දේශපාලන පාදඩකරණය හා කළු සල්ලි

April 8, 2012
Publication:
Sri Lanka, Ivan warns, is falling into the grip of criminals and black-money barons: only 4% of criminal cases end in conviction, against 70% in India and 85% in Europe, because witnesses are unprotected, police corrupt and courts compromised. He traces how the JVP and LTTE insurrections led politicians to arm private security gangs drawn from local criminals, how rival underworld gangs rose and fell with changes of government — killings that foretold each change — and how criminals became MPs and councillors without abandoning extortion and drug dealing. Election costs have exploded, from one lakh in 1989 to 500 lakhs for a district seat, so parties and presidents depend on black money repaid from public funds. He calls for spending limits, audited accounts and caps on donations.

ශ්‍රී ලංකාව වේගයෙන් අපරාධකරුවන්ගේ හා කළු සල්ලිකාරයන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබෙන රටක් බවට පත්ව තිබෙන්නේය. එය අපේ රටේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය තීන්දු කරන වැදගත් හා ලොකු සාධකයක් ලෙස ද සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ අපරාධ නඩුවලදී වැරදිකරුවන් වන අයගේ අනුපාතිකය 4%කි. මා අසා තිබෙන අන්දමට ඉන්දියාවේ එම අනුපාතිකය 70%කි. යුරෝපා රටවල 85%කි. ලංකාවේ අපරාධ ගණයට වැටෙන නඩුවලදී වැරදිකරුවන් වන්නන්ගේ ප්‍රතිශතය 4%ක් තරම් පහළ මට්ටමක පවතින්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීම හා නීතිය පසිඳලීම යන අංශ දෙකේ ඇතිවී තිබෙන කඩා වැටීමේ තරම කොතරම් විශාලද යන්න ඉන් පෙන්නුම් කරයි.

මා මේ මෑත දිනකදී නීතිඥයකු වූ දේශපාලනඥයකු හා කරන කතාබහකදී තමා මෙතෙක් මිනීමැරුම් නඩු 220කට පෙනී තිබෙන බවත් ඉන් වැරදිකරුවන් වී ඇත්තේ දෙදෙනකු පමණක් බවත් ඔහු මට කීවේය. සාක්ෂිකරුවන් ආරක්ෂා කරන නීති නැතිකම මෙම අශෝභන තත්ත්වය කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් හේතුවක්වීයැ”යි කිව හැකිය. නඩුවක් ඔප්පු කිරීමට සාක්ෂි අත්‍යවශ්‍යය. එහෙත් අපරාධ නඩුවක සාක්ෂිකරුවකු වී අපරාධකරුවා අතින් මැරුම් කන්නට සාක්ෂිකරුවන් කැමති නැත. සාක්ෂිකරුවන් අපරාධකරුවන්ට එරෙහිව සාක්ෂි නොදීම හා සාක්ෂි දෙන අවස්ථාවලදී පවා අපරාධකරුවන්ගේ වාසියට හේතුවන ලෙස සාක්ෂි දීම මෙම තත්ත්වය බරපතළ කිරීමට හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. පොලීසියේ දූෂිත ස්වභාවයද ඒ කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධකයකි. පොලීසියට දෙන පගාවක් මගින් එවැනි නඩුවක් දුර්වල කරගත හැකිය. දේශපාලන ඇඟිලි ගැසීම් ද මෙම තත්ත්වය කෙරෙහි බලපා තිබෙන තවත් සාධකයකි. උසාවි ක්‍රමයේ පවතින දූෂිත හා අවුල්සහගතභාවයද මෙම තත්ත්වය උග්‍ර කිරීමට බලපා තිබෙන තවත් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය.

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයා වන නවුෆර්ට අධිකරණය සමග සමීප සම්බන්ධයක් තිබුණි. ඔහු අධිකරණයේ පවත්වනු ලබන උත්සව කටයුතුවලදී ප්‍රධාන පෙළේ අනුග්‍රාහකයකු ලෙස ක්‍රියා කළේය.

