යුද්ධය අවසන්වීමෙන් පසු ඉදිකිරීම් අංශය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අංශයක් ලෙස සැලකිය හැකිය. සංචාරක හෝටල් කිසියම් විශාල ප්රමාණයක් ඉදිවෙමින් තිබෙන බවද දැකිය හැකිය. ඒවා අතර තරු පන්තියට අයත් විශාල හෝටල් සඳහා වන ව්යාපෘති ගණනාවක්ද තිබෙන බව දැකිය හැකිය. මීට අතිරේකව යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ආණ්ඩුව දක්වා තිබෙන විශාල උනන්දුව හේතු කොටගෙන අලුත් ව්යාපෘති රාශියක් ක්රියාත්මකවෙමින් තිබෙන බවක්ද පෙනෙන්නට තිබේ. ඒවා අතර අලුත් වරායයන් ඉදිකිරීම, ගුවන් තොටුපොළවල් ඉදිකිරීම, අධිවේග මාර්ග ඉදිකිරීම, බලාගාර ඉදිකිරීම ප්රධානය. ඒ සමග යුද්ධයෙන් අවතැන්වූවන්ට නව නිවාස ඉදිකිරීමේ ව්යාපෘති ගණනාවක්ද ක්රියාත්මක වේ. ඉන්දියානු ආධාර යටතේ පමණක් ඉදිකරන්නට නියමිත නිවාස සංඛ්යාව 50,000කි. යාපනේ තට්ටු පහළොවක නවීන රෝහලක්ද ඉදිකැරෙමින් පවතී. මහජනයාද ගොඩනැගිලි ද්රව්ය මිල ඉහළයමින් තිබියදීත් තමන්ගේ ඉදිකිරීම් කටයුතු සඳහා විශාල උනන්දුවකින් ක්රියාකරන බවක්ද පෙනෙන්නට තිබේ.
මෙම ඉදිකිරීම් සඳහා යොදාගැනෙන වැදගත්ම ද්රව්යයක් වනුයේ සිමෙන්තිය. ඉදිකිරීම් අංශයේ ඇතිවී තිබෙන මෙම ප්රබෝධය නිසා සිමෙන්ති ගෙන්වා බෙදාහරින සමාගම්වලට හොඳ කලදසාවක් උදාවී තිබෙන බවද පෙනෙන්නට තිබේ. එහෙත් සිමෙන්තිවලදී පෙනෙන්නට තිබෙන ඉතාමත් කනගාටුදායක කරුණක් වනුයේ වෙළෙඳපොළේ තිබෙන සිමෙන්ති නිසි ප්රමිති තත්ත්වයක නොතිබීමය. එය ප්රමාණවත් තරමින් රජයේ හෝ මහජනයාගේ අවධානයට යොමුවී නැති මාතෘකාවක් ලෙස සැලකිය හැකිය.
ඉදිකිරීම් සඳහා යොදාගන්නා සිමෙන්ති නිසි ප්රමිති තත්ත්වයක නොපවතී නම් කරන ඉදිකිරීම්වල ශක්තිය හා කල්පැවැත්ම කෙරෙහි එය විනාශකාරී ලෙස බලපායි. එය වඩාත්ම බලපානු ඇත්තේ කොන්ක්රීට් ඉදිකිරීම් සඳහාය. අධිවේගී මාර්ග, විශාල කොන්ක්රීට් පාලම්, වරාය, ගුවන් තොටුපොළ හා බලාගාර වැනි විශාල ඉදිකිරීම් කෙරෙහි පමණක් නොව, පුංචි මිනිසුන් ගොඩනගන තට්ටු නිවාස වැනි ඉදිකිරීම් කෙරෙහි පවා එය විනාශකාරී ලෙස බලපානු නොවැළැක්විය හැකිය. කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට 10,000ක් අලුත් ඇසුරුම්වල පුරවා අලෙවි කිරීමේ ජාවාරමක් පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් අල්ලා ගන්නා ලද බව පසුගිය මාසයේ තුන්වැනි සතියේදී පමණ ජනමාධ්ය වාර්තා කර තිබුණු අතර පුදුමයට මෙන් එම ජාවාරම කර තිබෙන්නේ ලංකා සිමෙන්ති සංස්ථාව විසිනි. පාරිභෝගික අධිකාරිය සිමෙන්ති සංස්ථාවට එරෙහිව නඩු පැවරීම සඳහා ක්රියාකරමින් සිටින බවද ජනමාධ්ය වාර්තා කර තිබුණි. එහෙත් සිමෙන්තිවල තිබෙන ලොකු ප්රශ්නය ලෙස සැලකිය හැක්කේ විටින් විට කල් ඉකුත් වූ සිමෙන්ති පාරිභෝගිකයන්ට විකිණීම නොව ලංකාවට ගෙන්වනු ලබන මොනම සිමෙන්ති වර්ගයක්වත් නිසි ප්රමිති තත්ත්වයක නොතිබීමය. සිමෙන්තිවලට අදාළ ලංකාවේ පවතින නීතිය අනුව ලංකාවේ සිමෙන්ති නිපදවීම, ආනයනය කිරීම, බෙදාහැරීම හා විකිණීම සඳහා SLS ප්රමිති සහතිකයක් තිබීම අත්යවශ්ය කොන්දේසියකි. ප්රමිති ආයතනයට ඒ සඳහා වන සහතිකයක් දියහැක්කේ එම සිමෙන්තිවල සම්පීඩතා ශක්තිය වර්ග මිලිමීටරයක් සඳහා නිව්ටන් අගය 42.5ත් 62.5ත් අතර තිබෙන්නේ නම් පමණය. එහෙත් ලංකාවේ වෙළෙඳපොළේ තිබෙන සිමෙන්තිවල පොදුවේ එවැනි තත්ත්වයක් නොපවත්නා බව ඒ ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයකදී හෙළිවී තිබේ.
