමයට අදාළව අසන්නට ලැබෙන කතාවලින් දේශපාලන ක්‍රමයේ අවිධිමත්බව, දූෂිතබව හා පීඩාකාරීබව තේරුම් ගැනීමේ හැකියාව මහජනයාට ලැබුණේය. ඒ නිසා දේශපාලන ක්‍රමයට මහජනයා අතර තිබුණු සදාචාරමය පිළිගැනීම නැතිවිය. දැන් දේශපාලන ක්‍රමය තිබෙන්නේ එහි සුක්කානම හසුරුවන ජනාධිපතිවරයාටවත් පාලනය කළ නොහැකි අවුල්සහගත තත්ත්වයකය. ඓතිහාසික වශයෙන් දැනටමත් යල්පැන ගොස් ඇති මෙම ක්‍රමය ප්‍රතිසංවිධානයකට ලක් නොකොට බලහත්කාරයෙන් ඉදිරියට ගෙනයන්නට දරන උත්සාහයක් ක්‍රමයේ අභ්‍යන්තර අවුල් උග්‍ර කොට ක්‍රමය පුපුරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකිය. එසේ වුවහොත් ඒ වෙනුවෙන් සමාජයට දැවැන්ත වන්දියක් ගෙවන්නට සිදුවිය හැකිය. ප්‍රඥාවන්ත මිනිසුන් එවැනි තත්ත්වයක් ඇතිවන්නට පෙර ක්‍රමය ප්‍රතිසංවිධානය කරගැනීමට උත්සාහ කළයුතුය.

2. විපක්ෂය කැබලිවීම

කැබලි වූ විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක පැවැත්ම ඒවාහි නායකයන්ගේ අසාර්ථකභාවය නිසාවට වඩා මෙම දේශපාලන ක්‍රමයේම ඵලයක් ලෙස සැලකිය හැකිය. විධායක ජනාධිපති බලය එජාප අත තිබූ කාලවකවානුවලදීද ශ්‍රීලනිප ප්‍රමුඛ විරුද්ධ පක්ෂ ව්‍යාපාර පැවතියේ වර්තමානයේ එජාප ප්‍රමුඛ විරුද්ධ පක්ෂ ව්‍යාපාර පවතින කාලකණ්ණි තත්ත්වයකට සමාන කාලකණ්ණි තත්ත්වයකය. සිරිමා බණ්ඩාරනායක රඟපෑ භූමිකාව දැන් රනිල් වික්‍රමසිංහ රඟපාමින් සිටින භූමිකාවට සමාන විය. ඊට පෙර පැවති ක්‍රමය තුළ සාමාන්‍යයෙන් වසර පහකට වරක් ආණ්ඩු මාරු සිදුවිය. ඒ නිසා විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට අල්ලාගෙන සිටීමට අවශ්‍ය වූ කාලය කෙටි විය. ඒ සඳහා දැරිය යුතු වියදම්ද විශාල නොවීය. ඒ නිසා ආත්ම විශ්වාසයකින් යුතුව සිය කටයුතු කරගෙන යෑමේ හැකියාව විරුද්ධ පක්ෂවලට ලැබී තිබුණි. පාලකයෝද තමන්ගේ පාලන කාලය කෙටි බව දැන සිටියෝය. නිලධාරීහුද ඒ බව දැන සිටියෝය. එහෙත් 1977දී ඇති කරන විධායක ජනාධිපති ක්‍රමය ආණ්ඩු මාරුවන කාල පරාසය තුන්හතර ගුණයකින් දීර්ඝ කළේය. ඒ සමග විරුද්ධ පක්ෂවලට අල්ලාගෙන සිටීමේ හැකියාවද දුෂ්කර කළේය. සිරිතක් වශයෙන් විරුද්ධ පක්ෂයේ කිසියම් කණ්ඩායමක් බලයේ සිටින ආණ්ඩු අනියම් ලෙස පාලනය කළේය. ඒ නිසා විරුද්ධ පක්ෂ ව්‍යාපාර කැබලි වූ තත්ත්වයකට පත්වීමද සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්විය. දීර්ඝ කාලයක් අල්ලාගෙන සිටීමට සිදුවීම නිසා විරුද්ධ පක්ෂ ව්‍යාපාරද කළු සල්ලිකාරයන්ගෙන් යැපෙන තත්ත්වයක් ඇති කළේය.

