එළවළු සහ කිරි හරක්

April 29, 2012
Publication:
Like vegetable farmers at the New Year, dairy farmers are now pouring away milk as Nestlé, yoghurt makers and the state-owned Milco limit purchases. Ivan argues that the government's enthusiasm for food production, including the Divi Neguma home-garden drive, lacks a plan for surpluses. He suggests changing eating habits — more vegetables, soups, juices and local fruits such as jambu — linking tourist hotels with supplier villages, building storage through large companies, and national crop planning on the Israeli model with an eye to export markets in the Maldives and the Middle East. For milk, citing a dairy expert, he proposes large company-run farms with high-yielding cows on the country's abandoned paddy land, leased from owners, to produce powdered milk at home.

සිංහල අවුරුදු කාලයේදී සේ ම ඊට ආසන්න කාලයේදී එළවළු ගොවීන්ට මුහුණ දෙන්නට සිදුවූ අවාසනාවන්ත තත්ත්වයට සමාන තත්ත්වයකට දැන් කිරි ගොවීන්ට මුහුණදෙන්නට සිදුවී තිබේ. කිරි එකතු කරන සමහර සමාගම් කිරි මිලදී නොගැනීමට හෝ කිරි මිලදී ගැනීම සීමා කිරීම නිසා එළවළු ගොවීන්ට සේ ම කිරි ගොවීන්ටද තමන් නිපදවන කිරි විසිකිරීමට සිදුවී තිබේ. කිරි මිලදී ගන්නා සමාගම් කිරි මිලදී නොගැනීම හෝ සීමා කිරීම කෙරෙහි බලපා තිබෙන හේතු විවිධය. කිරිපිටි මිල ඉහළ නැංවීමට ඉඩ නොදීම නිසා කිරිපිටි සමාගම්වලට සිය ව්‍යාපාර පවත්වාගෙන යෑමට සිදුවී තිබෙන්නේ අලාභයටය. ලංකාවේ කිරිපිටි නිපදවන නෙස්ලේ සමාගම කිරි මිලදී ගැනීමෙන් වැළකී සිටීම හෝ කිරි මිලදී ගැනීම සීමා කිරීම මෙම ප්‍රශ්න කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවී තිබේ. වැසි කාලය එළැඹ තිබෙන තත්ත්වයක් තුළ යෝගට්වලට තිබෙන ඉල්ලුම අඩුවී තිබීම නිසා මහා පරිමාණයෙන් යෝගට් නිපදවන ලකී යෝගට් සමාගම වැනි සමාගම් කිරි මිලදී ගැනීම සීමා කිරීම ඒ කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් හේතුවක් වී තිබෙන බව පෙනේ. හයිලන්ඩ් කිරිපිටි නිපදවන රජයට අයත් මිලංකෝ සමාගම තමන්ට හැමදාමත් කිරි විකුණන ගොවීන්ගෙන් හැර වෙනත් ගොවීන්ගෙන් කිරි මිලදී ගැනීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙම තත්ත්වය උග්‍ර කිරීමට බලපා තිබෙන තවත් වැදගත් හේතුවක් වී තිබේ.

ආණ්ඩුවට ආහාර නිෂ්පාදනය සඳහා ලොකු උනන්දුවක් තිබෙන බවක් පෙනෙන්නට ඇතත්, ඒ සඳහා වන හරි සැලැස්මක් තිබෙන බවක් පෙනෙන්නට නැත. දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ ජනතාව අතර ගෙවතු වගාව සඳහා එළවළු පැළ, බීජ, පොහොර හා විවිධ උපකරණ බෙදාහරින පිළිවෙතක් අනුගමනය කළේය. ආණ්ඩුවේ එම වැඩ පිළිබඳ ගෙවතු වගාව පිළිබඳව ජනතාව අතර විශාල උද්යෝගයක් ඇති කිරීමට හේතු වුවද එම වැඩසටහන රටේ එළවළු ගොවීන් කෙරෙහි ඇති කරන බලපෑම හොඳින් සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැත. අනෙක් අතට එළවළු නිෂ්පාදනයෙහිලා විශාල අතිරික්තයක් ඇතිවුවහොත් එම අතිරික්තයට කුමක් කරන්නේද යන ප්‍රශ්නයටද ආණ්ඩුවට හරි පිළිතුරක් තිබුණු බවක් පෙනෙන්නට නැත.