නවුෆර්ට අධිකරණය සමග තිබුණු සමීප සම්බන්ධකම් හෙළිදරව්වීමෙන් පසුත් අධිකරණය ඒ ගැන කරුණු සොයා බලන තැනකට ගියේ නැත. අවසන් යුද්ධ කාලයේදී සීනි ආනයන වෙළෙඳාමේ යෙදුණු ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින රෝහණ කුමාර ද නමගිය අපරාධකරුවකු වී සිටියදීත් එවකට සිටි අගවිනිසුරු සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගියා පමණක් නොව, ඔහු සැලකිය යුතු තරම් විශාල විනිසුරුවරුන් සංඛ්‍යාවක්ද ඇසුරු කළේය. ඔහු කලක් අධිකරණ අමාත්‍යාංශයේ ලාංඡනය සහිත වාහනයක් ද පරිහරණය කළේය. අධිකරණ අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් සමගද සමීප ඇසුරක් පවත්වාගෙන ගියේය.

කැරලි හා පාදඩකරණය

රටේ පැවති ආයුධ සන්නද්ධ කැරලි රටේ නමගිය අපරාධකරුවන් හා දේශපාලකයන් එකට කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. මේ කැරලි දෙකේදීම දේශපාලනඥයන් කැරලිකරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබුණි. ජේවීපී දෙවැනි කැරැල්ලේදී තමන්ගේම ආයුධ සන්නද්ධ ආරක්ෂක කණ්ඩායම් පවත්වාගෙන යෑමට ආණ්ඩුව දේශපාලකයන්ට ඉඩදී තිබුණි. එවැනි කණ්ඩායම්වලට අවශ්‍ය නවීන ආයුධ ආණ්ඩුව විසින්ම ලබාදෙන ලදි. දේශපාලකයන්ට ආරක්ෂාව ලබාදීම සඳහා දේශපාලකයන් විසින් ගොඩනගන ලද කණ්ඩායම්වලට එකතු වූවෝ යහපත් පුරවැසියන් නොව, බොහෝ විට ප්‍රදේශයේ නමගිය අපරාධකරුවෝය. මෙසේ දේශපාලකයන් ගොඩනගා ගන්නා ලද අතුරු හමුදාවලට ආරක්ෂක හමුදාවන් විසින්ම ආයුධ පරිහරණය පිළිබඳව විශේෂ පුහුණුවක්ද ලබාදෙන ලදි. දේශපාලකයන් පවත්වාගෙන ගිය මෙවැනි අතුරු හමුදා කණ්ඩායම්වලට එකතුවීමත් සමග ඔවුහු දේශපාලන රැකවරණය ඇතිව ක්‍රියාත්මක වන අපරාධකරුවන් බවට පත්වූහ. දේශපාලකයන්ට එම අපරාධකරුවන්ගෙන් ලැබී තිබුණු රැකවරණ නිසා ඔවුන් කරන අපරාධවලදී අහක බලාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට හෝ ඔවුන් නීතියේ රැහැනට අසුවන අවස්ථාවලදී ඔවුන්ට දේශපාලන රැකවරණය ලබාදෙන්නට දේශපාලකයන්ට සිදුවිය. දේශපාලකයන් හා අපරාධකරුවන් යන මෙම දෙපිරිස එකට කල්ලි ගැසී ක්‍රියාකිරීම පොලීසිය කෙරෙහිද බලපෑවේය. දේශපාලකයන් හා අපරාධකරුන් අතර පැවති මෙම අන්තර් සම්බන්ධය පොලීසියට රහසක් නොවූ අතර ඒ නිසා පොලීසියටද මෙම අපරාධකරුවන් සම්බන්ධයෙන් සහනශීලී ආකල්පයකින් ක්‍රියාකරන්නට සිදුවිය. දේශපාලකයන්ට සමීප සම්බන්ධයක් තිබූ සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අපරාධකරුවෝ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා එම දේශපාලකයන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔවුන්ගේ නිල වාහන යොදා ගත්තෝය. තමන් ලබාදෙන එම අනුග්‍රහය වෙනුවෙන් ඔවුන් උපයන ආදායමෙන් කිසියම් කොටසක් ඔවුන්ගෙන් ලබාගත් දේශපාලනඥයන්ද සිටියා විය හැකිය.