3. සුජාතභාවය අහිමිවීම

දේශපාලන ක්‍රමය ගැන ජනතාවට න්‍යායික අවබෝධයක් නැතත්, ඔවුන්ට ප්‍රායෝගික අවබෝධයක් තිබෙන්නේය. එජාප සමග පෙළගැසී සිටි ජනයා එක දිගට අවුරුදු 17ක් එහි රසය භුක්ති වින්දෝය. සාමාන්‍ය ජනයාට වෙනස් පුරවැසි කණ්ඩායමක් ලෙස ඔවුහු ජීවත් වූහ. ඉන්පසු ශ්‍රීලනිප සමග පෙළගැසී සිටි ජනයාද මේ වන විට අවුරුදු 18කට ආසන්න කාලයක් එහි රසය භුක්ති විඳ ඇත්තෝය. ඔවුන්ද වරප්‍රසාදලාභී පුරවැසි කණ්ඩායමක් ලෙස ජීවත් වී ඇත්තේය. තවදුරටත් තමන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරගත යුතුයි කියා සිතන හා තමන්ගේ ආණ්ඩුව බලයට පත් කරගත යුතුයි කියා සිතන පිරිසක් සිටිය හැකි වුවත් මෙම දේශපාලන ධාරා දෙකටම අයත් වැඩි පිරිසක් ජනතාව අතර තිබෙන්නේ තමන්ගේ නායකයන් ගැන පක්ෂ ගැන හා රටේ පවතින දේශපාලන ක්‍රමය ගැන ඇති කරගත් කලකිරීමකි. මීට වසර 10කට 15කට පෙර කිසියම් පක්ෂයකට සම්බන්ධ පුද්ගල පිරිසක් ඉදිරියේ එම පක්ෂයේ නායකයා හෝ පක්ෂය විවේචනය කළහොත් නිතැතින්ම ඔවුහු කෝපයට පත්වන්නෝය. එහෙත් වර්තමානයේ ඔවුන් එවැනි විවේචනයකදී කෝපයට පත්වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ කැරෙන විවේචනයට හූ මිටි තැබීමය. ඔක්කොම බොරුකාරෙයා්, ගසාකන්නෝයැ”යි ඔවුන් අතරින් කිහිපදෙනෙක් හෝ කියන්නෝය. එයින් පෙනෙන්නේ සමාජය තිබෙන්නේ එකතැන පල්වෙන තැනක නොව වෙනස්වන තැනක බවය. එහෙත් අවාසනාවකට සමාජ ආකල්පවල ඇතිවෙමින් තිබෙන වෙනස්කම් තේරුම් ගැනීමට සාම්ප්‍රදායික දේශපාලන නායකයන් හෝ දේශපාලන පක්ෂ සමත් වී තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන් සියලුදෙනාම ඉන්නේ කොයි මොහොතක හෝ පිපිරිය හැකි මහා ගිනි කන්දක් උඩය.