විගණකාධිපති දෙපාර්තමේන්තුව එවැනි පරීක්ෂණයක් සඳහා යොමුවී තිබෙන්නේ 2011 අගෝස්තු මාසයේදී ලකී වෙළෙඳ නාමය යටතේ පාකිස්තානයෙන් ගෙන්වන ලද කිලෝ 50 සිමෙන්ති මලු 14,000ක් සඳහා ප්රමිති සහතිකය දීම අත්හිටවූ බවට ලංකා ප්රමිති ආයතනය ප්රකාශ කිරීමත් සමග ඒ ගැන ඇතිවූ ආන්දෝලනය නිසාය. විවිධ වෙළෙඳ නාමයන්ගෙන් විකුණනු ලැබූවත් ලංකාවේ අලෙවි කැරෙන සිමෙන්තිවලින් වැඩි හරියක් ආනයනය කෙරෙනුයේ පාකිස්තානයේ ලකී සමාගමෙනි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව කරන ලද එම විගණන පරීක්ෂණයේදී සොයාගන්නා ලද වැදගත්ම කරුණක් වනුයේ විවිධ වෙළෙඳ නාමයන් යටතේ පාකිස්තානයේ ලකී සමාගමෙන් ගෙන්වා තිබෙන සිමෙන්ති 2009 ජූනි 31 වැනි දින සිට 2011 ජූලි 1 වැනිදා දක්වා කාලය තුළ ප්රමිති කාර්යාංශය විසින් 47 වතාවක්ම සම්පීඩක පරීක්ෂණවලට ලක් කර ඇතත් ඒ එකුදු පරීක්ෂණයකින්වත් ඒවා සමත් වී නැති බවය. ඊළඟ පුදුමසහගත දේ වනුයේ නීතියෙන් ඉල්ලා සිටින ප්රමිති තත්ත්වයක තිබෙන බව තහවුරු කරන්නට අසමත් වූ එම සිමෙන්ති බාධාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කර තිබෙන බවය. නීතිය වල් වැදීම එක තැනකට හෝ කිහිපයකට පමණක් නොව හැම තැනකටම ආවේණික පොදු සාමාන්ය ලක්ෂණයක් බවට පත්ව ඇති බව ඉන් පෙනීයයි. අවසාන විග්රහයේදී පෙනෙන්නේ විවිධ වෙළෙඳ නාමයන් යටතේ වෙළෙඳපොළේ විකුණනු ලබන සිමෙන්ති සිමෙන්තිවල තිබිය යුතු බවට නීතියෙන් නියම කර තිබෙන ප්රමිති තත්ත්වයක නොපවත්නා බවය. එහි තේරුම සිමෙන්ති සඳහා ප්රමිති තත්ත්වයක් අවශ්ය නැති බවද? නැතිනම් නිසි ප්රමිති තත්ත්වයකින් නිපදවන ලද සිමෙන්ති ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් නැති බවද? ඉදිකිරීම් විෂයයෙහි සිටින විශේෂඥයන්ට මෙම ප්රශ්නය නොවැදගත් ප්රශ්නයක් වී ඇත්තේ ඇයි? අවසාන විග්රහයේදී රටේ සාමාන්ය ගෙවල් දොරවල් පමණක් නොව දැවැන්ත හා මහා පරිමාණයේ ඉදිකිරීම් පවා සිදුකැරෙන්නේ නිසි ප්රමිති තත්ත්වයක නොපවත්නා සිමෙන්තිවලින් නම් ඒවා යොදාගෙන ඉදිකරන ඉදිකිරීම්වල අනාගතය යහපත්විය හැක්කේ කෙසේද?
විගණකාධිපති දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්ෂණයක් කිරීමෙන් පසුත් නිසි බලධාරීන් ඒ ගැන නිසි අවධානය යොමු නොකරන්නේ නම් එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.