ආහාර පුරුදු

ශ්‍රී ලංකාව තමන් නිපදවන පලතුරු හා එළවළු ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට නොගන්නා රටක් ලෙස සැලකිය හැකිය. අපට තිබෙන කෙසෙල් ප්‍රභේද සංඛ්‍යාව විශාලය. එහෙත් සංචාරක හෝටල්වල පරිහරණය කැරෙන්නේ යුරෝපීන් හොඳින් දන්නා එක් ප්‍රභේදයක් පමණය. සංචාරක හෝටල් රටේ තිබෙන අනෙක් කෙසෙල් ප්‍රභේද රස බැලීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදෙන්නේ නම් එය ඔවුන්ට රසවත් සේ ම අපූරු අත්දැකීමක් වනු නොඅනුමානය. සංචාරක හෝටල් ශ්‍රී ලංකාවට ආවේණික පලතුරු වර්ග සඳහා ප්‍රමාණවත් තරමේ අවධානයක් යොමුකර නැත.

අයිස්ක්‍රීම් කර්මාන්තයේ සේ ම පලතුරු කර්මාන්තයේද කැපී පෙනෙන දියුණුවක් දකින්නට තිබෙන අතර අයිස්ක්‍රීම් හා පලතුරු බීම වර්ග නිපදවන සමාගම් එම නිෂ්පාදනයන් සඳහා සමහර විශේෂ පලතුරු වර්ග ප්‍රශස්ත ලෙස යොදා ගනිමින් තිබෙන බවක්ද පෙනෙන්නට තිබේ. සමහර අයිස්ක්‍රීම් සමාගම් අඹවලින්, පැෂන් පෘට්වලින්, දිවුල්වලින් පමණක් නොව අනෝදාවලින් හා දංවලින්ද කදිම අයිස් වර්ග නිපදවන තැනකට යොමුවී තිබේ. මේ ලක්ෂණය පලතුරු බීම කර්මාන්තය තුළද දැකිය හැකිය. දොඩම් කැරට් යුෂ එකට මිශ්‍ර කොට පලතුරු බීමක් කිස්ට් සමාගම විසින් නිපදවා තිබෙන අතර ඒ අරමුණ සඳහා අනෝද, සීනි කැකිරි, ලෙමන් වැනි පලතුරු වර්ග සේ ම පිපිඤ්ඤා වැනි සමහර එළවළු වර්ගද යොදාගත හැකිය.

අපි එළවළු දන්නේ කන්න පමණය. බොන්න දන්නේ නැත. සාමාන්‍ය ජනයා සුප් කෝප්පයක් බොන්නේ රෝගී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවකදී පමණය. හැම දිනකම සුප් කෝප්පයක් බීම ජීවිතයේ සාමාන්‍ය පුරුද්දක් බවට පත් කරගත හැකිය. අපට සූප ශාස්ත්‍රය උගන්වන ටෙලිවිෂන් චැනල් එතෙර රටවල සූප ක්‍රම උනන්දුවෙන් කියා දෙනමුත් අපේ ආහාර පුරුදු වෙනස් කරගැනීමට අනුබල දෙන වැඩසටහන්වලට උනන්දුවක් දක්වන්නේ නැත.

අප පිපිඤ්ඤා දන්නේ කන්න පමණය. එයින් රසවත් හා පෝෂ්‍යදායක සිසිල් පානයක් හදාගත හැකිය. තක්කාලිද රසවත් හා පෝෂ්‍යදායක පානයක් බවට පත් කරගත හැකිය. අපි ගෝවා කන්න දන්නේ පිසින ලද හෝ තම්බන ලද ආහාරයක් වශයෙන් පමණය. එහෙත් සමහර රටවල ගෝවා අච්චාරුවට ලැබී තිබෙන පිළිගැනීම විශාලය.

පෝෂ්‍ය පදාර්ථවල වටිනාකම අනුව ගත්විට ඇපල් හා ජම්බු අතර ඇත්තේ සමානකමකි. එහෙත් අප වඩා වැදගත් කොට සලකන්නේ කල්තබා ගැනීම සඳහා බෙහෙත් විද රටට ආනයනය කරන ඇපල්ය. ජම්බුවලට කිසිම පිළිගැනීමක් ඇත්තේම නැති තරම්ය. තායි ගුවන් සමාගම ව්‍යාපාරික පන්තියේ ගුවන් මගීන්ට ඉස්තරම්ම වර්ගයේ බ්‍රැන්ඩි දෙන්නේ චීස් කැබැල්ලක් හා ජම්බු ගෙඩි හතර පහක් සහිත ජම්බු කිනිත්තක් සමගය. ජම්බු අමු පලතුරක් වශයෙන් පමණක් නොව රසබීමක් බවටද පත් කරගත හැකිය. එය එළවළුවක් ලෙස පිස ආහාරයට ගතහැකි අතර සම්බෝලයක් ලෙසද පිළියෙළ කරගත හැකිය. ජම්බු ගෙඩිය හෝදා ඇට ඉවත් කොට අතින් කැබලි කොට ලුණු ගම්මිරිස් යොදා ගත්විට ඉස්තරම් කටගැස්මක් බවටද පත් කරගත හැකිය. සැරබීමක් දෙනවිට සිරිතක් වශයෙන් කටගැස්මට අමු එළවළුවලින් සංග්‍රහ කරන කෙනකු මම දන්නෙමි. පිළිවෙළකට හා ලස්සනට කපන ලද එළවළු කටගැස්මට කැරට්, රාබු, පිපිඤ්ඤා හා බෙල් පෙපර් වර්ගයේ මිරිස් ද ඇතුළත්ය.