අපරාධ කල්ලි අතර තිබෙන බෙදීම් හා ගැටුම් දේශපාලන පක්ෂ කෙරෙහිද බලපෑවේය. සමහර අපරාධ කල්ලි බලයේ සිටින ආණ්ඩුව සමග හා ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලන නායකයන් සමග කල්ලි ගැසී ක්‍රියාකරන විට ප්‍රතිපක්ෂ අපරාධ කල්ලි ප්‍රධාන විරුද්ධ පක්ෂය සමග හෝ එම පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් සමග සමීපව ක්‍රියා කළෝය. ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී මෙම දෙවර්ගයට අයත් අපරාධ කල්ලි අතරද ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවිය. ආණ්ඩුවට සම්බන්ධ අපරාධ කල්ලි ජේවීපී ය මර්දනය කිරීම සඳහා ක්‍රියාකරන විට ප්‍රතිපක්ෂ අපරාධ කල්ලි ජේවීපී කැරැල්ලේ ආධාරකරුවන් ලෙස ක්‍රියා කළෝය. ගෝනවල සුනිල් ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ අපරාධ කල්ලි නායකයෝ ගණනාවක් ජේවීපීයට අනුග්‍රහය දුන් අපරාධ කල්ලි අතින් ඝාතනයට ලක්වූහ.

අපරාධ කල්ලි

ආණ්ඩුවක් වෙනස් වන විට සිරිතක් වශයෙන් අපරාධ කල්ලිවලට තිබෙන ආධිපත්‍යයේද වෙනසක් ඇතිවන්නේය. පරාජය වූ ආණ්ඩු පක්ෂ සමග ක්‍රියා කළ අපරාධ කල්ලිවලට තිබුණු ආධිපත්‍යය බිඳ වැටී ප්‍රතිපක්ෂය සමග කල්ලි ගැසී ක්‍රියා කළ අපරාධ කල්ලි අපරාධ ලෝකයේ කෙරුම්කාරයන් බවට පත්වන්නෝය. සොත්ති උපාලි වශයෙන් හැඳින්වුණු උපාලි අරඹෙවෙල එජාප ආණ්ඩුවේ නායකයන් සමග කල්ලි ගැසී ක්‍රියාකරන විට ඔහු සමග හැප්පුණු චින්තක අමරසිංහ පොදු පෙරමුණේ ආධාරකරුවකු ලෙස ක්‍රියා කළේය. පොදු පෙරමුණ බලයට පත්වන්නට පෙර සොත්ති උපාලිගේ කල්ලිය අතින් චින්තක අමරසිංහ ඝාතනයට ලක්විය. පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසු අපරාධ ලෝකයේ සොත්ති උපාලිට තිබූ ආධිපත්‍යය බිඳ වැටී චින්තකගේ සහෝදරයා වූ ධම්මික අමරසිංහගේ අපරාධ කල්ලිය එම තත්ත්වය හිමි කරගත්තේය. ඒ සමග ධම්මික අතින් සොත්ති උපාලි ඝාතනයට ලක්විය. ධම්මික අමරසිංහ පොදු පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ පාතාල කල්ලියේ ප්‍රබලයකු වුවද එම කල්ලියේ නිල නායකත්වය හිමි කරගෙන සිටියේ බැද්දගාන සංජීවය. ධම්මිකට සංජීව හිමි කරගෙන සිටි තත්ත්වය හිමිකර ගැනීමට අවශ්‍ය වූ විට 2001 පාර්ලිමේන්තු ආණ්ඩු පෙරළිය මුවවිට තිබෙන අවස්ථාවක ධම්මික සිය මිතුරා වන සංජීව ඝාතනය කළේය. එම ඝාතනය ඇතිවන්නට යන ආණ්ඩු පෙරළිය පිළිබඳව දෙන ලද ප්‍රබල සංඥාවක් විය. ඒ සමග ඔහු බලයට පත්වන එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවේ පාතාල කල්ලිය මෙහෙයවන ප්‍රධාන නායකයකු බවට පත්විය. එම ආණ්ඩුවද බිඳ වැටෙන්නට ආසන්න මොහොතක අභිරහස් ලෙස ධම්මික ද ඝාතනයට ලක්විය. එයද ඇතිවන්නට නියමිත ආණ්ඩු පෙරළිය පිළිබඳව දෙන ලද ප්‍රබල සංඥාවක් විය. මේවා ආණ්ඩු බලය හා සමහර පාතාල කල්ලි අතර තිබෙන අන්තර් සම්බන්ධය පෙන්නුම් කරන හොඳ නිදර්ශන ලෙස සැලකිය හැකිය. එසේම මෙම දූෂිත දේශපාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන දේශපාලන බල අරගල සමග පාතාල කල්ලි ගැටගැසී තිබෙන ආකාරය පෙන්නුම් කරන හොඳ නිදර්ශන ලෙසද සැලකිය හැකිය. සිය අවධානය සරල ආණ්ඩු පෙරළි දේශපාලනයකට පමණක් සීමා කරගෙන සිටින විචාරකයන්ට දේශපාලන ක්‍රමයට ආවේණික මෙම බිහිසුණු යථාර්ථයත් පෙනෙන්නේ නැත.

ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසුත් තවදුරටත් ඉතිරි වී පැවති එල්ටීටීඊයේ ප්‍රචණ්ඩ පැවැත්ම හේතු කොටගෙන දේශපාලකයන්ට තවදුරටත් මුහුණ දෙන්නට සිදුවී තිබුණු ජීවිත තර්ජන නිසා ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී දේශපාලකයන් හා අපරාධකරුවන් අතර ගොඩනැගී තිබුණු අන්තර් සම්බන්ධය තවදුරටත් ශක්තිමත් ලෙස ඉදිරියට ගලා යන තත්ත්වයක් ඇති වී තිබුණි. තවදුරටත් රටේ පැවති ප්‍රචණ්ඩ වටාපිටාව අපරාධකාරී සමාජ වටාපිටාව ශක්තිමත් කිරීමටද හේතුවී තිබුණි. ආරක්ෂක හමුදාවන්ට සටන් කිරීමට වැඩි වැඩියෙන් සෙබළුන් අවශ්‍ය වීම හේතු කොටගෙන හමුදා සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී යොදා ගැනුණු සම්මත නිර්ණායකයන් නොසලකා ක්‍රියාකිරීමට සිදුවී තිබූ අතර එම විශේෂ තත්ත්වය තුළ අපරාධකාරී සමාජ පසුබිමක් ඇති අයද හමුදා සේවයට එකතු වූහ. හමුදා පුහුණුවක් ලබාගැනීමෙන් පසු හමුදා සේවයෙන් පැනයන්නන්ගේ අනුපාතිකයද ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබුණේය. එසේ පලායන්නන්ගෙන් සමහරෙක් පාතාල ලෝකයට එකතුවීම නිසා පාතාල ලෝකයේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් විය. මීට අතිරේකව ජවි පෙරමුණ හා එල්ටීටීඊය අතහැර යන්නන්ගෙන්ද කිසියම් පිරිසක් පාතාල ලෝකයට එකතු වූවෝය. ඒ සියලුදෙනාගේ එකතුවීම තුළ යල් පැනගිය අවි ආයුධ වෙනුවට නවීන අවි ආයුධ පරිහරණය කරන නවීන පාතාල ලෝකයක් ගොඩනැගෙමින් තිබුණි. පොලීසිය හා ආරක්ෂක හමුදාවලට සේවය කරන අතර කුලියට මිනීමරන හා මංකොල්ලකන කණ්ඩායම්ද ඇතිවිය. පොලීසියේ අකාර්යක්ෂමතාව, පක්ෂපාතභාවය, දේශපාලන ඇඟිලි ගැසීම් හා යුක්තිය පසිඳලන ආයතන ක්‍රමයේ ඇතිවී තිබුණු ගරාහැලීම යන සාධක සමාජ පාදඩකරණය වශයෙන් සැලකිය හැකි මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය කිරීමටත් ශක්තිමත් කිරීමටත් හේතුවිය.