4. රටේ සාරය උරාබීම

මෙම විශේෂ දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ දේශපාලන බලය ලබන දේශපාලන කණ්ඩායමට රටේ සාරය උරාබීමේ නෛතික අයිතිය ලැබෙන ආකාරයටය. 1977 සිට අද දක්වා බලයට පත් හැම පාලක කණ්ඩායමක්මත් වස්තු කොල්ලයක යෙදුණු බව හා ඒ මගින් ඔවුහු තමන්ගේ පරම්පරා ගණනක් නඩත්තු කළහැකි තරම් විශාල ලෙස ධනවත් වූ බවද මහජනයා දන්නෙහිය. ඒ නිසා මහජනයා අතර දේශපාලන නායකයන් කෙරෙහි ඇත්තේ ගෞරවයක් නොව පිළිකුලකි. දේශපාලන නායකයන්ට හෝ පක්ෂවලට වෙනදා මෙන් මහජනයා දේශපාලන වශයෙන් ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට නොහැකි වී තිබෙන්නේ ඒ නිසාය. දැන් දේශපාලන පක්ෂවලට ස්වේච්ඡාවෙන් වැඩ කරන මිනිසුන් ඇත්තේම නැති තරම්ය. පක්ෂවල ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබෙන්නේද ඒ නිසාය. දැන් මහජනයා තමන්ගේ දේශපාලන නායකයන් දෙස බලන්නේ ගැලවුම්කාරයන් ලෙස නොව වංචාකාරයන් ලෙසය. මේ තත්ත්වය තව තව කුණුවන්නට හැරීම භයානකය. රටේ යහපතට හේතු නොවනවා සේ ම, සාම්ප්‍රදායික දේශපාලන නායකයන්ගේ සේ ම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලද යහපතට හේතු නොවන්නේය. මොළේ තිබෙන්නේ නම් දැන් ඔවුන්ට ගතහැකි ඥානාන්විත පියවර වනුයේ විනාශකාරී පිපිරීමක් ඇතිවීමට ඉඩ නොතබා මෙතෙක් අයථා ලෙස හරිහම්බ කරගත් දේවල්වලින් සෑහීමට පත්වී මෙම දූෂිත දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කරන තැනකට යොමුවීමය.

5. දූෂණයට අනුබලදීම

මෙම දූෂිත ක්‍රමය නිර්මාණය කළ නිර්මාණකරුවන් එය කර තිබෙන්නේ වැරදි සිදුවීමට තිබෙන ඉඩ පාලනය කිරීමට තිබුණු සියලු යහපත් සංවිධාන ක්‍රමද අහෝසි කරමිනි. පැරණි ක්‍රමය තුළ පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරයකුට රජය හෝ රාජ්‍ය ආයතනයක් සමග ව්‍යාපාරික ගනුදෙනුවල නිරතවීම මුළුමනින් තහනම් විය. ඒ නිසා කිසිම මන්ත්‍රීවරයෙක් රජය සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන්න උත්සාහ නොකළේය. එකල මන්ත්‍රීවරුන්ට බාර් තිබුණේ නැත. මගී ප්‍රවාහන බලපත්‍ර තිබුණේද නැත. තමන් සතු කරගත් රජයේ ඉඩම් තිබුණේද නැත. එවැනි ගනුදෙනුවක් සලකන ලද්දේ මන්ත්‍රීකම අහිමි කළ හැකි මහා වරදක් ලෙසය. එහෙත් 77න් පසු සිදුවූයේ කුමක්ද? මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ආණ්ඩුව සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන ව්‍යාපාරිකයන් බවට පත්වීමය. 1977ට පෙර මැතිවරණ වියදම් සඳහා පනවන ලද සීමා තිබුණි. මැතිවරණයකට තරග කරන හැම අපේක්ෂකයකුම මැතිවරණ වියදම් පිළිබඳව සහතික කරන ලද වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට නීතියෙන් බැඳී සිටියේය. නීතියෙන් නියම කළ සීමා ඉක්මවා ක්‍රියාකළ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහිමි වූ අවස්ථා තිබුණි. එහෙත් මෙම දූෂිත දේශපාලන ක්‍රමය ඇති කිරීමෙන් පසු මැතිවරණ තරග අපේක්ෂකයන්ට තමන් කැමති තරමක් නිදහසේ මුදල් වියදම් කළහැකි ජුගුප්සාජනක තරග ක්‍රමයක් බවට පත්විය. ජනාධිපති අපේක්ෂකයකු මැතිවරණයකට රුපියල් කෝටි සිය ගණනක් වැය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තරගයකට තරග කරන අපේක්ෂකයකු රුපියල් මිලියන සිය ගණනක් වැය කරයි. තරගකරුවන්ට අවශ්‍ය මුදල් සපයන ප්‍රධානම ප්‍රභවය බවට පත්ව ඇත්තේ කළු සල්ලිකාරයන්ය. කළු සල්ලිකාරයන්ගෙන් ලබාගන්නා ණය ආපසු පියවන්නේ පොදු දේපළවලිනි. මෙම දූෂිත ක්‍රමය සුදුසුකම් ඇති ආත්ම ගෞරවයක් ඇති යහපත් මිනිසුන් දේශපාලනයට එකතුවීම වළකන සාධකයක් ලෙස ක්‍රියාකිරීමෙන් නොනැවතී රාජ්‍ය පාලනය කෙරෙහි කළු සල්ලිකාරයන්ගේ ග්‍රහණය තර කිරීමටද හේතුවී තිබේ.