අපි බත් ගොඩක් සමග එළවළු ටිකක් කන ජාතියක් ලෙස සැලකිය හැකිය. එහෙත් අපට බත් ටිකක් සමග එළවළු ගොඩක් කන ජාතියක් බවට පත්විය හැකි නම් ජාතියේ නිරෝගීභාවය කෙරෙහි සේ ම කාර්යක්ෂමතාව කෙරෙහිද එය වැදගත් සාධකයක් ලෙස බලපානු ඇතැ”යි සිතිය හැකිය. හැමදාම නොවූවත් එළවළු ලාභ කාලයටවත් වැඩියෙන් එළවළු ආහාරයට ගන්නා පුරුද්දක් ඇති කරගත හැකිය. අපි එළවළු පිහන්නට පුරුදු වී තිබෙන්නේද තරමට වඩා තම්බා චප්ප වන ආකාරයටය. එවැනි පිසීමේ ක්‍රමයක් එළවළුවල ඇති පෝෂ්‍යදායකබව හීන කරනවා පමණක් නොව, වර්ණවත් බව හා රසයද හීන කරයි. අපි බැද ආහාරයට ගන්නේ වම්බටු අල ලූණු වැනි එළවළු වර්ග කිහිපයක් පමණය. එහෙත් ඉන්දියානුවන්ට නොබදින ගණයට වැටෙන එළවළු වර්ගයක් නැති තරම්ය. ඔවුන් හැම එළවළු වර්ගයක්ම පාහේ පිටි තවරා බැද රස ආහාරයක් බවට පත් කරන්නේය.

එළවළු හා පලතුරු ගොවිතැන

සංචාරක හෝටල්කරුවන් හා එළවළු පලතුරු ගොවීන් අන්‍යනෝ‍ය අවබෝධයෙන් වැඩ කරන තැනකට ගෙන ආ හැකිය. ලොකු සංචාරක හෝටල්වලට ඔවුන්ට අවශ්‍ය එළවළු හා පලතුරු සපයන විශේෂ ගම් හෝ ගම්මාන තිබේ නම් එය එම හෝටල්වලට විශේෂ වටිනාකමක් ලබාදෙන සාධකයක් වන අතර එය පෙරළා සැපයුම්කාර ගම්මානවලටද විශේෂ පිළිගැනීමක් හා ආර්ථික වාසි ලබාදෙන සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇත්තේය. සංචාරක මණ්ඩලය එවැනි ව්‍යාපෘතිවලට හෝටල්කරුවන් පොළඹවාලිය යුතුය.

එළවළු හා පලතුරු කල්තබා ගැනීමේ පහසුකම් නැතිකම එළවළු හා පලතුරු ගොවීන් මුහුණදී තිබෙන ලොකු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එවැනි පහසුකම් සිය වියදමින් ගොඩනගා ගැනීමේ හැකියාවක් එළවළු හෝ පලතුරු ගොවීන්ටම නැත. ඒ පහසුකම් ඔවුන්ට ලබාදිය යුතුව තිබෙන්නේ ලොකු ව්‍යාපාරික සමාගම්ය. එවැනි දේ ඔවුන්ට ආදායම් උපයන ආයෝජන මාර්ගයක් බවට හරවා ගත හැකිය.