අපරාධකරුවන් දේශපාලකයන් බවට පත්වීම

1977ට පෙර කාලයේ අපරාධකරුවන්ට සම්බන්ධකම් තිබූ දේශපාලනඥයන් සිටියා විය හැකිය. එහෙත් ඒ කාලයේ අපරාධකරුවන්ගේ ලෝකයට දේශපාලන ලෝකය සමග තිබුණේ දුරස්ථ සම්බන්ධයක් පමණය. ඔවුන්ට දේශපාලනය කෙරෙහි බලපෑමට තිබුණු හැකියාව පැවතියේ අවම මට්ටමකය. එහෙත් 1977න් පසුව එළැඹෙන යුගය තුළ රටේ එක දිගට දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රචණ්ඩ වටාපිටාව නිසා අපරාධකරුවන් හා දේශපාලනඥයන් අතර එතෙක් පැවති දුර සම්බන්ධය සමීප සම්බන්ධයක් බවට පත්වී මේ දෙපිරිස එකට කල්ලි ගැසී ක්‍රියාකරන තත්ත්වයක් ඇතිව තිබුණි. දේශපාලකයන්ට තිබූ සමීප සම්බන්ධතා නිසා සමහර අපරාධකරුවෝ පළමු කොට පාක්ෂිකයන් අතරද පසුව මහජනතාව අතරද පිළිගැනීමක් හා ගරු බුහුමන් ලබන තත්ත්වයක් හිමිකර ගත්තෝය. මෙය ක්ෂණිකව සිදුවූවක් නොව ක්‍රමානුකූලව සිදුවූවකි. ඔවුන්ට එම තත්ත්වය හිමිකර දීම සඳහා ජනමාධ්‍ය විසින්ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එවැනි අපරාධකරුවන්ගෙන් සමහරෙක්ද ක්‍රමයෙන් දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අය බවට පත්වූහ. සුපුරුදු අපරාධකාරී ජීවිතය අත්නොහැරම මහජන නියෝජිතයන් බවට පත්වීමට ඔවුන්ට අවශ්‍ය විය. සාම්ප්‍රදායික දේශපාලකයන්ට වඩා මේ ගණයට වැටෙන අයට ධන බලය, පිරිස් බලය හා මැර බලය තිබීම හේතු කොටගෙන මහජන අනුමැතිය දිනාගැනීමද ඔවුන්ට අමාරු දෙයක් නොවීය. ඉතාමත් වැදගත්ම දේ මෙම දෙමුහුන් ප්‍රභේදයට අයත් පුද්ගලයන් මහජන නියෝජිතයන් බවට පත්වීමෙන් පසුත් ඔවුන්ට හුරුපුරුදු පැරණි පාදඩ ජීවන ක්‍රමය ඔවුන් අත්නොහැරීමය. පාර්ලිමේන්තුව, පළාත් සභාවලට හා ප්‍රාදේශීය සභාවලට මහජන නියෝජිතයන් වශයෙන් තේරීපත්වීමෙන් පසුත් ඔවුහු කප්පම් ගත්තෝය. දේපළ කොල්ලකෑවෝය. මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණෝය. පහරදීම් හා මනුෂ්‍ය ඝාතනවල යෙදුණෝය. එහෙත් ඔහු තවදුරටත් පැරණි අපරාධකරුවා නොවීය. අපරාධකරුවකු වනවාට අතිරේකව මහජනයා තෝරාපත් කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විය. ඒ නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද දුෂ්කර දෙයක් විය. ඔවුන්ට තිබුණු ධන බලය, පිරිස් බලය හා මැර බලය නිසා ප්‍රධාන ධාරාවේ පක්ෂය තුළ ඔවුන් සාම්ප්‍රදායික දේශපාලකයන්ට නැති පිළිගැනීමක්ද හිමි කරගෙන තිබෙන්නේය. ඔවුන් පක්ෂවල උන්නතියට නැතිව බැරි අය ලෙස සලකන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේය. මෙම ප්‍රවණතාව ඉක්මනින් පාලනය කරන තැනකට නොගියහොත් එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ශ්‍රී ලංකාව අපරාධකරුවන් විසින් පාලනය කරනු ලබන රටක තත්ත්වයකට පත්වීමය. සරල ආණ්ඩු පෙරළියකින් මෙම තත්ත්වය වෙනස් කළ නොහැකිය.