6. නීතියේ පාලනයක් නැතිකම

නීතියේ පාලනයක් ඇති කිරීමේ අවශ්‍යතාව උගත් පාඩම් කොමිසම ඉදිරිපත් කර තිබෙන ප්‍රධාන හා වැදගත් නිර්දේශයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ නීතියේ පාලනයක් ඇති කළ නොහැකිවා සේ ම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනයකින් පවා අරමුණ ඉටුකරගැනීමේ හැකියාවක් නොපවතී. සමස්ත ආණ්ඩු ක්‍රමයම නිර්මාණය කර තිබෙන්නේ එක පුද්ගලයකු අතට රාජ්‍යයේ සකලවිධ බලය ලැබෙන ආකාරයටය. එසේ තිබියදීත් ජනාධිපතිවරයා තමන් කරන කටයුතු සම්බන්ධයෙන් මැතිවරණයකදී මහජනයාට මිස පාර්ලිමේන්තුව හෝ අධිකරණය වැනි මොනම ආයතනයකටවත් වගකිවයුතු නැත. ඔහු නීතියට ඉහළින් සිටිනවා පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ බලයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඔහුට ලබාදී තිබේ. ඊට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රට ජනතාව හා රටේ පාලනය යන අංශ එක ලෙස සැලකිල්ලට ගෙන සකස් කරන ලද ව්‍යවස්ථාවක් නොවී ප්‍රධාන කොට විධායක ජනාධිපති කේන්ද්‍රගත කොටගත් ව්‍යවස්ථාවක් වන නිසාය. ජනාධිපතිට මුල් ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන බලය හීන කරන ව්‍යවස්ථා සංශෝධන නොසලකා ක්‍රියාකිරීමේ බලය ජනාධිපති සතුය. 13 වැනි සංශෝධනය හා 17 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් අඩු වැඩි වශයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය එය විය. ජනාධිපතිවරයාට ලැබී තිබෙන මුක්තිය ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමන්ගේ ආරක්ෂාව සඳහා පමණක් නොව තම කණ්ඩායමේ සියලුදෙනාගේ ආරක්ෂාව සඳහා වුවද යොදාගත හැකිය. 1977න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවකම ප්‍රබලයන් වැරදි කරන්නට බය නොවූයේ ඒ නිසාය. බරපතළ වැරදි කර අසුවූ දේශපාලකයන් කිසිවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූයේද ඒ නිසාය. රාජ්‍ය පාලකයා නීතියට ඉහළින් සිටින්නේ නම් හා රාජ්‍ය පාලකයාට ලැබී තිබෙන මුක්තිය රාජ්‍ය පාලකයාට සිය කණ්ඩායමේ ආරක්ෂාව සඳහාද පාවිච්චි කළ හැකි නම් ඒ රටේ නීතියේ පාලනයක් තිබිය නොහැකිය. එක්කෝ විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය විය යුතුය. නැතිනම් එය අහෝසි කොට රටේ යහපාලනයක් පවත්වාගෙන යෑමට ඉඩ ලැබෙන නව ආණ්ඩු ක්‍රමයක් ඇතිකර ගත යුතුය.