එළවළු හා පලතුරු නිෂ්පාදනය නිසි ජාතික සැලැස්මක් ඇතිව හා අනියම් පාලනයකින් යුතුව කැරෙන දෙයක් බවට පත්කිරීමෙන්ද දැන් සිදුවන අතිවිශාල නාස්තිය පාලනය කළ හැකිය. විවිධ එළවළු වර්ගවල හා පලතුරු අවශ්‍යතාවන් ජාතික වශයෙන් තක්සේරු කොට ඒ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස එළවළු හා පලතුරු ගොවීන් ලවා වගා කරවන හා ඒ සඳහා ඔවුන්ට මගපෙන්වන සංවිධාන ක්‍රමයක් ආණ්ඩුවට ඇති කළ හැකිය. ඒ සඳහා ආදර්ශයට ගතහැකි එක් රටක් වන්නේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලයට ඒ සඳහා ජාතික සැලැස්මක් තිබෙන අතර හැම ගොවිපොළකම වගා කළයුතු දේවල් මොනවාද යන්න හා වගා කළයුතු ප්‍රමාණය කොතරම්ද යන්න තීන්දු කැරෙන හා ඒ සඳහා ගොවීන්ට මගපෙන්වන කාර්යක්ෂම ක්‍රමයක් එහි ක්‍රියාත්මක වේ. අපට ඒ තරමින්ම නොවූවත් එක්තරා ප්‍රමාණයකට හෝ එවැනි වැඩසටහනක් ක්‍රියාවට නැගිය හැකි නම් නුවුවමනා තරමින් කැරෙන නිපදවීමෙන් ඇතිවන අලාභය තුනී කළ හැකිය. සාමාන්‍ය ජනයා තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සඳහා ගෙවතු මට්ටමින් එළවළු හා පලතුරු වගා කරවීමට උනන්දු කරවන අතර එළවළු හා පලතුරු වගාව ප්‍රධාන ජීවන මාර්ගය බවට පත්කරගෙන සිටින ගොවීන් ඔවුන්ගෙන් නිෂ්පාදනයන්ගෙන් සැලකිය යුතු කොටසක් විදේශ වෙළෙඳපොළ සඳහා නිපදවන ගොවීන් බවට පත්කළ හැකි නම් එළවළු හා පලතුරු ගොවීන්ගේ ජීවන තත්ත්වයේ යහපත් වර්ධනයක් ඇති කළ හැකි අතර ඒ මගින් එළවළු හා පලතුරු වගාව විදේශ විනිමය උපයන වැදගත් මාර්ගයක් බවටද පත් කරගත හැකිය. එහෙත් ඒ සඳහා ද අතරමැදියන් ලෙස ක්‍රියාකළයුත්තේද ව්‍යාපාරික සමාගම්ය. අපට මාලදිවයින හා මැදපෙරදිග වැනි රටවල සංචාරක හෝටල්වලට අවශ්‍ය, එළවළු හා පලතුරු අවශ්‍යතාවන්ගෙන් කිසියම් ප්‍රමාණයක් සපයන රටක් බවට පත්විය නොහැකිද?

කිරිවලින් ස්වයංපෝෂිතවීම

ශ්‍රී ලංකාව කිරි පිටිවලට ඕනෑවට වඩා ඇබ්බැහි වී සිටින, අලුත් දියර කිරි පරිභෝජනයට ඉක්මනින් මාරුවීමට කැමති නැති ජනතාවක් සිටින රටක් ලෙස සැලකිය හැකිය. අලුත් දියර කිරි තිබෙන හා පහසුවෙන් ලබාගත හැකි තත්ත්වයක සිටින අය පවා වැඩි කැමැත්තක් දක්වන්නේ දියර කිරිවලට නොව පිටි කිරිවලටය. මොන මොන හේතු නිසා හෝ පෝෂණ ගුණයට වඩා රසය හා පහසුව නිසා ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ කිරිපිටිවලටය. මෙම කටුක යථාර්ථය ඉදිරියේ ශ්‍රී ලංකාව කිරිපිටි ආනයනය සඳහා වැය කරන දැවැන්ත විදේශ විනිමය ධනස්කන්ධය ඉතුරු කරගැනීමට අවශ්‍ය නම් කිරි සඳහා වන ජාතික ප්‍රතිපත්තිය වියයුත්තේ රටට අවශ්‍ය කිරිපිටි ශ්‍රී ලංකාවේම නිපදවන තත්ත්වයකට යෑමය. දියර කිරි හා කිරිපිටි පිළිබඳව රටේ ජනතාව අතර පවතින ආකල්ප ගැන අප පුදුම වියයුතු නැත. කිරි පිළිබඳව විශේෂඥයකු ලෙස සැලකිය හැකි පුද්ගලයකු මා සමග කී කතාවක් මෙසේය. පැරණි සිංහල සාහිත්‍යයේ කිරි කෑම ගැන මිස කිරිබීම ගැන සඳහන්වන්නේ නැත. සාම්ප්‍රදායික සිංහල කිරි ගොවීන් තුළ තමන් හදන හරකුන් කෙරෙහි විශාල දයාවක් හා කරුණාවක් ඇතත් ඔවුන් කිරි ගොවිතැනේදී ප්‍රශස්තබවෙන් තොරය. ඔවුන් සතුන්ට උපරිම සාත්තුව ලබා නොදෙන අතර උන්ගෙන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමටද නොදනී. එහෙත් ඊට වෙනස්ව උඩරට හා උතුරු නැගෙනහිර දමිළයන් කිරි ගොවිතැනේදී ප්‍රශස්තය. සතුන්ට හොඳ සාත්තුවක් ලබාදී උන්ගෙන් උපරිම ප්‍රතිඵල ලබාගැනීමටද ඔවුන් දන්නේය. මේ නිසා කිරි දෙනුන් හැදීම ස්වයං රැකියාවක් වශයෙන් අනුබල දිය යුත්තේ ඔවුන්ට පමණය. සිංහල ප්‍රදේශවලදී කිරි ගොවිතැන ව්‍යාපාරික සමාගම් යොදවා කැරෙන මහා පරිමාණයේ ගොවිපොළවල් ලෙස පවත්වාගෙන යා යුතුය. ලංකාවේ ඇති කරන කිරි හරකුන්ගෙන් 80%ක් පමණ දිනකට කිරි ලීටර් දෙකකට වඩා අඩු ඵලදාවක් ලබාදෙන තත්ත්වයේ සතුන් ලෙස සැලකිය හැකි අතර ඒ වෙනුවට දිනකට කිරි ලීටර් 20ක් හෝ ඊට වැඩි ඵලදාවක් ලබාදෙන කිරි හරකුන් මහා පරිමාණයෙන් ඇති කරන තැනකට යායුතුය. එසේ ඇතිකර ගන්නා කිරි ගොවිපොළවල්වලින් නිපදවන කිරිවලින් රටට අවශ්‍ය කිරිපිටි නිපදවන කර්මාන්තශාලා ඇති කරගන්නා තැනකට යායුතුය. කිරිවලින් ස්වයංපෝෂිත තත්ත්වයක් දිනාගත හැකිවනු ඇත්තේ එවිටය. ඔහු හිතන විදිය නිවැරදිය.