කළු සල්ලි

දේශපාලනයේදී කළු සල්ලිවලට ලැබී තිබෙන වැදගත්කම මෙම නොහොබිනා තත්ත්වය ශක්තිමත් කිරීමට හේතුවී තිබෙන තවත් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. රටේ තිබෙන සියලු දේශපාලන පක්ෂ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් කළු සල්ලිවලින් යැපෙන තත්ත්වයකට පත්ව ඇතැ”යි කිව හැකිය. පක්ෂ දුවන්නේ සාමාජික මුදලින් නොව, කළු සල්ලිවලිනි. දේශපාලනය, රටේ කළු සල්ලිකාරයන් කළු සල්ලි අපුල්ලන ප්‍රධාන වාන බවට පත්කරගෙන තිබෙන්නේයැ”යි කිව හැකිය.

පළපුරුදු දේශපාලකයකු සමග කරන කතාබහකදී ඔහුගේ මැතිවරණ වියදම් ගැන අපූරු අත්දැකීමක් මා සමග කීවේය. 1989 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔහු කළ වියදම රුපියල් ලක්ෂයකට වැඩි නොවූ බවත් එහෙත් පසුගිය මැතිවරණය සඳහා රුපියල් ලක්ෂ 500ක වියදමක් දරන්නට සිදුවූ බවත් ඒ තත්ත්වයට හේතුව ඔහු සමග තරග කළ ප්‍රතිවාදියා කෙළවරක් නැති තරමට මුදල් වීසි කරන තත්ත්වයක් ඉදිරියේ තමන්ටද අසාමාන්‍ය ලෙස මුදල් වැය කරන තැනකට තල්ලුවන්නට සිදුවීම බවත් ඔහු කීවේය.

මෙම තත්ත්වය දැන් හැමතැනම පාහේ දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් වන අතර දැන් ප්‍රාදේශීය සභා මැතිවරණයකට පවා අපේක්ෂකයන් මිලියන ගණනින් මුදල් වියදම් කරන වටාපිටාවක් ගොඩනැගී ඇතැ”යි කිව හැකිය. මෙය කළු සල්ලිකාරයන් විසින් හිතා මතා කෘත්‍රිම ලෙස නිර්මාණය කර තිබෙන තත්ත්වයක් ලෙසද සැලකිය හැකි අතර ඒ මගින් එක අතට ඔවුන් තමන්ගේ කළු සල්ලි සුදු කිරීම සඳහා මැතිවරණ තරග ප්‍රධාන මාර්ගයක් බවට හරවා ගන්නවාට අතිරේකව එය දේශපාලනය කෙරෙහි වන ඔවුන්ගේ ආධිපත්‍යය තරකර ගන්නා මාර්ගයක් බවටද පත් කරගෙන තිබෙන්නේය.

දේශපාලන නායකයකු වෙතින් මීට වසර කිහිපයකට ඉහතදී මට ඒ ගැන අසන්නට ලැබුණු අපූරු කතාවක් මෙසේය. ඔහුට අනුව දේශපාලන බලය සඳහා තරග කරන ප්‍රධාන පක්ෂයකට ප්‍රධාන මැතිවරණයකදී දැවැන්ත මුදල් කන්දරාවක් වැය කරන්නට සිදුවේ. ඒ නිසා හැම නායකයකුටම බලයට පත්වන්නට සිදුවී තිබෙන්නේ MOU කිසියම් සංඛ්‍යාවක් ද සාක්කුවේ දමාගෙනය. බලයට පත්වන නායකයාට එසේ ලබාගත් මිල ආපසු ගෙවන්නට සිදුවන අතර සිරිතක් වශයෙන් ඒ ණය ගෙවන්නේ නායකයාගේ පුද්ගලික ධනයෙන් නොව මහජන අරමුදල්වලින් හෝ මහජන දේපළවලිනි. එය දූෂණයක් ලෙස විස්තර කිරීමේ හැකියාවක් ඇතත් රාජ්‍ය බලය සඳහා තරග කරන හැම දේශපාලකයකුටම ක්‍රියාකරන්නට සිදුවී තිබෙන්නේ එම ධර්මතාවට අනුව බව ඔහු කියා සිටියේය.

මැතිවරණයක් සඳහා අවශ්‍ය වියදම දැවැන්තය. දිස්ත්‍රික්කයක් සඳහා තරග කළ එක අපේක්ෂකයකුට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 500ක් වැය කරන්නට සිදුවී නම් ජනාධිපතිවරණයක් සඳහා තරග කරන අපේක්ෂකයකුට ඒ වෙනුවෙන් වැය කරන්නට සිදුවන වියදම කොතරම් විශාලදැ”යි තේරුම් ගැනීම අමාරු නැත. එවැනි විශාල වියදමක් දැරීමේ මූල්‍ය හැකියාවක් කිසිම පුද්ගලයකුට තිබිය නොහැකිය. කිසිම පක්ෂයකටද තිබිය නොහැකිය. මැතිවරණවලදී එවැනි විශාල මුදල් පරිත්‍යාග කිරීමේ ආර්ථික හැකියාවක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවටද නැත. මක්නිසාදයත් ව්‍යාපාරිකයන්ගේ අරමුදල් තිබෙන්නේ ඔවුන් පවත්වාගෙන යන ව්‍යාපාරවල නිසාය. ඒ ව්‍යාපාරවලින් හදිසියේ කෝටි ගණන් මුදල් ලබාගැනීමේ හැකියාවක් නැත. මැතිවරණයකට අවශ්‍ය කරන විශාල අරමුදල් ලබාදීමේ හැකියාව තිබෙන්නේ කළු සල්ලිකාරයන්ට පමණය. ඔවුන්ගේ මුදල් තිබෙන්නේ බැංකුවල නොව සේප්පුවලය. මැතිවරණවලදී දේශපාලනඥයන්ට අවශ්‍ය අරමුදල් සපයාදීම ව්‍යාපාරයක් කොටගත් කළු සල්ලිකාරයන් පිරිසක් ලංකාවේ සිටින්නේය. අරමුදල් දියයුත්තේ කාටද යන්න ඔවුහු දන්නෙහුය. මැතිවරණයක් යනු රටේ කළු සල්ලිකාරයන්ට ඔවුන්ගේ කළු සල්ලි සුදු කරගැනීමට ලැබෙන මහඟු අවස්ථාවකි. එසේ ඔවුන්ගෙන් ලබාගන්නා අරමුදල් ලොකු පොලියක් සමග මුදලින් හෝ වෙනත් ආකාරයකින් ඔවුහු ආපසු ලබා ගනිති. බලයට පත්වන දේශපාලකයන්ට ඒවා ගෙවන්නට සිදුවන්නේ මහජන අරමුදල්වලින් හෝ මහජන දේපළවලිනි. කළු සල්ලිකාරයන් ඒ මගින් කෝටි ප්‍රකෝටිපතීන් වනවාට අතිරේකව බලයට පත්වන හැම ආණ්ඩුවක්ම අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක්ද දිනාගෙන තිබෙන්නේය.