විවිධ හේතු නිසා අපේ රටේ වී ගොවිතැන් නොකරන කුඹුරු ඉඩම් අක්කර ලක්ෂයකට වැඩිය තිබෙන්නේය. සමහර ඉඩම් තිබෙන්නේ ලොකු යායවල් ලෙසය. දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන්නෙකුට වගා නොකරන කුඹුරු ඉඩම් කොතරම් විශාල ප්‍රමාණයක් එම අධිවේගී මාර්ගය දෙපස තිබෙනවාදැ”යි දැකිය හැකිය. මෙම කුඹුරු ඉඩම් ගොඩකිරීමද තහනම්ය. මෙවැනි කුඹුරු ඉඩම් විශාල කිරි ගොවිපොළවල් සඳහා අවශ්‍ය කරන තණ පිට්ටනි බවට පත් කළ හැකිය. ඒවා රජයේ ඉඩම් නොව පුද්ගලික ඉඩම්ය. ඒවාහි හිමිකරුවන්ටද බදු ආදායමක් ලැබෙන ආකාරයකට විශාල කුඹුරු ඒකක පුද්ගලික සමාගම් පවත්වාගෙන යන කිරි ගොවිපොළවල් බවට පත් කළ හැකිය. එවිට ආයෝජකයන්ට ඉඩම් මිලදී ගැනීමට අවශ්‍යවන්නේ නැත. ඔහු ඉඩමට ගෙවිය යුත්තේ බදු මුදලක් පමණය. ඒ මගින් අලුත් ඉඩම් හෙළිකිරීමකින් තොරව ප්‍රයෝජනයට නොගන්නා කුඹුරු ඉඩම් පහත් බිම් වශයෙන් තිබියදීම කිරි ගොවිපොළවල් සඳහා ප්‍රයෝජනයට ගන්නා තත්ත්වයක් ඇති කළ හැකිය. එවිට ආයෝජකයන්ටද අඩු ආයෝජන වියදමකින් ගොවිපොළ සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීමේ අවස්ථාව ලැබෙන්නේය. කුඹුරු ඉඩම් හිමිකරුවන්ටද කිසිම ආදායමක් ලබා නොදෙන අත්හරින ලද කුඹුරු ඉඩම්වලින් බදු ආදායමක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්නේය. එවැනි ව්‍යාපෘතියක් ග්‍රාමීය ආර්ථිකයේ පදනම් ශක්තිමත් කරනු ඇති අතර ගමට රක්ෂා ලබාදෙන වැදගත් මාර්ගයක් බවටද පත්වනු ඇත.