ක්‍රමය වෙනස් කරගැනීමේ වැදගත්කම

ප්‍රජාතන්ත්‍රවාදී හැම රටකම පාහේ මහජනයා බලයට පත් කරන ආණ්ඩු කළු සල්ලිකාරයන්ට මිලදී ගැනීමට තිබෙන හැකියාව පාලනය කරන නීති රීති ඇත්තේය. විශේෂයෙන්ම මැතිවරණ අරමුදල් මැතිවරණ වියදම් හා පක්ෂ අරමුදල් සඳහා ක්‍රියාත්මක වන දැඩි නීති ඇත්තේය. අසල්වැසි ඉන්දියාවේ පවා පුද්ගලයකුට පක්ෂයට දිය හැකි අරමුදල්වල ප්‍රමාණය කෙරෙහි සේ ම අපේක්ෂකයකුට මැතිවරණයකදී වියදම් කළ හැකි මුදල්වල ප්‍රමාණය කෙරෙහිද බලපාන නීති ඇත්තේය. 1977ට පෙර එවැනි නීති අපට ද තිබුණි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය නමැති මෙම දූෂිත දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ එම විෂයට අදාළව තිබුණු සියලු නීති කුණු කූඩයට යැවෙන ආකාරයටය. ඒ නිසා මැතිවරණ කළු සල්ලිකාරයන්ට ඔවුන්ගේ කළු සල්ලි සුදුකර ගැනීමට ලබාදී තිබෙන ප්‍රධාන මාර්ගයක් බවට පත්ව තිබෙන්නේයැ”යි කිව හැකිය.

එම අවලස්සණ තත්ත්වය රටේ දේශපාලනය හා ආර්ථිකය කෙරෙහි ඇති කර තිබෙන බලපෑම ඉතාමත් විනාශකාරීය. රටේ සමස්ත දේශපාලනයම කළු සල්ලිවලින් යැපෙන තත්ත්වයක් ඇතිවී තිබෙන අතර මහජනයා බලයට පත් කරන හැම ආණ්ඩුවක්ම කළු සල්ලිකාරයන්ගේ දැඩි ග්‍රහණයට නතුවූ ආණ්ඩු බවට පත්ව තිබෙන්නේය. ව්‍යාපාරික තලයේ දැවැන්තයන් බවට පත්ව තිබෙන්නෝද සැබෑ ව්‍යාපාරිකයන් නොව කළු සල්ලිකාරයෝය. කළු සල්ලිකාරයන් රටේ දේශපාලනය පමණක් නොව ආර්ථිකයද හසුරුවන ප්‍රධාන බලය බවට පත්ව තිබෙන්නේය.

දේශපාලන ක්‍රමයේ ඇති කරන ප්‍රතිසංවිධානයක් මෙම සෝබන තත්ත්වයෙහිද මූලික වෙනසක් ඇති කළ යුතුය. ඒ සඳහා මැතිවරණ ක්‍රමයේ වෙනසක් සේ ම මැතිවරණ අරමුදල්වලට හා පක්ෂ අරමුදල්වලට බලපාන නීති රීති ඇති කරගත යුතුය. අපේක්ෂකයකු මැතිවරණයේදී කළයුතු වියදම් සඳහා උපරිම සීමාවක් පැනවිය යුතුව තිබෙන අතර අපේක්ෂකයන්ගෙන් මැතිවරණ වියදම් පිළිබඳව විගණනය කළ ආදායම් හා වියදම් ලේඛනයක් ලබාගැනීම අනිවාර්යය කළ හැකිය. පුද්ගලයකුට හෝ සමාගමකට මැතිවරණයේදී පක්ෂයකට හෝ අපේක්ෂකයකුට මුදලින් හෝ ද්‍රව්‍යයෙන් කළ හැකි ආධාරයේ ප්‍රමාණයටද සීමා ඇති කළ යුතුව තිබෙන අතර පක්ෂ අරමුදල්වල පාරදෘශ්‍යභාවය සහතික කරන නීතිද ඇති කළ යුතුය.

මෙම අශෝභන තත්ත්වයෙහි මූලික වෙනසක් ඇති කරගැනීමෙන් තොරව තවදුරටත් මේ ක්‍රමය ඉදිරියට යන්නට ඉඩ දුනහොත් ශ්‍රී ලංකාව මුළුමනින් අපරාධකරුවන් හා කළු සල්ලිකාරයන් පාලනය කරන රටක් බවට පත්වන දින බොහෝ ඈත නොවිය හැකිය. දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ප්‍රමාද කිරීමකින් තොරව ඉක්මනින් දිනාගැනීම අවශ්‍ය වනුයේ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වන්නට ඉඩ දුනහොත් එම තත්ත්වය ආපසු හැරවීම පහසු නොවන නිසාය.